Menu Close

ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරීන්ගේ යෝජනා සහ ග්‍රාමීය ආර්ථිකයේ උභතෝකෝටිකය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය බොහෝ කාලයක පටන් ශ්‍රී ලංකාව තුළ පැවතිය ද එය අවභාවිත වීම ආරම්භ වූයේ 2004 වර්ෂයේ දී පමණය. ඒ සඳහා මූලික හේතුවක් වූයේ 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මෙරටට ලැබුණු ආධාර, ක්ෂුද්‍ර මූල්‍ය ණය කටයුතු සඳහා යොදවා ගැනීම හරහා ය.

එහෙත් 2004 වර්ෂයට පසු මෙරට පාලනය කළ රාජපක්ෂ ආණ්ඩුව එම පිළිලය වර්ධනය වීම වැළැක්වීම සඳහා කිසිදු පියවරක් ගත්තේ නැත. පැහැදිලි ලෙසම ඔවුන්ට සිය පාලන කාලය තුළ ක්‍රමෝපායික හා ප්‍රතිපත්ති සහගත ලෙස මෙම ගැටලුවට මැදිහත් වී ඉතාම ඵලදායි ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය පවත්වාගෙන යාමට හැකියාවක් තිබුණි. කෙසේ හෝ මෙම ගැටලුව ආරම්භ වූ මූලික අවස්ථාවේදීම එය විනාශ කර දැමීමට හැකියාවක් තිබූ රාජපක්ෂ රජය වර්තමානයේ සිය ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හරහා මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙනවා යැයි පැවසීම සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශය තරමට ජුගුප්සාජනකය.
විමසිලිමත්බවක් නොමැති ගැලරියට මෙම කතා අලුත්ය. ප්‍රගතිශීලී මැදිහත්වීමය. කෙසේ හෝ දේශපාලන නියෝජිතයන් මෙම ගැටලුවට අවධානය යොමුකිරීම වැදගත් ය. එහෙත් ඔවුන් මෙම ගැටලුවට මැදිහත්වෙමින් ප්‍රකාශ කරන්නේ ණය සම්පූර්ණයෙන්ම කපා හරින බව ය. එහෙත් ණය සම්පූර්ණයෙන්ම කපා දැමීම කළ නොහැක්කක් බව අප විසින් අවස්ථා ගණනාවක දී පෙන්වා දී ඇත.
තත්ත්වය මෙසේ වන විට උදාවී ඇති අපූරු අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරීන් සිය යෝජනාවලියක් ඉදිරිපත් කොට ඇත. එසේ හෙයින් මැතිවරණ වේදිකාවල කිසිදු ප්‍රායෝගික තත්ත්වයක් සලකා බලා ප්‍රකාශ නොකරන ගැලරි කතාවලට අවස්ථාව ලබා දෙනවාට වඩා මෙම යෝජනාවලිය විග්‍රහ කර බැලීම වැදගත්ය. (මේවා ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපතිවරණයට පෙරය.)
මෙහිදී ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරිකයින් විසින් කොටස් දෙකක් යටතේ යෝජනා ඉදිරිපත් කරනු ලබයි. ඒ වහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා සහ දිගුකාලීන යෝජනා වශයෙනි. එහිදී ඔවුන් මූලික වශයෙන්ම ඉදිරිපත් කරනු ලබන කාරණය නම් ණය කපා හැරීමයි. එය ඔවුන් සිය යෝජනාවලිය තුළ ඉදිරිපත් කර ඇත්තේ මෙසේය.

  1. “ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදයට මූලික හේතුව සමාගම් විසින් හිතුමතේ අතිවිශාල පොලී සහිතව කිසිදු නියාමනයකින් තොරව ණය නිකුත් කිරීම වේ. එබැවින් මෙසේ රජයේ නිර්මිත පොලියට පිටින්, අනුමත මූලික ප්‍රමිතීන් පවා අනුගමනය නොකරමින් නිකුත් කරන ලද සියලු ණය කපා හැරීමට පියවර ගැනීම.”
    සැබෑ ලෙසම ක්ෂුද්‍ර මූල්‍ය ගැටලුවේ ඇති මූලිකම හරය නම් ණය සදහා අය කරන ලද අධික පොලියයි. මෙම ගැටලුව නිර්මාණය කරනු ලබන්නේ එම අධික පොලී මුදල විසිනි. උදාහරණයක් ලෙස සඳහන් කරන්නේ නම් 27% ක පමණ සිට 220% දක්වා වූ පොලී අනුපාත මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් අයකරනු ලබයි.
    මෙහි ගැටලුව වන්නේ අධික පොලිය මිසක ණය ලබාදීම නොවේ. අනෙක් කාරණය නම් මෙම ණය ලබාගත් පිරිස් වෙත මෙම ආයතන විසින් ණය ලබා දෙනු ලබන්නේ බලහත්කාරයෙන් ද නොවේ. එසේම එම ණය මුදල් ලබාගෙන මොවුන් විසින් ස්වකීය අවශ්‍යතාවද ඉටු කොට ගෙන ඇත. ඒවා ප්‍රතිලාභී ආයෝජන වන්නේ ද නොවන්නේ ද යන කාරණය ද්විතීයිකය.
    එසේ හෙයින් අය කරගත් අධික පොලිය කපා හැර එම අධික පොලිය හරහා අයකරගත් ණය ප්‍රතිපූරණය කිරීම ණය සම්පූර්ණයෙන්ම කපා දැමීමට වඩා වැදගත් වන්නේ යැයි අපි සිතමු. පොලිය හරහා ණය ප්‍රතිපූරණය කිරීමේ ක්‍රියාවලිය තුළ එක්තරා ආකාරයකට ණය මුදල කැපී යාම ද සිදුවිය හැකි ය. අප ක්ෂේත්‍ර චාරිකාවලදී අනාවරණය වූ ආකාරයට මේ වන විට බොහෝ දෙනා තමා ලබා ගත් ණය ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක අධික පොලියක් ගෙවා ඇත.
    එසේම අනාවරණය වූ කාරණාවලට අනුව රජය විසින් නියම කර ඇති පොලී අනුපාතයට වඩා බොහෝ අඩු පොලී අනුපාතවලට ද ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ණය ලබා දී ඇත. එවිට නිවැරදි ලෙස මෙම ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමයේ තුළ නියැලුණු ආයතනවලට ණය සම්පූර්ණයෙන් කපා දැමීම හරහා සිදුවන්නේ අසාධාරණයකි. එසේ හෙයින් අප සිතන ආකාරයට ණය මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරීමට වඩා වැදගත් වන්නේ ගෙවූ පොලිය මත ණය මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමේ ක්‍රියාවලියකි.
    ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරීන් යෝජනාවලියේ දෙවන යෝජනාව මෙසේ ඉදිරිපත් කරයි.
  2. “ණය කපා හැරීම සමාගම්වලට දෙන සහනයක් නොවිය යුතුයි: මෙම සමාගම් දැනටමත් අයුතු ධනවත්වීම සිදුකර ඇති බැවින් මෙම අසාධාරණ ණය හා පොලී ගෙවීමට ජනතාව හෝ රජය බැඳී නොසිටි. මෙම ණය රජය විසින් ජනතාවගේ බදු මුදල් යොදවා ගෙවා දැමීම නොකළ යුතුය.”
    මෙම යෝජනාවේ ද ඇතැම් කරුණු ප්‍රශස්ත කරුණු ලෙස සැලකිය හැකි ය. මේ වන තෙක් රජය විසින් සිදු කරනු ලැබුවේ ණය කපා හැර එම මුදල් රජය විසින් ආයතනය වෙත පියවනු ලැබීමයි. එනම් දැනට සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂි කර්මාන්තය වැනි සෑම ක්ෂේත්‍රයක් සඳහාම රාජ්‍යය වියදම් කළ යුතු මුදලින් කොටසක් මෙම ආයතනවල ණය ප්‍රතිපූර්ණය කිරීම සඳහා ලබා දෙනු ලැබීය. කෙසේ වෙතත් වර්තමානය වන වන විට රජයේ එම තීරණය දෙපාර්ශ්වය කෙරෙහිම විශාල තර්ජනාත්මක බලපෑමක් සිදු කෙරෙමින් පවතී.
    අප ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුවල නිරත වන මූල්‍ය සමාගමක විධායක නිලධාරියෙකු සමග කළ සාකච්ඡාවකදී ඔහු පැවසූයේ රජය විසින් කපා දමන ලද ණයවල සම්පූර්ණ මුදල් එම ආයතන වෙත ලබා දෙනු ලබන්නේ තවත් වසර පහකින් පසු බවයි. ඒ අනුව ඔහු අප වෙත පැහැදිලි කර සිටියේ රජයේ මෙම ප්‍රතිපත්තිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සේම මූල්‍ය ආයතනවලට විශාල බලපෑමක් සිදුව ඇති බවයි. එසේ ම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී සිටියේ මෙම ණය කපා හැරීම රජය විසින් විශේෂයෙන් තෝරා ගනු ලැබූ පිරිසක් සඳහා සිදුකළ බවයි. ඒ අතර රජයේ අමාත්‍යවරයකුට අයත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයකින් ණය ලබාගත් පුද්ගලයන් ද විශේෂ කොට දක්වා ලූ බව ඔහු සඳහන් කර සිටියේය. ඒ අනුව මෙතෙක් ණය කපා හරිනවා යැයි පවසා සිදු කර ඇත්තේ සම්පූර්ණ දේශපාලන වුවමනා ඉටුකර ගැනීමකි. එසේ හෙයින් මහජන මුදලින් ණය කපා දැමීම සිදු නොකරනු යැයි යෝජනා කිරීම ප්‍රශස්ත කරුණකි.
    ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරීන්ගේ තුන්වන යෝජනාව මෙසේය.
  3. “රාජ්‍ය-මූලික සහන මූල්‍ය ආධාර: ග්‍රාමීය ආර්ථිකයේ කඩා වැටීම සහ ජීවනෝපායන් අහිමිවීම ණය අර්බුදයට මූලික හේතුව ලෙස හඳුනාගත හැකි බැවින්, නැවතත් අන්තරාදායක ණය වෙත යෑම වැළැක්වීම පිණිස කෙටිකාලීනව ඔවුන්ගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට ගෙන ඒමට හා අඛණ්ඩව පවත්වාගෙන යාමට ජීවන වියදම් සඳහා සහනයක් සලසන සහනාධාර අවශ්‍ය වේ.”
    බැලූ බැල්මට මෙය ඉතාම සාධාරණ ඉල්ලීමක් ලෙස පෙනී ගිය ද මෙය හරහා සිදුවන්නේ ඉහත දෙවන ඉල්ලීම අවලංගු වී යාමකි. දෙවන ඉල්ලීමේදී ඔවුන් සඳහන් කරන්නේ මේ සඳහා ජනතාවගේ බදු මුදල් වැය නොකරන ලෙසයි. එහෙත් ඔවුන් තෙවන ඉල්ලීමට පැමිණෙන විට මෙම ගැටලුවේ බරපතළකම පෙන්වා දී වෙනත් ආකාරයකින් ජනතාවගේ බදු මුදල් ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය සමනය කිරීමට ඉල්ලයි. මෙය පරස්පර විරෝධීය. එසේම මෙය එක් ණය පියවීමක් සඳහා තවත් ණයක් ලබාගැනීම වැනිය. එසේම මෙය තවත් ආකාරයකට ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ට ස්වකීය වගකීම පිළිබඳ අමතක කර දැමීමට උනන්දු කිරීමක් වැනිය. අතිශය සරල කාරණය නම් ණය ලබාගත්තා නම් එය ගෙවා දැමිය යුතුය. අවම තරමින් ඒ සඳහා වන සැබෑ උවමනාවක් හෝ උත්සාහයක් ද තිබිය යුතු ය. එවැනි උත්සාහයක් සහ උවමනාවක් එම ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ට තිබූ බව අප මීට පෙර එම ප්‍රදේශවල කර සංචාර වලදී පැහැදිලි විය.
    මෙහිදී අප අදහස් කරනු ලබන්නේ රජය මොවුන් වෙනුවෙන් කිසිදු මැදිහත්වීමක් සිදු කළ යුතු නොවේ යන්න නොවේ. එනම් රජය විසින් මෙම යෝජනාවට වඩා ප්‍රශස්ත මැදිහත්වීමක් සිදු කළ යුතුය. මෙම යෝජනාව බඩගින්නට මාලුවෙක් ලබාදීමට සමාන කළ හැක. එහෙත් සිදුකළ යුතු වන්නේ බිලී පිත්තක් ලබාදීම බව අවධාරණය කළ යුතු වෙයි.
    ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරීන්ගේ හතරවන යෝජනාව මෙසේය.
  4. “රාජ්‍ය මූල්‍ය සේවාවල සමාජීය කාර්යය ශක්තිමත් කිරීම: රාජ්‍ය මූල්‍ය ආයතන තුළින් අඩු ආදායම් ලබන ජනතාවට අවශ්‍ය මූල්‍ය සේවා ලබාගත හැකි පරිදි රජයේ බැංකුවල සමාජ කාර්යභාරය ශක්තිමත් කිරීම. ජනතාවගේ අරමුදල් මේ වන විටත් ඒකරාශී වී ඇති සමෘද්ධි, සණස හා ග්‍රාමීය බැංකු ඇතුළු අනෙකුත් බැංකුවලින් දිළිඳු ජනතාවට ණය ගැනීමේ දී පවතින බාධාවන් හා සීමාවන් ලිහිල් කිරීම. මෙම සේවාවන්ගේ මූලික අභිප්‍රාය ලාභය උපරිම කරගැනීම නොවිය යුතුය.”
    ක්ෂුද්‍ර මූල්‍ය ගැටලුව ජන ජීවිතය බිලිගැනීමට හේතු වූ ප්‍රධානතම සාධකය ලෙස මෙම යෝජනාව හරහා මතු කරන්නා වූ රාජ්‍ය මූල්‍ය සේවාවන් විසින් සාමාජීය කාර්යය ඉටු නොකිරීම දැක්විය හැකිය. ග්‍රාමීය ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙත වැඩි වශයෙන් යොමුවීමට හේතුවූයේ රාජ්‍ය මූල්‍ය සේවාවන් වෙතින් සිය අවශ්‍යතා ඉටුකර ගන්නවාට වඩා වැඩි පහසුවකින් පෞද්ගලික ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා එම සේවාවන් සපයා ගැනීමට හැකි වීමයි. උදාහරණයක් ලෙස රාජ්‍ය මූල්‍ය සේවාවන්ගෙන් ණයක් ලබාගැනීමට විවිධ කොන්දේසීන් සහ අවශ්‍යතාවන් සැපිරිය යුතු ය. සාපේක්ෂව බලන කල ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල එම කොන්දේසි ඉතා අවමය. බොහෝ විට ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වෙතින් ණයක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන්නේ තිදෙනකුගේ එකතුවීමක් පමණි. ඉන් පරිබාහිරව ආදායම් තත්ත්වයන් හෝ වෙනත් කිසිදු කරුණක් ඔවුන් විසින් සලකා බලනු ලබන්නේ නැත.
    ඒ හේතුවෙන් රාජ්‍ය මූල්‍ය සේවාවන් සමාජ සුභසාධනය අවශ්‍යතාවන් වෙනුවෙන් ඉලක්ක ගත කිරීම වැදගත්ය. එසේම අප වැලිඔය ප්‍රදේශයේ කළ සංචාරයකදී අනාවරණය වූයේ සණස වැනි සමාජ සුභසාධන මූල්‍ය ආයතනද මෙම ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යසනය පතුරුවමින් සිටින බවයි. එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සණස සමිතිය විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිව සිටින කාන්තාවන් වෙතට පැමිණ ඔවුන්ගෙන් බලහත්කාරයෙන් ලියුම් ලබාගෙන නිවෙසේ ගෘහ භාණ්ඩ හා උපකරණ රැගෙන යාමට ද උත්සාහ දරා ඇත.
    ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරීන් ඉදිරිපත් කරනු ලබන අනෙකුත් යෝජනා මේ ආකාරයට වේ.
  5. “ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය: ලාභ ලැබීමේ අරමුණ සහිතව ක්ෂුද්‍ර මූල්‍ය ස්වරූපයේ ණය ලබාදෙන සියලූ සමාගම් ලියාපදිංචිය අනිවාර්ය කරමින්, එම සමාගම්වල පොලිය සහ ක්‍රියාකාරිත්වය නියාමනය කිරීම, ඒවා පිළිබඳ මහජන පැමිණිලි භාරගැනීම, ඒවා විමර්ශනය කිරීම සහ එවැනි සමාගම් සම්බන්ධයෙන් ලියාපදිංචිය අහෝසි කිරීමද ඇතුළත්ව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ බලය සහිත රාජ්‍ය ව්‍යුහයක් නිර්මාණය කිරීම. මෙවැනි නිසි නියාමන ව්‍යුහයක් ක්‍රියාත්මක කරන තෙක් අවිධිමත් ආකාරයෙන් ණය නිකුත් කරන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරිත්වය අත්හිටුවීම.”
  6. “මූල්‍ය සේවා ලබාගන්නා පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන රාජ්‍ය ආයතනයක්: ණය අයකර ගැනීම සඳහා සමාගම් විසින් සිදුකරන පීඩාවන් වහාම නැවැත්වීමට පියවර ගැනීම, පීඩාවන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම හා ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා ගම් මට්ටමින් රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම. සමාගම් විසින් නීති පියවර ගන්නා ලද වින්දිතයින් සඳහා නීති ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම.”
  7. “ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයින් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම: ණය කපා හැරීමෙන් පසු ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛනයට ( Credit Information Bureau (CRIB) ) දැනට ඇතුළත් කර ඇති ණය ගෙවීමට අපොහොසත් වූවන්ගේ නම් ඉවත් කිරීම හා අනාගතයේදී ප්‍රතිපත්තියක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවීමට අපොහොසත් වන්නන්ගේ නම් CRIB
වෙත ඇතුළත් නොකිරීම.”
මෙකී කාරණා සියල්ලම එක්ව ගෙන සාකච්ඡා කළ හැකිය. මක්නිසාදයත් මෙම කරුණු කිහිපයටම පාදක වී ඇත්තේ රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් විරහිත ක්‍රියා කලාපය බැවිනි. ලිපියේ මුලින් සඳහන් කර ඇති ආකාරයටම රජය විසින් මූලික අවස්ථාවේදී මෙම තත්ත්වය පාලනය කිරීමට හෝ නියාමනයට කිසිදු පියවරක් නොගන්නා ලද අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු පිළිබඳව වගකීම්සහගත ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුවද මේ සම්බන්ධව කිසිදු පියවරක් නොගන්නා ලදි. 2016 වසරේ මුල්වරට ක්ෂුද්‍ර මූල්‍ය පනතක් මෙරට ස්ථාපිත කරනු ලැබූ අතර එයින් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය ඒකකයක් පිහිටවනු ලැබූ නමුදු එම ඒකකය මේ වන විට ක්‍රියාත්මකවන්නේ නැත. මහ බැංකුවට අනුව එම ඒකකය මේ වන විට බැංකු නොවන මූල්‍ය හා කල්බදු අංශය යටතට පත්කොට ඇත. කෙසේ වෙතත් අප ලිපිය ලියන මොහොතේ එම අංශය වෙත දුරකථන ඇමතුම් ලබා දුන්නද ඔවුන් දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.
ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියට අනුව ලිපිය ලියන මොහොත වන විට (2019/11/06) මහ බැංකුවේ ලියා පදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගණන තුනකි. (සබැඳිය බලන්න. – https://www.cbsl.gov.lk/en/authorized-financial-institutions/licensed-microfinance-companies අප මීට ප්‍රථම අවසන් ලිපිය ලියන මොහොතේද මේ දත්ත මේ ආකාරයටම විය.) එම ආයත තුන නම්,
1’Berendina Micro Investments Company Limited (44/3, 3rd Floor, Narahenpita Road, Nawala.&
2′ Lak Jaya Micro Finance Limited (386 B/1/1; First Floor, High-level Road, Pannipitiya)
3′ Dumbara Micro Credit Limited (47, Negombo Road, Mirigama)
කෙසේ නමුත් නොනිල ලෙස ගණන් බලා ඇති අන්දමට ශ්‍රී ලංකාව පුරා විසිරුණු ක්ෂුද්‍ර මූල්‍ය ආයතන තුන්දහසකට අධික ගණනක් ඇත. එහෙත් එම ආයතන නියාමනය කිරීමේ හෝ අධීක්ෂණය කිරීමේ කාර්යයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු නොලබයි.

මේ ආකාරයට කිසිදු නෛතික රාමුවක් මඟින් ආවරණය නොවන්නා වූ සහ නියාමනය නොවන්නා වූ අතිවිශාල ගණනක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හිතුමතේ කටයුතු කිරීම අරුමයක් නොවේ. එසේම මෙම ආයතන හරහා සිදුවන විවිධාකාර හිංසනයන් පිළිබඳව පැමිණිලි කිරීමට මහජනතාවට අවස්ථාවක් නොලැබෙන බව අපට දැකගත හැකි විය.
ඇතැම් ප්‍රදේශවල මෙම ආයතනවලින් සිදුවන හිරිහැරවලට සාධාරණයක් ඉටුකොට ගැනීම තබා ඇතැම් පොලිස් ස්ථාන වලින් එම ජනතාව සිදුකරන සිදු කරන පැමිණිලි පවා ලියා ගැනීම ප්‍රතික්ෂේප කොට තිබුණි. ඒ එම ප්‍රදේශවල ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ප්‍රධානීන් සතු ව පැවති සිවිල් බලය යොදවා ගෙන පොලිස් නිලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කරන්නන් තමන්ට උවමනා ලෙස ක්‍රියා කරවා ගැනීමේ හැකියාවක් පවතින බැවිනි.

එම කරුණු එසේ වීමට සෘජු හේතුවක් වූයේ ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් වන විශේෂ නීතියක් හෝ ඒ සම්බන්ධව ක්‍රියාත්මක වන විශේෂ ආයතනයක් නොමැති බැවිනි. එසේ හෙයින් පොලිස් නිලධාරීන්ට සහ නීතිය ක්‍රියාත්මක කරන්නන් ද සිය හිතු මනාපයට හැසිරීමේ අවකාශයක් උදා වී ඇත. එම නිසා මේ සම්බන්ධව නෛතික රාමුවක් තුළ ක්‍රියා කළහැකි රාජ්‍ය ව්‍යුහයක් ආරම්භ කිරීම අතිශය වැදගත් කාරණයකි.

මෙම ඉක්මනින් ක්‍රියාත්මක කළයුතු යෝජනාවලට අමතරව, දිගුකාලීන යෝජනාවන්ද ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කර ඇත.
  1. වසර 40ක ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක ආපසු හැරවීම: ක්ෂුද්‍ර මූල්‍ය ණය ඇතුළු ග්‍රාමීය ණයගැතිභාවය සඳහා ප්‍රධානතම හේතුව ග්‍රාමීය ආර්ථිකයේ කඩා වැටීමයි. එය පසුගිය වසර 40 කට ආසන්න කාලයක් තුළ අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තීන්ගේ ප්‍රතිඵලයකි. එබැවින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවමින්, ග්‍රාමීය ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන හා ජීවනෝපායන් නගා සිටුවන සාර්ව ආර්ථික ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කිරීම.
  2. සුළු නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම: දිගුකාලීනව ග්‍රාමීය දුප්පත්කම හා කාන්තාවන්ගේ ණයගැතිභාවය තුරන් කිරීම සඳහා ග්‍රාමීය ආර්ථිකයේ පදනම වන සුළු පරිමාණ කෘෂිකර්මාන්තය, ධීවර, ග්‍රාමීය කර්මාන්ත වැනි ක්ෂේත්‍ර සඳහා වන අයෝජනයන් වැඩි කිරීම තුළින් ග්‍රාමීය ජනතාවගේ (විශේෂයෙන් කාන්තාවන්ගේ) ජීවනෝපායන් ගොඩනැංවීම.
  3. කාන්තා සමුපකාර සමිති පිහිටුවීම: ග්‍රාමීය කාන්තාවන්ගේ ණය අවශ්‍යතා සැපිරීම සඳහා කාන්තා සංවිධාන හා රාජ්‍ය බැංකු ඒකාබද්ධ වූ අඩු පොලී සහනදායී ණය ක්‍රියාවලියක් දියත් කිරීම. මෙහිදී සැලසුම් කිරීම් හා තීන්දු ගැනීම් ව්‍යුහයන් තුළ කාන්තා සහභාගිත්වය තහවුරු විය යුතු අතර, ලාභය නැවත ප්‍රජාව තුළටම ආයෝජනය වන ක්‍රමවේදයක් මත පදනම් විය යුතුය. සුළු පරිමාණ නිෂ්පාදකයින්ට හා කාන්තාවන්ට රාජ්‍ය බැංකු හරහා සහනදායී ණය ක්‍රමයක් ගොඩනැගීම.
  4. පුද්ගල මූලික ව්‍යවසායකත්වය වෙනුවට ප්‍රජා-ව්‍යවසායකත්වය: තනි තනි තැනැත්තන් වෙත ණය ලබාදීම වෙනුවට සාමූහිකයන් නිර්මාණය කරමින් එකී සාමූහික වෙත මුදල් ආයෝජනය කිරීම තුළින් ප්‍රජාවේ සාමූහික ආර්ථික ක්‍රියාකාරිත්වයන් මත පදනම් වූ සැලසුම් සහගත ග්‍රාමීය ආර්ථීක ප්‍රවර්ධන වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම.
  5. ‘පොදු දේ’ සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීම: ජනයාගේ ජීවනෝපායන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ඉඩම්, බීජ, ජලය, වෙරළ තීරය, වනාන්තර වැනි ස්වාභාවික සම්පත්වල අයිතිය හා වෙළෙදපොළ ප්‍රවේශයන් තහවුරු කිරීම.
  6. විශ්වීය පොදු සේවා මූලික අයිතිවාසිකම් ලෙස තහවුරු කිරීම: ජනතාවගේ මූලික අයිතිවාසිකම් විය යුතු සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය ඇතුළු ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස ව්‍යවස්ථාපිත කිරීම හා ඒ සඳහා වන රාජ්‍ය ආයෝජනයන් වැඩි කිරීම.
  7. සමාජ ආරක්ෂණ වැඩසටහන් ස්වාධීන කිරීම සහ යාවත්කාලීන කිරීම: දිළිදුම ජනකොටස්වල මූලික අවශ්‍යතා සැපිරීම සඳහා විය යුතු සමාජ ආරක්ෂණ වැඩසටහන් (සමෘද්ධි වැනි) හා ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් (ග්‍රාම ශක්ති) දේශපාලන බලපෑම්වලින් තොරව, ජනතාවගේ අවශ්‍යතාවන් සැපිරිය හැකි මට්ටමින් ලබාදීමට කටයුතු කිරීම. එම වැඩසටහන් හරහා දිළිඳුකම තුරන් කිරීමට ඇති හැකියාව පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා පසුවිපරමක් සිදු කිරීම මගින් නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම.
අප නිරන්තරයෙන් ප්‍රකාශ කළ පරිදි ක්ෂුද්‍ර මූල්‍ය ණය යනු කිසිදු විටෙක බැහැර කළ යුතු විනාශකාරී ක්‍රමවේදයක් නොවේ. එය අතිශය සාර්ථක සහ ප්‍රතිඵලදායී ලෙස බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක වී ඇත. එය අධ්‍යයනය කර නියමු ව්‍යාපෘතීන් හරහා ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක කළ හැකිය. එය හරහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් ස්වයංජාත ග්‍රාමීය ආර්ථිකය බිහිකර ගැනීම වඩා පහසු සහ ප්‍රතිඵලදායි ක්‍රමයකි.

කෙසේ හෝ අවසානයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා යැයි ප්‍රතිඥා දුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස බහුතර ජනතාව විසින් තෝරා පත්කර ගත්තේය. දැන් ඔහු ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය විසඳන්නේ කෙසේද? වින්දිතයන් බලා සිටිනු ඇත.

රාවය 2019.11.23

%d bloggers like this: