Menu Close

තාවකාලිකව අත හැරෙන සංසාරික බැඳීම්

“හමුවීම යනු වෙන්වීමේ ඇරඹුම ය.
හමුවීමේ සිට වෙන්වීම තෙක්,

සියල්ල පවතින්නේ බැඳීම් වශයෙනි.
සංසාරය පුරා පවතින ඇතැම් බැඳීම්,

තාවකාලික නැවතුමකින් නික්මෙන තෙක් රැගෙන විත්,
අත්හැර දැමීමට හැකිනම් එය බෝසත් කමකි.”

සුළැඟිලි රන් හුයෙන් බන්දා ඇරඹූ ගමනක් නිම වන්නේ කපු හුයෙන් දෑඟිලි බැඳීමෙනි. සුදු සලු ඉන ඔතා කැටුව ආ ඔබට සමු දෙන්නට සිදුවන්නේ සුදු සලු මතක වස්ත්‍ර පුදා ය.

ප්‍රේමයෙන් සිපගත් ඒ තෙත් දෙතොල් කෙමෙන් කෙමෙන් උණුසුමෙන් ගිලිහෙයි.. විවරව පැවතීම වලකනු වස් මේ දෙතොල් නිකට වටා රැහැන් බැඳ, බැඳ ලනු හැර වෙන කුමක් කරන්න ද?

සඳට උපමා කල ඔබේ වත කමල ඇඳ ඇතිරිලි නම් වළා තිර ඇද වසා ලමි.

සඳ කිඳුරු දා කව මේ වැලපෙන්නේ කිඳුරිය නොව කිඳුරා ය.

අත් පැන් වඩා එරන් කෙමියෙන්
දෑත් සුළැඟිලි බැඳ රන් හුයෙන්
ඔතා ඉඟ සෙනෙහසින් සුදු සළු
කැටුව ආවෙමි පුදා කිරිකඩ

සසර මග අත්වැල ද ගිලිහුන
සඳ කිඳුරා ය මළ පොත ම කියවන
පෙම් බැඳන් ආ නීල දෙනයන
සිතේ දෑඟිලි තුඩින් පියවන

තෙත් ලවන් උණුහුමෙන් ගිලිහෙන
රැහැන් ඇද බැමි ලමි දෑලවර
ශ්වේත ඇතිරිලි වලා තිර ඇද
වසා වැලපෙමි සඳ කමල් වත

දෑත් සුළැඟිලි කපු හුයෙන් බැද
පැන් වඩා අනුමෝදනාවෙන්
පුදා සුදු සළු මතක වත්තං
සසරෙ හමුවන තුරා වෙන්වෙමි

Voice – Dumal Warnakulasuriya
Lyrics – Dimuthu Predeep Perera
Melody – Akshaya Indusara
Music Arrangement – Sanjeewa Dewapriya Samarakoon
Arhu and Piano – Dilshan Malitha Manaranga
Base Guitar – Shaluka Hettiarchchi
Background Voice – Kethaki Suraweera, Akshaya Indusara, Sanjeewa Dewapriya Samarakoon Recording – Dilantha Wasala at SL Wave Lab Studio
Mixing and Mastering – Dilshan Malitha Manaranga at DM Audio Labs Mirigama

%d bloggers like this: