Menu Close

233. සුහදිනියේ – 28 | විසඳුම් අතර නොවිසඳෙන ප්‍රශ්න. තීක්ෂණගේ තීරණය කුමක්ද?

කලින් කොටසට 

 වාකිෂ්ඨ මහතා ‘හොහ් හොහ්’ හඬින් සිනාසෙන්නට විය. මධුලිකාද ඔහු හා එක්ව  සීනු හඬින් සිනාසුනාය.මගේ මුහුණේ වූ ස්වාභාවය නිසා සුන්දර් සිනහව එකවරම නවත්වා ගත්තේය.

“පුතා… උඹ හරිම බය-නැති කොල්ලෙක්.. මම උඹේ ආසම උනේ ඒකට!”

මගේ බෙරිවුනු මුහුණ නිසා සිනහව අතරතුර වාකිෂ්ඨ මගේ පිටට තට්ටුවක් දැමුවේය.

“….. මාව ඉව වැටුන බව තේරුණ නිසා මම ආයේ උඹ පස්සෙන් ආවේ නැහැ කොල්ලෝ. මොකද ඒ වෙනකොට උඹ හරි පාරට වැටිලා. මේකා මට ඔක්කොම තොරතුරු කිව්වා.”

ඔහු සුන්දර් දෙසට හැරෙද්දී සුන්දර් බියෙන් මෙන් මා දෙස බලා බයාදු සිනහවක් පෑවේය. සැලසුමේ අග මුල එලෙස විසඳුනි.

මේ සියලු සැලසුම් ඇරඹෙන්නේ සුන්දර් මෙම වතු යායේ සේවයට පැමිණෙන අතරතුරය. සුන්දර් යනු මධුලිකාගේ පියාගේ වතුයායේ කලින් විශ්වාසවන්ත සේවකයෙකුව සිට අභිරහස් ලෙස ඝාතනය කෙරුණු සෙල්වම්ගේ කණිටු පුත්‍රයාය. ඒ වනවිට වාකිෂ්ඨ මධුලිකාගේ ආරක්ෂාව පිණිස පිලියමක් ලෙස කන්‍යාරාමය තෝරා ගත්තා පමණි.

එයින් ඇය අතුරුදන් වූ දිනයේ සිට ඔහු මා පසුපස ලුහුබැඳ ඇත. සුන්දර්ගේ රැකියාව මගේ පියාගේ වත්තේ වීම අහම්බයක් වුවද, ඒ අහම්බය නිසාම වාකිෂ්ඨගේ සහය සඳහා අවසානයේ මගේ ආරක්ෂාව යටතේ උන් මධුලිකාගේ ඔත්තු බැලීමටත්, ඊට අවැසි ආවරණය ලබාගැනීමටත් ඔහු හරහා වත්තේ ගණකාධිකාර තනතුරට පත්ව ආයේය. එයින් මධුලිකා ගැනත්, මම ගැනත් ඇස ගසාගෙන සිටින්නට ඔහුට ඉතා යහපත් මාර්ගයක් පෑදිණි. ඔහුව සේවයට ගැනීමට සුන්දර් ඉතා සුක්ෂම ලෙස මා මෙහෙයවූ සැටි මට දැන් මතකයට නැගේ.

මධුලිකා සිටි කන්‍යාරාමයෙන් ඇගේ ලියකියවිලි ලබාගෙන ඇත්තේ වාකිෂ්ඨය. ඔහු එලෙස කරන්නේ මධුලිකා අතුරුදහන් වීම නිසා ඒ ලියකියවිලිවල ඇති නෛතිකභාවය සැලකිල්ලට ගනිමිනි. කන්‍යා සොයුරිය ඔහු ගැන කිසිදු හෝඩුවාවක් අපට නොදුන්නේ ඔහුගේ අනුදැනුම පිට බවත්, ඒ වනවිට මධුලිකාගේ ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටි වාකිෂ්ඨ විසින් සුන්දර් ඒ සියල්ල සඳහා සුක්ෂමව යොදවා තිබුණු බවත් ඇසු මම තරමක පුදුමයට පත්වූයෙමි.

අපගේ වෙස්වලාගැනීම් සහ වාහන වෙනස් කිරීම් හමුවේ ඔහු සෑහෙන්න මුලාවී තිබුනද, සුන්දර් නිතර නිවසට පැමිණෙන්නට පටන්ගත් මොහොතේ සිට සියල්ල වඩා පහසුවක් වූ බව වාකිෂ්ඨ කියූ අතර මගේ එම නුවණ ගැන තරමක ප්‍රශන්සනාත්මක බවකින් සහ පැහැදීමකින් කතා කිරීම මට සතුටක් ගෙන ආවේය.

සුන්දර් විටෙක අමුතු හැසිරීමක් දැක්වූ මට මට මතකයට නැගුනද , කිසිවිටෙක මම  සයිමන් විතාරණ නමින් පෙනීසිටි ගණකාධිකාරවරයා ගැන පැහැදීමක් තිබුනේ නම් නැති බව කියන විටදී වාකිෂ්ඨ මා දෙස තියුණු බැල්මක් හෙලුවේය.

“උඹේ ඒ ගතියට මම කැමතියි කොල්ලෝ… “

වාකිෂ්ඨ බොහෝ විනෝදෙන් කියවාගෙන ගියේය. මම සිනහවක් නගාගන්නට උත්සහ කලෙමි.

සුරංගනා කතාවක් අසන පෙරපාසල් දැරියක මෙන් මධුලිකා ඉතා සතුටින් ඉපිල යමින් මා අසලම හිඳගෙන සිටින්නේ ,ලෙළදෙන තරුවක් මෙනි. ඇගේ අත විටෙක මගේ උරහිසේ ගැටෙයි. ඉන් බාධා නොවී ඉන්නට මම උත්සහ කලෙමි.

කන්‍යාරාමයෙන් මධුලිකාගේ ලියකියවිලි ගන්නාවිට , වාකිෂ්ඨ මා ගැන විශ්වාසය තබා නොතිබුණු අතර, මා නොමග යැවීමට සිතා එයින් පිටපත් තාරුක අයියාගේ කාර්යාලය තුලට දමා තිබේ. මහල් නිවාසයේ ඔහුගේ ඥාති නිවසක් පිහිටීම ඔහුගේ වාසියට විය. විටෙක ඔහු සුක්ෂම ලෙස ඔහු මහල් නිවාසයට පැමිණ මධුලිකාගේ ආරක්ෂාව තහවුරු කරගැනීමෙන් පසුව සහ සුන්දර සමඟ එක්ව කල මෙහෙයුමෙන් පසුව සම්පුර්ණයෙන් ම මා විශ්වාස කල බව කියද්දී මට ආඩම්බරයක් දැනුනි.

“අංකල්….. අංකල් දන්නවද… කට්ටියක් මෙයාට වෙඩි තිබ්බා… “

මධුලිකා එලෙස කියනවිට මගේ සිත පිපී ආයේය. මා කල කැපකිරීම් ගැන ඈ එලෙසින් උදම් අනන්නීද? මගේ සිත ඈ කෙරෙහි කුතුහලයෙන් තෙරෙපෙන්නට තවත් හේතුවක් විය.

“මට තේරෙන්නේ නැති එකමදේ…. “

මම සියල්ල අතරින් ඇසුවේ සිතට වදදෙන ප්‍රශ්න සියල්ල මේ මොහොතේ වෙනකොට ගතයුතු නිසාය. සුන්දර් කෑම මේසය වෙතින් පිටත්ව ගොස් නැවත ආවේ ඒ මොහොතේය.

“…. මිස්ටර් වාකිෂ්ඨ ඇයි මධුලිකාව තමන් ගාව තියාගත්තේ නැත්තේ කියන එක? ඇයි කොන්වන්ට් එකක තිබ්බේ?”

වාකිෂ්ඨ යම් දෙයක් තරයේ පවසන්නට මෙන් බැරෑරුම් මුහුණකින් යුතුව මා දෙස සෘජුව බැලීය. එහි තිබුනේ සෑහෙන වගකීම් සහගත බැල්මකි.

“හේතුව තමයි පුතා… මට මේ දුවව තියාගන්න තරම් ආරක්ෂාවක් නැහැ. “

එම හේතු දැක්වීම එකවරම පිළිගත නොහැකි බවක් මට දැනුනද, වාකිෂ්ඨ ඉන් අනතුරුව මධුලිකා දෙස බලා හිස දෙපසට වනමින් කතාකරන්නට විය.

“….. කොන්වන්ට් එකේ සිස්ටර් ගාවට එවන්න කියලා මේ දරුවාගේ අම්මා; මිසිස් ජයවර්ධන; මට ලියලා නියමකරලා තිබ්බේ. බාරකාරයා හැටියට සිස්ටර් මාරියා නම්කරලා තිබ්බේ. සිස්ටර් මාරියා තමයි මිසිස් ජයවර්ධනට  ලංකාවෙන් පැනලා යන්නත් උදව් කලේ. “

මධුලිකා මා දෙස යන්තමට බැල්මක් හෙළුවේ එය අනුමත කරන්නට මෙනි.

“………..මිසිස් ජයවර්ධනගේ අම්මටවත් මේ ළමයට ආරක්ෂාවක් දෙන්න බැහැ…මිසිස් ජයවර්ධනගේ අම්මා නැති උන ගමන් මට තේරුනා මුන් මිනියක් මරලා හරි මේ දේපල කෑදරකම නතර කරන්නේ නැහැ කියලා. “

“එතකොට කොහොමද මධුව කොන්වන්ට් එකෙන් අරුන් ගෙනිච්චේ?”

“සිස්ටර් මාරියා අසනීපෙන් හොස්පිටල් හිටියේ… එදා හිටියේ සිස්ටර් වින්සන්ට්. එයා කොහොමත් සිස්ටර් මාරියා එක්ක තරහයි. ඒ නිසා මගෙත් එක්කත් පොඩි අවුලක් තිබ්බා. සිස්ටර් වින්සන්ට් ගාවට අර මිනිස්සු ඩොකියුමන්ට් එකක් අරගෙන ආවා. මම හිතන්නේ මොකක්හරි උනා… “

මධුලිකා කල්පනාවෙන් ආවර්ජනය කරමින් කීවාය.

“… මම දැනගෙන හිටියේ නැහැ එලියට එනකල්ම. ඒ උනාට මම එන්න කලින් මගේ යාලුවෙක්ට කෝල් එකක් දුන්නා. මගේ වෙලාවට එයා ආන්සර් කලේ නැහැ”

මම එකින් එක සිද්ධි අමුණා කතාව ලෙහාගන්නට උත්සහ කලෙමි.

“අපි බලාගෙන හිටියේ…. උන් ඔයාව අන්තිම ටිකේදි බලෙන් වෑන් එකට දාගත්තානේ!?”

මට එසැනින් කියැවුණි. මධුලිකා යමක් කියන්නට ගොස් එකවරම නවතා ගත්තාය. වාකිෂ්ඨ මා දෙස බලා සිනාසුනි. අප මධුලිකා එලෙස ලුහුබැඳි බව සහ එයට හේතුව කියන්නට මෙය කොතරම් නරක තැනක්ද?

“.. අ.. අපි අපේ පන්සලේ කථිනෙට බඩු ගන්න ආපු ගමන්.. අහම්බෙන් දැක්කේ..”

වාකිෂ්ඨගේ මුහුණේ නොතිබුණු ඒ සැකය මධුලිකාගේ මුහුණේ ඇඳෙද්දී මම වහා මාතෘකාව වෙනස් කලෙමි.

“…… ඒ මොකක් උනත් මට වෙඩි තිබ්බේ වාසුල වෙන්න බැහැ! මොකද මට හිතෙන්නේ උන් දැන් බංකොලොත්… වෙපන් එකක්වත් තියෙන බවක් අහු උනේ නැහැ කිසි වෙලාවක”

වාකිෂ්ඨ මා දෙස බලා සිටි අයුරින් මට අනතුරක සේයාවක් දැනුනි. මගේ පියාගේ සම්බන්ධය ගැන ඔහු නොදන්නවා කියා සිතන්නට මට නොහැකිය. මම දෑස දල්වා ඔහු දෙසම බලා සිටියෙමි. ඔහුගේ බැල්මේ යමක් තිබිණි. ඔහු කිසිවක් පැවසුවේ නැත.

මේ සියලු කතාබහ අතුරින් මම වඩ වඩාත් පිඩනයට පත්කළේ අන් කිසිවක් නිසා නොවේ. මධුලිකා ඒ කවර අවස්ථාවකදී හෝ මම විසින් ඈ විවාහ කරගත් බවට ප්‍රසිද්ධියේ නොපැවසීමයි. එය කොතරම් පුදුමාකාරද? මමද එය නිශ්ශබ්දව බලා සිටියේ ඇගෙන් එය පිටවනතුරුය.

මේ සියල්ලේ ඊළඟ බාරකාරත්වය සමඟ සියලු වගකීම් මා වෙත පැවරෙන්නේ හෝ නොපැවරෙන්නේ එම තොරතුර මත නොවේද? මධුලිකා එය හිතාමතා සඟවනවාද?

උදෑසන ආහාරය නිමාකොට සුන්දර් විසින් සකසනලද කාමරයට වදින්නට යන අතරතුරදී, ඔහු මධුලිකා හා සුහද කතාවක දී සිටිනු දක්නට ලැබුණි. මට පිටුපා හිඳගෙන සිටි මධුලිකාගේ හිසට ඉහලින් මා යන අත බලා දෙවරක් හිස උඩට පහලට කරන අතරතුර ඔහු බැරෑරුම් සිනහවක් පෑවේ මට පමණක් පෙනෙන පරිදිය.

නින්දක් නොමැතිව සිටි නිසා මිස එක මානසික කැළඹීම මගේ නින්ද සොරා ගන්නට බොහෝ ප්‍රමාණවත් විය. නමුත් බැරෑරුම්ම ගැටළුවක් ලෙහුණු මානසික විවේකය මට ඒ අපහසුව වලක්වා ලන්නට සමත් වන්නට ඇත. ඒ සියල්ලටම වඩා ගිනිකන්දක් මත වුවද සුව නින්දක් ලබන පින පලදෙන්නට ඇත.

*************************************

වාකිෂ්ඨ හමුවීමෙන් පසුව මට සිතු තරම් මානසික සහනයක් ලැබුවාය කියා සිතිය නොහැකි වුයේ මන්දැයි මටම ගැටලුවකි. වාකිෂ්ඨ හමුවීමෙන් මධුලිකා කෙරෙහි මා තුල ඇති වගකීම අඩුවනවාට වඩා, ඔහු විසින් මධුලිකා වෙත පැතිරවිය හැකි අණසක පිළිබඳව මගේ ඇතුලාන්තය බියෙන් හැකිලුනාදැයි මට විටෙක සිතෙන්නට විය. එතරම් දුරට මගේ සිතුවිලි ප්‍රවාහය අධ්‍යනය කරන්නට මිට පෙර මා පෙළඹුන බවක් මට මතකයට නගාගත නොහැකිය.

මධුලිකා ඔහු විසින් රැගෙන නොයාම සපථ වීම තෙක්ම එය නොනවත්වා මා තුල කැළඹීමක් ඇතිකර තිබිණි.

ඒ කැළඹීමට මුල් වියේ මධුලිකා ගැන මා සිත ඇති අහිමිවීමේ සම්භාව්‍යතාවයද, නැතිනම් තාත්තා ගැන ඔහු දැනුවත්වීම පිළිබඳ චකිතයද කියා මට වැටහුනේ නැත. තාත්තා පිළිබඳව ඔහු  දන්නා යමක් වී නම් මා එය වහාම දැනගතයුතු නොවේද?

ගමන් මහන්සිය නිසා හෝරා දෙකක පමණ කාලයක නින්දෙන් පිබිදුනු මම බරාදයේ ඇති හාන්සි පුටුව මත දිගාවී වත්ත දෙස යෝමාගත් නෙතින් යුතුව සිටියෙමි. මධුලිකා දොර අසලින් මතුවුයේ නින්දෙන් පිබිදී විය හැකිය. ඈ ප්‍රබෝධමත් දෑසින් මා දෙස බලද්දී අප දෑස් හමුවිය.

ඈ සිනාසුනාය. ඇගේ වලගැසෙන කම්මුලේ ඇති ඒ දීප්තිය දෑසින් වෑහෙන කාන්තියට නොදෙවෙනිය. මටද සිනහවක් නැගෙන්නට ඇත.

“මෙහෙ හරි නිස්කලංකයි. කාලගුණෙත් හොඳයි… මේක ඔයාගේ තාත්තගේද?”

“හ්ම්ම්”

“හිටපුගමන් ඉස්සර අතුරුදහන් වෙන්නේ මෙහෙ එන්නද?”

මම තිගැස්සී කල්පනා කලෙමි. ඇයට මා නොමැතිව පාළුවක් දැනුනා යයි ඉන් අදහස් කලේද? මම ‘නැහැ’ කියන්නට මෙන් හිස සැලුවෙමි.

මධුලිකා කුමක් හෝ කියන්නට තතනයි.

“හ්ම්ම්…. දැන් ගොඩක් ප්‍රශ්න වලට ඔයාට බයක් නැතුව මුණදෙන්න පුළුවන්.”

මම වියත් ආකාරයෙක් වචන අහුලන්නට වීමි. මගේ නෙතු ඒ මේ අත දිව්වේ ඈ මගහරිමිනි. මධුලිකා මා අසලම ඇති අනෙක් පුටුවට පැමිණ එහි ඇන්දට බර වුවාය.

“මට තාම පුදුමයි. මම දැකලා තිබ්බෙත් පින්තුර වලින් විතරයි,අන්කල් වයසට ගිහින් ”

පිළිතුර ඉතා අසාර්ථක ලෙස ආරක්ෂාකාරී බවක් ඉසිලුවේය. ඒ ස්වරයේ; වචනවල ඇති නුහුරෙන්ම ඈ යමක් වටා පඳුරු තලන බව මට නොවැටහෙන්නට තරම් මෝඩයෙකු නොවේ මම!

ඇයට මෙම වත්තේ හතර මායිම හෝ එහි අයිතිය ගැන ඔතරම් උවමනාවක් ඇති බවක් මට වැටහෙන්නේ නැත. ඈ උවමනාවෙන් මගේ ප්‍රශ්නය මගහරින බවකි.

“ඔයා මිස්ට වාකිෂ්ඨට කිව්වද මම ඔයාට කියපු දේ?”

මධුලිකා මා දෙස පුදුමයෙන් මෙන් බලා, ගිරවෙකු සිය හිස හරවන්නාක් මෙන් දෙපසට හරවා මද වෙලාවක් යමක් ආවර්ජනය කළාය.

“…. මම කිව්වේ… මේක පිටිපස්සේ පොලිටික් වලට සම්බන්ධ…”

“මිස්ට වාකිෂ්ඨට මම කිව්වා. ඒ ගැන තීරණයක් අද හවස දෙන්නම් කියල”

මම එකවරම කුමක් කියන්නද යයි සිතාගත නොහැකිව ගොළු වුයෙමි.

“.. ඔයත් එක්කත් කතා කරලා”

වඩා පහත් හඬකින් ආ එම කොටස මහා ශබ්දයකින් මගේ සිත් විලේ පතිත වුයේ ගල් ගෙඩියක් පරිද්දෙනි. මා සමඟ??

“ඔ.. ඔව්.. හ්ම්ම්… මම පාස්පෝට් වැඩේ කරලා දෙන්නම්… දැන් බයවෙන්න දෙයක් නෑනේ… ස.. සමහර වෙලාවට මිස්ට වාකිෂ්ඨටම පුළුවන් වෙයි පාස්පෝට් වැඩටික කිසි ගේමක් නැතුව කරලා දෙන්න.. ඔයා අර ඔයාගේ කසින්ට කතාකරලා බලන්න අද.. වීසා ගන්න පුළුවන් උන ගමන් මට පුළුවන් ඔයාව කරදරයක් නැතුව එයාපෝට් එකට යනකල් ගෙනිහින් ඇරලවන්න”

මම අහසදෙස බලාගත්වනම කියාගෙන ගියෙමි. එහි වුයේ ඉතා යාන්ත්‍රික ස්වරයකි.

“ස-ර්..!”

සුන්දර් දොර අසලින් මෑත් වුයේ තේ බන්දෙසියක්ද අතැතිවය. ඔහුගේ මුහුණේ වෙනදාට වඩා බියක් මා කෙරෙහි ඇති බවක් මට වැටහුනේ ඔහු විසින් මා රවටනු ලැබුවා කියා දැනුන මොහොතේ මා කෙරෙන් විහිදුනු දවා හළු කරන බැල්මෙන් පසුව විය හැකිය.

මගේ අවසරයෙන් තේ බන්දේසිය කුඩා කනප්පුව මත තැබූ සුන්දර්ට සුන්දර සිනහවකින් සංග්‍රහ කල මධුලිකා ඉන් තේ කෝප්පයක් රැගෙන මට තේ පිළියෙළ කරන්නට වුවාය. සුන්දර් මදක් තාවර වනු මට පෙනුනි.


ඈ ඉවෙන් මෙන් මේ සියල්ල තේරුම් ගෙන ඉටුකරන්නේ ඇයි ? ඇගේ ඒ බුහුටි අතැඟිලි වල අමුතු රිද්මයක් මට පෙනෙන්නේ ඇයි? ඒ අතැඟිලි වල ඇති විදුලි කාන්දුව මෑතක සිට පවා මට දැනෙන්නේ කෙලෙසකද?

“ස.. සර්…”

“හ්ම්ම්? මොකද?”

“සමාවෙන්න සර්…”

සුන්දර් එකවරම මගේ හාන්සි පුටුවේ වූ කකුල් දෙක දෝතින් අල්වා මා අසලින් වැඳ වැටුනේය. මම උඩගොස් බිම වැටුනෙමි. තේ බන්දේසිය ඈතක නොවන්නට මම එයද පෙරලාගෙන නැගිටින්නට ඉඩ තිබිණි.

“පි.. පිස්සුද අයිසේ.. නැගිටිනවා!”

“මට සමාවෙන්න සර්.. මම තුන් හිතකින්වත් සර්ව රවට්ටන්න හිතාගෙන කරපු දෙයක් නෙවෙයි. අප්පා මැරෙනකොට මම පොඩි එකා. මම අවංක මිනිහා තමයි සර්. මේ මිස්ගේ ජීවිතෙත්, සර්ගේ ජීවිතෙත් වෙනුවෙන් ඒ ඔක්කොම කලේ. සල්ලි බලාගෙන නෙවෙයි ; දෙය්යම්පා!”

සුන්දර් බිමට නැඹුරුවූ මුහුණින් යුතුව කියවාගෙන ගියේ මගේ දෙපා අල්ලාගෙනමය. අපහසුවක් වුවද මම ඔහුගේ පාපොච්චාරයනට ඉඩ ලබා දුන්නේ එයින් මටද යම් සහනයක් ලැබෙනු ඇතැයි සිතීමෙනි.

“… මගේ අප්පා වැඩකලේ මේ මිස්ලාගේ අප්පාගේ වතුවල. අප්පා නැති උනාට පස්සේ අපිට ඉන්ඩ හිටින්ඩ තැනක් නැති උනාම අපිට උදව් කලේ පෙරකදෝරු මහත්තය තමයි. ඒ ඔක්කොටමත් වඩා මේ මිස්ගේ කතාව ඇහුවම, මම පෙරකදෝරු මහත්තයට පොරොන්දු උනා උදව්වක් කරන්න. සර්ගේ තිබ්බ ඒ බයනැතිකම නිසා ඒ ඔක්කොම වැරදුනේ නැහැ සර්… සර්ට මම පන උනත් දෙනවා. මේ මිස්ගේ ජිවිතේ වෙනුවෙන් මම ඕනේ දෙයක් කරනවා සර්.. මගෙන් වැරැද්දක් උනා නම් සමාවෙන්ඩ..”

“එහෙම එකක් නැහැ සුන්දර්..! උඹ කරපු දේ හරි. ඒ දවස්වල මට දැනුන නම් සමහරවිට මේ දේවල් වෙනස් වෙන්න ඉඩ තිබබා”

තවත් නොයෙකුත් දේ කීමෙන් අනතුරුව සුන්දර්ගේ සිත මදක් හෝ නිවෙන්නට ඇත. නැතහොත් මගේ කුකුල් කේන්තියෙ තරම දන්නා සුන්දර් මා ලවා සිය පව් සමාකරවාගන්නට ආවා විය හැකිය. ඔහුට වරදක් කිව නොහැකිය. ඔහුගෙන් පවා උපකාර ලබාගත්තේ ඒ විශ්වාසය නිසාමය.

මධුලිකා දිනකට මෙහි නතර කරවා යන්නට මගේ සැලසුමේ තිබුනද කුමක් හෝ කිව නොහැකි හේතුවක් නිසා එයට මගේ හිත හදාගන්නට නොහැකිවාක් මෙන් මට දැනේ. සිත විසිරී යන අළු ගොඩක් වැනිය. මම තාරුක අයියාගෙන් පණිවිඩයක් ලැබෙනතුරු නොඉවසිල්ලෙනි.

මම සුන්දර කැටුව වත්තේ කෙලවරට ඇවිද යාමට තීරණය කලේ හිතේ ඇති කැලඹිල්ල නිසාම වන්නට ඇත. සුන්දර් යම් තරමකට බියක් සමඟ නිහඬව මා පසුපසින් වැටුනේය. බංගලාවට පහලට වන්නට දිවෙන මාර්ගයේ උස් පස් කණ්ඩිය බංගලාව වටා දිය අගලක් මෙන් වටකොට සිටියේය. මම ඒ පාර දිගේ බංගලාව පසුපසට ඇති කුඩා පාරට ඇවිද යද්දී සුන්දර් මා පසුපසින්; මදක් ඈතින් එනු ඇසුනි. මම එකවරම නතරවී ඔහු දෙස බැලුවෙමි.

“එදා…. මෙහෙ අර මැරයෝ වගයක් ඉන්නවා කිව්වේ…. සුන්දර් ඇයි මට ඒ ගැන නොකිව්වේ?”

සුන්දර් එකවරම යමක් කියන්නට ගොස් එය වලකා ගත්තේය. අනතුරුව තත්පර දෙකකට පමණ පසුව රහසක් කියන්නට මෙන් දෙවුර හැකිලුවා මා දෙස බැලුවේය.

“සර්…. උන් ආවේ මමත් දන්නේ නැතුව… අර..”

“කාගේත් එක්කද? තනියෙන්?”

“නෑ.. ලොකු සර් එක්ක ඇවිත් තිබ්බේ. එදා රෑ අපේ ගෙදරට සර්පයෙක් ඇවිත් මම ඒක බලන්න ගිහින් එනකොට තමයි දන්නේ. මම එනකොට ලොකු සර්ලා මග යනවා”

“සර්ලා??? තව කවුද ආවේ?”

සුන්දර් පිට්ටු සිරවුණා සේ තැති ගත්තේය. මගේ ඇස් ගිනිබෝල වන්නට ඇත. ඔහු බියෙන් තොල් මැතිරුවේය.

“අ.. අනේ සර්.. මම දැක්කේ නැහැ හරියට….”

“මොනාද දැක්කේ නැත්තේ? කොයි හරියේදීද වාහනේ දැක්කේ?”

“අර.. මේ… දෙකේ වංගුව ගාවදි”

“උඹ බයවෙන්න එපා.. මුකුත් වෙන්නේ නැහැ.. ඩඩා ආවේ කාගේත් එක්කද කියනවා… මම උඹට මුකුත් කියන්නේ නැහැ.. කවුද ආවේ? උඹ අඳුනනවද?”

සුන්දර් දෙපසට හිස වනුවේ ‘නැහැ’ කියන්නට මෙනි. එය අර්ධ සත්‍යක් බව මට වැටහී හමාරය. සත්‍ය සඳහා බලකිරීම මෙතැනදී ක්‍රියා නොකරන බව මට වැටහී හමාරය. මම ඔහු දෙස යම් පමණකට නිවී ගිය බැල්මක් හෙලුවෙමි.

“…. අර ටීවී එකේ ඉන්න කෙනාද?”

මම ඉන් අදහස් කලේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන දුලිප් සතරසිංහ මැතිතුමාය. මම නොසිතු පරිදි සුන්දර් කැළඹුනේය.

“සර් කොහොමද දන්නේ ඒ මැඩම්ව!?”

“මැඩම්??”

මගේ හඬ වඩා උස්ව නැගෙන්නට ඇත. මොහු කියන්නේ මොනවාද ?

“.. මොන මැඩම්ද??????”

සුන්දර්ගේ තත්වය සෝචනීය විය. මම ඊට වඩා විශ්මයට පත්ව සිටියෙමි. දීර්ඝ හුස්මක් ඉහලට ගත් මම වහාම මගේ මොලයේ සුචිය හරහා ගමන් කලෙමි. මගේ අනුමානය නිවැරදිද?

“…. තමුසේ බයවෙන්න එපා.. ඇත්ත කියනවා.. ඩඩා එක්ක කවුරුහරි ගෑනු කෙනෙක් ආවාද?”

සුන්දර් එකවරම පිළිතුරක් දුන්නේ නැත. මගේ ඇතුලාන්තය මහා රකුසෙකු සේ කඩාපනින්නට සුදානම්ව සිටියද, කිසිවක් නොකියා සාමකාමිව සිටින්නට මම ඉගෙනගත්තේ කවරදා සිටදැයි මම නොදනිමි. මගේ අනුමානය නිවැරදි විය යුතුය.

“… හ්ම්ම්.. මම ඒ කියන ගෑනිව දන්නවා… “

“අනේ සර්.. ලොකු සර්ට නම් දැනගන්න ඉඩතියන්න එපා.. සර් දැක්කේ නැහැ මම දැක්කා කියල”

“මේ ගැන මිස්ට වාකිෂ්ඨ දන්නවද?”

“මම දෙය්යෝ අදහන කොල්ලා සර්. බොරු කියන්නේ නැහැ. කාටවත් කිව්වේ නැහැ සර්… ලොකු සර් ගැන වැරද්දක් කියන්න නැහැ සර්. කවදාවත් මම ඒ නෝනව සර් එක්ක දැකල නැහැ සර්. ටීවී එකේ ඇඩ් වලදී තමයි දැක්කේ”

මගේ සිහිය විකල් වන්නට ආසන්න විය. මේ කියන්නේ අන් කවරෙකුත් නොවේ… අනුලා අලස් විය යුතුය. තවත් ලෙසකින් කිවහොත් මධුලිකා දඩයමේ යෙදෙන මයිකල්ගේ බිරිඳයි. ඇගේත් , මගේ තාත්තාගේත් සැඟවුණු යටගියාවක් ඇති බවත් මගේ අම්මා ඒ ගැන තාත්තාට අනතුරු ඇඟවූ බවත් මට හොඳින්ම මතකයේ තිබේ.

මම දන්නා තරමට, තාත්තා සල්ලාලයෙකු හෝ නරක ගතිගුණ ඇති අයෙකු නොවේ. ඔහුගේ නම ගෑවී යන අතීතයක් ඇති ගැහැනියක සමග මෙලෙස වත්තට පැමිණ රහසේම පිටවයන්නට යම් ප්‍රභල හේතුවක් තිබිය යුතුය. එසේනම් එම මැරයින් සිට ඇත්තේ තාත්තාගේ අනුදැනුම පිට ; අනුලා අලස් ගේ මෙහෙයවීමෙන් විය යුතුය. එසේ නම් ඒ දුලිප් සතරසිංගගේ මැරයින් නොවේ!

වහා සැලසුමක් හිසේට නගාගත් මම මා දෙස වික්ෂිප්තව බලා සිටින සුන්දර් දෙසට හැරුනෙමි.

“සුන්දර්! උඹ මට උදව්වක් කරන්න ඕනේ… උඹ දන්නවනේ.. මගේ ළඟ නෑ සවුත්තු වැඩ…! ඒ වගේම මට උඹට වඩා ඒ වැඩේට විස්වාසවන්ත වෙන කවුරුත් ඇත්තෙත් නෑ”

“කියන්න සර්.. මං සර් වෙනුවෙන් පන උනත් දෙනවා”

මට අවැසි වුයේ ඒ වචන ටික පමණි.

********** මතු සම්බන්ධයි ***********
%d bloggers like this: