Menu Close

beauty of a wire thread

වෑර් පොටවල් හිංදා මං බොහෝ දේවල් කා ඇත්තෙමි. මුලින්ම කෑවේ ගුටි වෙන්න ඕනාය.

“තොගෙ මේ කැවුතු කැටි වෑර් කෑලි ගිහිං ඕන බිබික්කමක් අස්සෙ ගහගනිං. ආයි අතන මෙතන දා තිබ්බොත් කඩනොව තොගෙ අඬු“
අකුරු කියවන්න පටං ගත් දා ඉඳලාම වෑර් කෑලි, බලුප්, බැට්ටි කෑලි මගේ අතට කාන්දං වගේ ඇලුනේය. පාරේ වැටී තියෙන වෑර් පොටක් ගෙදර ගෙනැත් දිප්පිහියෙං පලා ඒක අස්සේ තියෙන කම්බි පොටවල් එකට පුරුද්දා එව්වායින් එක එක සුකුරුත්තං අටවා ටොච්චෙකේ බැට්ටි කෑලිටිකත් බැස්සූ විට තාත්තාට බෙල්ල මුලින් අසුවන මගේ අත පය ආපහු කෙලිං වන්නට සතියකට වඩා ගතවේ.
ඉං පහු කාලෙක කලවං ඉස්කෝලේ යන්න පටං ගත්විට මට වෑර් පොටවල්වල ආඩම්බරේ පෙන්නුවේ අපේ පන්තියේ බණ්ඩාය. එක එක ආකාරයේ බෙහෙත්පෙති, පනුවන්, බැරල් කෑලි එකට අමුණා එව්වායින් බලුප් පත්තු කිරීම, සද්ද ගැනීම ආදිය කරන්නට එක එක ජාතියේ සර්කිට් අමුණත්දී

“මෙතන බලංඤින්නැතුව පලයංකො“

කියා දුං දමන බහුත්තෙක උරුක් කිරීමට බණ්ඩා කටයුතු “කළාය”.

ඊටත් පහු කාලෙක පන්සලේ හිටි හීරලුවෙක් වූ චන්දරේ අයියාගේ ඇබිත්තයා විදිහට ගෙවල් වයරිං කරන්නට යත්දී මට පළවෙනි වතාවට වයර් පොටවල්වල සෞන්දර්ය හම්බවිය. වයර් පොටවල් හැට හුටාමාරක් කොන්ඩියුට් බටේ අස්සෙන් රිංගවා ඇදගෙන ගොස් උවමනා තැනකදී බටේ බඩ හිල් කර බඩවැල් එලියට අදින්නා වගේ අමු අමුවේ අපරාධ කරනවාට වඩා අල්ලෙන් පිරිමැද කෙලින් කළ වෑර් මිටිය වෑරින් ක්ලිප් වලින් හික්මවා පරාල යටලී දිගේ පිළිවෙලකට කැන්දාගෙන යාමේ අලංකාරය කියා දුන්නේ චන්දරේ අයියාය. ඒ දැනුමෙන් මේ රට ඇතුලේ එකට එකක් වෙනස් කලාප හතරක ගෙවල් හතරක් වයර් පොටවල් වලින් හැඩ කරන්නට මට පුළුවන් කම ලැබුණි. ඒ වැඩවලින් හම්බුකරගෙන කන්නට මට පුළුවන් විය.

අන්තිමට අවුරුදු තුන හතරකට පස්සේ වොක්ස්වාගන් එකකුත් අමුණාගත් වයර් පොටක් මගේ අතට ආවේ මීට මාස දෙකකටත් උඩදීය.

අතට ඇවිත් පැය හතරක් යන්න කලින් රියදුරු ගලගෙදරත් සමග බදුල්ලට ගිහින් එනවිට වොක්ස්වාගන් පොත කියවා ඒ ගැන අගනා විවරණයකුත් ලබාගන්නට පුළුවන් විය.

“ජරමං වාහන කියන්නෙ මහාත්තයා බොහොම කල්පනා කරල හදපු වාහන. සමහර ඉංග්‍රීස් වාහනවලටත් වඩා ජරමං වාහන කල් අල්ල හිටිනව. ඔය පොක්සගන් එක හදල තියෙන්නෙ කොයි තරං කොන්ඩරි ගානක් පෙරලිල ගියත් අන්තිමට කෙලිං අතට හිටින්න. කාංතාරෙ යන්න හදාපු වාහනන‍ෙ. වතු මහත්තුරු ගාවත් තිවුන ඉස්සර.“

ඒ වුනත් වයර් පොට නැගලා ආ කවරෙටම වී අල්මාරියට රිංගා ගත්තා මිස කාටවත් ඒ ගැන නිනව්වක් උනේ නැත. ළඟදිම දවසක සති අන්තෙට විවේක පාඩුවේ ඉස්තෝප්පුවෙන් පුටුවකුත් තියාගෙන “බාසනේ“ වත් ඔඩොක්කුවේ තියාගෙන ඕක කියෝන ගමං පොටෝ එකකුත් ගහලා බුකියට දාන්න ඕනා කියා හිතාගෙන උන්නත් ඒ දවස බාලගිරියා එක්ක සෙට් වෙලා පහල ගෙදර දොර ලඟට ඇවිත්

“බාල ගිරි අද නෙවේ හෙට“

කියා තියෙනා නෝටිස් එක කියවා ගියා මිසක අපේ ටකරං බිත්තියෙන් ඇතුළට ආවේ නැත.

තවත් කාලෙකට පස්සේ කෝස් කැලැන්ඩර්, කෝස් ෂෑඩුල්, එකොමඩේෂන්, හොට් වෝට නැතුව වොෂ් දාන්න බෑ වීම්, වැස්ස පටංගෙන දොට්ට බහින්න බැරිවීම්, ජනාධිපතිවරනෙත් එක්ක බුකිය මඩවීම්, ආදී හැට හුටාමාරක් අලකලංචි මැද්දේ ගෙවෙන කාලය පූස් ලොනක් නොවටින මුස්පේන්තු දවසකදී මට වෑර් පොට මතක් විය.

“අර තරිඳු එවාපු පොත දෙන්නකො මට බලන්න“

“කොයිකද? අර ඉබ්බ කාර් එකක් තියෙන එකද“

“නෑ අනික“

“ආ අර කෝටුවක කපුටෙක් නැගල ඉන්න එක“

“ඒක තමා“

“ඒක කියෙවුවං ඔලුව විකාර වෙනව අනේ. ඔන්න බලන්නකො කියෝල“

ෆස්ටෙකේ දමාගෙන පලවෙනි පිටු පහ ලොකු RPM එකක ඇත්දත් එතනින් එහාට පහෙන් මෙහාට දාගන්නට වුනේ එහෙමත් වෙලාවකය. පොතේ පිටු පෙරලෙන අතරේ බත් පිඟන් දෙකක්, තේ කෝප්ප දෙකක් අහවර වීම, බළල් හොඹු කීපයක් පොලිෂ් කිරීමක් සිද්ද වන්නට ඇත. මහ රෑ දෙගොඩ හරියේ කියවා ඉවර වුනු පොත ටීවී එක ලඟින් තියා මං නිදාගත්තෙමි.

එදා පටං වයර් පොටෙන් ඔලුව වටේ ගෙතුනු ගෙත්තම ලිහාගන්නට මට තවත් සති එකහමාරක් ගතවිය. අන්තිමට මට අපිට සිංහල සාහිත්‍ය ඉගැන්වූ ගුරුවරු ගැන මහා අනුකම්පාවක් ඇතිවිය.

“ආන්න බලන්න එතනින් මතුවන අනුප්‍රාස රසය“

“ආන්න එතනින් කතුවරයා සංකේතවලින් ඉස්මතු කරන දෙය අපට බොහොම හොඳින් වැටහෙනවා… නේද“

ආදී වසයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නියම කළ ඕනාවට වඩා සිල් ගත් කෙටි කතා, නවකතා කෑලිවලින් එව්වයෙ කොහෙත්ම නැති ගුණාංග කොහොමින් හරි තියෙන බව පෙන්නන්නට හැදූ ඒ ගුරුවරුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්බානක පවුය. ඒ වෙච්චි මහන්සියෙං ගඟේ ඉවුර බිඳලා ගැරුවා නං කුඹුරු කෑල්ලක් ගොඩකරගෙන තට්ටු දෙකේ ගෙයක් හදාගන්නට තිබුණි.

ඒ ගුරුවරුන්ට තරිඳුගේ වයර් පොට හම්බවුනානං ජෙසියාගේ කරේ පටිය වගේ පැහැදිලිව තියෙන ඔය කියන්නා වූ සියලුම රසාස්වාද එක මිටට අරං පෙන්වා ළමයින්ගේ කේන්තිය අවුස්සන්නේ නැතිව ඉන්නට තිබුණි. ළමයිනුත් ඒවා අතේ ගෑවුණු ඇඹුල ජාතියක් මෙන් දිවගා බලා

“………………………………….. යනුවෙන් කතුවරයා වැගන් ආර් වර්ගයේ මෝටර් රථවලට එවකට රට තුළ ලැබී තිබූ තත්වය සංකේතාත්මකව පැහැදිලි කරයි“

යනුවෙන් උත්තර ලියන්නට තිබුණි.

වයර් පොටේ සෞන්දර්යය කියවන අයට පොතේ මැදක් වෙන්නට කියවා නවත්තා දවසක් ඒ ගැන හිතන්නට යැයි කියමි. මේ පොත ලියූ තරිඳුවා කොයි තරම් භයානක මිනිහෙක්ද, මේකා මේ ලියා තියෙන එව්වා කියවා කී දෙනෙක් නං මහ උළු ගෙදර තපීද, 119 ට කතා කරලා කියලා මේකා පොලීසියට අල්ලා දෙන්න ඕනෑ නේද, ඊට කලින් බුකියෙනුත් මේකාව අන්ෆ්‍රෙන්ඩ් කොට චැට් හිස්ට්‍රියත් මැකුවා නං නිරපරාදෙ සාක්කි දෙන්න ඕන්නැතිවෙයි නේද, යනාදී වශයෙන් කතුවරයා ගැන මැවෙන සිතුවිලි විඳින්නට යැයි කියමි. ඒක වෙනමම ආතල් එකකි.

ඉං පස්සේ ඉතුරු කොටස කියවන්නට යැයි කියමි. කියවා අවසන් වනවිට තමුන් ගැනම නොදකින් කියා හිතෙන අවුල් සහගත බව විඳගන්නට යැයි කියමි. ඒ එක්කම ලෝකයෙන් ආදරයක් කරුණාවක් නොලැබ බ්ලැක් ලිස්ට් වෙලා යන “මම“ලා වෙනුවෙනුත්, උන් වෙනුවෙන් හතරගාතෙන් හයියක් වෙන්නට වෙර දරන බව්වලා වෙනුවෙනුත් හිතේ ඇතිවන සෙනෙහස තවත් “මම” කෙනෙක් නූපද්දනු පිනිසත් තව තවත් බවුවලා සුරකිනු පිනිසත් යොදවන ලෙස ඉල්ලමි.

ලයිසන් තියෙන ඕන එකෙකුට වීල් එකේ හයර් දුවන්නට පුළුවන. නමුත් ලෙඩෙක් ඇරන් මරදන්කඩවල යන්න හැම එකාටම බැරිය.

පොත් ලියන්න මටත් පුළුවන. නමුත් වචනවලට පන්නරය දෙන්න නම් තරිඳුලා ඉන්නට ඕනාය.

මේ සටහනත් මික්කාටය.

   

%d bloggers like this: