Menu Close

156. කළු ගඟදිගේ . . . . . . 15

ඔරිජිනල්ම ගංගාරාමය . . !
ඒ වන විට අප යුගලය සිටියේ ගංගාවේ වංගුවක් අභියසය. ඉදිරිය පෙනුනේ මීටර කිහිපයක් පමණි. 

අප සිටි තැනට ඉහලින්  චෛත්‍යයක් හෙවත් ස්තූපයක් පෙනුණි. අප චෛත්‍යය දෙස බලා ගෙනම ඉදිරියට යාත්‍රා කලෙමු. මෙතෙක් අපගේ දෙසවනට ඈතින් ඇසුණු හෝ හෝව හෙවත් හඬ ඉමහත් නුදුරේම ඇසුනි. 

“මොකක්ද ඒ . . . . . ?” කවුරු කාගෙන් ඇසුවාදැයි මතක නැත.

“ඇල්ලක් වත්ද . . . . . . ?”

කියා කට ගන්නට නොහැකි වුණි. වංගුව අවසානයේ  එකවරම දිස් වූයේ මෙතෙක් අත් නොවිඳි තරමේ ඇල්ලකි!
අප බොහෝවිට  ගමන් කරණ්නේ  ගංගාවේ මැදින් නොව තරමක් එක් පසෙකට වන්නටය. මෙයට ප්‍රධාන හේතුව වන්නේ  දැඩි හිරු රෂ්මිය පවතින වේලාවේදී ගංගාවේ ඉවුරු මත පිහිටි විසල් වෘක්ෂ ගං දිය මත සළකුණු කරණ සෙවනැල්ලට මුවාවී ගමන් කිරීමට තරමක නොව බොහෝ නැඹුරුවක් අප තුල ඇති බැවිණි. 

ගඟේ එක් ඉවුර ආසන්නයෙන් අප ගමන් ගන්නා විට; ඉදිරියේ එම පසට හැරෙණ නැම්මක් වුවහොත් ඉදිරිය පෙනෙන්නේ ඉතා අල්ප වශයෙනි. මෙහිදී සිදුවූයේ වම් ඉවුර ආසන්නයේ ගමන් කිරීම මෙන්ම වමට හැරුණු නැම්මක හෙවත් වංගුවක් පැවතීමය. 

මේකත් දිවිය ලොකේ ඉඳන් ගත්තු එකක් . . !
ගූගල් සිතියම් වලින් බාගත කෙරුණු ඉහත ගුවන් සිතුවමේ දැක්වෙන්නේද; ගූගල් අනුග්‍රහයෙන් ලබා ගත් පහත දැක්වෙන ඡායා රූපයේද දැක්වෙන්නේ  නියං කාලයකදී ගඟේ ජල මට්ටම බොහෝ සෙයින් පහත වැටුණු කාලයකදී  ගබඩා  කරගත් සටහන් දෙකකි.

එදින සාමාන්‍යය දිනයකටත්  වඩා ගඟේ ජල මට්ටම බොහෝ සෙයින්    ඉහල ගොස් තිබුණි. එනිසාම පහත දැක්වෙන රූපයේ දැක්වෙන සෙයින් අහිංසක ලෙස පවතින කුඩා ඇල්ල එදින යක්ෂා වේශ වී තිබුණි.

මේක ගූගල් එකෙන් බාගත්තු එකක්. හිතාගන්නවත් බෑ මේ එතනද කියා. 


රත්නපුර සිට ගෙවා ආ කිලෝමීටර 50 කට ආසන්න දුර තුල ගංඟාව මෙතරම් අකීකරු වූ ස්ථානයක් තිබුනා දැයි සැක සහිතය. එය මහත්සේ රළු වී ඇත. 

මෙවන් ඇල්ලක් ගැන අප අන්දෝ සංසාරයක් දැන නොසිටියෙමු. කැඳ මාමා හෝ වෙනයම් කෙනෙකු මේ පිළිබඳව  ආසාවට වත් අපට කියා නොතිබුණි.
සැමදා වාගේම අප අළුත් ගංඟාවක  චාරිකාවක යෙදීමට පෙර තෙශාන්ත අප සියල්ලන් හටම පෙර දෙතුන් වතාවක් ගඟ දිගේ ගමනේ යෙදේ – ඒ ගූගල් මැප්ස් අනුසාරයෙනි. කළු ගඟ දිගේ මේ අප කරමින් සිටින චාරිකාවට ප්‍රථමද ඔහු එම කටයුත්ත නොපිරිහෙලා ඉටු කොට ඒ පිළිබඳව මා දැනුවත් කලේය.

ඔහුගේ දත්ත වලට අනුව නාරගල ඇල්ලෙන් පසුව කළුතරට යන තෙක් හමුවන ඇල්ලක් නොමැත! කළු ගඟේ අවසන් ඇල්ල වන්නේ නාරගල ඇල්ලයි.

එය එසේ සිදු වූයේ කෙසේද?

චන්ද්‍රිකා තාක්ෂණය මගින් ලබා ගත් ගූගල් සිතියම නිරීක්ෂණය කිරීමේදී ගංඟාවක පවතින ඇල්ලක් සුදු පෙන නංවමින් ගලා යනු දක්නට ලැබේ. මෙමගින් එය ඇල්ලක් බව නිගමනය කල හැකි වන්නේය. එහෙත් මෙම ඇල්ලේ එනම් දේවමුල්ල ශ්‍රී ගංඟාරාමය අසල ඇල්ලේ චන්ද්‍රිකා ඡායා රූපය තුල එවන් පෙන නංවමින් ගලානා ස්වභාවයක් නොදිස් වේ. 

එහෙත් මුළු ගඟාවම කුඩා කපොල්ලක් අතුරිණ් ගලා බසිනා ආකාරය දුටු වනම එය ජලය විදින නැසින්නක් නො එසේනම් ජෙට් ඒකක් සේ මහත් වේගයෙන් ජලය පිටවන සොරොව්වක් බව තෙශාන්ත විසින් හඳුනාගත  යුතුව තිබුණි.කුමන හෙතුවක් නිසා හෝ එය එසේ නොවී තිබුනි. 

අපට හැරෙණ්නට  ඉඩක් නොමැත. අපගේ යාත්‍රා ජල කඳට නතුව වේගයෙන් ඇදී යන්නට විය. 

ඇල්ල පිහිටියේ ගඟේ නැම්මකය. 

එය පදින්නන්හට තවත් අසීරු අවස්ථාවකට මං පෙත් විවර කරයි. මන්ද ඇල්ලේදී ජලයේ ගමන් මාර්ගය වෙනස්  වනවා මෙන්ම නැම්මේදී නො එසේනම් වංගුවේදී වඩාත් වෙනස් ලෙස ජල ධාරාවේ  හැසිරීමයි. එසේම මෙම තත්වය නිසාම ඇල්ල තරණය සඳහා අපට අවශ්‍ය ස්ථානයක් තෝරාගැනීමට ඇති ඉඩකඩ මුළුමණින්ම පාහේ ඇහිරී යයි.

අප ඇල්ල අසලට එන විට ගඟාව අයිනේ වූ ගල් තලාව මත සුදු ඇඳුමින් සැරසුණු දහම් පාසැල් ශිෂ්‍යයන් හත් අට දෙනෙක්ද කුඩා සාමනේරයන වහන්සේලා දෙතුන් දෙනමක්ද වැඩ සිටියහ. 
දහම් පාසලේ විවේක කාලයේදී ගඟ අසලට පැමිණ විවේකයට විනෝදයක් එක්කර ගැනීමට පැමිණි පිරිසක් ලෙස මා ඔවුන් හඳුනා ගතිමි.
මෙම හාමුදුරුවරු මෙම පන්සලේම අය විය යුතුය. මේ ලමුන්ද මේ අවටම පිරිසක් වියයුතුය. ඔවුන් මේ ගඟ පිළිබඳව මනා වැටහීමක්, දැනීමක්, අවබෝධයක් තිබිය යුතුමය.
ඇල්ල තරණය කල හැකි මාර්ගයක් පිළිබඳව සිතා ගත නොහැක.

ඇල්ල වෙතට වේගයෙන් ඇදෙන කයාකයේ සිට මා හාමුදුරුවන් වහන්සේලා ඇමතීමි.

“හාමුදුරුවනේ කොතනින්ද යන්න පුළුවන්?”

” – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – “

” හාමුදුරුවනේ කොතනින්ද යන්න පුළුවන්?”

” – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – “

හාමුදුරුවන් වහන්සේලා ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුනේ නැත!

සිද්ධිය මෙසේ වෙද්දී තෙශාන්ත මුල්කිරිගල හා පසිඳු අමරසිංහ රැගත් කයාකය  ගඟේ  මැදින් ඇල්ලට අවතීර්ණ කොට හමාරය.

මමත් සුදාත් පැදවූ කයාකය ගඟේ වම් ඉවුරට කිට්ටුවෙන් ඇල්ල දෙසට ඇදී යමින්ය. එම ඇදී යන වේගය සමග ඉදිරියටම යනවා විනා වෙන කලයුතු දෙයක් හෝ ගත යුතු අන් මගක් හෝ  නොවිනි. 

අපගේ විමසීම නිසා හෝ වෙන යම් හේතුවක් නිසා හෝ; ගඟ දිගේ ඇල්ලට ගලා එන යාත්‍රා දෙක දෙස ඇසිපිය නොහෙලා බලා සිටිනවා හැර; එතැන් සිටි හාමුදුරුවන් වහන්සේලා හට හෝ කොලු ගැටවුන් හට කරණ්නට කියන්නට දෙයක් තිබුනු බවක් පෙනෙන්නට නොතිබුනි.

කියන්නට දෙයක් වුනි නම් “ඒ අර බලහං හතර දෙනෙක් මැරෙණ්න එනවා!’ කියන එක පමණි.

ඇල්ලේ මැද භාගය දෙසින් අවතීර්ණවූ තෙශාලා වේගයෙන් ඇල්ල තුලට ඇදී ගියේය.

මා හට ඇල්ල පිළිබඳව කිසිදු අධ්‍යනයක යෙදෙන්නට අවස්ථාවක් නොවීය. ඇල්ලක් තරණයට පෙර එය කියවා ගත  යුතු.

බාධක පවතින ස්ථාන, ඒවා මග හැර ගමන් කල යුතු මාර්ගය, දිය වැලේ වේගය, පැදිය යුතු තැන හා නොපැදිය යුතු තැන, කයාකය පෙරලීමට හැකි ස්තානය හෝ කලාපය වැනි සියල්ලම නැතත් මින් අංග කිහිපයක් වත් ස්නා‍යු පද්ධතියට ඇතුළු කරගත යුතුවේ හෙවත් ස්කෑන් කරගත යුතු වේ!

එවිට ඇල්ලට පිළිපන් වහාම කයාකයේ හැසිරීම හොඳින් තේරුම් ගනිමින් තරණය කරගත හැකිවේ.

වංගුවකින් මතුව ආ විගස මුහුන දුන් ඇල්ල කියවනවා තබා හිතන්නටවත් කාලයක් අපට ඉතිරි නොකලේය.

මීට වසර 10කට පමන පෙර මා සතුව Nissan Patrol 160 කොටයක් හෙවත් Short Wheel Base රථයක් තිබුනි. එහි නොම්මරය වූයේ 32 ශ්‍රී 0865 ය. මෙය මාවෙත විකුණූ; එවකට පොලිස් ගරාජයේ සේවය කල පොලිස් පරීක්ෂක ගාමිණී විජේසුන්දර මහතා පැවසූ පරිදි එය අක්මීමන පොලීසියට අනුයුක්තව පැවති රථයය. 

දිනක් මා කඩවතින් හවස 5.13 ට පිටත් වී පොළොන්නරුව බලා ඉගිල්ලුනෙමි. පවුලෙ  ඉතිරි සාමාජිකයින් තිදෙනා සමග පියාඹා ගිය මා; හබරණ පසුකොට වනාන්තරය මැද; මාර්ගයේ දකුණු පස  පිහිටා ඇති පුල්ලෙයාර් දේවාලය අසල නවතන තෙක් කිසිදු තැනෙක නැවත්වූයේ නැත.

දේවාලයට සිරිත් පරිදි පඬුරක් දමා නැවත SD 33 – ඝන සෙන්ටි මීටර 3300 ක ධාරිතාවකින් යුත් ඩීසල් එන්ජිමේ  විනාඩියකට වට ගාන උපරිමට නංවමින් පිටත් වුනෙමි. 

එතැන් සිට ඇති කුඩා අනුක්‍රමණය ඔස්සේ එන්න එන්නම වේගවත් වූ රථය දෙවැනි ගියරයටද මා යොමු කලෙමි. 
වම්පස ඉදිරියේ තරමක විසල් ගසක් හා දකුණට වංගුවකි. කන්ද මුදුනට එනවිට රථයේ ගියර පෙට්ටියේ දැති රෝද සැකසුම වඩාත් වේගවත් තෙවැනි ගියර වේග අනුපාතයට සකස් කරමින්ම මා; මාගේ පවුලේ සාමාජිකයින් වෙත පැවසුවේ “කොහොමද වංගුව ගන්න කොට පාර මැද්දෙ අලියෙක්  වත් හිටියෝතින් . . .!?” කියාය. කියා කට ගන්නට බැරි විය.

පිළිගන්න ! 

හරියටම මහ පාර මැද විසල් තනි අලියෙක් අපදෙසට මුහුණ පා සිටගෙනය!

මෙම Nissan රථයට ජෙට් එකක් සේ ඉගිල යා හැකි වුවද නවතා ගැනීම තරමක දුර්වල අඩියක පවතුණි.

කලයුතු අන්  යමක් නොවීය ඇක්සලරේටරය අඩියටම පාගා අලියාත්; මාර්ගය හා  මහ වනාන්තරයත් වෙන් වන කාණුවත් අතරිණ්; අලියාට ගෑවී නොගෑවී විද්දෙමි.

නැවතත් මේ කයිවාරුව පිළිගන්න යැයි ඔබට පැවසීමට මට සිදුවේ. එදින මා Nissan Patrol 160 පොළොන්නරුවේ ලේක් විව් හෝටලය ඉදිරියේ නවතන විට වේලාව රාත්‍රී 8.13 ලෙස සඳහන්ව පැවතුනි.

එය මාගේ රියැදුරු ජීවිතයේ වාර්ථාගත හොඳම කාල වාර්ථාවන්ගෙන් එකකි. පැය තුනක් ඇතුලත් මා කඩවත සිට පොළොන්නරුව දක්වා පදවා තිබුණි. 

මේ වන විට 32 ශ්‍රී 0865 නොම්මරය පැළඳ සිටින්නේ ‍Y60 Long Wheel Base වාහනයක්ය!

මේ 2002 – 2003 කාලයෙදී එම අද්විතීය රථය වස්ගමුව මහ වනය තුලදී.

පිටුපස “පතියා” හෙවත් දිමුතු තිසුන් පතිරාජ (සේවා උපදේශක  -යුනයිටඩ් මෝටර්ස්)  
පහත කහ පැහැති ටී ෂර්ට් එකකින් සැරසී වසික (කැන්ගරු දෙශය)
 ඉතිරිය=දියණිය ! 
කාලය මැවු වෙනසක අරුමේ!

මෙදින  වංගුවෙන් මෑත්වීම සමගම අකීකරු ඇල්ලකට අනපේක්ෂිතව මුහුණ දීමට සිදුවීමත් ඒ හා සමානය. එදා මුහුණ දුන්නේ නොදැමුණු හස්තියෙකු හටය. මෙදා හස්තියකු වුව ගසා ගෙන යාහැකි ජල කඳකටය!

කයාකයේ ඉදිරියෙන් සිටින්නේ පිහිණීමට බැරි සුදාය. සුදා මේ ගමන යනවා කියා දන්නේ ඔහුගේ ප්‍රේමය පමනි!
අම්මලා තාත්තලා ඇතුළු ගෙදර උදවිය දන්නා දෙයක් නොමැත!

ප්‍රේමය පවා; සුදාගෙ මොළේ මේතරම් නහර ගැට ගැහී ඇති බවක් හෝ මේ ගමනේ ඇති නොම්මර එකේ ලාලිත්‍යය පිළිබඳව දැන සිටියා යැයි සිතිය නොහැක.

අප සමග ගං ඉවුරේ නවාතැන් ගත් සමහර අවස්ථාවලදී ගෙදර උදවියට අමතන විටදී ඔහු රඟපෑවේ මහ පාරේ ඉන්න ලෙසින් වාගේ මට මතකය! ( සුදා මම වැරදිද? වැරදි නං හිතේ තියාගෙන ඉන්නෙ නැතිව කියහං!)

මේ සියල්ලම අද මෙනෙහි කරණ විට විනෝද ජනක කථාන්දර වූවාට ඇල්ල අභියසදි  සිතට මොනතරම් වද දුන් කාරණාවක් වුනිද?

 සුදා මා හට තවත් එක් ගමන් සගයෙකු වූවාට;  ඇයට මහත්වූ ප්‍රේමයකි! ඔහුගේ අම්මාට තාත්තාට; තම ජීවිතයේ අවසන් කාලයේදී බලා කියාගන්නා ලොකු පුතාය. මිතුරණ් අතර හොඳ සහෘදයෙකි. 

ඇල්ලට තවත් එක් දියේ ගිලී පසුව පාවෙන වස්තුවක් පමණි. 

මා පිළිබඳව, මා ලියන දේ පිළිබඳව විශ්වාසය තබා පැමිණි නාඹර තරුණයා අපි තිදෙන කවුරුණ් දැයි කිසිදිනෙක මීට පෙර අධ්‍යයනයක යෙදී තබා පියවි ඇසින් දැක බලා හෝ නොමැත. 

ඔහු ඔහුගේ ජීවිතය; ඔහුගේ සිරුර වටා දැවටී ගත් ජීවිතාරක්ෂක කබායට හා මාගේ පලපුරුද්ද මත ලංසු තබා ඇත.

ඇත්තෙන්ම මහවැළියේ පරසිදු කිරි අම්මා ඇල්ල අභියස දී වත් මෙවන් චකිතයක් සිතට ගලා ආ වගක් මතකයට නොයේ.

හාමුදුරුවන් හා ළමුන් දෑස් අයා බලා සිටිමින්ය. ඔවුන්ගේ මුහුනේ කිසිදු ඉරියව්වක් නොමැතිව වියළී ගිය සේයාවකි. සියල්ල අයා ගත් මුවෙන් යුතුව දෑස් දල්වා බලා සිටිමින්ය.

කයාකය වේගයෙන් ඇදී ගොස් දිය මතු පිටට තරමක්  යටින් පිහිටි ගලක් මත ගැටී නතර විය.  එසේ නතර වූ කයාකය සෙමෙන් සෙමෙන් ගං දිය මත හරස් වෙමිනි. ඉදිරිපස ගල මත ගැටී නතර වූ පසු කයාකයේ පසු පස සෙමෙන් ඉදිරි පස පසු කරමින් භ්‍රමණය වීම සාමාන්‍ය තත්වයකි. ඒ ගල හා ගැටී නතර වූ ලක්ෂය වටා ජලකඳෙන් ඇති කරවන බල ඝූර්ණය හේතු කොටගෙනය. 

මෙහි ඇති වඩාත්ම භයානක තත්වය වන්නේ වේගයෙන් ගලන දිය වැලට, දිය පහරට, ඇල්ලට ලම්භකව නො එසේනම් හරස් අතට මුහුණදෙන කයාකය එකවරම පෙරළී යාමයි. 

මෙය සර්ෆින් වලදීද මා අත් දැක ඇත! සර්ෆ් බෝඩ් එක හෙවත් ලෑල්ල රැල්ලට  හරස් වූ සැනින් එය පෙරළීයාමට පටන් ගනී. එම පෙරළීමට යෙදෙන බලය හා රල මගින් වෙරළ දෙසට  වේගයෙන් ගමන් කරණ රළ  පහරේ බලයත් යන කාරනා කළමණාකරණය කිරීම “සර්ෆින්” වේ. (කියන්න කණගාටුය! ජයග්‍රාහී දෙවන වතාවටද මා සර්ෆින් කරණ්නට ගොස් දක්ෂලෙස පසු බැසීය!!)

අප කයාකය සමග හිරවූ තැනට දකුණෙන් වේගයෙන් ගලනා ජලකඳය! ඉන් ඔබ්බේ වූයේ  විසෲථ ලෙස දඟලන; අවුල්ව ගිය දිය රැළිවලින් ගහන අක්රමවත් ගං වියමනය!

කයාකය කරකැවෙන්නේ හෙවත් භ්‍රමනය වන්නේ මා වේගවත් ජල කඳට  යොමුවන පරිද්දෙන්ය.  තවත් මොහොතකදී මා රැඳි කයාකයේ පසුපස ජල කඳ විසින් නතු කර ගැනීමත් සමග කයාකය පෙරළීයාමට නියමිතය. පෙරළී යන කයාකය සුදාව, මාව හෝ අප දෙදෙනාම දිය කඳට යටපත් කරගෙන හිසට උඩින් ගමන් අරඹනු ඇත.  ඒ සමගම වේගයෙන් දිය යටින් ඇදී යන අප දිය යට පිහිටි ගල් වල දිය යට රැඳි අකුල් වල ගස් වල ගැටෙනු ඇත.

කයාකය ගල මත බොහෝ සෙයින්  කරකැවීමත් සමගම ඇල වෙන්නට පටන් ගනිමින් විය.
මේ මොහොතේ කල යුතුව ඇති හොඳම  උත්සාහය වන්නේ කයාකය පෙරලීයාමට ප්‍රථිවිරෝධීව කටයුතු කිරීමය. 

හබලක් ගැසීමට වේලාවක් නැත. කයාකය ගල මත හරස් වී ඇති අයුරිණ් ගඟ ගලන දිශාව අපගේ දකුණු පසින්ය. අප දියබත් වනවා නම් ඒ දකුණු පසට ඇද වැටීමෙන්ය. කයාකය ටිකෙන් ටික ඇලවන්නේද දකුණු පසටය.

මම දකුණු අතින් හබල අල්ලාගෙන ම වම් අතින් කයාකයේ වම්පස දාරෙයෙන් අල්ලා ගත්තෙමි. සුදාද එසේම කයාකය මත වමට බර වී; වම්පස දාරය අල්ලාගත්වනම සිටී. කයාකය දකුණට බර වත්ම අප කයාකය මත වමට බරවී නොසෙල්වී සිටිමින් විමු.

“කොල්ලෝ බය වෙන්න එපා! වැටුනත් හබල අත අරිණ්න එපා!! කේස් එකක් උනාට බය වෙන්න එපා!!!” 
(සුදා මම එහෙම කිව්වා නේද?)
මම මාගේ අවසාන විධානය, අවවාදය, ඉල්ලීම, දිරිය; කෑගසා ලබාදුනිමි!


තවත් තත්පර ගනනාවකදී ගල මතින් මිදුණු කයාකය පසු පස පලමුව දියට අවතීර්න වී මුළුමණින්ම ගල් මාට්ටුවෙන් මිදුනි! ඒ සමගම කයාකය පෙරකී අක්‍රමවත් ජල වියරුවට  කයාකය පසු පසට ගමන් කරමින් අවතීර්ණවිය.

“උඹ නිකා හිටාං . . !”

මා සෙමෙන් කයාකය හරවා ගැනීමට සූදානම් විය. එක වර දියවැල ට හරස් වුවහොත් එය පෙරලී යනු ඇත. මා සීරුවට කයාකය හරවා ගතිමි. එතෙක් පසු පසට ගමන් ගත් අප දෙදෙන ඉදිරියට හබල් ගසන්නට පටන් ගත්තෙමු.

ඒ වන විට තෙශාන්ත හා පසිඳු අවදානම් කලාපයෙන් ඉවතට ගොස් තිබුනි. අපද ඊළඟ මොහොතේ නිසල දියට අවතීර්ණ වුනෙමු.

එය ඉතා අනර්ඝ ගනයේ  නරක ආදර්ශයකි. අප මුල සිට ගඟේ වම්පසින් ගමන් ගත්තේ නම් මෙම අවදානම බොහෝ සෙයින් අඩුව යන්නට තිබුනි. මන්ද ගඟ වක්‍රයක ගමන් ගත් බැවින්  ඇල්ල හමුවීමට ප්‍රථම සාපේක්ෂව වඩාත් වැඩි දුරක් ගමන් ගැනීමට තිබුනු ඉඩ කඩ තුල වඩාත් පෙර සූදානමකින් යුතුව ඇල්ලට මුහුණ දීමට ඉඩ කඩක් තිබුණි.

ගංගාරාමය  අසල ඇල්ල අතිශය අවදානම් සහගත එකක් විය කියා ලියන්නට හැකිය. ඇල්ලේ ස්වභාවය, ගඟේ වක්‍රා කාර ගමන් පථය, පෙර සූදානමක් නොමැති බව මීට ප්‍රධාන හේතූන් වේ.

ඒ කෙසේ වෙතත් අප එය ජය ගතිමු. අක්‍රමවත් ජල තලය වෙතට පිලිපන් යාත්‍රාව බීමත් රියැදුරකු පදවන පුද්ගලික බස් රියක් සේ ඒ මේ අතට විසි වෙමින් ගමන් කරන විනාඩියකටත් අඩු කාල මාත්‍රාවෙන් ලැබෙන ආශ්වාදය දෙවැනි වන්නෙ නිවෙසක ආලින්දයක සෝපාවක දෙපා උඩින් තබා දෑස් පියා ගත කරණ නිමේශයකටය. එය වින්දනීය කාල පරතරයකි. එය නැවත මතක් කල නොහැක. මට තබා අප සියල්ලන්හටම එකට එක්වී හෝ එම ආශ්වාදය මෙනෙහි කල නොහැක. එයම තමා එහි චමත්කාරය වන්නේ!

මොකද නිකං මල පැනලා වගේ . . ?
“තවත් හෝරාවක පමන කාලයකට පසු අප නරතුපාන පාලම පසු කරමින් විය!” මේ වගන්තියෙන් කියැවෙන්නේ පාලම මතින් කල ගමනක් නොව පාලමට යටින් කල ගමනක් පිළිබඳවය. 

ගොඩින් නොවේ දියෙන් එන්න . . ! 
නරතුපාන පාලම් රාජයා


මද ප්ලේනටි විරාමයක් . . !

පුංචි පුංචි විවේක . . . !

මෙම ස්ථානයට අප ගොඩ බැස්සේ ගංගාව අසල පසෙක දමා තිබුණු පැරණි වායු සම්පීඩකයක් හෙවත් එයා කොම්ප්‍රෙසර් එකක් දක්නට ලැබුනු නිසාය. අපට වැදගත් වූයේ එම යන්ත්‍රයට වඩා ඒය සවිකොට තිබුණු ට්‍රේලරයය. අප එතැනට ගොඩවූ සැණින් අපව ආදරයෙන් සාදරයෙන් යුතුව පිළිගත්; එහිවූ පිරිසෙන් ගැලවී ඒමට සෑහෙන වෙහෙසක් දැරීමට සිදුවිය. සිද්ධිය වඩාත් භයානක තත්වයකට පත්වූයේ ඒ අතර සිටි එක් අයෙකු ඉර මුදුන් සමයට මධුවිත තරමක් යහමින් සප්පායම් වෙලා තිබූ නිසාය! 

බීවාම බොහෝ මිනිසුන්ගේ හිත හොඳවේ. බොන්න බොන්න හිත වඩ වඩාත් හොඳවී අවට සිටින්න වුන්හට වඩ වඩාත් කරදරයක් බවට පත්වේ!

කාලය ඒවන විට දහවල් 12.00 ත් 1.00 ත් අතර වන්නට ඇතැසි මට සිතේ. දැන් අප ආහාර ලබා ගැනීමේ මාර්ගයක් සොයා ගත යුතුවේ. ආහාර මාර්ගය උපතින්ම තිබුනාට ආහාර ලබා ගැනීමේ මාර්ගය අප විසින් අවස්ථානුකූලව සොයා බලා ගත යුතුවේ.

අප මෙම ත්‍යාගශීලී පිරිසගෙන් “අපිට දවල්ට බත් ටිකක් කන්න තැනක් මේ හරියේ නැද්ද?” කියා අසා කට වරද්දා ගත්තෙමු. 
ඒය කතරගම, මුන්නෙශ්වරම ගිහින් කට වරද්දා ගත්තාට වඩා බොහෝ සෙයින් භයානක එකක් විය. 

අප එසේ ඇසූ සැණින් අපට භෝජන සංග්‍රයක් පැවැත්වීමට ඔවුනට අවශ්‍යවිය. අප ඉන් මිදුනේ “හරි හරි මොනවා හරි කන්නනේ  ඕනෑ වෙන්නේ. අපි බුලත් විටක්  කන්නම්!” කියා ඔවුන් සමග විටක් සප්පායම් වී ගඟට බැස්සෙමු.

ඔවුන්ගේ මග පෙන්වීමට අනුව තවත් කිලෝමීටර 2 ක් – 3ක් ඇතුලත ගල්පාත හංදිය නුදුරෙණ් අපට ගොදුරු සොයාගත හැකිවනු ඇත.

බුලත් විටෙන් සෑහී . . . . !
මමත් පසිඳුත් ගල්පාත හංදිය අසල තොටුපොලක් අසලට ගාල කල කයාක බලා කියාගෙන නැවතුණු අතර තෙශා සුදා සමගින් දිවා ආහාරය සඳහා යමක් සොයාගෙන ඒමට පිටත් විය.

මෙම ගමට දාලා තියෙන “ගල්පාත” කියන නම මොනතරම් ගැලපෙනවාද . ?

එක හැලියේ බත් කන්නේ – එක සෙවනේ නිදියන්නේ
අයියා මල්ලී වාගේ – අයියා මල්ලී . . . //

මෙහෙමත් කල්යාද රඹුටං ගස් යට . . . . ?
තවත් පැයක හමාරක කාලය ගත වෙද්දී සුදාත් තෙශාත් බත් ගෙඩි හතරක් සමග පැය ගණ්නාවක් තළු මැරිය හැකි “කථාන්දරයක්” ඔතා ගෙන ආවෝය. 

ගලපාත අප නැවැත්වූ ස්ථානයේ ගංගාවේ වම් පසට විසල් කෝණයකින් හැරෙමින් ගමන් ගත් ස්ථානයකි. එනිසාම අප ගොඩ බැසගත් දකුණු ඉවුර බොහෝ ලෙසින් ඛාදනය වී තිබුණු අතර එයින් යම් පමනක හෝ ගැලවීමක් අපේක්ෂාවෙන් විසල් ගල් කුට්ටි ගඟ අයිනේ ගොඩ ගසා තිබුණි. මේ නිසාම ඉවුර මතට එනම් ගංගාවට ඉතාමත් ආසන්නයෙන් ගමන් ගත් මාර්ගයට ගොඩවීම සැළකිය යුතු කෙළියකි! 

 විසල් ගල් කුළු වලට නගිමින් අතපය හතර බේරා ගනිමින් ඉවුරට නැගිය යුතු විය. 

එම මාර්ගය අඩි 12 ක 15ක පළලකින් යුක්තවූ පටු මාරගයකි. අප මාර්ගය අසල පිහිටි රඹුටන් ගසක සෙවනයට; පාර අයිනේ තනකොළ ගොල්ලේ; බත් හතර බිම එලාගෙන කන්නට විය.

මහා සැළකියයුතු රසයකින් හෝ ගුණයකින් සමන්විත නොවූවත්; පොලිතීන් කොළය හා පත්තර කඩාදාසිය හැරෙණ්නට අන් සියල්ලට අප සාධාරණයක් ඉෂ්ඨ සිද්ධ කලෙමු. 
එම සාධාරණය හා ඒ හා අත්වැල් බැඳගත් කුසලය බත උයපු බෙදපු ඔතපු විකුණපු බරපැන දරපු විශේෂයෙන් කිසිදු කන්කෙඳිරියකින් තොරව ගෙනැවිත් දෝතින් පිළිගන්වපු සෑම සියළු දෙන හට නොබෙදී නොවිසිරී  පැතිරේවා!

“හ්ම්! ඉක්මනට පිටත්වෙමු! හවස් වෙන්න කලින් කළුතරට යන්න!” 

ගං දෑල දෙපසම
කැලෑ මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම – කළුතරට

%d bloggers like this: