Menu Close

[364 ] හෝටන් තැන්නේ දූතයෝ සහ වැහි භූතයෝ


මේ නම් ඓතිහාසික පින්තුර ටිකක් !

සමහර විට අපිට අවුරුදු 80ක් විතර ජිවත් වෙන්න වාසනාව තිබුනොත් හෙම එදාටත් ලොඹු කටවල් වලින් “හොහ් හොහ්” ගගා හිනා වෙවී විඳ ගන්න පුළුවන් මතකයක් තමයි ඒ චාරිකාව .

කොළඹ – නුවර – නුවරඑලිය – හෝටන් තැන්න – හපුතලේ චාරිකාව අපි හිතුව තරම් සුමුදු සුමට ගමනක් අපට ලඟා කරදුන්නේ නැහැ.

ගිය ජුලි මාසයේ හෝටන් චාරිකාවක් තියන සුමට විනෝදය අපිට අහිමි වුනේ අපේම නොසැලකිල්ල නිසා. හවස හය වෙනතුරුත් Great Gap හෙවත් මහා ලෝකාන්තය තියෙන ඉසවුවෙන් පැය ඔසවන්න තරම් අපිට උවමනාවක් නොතිබුන නිසා. ( ඒ කතාව පසුව ලියන්නම්)

මෙවර අපි ගියවර පාඩමිනුත් මට්ටු වුන නිසා , හෝටන් තැන්නට ඇතුල් වෙද්දී 10ත විතර ඇති. දැන්නම් හොඳටම වෙලාව ඇති. අපිට හිතුනේ එහෙමයි. “මිස්ලා තව ටිකකින් වහිනවා , තෙමෙන එක් අමාරුනම් දැන් යන්න එපා “ වනජීවී මහතුන්ට හිතුනේ එහෙමයි . “නැහැ අපි ගෑවා රෙන් කෝට් තියෙනවා , ලැහැස්ති වෙලයි යන්නේ “ අපිත් උජාරුවට උත්තර දුන්නේ එහෙමයි.

කිලෝමීටරයක් යන්න ඇති. මහා ගණ වරුසාවක් ! රෙන් කෝට් පිහිටෙන් අපි ඉතින් පින්තුරු ගනිමින් හෙමින් හෙමින් යන්න වුනා.

ඔන්න කොහොම හරි දවල් දොළහමාර වගේ වෙද්දී , අපි බේකර්ස් ඇල්ල පැත්තෙන් හෝටන් තැන්නට ලඟා වුනා. පොඩි ගහක් යට විදා නිවා ගන්න අපිට දකින්න ලැබුනේ ඇවිදින කුඩයක් . නැහැ , කුඩය යට , අම්ම කෙනෙකුයි , තාත්තා කෙනෙකුයි , පුංචි බබාලා දෙන්නෙකුයි.
මොනවත්ම සිත ඇදුමුත් නැතුව! ඒ මදිවට ඒ අම්මට බබෙක් ලැබෙන්න මාස හය හතක බඩක් ! හපොයි , පොඩි දෙන්න ගැහෙනවා. තාත්තාත් බය වෙලා. අම්මා අඬනවා . කට්ටියම බිම්මලක් වගේ එක කුඩේ යට ගලි වෙලා බිම ඉඳ ගත්තා .

ඉතින් ආයිත් හිතන්න දෙයක් නැහැ . රෙන්කොට් දෙකින් එකක් එයාලට දුන්නු අපිට , ලෝකාන්තයට වඩා මේ පුංචි පවුලගේ සුරක්ෂිත ගමනාන්තය වැදගත් කියල හිතුන. හෙමි හෙමින් කට්ටියත් එක්කම අපි ආයිත් එන්න පල්ලම් බැස්සා. එච්චර තද වැස්සක බලන්න ලෝකන්තයක් පේන්නෙත් නැහැනේ. හෙමි හෙමි කට්ටිය එක්කම බේකර්ස් ඇල්ල ගව තියන වැසිකිලිය ගාවට ආපු අපිට මේ හතර දෙනා මහා වැස්සේ තව කිලෝ මීටර් තුන හතරක් යන්න තත්ත්වයක නැති බවයි වැටහුනේ. අන්තිමට අපි කලේ , අපේ බග් පතුල් පීරලා , තිබුන කෑම බිම , ප්‍රථමාධාර ඔක්කොම එයාලට දීලා අපි රේන් කෝට් දෙකත් අරන් පල්ලම් බැස්ස . ඒ , මෙයාලව මගහැරිච්චි , ට්‍රිප් සගයන් හොයා ගෙන පණිවිඩය දෙන්නයි.

එද්දී තමයි තේරුනේ මේ කට්ටියව එක්කගෙන නො ආපු එක කොච්චර හොඳද කියල. පොඩි ඇල පාරවල් දිය ඇලි වෙලා. ඇල පාරෙන් එතෙර වෙන්න දණක් උස වතුරට බහින්න ඕනේ. දියේ ගැඹුර මැන ගන්න පිහිට වුනේ ප්‍රසන්නගේ tripod එක. ඉතින් ඇල ගංගා එතෙර වෙලා තෙතබරියන් වුන මහා වැස්සේ , රෙන් කෝට් දෙකේ පිහිටෙන් අපි හවස 4 වගේ වෙද්දී ගේට්ටුවට ලඟා වුනා.

මේ තියෙන්නේ දුත සේවය නිම කිරීමෙන් පසුව , හෝටන් තැන්නේ බේකර්ස් ඇල්ල පාරත් කුඩා ලෝකාන්තය පාරත් දෙකට බෙදෙන තැනට ලඟා වෙච්චි අපි දෙන්නාගේ තෙත බරියන් පින්තුරේ. ලෝකාන්තය දැක්ක තරම්ම හිතට සතුටුයි කාට හරි උදව්වක් කරන්න ලැබීම.

ප. ලි.
Entrance එකට ලඟා වෙන්න කිලෝ මීටර් භාගයකට වගේ තියෙද්දී , මේ පුංචි පවුලේ යහළුවන් හොයාගෙන ආපහු හෝටන් තැන්නට ඇතුළු වුන ඔවුන්ගේ සගයන්ට පණිවිඩේ දෙන්න අපිට හැකි වුනා. වේයන්ගොඩ පැත්තේ ඉඳලා ආපු මල්ලිලා කට්ටියක් ඉදිරිපත් වෙලා සීතලට ෆිට් එක වගේ හැදෙන්න ආපු බබාලා දෙන්නව උස්සාගෙන ඇවිත් පවුලේ අනික් යහළුවන්ට බබාලව බාර දෙන්න ආවේ , ඔවුන් වේයන්ගොඩ ඉඳලා ආසාවෙන් plan කරගෙන ආපු ලෝකාන්ත ට්‍රිප් එකත් කැන්සල් කරමින්. ඔවුන්ට , මිස් වූ ලෝකාන්තය වෙනුවට , හිමාලය , චිකාගෝ හෝ අඩු තරමේ බාලි ගමනක් වත් ඉක්මනින් යන්න ලැබේවායි අපි ප්‍රර්ථනා කරන්නෙමු. කල පින , හොඳ හිත එතරම්ම උසය ! ඒ විස්තරය පසුවට.

ප ප ලි.

මේ දවස් වල හෝටන් තැන්න – තදටම වහිනවා. මෙන්න අමතක නොකළ යුතු දේවල්
• රේන් කෝට්
• ජර්සි
• කුඩ
• (දවසක ට්‍රිප් එකක් ගියත්) අමතර ඇඳුම් පැළඳුම් අරන් යන්න.
• ටෝච් එකක් – දවාලටත් බලන් ඉද්දි කරුවල වෙන වෙලාවල් තියනවා.
• ප්‍රථමාධාර පැක් එකක්

අවම පැය හතරක්වත් යනවා ගිහින් එන්න ( වේගයෙන්ම ඇවිද්දත් ) . එනිසා පුංචි දරුවන් අරන් ලෝකාන්තය බලන්න යනවා නම් – සීත ඇඳුම් , ප්‍රථමාධාර , වැඩිපුර කෑම බිම අරන් ගමන පිටත් වෙන්න.

බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලා – අනේ අම්මෝ මෙහෙම ගමන් යන්න එපා අප්පා ! හරිම අනතුරුදායකයි. එකක් දුර ! අනෙක මේ කිලෝ මිටර 9ක විතර වටයේ මැදට ගියාම ආයිත් කිසිම පිළිසරණක් නැහැ එනකල්ම. ෆෝන් සිග්නල් බින්දුවයි.

ඇදුම , සීතල නිසා ෆිට් එක වගේ හැදෙන අය ඉන්නවා නම් , මේ කාලේ යන්න හිතන්න එපා. කැන්ටිමේ ගාමිණී අයියා කිව්වා මේ මාසෙට හතර පාරක් 1990 සුවසැරිය ඇම්බියුලන්ස් ගෙන්වන්න වුනාලු උඩහට , සීතලෙන් ආතුර වෙච්චි රෝගීන් නිසා.

දැන් හෝටන් තැන්නට කිසිම නොදිරන දෙයක් ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපද්‍රව්‍ය ගැන සැලකිලිමත් වෙන්න. ගෙනියන බඩු වල නොදිරන දවටන එහෙම අස් කරගෙනම ඇතුලට යන්න වෙනවා.

සෙරෙප්පු දමාගෙන යන්න අමාරුයි . පාර අසමතුලිතයි. ගල් තියනවා. කඳු පල්ලම් එමටයි. හොඳම නම් සපත්තුවයි. එක්කෝ බූට් දෙකක්.
හවස් වෙනකල් අපි වගේ පරිසර චමත්කාරයෙන් මත් වෙන්න එපා. දොළහෙන් පස්සේ වහිනවා. උදේ හයට වත් ඇතුලට ගිහින් , ඉක්මනින් එලියට එන්න බලන්න මේ කාලේ.

නැවත යන්නට – ඔහියෙන් පල්ලම් බහින්න හිතනවා නම් ෆොග් ලයිට් තියන වාහනයක යන්න. මිදුම වගේම පල්ලමත් සැරයි

හැබැයි මේ මොන දුක විඳ ගෙන වුනත් , ලෝකාන්තය කියන්නේ යා යුතුම තැනක්. ඒකේ දෙකක් නැහැ. මුහුදු මට්ටමෙන් මෙතරම් ඉහළ තැනක තියන තැන්නක ජෛව විවිධත්වය ඇස අදහාගන්නත් අමාරු තරම් චමත්කාර ජනකයි. මේ සුන්දරත්වයෙන් වැඩි හරියක් අහු වුනේ , හොඳ කැමරා ඇහැක් තියෙන Prasanna ට තමයි. ඒ ඇල්බමය ඉක්මනින්ම අප්ලෝඩ් කරන්නම් …

ගමනේ රස කතා පටන් ගත්තා විතරයි. ඉතිරිය පසුවට 
%d bloggers like this: