Menu Close

අපිටත් කෙහෙල්!

මොරීසියෝ කැතලාන්ගේ කෝටි දෙකේ කෙසෙල් ගෙඩි කලා නිර්මාණය පිළිබඳව පසු කම්පන තරංග තවමත් පැතිරෙනවා. ටේප් කළ කෙසෙල් ගෙඩි මේ වෙද්දී වෙළඳ දැන්වීම් කිහිපයකටම යොදාගෙන තිබෙනවා. ටේප් කළ කෙසෙල් ගෙඩි මුද්‍රණය කළ ටී ෂර්ට්, කෝප්ප, ගමන් මලු ආදිය දැනටමත් වෙළඳපොළට ඇවිත්.

මියාමි නගරයේ සනීපාරක්ෂක කම්කරුවන් ඇඳුම් වල කෙසෙල් ගෙඩි ටේප් කරගෙන තමන් අවම වැටුප් ලබමින් අමාරුවෙන් ජීවිතය ගැට ගහ ගනිද්දී ටේප් කළ කෙසෙල් ගෙඩියක් ඩොලර් 120,000කට විකිණෙන එක ගැන විරෝධතා දක්වනවා. කෙහෙල් ගෙඩියක් ටේප් කර ගත්තොත් අපේ වටිනාකමත් වැඩි වෙයිද කියා ප්‍රශ්න කරනවා.

ඇතැම් අය කෙසෙල් ගෙඩි ටේප් කරගෙන සෙල්ෆි ගසා සමාජ මාධ්‍ය වල පළ කරන රැල්ලකුත් ඇති වෙලා. බ්රූක් ශීල්ඩ්ස් විසින් ඇගේ මුහුණේ කෙසෙල් ගෙඩියක් ටේප් කරගෙන ඉන්ස්ට්‍රාග්‍රෑම් ඡායාරූපයක් පළ කර තිබෙනවා. බ්රූක් ශීල්ඩ්ස් ගැටිස්සි කාලයේ රඟ පෑ බ්ලූ ලැගූන් චිත්‍රපටය අසූව දශකයේ මුල කාලයේ ලංකාවේත් නැගලා ගිය “ඇඩම්ස් ඔන්ලි” චිත්‍රපටියක්.

කෙහෙල් ගෙඩියක් ටේප් කර ගත්තා කියා සනීපාරක්ෂක කම්කරුවෙකුගේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. මේ වෙලාවේ එවැන්නක් කළ විට වෙනදා නොලැබෙන අවධානයක්නම් ලැබෙනවා. ඒ වගේම, ටේප් කළ කෙසෙල් ගෙඩි මුද්‍රණය කළ ටී ෂර්ට්, කෝප්ප, ගමන් මලු ආදියටත් මේ වෙලාවේ තාවකාලිකව පොඩි වෙළඳපොළක් හැදී තිබෙනවා.

කෙහෙල් ගෙඩියක් ටේප් කරන එක ඕනෑ කෙනෙකුට කරන්න පුළුවන්. එහෙත්, එහෙම කළා කියලා ඩොලර් 120,000කට විකුණන්න බැහැ. ඒ මිලට විකුණන්න පුළුවන් වුනේ මේ කෙහෙල් ගෙඩි ටේප් කළේ මොරීසියෝ කැතලාන් නිසායි. ඔහු මේ කලා කෘතියේ පිටපත් තුනක්ම අලෙවි කළා. පිටපත් දෙකක් ඩොලර් 120,000කට අලෙවි වීමෙන් පසුව තෙවන පිටපතේ මිල ඩොලර් 150,000 දක්වා ඉහළ දැම්මා.

ඩේවිඩ් ඩටූනා විසින් ලෙලි ගසා කෑවේ බිලී සහ බියට්‍රිස් කොක්ස් විසින් මුදල් ගෙවා වෙන් කරගෙන තිබුණු දෙවන පිටපතයි. ඔවුන් ඇමරිකානුවන්. පළමු පිටපත මිල දී ගෙන තිබෙන්නේ ප්‍රංශ ජාතික සේරා ඇන්ඩල්මන් විසින්. අවසන් පිටපත මිල දී ගැනීමට කෞතුකාගාර දෙකක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙවැනි ඉහළ මිලක් ගෙවා මිල දී ගත්තත් කෙසෙල් ගෙඩියක් දින කිහිපකට වඩා නරක් නොවී තියා ගන්න බැහැ. ඒ නිසා, මේ “විකටයා” කලා කෘතිය මිල දී ගන්නා අයට දින දෙක තුනකට වරක් කඩේ ගිහින් අලුත් කෙහෙල් ගෙඩියක් මිල දී ගෙන ඇවිත් පරණ කෙහෙල් ගෙඩියට මාරු කරන්න පඩි ගෙවා පුද්ගලයෙක්ව තියන්න වෙයි.

ඇමරිකාවේ සුපර් මාර්කට් එකකට ගියාම ඩොලර් දහයකට අඩුවෙන් ඩක් ටේප් රෝලක් එක්ක කෙහෙල් ඇවරියක්ම මිල දී ගන්න පුළුවන්. කෙහෙල් ඇවරිය හා ඩක් ටේප් රෝලට විනාඩි දහයක පමණ ශ්‍රමය එකතු කළාම කැතලාන්ගේ වගේම කලා කෘති හත අටක්ම හදා ගන්න පුළුවන්. එක ළඟ තිබ්බොත් කාටවත් වෙනස හොයා ගන්නත් බැරිවෙයි. නමුත්, එහෙම හදන විකටයෙක්ව ඩොලර් දහයකටවත් විකුණන්න බැහැ. පුළුවන්නම් හැමෝම වැඩේට බහියි.

ධනවාදී ක්‍රමයක් යටතේ, නිදහස් වෙළඳපොළක මිල කියා කියන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන තැන. මිල කියා කියන්නේ භාණ්ඩයක වටිනාකම නෙමෙයි. වටිනාකම කියා කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක්. ඩොලර් 120,000කට හෝ වැඩි මිලකට කැතලාන්ගේ විකටයා පිටපත් තුනක් අලෙවි වුනා කියන්නේ විකටයාව අඩු වශයෙන් එපමණකට මිල කරන, විකටයාගේ අඩු වශයෙන් එපමණ වටිනාකමක් දකින පාරිභෝගිකයින් තිදෙනෙකු සිටින බවයි.

විකටයා පිටපතක සමතුලිත වෙළඳපොළ මිල මෙපමණ වැඩි එහි සැපයුම පිටපත් තුනකට සීමා කර තිබෙන නිසයි. පිටපත් දහයක් වෙළඳපොළට දැම්මානම් මිල මෙතරම් ඉහළ යන්නේ නැහැ. එසේනම් වෙළඳපොළ මිල වෙන්නේ දහවන ගැනුම්කරු මෙයට දෙන වටිනාකමයි. විකටයා මිල දී ගත් ගැනුම්කරුවන් තිදෙනාට, ලංකාවේ ඇතැම් පොත් ප්‍රකාශකයින් විසින් කරනවායැයි කියන ආකාරයට, කැතලාන් විසින් මෙහි අමතර පිටපත් හදා විකුණන්නේ නැති බවට විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා, මින් පසු විකටයෙකු අවශ්‍ය අයෙකුට මේ තිදෙනාගෙන් අයෙකුට මුදල් ගෙවා එහි පිටපතක් මිල දී ගන්න වෙනවා. බොහෝ විට වැඩි මුදලකට.

කලා කෘතියක් මිල දී ගැනීමේදීත්, සමාගමක කොටස් මිල දී ගැනීමේදීත් බොහෝ විට වෙන්නේ එක සමාන දෙයක්. අවස්ථා දෙකේදීම ගැනුම්කරුවෙකු විසින් මුදල් ගෙවන්නේ අනාගතයේ මිල වැඩි වෙන්න තිබෙන ඉඩකඩ දෙස බලාගෙනයි. විකටයා  තෙවන පිටපත ඩොලර් 150,000කට විකිණෙනවා කියන්නේ මුල් ගැනුම්කරුවන් දෙදෙනාගේ වත්කම් වල වෙළඳපොළ අගය මේ වන විටත් ඩොලර් 30,000 බැගින් ඉහළ ගොස් තිබෙනවා.

ටික කලකට පෙර අප ඇතුළු බොහෝ දෙනෙකු විසින් කතා කළ ඔක්ස්ෆෑම් ධනපතියන්ගේ වත්කම් වල සාමාන්‍ය ස්වභාවයත් මෙයයි. ලෝකයේ බිලියනපතියන් බොහෝ දෙනෙකුගේ වත්කම් වැඩි ප්‍රමාණයක් කොටස් හිමිකම් වුවත්, ඒ වත්කම් වලින් 0.5%ක් පමණ කලා කෘති බව පැවසෙනවා. කලා කෘති වල වගේම කොටස් හිමිකම් වලත් වටිනාකම තීරණය වෙන්නේ ඒවා දැනට අයිති කාටද කියන එක මතයි.

ඒ නිසා, කොක්ස් ජෝඩුව තමන් ඩොලර් 120,000ක් ගෙවා මිල දී ගත් විකටයාව මියාමි නගරයේ සනීපාරක්ෂක කම්කරුවෙකුට නොමිලේ දුන්නොත් ඒ වහාම එහි වටිනාකම ඩොලර් දෙක තුනකට අඩු වෙනවා. ඒ කම්කරුවාට කෙහෙල් ගෙඩිය ලෙලි ගහලා කන එක ඇර විකටයාව තියාගෙන වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. විකටයා වෙනුවෙන් වැඩි වටිනාකමක් ලබා ගන්නනම් නැවත එයට ලොකු වටිනාකමක් දෙන අයෙකු හොයාගෙන එය විකුණන්න වෙනවා.

බිල් ගේට්ස්ගේ මයික්‍රෝසොෆ්ට් කොටස් හිමිකම් හෝ මාක් සකර්බර්ග්ගේ ෆේස්බුක් කොටස් හිමිකම් තුන්වන ලෝකයේ දුප්පතුන් අතර බෙදා දුන්නොත් වෙන්නෙත් ඕකම තමයි. අයිතිය ඒ ආකාරයට වෙනස් වුවහොත්, ඒ වහාම ඔය වත්කම් වල අගය බිංදුවටම වැටෙනවා.

%d bloggers like this: