Menu Close

සංයුත්ත නිකාය – භික්ඛුණී සංයුක්තය- චාලා සුත්තං

අද උඳුවප් පුන් පොහෝ දා ඔබට සෙනෙහසින්. 

සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

5.1.6. චාලා සුත්තං

5.1.6. චාලා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම

සාවත්ථියං…. සැවැත් නුවරදී ………………………
අථ ඛෝ චාලා භික්ඛුනී පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සාවත්‌ථිං පිණ්‌ඩාය පාවිසි. සාවත්‌ථියං පිණ්‌ඩාය චරිත්‌වා පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තා යේන අන්‌ධවනං තේනුපසංකමි.  දිවාවිහාරාය. අන්‌ධවනං අජ්‌ඣෝගහෙත්‌වා අඤ්‌ඤතරස්‌මිං රුක්‌ඛමූලේ දිවාවිහාරං නිසීදි. අථ ඛෝ මාරෝ පාපිමා යේන චාලා භික්ඛුනී තේනුපසංකමි. උපසංකමිත්‌වා චාලං භික්‌ඛුනිං ඒතදවෝච. කින්නු ත්‌වං භික්ඛුනී න රෝචේසීති?
එදා චාලා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා දවල් කාලෙ ගතකරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුළටම ගිහින් එක්තරා රුක්සෙවනක දවල් කාලෙ වාඩිවෙලා හිටියා.
එතකොට පවිටු මාරයා චාලා භික්ෂුණිය වෙත ආවා. ඇවිදින් චාලා  භික්ෂුණියට මෙහෙම කිව්වා. 
“ඒයි භික්ෂුණී, ඔයා අකමැති මෙනවාටද?”
(චාලා භික්ඛුනී) (චාලා භික්ෂුණිය) :
ජාතිං ඛ්‌වාහං ආවුසෝ න රෝචේමීති.
“ආයුෂ්මත, මං ඉපදීමට කැමති නෑ.”
(මාරෝ);(මාරයා) :
කින්නු ජාතිං න රෝචේසි ජාතෝ කාමානි භුඤ්‌ජතිකෝ නු තං ඉදමාදපයි ජාතිං මා රෝච භික්‌ඛුනීති.
“ඒ මොකද ඉපදීමට කැමති නැත්තෙ? ඉපදුනාම නෙව කම්සැප විඳින්න පුළුවන් වෙන්නෙ. ඒයි භික්ෂුණිය, ඉපදීමට ආශා කරන්න එපාය කියල කවුද ඔයාට ඉගැන්නුවේ?”
(චාලා භික්ඛුනී);(චාලා භික්ෂුණිය):
ජාතස්‌ස මරණං හෝති ජාතෝ දුක්‌ඛානි ඵුස්‌සති බන්‌ධං වධං පරික්‌ලේසං තස්‌මා ජාතිං න රෝචයේ.
“ඉපදිච්ච කෙනාට තමයි මරණය තියෙන්නෙ. ඉපදුනාම ලැබෙන්නෙ දුකයි. වධ බන්ධන, කරදර කම්කටොලු ඔක්කොම ලැබෙනවා. ඒ නිසා මං ඉපදීමට කැමති නෑ. 
බුද්‌ධෝ ධම්‌මමදේසේසි ජාතියා සමතික්‌කමංසබ්‌බදුක්‌ඛප්‌පහානාය යෝ මං සච්‌චේ නිවේසයි
ඉපදීම ඉක්මවන ධර්මය බුදු සමිඳුන් තමයි අපට කියල දුන්නෙ. සියලු දුක් නැති කරවන ඒ ආර්ය සත්‍ය තුළ මාව පිහිටෙව්වේ උන්වහන්සේ තමයි.
යේ ච රූපූපගා සත්‌තා යේ ච ආරුප්ප‌ඨායිනෝනිරෝධං අප්‌පජානන්‌තා ආගන්‌තාරෝ පුනබ්‌භවන්‌ති.
රූප ලෝකෙ ඉපදුනු සත්වයෝ ඉන්නවා. අරූප ලෝකෙ ඉපදුනු සත්වයෝ ඉන්නවා. ඔය කාටත් නිරෝධ සත්‍ය දැනනොගත්තොත්, ආයෙමත් භවයට එන්න සිද්ධ වෙනවා.”
අථ ඛෝ මාරෝ පාපිමා ….(පෙ)…. තත්ථේවන්‌තරධායීති.
එතකොට පවිටු මාරයා, ‘චාලා භික්ෂුණිය මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම අතුරුදහන් වුනා.
සාදු! සාදු!! සාදු!!!
%d bloggers like this: