Menu Close

මිනිස් සිරුරේ විශාලතම අවයවයේ ආශ්චර්යය හඳුනා ගනිමු.

මිනිස් සම ස්වාභාවික “SMART” මෙවලමක්ද?

මිනිස් සිරුරේ විශාලතම අවයවය වනුයේ චර්මය නැතහොත් සම බව බොහෝ විට අපට අමතක වේ. අපගේ සම වූකලී, ශරීර පැහැය ලබාදෙන, හිරිගඩු පිපෙන, තුවාල හොරි දද කුෂ්ට ආදිය සෑදෙන, කරදරකාරී කුරුලෑ හටගන්නා, ඉඳහිට පච්ච කොටනු (tattoo) ලබන  අවයවය පමණක්ම නොවේ. 


සමෙහි සිරස් කඩක ව්‍යුහය (ත්‍රිමාන)                
 (රූප සටහන අන්තර්ජාලයෙනි)   


මිනිසාගේ සම සහ එයට සම්බන්ධ අනිකුත් අංගෝපාංග සියල්ල  මිනිස් සිරුරෙහි ඇති ආශ්චර්‍යමත් ‘SMART’ මෙවලම් පද්ධතියකි. මෙහිලා SMART යන වචනය භාවිත කළේ  එයට අනුරූප සිංහල වචනය වන ‘සුහුරු’ යන්න භාවිත කිරීමට පෙරාතුව SMART යන්නෙහි අදහස සැකෙවින් පැහැදිලි කිරීමටය. අද විද්‍යා හා තාක්ෂණික දැනුම් සම්භාරය විශාල වශයන් ප්‍රචලිත වීම නිසා, මිනිසාගේ කාර්යයන් අතිශයින් පහසු වී තිබේ. ස්වයංක්‍රීයව හෝ තනි පුද්ගලයෙකුගේ මෙහෙයවීම යටතේ, ජාලයක් සේ එකට බැඳී  ඇති කාර්යයන් රාශියක් සිදුකරනු ලබන උපකරණ හෝ ස්ථාන, හැඳින්වීම සඳහා SMART යන කෙටි යෙදුම බෙහෙවින් භාවිත වේ. SMART ජංගම දුරකථනයක සිට SMART මගී ප්‍රවාහන දුම්රියක් වැනි සංකීර්ණ පද්ධතියක් දක්වා සහ එයින් ඔබ්බටත් මෙම යෙදුම භාවිත වේ. 
Smart යන ඉංග්‍රීසි වචනයේ  සාමාන්‍ය භාෂා ව්‍යවහාරය සඳහා  හපන්, බුහුටි, කඩවසම්. කඩිසර, බුද්ධිමත්, උද්‍යෝගිමත්, කැපිපෙනෙන, සුහුරු යන අදහස් රාශියක් සිංහල භාෂාවෙන්  ලබාගත හැකිය. එහෙත් නව සන්නිවේදන ක්‍ෂේත්‍රයේ SMART යන වචනය යෙදෙනුයේ දිගු වැකියක් මුලකුරු මගින් කෙටියෙන් හැඳින්වීම සඳහාය. “ස්වයං අධීක්ෂණය මගින්, විශ්ලේෂණය  සහ වාර්තා කිරීමේ තාක්ෂණය” (Self-Monitoring Analysis and Reporting Technology) යන්න ‘SMART’ ලෙස දැක්වේ. මෙය ස්මෘති ආධාරක පදයකි.(mnemonic) 
එම වැකියේ අර්ථයට අනුකුලව සිංහල භාෂාවෙන්  ‘සුහුරු’ යන වචනය මෙම තාක්ෂණය සඳහා හොඳින්ම ගැලපෙන බව පෙනේ. අද භාවිත වන බොහෝ ජංගම දුරකථන ‘සුහුරු’ (‘SMART’) තාක්ෂණික උපාංග වේ. ‘SMART’ යනු ඉතාමත් බුද්ධිමත්ව හැසිරෙන සහ හැසිරවිය හැකි නව තාක්ෂණයකි.
ලොව පුරා ‘SMART’ විරුදාවලිය ලැබූ මෝටර් රථ, බස්රථ, දුම්රිය, කාර්යාල, පන්ති කාමර, රුපවාහිනි, බැංකු, නගර වැනි විවිධ ස්ථාන  සහ උපකරණ වල එකිනෙකට අදාළ සන්නිවේදන පහසුකම් සමුහය බැගින් ස්ථාපනය කර තිබේ. උදාහරණයක් වශයෙන් ‘SMART’ බස් රථයක් ගතහොත් එහි රියැදුරාට තම ආසනයේ සිට, රථය ධාවනය කරමින්,  තම ආයතනය ඇමතීම, මගියෙකුගේ ගෙවුම් පත අලුත් කිරීම, ෆැක්ස් පණිවුඩයක් ලබාගැනීම සහ යැවීම, බස් රථයේ දොරටු විවෘත කිරීම සහ වැසීම, බස් රථය ඇතුලත ගැන සුපරීක්‍ෂාකාරිවීම වැනි කටයුතු රාශියක් කළ හැකිය. 
මෙම ලිපිය මගින්  අදහස් කරනුයේ මිනිස් සිරුරේ විශාලතම අවයවය වන, එහෙත් බොහෝ දුරට වැඩි සැලකිල්ලක් නොදක්වන, අපගේ සමෙහිද දකින්නට ලැබෙන  SMART ගති පැවතුම් ගැන යමක් විස්තර කිරීමටය.
අප කවුරුත් අටවන ශ්‍රේණියේ ඉගෙනීම ලබන විට, අපගේ සිරුර වසා සිටින සම ගැන තොරතුරු බිඳක් අවබෝධ කරගෙන ඇත. අපොස සාමාන්‍ය පෙළ පන්තියේදී සමෙහි ව්‍යුහය ගැන වැඩි විස්තර ඉගෙනීමට ලැබේ.  බොහෝ විට අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේද නිරතුරුවම මිනිස් සම ආශ්‍රීත ප්‍රශ්න කිහිපයක් අඩංගු වේ. 
මෙහි දක්වා ඇති මිනිස් සමෙහි ත්‍රිමාන සිරස් කඩක රූපයේ විවිධ කොටස් නම්කර තිබේ. මේ සෑම කොටසක් සඳහාම ඒ ඒ කොටසට අදාළ සුවිශේෂී කාර්ය භාරයක් තිබේ. මෙම සියලුම කාර්ය භාර මනාලෙස සමායෝජනය කිරීම මගින් එකවර කෘති රාශියක් සිදු කිරීම SMART ලක්ෂණයකි. නැතහොත් මනා සුහුරු බවකි. 
මිනිස් සිරුරේ බාහිර වැස්ම වන සම, ශරීරයේ අභ්‍යන්තර කොටස්  බාහිර ලෝකයෙන් වෙන්කරන ආරක්ෂාකාරී බාධකය වන අතරම, එහි ඇති විවිධ කොටස් වන ලෝම, ග්‍රන්ථි, ස්නායු, පටක, රුධිර නාල, නියපොතු වැනි ව්‍යුහ සියල්ලම සාමුහිකව ක්‍රියාත්මක වන නිසා චර්මය හෙවත් සම ශරීරයේ ‘ස්වාභාවික ආවරණ පද්ධතිය’ (integumentary system) ලෙස හැඳින්වේ. වැඩුණු කෙනෙකුගේ මුළු ශරීර බරෙන් 16% පමණ සම සඳහා වෙන්වේ. කිලෝග්‍රෑම් 50ක් බර ඇති කෙනෙකුගේ සම පමණක් කිලෝග්රෑම් අටක් පමණ වේ. එසේම සමෙහි ක්ෂේත්‍ර ඵලය වර්ග අඩි 22 (වර්ග මීටර් 2) පමණ වේ.
සමෙහි ඝණකමද ශරීරයේ ස්ථාන අනුව වෙනස් වේ. උදාහරණ වශයෙන් ඇසට යටින් කොටසේ සම ඉතා තුනී වන අතර අත්ල, යටිපතුල් වැනි කොටස්වල සමෙහි  ඝනකම වැඩිය. සමෙහි ඇති තන්තුමය කෙරටින් නමැති පටක නිසා එය ජලරෝධක (water -proof) පද්ධතියකි.
 සමෙහි ව්‍යුහය 
අපගේ සම,  අපිචර්මය, චර්මය සහ අධස්චර්මය යන  ප්‍රධාන කොටස් තුනකින් යුක්තය.
අපිචර්මය – සමෙහි මතු පිටින් පිහිටි ස්තරය වන මෙය නිරතුරුවම, නව සෛල මගින්   අලුත් වෙමින් පවතී. මෙසේ වනවිට මතුපිට සෛල ස්තරය අක්‍රීය ‘මළ සෛල’ බවට පත්වී,  ‘කුඩු සම’ ලෙස දිනපතාම වාගේ හැලී යයි. 
අපිචර්මයේ කෘති – අපි චර්මයේ පහළින්ම ඇති සෛල ස්තරය මගින්, නිරතුරුවම නව සෛල නිෂ්පාදනය වේ. මෙසේ නිපදවෙන සෛල ස්තරය  සඳහා ආයු කාලය මාසයක් පමණ වේ. මිනිස් සමෙහි කළු පැහැයට හුරු තද දුඹුරු වර්ණයේ සිට සුදු පැහැයට කිට්ටු වර්ණ දක්වා  විවිධත්වයක් ලැබේ. මේ සඳහා බලපානුයේ සමෙහි අන්තර්ගත මෙලනින් නමැති වර්ණකයයි. විශේෂයෙන්ම සම දුඹුරු පැහැ නොමැති අයගේ සමෙහි හටගන්නා ලප  ඇතිවනුයේ මෙලනින් නිසාය. මෙලනින් හිරු එළියට සංවේදී වර්ණකයකි. සුදු සම ඇති අය අව්ව තැපීමේදී, සමට තරමක දුඹුරු වර්ණයක් (tan) ලැබෙනුයේ සමෙහි ඇති මෙලනින් වර්ණකයට සුර්ය කිරණ ලැබීම නිසාය. මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය විටමින් D ලබාගැනීම සඳහාද සම මූලික වේ. සමෙහි අන්තර්ගත  විශේෂ කොලෙස්ටරෝල් සංයෝගයක් මගින් සුර්යයාගේ පාර ජාම් බුල (ultra-violet) කිරණවල ශක්තිය ලබා, විටමින් D සංස්ලේෂණය කරනු ලබයි. අපිචර්මයේ සෛල මගින් නිපදවනු ලබන කෙරටින් නමැති ප්‍රෝටීනය මගින් සමට දැඩි බව සහ ශක්තිමත් බවක් ලබාදෙන අතරම, සම වියලීම සහ රැලි වැටීමද පාලනය කරයි.   
චර්මය – අපිචර්මයට යටින් ඇති සමෙහි මධ්‍ය කොටස චර්මයයි. සමෙහි ඝන කමින් අඩකට වඩා ඇත්තේ මේ කොටසෙහිය. රුධිර නාල සහ ස්නායු  බහුලව ඇත්තේ මෙම කොටසෙහිය. ඩහදිය නිපදවෙන ස්වේද ග්‍රන්ථි, සමෙහි ස්නේහනය (lubrication) සහ ජලරෝධනය (water-proofing) කරනු ලබන ශ්‍රාවය නිපදවන  ස්නේහ ග්‍රන්ථි, (sebaceous glands) සහ රෝම කූප පිහිටනුයේ මෙම කොටසේය. සමට ශක්තිමත් භාවය සහ නම්‍ය සුලු භාවය ගෙන දෙනුයේ පොදුවේ චර්මය ලෙස හැඳින්වෙන මධ්‍ය කොටසෙනි. එහි ඇති කොලැජන් නමැති ප්‍රෝටීනය මගින් සමෙහි ප්‍රත්‍යස්ථ භාවය ගෙනදේ. 
චර්මයේ කෘති –  ස්පර්ශය හෝ වේදනා සඳහා සංවේදී බව. චර්මයේ ඇති සියුම් ස්නායු අග්‍ර වල පිහිටි ග්‍රාහක මගීන්  ලබාගන්නා වේදනාව, පීඩනය, ස්පර්ශය, කැසීම සහ උෂ්ණත්වය වැනි සංඥා මොළය වෙත සම්ප්‍රේෂණය කරනුයේ චර්මයයි.
මෙහි ඇති ස්වේද ග්‍රන්ථි   මගින් ඩහදිය සහ ස්නේහස්රාවී  ග්‍රන්ථි මගින් ස්නේහ ද්‍රව (sebum) නිපදවේ. ඩහදිය පිටවීම මගින් ශරීරය සිසිලනය සහ ස්නේහ ද්‍රව මගින් සම සිනිඳු සහ වියලි බවකින් තොරව තබා ගැනීම සිදු කෙරේ. එසේම ඩහදිය සහ ස්නේහ ද්‍රව මගින් සම මත බැක්ටීරියා සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැඳී සිටීමද වැළකේ.
චර්මයේ ඇති රෝම කූප වල හට ගන්නා රෝම, හිසෙහි හිසකෙස් ලෙස සහ ශරීරයේ ලෝම ලෙස දකින්නට ලැබේ. ලෝම මගින් ශරීරයේ උෂ්ණත්වය පාලනය වන අතර, සමට ආරක්ෂාවද සැපයේ. 
සමෙහි ඇති රුධිර නාල මගින් එයට  පෝෂණය ලබාදෙන අතර, ශරීර උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රියාවලියක්ද සිදු  කරනු ලැබේ. බාහිර උෂ්ණත්වය වැඩිවන අවස්ථාවලදී, රුධිර නාල පුළුල් වී තාපය මුදාහැරීම වැඩි කරන අතර, බාහිර උෂ්ණත්වය අඩුවූ විට රුධිර නාල සංකෝචනය වී ශරීර උෂ්ණත්වය රඳවා ගනී. 
අසාදන වැලැක්වීමද   සමෙහි වැදගත් කෘතියකි. චර්මය ප්‍රදේශයේ පිහිටා ඇති වසා නාල පද්ධතිය මගින්  ගෙන එනු ලබන වසා තරලය (lymphatic fluid) ආශ්‍රීත ස්වේතාණු (white blood cells)   මගින් අසාදන කාරී විෂබීජ සහ වෙනත් අහිතකර දේ විනාශකර දමයි.  
අධස්චර්මයචර්මයේ පහළින්ම  පිහිටි ස්තරය අධස්චර්මයයි. මෙම කොටස අධස්චර්මීය මේද ස්තරය ලෙසද හැඳින් වේ.

                                                                                                                       අධස්චර්මයේ කෘති – මෙම මේද ස්තරය මගින් ශරීරය තද උණුසුමෙන් සහ තද ශීතලෙන් ආරක්ෂා කරනු ලබයි. අධස්චර්මයේ  ගබඩා කර ඇති මේදය ශක්ති ප්‍රභවයක් ලෙසද සැලකේ. ඊට අමතරව, ශරීරයේ අභ්‍යන්තර අවයව, පේශි, අස්ථි ආදිය බාහිර උපද්‍රව වලින් ආරක්ෂා කර ගැනීමේ කම්පන ඇවුරුමක් ලෙසටද  මේද ස්තරය ක්‍රියා කරයි.මෙතරම් ආශ්චර්යාත්මක ලෙස හැසිරෙන සමට වුවද විවිධ උපද්‍රව වලට මුහුණ පෑමට සිදුවේ. මුහුණෙහි හටගන්නා කුරුලෑ, සමෙහි ඉන්නන් ආදිය සුලභව දකින්නට ලැබේ.   එසේම සමහරවිට ‘උපන් ලප’ ලෙස හැඳින්වෙන කළු හෝ දුඹුරු පැහැති ලපද සමහර අයගේ ශරීරයේ දකින්නට ලැබේ. මේවා සාමාන්‍යයෙන් හානිකර නොවේ.


එහෙත් සමෙහි හටගන්නා වණ, දද සහ කුෂ්ට ආදිය සහ පොතු කබර වැනි අසාදන සඳහා චර්මරෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. කෙසේ වෙතත් සමෙහි හටගන්නා පිළිකා සඳහා වෛද්‍ය ප්‍රතිකාර අත්‍යාවශ්‍ය වේ. 


මේ අතින් බලන කළ අපගේ අවධානය බෙහෙවින් අඩු, අප ශරීරයේ විශාලතම අවයවය වන සම, තම කෘති සඳහා විධිමත් සැලසුමක් සහිත SMART අවයවයක් ලෙස දැක්විය හැකිය.

S – (Self) සම උණුසුම, ශීතල, අසාදන, බාහිර කම්පන ආදියට ස්වයංක්‍රීයව ප්‍රතිචාර දක්වන නිසා එයට ‘Self ‘ යන්න හොඳින් ගැලපේ.
M – (Monitoring) සංඥා මගින් නිරවද්‍ය පාලනයක් කරෙන නිසා ‘Monitoring’ අවයවයකි.
A – (Analysis) බාහිරින් සහ අභ්‍යන්තරයෙන් ලැබෙන උත්තේජ  ක්ෂණිකව සහ ඉතා නිරවද්‍ය ලෙස විශ්ලේෂණය කරන බැවින්, සම ‘Analysis’ කෘතිය මැනවින් ඉටු කරයි.
R – (Reporting) මේ සියලු දත්ත ලැබුණු ක්ෂණයකින්ම අවශ්‍ය කටයුතු සඳහා, ඒවා මොළයට සම්ප්‍රේෂණය කරයි. මේ නිසා එය ‘Reporting’ කෘතිය සම්පුර්ණ කිරීමකි.
T – (Technology) මේ සියල්ල මිනිස් සිරුරට ආවේනික තාක්ෂණය නිසා එය ‘Technology’ වේ.

අවසාන වශයෙන්, ස්වයංක්‍රීයව  සිදුවන මෙම ක්‍රියාවලි සියල්ලේම සම්පිණ්ඩනය වර්තමාන ලෝකයේ විවිධ තාක්ෂණ උපකරණ සහ විවිධ ක්‍රමවේද ආශ්‍රීතව ලබාගෙන තිබෙන කෘතීම බුද්ධියට වැඩි ඉහළ තලයක තිබෙන බව පැහැදිලිව දකින්නට ලැබේ.

මේ නිසා අපගේ සම    “ස්වයං අධීක්ෂණය මගින්, විශ්ලේෂණය  සහ වාර්තා කිරීමේ තාක්ෂණය” (Self-Monitoring Analysis and Reporting Technology) අතින් පරිපූර්ණ ස්වාභාවික ‘සුහුරු’ ‘SMART’ අවයවයක් ලෙස දැක්වීම නිවැරදිය.            


    
%d bloggers like this: