Menu Close

මෝස්‌තර එක්ක හත් වසරක් – විසිහයවෙනි කොටස

තුණ්ඩු ලියවිල්ල තොණ්ඩුවක් වුණේය………..

මොන ජගතෙකු වුණත් කලබල වුණොත් ඉවරය; කොරොස් කටේ වුණත් අත දමාගන්නට බැරිව යයි. එදා මට වුණේ ඒකය.

“නිමල් මල්ලී, එක-එක්කෙනා ඉල්ලන දේවල් තුණ්ඩුවක ලියලා, සල්ලි අරගෙන ඉන්න. එතකොට එයාලට පුළුවනි තුණ්ඩුව දීලා බඩු අරගන්න.” විමලසිරි අයියා මට කියාදී තිබුණේ එතෙක් කැන්ටිමේ වැඩ කෙරුණු විදිහයි. 

ඒත් සිද්ද වුණේ තුණ්ඩුව තොණ්ඩුවක් වුණු එකය.

දකුණෙන්- වමෙන්- උඩින්- යටින්- මැදින්- පැත්තෙන් ….. ඉඩක් තියෙන හැම තැනින්ම අත් දික් කරමින් අරවා-මේවා ඉල්ලද්දී; පොදි කද්දී කොහොම කලබල නොවී ඉන්නද? කොහොම තුණ්ඩු ලියන්නද? 

සේරටම හපන් වුණේ රස්නෙයි! යන්තමින් හරි උණුසුම වැඩි වෙනවා නම්, ශබ්දය වැඩි වෙනවා නම් මට ඇති වෙන්නේ නොඉවසිලිමත් ගතියකි.

ඒ අතින් මං සංවේදී වැඩියි වාගෙය!

70 ගණන්වලදී කතා නොකෙරුණත් දැන් පෘථිවි ගෝලය උණුසුම් වීම ගැන බරසාරෙට කතා කෙරෙයි. ශබ්ද දූෂණය, වායු දූෂණය ගැනත් පුරවැසියෝ කරුණු දනිති. ලෝකයේ විද්වතුන් දැනටම අවධානයට ලක් කොට ඇතත්, අප තවම ආලෝක දූෂණය හා එහි අනිටු විපාක ගැන නම් දැනුවත් මදිය.

මේ වහිනවයැ? වැක්කෙරනවානේ ………….
“මේ දවස්වල වහිනවා නෙවෙයි වැක්කෙරෙනවා…. වහිනකොට ගලන්න වහිනවා. පායන්න ගත්තම මාස ගාණක් ගහකොළ කරුකුට්ටන් වෙනවා… දෙවියො කෝප වෙලා වගේ.” දැන් නිතර ඇහෙයි. 
මේ කාලගුණික වෙනස්වීම්වලට වගකිව යුත්තේ හෝමෝසේපියන් මානවයා; අපම බව අපට තේරුම් යන්නේ කවදාද?

මිනිසුන් සිය ගණනකගෙන් වටවී හිටි නිසාද මන්දා, එදා දෙමටගොඩ දුම්රිය කර්මාන්ත ශාලාවේ කැන්ටිම විවෘත කළ මොහොතේ මගේ ඉහින්-කණින් දහඩිය බේරෙන්නට ගත්තේය!

එදා පොඩි මාමාත්, සෝමවීරත් හිටියේ කැන්ටිමේ වැඩකට උදව්වට ඇවිදින් නොවේ; බලලා යන්නටය. “මචං මං නිවාඩුවක් නැති කරගන්නේ අපරාදෙනෙ. කිරිබත් කෑල්ලක් කාලා යන්නම්!” සෝමවීර කියලා තිබුණේ එහෙමය.

“රංජි, මාත් පරක්කු නොවී යනවා…. අද ඩයි කරන්න රෙදි තොගයක් තියෙනවනේ. අදම ඒක නොකළොත් හෙට කෙල්ලොන්ට කරන්න වැඩ නැති වෙනවා.” පොඩි මාමාත් කියලා තිබුණේය.

රෙදි තොගයක් තියෙනවා ඩයි කරන්න. නොකළොත් හෙට කෙල්ලන්ට වැඩ නෑ!
එයාලා එහෙම කියලා තිබුණත් මං ‘මාර සෙනඟ වට කරගෙන යම යුද්දෙ’ කරද්දී, ඒ දෙන්නාම උදව්වට ආවෝය. අප තුන් දෙනාම වැඩේට බැහැලාවත් පිරිමහින්නට බැරි තරමටම කලබලයකි, එදා එතැන තිබ්බේ. 
සේරටමත් වඩා ප්‍රශ්නය වුණේ හැම එකාම පනහේ, සීයේ නෝට්ටු අරගෙන ඇවිත් හිඳීමයි. එය තනිකරම කුමන්ත්‍රණයකි; කඩාකප්පල්කාරී වැඩකි.

මං එහෙම කියන්නේ නිකම්ම නොවේ.

එයින් පස්සේ කිසිම පඩි දවසකවත්, ඇඩ්වාන්ස් දවසකවත් කැන්ටිමට ඒ තරමට නෝට්ටු අරගෙන එන පොහොසතුන් දෙමටගොඩ හිටියේ නැති නිසාය!

“රංජි, ඉතිරි සල්ලි පස්සේ දෙන්න තුණ්ඩුවක ලියලා දෙමු!” 
ගණ දෙවියන්ගෙන් අඩු නැතිවම බිස්නස් නුවණ හිමිවී හිටි පොඩි මාමා මට කිව්වේය. හිස් තුණ්ඩු ගොඩක, රබර් සීල් එක ගහද්දී වුණත් පොඩි මාමා මට වැඩියෙන් ඉදිරිය දකිමින් උන්නේය. 

“ඔයාගේ අකුරෙන් විතරක් ඉතිරි ගණන ලියන්න. නැත්තං…..”
රජ තුන් කට්ටුව වගේ තුන් දෙනෙක් හිනාවෙවී, කතා කරමින් කැන්ටිමට………..
ඔහොම සංග්‍රාමයකට මැදිව හිඳිද්දී ‘රජ තුන් කට්ටුව’ වගේ තුන් දෙනෙක් හිනාවීගෙන- කතාබහක යෙදෙමින් කැන්ටිමට ආවෝය. කලබලකරුවන් ටිකක් මෙල්ල වුණා වගේ පෙනුණේය. 
“මේ මොකද මේ?” කැන්ටිමේ අලකලංචිය දුටු ගමන්ම එක්කෙනෙකුට කියවුණේය.

“මොකක්ද මල්ලිලා මේ කරන්නේ…. වැඩේ කැතයිනෙ. මේ මිනිස්සු හිතයි දෙමටගොඩ ඉන්නේ සත්තු කියලා…..”

“…. අදම කැන්ටිම දමා ගහලා යයි. ලජ්ජ නැත්ද වස්තුවේ?”

“ඒකනෙ…. කොණක ඉඳලා පෝලිමේ එමුකො….. යං යං අපිත් එක්කම යං!” කියාගෙන එයින් එක්කෙනෙක් යකඩ බම්බු දෙක මැදින්වූ පෝලිමට එකතු වුණේය!

“ටියුඩර්ට මතකයිද එදා ඔයාලා එහෙම අපිට උදව් වෙච්චි හැටි?”

ගිය සතියේ ටියුඩර් අපේ ගෙදරට පැමිණි වෙලාවේ මම ඇසුවෙමි. දෙමටගොඩ කැන්ටිම නිසා මට අත්වුණු ලොකුම වාසියකි, එයාලගෙ මිත්‍රත්වය. (ටියුඩර්- ඇන්ටන්- වෝල්ටර් තිදෙනාය, එදා අපේ ගැලවිල්ලට ආවේ. ඇන්ටන් හා වෝල්ටර් නම් සුභසාධක සංගමයේ නිලධාරි තනතුරුත් හෙබවූහ.) 
එයාලය කිව්වේ ටියුඩර් හා සුජාය. ඒ දෙන්නා විවාහවී තිබුණෙත් ඒ අලුතමය!
ටියුඩර් හා සුජා විවාහවී තිබුණෙත් ඒ අලුතමය………..
“අනේ සුජා, ටියුඩර්ට කියන්න ඔයාලගේ ෆොටෝ ඇල්බම් දෙක-තුනත් අරගෙන අපේ ගෙදරට ඇවිත් යන්න කියලා. මගේ බ්ලොග් එකට දෙමටගොඩ කැන්ටිම ගැනත් ලියන්න වෙලා තියෙන්නේ දැන්. 
-ඒකට මට ඒ කාලේ ෆොටෝ දෙක-තුනක් ඕනෑ. කැන්ටිමේ දැන් ෆොටෝ එකකුත් අරගෙනම එන්න කියන්න.”

ටෙලිෆෝනයෙන් කිව්වා විතරය. දෙදිනකින් දෙන්නාම ආවෝය!

“මොකටද මනුස්සයෝ මේ අසනීපයෙන් ඉන්න සුජාවත් කැන්දන් ආවේ?”

“ඒවා මම දන්නේ නෑ. ඔය ඉන්නේ, එයාගෙන්ම අහගන්න එකයි. නිමල්ව බලන්න මාත් එනවා. මාවත් එක්ක යන්න කියල කිව්වා. මෙයාත් එක්ක බැහැ කියන්නයැ, මං ඉතින් පටවගෙන ආවා.”

මෙහෙම යාළුකම් මිනිහෙකුට වාසියක් නෙවෙයිද?
මට එහෙදී අපූරු ජීවිත පොත් කන්දරාවක්ම හමු විණි!
ඉතින්, ආයෙමත් කැන්ටිමට යනවා නම්- කියන්නට වෙන්නේ පළමුවෙනි දවසේ සෑහෙන පාඩුවක් සිදුවුණු බවය. එහෙත් ලොකුම පාඩමක් ඉගෙනගත් බවය. විවිධාකාර මිනිසුන් රැසක්- ජීවිත පොත් ගොඩාරියක් හමුවීමට පටන්ගත් බවය.

‘විභාග ප්‍රශ්න පත්තරයකට උත්තර ලියන්නට වාඩි වුණාම පළමුවෙන්ම පහසු ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න’යි කියැවේ. 

‘කෙනෙකුට නරක දෙයක් කියනට කලින් හොඳ දෙයක් කියලා ඉන්න’ කියලාත් කියැවේ. ඒවා නැණවත් උපදෙස්ය. නිෂේධාර්ථ කතන්දරවලට වඩා මං වුණත් අහන්නට කැමති ‘සුබදායක- ප්‍රීතිමත් කතන්දර’ය.

එහෙම වුණත් අපට හමුවුණු එකම-එක කෝකි බාස් කෙනෙකුවත් හොඳ නැතිනම් මොනවා කරන්නද?

තරමක් රළු විදිහට වුණත් මට කියැවෙන්නේ මෙහෙමය. ‘උන් මහ එපා කරපු ජාතියකි! කඩප්පුලි ටිකකි!!’

දැන් මා දන්නා බොහෝ දෙනෙක් දිනපතා ‘ලංකාදීප’ පත්තරය මිලදී ගන්නේ ‘ලහිපිට’ හින්දාය. ඉස්සර එතැන තිබුණේ ‘සිළුමිණ’ටය. 
එහි ලුහුඬු දැන්වීම් තීරුවටය. 
සමහර කාලයක කොපමණ දැන්වීම් තිබුණාද කිව්වොත් සමහරුන් සිළුමිණ ගත්තේ කියවනවාටත් වඩා, බත් ඔතන්නට කොළ ගොඩාරියක් ලැබෙන නිසාය.

(වර්තමාන තත්ත්වය නම් මා දන්නේ නැති බවත්, මගේ නිරීක්ෂණ සියල්ල වඩා පුළුල් වපසරියකදී නොකෙරුණු ඒවා බවත් මෙතැනදීම කිව යුතුය.)
මොට්ටයො, කන්තෝරු රස්සා ඉන්ටර්විව් එකකට වගේ කෝකියෝ ඇප්ලිකේෂන් අරන් ………..
සෝමවීරම ලේක් හවුසියට ගිහින් අපේ ලුහුඬු දැන්වීමකුත් සිළුමිණට බාර දුන්නේය.

“මචං, සෙනසුරාදා උදේ පාන්දර පත්තරේ ගත්තු ගමන්ම රස්සා හොයන අය කැන්ටිමට එන්න ගනියි. මමත් ඇවිත් ඉන්නං. පොඩි මාමාව ගෙන්නල තියාගනිං කැෂියර් වැඩේට. නැතිනං අපිට අපේ පාඩුවේ එකෙක්ව තෝරාගන්න බැරි වෙනවා.” සෝමවීර කලින්ම කිව්වේය.

“එදාටම තෝරනවද?”

“මොට්ටයො, උඹ හිතන්නෙ කන්තෝරු රස්සාවකට වගේ කෝකියොත් ඇප්ලිකේෂන් හදාගෙන එනවයි කියලද?” 
සෝමවීර ඔලොක්කුවට හිනාවෙමින් ඇහුවේය. 
හිතවතෙකු වුණාට සෝමයාගේ හැටි එහෙමය. මොන ක්‍රමයකින් හරි මාව දෙකේ කොළයට දාන්නට – ගරහන්නට ලැබෙනවා නං මිනිහාට සතුටුය. 

කළු අක්කලාගේ ගෙදරදී 304 සෙල්ලම් කරද්දී වුණත් සෝමවීර හැමදාම වාඩි වුණේ මට විරුද්ධ පිළේය.   
දේශපාලනික වශයෙන් විතරය අප දෙන්නා එක පැත්තක උන්නේ!
පිස්සු ඔට්ටුවක් හින්දා යාළුවෙකුට කොහොඹ කිනිති 50ක් කන්න කියන්නේ මොකාද?
“ඕකා මහම එපා කරපු නරුමයෙක් රංජි. දැක්කනෙ චිත්‍රපට ඔට්ටුවෙන් ඔයා පැරදුණු වෙලාවේ සෝමයා කරපු හැටි. ඔට්ටුවෙන් පැරදුණාය කියලා, මෙලෝ යකෙක් යාළුවෙකුට කොහොඹ කිනිති 50ක් කන්න  කියනවද?
මතකයිනේ, ඔයාලගේ තාත්තා මැරුණු දවස්වල හංවැල්ලට ඔයාව බයිසිකල් පද්දපු හැටි!”. 
එහෙම පෙන්වලා දුන්නත් මට ඒකෙ එච්චර වගක් වුණේ නැතිය. මගේම මෝඩකම හින්දා වෙන්නැතිය.

අපේ තාත්තා සියදිවි නසා ගනිද්දී; 1976දී… මට අවුරුදු 24ක්ව තිබියදීත් මා බයිසිකලයක් පදින්නට පුරුදුව හිටියේ නැත. 

තාත්තාගේ මළගමත්, අලුත් අවුරුදු නිවාඩුවත් නිසා සතියක් විතරම ගෙවුණේ හරිම අලස තාලයෙනි. “අයියේ, එනවා. මේ දවස් දෙක තුනේදී ඔයා බයිසිකලේ පුරුදු වුණා නං හරි.” අපේ සුනිල් යෝජනා කළේය. 
කබල් බයිසිකලයකින්, මා සයිකල් පදින්නට පුරුදු වුණේ පිරිමි ළමා නිවාසයේ පහළ කොටසේ තිබුණු පොල් වත්තේය.

සුන්නා කිව්වා වගේම දවස් දෙකක් යද්දී මම පුහුණුව ලැබීමි. 

“යකෝ, මූට දැන් පාරෙත් සයිකල් පදින්න පුළුවනිනේ!” සෝමවීර කෝචෝක් කතාවක් කිව්වේය. අපේ සුනිල්ට ඒ කතාව ඇල්ලුවේ නැත.
කේන්දර බලන හාමුදුරු කෙනෙක් හම්බ වෙන්න පන්සලකට යනවා………….

“ඇයි, උඹ හිතන්නේ බැහැයි කියලද? යකෝ, අපේ අයියා මිනිහෙක් හරි මරයි, හිතුණොත්. මොකද කියන්නේ… අයියේ… මුගෙ කට වැහෙන්නත් එක්කම යමුද සයිකල්වලින් පොඩි ගමනක්?”


“කොහෙද?”

“හංවැල්ලෙ…. මල්ලිකාලගේ කේන්දරයක් බලවන්න දීලා තියෙනවා හංවැල්ලේ පන්සලක හාමුදුරු කෙනෙකුට. මායි, මහතුනුයි, රංජියි එහෙ යන්න ඉන්නේ මල්ලිකාත් එක්කම. ඔයාත් යං. එකම ප්‍රශ්නේ බයිසිකලයක් තමයි…” 

සුනිල්ට කට වහගන්නට ඉඩ ලැබුණේ නැත. සෝමයා කට ඇරියේය. 
“මාත් එනවා, නිමලයා ඔච්චර දුරක් සයිකල් පදියිද බලන්න. මං ඌට බයිසිකලේකුත් ඉල්ලගෙන එන්නං!”

ඒ අභියෝගය බාර ගන්නට මේ මැට්ටාට සිදු වුණේ හිතා බැලිල්ලකින් තොරවය. හිතන්නට තරම් දෙයක් තිබුණු බවක්වත් සිහිවුණේ ගමනෙන් බාගයක් විතරත් ගියාට පස්සේය.

රේස්කාරයෝ වගේ අයියට සයිකල් පැදලා පුරුද්දක් නැහැනේ මචං!
“මෙහෙමයි යන්නේ…. අයියා පාරේ සයිකල් පැදලා පුරුදු නැහැනේ බං. බන්ච් එකට ගිහින් බැහැ. සෝමේ…. උඹ ඉස්සරහින් පලයන්. ඊට පස්සේ අයියා. පිටිපස්සෙන් රංජි. මමයි මහතුනුයි දෙන්නා අයියගේ දෙපැත්තෙන් එනවා.” 

පාන්දර ගමන පිටත් වෙන්නට කලින්ම සුනිල් යා යුතු විධිය කියා දුන්නේ එහෙමය.

“පිස්සුද මචං. මං ඉස්සරහින් ගියාම කොහොමද මූ පුක ඉරාගෙන සයිකල් පදින හැටි බලාගන්නේ? මට ඕනේ මේකගෙ පිටිපස්සෙන් එන්න!”

ඒ සෝමයාගේ හැටිය. කෙරුණේත් එහෙමය; සෝමවීර ගියේ මගේ පිටුපසිනි.

“නොදකින් තොගෙ අලුගුත්තේරු කට. අයියේ, අපි මූට පෙන්නමුකෝ දිසානායකලගේ තරම. ඔයා චුට්ටක්වත් බය වෙන්න එපා! කලබල වෙන්නත් එපා. 
Speed කරන්න ඕනෙත් නැහැ. සාමාන්‍ය ගණනකට යං. 
ඔයා යන ගණනට තමයි අපිත් පදින්නේ…. රේස් එකක් නෙවෙයිනේ…”.

“රංජි අයියා කිසි දේකට බය වෙන්න එපා. ඒයි මචං රංජි. උඹ බලාගෙන පලයන්, ඉස්සරහින් ගියා වුණාට.” මහතුන් එයාගේ යහළු පැපිලියානේ රංජිට කිව්වේය.

(පසුව කැන්ටිම පටන් ගනිද්දී පැපිලියානේ රංජි එහි වැඩටත් ආවේය. මිනිසුන්ගේ පොදිකෑම වැඩිවෙන්නට කලින් කැන්ටිමේ දොර අරිමුය කිව්වෙත් එයාය.) 
අලුත් අගමැතිතුමා හැබෑ හිතවතුන් හඳුනාගන්නට උපායක් යෙදු විත්තියක්………
හැබෑම හිතවතුන් යැයි කිව යුත්තේ ඔහු වැනි අයටය! වැල යන අතට මැස්ස ගහන අයට නොවේ. හුඟ දෙනා අමාරුවේ වැටෙන්නේ වටේට ඉන්නා හිත-මිත්‍රාදීන් හරිහැටි හඳුනාගන්නට අසමත් වීමෙනි.

අද (2019.12.1) උදේ කියවූ මේ පුවත ‘මිත්‍ර ප්‍රතිරූපකයන්’ තවමත්, කොතැනත් ඉන්නා බවට හොඳම නිදසුනකි!

අලුත් ආණ්ඩුවෙ දෙවැනි මහත්තයගෙ පුටුවට හිටපු ලොකුතැන පත්වෙන්න කළින් එතෙන්ට බොරළුගොඩින් කෙනෙක් එනවය කියලා ලොකු ප්‍රචාරයක් ගියා.
ඒකාබද්දෙ ලොකු පුටුවක අසුන් අරන් ඉන්න ගුණවර්ධනය කරපු මුන්නැහේ මෙතෙන්ට එනවය කියන ආරංචියට තටු ලැබිල ප්‍රචාරය වෙන්න ගන්නකොටත් විජේරාම පාරෙ තියෙන මහින්ද උන්නැහේගෙ ගෙදරට මහ සෙනඟක් ඇවිත් හිටියෙ උන්නැහේ රටේ දෙවැනි පුටුවට පත්වෙනකම්ලු.
ඒත් එතෙන්ට ආපු පොහොට්ටු මන්ත්‍රී සයිස් පොරක් පැමිණ සිටි කස්ටිය අතරට ගිහිල්ල පොඩි කතාවක් ඇරියා රටේ දෙවැනි මහත්තයගෙ පුටුවට එන්නෙ මහින්ද උන්නැහේ නෙවෙයි බොරළුගොඩ මහත්තයය කියල.
දැන් මම දන්නවා මං වෙනුවෙන් ඉන්නේ කව්ද කියලා………..
ඉතින් මේ කසුකුසුව විජේරාම පාරෙ ගෙදරට රැස්වෙලා හිටපු අයට ලැබුණ ගමන් සමහරු ටිකක් නොසන්සුන් බවට පත්වුණා. ටික වෙලාවක් යනකොට එතැන හිටපු සෙනඟ හත් අට දෙනෙකුට අඩුවුණා. පස්සෙ සොයල බලනකොට ඒ ගොල්ලො අගමැති වෙනවය කියාපු බොරළුගොඩ මහත්තයලගෙ ගෙදරයි අවට පාරෙයි රැස් වෙලා ඉන්න බවට ආරංචියක් ලැබුණා.
ඒක එහෙම සිද්ධවෙන අතරෙ හිනාවෙවී විජේරාම මන්දිරයෙන් එළියට බැහැපු හිටපු ලොකු තැන අගමැති පුටුවෙ දිව්රුම් දෙන්න යන්න පිටත්වුණා…
එහෙම පිටත්වෙන්න හදන ගමන් උන්නැහේ එතන ඉතුරුවෙලා හිටපු අයට කිව්වෙ… මම පොඩි ටෙස්ට් එකක් කළා… ඒක සාර්ථකයි. දැන් මම දන්නවා මම වෙනුවෙන් ඉන්නෙ කව්ද කියලා….’
එහෙම කියපු මහින්ද උන්නැහේ දිව්රුම් දෙන්න පිටත් වුණා. ගිහිල්ලා ඒ කටයුතු ඉවරකරලා ආපසු විජේරාමෙට එනකොට උදේ එහේ ඉඳලා මාරුවෙලා ගිය අය මෙන්න ආපසු විජේරාමෙට ඇවිල්ලා පොරකමින් හිටියා… ඒ මදිවට හිටපු ලොකුතැනට ජයවේවා කියන්නත් පටන් ගත්තා. ඒ කාටත් ජයවේවා, ජයවේවා කියපු හිටපු ලොකු තැන මන්දිරය ඇතුළට ගියේ මෙහෙව් අයටත් ශිල්ප සෑදේ කියමින්ලු…”
සයිකල් පදින අතරෙත් අපේ සුන්නා මට ශිල්ප දුන්නේය!
මහ පාරේ; හයිලෙවල් පාරේ බයිසිකලයෙන් හංවැල්ලටම බයිසිකල් පදින අතරෙත් සුනිල් මට ශිල්ප දුන්නේය.
හැබැයි ගුරා එහෙම පිටින්ම අමතක කර තිබුණේ නිමල් දිසානායක ඒ වනවිට එක දිගට සැතපුම් කාලක්වත් ෆුට් සයිකලයක් පැදලා නොතිබුණු බවය.
‘හිත ඇති නම් පත කුඩාද’ එය ලස්සන කියමනකි. ඒක හරි හැටියටම සත්ත වෙන්නට නම්, එදා මට දෙන්නට තිබුණේ හොඳින් කුෂන් කළ සීට් එකක් තියෙන සයිකලයකි. එහෙමත් නැතිනම් ගමන යන්නට කලින් ‘මොට්ට නිදි’ගෙ පස්ස කුෂන් කරලා ඉන්නට තිබිණි!
ඒ දෙකම නොවුණු නිසා…………
%d bloggers like this: