Menu Close

පණ බේරපු කිරිල්ලී – පළමුවෙනි කොටස

මනාලියත් එක්ක කෙරෙන පළමු කතාබහ ‘අ’ අක්ෂරයෙන් පටන් ගන්නට හිතපු ………..

“විවාහවූ දවසේ මනාලිය සමඟ යද්දී ඇය හා කතාව පටන් ගත යුත්තේ ‘අ’ අක්ෂරයෙන් බව ඔහු හිතා ගත්තේය.

“අයියා ආවද?”
“ඉස්සර කාර් එකේ ඉන්නේ.”
“මං ගාව ඇපල් මුද්දරප්පලම් බෑග් එකක් තියෙනවා. ආ.”
“එපා.”
“නෑ. කන්නම ඕනෑ.”
ඇය එකම එක මිදි ගෙඩියක් කඩා ගත්තාය. ඉතුරු මිදි ටික ඔහුටම කන්නට විය.’
එලිසබත් ප්‍රනාන්දු මෙනෙවිය එහෙම හරි කණුපුලගේ ඌගෝ ප්‍රනාන්දුට බුරුලක් පෙන්නුවා යයි කියන්නේ 1935 අවුරුද්දේ හලාවතදීය.
2019දී අනූ කිරිල්ලවල එච්චරවත් බුරුලක් මට පෙන්නුවේ නැත. ඒත් නිකම්ම නොතකා හරින්නට පුළුවනිද? මගේ ජීවිත කතන්දරය ලියද්දී ‘අනූ’ ගැන නොලියා කොහොමද? අනූට පණිවිඩ යවමින් මාස කිහිපයක් තිස්සේ උත්සාහ කළෙමි. අනූව අල්ලාගන්නට වෑයම් කළෙමි. 

“තවම නං කිසිම උත්තරයක් නැහැ අරුණ! මට කොහොම හරි එයාව contact කරගන්න ඕනේ. මේ වැඩේට…….”
නිදිගෙ ජීවිත කතන්දරය ලියද්දී කිරිල්ලී ගැන නොලියා ඉන්නම බැරිය!
“ඉතින් අපි මොකද කරන්නෙ නිමල් අයියේ?”
“ඔයාට බැරිද මැසේජ් එකක් යවන්න. නැත්තං ටෙලිෆෝන් කරන වෙලාවක හරි කියන්න…..”
“හරි… ඒත් තව පොඩ්ඩක් බලමුකෝ.”අරුණ කිව්වා හරිය. බලා හිඳිද්දී………….
අනූ කිරිල්ලවල මෝදු වුණාය; මැසේජ් එකක් එව්වාය. මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි. එවෙලේම අරුණටත් ඒ බව කිව්වෙමි.
එයාට නොකියා කොහොමද? ඒ සේරම වුණේ අරුණ දිසානායක හින්දාය! මට ‘කිරිල්ලී’ මුණ ගැහුණේ අරුණ හින්දාය! අවුරුදු තිහක් විතර ….. සමහරවිට ඊටත් වැඩි වෙන්නැති. නොසලකා ඇරලා වගේ; අමතක කරලාම වගේ ඉඳපු මට ‘කිරිල්ලී’ ගැන විස්තර ඕනෑ වුණේ අවසර ගන්නටය. 

අප ගැන ලියනවා නම් නම-ගම විස්තර ඇතිවම ලිවිය යුතුය. මගේ විස්තර විතරක් කියලා ‘රහ’ නැත. කෑලි අඩුවෙන් ලියලත් බරක් නැත. මගේ ගැන සේරම කිව්වත්, එයාගෙන් අවසර නැතිව ප්‍රධාන චරිතය ගැන ලියතෑකිද?
ඔන්න ඒක ලැබිණි!
තවමත් අරුණ දිසානායක ඉන්නේ අනුරාධපුරයේය. කිරිල්ලී ඉන්නේ කූඩුවක නොවේ, ඉතාලියේය. 
“නිමල් අයියේ, එයා සෑහෙන කාලෙක ඉඳලා ඉතාලියේ ඉන්නේ. කිරිල්ලී කිව්වට එයා…..”

අරුණ අනූගේ වත්පොතේ නමත්, දුරකථන අංකයත් මට දුන්නේ මාස කිහිපයකට කලින්ය.

අප හැමෝටම තිබුණේ එකම ජාතියේ උණකි. ‘පර වැඩ’ කිරීමේ උණ!

එතකොට; නවසිය අසූ ගණන්වල අරුණ, කිරිල්ලී, උපාලි හා මං වහන්සේ ඇතුළු අප හැමෝම හිටියේ එක විදිහක උණකිනි. ඩෙංගු – වයිරස් වගේ මාරාන්තික උණවලින් නොවේ; ලෙහෙසියෙන් සනීප වෙන්නේ නැති උණකිනි. පර වැඩ කිරීමේ උණ!

‘පර’ කිව්වේ ‘එපා කරපු’ කියන අර්ථයෙන් නොවේ;  ‘අන්‍ය’ – අනුන් කියන අරුතිනි. 
තවත් පැහැදිලිකොට ‘බණ’ පදයකිනුත් කියනවා නම් ‘පරත්ථං පටිපපජ්ජථ – අනුනට සේවා කරන්නට කැප වෙමු’ය.
මං එහෙම කරමින් උන්නේ තරුණ ජනගහණ කමිටුව හා එකතු වෙලාය. 

අරුණ දිසානායක එහෙම කරමින් උන්නේ ‘සෞඛ්‍යදාන ව්‍යාපාරයේ’ අනුරාධපුර ශාඛාව හා එකතු වෙලාය.
තව ඩිංගෙන් අමතක වෙනවාය. පෝස්ටුවේ මුලදීම කිව්වේ ඒ.ඩී. රන්ජිත් කුමාර සහෘදයා 2019 ඔක්තෝබර් 10 වෙනිදා ‘සරසවිය’ පත්තරයට ලියා තිබුණු ලිපියකින් ගත් කොටසකි. ලිපිය සිංහල සිනමාවේ අමරණීය චරිතයක් වන හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් ගැනය. 

එතකොටත් මා හියුගෝ මාස්ටර් ගැන සෑහෙන්නට දැනගෙන හිටියත්, සෞඛ්‍යදාන සංගමය ගැන නම් මොනවාවත්ම දැනගෙන හිටියේ නැත. දැනගත්තේ අප පත්තරයේ දැන්වීමක් පළ කළ පසුවය.
එක කොටසක් වැඩ කරද්දී අනෙක් කොටස ලකුණු දමා ගන්නට වැඩ කරති….. ගාන්ධිතුමා කියා……

‘ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ තරුණ ජනගහණ කමිටුව 
ලාංකේය තරුණ නායක-නායිකාවන් උදෙසා 
‘ජනගහණය, පවුල් සැලසුම හා නායකත්වය’ පිළිබඳව තෙදින නේවාසික වැඩමුළුවක් නොමිලේ පවත්වයි. 
ඔබත් ස්වේච්ඡාසේවී තරුණ නායකයෙක් හෝ නායිකාවක්ද? 
විශේෂ පුහුණු වැඩසටහනකට සහභාගී වන්නට කැමැතිද? 
නොපමාවම අපට ලියන්න!’ 
ඔහොම දැන්වීමකටය අරුණ ඉල්ලුම් පත්‍රයක් එව්වේ.

එවන ඉල්ලුම් පත්‍රයෙන්ම එවන්නා ගැනත් ගොඩාරියක් රහස් දැනගන්නට අපි සමත් වීමු.
ලියා තිබෙන පිළිවෙල, අඩංගු කරුණු විතරක් නොවේ- කොළය නවා තිබෙන හැටි, මුද්දරය අලවා තිබෙන හැටි පවා මගේ නම් සැලකිල්ලට බඳුන් විණි. 
ඒවා සලකමිනි අප උත්තර යැවුවෙත්. ඒ හැම එකකින්ම අරුණ දිසානායක score කොට තිබිණි.
එතකොටත්, දැන් වගේම මා වසඟ වෙන කරුණු අතර අත් අකුරුත් තිබිණි. අරුණගේ අත් අකුරුත් හරිම අපූරුය! කලාත්මකය!!
අරුණගේ මේ ලිපිය පූනානි රැඳවුම් කඳවුරේ සිට හදිසියේ ලියූවක් නිසා අත් අකුරු ටිකාක්……..
එයාවත් තේරුණේය; තෝරාගත් අයට වැඩමුළුවත් පැවැත්වුණේය; එහෙම තෝරාගැනුණු ගොඩාරියක් අය ‘මහත්මා ගාන්ධි’තුමාගේ පියාණන්ට අනුව නම් පළමුවෙනි වර්ගයේ මිනිසුන්ය.
‘මිනිසුන් වර්ග දෙකක් සිටින බව මගේ පියා මට පවසා ඇත.
ඉන් එක කොටසක් වැඩ කරන අයයි. අනෙක් කොටස ඒ සඳහා ලකුණු දමාගන්නා අයයි.
මගේ පියා මට නිතරම උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටස වී සිටින ලෙසයි.
එයට හේතුව වැඩ කරන මිනිසුන් අතරේ තරගයක් නැති බැවිනි. තරගයක් ඇත්තේ ලකුණු දමා ගන්නා මිනිසුන් අතරේ බැවිනි. 
මහත්මා ගාන්ධි
පළමු මනුස්ස ගොඩට වැටුණු අරුණ ඇතුළු ගොඩක් අය මොකක් හෝ ස්වෙච්ඡාසේවී සංවිධානයකට සම්බන්ධවී කටයුතු කරමින් සිටියහ. 

“78 මැදවච්චිය මහා විද්‍යාලයෙන් තමයි මං සෞඛ්‍යදාන මූමන්ට් එකට බැඳුණේ. සෙනඟ එකතු වෙන තැන්වල අසනීප වෙන අයට උදව් වෙන වැඩ තමයි ඒකෙන් කෙරුණේ. 
පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවසේ වගේ ජාතික උත්සව තියෙනකොට….., 
කතරගම- නුවර- බෙල්ලන්විල- මහියංගනේ- ගංගාරාමේ වගේ තැන්වල පෙරහැර කාලවලට කොච්චර සෙනඟ එකතු වෙනවද……?” ඒ අරුණය.
සෞඛ්‍යදානෙන් පෙරහර, ජාතික උත්සව වගේ ඒවා තියෙන දවස්වලදී………… 
“ආ…. එහෙම තැන්වලදී ඔයාලා වෛද්‍ය ආධාර දෙනවා!”
“එහෙම උත්සවවලදී විතරක් නෙවෙයි නිමල් අයියේ, ස්වභාවික විපත්තිවලදී….. ගංවතුර, නියඟ, සුළිසුළං, යුද්ධ….. වගේ දේවල්වලදි තමයි අපි වගේ අයට වැඩ වැඩිවෙන්නේ. 
සමහර බ්‍රාන්චස්වල අය වැඩිහිටි නිවාස, ළමා නිවාස….. ඔය විකලාංග නිවාස තියෙන්නේ. ඒවායේත් වැඩ කරනවා.”
“එහෙම දේවලට දැනුමකුයි, පුරුද්දකුයි නැතිව පුළුවනියැ?” මට කියැවුණේ නිකම්මය.
“ඒකට තමයි අපි එයාලටත් සම්මන්ත්‍රණ, work shops කරන්නේ ඔයාලා වගේම.” එහෙම කියූ අරුණ, 1983 වෙද්දී ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ දිස්ත්‍රික් ලේකම් ලෙසිනි, කටයුතු කරමින් හිටියේ.    
සෞඛ්‍යදාන ශාඛා සාමාජික- සාමාජිකාවන් උදෙසා සම්මන්ත්‍රණ  ගණනාවක්මත් සංවිධානය කළ අරුණ, පසුව තජකයේ වැඩ සටහන්වලට දේශකයෙකු විදිහටත් සම්පත් දායකත්වය ලබා දුන්නේය! 

ඒ තජකය එක-එක්කෙනාට ‘කොක්ක ගැසූ’ විදිහය. මටත් කළේ එහෙමනේ.
සෞඛ්‍යදාන ස්වේච්ඡා සේවීන් සඳහා වැඩ සටහන් රැසක්ම සංවිධානය කර දුන් අරුණ……..

අරුණ දිසානායක අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාම වගේ තජක වැඩ සටහන් ගොඩාරියක් සංවිධානය කරද්දී, අප ඒවාට සහභාගී වෙන්නට ගියේ හරිම කැමැත්තෙනි. 

එහෙම ගමනකදීය අප කොත්තු කෑවේත්! මා නම්, එතකොට එහෙම කෑමක් තිබෙන බවක්වත් අසා තිබුණේ නැත.

ඒ දවස්වල ලංකාවට ‘කොත්තු රොටි’ ආවා විතරක් වගෙය. 
කෑම ගැන අඩුවෙන් දැන හිටි මට ‘කොත්තු’ ගැන මුලින්ම කිව්වේ අරුණ බව හොඳටම මතකය. “නිමල් අයියලා කැමතියි නම් අද රෑට කොත්තු රොටි කමු. කඩ පනහේ තැනක් තියෙනවා. එතැන කොත්තු මරු!”
එක විදිහකින් අනුරාධපුරය මාරය!
එහෙම කියන්නේ අනුරාධපුරයේ තරම් හංදි කැඩෙන හංදි තොගයක් වෙන කිසිම දිහාවක නැති හින්දාය. 

“ඔයාලට විතරක් නෙවෙයි නිමල් අයියේ, හුඟක් අයට අනුරාධපුරේදී පාරවල් වරදිනවා. එක වගේම හන්දි ගොඩයි. Round about ගොඩයි. මෙහෙ; අනුරාධපුරේම තමයි පුත්තලම් හන්දියක් තියෙන්නේ. 
මාතලේ- කුරුණෑගල හන්දි විතරක් නෙවෙයි යාපනේ හන්දියකුත් තියෙන්නේ…. 
මං ඔයාලට කිව්වා නේද කඩ පනහේ කොත්තු කඩේ ගැන. කඩ තිහකුත් තියෙනවා. කඩ 12- කඩ 10 වගෙම කඩ 5කුත් තියෙනවා!”
“එහෙනං අපි අද රෑට කොත්තු කමු, අරුණ. එතකොට වියදමත් අඩුයිනේ!”
අනුරාධපුරයේදී පාරවල් හොයාගන්න හරි අමාරුයි. හංදි කැඩෙන හන්දි ගොඩකුයි, රවුන්ඩබවුට් ගොඩකුයි………
තජකයේ අපත් හැමවිටම බැලුවේ අරපිරිමසා ගන්නටය. ‘මාතර තානායමේ අමු හෙළුවෙන් පෙළපාලි ගියා වගේ දේවල් වුණේ ඉතා කලාතුරකිනි.
අනුරාධපුර ගමන් එකකදීවත් අප තානායමක නැවතුණේ නැත. එක ගමනකදී අප නවාතැන් ගත්තේ ඉස්කෝලයක පන්ති කාමරයේ ඩෙස්ක්-බංකු උඩය. 

“නිමල් අයියලට නම් ඒ ඉස්කෝලේ නම දැන් මතක නැතිවෙන එක පුදුමයක් නැහැ. දැන් ඒ පැති හරි දියුණුයි. එහාට ගියත් ඔයාලට අඳුනාගන්න බැරි තරමට වෙනස් වෙලා. 
85ටත් කලින්නෙ, ඔයාලා හොරොව්පතාන කපුගොල්ලෑවේ ඉස්කෝලෙට ගියේ. මතකද එතකොට එහෙ හිටිය ප්‍රින්සිපල් සර් සෝමපාල මහත්තයා……..”
“අනේ එච්චර දේවල් කොහෙ මතක හිටිනවද අරුණ? හැබැයි, මං පුදුම වුණු දෙයක් නං එහෙදි හරි, ඔයාම අපිව එක්කං ගිය ඉස්කොලෙකදී හරි දැක්කා. 
වතුර කළගෙඩිය රුපියල් දෙකකට ගෙනෙන මිනිස්සු. හෙණ ඈත ඉඳලා.”
ඉන්දියාවේ වගේ ගවු ගණන් නොගියත් අපේ උදවියටත් ඒ කාලේ වතුර කළගෙඩියක් ගන්නට වුණේ……….
ඒවා අතීතයට එකතුවී හමාරය. ඒ පලාත්වල උදවිය වකුගඩු රෝගය නිසා මැරෙන හැටිත් දැන් කාටවත් මතක නැතිවෙලා වගෙය. 
අනෙක් උදවිය එපා, මේ ලියන මොහොතේය; මේ හරකාටත් එක දෙයක් click වුණේ!
දැන් අවුරුදු කිහිපයක් තිස්සේ අපි හමසකට වතාවක්වත් හම්බන්තොට යන්නෙමු. ඒ විනෝදයට නොවේ. මට ප්‍රතිකාර ගන්නටය

එහෙම යද්දී ‘පිරිසිදු වතුර විකිණීමට ඇත – ලීටරය රුපියල් …..’ කියා තිබෙන පුවරු කීයක් දකින්නට ඇතිද? 
ඇයි, මට ඒ boards දැකලා අමුත්තක් නොහිතුණේ? 

වතුර වගේම දැන් හැම මළදානයක්ම විකිණෙන හින්දාවත්ද?
කල් ඇතිවම අරුණ අපට අනතුරු ඇඟෙව්වා මට හොඳටම මතකය.
“නිමල් අයියේ. කපුගොල්ලෑව ඉස්කෝලේ කිට්ටුව නං ඔයාලට රෑට කන්න දෙයක් අරගන්න තැනක් නැහැ. වැඩ සටහන උදෙන් පටන් ගන්න වෙන හින්දා කලින් දවසේ ගිහින් ඉන්නත් වෙනවා. මොකද කරන්නේ?” අරුණ ඇහුවේය.
කපුගොල්ලෑවේ ඉස්කෝලෙට රෑ වෙලා යන්නත් බැහැ, පාන්දරින්ම යන්නත් බැහැ අලි හින්දා!
“ඔච්චර දෙයක්යැ මනුස්සයෝ. යන ගමන්ම පානුයි, සැමන් ටින් එකකුයි, ළූණු අමුමිරිස් ටිකකුයි අරන් ගිහින් සම්බෝලයක් හදා ගනිමු!” 
ඒ වගේම එදා අපේ රාත්‍රී භෝජනය වුණේ ඒකය! 
හැබැයි, ඒ ගමනට තජකයේ එකම ගැහැනු පරාණයක්වත් එක්ක ගියේ නම් නැතිය.
එවැනි දේට අප පෙළඹවූයේ අරුණ දුන් ආදර්ශයයි; 
අරුණගේ දේශපාලන ජීවිතයයි. 
(පස්සෙය දැනගත්තේ; මේ මනුස්සයා තදේටම දේශපාලන උණෙන් දුඃසාධ්‍ය රෝගියෙකි! ‘අසාධ්‍ය’ කියන්නේ අමාරුවෙන් හරි සනීප කළ හැකි කියන එකය. දුස්සාධ්‍ය කියන්නේ සදහටම රෝගය සින්න කරගෙන ඉන්නා අයටය.)
ඔහොම යද්දී, කාලයක්ම අරුණ දිසානායක අපෙන් අතුරුදහන්ව හිටියේය. 
මගේ ලියුමකට දෙකකට උත්තර නොලැබිණි. 
ඒක ඒ තරමට දැනුනෙත් නැත!
අප වයසෙන් වැඩි වෙද්දී ‘තජක නායකත්වයේ බැට්න් එක- යෂ්ටිය’ අලුත් පිරිසකට බාර දෙන්නට විණි; ඊට පස්සේ සැලසුම් හැදුවේ, ඒවා ක්‍රියාත්මක කෙරුවේ ඔවුන්ය. 

කොල්වින් සේනාරත්න, මර්වින් බොතේජු, අනුර ජිනදාස, අසෝක කපුරුගේ, ඉන්දිරා හෙට්ටිහේවා, ඩී.ඩී. පද්මසිරි, නිමල් දිසානායක වැනි අය ක්‍රමයෙන් තජකයෙන් ඈත් වෙමින් උන්හ.
තජකයේ සිරිත වුණේ හැම වසරකදීම නායකත්වයේ බැටන් එක නවක කෙනෙකුට දීමය!
ඒ අතරේම අපේ වැඩි දෙනෙක් පවුල්-පන්සල් වූහ. (එයාලා ගිහියන් නිසා පන්සල්-පවුල් වුණේ නැත!).
ඒ දවස්වල අපට දුරකථන තිබුණෙත් නැත. ඉතින්, අරුණට යැවූ ලියුමකට- දෙකකට උත්තරත් නැති වුණාම……. 
සෑහෙන කලකට පස්සේ, බ්ලොගය නිසා මම fb යන්නෙක් වීමි. ඒ ‘අකල් මරණෙකට හවුල්වී’ පෝස්ටුවට හිතවත් චරිත් සුදර්ශනගේ ෆොටෝ එකක් බාගන්නට ගිහින්ය. ඊළඟට, මුහුණු පොත හරහා හොයද්දී ‘නිදිගෙ නැතිවුණු පුරුක් ගොඩාරියක්’ හමු විණි. අරුණත් එයින් එක්කෙනෙකි! 
එහෙම හමුවී ටික දවසකින්ම; දැනට මාස කිහිපයකට කලින්,
අරුණ දෝණියන්දෑත් එක්කම අපේ ගෙදර ආවේ මගේ සැපදුක් බලන්නටය.
“තවමත් ගෙදරක් හදාගෙන ඉවර නැහැ නිමල් අයියේ. දැන් ටීචින්වලින් පෙන්ෂන් ගිහිල්ලත්…. දැන් තමයි හිතෙන්නේ ගෙයක්-දොරක් ඕනෙයි කියලා….” මාස කිහිපයකට කලින් අපේ ගෙදර ආ වෙලාවේ කිව්වත්, 
තවමත් මනුස්සයාගේ මුල් තැන නම් ‘පර වැඩ’ කරන එකටමය.
89 ඉඳලා 94 වෙනකල් මං හිටියේ හිරේ. පූනානිවල, මැගසින් එකේ…. පොලිසිවල කූඩුවල……
“නිමල් අයියල දන්නෙ නැහැ. මං එතකොට JVP එකේ වැඩ. 82 පක්ෂේ තහනම් කළාට පස්සේ, සෞඛ්‍යදාන වැඩ වැඩියෙන් කළා. එක විදිහකට ඒවා උදව් වුණා ජීවිත ආරස්සාවටත්.
89 ඉඳලා අවුරුදු 5ක්…. 94 වෙනකල් මං හිටියේ හිරේ.”
“දෙයියෝ සාක්කි, හිරේ?”
“ඔව් නිමල් අයියේ. පොලීසි පහක කූඩුවල හිටිය. 
පූනානි වධකාගාරෙත් කාලයක් මාව දමල තිබ්බා. 
අන්තිමට තමයි බොරැල්ලේ මැගසින් එකට දැම්මේ. 
ඉතින් කොහොමද ඔයාලට ඒවා කියන්නේ.” 

අරුණගේ දෑසම දිලිසෙයි.
“එහෙම කාලෙක මුල්ම අවදියේ තමයි ඔයා අපිට අනුරාධපුරේ එන්න කිව්වේ?” 
පොසොන් එකට අපේ මෙඩිකල් කෑම්ප් එකට එන්නකෝ නිමල් අයියේ!
“නිමල් අයියේ, එන්නකෝ පොසොන් එකට අනුරාධපුරේ! 
සෞඛ්‍යදානෙන් අපි වන්දනාකාරයන්ට බෙහෙත් කරනවා… ප්‍රථමාධාර දෙනවා…. හැබැයි youth එකට වගේ සම්පත් නං නැහැ. 
අපිට කන්න දෙන්නෙත් එහෙ දන්සැලකින්…. 
ඒවාම තමයි ඔයාලටත් දෙන්න වෙන්නේ. කැමතියි නං ඇවිත් බලන්න….” 

1983 හෝ 84 හෝ අරුණගෙන් කෙරුණු ඒ ආරාධනාව පිළිගත්තේ, එවිට නිවාඩු ගැනීමේ ප්‍රශ්නයක් නොතිබුණු උපාලි ජයරත්නත්, මාත්ය……. 

ඉතින්…..
%d bloggers like this: