Menu Close

[365] පස් කන්දට සුන්වූ රිලැක්සේෂන් එක (හෙවත් අනූ නවයෙන් අපව බේරුව ඔහිය පස් කන්ද )

මන් ඉතින් කලකට සැරයක් මගේ බාහිර දේශන පවත්වන ළබැඳි සේවා ස්ථානයෙන් දවසක් කාරිය නිවාඩුවක් ඉල්ලද්දී , එහි ඉන්න බොහොම සොඳුරු සිතැති කාර්ය මණ්ඩලයම මට කියන්නේ “ඊළඟ හනිමුන් එක යන්න හදන්නේ” කියලා. ඉතින් ඉඳලා හිටලා යන ගමනේ උපරිම රසය විඳගෙන , කතන්දර ගොඩකුත් අරගෙන මන් එද්දී , ගම නෝන්ඩි වෙලා හමාරයි.  සංසාරේ … ඒත් පින්වතුනි මන් සැලෙන්නේ නැහැ පින්වතුනි. තාම අති සාර්ථක ලෙස ට්‍රිප් යනවා . හැබැයි ඉතින් මාස දෙක තුනකට සැරයක් class arrangement ඉල්ලගෙන එන මට කාරුණික වෙන ඔබලාට ගොඩක් ස්තුතියි 

අවුරුදු දෙකක පුරාවට ගිය අඩු ගානේ තිහක්වත් ඇති කෙටි සහ දිග “හනිමුන් චාරිකා” ගැන ලියන්න දේ බොහොමයි. පින්තුර නම් ඇති දහස් ගණනක්. එඩිට් කර අප්ලෝඩ් කරන්නයි වෙලාව හිඟ. බලමුකෝ ඉස්සරහට.

මතකනේ , 30වෙනි සෙනසුරාදා හෝටන් තැන්නෙන් අපි පිටත් වුනේ තෙතබරියන් වෙලා. වැසිකිලියකට රිංගාගෙන ඇඳුම් මාරු නොකරගත්තා නම් හෙම , අපි මෙලහට සන්නිය හැදිලා මැරිලා.

දැන් වෙලාව 5.30ට විතර ඇති . අඳුර හාත්පස ආක්‍රමණය කරලා ඉවරයි. ගෝන්නු රංචු පිටින් පාරට ඇවිත් . අපිත් ඉතින් සීතලේ වෙවුල වෙවුලා බොහොම අමාරුවෙන් ඔහිය ගැප් එකෙන් කන්ද බහින්න පටන් ගත්තා. ඒ, කලින් වෙන් කළ හපුතලේ අපේ ලබැඳි නවාතැනේ සුව පහසුව පිළිබඳ සුබ සිහින දකිමින් …. මතකනේ Leisure Mount View Inn එක ( මෙතනින් බලන්න ඒ ලස්සන තැන –> shorturl.at/bglt3 )


මෙවර ඔහිය පාරේ , පහුගිය ජුලි මාසයේ වගේ තද මීදුමක් නැහැ. ගිය පාර නම් අපිට පැය භාගයක් විතර වාහනේ නතර කරන පාර පැහැදිලි වෙනකල් ඉන්නත් වුනා . හැබැයි මේ පාරත් වාහනේ ෆොග් ලයිට් නම් හයි කරගන්න බැරි වුනා. ඒ නිසා මීදුමෙන් රහිත තද වැස්සට පින් දෙමින් අපි ඔහියෙන් පහළට බහින්න එච්චරටම බය වුනේ නැහැ. ( මේ තද බෑවුම් පාරේ වාහනය දෙතුන් වතාවක් ලිස්සුව බවත් , එය මට නොදැනුනු බවත් , මට එය නොකියා නිස්සද්දව හිටියේ , කිව්වා නම් එතනින් එහාට මාව මේච්චල් කිරීම වෙනමම project එකක් නිසා බවත් හබි තුමාගෙන් පසුව දැනගන්නට ලැබුණි ) 

ඉතින් අපි හෙමිහිට කන්ද බහිනවා. ඔහියෙන් පහලට බහිද්දී කිලෝමීටර හයක් විතර තියෙන්නේ ගණ කැලේ , මේ කැලය ඉවර වෙන්නේ පුංචි දේවාලයකින්. ගිය වතාවෙත් අපි මිස්ට් එකෙන් බේරිලා පහල බහිද්දී මේ දේවාලේ දෙවියන්ට ස්තුති කරලා බහින්න අමතක කලේ නැහැ. මේ වතාවෙත් වාහනෙන් බහින්නේ නැතුව වුනත් අපි දෙවියන්ට ස්තුති කරලා පහලට බැස්ස.

යන්න ලැබුනේ මන් හිතන්නේ මීටර දෙතුන් සියයයි ! දෙවියනේ ! තඩි පස් කන්දක් !පාරට වැටිලා ලොකු ගලකුත් එක්ක ! දැන් මොකද කරන්නේ ? එකපාරම ඔලුව වැඩ කරන්නෙත් නැතුව ගියා. පොඩ්ඩක් වටපිට බලද්දී තමයි දැක්කේ පාරේ එක දිගට දිය ඇලි හැදිලා වතුර ඕසේට පාරට වැටෙනවා. බලන් ඉද්දි ගස් පාරට පාත් වෙනවා. ගල් පොඩි කැට පාරට වැටෙනවා. එන පොට හරියන්නේ නැහැ. ප්‍රසන්න වාහනේ හරවන්නවත් වෙලාව ගන්නේ නැතුව කිලෝ මීටර බාගයක් විතර වාහනේ රිවස් කළා.

දැන් මොකද කරන්නේ ? ට්‍රැක්ටර දෙකක විතර පස් ! කොහේ අයින් කරන්නද ? ළඟ පාතක ගේකුත් නැහැ. වටේටම කලේ විතරයි. ආයිත් හරවන් යන්නද ? වෙන වාහනයක් එනකල් ඉන්නද ? මොක කරන්නද නිනව් නැතුව අපි මුනෙන් මුණ බලන් ඉන්නවා. එක පාරම ගුගල දෙයියා සහ මැප් එක අපිට සිහි වුනා. තව පාරක් තියනවා . බෙරගලට යාගන්න. ඒ තමයි ආයිමත් උඩහට ගිහින් බඹරකන්ද ඇල්ල පාරෙන් යන එක. වෙන විකල්පයක් නැහැ.

වෙන දෙයක් වෙන්න කියලා අපි ඔහිය පාරේ උඩහට (හෝටන් තැන්න දෙසට ) යන්නට වුනා. එවෙලේ තමයි අපි ඈතින් පොඩි ලයිට් එළියක් දැක්කේ. දෙයියෝ බැලුව වගේ, පුංචි ගෙයක් උඩහින් පේනවා. අහ ගෙයක් නෙමෙයි. ඒ තමයි ඔහියේ තැපැල් කන්තෝරුව. අපේ වෙලාව හොඳයි. කවුදෝ මහත්තයෙක් තව දෙතුන් දෙනෙක් එක්ක එලියට එනවා .
“පාරට පස් වැටිලා . අපිට හපුතලේට යන්න වෙන පාරක් නැද්ද ?”

“ පොඩි වාහනේකට යන්න තියෙන්නේ මේ පාර තමයි. බඹරකන්ද ඇල්ල පැත්තෙන් යන්න වෙන පාරක් තියනවා. 4-විල් එකකට වගේ නම් යන්න පුළුවනි. කොහෙද පස් තියෙන්නේ ? අපි අයින් කරලා දෙන්නම්. පොඩ්ඩක් ඉන්නකෝ අපි බලන්නම්”
වැඩේ අසාර්ථකයි. අයින් කරන්න බැරි තරම් පස් ලෝඩ් එකක්.

“ මහත්තයෝ , වෙන කරන්න දෙයක් නැහැ, පහසුකම් අරව මේවා බලන්න එපා. තියන හැටියකට ඉන්න දෙන්නම් . මහත්තුරු අද මෙහෙ නවතින්න “

ඇත්තටම ඔලුව වනනවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් නැහැ. හෝටන් තැන්න කැන්ටිමේ ගාමිණි අයියගේ ත්‍රිවිල් එකත් පහලට එනවා.

“ගාමිණී අයියා . පල්ලෙහා පස් කන්දක් වැටිලා. අපිට අයින් කරන්න බැරි තරම් ලොකුයි. ඔයාට ත්‍රිවිල් එක පන්සලේ දාන්න වෙයි. මේ මහත්තුරුත් හිර වෙලා. මොකද අපි කරන්නේ ? මෙයාලව පන්සලේ නවත්තමුද ?”

අපිත් කැමති වුනා එහෙම කරන්න. ගාමිණී අයියගේ උදව්වෙන් අපි ඔහිය ස්ටේෂන් එක උඩහින් තියන ආශ්‍රමයේ නවතින්න යන්නේ එහෙමයි.


ඔවු පින්වතුනි , එදා රෑ හිටියේ ඔහිය පන්සලේ ! හෙවත් සීතලේ ! Mount View එක එමට තිබ්බා , Leisure තමයි තිබ්බේ නැත්තේ.ඒත් මේ පුංචි පන්සලේ ස්වාමින් වහන්සේගේත් ආවාට ගම වැසියන්ගේත් ලොකු සහ උණුසුම් හිත් වලට පින් සිදු වන්නට අපි එදා සුරක්ෂිතව රැය පහන් කළා ..

ඒත් මට දැන් එක දෙයක් ස්ථිරයි. පසුව දැනගත් හැටියට ඔය පස් කන්ද වැටීමත් එතනට අපේ ආගමනයත් අතර තිබිල තියෙන්නේ දල වශයෙන් විනාඩි ගණනක වෙනසක්. හෝටන් තැන්නේ තෙතබරියන් වීගෙන නමුත් අනුන් වෙනුවෙන් සුළු හෝ උදව්වක් කල අපිට වැහි දෙවියන්ගේ අමනාපයක් නොමැති බව ස්ථිරයි ! මේ ගැත්තන් දෙදෙනා පණ පිටින් යහතින් පන්සලකට දක්කන්නට ඇත්තෙත් එවැනිම අශිර්වදයකින් බව ස්ථිරයි ! පසුව සිතා බැලු කල , අපිට මේ පින්වත් ගැමියන් මුණ නොගැසි , අපි නැවතත් හෝටන් තැන්නට ගියා නම් , පාර දිගට, ගස් සහ පස් වැටීමෙන් අප දෙපැත්තටම යා නොහැකි ලෙස පසුදා පහන් වනතුරුත් හිර වන්නටත් තිබුනා.

ඉතින් සිනිමෝදර හාමුදුරුවන්ගේ කරුණාවටත් පින් සිද්ද වෙන්න , අපි එදා රෑ පන්සලේ නැවතුන එකත් , දැන් මතක් වෙද්දී ලොකු අත්දැකීමක් කියල හිතෙනවා.

ඒ විස්තරේ තව කතාවකින් ලියන්නම්. එතෙක් …

ප ලි.

තද වැස්ස , බොරළු ඇතුරූ පාර , මිදුම , මේ වගේ කාරණා නිසා Fog Light නැති ගමන නම් හරිම අවදානම්. ඒ ගැන හිතන්න.


කවුද දන්නේ. එදා අපිට වෙච්චි අකරතැබ්බේ අද ඔබට වෙන්න පුළුවනි. යන වාහනයේ නිතර අමතර කෑම බිම, ගිනිපෙට්ටි , අමතර බ්ලැන්කෙට්ටුවක් තියාගන්න

පස් කන්දක් ළඟ නැවතිලා සිරි නරඹන්න එපා. ඒ ලංගමත් පස් බුරුල් වෙන්න පුළුවන්.

එක දිගට පැය ගානක් වැස්ස මේ වගේ කඳු සහිත පාරක ඕනෙම වෙලාවක පස් කඳු, ගස් ගල් වැටෙන්න පුළුවන් බව සිහි තියාගෙන ගමන යන්න. ( ඒ බවට සිය ගානක් සාක්ෂි පහුවදා අපිට හපුතලේ බෙරගල පාරෙන් ලැබුනා )

එක පස් කන්දකින් එතෙර වෙලා ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා ඒ වගේ මොහොතක අපිට ගමන ආයිත් අරඹන්න පුළුවන් තමයි. ඒත් තව වැටුණු නොවැටුණු පස් කඳු ඉස්සරහට තියෙන්න පුළුවන් බවත් , වතුර උතුරා ගිය පාලම හෙම මේ පාරේම තියෙන බවත් අමතක කරන්න නම් බැහැ

ඒත් … හැමදාම කියනවා වගේ ,,, එදා බයෙන් සලිත වුන මේ මොහොත , අද අපට අමතක නොවන රසබර මතකයක්. ඒ නිසා කවදාවත් ඇවිදින එක නතර කරන්න එපා. ජිවිතේ ජිවත් වෙනවා කියලා දැනෙන්නේ මේ අත්දැකීම් නිසයි.


ඉතුරු කතාවලින් හමුවෙමු …
කතන්දර ඔක්කොම : http://bit.ly/2Proxhg
හෝටන් තැන්නේ වැහි භූතයෝ :
http://bit.ly/2rtjfd6

වීඩියෝව : ඔහිය සිට බොරලන්ද – පසුවදා උදේ අපි ගත් uncut / unedited raw video එකක්.


%d bloggers like this: