Menu Close

157. කළු ගඟදිගේ . . . . . . 16

අවසානය
 ජීවමාන පාලමක්  – තුරු වදුලෙන් එබී බලා . . . !
සුදා සහ තෙශා විසින් ගෙන එන ලද බත් ගෙඩි හතර පාර අයිනේ ලෙහාගෙන කෑ අපි ඉක්මණින් දියත් වුනෙමු. 

ගඟ අයිනේ ගිනි අවුවේ පැසෙමින් තිබුණු කයාක කොත්තු තැටි සේ ගිනියම් වී තිබුනි. අප සතු සියලු රෙදි පෙරෙදි ගල් මත එලා වේලා ගත් පසු සියල්ල පිළිවෙලට අඩුක් කර ගැනීමෙන් ඉක්බිතිව කෑමට පසු පලමු හබල් පහර ගැසුවෙමු. 

එතැන් සිට ගඟේ තිබුනේ ඒකාකාර රටාවකි. සාමාන්‍යයෙන් ගඟක් පළලින් අඩුවූ විට එහි ගලා යාම වේගවත්ය. එසේම එහි යාත්‍රා කරණ කෙනෙකුට දැනෙන සුළුය. එහෙත් අතිශය පළලකින් යුත් ගඟාවක්; ගඟාවකට වඩා කිට්ටු වන්නේ විලකටය! එවන් ගඟක යාත්‍රා කිරීම අතිශයින්ම මනස වෙහෙස ගන්වන සුළුය. එය තනි යායට දිගට පෙනෙන විට තත්වය වඩාත් බරපතලය! 

ඈත පෙනෙන ඉමක් වෙත ලං වන්නට පැයකට ආසන්න කාලයක් හබල් ගැසීමට සිදුවීම සමාන කල හැක්කේ; ඉමක් කොනක් නොපෙනෙන කාන්තාරයක ඇවිදීමකටය! ගල්පාතින් පසු ගඟ මේ සියළු කාරණා වලට නිදසුන් සපයමින්ය! 

 මෙසේ පැය දෙකක පමණ කාලයක් ගෙවමින් හබල් ගැසූ පසු අප ඉවුරක නිවෙසක් පෙනෙන තැනකට සේන්දු උනෙමු. එම නිවසේ ගෘහපති – අයියා අප සමග මදක් දොඩමළු විය! 
පසුව අපගේඉතිරි ගමනට අවශ්‍ය අවශේෂ කලමණා මොනවාදෝ ; අසල කඩේකින් ගෙනැවිත් දෙන්නට ඔහු කාරුනික විය. මතක ඇති තැනකට ගඟේ ඉවුර අසල යම් පමනකට හෝ බිම පය තබන්නට හැකි ස්ථානයක් වුනි නම් ඒ මෙම ස්ථානයේ පමණි. 
 ගෙදර අයියාව කඩේ යවන්නට මොහොතකට පෙර . . !

එම ස්ථානයෙන් මදක් එබී බැලූ විට දක්නට ලැබෙන්නේ මෙම පෝස්ටුවේ “පෙරවදන” ලෙස දක්වා තිබෙන දසුනය!
 ඒ මෙතෙක් අප පසුකල ගමන් මග තුල දක්නට ලැබුණු විශාලතම පාලම් රාජයාය! දක්ෂිණ ලංකා අධිවේගී මාරගය සඳහා  කලු ගඟ මතින් ඉඳිකොට ඇති මෙම පාලම; ගඟ මැද දරා සිටින්නේ විසල් කනු දෙකක් මත පමණි. 

එම පාලම දකිත්ම සිතට ඇතිවන්නේ ඩයිනෝසරයෙකු දකින විට ඇතිවිය හැකියැයි උපකල්පණය කල හැකි ආකාරයේ කිසියම් බිය උපදවන සුළු හැඟීමකි! ඒ මන්දැයි අද ද  සිතා ගත නොහැකි වුවද එම පාලම යටින් ගමන් ගනිත්දී; කුඩා කල අලියාගේ බඩ යටින් රිංගා යාමේදී ඇතිවූ හැඟීමට සමාන හැඟීමක් සිතට කාන්දුවිය.  
 හිතා ගන්නකෝ අපි නිකං පොල් ලෙලි . . !

එතැන් සිට ඒකාකාරී ගඟ දෙපස මිනිස් පුළුටක් වුනි නම් ඒ අතිශයින්ම දුර්ලභ ලෙසය. 
ගඟේ ඉවුර අසල පවා අධික ගැඹුරකින් යුක්ත වීම නිසා තම එදිනෙදා කටයුතු සඳහා ගඟ ප්‍රයෝජනවත් සම්පතක නොවන හෙයින් මිනිසුන් ගඟෙන් ඈත්ව ජීවත් වනවා විය හැකිය. 

එසේම කළු ගඟ සාපේක්ෂව දැඩි ලෙස ගං වතුර තර්ජනයන් ගෙන දෙන සාධකයක් වන බැවින් ගඟ හුදෙකලා කොට මිනිසුන් ඈත්ව ගොසින්ද? සිතා ගත නොහැක. රත්නපුර, හොරණ ආදී ප්‍රාදේශවලට විනා මේ පලාත්වලටද ගං වතුර තර්ජනයන් වෙත්ද?

දිනය මහළු වියට පා තබා ඇත. හිරු; ගඟ අවට ඇති ගස් වල දිගු සෙවනැළි ගං දිය මත අඳිමින්ය. පසුගිය කාල සීමාවතුල දිගින් දිගටම වට වැස්ස අදත් හවස් අතේ නොලැබේවි යැයි සිතා ගත නොහැක. අහසේ එකදු වළාකුලක් හෝ නැති තරම්ය. මෙතෙක් අව්වෙන් සිදුවූ ආපදා – අපල උපද්‍රව බොහෝ සෙයින් අවම වී ඇත. එහෙත් දහවලේ අත් පා පිළිස්සුණු තැන් තදින් දා යනු දැනෙයි. 

ගංඟාවේ ඉවුරු දියෙන් මතුවූ ගස් වලින් සරුසාර ලෙස වැසී ගොස්ය. අපට කුමණ හේතුවකට හෝ ගමන නවතා ඉවුරකට ගොඩ බැසීමකට කෙලෙසකින් හෝ නොහැකි තරමට එකකට එකක් ලංව ගස් හටගෙනය! ගඟේ ඉවුරු අසල ගස් වැල් වල සෙවනැළි පතිතවී අඳුරු ස්වභාවයක් ගෙන තිබුනි. මේ නිසාම ඉවුරට ඈතින් අප යාත්‍රා කලෙමු.
 සොවින් පිරි මගේ හදවත – තුළින් මතු වෙවී පිටවන
හැඟුම් කැටි ගැසී ගෙනදේ – සිතට වේදනා . . . 
සුවෙන් මා එදා සැතපුණු – යහන් මත මහත් විෂකටු 
තිබෙන්නාවු ලෙසට දැනේ – ගතට වේදනා . . .//

(රිච්මන්ඩ් කාසල් පියස)

තවත් දුරක් පැදගෙන ආවිට; මා ගමන පිටත්වූ මොහොතේ පටන් දකින්නට බලා සිටි මන්දීරයක පියස්ස ඈතින් දිස් විය. 

එය අනෙකක් නොව “රිච්මන්ඩ් කාසල්” මන්දීරයයි. 

මෙය නැරඹීමට පැමිනෙනවානම් කළුතර සිට ගඟබඩ පාරේ පැමින පලාතොට හංදියෙන් කෙත්හේන පාරේ පැමිණිය යුතු වෙනවා. 

අක්කර 42 ක භූමි භාගයක් පුරා විහුදුනු; කළු ගඟට යාබද ඉඩමක උස් කඳු ගැටයක් මත මෙම විසල් මංදීරය පිහිටා ඇත. 1910 දී ඉඳි වන මෙම මන්දීරය කළුතර දිසාව භාරවවූ මහ මුදලි දොන් ආතර්ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ නිවෙසයි.

මෙතුමා විවාහ වන්නේ  දිසා කළුතර දිසා විනිසුරුගේ දියණිය වන ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර  සමගයි.

එහෙත් දශක තිහක පමණ කාලයක් තිස්සේ විවාහ ජීවිත ගත කලවුනට දරුවන් නොසිටි අතර සූරිය බණ්ඩාර ළමාතැනී  මන්දීරයේම සේවකයෙකු සමග අනියම් සබඳතාවයක් ඇතිකරගත් බවක් ව්යවහාරයේ පවතී.

මේ සියල්ලෙන්ම සිත කලකිරුණු මුදලිතුමා මන්දීරයෙන් හා ළමාතැනීගෙන් වෙන්වී මහනුවර ක්වින්ස් හෝටලයේ; 1947 වසරේදී මියෙන තුරු ජීවත් වුනු බවක් සැලකේ.

ගූගල් වෙතින් – රිච්මන්ඩ් කාසල්
යාන්තම් වහලය පමනක් පෙනෙන රිච්මන්ඩ් කාසල් මන්දීරය ගඟ දිගේ ටික දුරක් පහලට යත්‍රා කිරීමේදී තරමක් පෙනෙන්නට ගනී. 
මීට කලකට පෙර “රැජින” පුවත් පතේ මෙම රිච්මන්ඩ් කාසල් ශෝකාන්තය කොටස් වශයෙන් පලවූවා සේ මට මතකය. 
පෙලින් පෙලට සියලුම කොටස් කියවීමට නොහැකිවුවද එම කාථාවේ ඇති දැඩි ශෝකාකූල බව මේ මොහොතේ මාගේ මතකයට ආවේය. 

මලහිරු ගඟ දිගේ මලාණික එළියක් විහිදුවමින් මුහුදේ ගිලෙන්නට ආසන්නවය. හාත්පසින්ම දිගුවූ සෙවනැලි වලින් ගඟේ බොහෝ කොටසක් ආවරණය කරගෙනය. මුහුදු සුළඟින් ගඟාව රැළි නංවමින්ය. සිසිල් සුළඟක් ගතට සිසිළසක් ගෙන එමින්ය. මුළු ගංගාව පුරාවට හාත්පසම  පාලුවට ගොස්ය. අපේ යාත්‍රා දෙක හා ඈත අහසේ; නිවෙස් බලා පියාඹා යන සියොතුන් හැරුනුකොටගෙන  වෙනත් කිසිම ප්‍රාණියෙකු දක්නට නොහැක. මේ සියල්ල අතරිණ් මගේ මනසට රිච්මන්ඩ් කාසල් ශෝකාන්තය ගෙන ආවේ වචනයෙන් විස්තර කල නොහැකි දුකකි. ඔහු මේ ගඟ දෙස බලා මොන තරම් නම් සුසුම් හෙලන්නට ඇතිද? 

සිනෙක් – බය හිතවන ස්ථානය – කළුතර . . !
 ගඟේ එක් ඉවුරක; ඔව් දකුනු පස ඉවුරේ; රිච්මන්ඩ් කාසල් එක තිබුනේ වම් පස ඉවුරේ; අමුතුම ආකාරයේ බෝට්ටු වැඩපොලක් වැනි ස්ථානයක් ඇත. එය සිනෙක් ආයතනය සතු බව එහි ලියා ඇත. 

මා සිතන පරිදි එය සිනෙක් විදුහලෙන් උගෙන ගන්නා නැවියන් හට ප්‍රායෝගික පුහුණුව ලබා දෙන ස්ථානයක් විය! එය පසුව සොයා බලද්දී එය CINEC- Department of Safety & Survival Training –  Ernest Peter Komorowski Survival Centre – Kaluthara  බව තහවුරු විය!
දිනය මහළුව ගොස් – ඉර ඕෆ් වෙලා පොත  අස්සන් කරණ්න යන ගමන් . . . ! 
 ගඟට කර්ෆිව් . . . !

පාලුවට ගිය ගඟාවේ කුඩා නැමි වලින් එබී බලත්ම හිත් සොයන දසුනක් වේ. ඒ කළුතර දාගැබේ සුදො සුදු කොත් කැරැල්ලය. 

මෙවිට දැනට කැංගරු දේශයේ සිටින වසික දිනෙක ඇසූ ප්‍රශ්ණයක් මගේ මතකයට ඒ.

“හරි කියන්න බලන්න කළුතර බෝධියේ කොත ගාළුපාරේ පලවෙනියෙම්ම පෙනෙන්නේ කොහේදිද කියලා?” 

“බෝධි වලට කොහෙද බං කොත් ?”

“ඒක තමයි!” ඌ නෝන්ඩි හිනාවක් මට දායි!

ඌට මාව වටේ අරිණ්නට බැරිවිය. 
එහෙත් මේ ලියන මොහොතේදී පවා ලියැවෙන්නේ “කළුතර බෝධියේ කොත් කැරැල්ල” යනුවෙන් යොදමින්ය. (ඇත්තටම මේක මට පමණක් ආවේණික රෝගා බාධයක්ද?)

එක් නැම්මකින් ගඟාවට ප්‍රවිශ්ඨ වත්දීම අවට තරමක දවල් එළියකින් සිරිගත් බවක් පෙණින. ඒ මුහුදු ඉමට ආසන්න නිසාදැයි මට සිතේ.

ඒ සමගම අපගේ වම් පසින් ඈත නුබ සිසාරා ඉහල නැගුණු; ශතසහස්‍ර දනන් සිත් පොබකල මහඟු දසුන දෑස් මාණයේ විය. 

කළුතර දාගැබ !

අප ගමන පිටත් වෙත්දීම අරමුණු කලේ කළුතර දාගැබ දැකීමය. සත්තකින්ම මා හට “සාදු!” කියැවින!
වදන් තුළ ගොළුව යන හැඟීම . . . . ! 

මා පසුපස හැරී බලන විට පසිඳු හා තෙශා රැගත් කයාකයද අප අසලට පැමිණෙමින් විය. අප එකට එක් වී සෙල්ෆියකට මුහුණ දුන්නෙමු. 

අප ගමනාන්තයට පැමිණ ඇත.  රත්නපුර මහ සමන්දේවාලය අසලින් ගමන් ඇරඹූ අප දින තුනක් ඇවෑමෙන් කිලෝමීටර 70 ක පමන ගමන් මගක් ගෙවා දමමින් දිස්ත්‍රික්ක දෙකක් හරහා පලාත් දෙකක් යා කොට ඇත!
 ගං සෙල්ෆි . . !

පාලම යට – කළුතර

අප සෙමෙන් සෙමෙන් කළුතර පාලම අසලට ගාල් වුනෙමු. පරිස්සමින් හා කල්පණාවෙන් කයාක දෙක ගොඩට ගත් පසු; සුදාත්, පසිඳුත්, තෙශාත්, මාත් අපි එකිනෙකා වැළඳ ගත්තෙමු. 

“මචං එකෙක්ගෙ වත් අතක් පයක් යාන්තමින් වත්  හීරිලාවත් නෑ නේද?” මා බිඳුණු ස්වරයෙන් උස් හඬින් ඇසීය. එම  ආමන්ත්‍රණය වඩාත්; එසේම අනවශ්‍ය තරම් හැඟීම් බර එකක් වූවාද?

හීරිලාවත් නෑ නෙ!? – සමන් දෙවියන්ට පිං සිද්ධ වේවා!” මා දෙ අත් ලය මත තබා ඉහල අහස දෙස බලාගෙනම පවසනු මට අද වාගේ මතකය.


“අපි ප්‍රවේසමෙන් කළුතරට ආවා!” 

ආදරණීයන් වෙත ආරංචිය මුදා හරිමින්ම ලොරි පොඩ්ඩා සොයා විෂ්වගේ ගෙදර දෙසට මා පිටත් වුනෙමි.


“දිව ගිලෙන පිපාසෙට නොමැත දිය ගඟක් තුල
සිරුර දැවෙමින් තිබුණි සිසිළ නැත ගං දියට
ඉවුර මත පිපුණු එක් මලකි අන් ගසක් මත
සිතින් මල නෙලා විත් පුදමි එය කළුතරට “


උප ග්‍රන්ථය
මෙම චාරිකාව තුලදී අප බහුල වශයෙන් පක්ශීන් දුටුවෙමු. 
එම සතුන්ගේ නමාවලිය පහත දක්වා ඇත. 
මින් අති බහුතරය දුටුවේ රත්නපුරත් ඉහල නරගලත් අතරදීය. 
මාහට නම් මේ සියල්ලෝම උඩයන කුරුල්ලන් පමණි.
 මේ පිළිඹඳව යම් ගැටළුවක් වෙතොත් පසිඳු අමරසිංහ ගෙන් විමසන්න. 
මේ තියෙන්නේ උන්නැහැගෙම අත් අකුරු නිසා නෑ! බෑ කියන්නට ඉඩක් නොමැත! 
ස්තූතියි!


%d bloggers like this: