Menu Close

අනුගමනය කරනවානම් 3: කෑම වේලට මග පෙන්වීම Food Guide

” තෙල් කෑම අඩු කරන්න, දියකිරෙන් උයල කන්න. බත් කෝප්ප බාගයක් විතර කන්න..”
“බලමාලු, ඉස්සෝ, දෙල් වගේ ගිනියම් කෑම මේ කසාය බොන අතරේ ගන්න එපා.” වෛද්‍යවරයෙක්, පෝෂණවේදියෙක් හෝ වෙද මහත්මයෙක්ගෙන් පුද්ගලික උපදෙස් ලැබෙන අවස්ථාවක හැර ආහාරයක් කෙසේ සකස් විය යුතුද කියල පොදුවේ මහජනයා දැනුවත් වීමක් ලංකාවේ තියනවද කියා සැකයි.

ආහාරවල පෝෂක කොටස් තියෙන බව ඉගෙනගන්නේ කුඩාකල ඉඳන්මනේ. සමබල ආහාරයක ඒ පෝෂ්‍ය කොටස් සියල්ල තියෙන්න ඕන බවත් දන්නවා. ඒත් වරකට ගන්නා ආහාරය කොපමණ වෙන්න ඕනෙද පෝෂ්‍ය කොටස් අනුපාතය කොතරම් වෙන්න ඕනෙද කියන එක ගැන එතරම් විස්තර කිරීමක් පාසලේ පාඩම්වල අඩංගු වුනේ නැහැ. ඒ වගේම පෝෂ්‍ය කොටස් සාමාන්‍ය භාවිතයේ තියන වචනවලින් නෙමෙයි, කබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් වගේ වෙනස් වචනවලිනුයි විස්තර කරන්නේ.
ඇමරිකා එකසත් ජනපදයේ කරන ලද පර්යේෂණවලින් හෙළිවුණේ මිනිසුන්ගේ වැරදි පෝෂණ පුරුදුවලට හේතුවන්නේ ආහාර හා පෝෂක පිලිබඳ නොදනුවත්බව කියායි.
කැනඩාවේ ආහාර ගැන පොදුවේ දැනුවත් කිරීම මධ්‍යම රජයේ වගකීමක් යටතට ගැනෙන්නේ. ඒ සඳහා කා හටත් දැනුවත් විය හැකි Food Guide සංකල්පය භාවිතයේ පවතිනවා.

මෙය මුලින්ම සමාජගත කර තිබෙන්නේ 1942 තරම් අතීතයේ යි. දෙවෙනි ලෝක යුද්ධ සමයේ රට පුරා පැතිරුණු මන්ද පෝෂණය ගැන අවධානය මෙන්ම යුද්ධයට යන සොල්දාදුවන් ශක්තිමත් කිරීම හා රෝග පීඩාවලින් රැකගෙන ශරීර සෞඛ්‍යය නිවසේ සිටම ශක්තිමත් කිරීමත්, කාර්යයේ යෙදෙන සියල්ලන් කාර්යක්ෂම කිරීමත්, නිරෝගී මව් පරපුරක් ඇතිකිරීමත් මුලින් නිකුත් කළ ‘ආහාර නීති’ පොත් පිංචේ මුලික අරමුණ වුණා. (තුවක්කුවක් කර තබාගෙන යන කිරි බෝතලය 😃).
කිරි, පලතුරු, එළවලු, පාන් හා සීරියල්, මස්-මාළු, බිත්තර යන ආහාර කාණ්ඩ හයට අයත් ආහාර මුලින් අනුභව කර, තවත් කැමති දෙයක්  කන්නටයි උපදෙස් දී තිබෙන්නේ.

1944  ආහාර නීතිවල ඇතිකළ වෙනස්කම් මගින් රටට අවශ්‍ය කෘෂි කටයුතු කෙරෙහි බලපෑමක් ඇති කිරීමටද දැනුවත් කිරීම යොදාගැනී තිබෙනවා.

1961 Food Guide 

කිරි ඇරෙන්නට වෙනත් කිසි ආහාරයක් ගතයුතු ප්‍රමාණ ගැන නිර්දේශ කිරීමක් 1949 හෝ 1961 වර්ණවත් පත්‍රිකාවේ හෝ නැහැ. නමුත් මුලික අරමුණ වූ ආහාර තෝරාගැනීම හා පෝෂණය ප්‍රවර්ධනය කිරීම නොකඩවා පවත්වාගෙන ගොස් තිබීම දකින්නට හැකියි. 1961 වෙනස්කම්වලට ආහාර නීති යන නම වෙනස්කර, ආහාර සඳහා මගපෙන්වීම (food guide) යෙදීම ඇතුලත්. ක්‍රමිකව කලින් වසරවලට වඩා වැඩි ආහාර වපසරියක් ගැන දැනුවත් කර තිබෙනවා. කිරි ආහාර විශේෂිත ජන කාණ්ඩ උදෙසා ප්‍රමාණාත්මක උපදෙස් දක්වනවා.
මේ සෑම අවස්ථාවකම මහජනයා භාවිතා කරන හා ඔවුන්ට වැටහෙන ආකාරයෙන් වචන භාවිතා කර දැනුවත් කිරීම් සිදුකර ඇති අයුරු බලන්න.
1977 දී සිදුකළ වෙනස වුයේ පලතුරු හා එළවලු එකම කාණ්ඩයක් යටතට ගැනීමයි. මේ වනවිට මන්ද පෝෂණයෙන්  බැහැර වී සිටි කැනේඩියානු ජනතාව ගන්නා ආහාර හා ආහාර සම්බන්ධිත නිදන්ගත රෝග අතර සම්බන්ධය සලකමින් රජයට විද්වත් කමිටුවකින් නිර්දේශ ඉදිරිපත් කෙරුණා. ඒ අනුව තෙල් ආහාර, සීනි, ලුණු හා මධ්‍යසාර සිමා කිරීමට ඉල්ලීම් ඇතුලත් වුණා.
එනම් කැනඩා ආහාර උපදේශන පත්‍රිකාවල පරමාර්ථය වී තියෙන්නේ සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගැනීම උදෙසා අධ්‍යාපනික උපකරණයක් වීමයි. ඒ සඳහා පෝෂණය පිලිබඳ නව සොගැනීම් මෙන්ම, ජාතික පෝෂණ අරමුණු, ආහාර පරිභෝජන රටා පිලිබඳ අධ්‍යයන මෙන්ම ආහාර නිපදවීමේ හා සැපයීමේ ගැටළු ගැනත් අවධානය යොමුකර තිබෙනවා. 
එම සොයාගැනීම් සියල්ල වඩා ප්‍රායෝගික, විවිධත්වය සහිත ආහාර තෝරාගැනීමට යොදාගැනීම උදෙසා මෙම guide සකස් වී තිබෙනවා.

1982 දී දිනකට එක් එක් කාණ්ඩයෙන් දිනකට ගතයුතු ආහාර ප්‍රමාණය නිර්දේශ කර තිබෙනවා. උදා. පාන් සහ ධාන්‍ය කාණ්ඩය 3 -5 වරක්, එළවලු හා පලතුරු 4- 5, මස්, මාළු කාණ්ඩය දෙවරක්, කිරි හා කිරි ආහාර වයස් හා ජන කාණ්ඩ අනුව.

Food Guide ඉතිහාසයේ විප්ලවීය වෙනසක් සිදුවුණු 1992 සටහනේ ආහාර ඉදිරිපත් කර තිබෙන්නේ දේදුන්නක ආකාරයටයි. ආහාර කාණ්ඩ සඳහා නව නම් සහිතව එය ඉදිරිපත් කර තිබුණා. ධාන්‍ය ආහාරත්, එළවලු හා පළතුරුත් වැඩියෙන් ගැනීමට උනන්දු කිරීමක් සිදුකර ඇති අතර,  මෙතෙක් මුල් තැන දුන් කිරි ආහාරවලට හිමිව තිබුණේ තුන්වෙනි තැනයි. කාඩ්පතක් සේ සකස්ව තිබූ උපදෙස් පතෙහි පිටුපස, ගතයුතු ආහාර ප්‍රමාණයන් නිර්දේශිතව තිබුණා. එක් එක් ආහාර මිනුම් ප්‍රමාණ සහිතව දැක්වීමත් විශේෂිතයි. පුද්ගලයන් අනුව ගතයුතු ආහාර වෙනස්වන බවට විශේෂ සටහනක් ඇතුලත් වුණා.
2007 නැවත සංශෝධන සහිතව ඉදිරිපත් කර, 2019 වසර දක්වාම භාවිතා වූයේ කොටස් හයකින් සමන්විත තුනට නැමිය හැකි පත්‍රිකාවකි. මෙහි වයස් කාණ්ඩ මෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය අනුවද, ගැබිණි, කිරිදෙන මව්වරු ආදී ලෙස ගත යුතු ආහාර විශේෂිතව දක්වා තිබුණා.  ආහර ගතයුතු ප්‍රමාණ ගැන නිර්දේශත් විස්තරාත්මකව සඳහන්.

එළවලු පලතුරු ප්‍රමුඛතා පෝෂ්‍ය කොටස ලෙස ගැනුණු අතර, කිරි හා කිරි ආහාර යන්න  කිරි සහ විකල්ප ආහාර ලෙස සෝයා, පරිප්පු ආදිය අඩංගු වන සේ වෙනස් කර තිබූනා.   එසේම ජල පානයත්,  දිනපතා ශාරීරික යෝග්‍යතා ව්‍යායාම්වල යෙදීමත් අවධාරණය කර තිබීම වැදගත්. ආදිවාසි ආහාර ක්‍රම ගැන මෙන්ම කැනඩාවේ වෙසෙන විවිධ ජාතීන්ගේ ආහාර ගැනත් සැලකිල්ලක් දැක්වීමත් මෙම පත්‍රිකාවේ විශේෂයි. ඇසුරුම්වල එන පෝෂක විස්තර කියවා අවබෝධ කරගැනීමේ කොටසකුත් අඩංගුයි.

ක්‍රමිකව මානව ආහාර විධි වෙනස් වීමත්, ආහාර නිසා හටගන්නා රෝගයන් වැඩිවීමත් නිසා නැවත උපදේශන වෙනස් කිරීමක් අවශ්‍ය බවට පසුගිය වසරවල යෝජනා මතුව ආව. දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාගැනීම තව දුරටත් කැනේඩියානුවන්ගේ ප්‍රමුඛ ගැටළුවක් නොවූ අතර අධි පෝෂණය හා ආහාර වැඩිපුර ගැනීම ගැටළුවක් බව පෙනීගියා. එයට හේතුව Food Guide හි සමහර උපදේශයන් හි සාවද්‍ය කරුණු බවට චෝදනා එල්ලවුණා.  ආහාර ගතයුත්තේ කොපමණක්ද යන්න පමණක් නොවේ, ගුණාත්මකව ආහාර ගත යුත්තේ කෙසේද යන්නත් අවධාරණය විය යුතු බව යෝජනා අතර වුණා.
වසර ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණ, අනෙක් රටවල පර්යේෂණ ප්‍රතිඵල, අධ්‍යයන, සමීක්ෂණ, උපදේශන, ආදියෙන් පසුව 2019 වසරේ නව ආහාර මග පෙන්වීම් සටහනක් දොරට වැඩියා.
පිටු 26කින් යුතු පැහැදිලි ඉදිරිපත් කිරීමක් සහිතව එන මෙය, සරල රූප සටහන් පිටු දෙකකින් හැමට වටහාගත හැකි ලෙස සකසා තියෙනවා.

ගත යුතු ආහාර ප්‍රමාණ පිඟානක ආකාරයෙන් ඉදිරිපත් කර ඇති අතර,  එය වටහාගැනීම පහසුයි.
වඩාත් වැදගත් ප්‍රධාන මාර්ගෝපදේශ තුනක් ඇතුලත්.
1. ගුණාත්මක ආහාරයක පදනම

  • ධාන්‍ය, එළවලු, පලතුරු, ප්‍රෝටීන් ආහාර දිනපතා ගන්න. ප්‍රෝටීන් ආහාරවලදී ශාකමය ප්‍රෝටීන්වලට වැඩි තැනක් දෙන්න.
  • අසන්තෘප්ත මේද අඩංගු ආහාර ගන්න. 
  • ජලය පානය කරන්න. 
2. වැළකිය යුතු ආහාර පාන 
  • පිළියෙළ කරන ලද (processed) ආහාර ගැනීමෙන් මේද, ලුණු හා සීනි අනවශ්‍ය තරමින් ආහාරයට එකතුවිය හැකි බව.
  • මධ්‍යසාරවල පෝෂණ ගුණයක් නැති අතර, එය රෝගවලට හේතු වන බව.
3. ආහාර සම්බන්ධ දක්ෂතා 
  • ගුණාත්මක ආහාර වේලක් ලබාගැනීම උදෙසා පෝෂ්‍යදායි ආහාර නිවැරදිව පිසීමේ දක්ෂතා දියුණු කිරීම 
  • පෝෂ්‍යදායි ආහාර තෝරාගැනීම උදෙසා ආහාර ලේබල් නිවැරදි දැනුවත් කිරීම්වලින් යුතු වීම 
ආහාර පුරුදු ගැන සැලකිලිමත් වීම, ආහාරය වින්දනය කිරීම මෙන්ම සියලුදෙනා එකතුවී අහර ගැනීමත් අවධාරණය කර තිබෙනවා.
කිරි ආහාර හා සත්ව ආහාර නිෂ්පාදනයන් ගැන ඇති චෝදනා සලකා බැලීමෙන් පසු සම්පුර්ණ ආහාර වේලක කිරි සහ බිත්තර සඳහා ඉතා කුඩා කොටසක් පමණක් වෙන්කර තිබීමත්, මස් මාළු සඳහා එතරම් අවධානයක් නොදීමත් අනාගත නිෂ්පාදන ක්‍රියාවලියේදී සත්ව හිංසන අඩු කිරීමටත්, වංචා සහගත සත්ව ආහාර නිෂ්පාදන අඩු කිරීමටත් මග පාදනු ඇති.
කැනඩාවේ රජයේ ප්‍රකාශන අතරින් දෙවනුවට ඉල්ලීම ඇති ප්‍රකාශනය වන්නේ Canada Food Guide වීමෙන් එහි වැදගත්කම මනාව පැහැදිලි වනු ඇති. අතීතයේ සිටම ජාතියක් ලෙස සමෝධානිතව පාසල්වල පමණක් නොව, ප්‍රජා මධ්‍යස්ථාන, සන්නිවේදන ආයතන ඇතුළු සැමගේ සහය ඇතිව ජනගත වූ මෙය රටේ ජනතාවගේ අභිවෘද්ධිය සලකමින් සැකසුනක්. මෙහි පැහැදිලි කර ඇති ආකාරයට එය නිශ්චිත, නොවෙනස් එකක් නොවෙයි. මහජන අදහස්, නව සොයාගැනීම් ඇතුළු බොහෝ දේ අනුව කලින් කලට වෙනස්වන දෙයක්.

නිරෝගිමත් ජාතියක් ගැන කතා කරන හැමදෙනාම රටක් ලෙස ආහාර හා පෝෂණ ගැටළු ගැන සැලකිලිමත්ව, අතීත ආහාර රටා ගැන අධ්‍යයනය කර, ඒවායිනුත් අදහස් අරගෙන, මේ වගේ අදහසක් ප්‍රයෝගිකව බලගන්වා, පොදුවේ අනුගමනය කළ හැකිනම් යහපතක් වෙනු ඇති.

උදව්:
Canada’s Food Guide through the Years: Globe and Mail 2018 April
S. Grewal
https://medicine.utoronto.ca/magazine/article/food-guide
www.cbc.ca/news/health/the-politics-of-food-guides
www.theglobeandmail.com/life/health-and-fitness/canadas-food-guide
https://brighterworld.mcmaster.ca/articles/canadas-new-food-guide-a-fail-on-culture-and-sustainability/
www.canada.ca/en/health-canada/services/canada-food-guide/about/history-food-guide.html
www.canada.ca/canada-food-guide/resources/canada-food-guide-presentation-eng.pdf

%d bloggers like this: