Menu Close

හරෝහරා! – දහඅටවෙනි කොටස

කතරගම දෙයි හාමුදුරුවන් වහන්සේ උදව් කරන්නෙත් බලවන්තයන්ට විතරද?

කඳ සුරිඳුන් වුණත් එහෙම අයට වැඩියෙන් උදව් වෙනවාද මන්දා? එහෙම උදව් කරන්නේ….. ඇති-හැකි අයටම වෙන්නැතිය; බලවත් අයටම වෙන්නැතිය. 
දෙවියන් විතරක් නොවේ; කවුරුනුත් එහෙමය! 

යක්කු වුණත් පිරිතට කීකරු නොවුණාට කුණුහරුපවලට ආම්බාං වෙති.

     වීරිය කර බාල කලේ ලබපු         ළමා
     හෑරිය එක් වෙන්න නෑසිය දුන්න සැමා
     සූරිය දෙවියන්ඩ වැඳ කියමි අත   නමා
     බාරිය මගෙ එවන් දෙවියනි  කතරගමා

එහෙම කියමින් කතරගම දෙවිඳුන්ටත් orders දුන්නාය කියන්නේ බරණ ගණිතාචාර්යතුමාය.

“කතරගම දෙයි හාමුදුරුවන්ට බරණ ගණිතයා අණ කළා හෝ නැතා, උන්නාන්සේ කෙනෙකුගේ දුකේදී පිහිට නොවී ඉන්නේ නැහැ.”
කප්  කණු දෙක සිටුවීමට පෙර- මහ දේවාලයේ ඇතුළත…………
“එහෙනම් එදා කිව්වේ මර්වින්ගේ රත්තරන් මාලේ ……?” 
(මතකයි නේද? අර නොකියා හංගන කතාවක් අවුස්සලා එළියට ගන්න හිටපු බව. මං try කරන්නේ ඒකටය.)

මර්වින් බොතේජු සුමිතුරාට අමතක වෙන දේවල් කෙළවරක් නැතිය. 

පංච තන්තරේ කියවන රසිකයන් දැනටමත් ඒවායින් කිහිපයක් දැනගෙන හමාරය. මේ සිදුවීමේත් කතා නායකයා එතුමාමය. 
“නිමල් අයියේ, මායි මර්වියායි කතරගම ගිහින් සෙල්ලෙදී මහසෙන් විහාරයේ කතරගම දේවාලෙටත් ගියා. විශේෂ පූජාවක් තියන්න. 
පූජාව තිබ්බට පස්සේ ඒක ආපහු දුන්නාම, මේ මිනිහා පූජා වට්ටිය පිටින්ම එතැන වැඩ කර-කර හිටි බාස්ලා වගේකට දුන්නා බෙදාගෙන කන්න කියලා. 
ඊට පස්සේ අපි කතරගම නවාතැනේ කාමරයට ආවා, ටිකක් නිඳාගන්න. 
මට නින්ද යාගෙන ආවා විතරයි, මේකා පොඩි එකෙකුගේ වගේ අඬන මූණක් දාගෙන කාමරේට කඩා වැදුණා……
එදා පොරට ඇඬුණේ නැතිව විතරයි!

-‘මචං මගේ මාලේ නැහැ!’ එදා මූට ඇඬෙන්න තරං දුකෙන් හිටියේ. පවුම් හත-අටක මාලයක්නේ.

-‘තෝ කොහෙද යකෝ ඒක දැම්මේ?’ කියලා, අඩි පොළොවේ හප්පලා- සංස්කෘතෙන් ඇහුවමයි මූට මතක් වුණේ. ‘මං ඒක පූජා වට්ටියට තිබ්බනේ මචං….’ මේකාට කියවුණා.

-‘එහෙනම් උඹේ මාලේත් පූජා කළා කියලා හිත හදාගනින්.’ තරහෙන් එහෙම කිව්වත් නොසොයා ඉන්නද? දඩි-බිඩියේ ඇඳුමක් දාගත්තා…

-නින්ද පැත්තකට දමල ආයෙම අපි දෙන්නා දේවාලෙට ගියා. මේ ගෙස්ට් එකේ අක්කා තමයි දඩි-බිඩියේ දේවාලවල කපු මහත්තුරුන්ටත් කෝල් කර-කර වැඩේ කිව්වේ…..”.

ඔන්න ඔතැනදීය, ඒ ව්‍යාපාරික කාන්තාවගෙ මුවෙනුත් වචන පැන්නේ.
කොකුවලින් එල්ලී පැද්දෙමින් කරන ‘පරෙයි කාවඩි’ පූජාව හා සිරුරේ තැනින් තැන රිදී වේලායුධ 108ක් ගසාගෙන කරන ‘ගිනි කාවඩි’ පූජාවත් කඳ සුරිඳුන් වෙනුවෙන් කෙරෙයි!
“මහ දේවාලේදී ඕක වුණා නම් මාලේ හම්බ වෙනවා බොරු! රත්තරන්වලට කවුද ආසා නැත්තේ?” 
ඒ කිව්වේ දෙවියන් ගැනද, එහෙමත් නැතිනම් අතරමැදියන් ගැනද? 
ම්හු….. මං පරාදය…. තවමත් කිසි කෙනෙකු කටක් හෙල්ලුවේ නැත. පෙනෙන්නේ එහෙම කරන්නේ නැති විදිහකි. ඉතින්, මට කළ හැක්කේ සිදුවුණු ටික කියන එක විතරය.
“යකෝ…. ඔය සේරම දේවල් ලියලා- දෙයියන්ට පළි ගහලා පලයන්කෝ, මෙදා සැරෙත් පාද යාත්‍රාවේ… මෙන්න කියලා තමුසෙට පිහිට වෙයි දෙයියෝ…”
“ඒකට කමක් නැහැ හලෝ. ඇත්ත කියනවට අකැමැති නං දෙයියොයි මිනිස්සුයි අතරේ වෙනසක් නැහැනේ….”
මට හිතෙන්නේ එහෙමය. මේ විදිහටම ඇත්ත කියමින්; මගේ අවංක හැඟීමට නතු වෙමින් පෝස්ටුවේ ඉතිරි කොටස කොටන්නට මට ශක්තිය දෙන්නේ ඒ හිතිවිල්ලයි; පණ පිටින් හිටියොත්- දෙපා වාරු තිබුණොත් ඊළඟ වතාවෙත් පාද යාත්‍රාවේ යන්නට හිතාගෙන ඉන්නේ දෙවියන්ට ඇත්ත පිළිකුල් නැතිය යන විශ්වාසයෙනි.
ඊළඟ වතාවෙත්; 2020 වසරේදීත් පාද යාත්‍රාවේ යන්නට පතාගෙන….. (foto-කසුන් ප්‍රියලාල්) 
“ඉතින් අපි කෙලින්ම ගියේ අර පූජා වට්ටිය දීපු මිනිහා ළඟට. 
ගිහින් කෙලින්ම ඇහුවේ ‘කෝ අර වට්ටියේ තිබ්බ මාලේ?’ කියලයි. 
දේවාලවල කපු මහත්තුරු කිහිප දෙනෙකුත් එක්කමනේ අපි එතැනට ගියේ….. මිනිහා බය වෙන්න ඇති.
-‘මං හිතුවා මහත්තැන්ලා ආපහු එයි කියලා…. මං පරෙස්සමට අරන් තිබ්බා.’ කියලා කොලේක ගුළි කරලා හංගගෙන හිටි රත්තරන් මාලේ ආපහු දුන්නා.”
“…… තවද ඔබ දෙවි හාමුදුරුවන් වහන්ස, රුහුණු පුර කතරගම දෙවි විමනට අධිගෘහිත රණ මයුර වාහනාරූඪ රක්තොත්පල පුෂ්පයන්ට නිගා දෙන මූණු සයකින් යුත්, 
නීල සමූහයකට නිගා දෙන නෙත් දොළසකින්ද, 
අත් දොළොසෙහි දරා සිටින්නාවූ විචිත්‍ර චිත්‍ර නා නා විධ ආයුධ දොළොසකින්ද, 
ඇසළ පෙරහැර මංගල්‍යයට නානු මංගල්‍යයට කාර්තික උත්සවයට යහතින් දිවැස් කරුණාකර බලා…..” වගේ තවත් දේව කන්නලවුවක් කරලා නෙවෙයිනෙ මර්වින්ගේ රත්තරන් මාලේ ආපහු හම්බ වුණේ!
හිතෙන් කළ යාදින්නකට වෙන්නැති.
අවුරුදු පතා දහස් ගණන් බැතිමතුන් පාද යාත්‍රාවේ යෙදෙන්නේ…. (foto- ශෂී ගයාශාන් වෙලගෙදර)
පාද යාත්‍රිකයන් අවුරුදු පතා මේ දුෂ්කර ගමන යන්නේත් හිතෙන් දේව පිහිට යදිමින්. එහෙම ඉල්ලන පිහිටාරක්ෂාව දෙන්නේ දෙවියන්ම ඉදිරිපත් වෙලා නොවෙන්නත් පුළුවනි නේද?

මතකයි නේද, ශිවසාන්ද්‍ර ස්වාමි කියපු කතාව? දෙවියන් පේන්න එනවද කියලා ඇහුවම.
  
අහලා ඇතිනේ, මහා ගංවතුරකට අහුවෙලා ගහක් මුදුනේ හිටි මිනිහගෙ කතාව.

“අනේ දෙවියනේ, මේ විපත්තියෙන් මාව ගලවා ගනු මැනවි!” මිනිහා දිගටම යාඥා කළාලු.
විපතට පත්වුණු අය බේරාගන්න පහුරක්, බෝට්ටුවක්, හෙලිකොප්ටරයක් ඇවිල්ලත් මිනිහා ගහ අතහැරියේ නැහැල්ලු.
“මාව බේරාගන්න දෙවියන් ඒවි.” කිය-කියා හිටියලු.
ඉතින්, ගහටත් උඩින් වතුර ගැලුවා. ගිලිලා මැරුණු මිනිහා අවසන් විනිශ්චය සඳහා දෙයියන් ඉදිරියට ගියා. “ඔබ වහන්සේ හරිම අසාධාරණයි… මං කොච්චර හොඳින් ඔබතුමාව අදහගෙන, පුදපූජා පවත්තගෙන හිටියද? 
ඒත් මං උදවු ඉල්ලලා යදිද්දී ඔබතුමා මගේ දිහා බැලුවේ නැහැ….” මිනිහා නෝක්කාඩු කිව්වා.
ගංවතුරට මැදිවෙලා- ගහක් උඩට කොටුවෙලා ඉන්න වෙලාවේ මිනිහෙක් …..
“යුෂ්මතාව බේරාගන්න පහුරකින්, බෝට්ටුවකින්, හෙලිකොප්ටරයකින් කණ්ඩායම් තුනක්ම එව්වේ කවුරුයි කියලද හිතන්නේ…..?” දෙවිඳුන් ඇහුවලු.
ඒ වගේම තමයි. මට නම් ඉල්ලන්නේ නැතිවත් උදවු ලැබුණා…. අපේ නඩේ අයගෙන් විතරක් නෙවෙයි; ඉන්දිකගෙන්, හිච්චි මහත්තයාගෙන්, සුජීගෙන්….. කසුන් ප්‍රියලාල්, පියනන්ද මහත්තයා  වගේ අලුතින් හඳුනාගත් අයගෙනුත්…. 

මේ පෝස්ටු පෙළ ලියන්න ගත්තට පස්සෙත්, නන්නාඳුනන කී දෙනෙකුගෙන් නම් පිහිට ලැබුණද? ඊට හපන්…. නිකම්ම දෙවියන් සිහි වුණාමත්?     
“අනේ දෙයියනේ…..” 
මට නිකම්ම දෙවියන් සිහි වුණේ ආපහු එන අතරේ හම්බන්තොටදී….. 

හරියටම කියනවා නම් ශිරෝමිලගේ ගෙදර ඉඳලා එද්දි. ආපහු එන දවසේ අපේ නඩයට උදේ කෑම ලැහැස්ති කරලා තිබුණේ ශිරෝමිලගේ ගෙදර.
“වැඩි දෙයක් නම් නැහැ, සර්. හදිසියේ ලැහැස්ති කළේ…. සර් හරියටම කිව්වේ නැහැනේ එනවයි කියලා…. කතරගමින් පිටත් වෙද්දිනේ කිව්වේ ඇවිත් යන්නං කියලා ….”
අපි මෙවර පා ගමන නිමා කරලා කිරි වෙහෙර වහන්සෙත් වැඳ පුදාගෙන, පහුවදා පාන්දර එන ගමනේදී ශිරෝමිලගේ ගෙදර තමා….. (foto- නෙවිල් අනුරසිරි)
අයස්මන්ත මහත්තයා එක්කම අක්ෂි වෛද්‍ය වාට්ටුවේ සේවය කරන ශිරෝමි එහෙම කිව්වත් කෑම මේසයේ choices ගොඩක් තිබුණා. 
එපැයි නොකියා මාත් හැම ජාතියම දෙසා බෑවා; මොකද දෙවිවරුන්ට වගේ දුටුමනතින් අපේ බඩ පිරෙන්නෙ නැහැනේ.
“මේ බලපන් මචං. මූ බත්, ආප්ප, ඉඳියාප්ප, කිරිබත් සේරම ගිලලා දැන් කිරිපැණිත් කනවා… කිරිවලට වැඩිය පැණි….”
“පවු නෙවිල් අයියේ… එයාට කන්න අරින්නකෝ. දවස් කීයකින්ද? ඔයා ඕනේ දෙයක් කන්න නිමල් අයියේ…. මේවා හැදුවේ ඔයාලටනේ….” ශිරෝමියි මහත්තයයි දෙන්නම කියපු නිසා වෙන්නැති අයස්මන්ත මහත්තයා ඔළුව විතරක් හෙලෙව්වේ!
හැබැයි, ගින්නක් ඇවිලෙන්න යනවය කියලා තේරුණේ; ඒකෙන් මගේ ඔළුව ගිනි ගත්තේ; සරුවාංගයම කසන්න ගත්තේ වාහනේට නැග්ගට පස්සෙයි.
මගේ සරුවාංගයම කසන්න; දැවෙන්න පටන් ගත්තේ……………
“හිතුවේ මං බලාගෙන හිටියේ නැහැයි කියලද? 
නෙවිල් අයියේ, මේකා ලෙඩෙක් විදිහටද ගමන යද්දිත් කෑවේ… කැවුම්, බිස්කට්, පුහුල් දෝසි, රට ඉඳි, බත්….. 
ඒ මදිවට අද උදේ කාපු හැටිත් මං බලාගෙන හිටියේ…. 
අසංග…. Medi House එකට යං. අද දෙන්නං නිමලයට blood රිපෝට් එක හම්බ වුණාම!”.
“අන්න හරි පීරෝ! දීපං දෙකක් නිමලයට හාන්සි වෙන්නම.” මර්විනුත් උඩ පනිමින් කීවේය.
වැඩේ වැරදුණු බව මට තේරුණේ ඇත්තටම වාහනය ඒ පැත්තට හැරුණාමය. 
මෙඩි හවුස් යන්නේ මගේ ලේ පරීක්ෂාවක් කරවන්නටය; මට දෙවියන් සිහි වුණේය. ඒ ගමන්ම සිහි වුණේ මගේ එල්ලාගෙන යන ගමන් මල්ලේ තිබෙන ‘කිරාත තිත්ත’ කොළ ටිකයි!
කිරාත- කිරාත තිත්ත කියන්නේ ‘හීන් බිං කොහොඹ’වලට බව එතකොට මං දැනගෙන හිටියේ නැතිය. ඒ ගැන කියා, වත්තේම හිටවාගන්නට කිරාත පැළයක් ගෙනැවිත් දුන් හිතවත් උදේනි දසනායකවත් ඒ විත්තිය දන්නේ නැත. 

“නිමලෝ, මෙයින් කොළ දෙක තුනක් කාපු ගමන් සීනි බහිනවා…. කෝවක්කාවලට වැඩිය speed. හැබැයි, පුතෝ පට්ට තිත්තයි. මම නම් ගිලින්නේ බත් ගුළියක් මැදට තියලා…” උදේනි කිව්වේය.
කිරාත; කිරාත තිත්ත කියන්නේ හීන් බිං කොහොඹවලට බවක්……………
මගේ තියෙන්නේ short cutsය. කිරාත කොළ තිත්ත බවත් ඇත්තය. ඒවාට පට ගාලා සීනි බහින බවත් ඇත්තය… 
මං හොයාගත්තේ ඒවා පහසුවෙන් බඩට යවන ක්‍රමයකි. 
කරන්නට තියෙන්නේ, කොළ තුනහතරක් සීරුවට රෝල් කර ගිරියටම තියලා වතුර උගුරකින් බඩට සෝදා හැරීමය!
Medi House යන බව දැකපු හැටියෙම මං සූදානම් වුණේ කිරාත කොළ දෙක තුනක් ගිල දමන්නටය. 
මර්විනුත්, නෙවිලුත් මගෙන් බෑගය උදුරාගත්හ. “මෙන්න මචං, අර බම්බුවේ කොළ ගිලින්න හදනවා…”
“එපා, එපා. දෙන්න එපා… අද තමයි තමුසෙගෙ කෙළි මාට්ටු වෙන්නේ…..”
මගෙන් ලේ සාම්පලය ගනිද්දීම මං හිටියේ ඇති පදම් බැණුම් අහන්නට සැරසිලාය. 
ඒත්, දෙකක් නැත; එදා පොටේ නම් මාව බේරන්නට ඇත්තේ දෙවියන්ම විය යුතුය. රුධිර පරීක්ෂණ වාර්තාවට අනුව මගේ සීනි මට්ටම වැඩි නැත! 

මටමත් ඒක අන්විශ්වාසබල්ය!!
මගෙන් ලේ සාම්පලය ගන්න වෙලාවේම මං හිත හදාගෙන හිටියේ අම්බානක බැණුම් අහගන්නටය!
එදා, මාව බේරාගත්තේ කොයි වේශයෙන් ඉන්න කතරගම දෙවිඳුන්ද?

මං එහෙම අහන්නේ සහේතුකවය. එක වෙසකින්වත් මට දර්ශනය නොවුණාට, කඳ සුරිඳුන්ට ‘වේශයන්’ 16ක්ලු!
“….. කාලිදාස යුගයේ රචිත යැයි සැලකෙන, විමසීමට භාජන විය යුතු ‘කුමාර තන්ත්‍රය’ නමැති කෘතියේ ස්කන්ධ කුමාරයන්ගේ එක් එක් නාමයක් අනුව එක් එක් මූර්ති සකස් විය යුතු ආකාරයත්, ඒ එක් එක් මූර්තියක අන්තර්ගත විය යුතු ලක්ෂණයනුත් විස්තර කෙරේ…..” කියලා ආචාර්ය අලුත්වැව සොරත හිමියන් ලියූ 
‘කතරගම පුද සිරිත්’ පොතේ සඳහනක් තියෙනවා. (පොත ‘සරසවි’ ප්‍රකාශනයක්.)
සොරත සමිඳුන්ට අනුව 
ශක්තිධර, ස්කන්ධ, සේනාපති, සුබ්‍රහ්මණ්‍ය, සුබ්‍රහ්ම, ගජවාහන, සරවනභව, කාර්තිකේය, කුමාර, ෂණ්මුඛ, තාරාකාරී, සේනානී, බ්‍රහ්ම සාස්ථ, වල්ලි කල්‍යාණ සුන්දර, බාල හා කෞඤ්ච පේථා 
කියලා විලාස 16කින් කඳ කුමරුවාණන්ගේ මූර්ති හැදෙනවාලු.
වැඩියෙන්ම කඳ සුරිඳුන් මූර්තිමත් කෙරෙන්නේ ෂන්මුඛ වෙසින්. එහෙමත් නැතිනම් සේනාපති හෝ කුමාර වෙසින්……
“….දැනට ලංකාවේ බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ ෂණ්මුඛ මූර්තිය අනුව සකස්වූ දේව ප්‍රතිමාවන් බව පෙනේ…..” යැයි කියවෙන සොරත හිමියන්ගේ පොතේම (96 පිටුවේ) ෂණ්මුඛ මූර්තිය ගැන විස්තර තියෙනවා මෙහෙම.
     “බන්දේ සින්ධූරකාන්තිං සරවනභවම් ශ්‍රී මයුරාදිරූඪම්
      ෂට් වක්ත්‍රං දෙවසෛන්‍යං මතුරිපුතනයා වල්ලභං ද්වාදසාක්ෂම්
      ශක්තිං පානම් කපානම් කෘපානම් ත්වජමජිව කථා මාභයං සව්‍යහස්තේ
      චාපං වජ්‍රං සරෝජං කටකමපිවරං සූලඅන්‍යර්ථධා නම්
-මුහුණු සයක් ඇති 
කිරි සයුරේ කාන්තියෙන් යුත් මයුර වාහනාරූඪ වූ 
අසුර මථනය කළා වූ ශක්තිය හස්ත කොට යදියනට අභය දෙන්නා වූ 
චාපය වජ්‍රය සහ පියුමක් ද කුකුළු ධජයක් ද දරන්නා වූ 
පද්මාසන සහිත 
ෂණ්මුඛ මූර්තිමත් ස්කන්ධයන් වඳිමි.”
පාද යාත්‍රාවේ යන්නට කලින් අප හැමෝම ජොගින් ට්‍රැක්ස්වල ඇවිදලා…………..
පාද යාත්‍රාවේ යන්නට කලින් අපි හැමෝම ඒ වෙනුවෙන් පෙර පුහුණුවක යෙදුණු විත්තිය දැනටමත් කියලා ඉවරය. 
අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා ස්මූති බොන්නට දීලා, 
ගමනට විවරණ දුන්නේ එහෙම වතාවකය. 

ඒ සූදානමම වුණත්; පේ වීමම වුණත් වන්දනාවක්- පූජාවක් නේද? 
ඉතින් එහෙම training කරලාත් අපේ කකුල්වල දිය පට්ට ආවේය. අප පුහුණු වෙන්නට ඇවිද්දේ හොඳින් සැකසූ ජොගින් මං තීරුවලය; සමතලා පාරවලය.
කුමන- යාල වනෝද්‍යානවල කොහෙන්ද එහෙම පාරවල්? 

ගොඩක් තැන්වල ඇත්තේ වැල්ලයි. වැල්ලේ පා තබද්දී එරෙයි. කකුලක් උස්සා කකුලක් තියන්නට වෙන්නේ ආයාසයකිනි. ඉතින් ඇඟට වගේම දෙපයටත් වෙහෙස වැඩිය.
ඒ නිසාදෝ ගමනෙන් තුන්කාලක් යන්නටත් කලින් මර්වින්ගේ සපත්තුවක් හිනා වෙන්නට …………
ඒ නිසාදෝ ගමනේ තුන්කාලක් යන්නටත් කලින් මර්වින් බොතේජු උන්නැහේගේ සපත්තුවක් කැඩුණේය. එහෙම දෙයක් අප බලාපොරොත්තු වුණේ නැතිය.
“කරන්න දෙයක් නැහැ මචං…. බැරිම තැනකට ආවොත් විසි කරමු…. එතකන් ඕකම දාගෙන යං. සෙරෙප්පු හරියන්නෙ නැහැ. 
දැක්කනෙ… නෙවිලා සෙරෙප්පු දාගෙන යන්න ගිහින් වරුවෙන්ම සෙරෙප්පු පටි ගෑවෙන තැන්වල  දියපට්ට එන්න ගිය හැටි…. 
අර මිනිස්සු සෙරෙප්පු සපත්තු මොකුත්ම නොදා ගියාට අපට පුරුදු නැහැනේ මර්වින්…..” අයස්මන්ත එහෙම කිව්වාට පස්සේ මර්වින් ගමන ගියේ සපත්තුවක් හිනා වෙද්දීය.
පීරිස් ගමන ගියේ අලුත්ම, මිල අධික සපත්තු කුට්ටමක් දමාගෙනය. 
යන වේගය, යන දුර සේරමත් ඒකේ උදව්වෙන් අපට කියමිනි.
ඉතින් පළමු වතාවට ඔහොම ගමනේ යෙදුණු අපේ පිරිවර විසිරෙන්නට පටන් ගත්තේ අපේ ගෙදර ළඟිනි. සුනිලුත්, නෙවිලුත්, මාත් වාහනයෙන් අපේ බඩු-භාණ්ඩ බාගෙන පීරිස්ටත්, මර්වින්ටත් සමු දුන්නෙමු.
ඇසළ කාර්තිකෝත්සවය දිය කැපීමෙන් හමාර වුණත් ඊට කලින් අපේ පා ගමන නිමා වුණේය. එදා….
පහුවදා උදේ දහයට විතර පීරිස් දුරකතනයෙන් කතා කළේය. “නිමල් අයියේ…. තරහ නැතිව ඔයාලගේ ගෙදර ළඟ කුණු ගොඩ ගාවට දුවලා ගිහින් බලන්නකෝ කුණු අරන් ගිහින්ද කියලා….”.
“මොනවා බලන්නද? මෙච්චර පරක්කු වෙන්නෙ නැහැ. කුණු ගෙනියනවනෙ උදෙන්.”
“යකෝ, ගිහින් බලපන් කෝකටත්. මතකද ඊයේ රෑ අර පkoරිස් -කැඩිච්ච සපත්තු ගෙදර ගෙනියන්නේ මොකටද- කියලා සපත්තු ජෝඩුව තමුසෙලගෙ කුණු ගොඩට විසි කළා. ඒ හුයන්නා කලබලෙන් විසි කරලා තියෙන්නේ උගේ සපත්තුවකුයි, මගේ සපත්තුවකුයි.”
කුණු ලොරිය ඇවිත් ගිහිල්ලාය. 

මං ඒ බව බලාගෙන ඇවිත් දොස්තර මහත්තයාට කියූ වෙලාවේ නම්, මර්වින් උන්නැහේට විතරක් නොවේ පරම්පරාවේ අයටත් කිවිසුම් යන්නට ඇත්තේ පැයට කිලෝ මීටර් 160ක සාමාන්‍ය කිවිසුම් වේගයත් ඉක්මවලා වෙන්නට ඇතිය.
යළිත් පා ගමනේ යෙදෙනවිට කළ යුතු දේවල් දෙකක්…………
‘යක්කුන්ගේ හැටියටය විමානේ තියෙන්න ඕනේ’ කියලා, ඊළඟ දෙවතාවේම පීරිස් මහත්තයා අච්චර වටිනා; දහ-පහළොස් දාහේ සපත්තු දාගෙන ආවේ නැත!
ඊළඟ වතාවේ පාද යාත්‍රාවේ යද්දී නම් කරන්නට දේවල් දෙකක් මමත් දැනටම හිතාගෙන ඉන්නෙමි. එක- ටිකක් ලොකු සපත්තු දෙකක් දාගෙන යන්නටය. එතකොට කකුල් ඉදිමුණාම හරියට fit වෙනු ඇත. 

දෙක- ඒ පාද යාත්‍රාව ගැන පංච තන්තරේට නොලියන්නටය. දැන් කියන්නට තිබෙන පාද යාත්‍රා පසුබිම් කතන්දර කියලා අහවරය.
එක ගමනක නොවේ; දැන් පාද යාත්‍රා ගමන් තුනකම විස්තර කියලා හමාරය. ඒ මදැයි, නේද?
හරෝහරා෴
%d bloggers like this: