Menu Close

සැදූ කෙනෙක්, සැදූ කලක් නොදන්න තන්තිරිමලය බුදු පිළිම

එහි පැරණි නාමය අවිනිශ්චිත, තන්තිරිමලය ලෙසින් වර්තමානයේ හැඳින්වෙන පුද බිම පිළිබඳව මා මෙයට පෙර ලිපියකින්ද කරුණු දක්වා ඇත (එම ලිපිය කියවීමට Link>> ) තන්තිරිමලය  ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ පමණ සිට බෞද්ධ පුද බිමක් ලෙසට පැවත ආ බවට සාධක හමුවන මුත්, මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන එහි දැකිය හැකි ශෛලමය ප්‍රතිමා ඉන් මෑත යුගයකට අයත් වේ. ක්‍රි.ව. 8-9 සියවස් වල සිට 13 වන සියවස දක්වාම විවිධ කාල නිර්ණයන් නොයෙකුත් විද්වතුන් මෙම ප්‍රතිමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මුත් ඒ සම්බන්ධව නිශ්චිතව  යමක් පැවසීමට සෙල්ලිපි, වංශකතා ආදී සාධක නොමැත. එහෙත් පොදුවේ මෙම ප්‍රතිමා නෙළු යුගය අනුරාධපුර යුගයේ අවසානය හෝ පොළොන්නරු යුගය බවට විවාදයක් නොමැත.

සමාධි ප්‍රතිමාව

උතුරු දෙසින් වූ දාගැබ දෙසට යොමුවන ලෙසින් පිහිටි ගලෙහි මතු කර ඇති මෙම ප්‍රතිමාව  මීටරයක් පමණ උස ආසනයක් මත නිමවා ඇත. ප්‍රතිමාව මීටර 2.3 පමණ උසය.  සමාධි ප්‍රතිමාව දෙපසින් වැඩ නිම නොකල එක් පසකට හතර බැගින් වූ ගලෙහි මතු කල කුහර 8 දැකිය හැක. ඉන් කුහර දෙකක අඩක් කැටයම් කල බෝධිසත්ව රූප ලෙස සැක කල හැකි කැටයම් දෙකකි. ප්‍රතිමාවට පිටුපසින් මකර තොරණක් ගලෙහි මතු කර ඇති අතර එහි දෙපස මකර හිස් දෙකක් ඇත. පිටුපස කකුල් වලින් නැගී සිටින සිංහ රූ දෙකක් මගින් එම තොරණ ඔසවාගෙන සිටී. ප්‍රතිමාවේ ප්‍රභාමණ්ඩලය දෙපසින් චාමර සලන දේවතා රූප දෙකකි. ප්‍රතිමාව තබා ඇති ආසනයේද සිංහ රූප කැටයම් කර ඇත. මෙම ප්‍රතිමාව ආසන්න වශයෙන් චතුරශ්‍ර හැඩයෙන් යුත් පිළිම ගෙයක් තුල පිහිටන පරිදි ඉදිකර තිබූ බව දැනටද දැකිය හැකි එහි ශෛලමය දොර උලුවස්ස, දෙපසින් ඇති ගඩොළු බිත්ති, වහලය දරා සිටි  ගල් කණු සහ ඒවා සිටුවීම උදෙසා ගල මතුපිට හාරා ඇති සිදුරු වලින්  පැහැදිලි වේ.

පුරා සතියක් තන්තිරිමලේ ගල් ගුහාවක නැවතී සිටිමින් ගවේෂණ සිදු කල  ජෝන් ස්ටිල් දකින අවධිය වන විටත් (1909) මෙම ප්‍රතිමා ගෘහයේ සිට දාගැබ දෙසට වූ පඩි පේලියේ පඩි වල අග්‍ර තියුණුව තිබී ඇත. පඩි 8 ක් සම්පූර්ණයෙන් කපා ඇති මුත් 9 වැනි පඩිය වැඩ නිමවා නොමැති තත්වයෙන් ඇත. මෙම කරුණු අනුව කිසියම් ව්‍යසනයක් හේතුවෙන් මෙහි වැඩ අතරමග නතර කර ඇති බවත්, එම පඩි වල අග්‍ර තවමත් තියුණුව පවතින්නේ ඒවා පාවිච්චි නොකිරීමේ හේතුව නිසා විය යුතු බවත් ස්ටිල් පවසයි.

සැතපෙන ප්‍රතිමාව
උතුරු දෙසට යොමුවන සේ පිහිටි ගලේ නෙලා ඇති මෙම පිළිමය මීටර 12 දිගය. ප්‍රතිමාවේ හිසට මෙන්ම දෙපාවලටද කොට්ටයක් තබා තිබෙන අයුරින් නෙලා තිබේ. ඉහත ප්‍රතිමාව මෙන්ම මෙම සැතපෙන ප්‍රතිමාව වට වන අයුරින්ද ප්‍රතිමා ගෘහයක් ඉදිකර තිබී ඇත. 1896 වර්ෂය සඳහා වූ සිය වාර්තාවෙන් එවකට  පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ H.C.P. බෙල් පවසන්නේ ඔහු දකින විට මෙම පිළිමයේ නාසය සහ දකුණු අත විනාස වී තිබූ බවයි ( පසු කාලීන සංරක්ෂණයේදී සිමෙන්ති යොදා ඒවා පිලිසකර කර ඇත.)

ප්‍රතිමා ඉදිකල කාලය
පැරණි උපතිස්ස නගරය මේ ආසන්නයේ තිබිය යුතු බවට උපකල්පනය කල හෙන්රි පාර්කර් මෙම ප්‍රතිමා ගෘහ වල ගඩොල් වල ප්‍රමාණයන් අනුව ඒවා ක්‍රිස්තු පූර්ව හෝ ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සියවසට අයත් බවත් ඒ අනුව මෙම සෙල්මුවා පිළිමද එම යුගයේ ඉදිකරන්නට ඇති බවත් අනුමාණ කරයි. එහෙත් පසුකාලීනව මේ පිළිබඳව අදහස් දක්වන ජෝන් ස්ටිල් පොළොන්නරුවේ ගල් විහාර ප්‍රතිමා සහ මෙම තන්තිරිමලේ ප්‍රතිමා අතර ඇති සමානත්වයන් නිසා මෙම පිළිම නෙලීම ආරම්භයද පළමුවන පරාක්‍රමබාහු යුගයට (ඔහුට පෙර H.C.P. බෙල්ද මෙම අදහසම ඉදිරිපත් කර ඇත.) හෝ ඉන් පසු කාලයට අයත් විය යුතු බවත්, ඇතැම්විට කාලිංග මාඝ ආක්‍රමණයත් සමග අතහැර දැමීම නිසා දැනට දැකිය හැකි අඩක් නිම කල ආකාරයෙන් දිස්වන බවත් පවසයි (රෝලන්ඩ් සිල්වා වැනි ඇතැම් නූතන යුගයේ පුරාවිද්‍යාඥයන්ද මෙම අදහසම දරයි. තන්තිරිමලය මෙරටට බොහෝ දකුණු ඉන්දීය ආක්‍රමණික සේනා ගොඩබට මහාතිත්ථ තොටමුණ හෙවත් වර්තමාන මාන්තායි ප්‍රදේශයේ සිට අනුරාධපුරය දක්වා වූ පැරණි මාර්ගයේ මල්වතු ඔයේ සිට සැතපුමක පමණ දුරින් පිහිටීමද මෙම ස්ථානය එවන් ආක්‍රමණ වලට පළමුවෙන්ම ගොදුරු වන ප්‍රදේශයක් වීමට හේතුවේ.) ඔහු සිය අදහස තහවුරු කිරීම උදෙසා මේ ආසන්නයේ ඇති ‘පොත්ගුල’ ලෙසින් හැඳින්වෙන ගුහාව ඉහලින් වූ පර්වතය මත ඇති කළු ගල් වලින් නිර්මිත හතරැස් කොටුවේ ඇති ඇතැම් ගල් වල 11 වන ශතවර්ෂයේ අවසාන භාගයට හෝ 12 වන ශතවර්ෂයට අයත් අක්ෂර වලින්  සලකුණු කර ඇති සලකුණු සාධකයක් ලෙස ඉදිරිපත් කරයි. ඔහුට අනුව එම හතරස් කොටුව, ඊට පහලින් ඇති ‘පොත්ගුල’ සහ ඉදිරිපස ඇති පධානඝර ගොඩනැගිල්ලද මෙම ප්‍රතිමා නිමවූ යුගයටම අයත් වේ. 
මෙම හතරැස් කොටුව ගල මතු පිට දැනට සමතල කර ඇති ලෙසින් දිස්වන වෙනත් ස්ථානයක තිබී 12 වන ශතවර්ෂයේ නටබුන් වූ පැරණි ස්ථාන නැවත ඉදිකිරීමේදී වර්තමාන ස්ථානයේ නැවත ඉදිකර ඇති බවට සැක කල හැකි බව පවසන H.C.P. බෙල්ට පසුව පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ A.M. හෝකාර්ට්, ස්ටිල් ඉහත සඳහන් කරන අක්ෂර එම ප්‍රතිසංස්කරණයේදී යොදන්නට ඇති බවත් මුල් ගොඩනැගිල්ල ඊට  සියවස් කිරිපයකට පෙර යුගයකට අයත් වීමේ සම්භාවිතාවක් ඇති බවත් පෙන්වා දේ. කෙසේ නමුත් ඔහු ප්‍රතිමා අයත් වන කාලය 12 වන සියවස හෝ ඇතැම් විට සමාධි ප්‍රතිමාවේ ආසනයේ දැකිය හැකි කැටයම් වල ශෛලය අනුව සහ වෙනත් සාධක මත 13 වන සියවසට හෝ අයත් විය හැකි බව පවසයි.
හෝකාර්ට් පෙන්වාදෙන තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ මෙම ප්‍රතිමා වල සිවුරේ රැලි මතු කර අති ආකාරය පොළොන්නරු යුගයේ ප්‍රතිමා වල දැකිය හැකි එකිනෙකට සමාන්තර ද්විත්ව රැලි වෙනුවට අවුකන වැනි පිළිම වල දැකිය හැකි තනි රේඛාවේ එකිනෙකට සම දුරින් පිහිටන රැලි ආකාරයේ වන බවයි. මෑතකදී වෙනස් මතයක් මෙම පිළිම වල කාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ආචාර්ය දනන්ජය ගමලත් මහතා සිවුරේ මෙම ලක්ෂණය, සමාධි ප්‍රතිමාවේ ආසනයේ කැටයම් වල ලක්ෂණ සහ ප්‍රතිමා ගෘහයේ ස්වරූපය ආදිය පිළිබඳව සැලකීමේදී මෙම ප්‍රතිමා ඉදිකල කාලය 8-9 සියවස් වලට අයත් විය යුතු බව පවසයි.
බෝසත් පිළිම ලෙස අනුමාන කරන අඩක් නිමවූ ප්‍රතිමා
කෙසේ නමුත් මහාචාර්ය P.L. ප්‍රේමතිලක මහතා මෙම පිළිම වල ශෛලය චෝල කලාවේ පශ්චාත් පල්ලව ලක්ෂණ වලට සමාන බව පවසමින් 9 වන සියවසට කාල නිර්ණය කර ඇති අතර, ෂ්රූඩර් ද (Ulrich Von Schroeder) එහි කාලය 9-10 සියවස් බව පවසයි. අප මෙම ලිපිය ආරම්භයේදී දක්වා ඇති ලෙසින් මේ අනුව බොහෝ විද්වතුන් මෙම පිළිම නෙළු යුගය අනුරාධපුර යුගයේ අවසානයට හෝ පොළොන්නරු යුගයට අයත් බව නිගමනය කරයි. 
ක්‍රිස්තු පුර්ව යුගයන්හි සිටම පැවත ආ සංඝාරාමයක් සුවිසල් පිළිම නෙලමින් තවදුරටත් දියුණු වෙමින් පැවතුන අවදියකදී පරසතුරු ආක්‍රමණ හෝ ඒ හේතුව නිසාම සිදුවූ රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීමත් සමගම වනවැදී කාලයේ වැලි තලාවෙන් යටවී ගිය පසු නැවත විහාරයක් ලෙසින් දියුණු වීම ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය යුගයේදීය. ඒ හා සම්බන්ධ ඇතැම් තොරතුරු ඉදිරි ලිපියකින් විමසා බලමු.

මූලාශ්‍ර

  • Tantri-Malai: Some Archaeological Observations and Deductions. John Still, Journal of the Royal Asiatic Society of Ceylon Vol XXII, 63, 1910
  • Tantrimalai, A.M. Hocart, Journal of the Royal Asiatic Society of Ceylon Vol XXIX, 76, 1923
  • Ancient Ceylon, H. Parker, 1909
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Sabaragamuwa, And Central Provinces, Annual Report 1896.
  • Environment, Town, Village And Monastic Planning, Roland Silva, 2006
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්), ආචාර්ය දනන්ජය ගමලත්, 2016
%d bloggers like this: