Menu Close

බිත්ති චිත්‍ර රැල්ල අභියස සිට ග්‍රැෆිටි විරෝධාකල්ප චිත්‍රය හඳුනාගැනීම

(මෙම ලිපියේ සංස්කරණය කළ පිටපතක් පසුගිය දෙසැම්බර් 08 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළ විය. මේ ලිපියේ සම්පූර්ණ පිටපතයි.)

එක්වරම චිත්‍ර රැල්ලක් මතුවී තිබේ. නගරාවකාශවල ඇති තාප්ප සහ බිත්ති ද, මහ මගෙහි තැනින් තැන ඉදිව තිබුණු බස් නැවතුම්පළවල බිත්ති ද, දුම්රිය ස්ථානවල බිත්ති ද ඇතුළු බොහෝ පොදු අවකාශවල වන බිත්ති තරුණ පිරිස් අතින් පිරිසිදු වීමේ හා ඒ හා සමග එවැනිම තවත් තරුණ පිරිසක් අතින් ඒ මත සිතුවම් චිත්‍රණය වීමේ රැල්ලක් පැතිර යන්නේ බිත්ති චිත්‍ර පිළිබඳ සංවාදයක් ද සමගිනි. නමුත් චිත්‍ර විසල් ය; සංවාදය කුඩා ය!

විසල් අවකාශ මත ඇඳීම සහ ලිවීම අපට හමුවන්නේ දුරාතීතයේ සිට ය. චිත්‍ර කලාවේ ඉතිහාසය හදාරන්නට යන ඕනෑම අයෙකුට ප්‍රංශයේ ලැස්කෝ සහ ස්පාඤ්ඤයේ අල්ටමීරා ගුහා චිත්‍ර හඳුනාගන්නට ලැබේ. මෙම චිත්‍ර අතුරින් ඇතැම්  චිත්‍ර කිතු උපතින් වසර 30,000කිනුත් ඈත අතීතයට දිවෙන අතර ඒවා අප නෙත ගැටෙන්නේ ගුහා බිත්ති මත ඇඳි සිතුවම් ලෙස ය. එතරම් දිගු ඉතිහාසයකට නොදිවෙතත්, සාපේක්ෂව සැලකිය යුතු අතීත වෘත්තයක් හිමි කරගන්නා මෙරට සිතුවම් ඉතිහාසයේ එන සීගිරි චිත්‍රය ද පර්වත බිත්තියක් මත ඇඳුණකි. ආගමික ස්ථාන වූ පල්ලි, පන්සල් ආදියේ අභ්‍යන්තරය ඒ එක් එක් ආගම හා බැඳුණු සිතුවම්වලින් බොහෝ විට පිරී පවතින්නේ ඒවා ඇඳි එක් එක් යුගයන් පිළිබඳ බොහෝ සංඥා චිත්‍ර කලා ඉතිහාසඥයින් වෙත ලබා දෙමින් සහ ඒ එක් එක් යුගවල විසූ චිත්‍ර ශිල්පීන්ගේ නිපුණතා පිළිබඳ සඳහන් චිත්‍ර කලා ලෝලී සියල්ලන් වෙත තිළිණ කරමිනි.

එහෙත් දැන් අප කතා කරන බිත්ති චිත්‍රය අපට මුණගැසෙන්නේ ගොඩනැගිලි අභ්‍යන්තරයන්හි නොව එළියේ ය. මහ මග යනෙන සාමාන්‍ය ජනයා වෙත ආයාසයකින් තොරව නෙත ගැටීමට සැලැස්වීමේ අභිප්‍රායක් එබැවින් මෙම චිත්‍ර ඇඳීම සමග එයි. නමුත් යටකී ලෙස මේ සිතුවම් පිළිබඳ සංවාදය කුඩා හෙයින්ම මගේ අද යෝජනාව එම සංවාදය පුළුල් කරගැනීම ගැනයි.

අප මේ දකින්නේ ග්‍රැෆිටි (Graffiti) චිත්‍ර ද? එළිමහන් තාප්ප හා බිත්ති මත යමක් සිතුවම් වූ පමණින් ඒ ග්‍රැෆිටි චිත්‍ර කලාව වෙත තල්ලු කොට දැමීමේ හැකියාවක් නැත. එපමණක් නොව ග්‍රැෆිටි චිත්‍ර බිහිවන සමාජ හා දේශපාලනික පසුබිම හා අවශ්‍යතාව සමග ගෙන විමසුව ද මේ බිත්ති සිතුවම් ග්‍රැෆිටි නොවන බව වටහා ගැනීමට අපට පුළුවන.

ග්‍රීක හා රෝම යුගවල සිටම ස්වකීය නම් මෙන්ම (පාලකස්ථානය කෙරෙහි වූ) විරෝධතා ද බිත්ති මත ලියා තැබීමේ සම්ප්‍රදායක් පැවති බව ඉතිහාසය දෙස් දෙයි. විශේෂයෙන් රෝම යුගයේ ගෘහ නිර්මාණය මහා මාර්ගය වෙත විවර කොට තැනුණු ජනේලවලින් තොර වූ නිසා මහ මග යනෙන පිරිසගේ අවධානය පිණිස ලියා තැබීමට ඉඩ සහිත පුළුල් බිත්ති අවකාශ නිතැතින්ම රෝම වැසියා වෙත ලැබී තිබිණ. කෙසේ වෙතත්, නූතන ග්‍රැෆිටි චිත්‍රය හමුවන්නේ 60 දශකයේ මුල් භාගයේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්පියා ප්‍රාන්තය ආශ්‍රිතව ය. දශකාවසානය එළඹෙත්ම නිව්යෝක් නගරය වෙත පිවිසෙන ග්‍රැෆිටි චිත්‍රය ඉතා ඉක්මණින්ම නගරයේ එළිමහන් බිත්ති හා තාප්ප සියල්ලම පාහේ ආක්‍රමණය කොට ඇති අතර 70 දශකය වන විට ග්‍රැෆිටිවලින් තොර මාර්ග බිත්ති හා තාප්ප ඇස නොගැටෙන අවකාශයක් නගරයේ කිසිදු තැනෙක ඉතිරි කොට දී නැත. එසේම දුම්රිය මැදිරි සියල්ලක්ම මෙම ග්‍රැෆිටි සිතුවම්වලින් පූර්ණ වශයෙන්ම වැසී පැවත ඇත්තේ ‘ස්ප්‍රේ තීන්තවලින්‘ අඳින ලද එම චිත්‍ර නූතන ‘මාස්ටර් පීසස්‘ ලෙස පිළිගැනීමක් ඇතිව තිබුණු බැවිණි.

සැබවින්ම මෙම චිත්‍ර කලා කෘති ද නොඑසේනම් නාශකවාදී ආක්‍රමණ ද යන්න පිළිබඳ වාදය අදටත් නැගෙමින් පවතින්නකි. නිව්යෝක් නගර සභා මන්ත්‍රීවරයකු වන පීටර් වැලන්ට අනුව නම්, යමෙක් අවසර සහිතව යම් බිත්ති මතුපිටක අඳින සිතුවම කලා කෘතියක් වන අතර යමෙක් අනවසරයෙන් අඳින එවැන්න අපරාධයක් ලෙස පිළිගත යුතු ය. ‘ග්‍රැෆිටි අඳින නාශකවාදීන්ට කියන්නට ඇත්තේ ඔබේ ප්‍රකාශනයේ නිදහස මගේ දේපළෙහි සීමාවෙන් අවසන් වන බවයි‘ යනුවෙන් වැලන් තව දුරටත් කියයි. නමුත් මෙහි විලෝමය ගෙන එන, බර්ලින් නගරය මූලික කණ්ඩායමක් වන ‘ඔබේ නගරය දිනාගනිමු‘ (Reclaims Your City) හි සාමාජික ෆෙලික්ස්ට අනුව ග්‍රැෆිටි චිත්‍ර ශිල්පීන් සිදු කරන්නේ වෙළඳ දැන්වීම්කරුවන්ගෙන් නගර බිත්ති හා තාප්ප බේරාගෙන නගරය යළි පොදු ජනතාව වෙත දිනාදීමයි.  

කෙසේ නමුත්, මෙම ආක්‍රමණශීලී, අනවසර බවම ග්‍රැෆිටියේ මූලික ලක්ෂණ හා බැඳී පවතියි. එය විරෝධාකල්ප චිත්‍ර කලාවකි. වැඩිමනත් ග්‍රැෆිටි චිත්‍රවල මුණගැසෙන්නේ ‘ස්ප්‍රේ තීන්තවලින්‘ හදිසියේ ඇඳ නිමා කළ අකුරු හැඩ දේ ය. ඇතැම් විට ඒවා පවතින පාලකස්ථානයට හෝ ඒ හා බැඳි ආයතන පද්ධතියට එරෙහි ප්‍රකාශන සෘජුව හෝ වක්‍රව සංඥා කරනු ඇත. ස්වකීය ප්‍රකාශනය සඳහා අවකාශය අහිමි තාරුණ්‍යයට, විරෝධාභාසකරුවාට එය ප්‍රකාශ කිරීමට ඉඩ සලසනු ඇත.

ග්‍රැෆිටි සඳහා ස්ප්‍රේ තීන්ත කෑන් රැගෙන දිව ගිය තරුණයින් සැමවිටම වීදි චිත්‍ර ප්‍රකාශනවලම රැඳුණේ ද? හයිටි සහ පුවටෝරිකානු සම්භවයක් සහිත, ඇමරිකානු චිත්‍ර ශිල්පියෙකු වන ෂෝන් මයිකල් බැස්කුවා (Jean-Michel Basquiat) සිය චිත්‍ර ශිල්පයට අත්පොත් තබන්නේ වීදියේ ඇඳීමෙනි. නමුත් අද ඔහු ප්‍රකට මෙන්ම ධනවත් චිත්‍ර ශිල්පියෙකි. බැස්කුවා වැනි, සුළුතරයක් වුව, චිත්‍ර ශිල්පීන් පිරිසක් ග්‍රැෆිටි චිත්‍රය හරහා චිත්‍ර කලාවේ විසල් අවකාශ වෙත පා නගා නැත්තේ ද නොවේ. එනිසා ඇතැම් විට මෙම වීදි චිත්‍රය වැසී ඇති කලාගාර දොරටුවට තට්ටු කිරීමක් ද වෙයි.

මේ ග්‍රැෆිටි සිතුවම් ඇතැම් විට වෙනත් ව්‍යාපාරිකයින්ට අවස්ථා ද තනන බව මා වටහා ගත්තේ මගේ පශ්චාත් උපාධිය සඳහා ගොස් සිඩ්නි නගරයේ දිවි ගෙවූ සමයේ ය. සිඩ්නි දුම්රිය මාර්ග සියල්ල තියුණු වැටවලින් හා තාප්පවලින් වැසී පවතිද්දීත් එහි දුම්රිය මාර්ග ඇතුළු පැතිවල හිටිවනම ඇඳ ඇති ග්‍රැෆිටි ඇති තරම් මගේ නෙත ගැටී තිබිණ. එසේම ටික දිනකින් ඒවා මකා ඇති බව ද පැහැදිලි වී තිබිණ. සිඩ්නි දුම්රිය සේවයේ රැකියාවක නිරතව උන් ශ්‍රී ලාංකික මිතුරෙකු පසු කලෙක ඒ ග්‍රැෆිටි චිත්‍ර පිළිබඳ වෙනස් කතාවක් මා සමග කීවේ ය.

“ඔය චිත්‍ර අන්දන්නෙත් ඕවා මකන කොන්ත්‍රාත් ගන්න සමාගම්මයි. ඒ ගොල්ලො සල්ලි දීල ග්‍රැෆිටි අන්දනව. සිඩ්නි ට්‍රේන්ස් එක ඒව මකන්න බර ගාණක් ගෙවන නිසා අඳින්න යන වියදම අදාල නෑ එයාලට!“

“කොහොමද ඒත් වහල තියෙන තාප්ප වැටවල්වලින් ඇතුළට යන්නෙ?“

“සමහර විට ඇතුළෙන් යතුරක් දෙනව ද කවුද දන්නෙ?“

සිඩ්නි නගර සභාව ග්‍රැෆිටි මකා දැමුවත්, මෙල්බර්න් නගර සභාව ඒ ප්‍රකාශනයට ඉඩ දී තිබිණ. එහි ගොස් එතරම් කලක් නොවුණු තවත් ලාංකික මිතුරෙක් වරක් මගෙන් ඇසූ පැනයක් මට තවම මතක ය.

“මොකට මේ ජරාවලට ඉඩ දෙනව ද? ඇයි මේව තහනම් කරන් නැත්තෙ? හරි කැතයිනෙ!“

කෙසේ වෙතත්, සිඩ්නි විශ්වවිද්‍යාලය නම් එහි ශිෂ්‍ය ප්‍රජාවේ ග්‍රැෆිටි ඇඳීම සඳහාම එහි කුඩා උමං මගක් වෙන් කර දී තිබිණ. එය හැඳින්වූයේ ද ග්‍රැෆිටි උමග නමිනි.

දැන් මේ සියලු අතීත වෘත්ත හා පුද්ගල අත්දැකීම්වලින් පසු මට එක්වරම නැගී ඇති අපගේ සිතුවම් උමතුව දෙසට හැරිය හැකි ය.

අපගේ නගරාවකාශවල බිත්ති හා තාප්ප බොහෝ අපවිත්‍ර ලෙස, අත්හැර දැමුණු අවකාශ ලෙස පවතින බව ඇත්තකි. මුහුදු වෙරළ පිරිසිදු කිරීම, නගර පිරිසිදු කිරීම, ප්‍රති වන වගාව යනාදී අරමුණු පෙරදැරිව පසුගිය සමයන්හි නැගුණු තරුණ රැලි සාධනීය මැදිහත්වීම් ඒ එක් එක් කලාපවල සිදු කොට තිබිණ. ඒවා බැස ගිය ද අඩු තරමින් අදාල මාතෘකාව සමාජයේ සිහි කැඳවීම ඉතිරි කොට ගොස් තිබිණ. තාප්ප චිත්‍ර රැල්ල ද ඒ රැලි හා සමානව නැගී ආ එකකි. නමුත් ඒ කිසිසේත් මා මෙතෙක් සාකච්ඡා කළ ග්‍රැෆිටි හෝ සමාන්තර චිත්‍ර කලා ධාරාවක් හා නොබැඳෙන එකකි. හේතුව එහි මූලික පදනම සපයන විරෝධාකල්පයේ අනෙත් අන්තයේ මෙම චිත්‍ර හා ශිල්පියා සිට ගැනීමයි. එනිසා එය වෙනත් රැලි ගෙන ආ සඳහන් සමාජයේ ඉතිරි කොට යනු ඇත්තේ විපරිත තැනකිනි.

ග්‍රැෆිටි සිතුවමේ මූලික පදනමෙන් බැහැරව, ඉතා සුන්දර මෙන්ම නෙත් ඇදගන්නා දැවැන්ත චිත්‍ර බිත්ති මත සිතුවම් කරන නගර චිත්‍ර ශිල්පීන් ද ලොව හමුවෙයි. ඉහත පීටර් වැලන්ගේ මතය අනුව නීත්‍යානුකූල චිත්‍ර කරුවන් වන මොවුන් ඇතැම් විට අප මවිත කරවන සිතුවම් දැවැන්ත ගොඩනැගිලි මත ඇඳ තබයි. නමුත් අපගේ සිතුවම් රැල්ල කණගාටුදායක ලෙස එම කලාපය වෙත පැමිණෙන්නේ ද නැත.

ග්‍රැෆිටිය පවතින පාලකස්ථානයට විරෝධය පළ කරමින් නැගෙන්නකි. මේ ඉහත සඳහන් කළ, දැවැන්ත නගර චිත්‍ර පාලකස්ථානයේ අනුදැනුම මත වුවත් ශිල්පීය දක්ෂතා සහිත චිත්‍රකරුවන් වෙතින් නැගෙන්නකි. අපට දැන් මුණගැසෙමින් තිබෙන්නේ (සුළු අපගමනයන් සහිතව වුව) පාලකස්ථානයේ දෘෂ්ටිවාදය හා සමග දිවෙන අලුත්ම ‘දේශජ වැඩකි‘. හෙට දින මෙය අපට වෙනම ශානරයක් ලෙස හැදෑරිය හැකි වනු ඇත.

-ප්‍රියන්ත ෆොන්සේකා –    

%d bloggers like this: