Menu Close

රොඩී මිනිසා හා බ්‍රාහ්මණ තරුණයා (කෙටි කථාව)

අහවල් රජතුමාගේ යැයි හරිහැටි කිව නොහැකි කාලයක සිටි රොඩී මිනිසෙක් බත් මුළක් බැඳ ගෙන දුර ගමනක් යාම සදහා නික්මුණේ ය. ගමන යෑම සදහා කෙටි මගක් වන ලැහැබ තුලින් වැටී තිබුනු හෙයින් ඔහු ඒ මග තෝරා ගත්තේ ය. මෙය ගම්මුන් බොහෝ දෙනා විසින් නිතර නොවුනත් කලින් කලට භාවිතා කරන ලද කෙටි මාර්ගයකි. මොහු තම ගමන ආරම්භ කර තරමක් වේලා ගත වූ පසු ඔහුට අතර මඟ දී තරුණයෙක් හමුවිය. මෙම තරුණයා බත් මුළක් අතැතිව ගමන් කරන පුද්ගලයා කවරෙක් ද යන්න දැන ගැනීමේ නියාවෙන් ඔහුගෙන් මෙසේ විචාළේ ය;

“ඔයා කව් ද? කොහෙ ඉදන්ද එන්නෙ?”

“මේ කිට්ටුම ගමක ඉන්න රොඩී කුලයේ උපන්නෙක් මම” තමන් කවුදැයි නොසඟවා ඔහු කීය.

“කොයි පළාතෙ ඉඳන්ද එන්නෙ?” රොඩී මිනිසා තරුණයාගෙන් ඇසීය.

“මම උත්තර ප්‍රදේශයේ ඉහළම කුලයේ බ්‍රාහ්මණයෙක්” තරුණයා ඉතා ගර්වයෙන් යුතුව පිළිතුරු දුන්නේ ය.
“කොහෙද මේ යන්නෙ?” රොඩී මිනිසා ඇසීය.

“අපේ පවුලේ මංගල්‍යකට කැලයෙන් එහා තියෙන නගරයට යන ගමන්”

“ඉතින් ඇයි මේ පයින්ම?”

“මම මගේ ශ්වයත් එක්ක කැලය මැදින් එනකොට සොර මුලකට අසුවුණා. උන් සේරම මගෙ වස්තුව උදුරගත්තා”

“හරිම කණගාටුයි මට ඒ ගැන”

ඔවුන් දෙදෙනාගේ කථාව එතරම් දුර ඇදී ගියේ නැත. එසේ වූයේ බ්‍රාහ්මණ තරුණයා තම කුල ගර්වය තකා රොඩී ගැමියා සමග දොඩමළු වීමට කැමැත්තක් නොදැක්වූ නිසාවෙනි. එකල මිනිසුන් සිතා සිටියේ මහ බඹා විසින් බ්‍රාහ්මණයන්ව තම මුවින් නිර්මාණය කල බවත් රොඩියන්ව තම යටිපතුල් වලින් මැවූ බවත් ය. මේ හේතුවෙන් මෙම කුලීන මිනිස්සු කුලහීන මිනිසුන් සමග ආශ්‍රය තමන්ට ගෞරවයක් කොට සැලකූහ.

දෙදෙනා එතරම් කථා බහකින් තොරව වුවත් එකට ගව් ගණනාවක් ගමන් කළෝ ය. දෙදෙනාටම ගමන් විඩාව ඇති වූයෙන් අසල තිබූ ගස් සෙවනෙහි හිඳගත්හ. මේ අසළම කුඩා දොළ පාරක් වූයෙන් ගැමියා එයින් මුහුණ කට සෝදා තමන් ගෙනා බත් මුළ ලිහා ගත්තේ ය. තරුණයා අත කෑමට කිසිවක් නොමැති බව බත් මුළ ලිහා කෑමට සූදානම් වූ ගැමියා දිටීය.

මේ නිසා ගැමියා බත් මුළෙන් කොටසක් තරුණයාට දෙමින් “මං ගාව සෑහෙන්න බත් තියෙනවා. ඔයා මේක කන්න. බඩගිනිත් ඇතිනේ” යැයි කීය.

“මටනම් ඕක එපා. ගන්න ඕක අහකට!” යැයි බඩගින්නට වඩා කුල ගර්වය උසස් කොට සැලකූ ඒ බ්‍රාහ්මණ තරුණයා රොඩී ගැමියාගේ බත් පත ඉවත් කරමින් ගිගිරුවේ ය.

ගැමියා බත් කා අවසන් වූ පසු ඉතිරි බත් කොටස බැඳගෙන යළින් ගමන යෑම ඇරඹීය. තරුණයාත් ඔහුත් සමග නැවත ගමනේ යෙදුණි. හෝරා කිහිපයක් ගතවිය. නැවත මොවුන්ට බඩගින්න හා ගමන් විඩාව දැනුනු හෙයින් අසල වූ ගසක් අසල හිඳගත්තෝ ය.

පෙර පරිදිම අසල වූ දොළ පාරෙන් මුහුණ කට සෝදා ගත් ගැමියා තම බත් පත ලිහාගෙන එය කෑමට පටන් ගත්තේ ය. උග්‍ර බඩගින්නකින් පෙළුණු බ්‍රාහ්මණ තරුණයා මෙම ගැමියා තමන්ට කලින් වතාවේ මෙන් කෑමට ආරාධනා කරාවි යැයි සිතුවේ ය. නමුත් අවාසනාවකට එය සිදු වූයේ නැත. ගැමියා තම කෑම කා අවසන් වූ පසු ඉතිරි වූ ඉඳුල් අසලක තබා නිඳන්නට විය.

තවත් තමන්ට බඩගින්න ඉවසීමට නොහැකි වූ බ්‍රාහ්මණ තරුණයා රොඩී මිනිසා සියල්ල කා අවසන් වීමට මත්තෙන් ඉඳුල්වත් කෑ යුතුයැයි සිතීය. එසේ සිතූ බ්‍රාහ්මණ තරුණයා රොඩී මිනිසාගේ ඉඳුල් පත උදුරාගෙන කන්නට පටන් ගත්තේ ය.

ඉඳුල් සියල්ල කා අවසන් වූ පසු ඔහුගේ බඩගින්න සන්සිදුණි. නැවත ඔහුගේ කුල ගර්වය ඔහු තුල නැගීමට පටන් ගත්තේ ය. තමන් මේ සිදු කලේ තමන්ට නොතරම් දෙයක් යැයි හැඟුනු බ්‍රාහ්මණ තරුණයා තමා කෑ බත් ලේත් සමග වමාළේ ය.

ලේත් සමග තමන් කෑ සියල්ල වමාරන දුටු රොඩී මිනිසා බ්‍රාහ්මණ තරුණයා වෙත ගොස් ඔහු පිට අත තබා ඔහුට උපකාර කිරීමට සූදානම් විය.

“අත ගන්න අහකට! මට රොඩී මිනිස්සුන්ගෙන් උදව් එපා!”

තවමත් ඔහුගේ කුල ගර්වය තම ශරීර දුබලතා වලට උඩින් නැගී සිටියි. රොඩී මිනිසා ඔහුට උදව් කිරීමට කෙතරම් උත්සහ කරත් බ්‍රාහ්මණ තරුණයා එය ප්‍රථික්ෂේප කළේ ය. මෙය අවසන් වූයේ බ්‍රාහ්මණ තරුණයා සිහසුන්ව ඇද වැටීමෙනි. මෙය දුටු රොඩී මිනිසා වහා ඔහු වෙත දිව ගොස් අසල වූ දොළ පාරෙන් ජලය ගෙන තරුණයාගේ මුහුණට ඉස්සේ ය. නමුත් ඉන් කිසිදු පළක් නොවුණි. අවසානයේදී ඔහු තීරණය කළේ කෙසේ හෝ මෙම තරුණයාව උසුලාගෙන අසලම ගමකට බෙහෙත් ප්‍රථිකාර සදහා රැගෙන යාමට යි.

රොඩී මිනිසා තවත් ගව් කිහිපයක් බ්‍රාහ්මණ තරුණයාවත් උසුලාගෙන හැකි ඉක්මනින් අසලම පිහිටි ගම වෙත ගියේ ය. එහි ගොස් ගමේ වෙදැදුරු සොයා තරුණයාට ප්‍රථිකාර කරන ලෙස ඉල්ලීය.

“අනේ වෙද මහත්තයෝ මේ තරුණයාට බොහෝම අමාරුයි. පුලුවන් බේතක් කරලා හොද කරල දෙන්න”

“ඔයාගෙ කුලය මොකක් ද?”

“මම රොඩී කුලයේ”

“අපි රොඩී මිනිස්සුන්ට උදව් කරන්නෙ නැහැ. ඒක අපිට ගෞරවයක්” වෙදැදුරු ගැමියාගේ ඉල්ලීම ප්‍රථික්ෂේප කරමින් කියා සිටියේ ය. 

“අනේ එහෙම කියන්න එපා වෙද මහත්තයෝ මම හැම වියදමක් ම දරන්නම්. ඇරත් ඔබතුමාට බෙහෙත් කරන්න තියෙන්නෙ බ්‍රාහ්මණ තරුණයෙක්ට.” කියා වෙද මහත්තයා අත තමන් සන්තක වූ සියලු කාසි දුන්නේ ය.

“එයාට හොද වුනාට පස්සෙ ඔබතුමාට තෑගිබෝග බොහෝම ලැබේවි’

පුරා දිනයක් ගතවිය.

“මම මේ ඉන්නෙ කොහෙද?” බ්‍රාහ්මණ තරුණයා අවදි වූ විගස වටපිට බලමින් විචාළේ ය.

“වෙද මහත්තයාගේ ගෙදර ඉන්නෙ.” ඒ අසල සිටි කාන්තාවක් පිළිතුරු දුන්නා ය.

“මාව මෙහාට ගෙනාවෙ කව් ද?”

“ගැමියෙක් ඔයාව අරගෙන ආවෙ. ඔයා සිහසුන් වෙලා හිටියෙ”

“අර රොඩී මනුස්සය ද?”

“ඔව් එයා රොඩී කුලයෙ කෙනෙක් කියල කිව්වා. මුලදි අපේ වෙද ගුරුන්නාන්සේ බෙහෙත් කරන්න කැමති වුනේ නැහැ. හැබැයි ඒ රොඩී මනුස්සයා සල්ලිත් දීලා බැගෑපත් වුන නිසයි බෙහෙත් කරන්න ගත්තෙ”
තමන්ට බෙහෙත් කිරීමට රොඩී කුල මිනිසා මුදල් දුන් බව අසා බ්‍රාහ්මණ තරුණයා කෝපයෙන් කෑ ගසන්නට විය.

“ගලවන්න මේවා මගේ ඇගෙන්..! මට එපා රොඩියගෙ මුදලින් බෙහෙත්…!” යැයි තම ශරීරයේ ඔතා තිබූ ඖෂධ කොළ හා බෙහෙත් තෙල් ඉවත් කරමින් ගිගිරුම් දෙන්නට විය.

[මෙම කෙටි කතාව සදහා සත්තධම්ම ජාතකය ඇසුරු කරගත් බව සදහන් කල යුතුයි]

%d bloggers like this: