Menu Close

ශ්‍රී ලංකා not Vs England – සිව්වෙනි කොටස

අසනීපයක්ය කිව්වාට එයාවත් ඒක ගණන් ගත්තේ නැතිය!

මේ අතර කාලයේම වගෙය ලොකු නංගි; පුෂ්පා රංජනී දිසානායක යුවතිය සැරෙන්-සැරේ අසනීප ගතියක් පෙන්වන්නට පටන්ගත්තේ. අසනීපයක්ය කීවාට එය ගණන් ගත යුතු තරමේ එකක් බව, අපට තියා එයාටවත් හිතිලා තිබ්බේ නැත. 

“අනේ මට ටිකක් නිඳාගන්න දෙන්නලකෝ! ඔළුව බරයි….. නිඳිමතයි. මට සනීප නැහැ ලොකූ….” එහෙම කිව්වාම අප හිතුවේ උදේට නැඟිටින්නට කම්මැළි හිතුණාම කියන බොරුවක් කියලාය! 
අනෙක් පැත්තට බලද්දී නෝනාට එහෙම වුණෙත් මාසෙකට දවසක් දෙකක් විතරය. ක්‍රමවත්ව දින ගණන් තැබීමක් නොකෙරුණු නිසා අපේ ආච්චි හිතුවේ ‘මාස් කිල්ල’ කියලාය! 
“සමහර ගැහැනු ළමයින්ට ඔහොම තමයි රංජි….. නෝනා ….උඹට තැඹිලි ගෙඩියක් ගෙන්නලා දෙන්නං….”
“අනේ ආච්චියෙ, අන්නරහෙට යන්න, පිං සිද්ද වෙයි….. මට නිඳාගන්න දුන්නම හරි…. මොන කෙහෙල්මලක්වත් එපා.”
උඹලගේ අම්මගෙ බින්තැන්නේ මායම් නං……

“කම්මැළිකම….. ඔය යසට නැඟිටින්නේ නවයට දහයට. ඇස්පිරින් පෙත්තක්වත් බොන්නේ නැතිව සනීප වෙන ලෙඩක්නෙ, යකඩෝ! උඹලගේ අම්මගේ බින්තැන්නේ මායම් වගේ තමා. ගහේ කටු ඉතින් උල් කරන්න ඕනය?” 

වතාවක් දෙකක් විතරය ආච්චී වුණත් ලොකු නංගිගේ අසනීපය ගැන කලබල වුණේ. 
නෝනාට තිබුණු එකම රෝග ලක්ෂණය උදෙන්ම අවදි වෙන්නට බැරිකම වුණු නිසාත්, එය පවා ටිකාක් දවල් වෙද්දීම නැතිව ගිය නිසාත් දොස්තර කෙනෙකු ළඟට යැවුණේ නැත. 
බොරලැස්ගමුවේ කඩයේ වැඩ ලහි-ලහියේ කෙරුණේ ඒ අතරේය. 
අපට ඕනෑවී තිබුණේ ආලෝකවත්, කලඑළියෙන් යුතු කඩයක් අරින්නටය. ඒ කාලයේ බොරලැස්ගමුව හංදිය අඳුරු එකකි. 
එහෙත් අපට වැඩ කරගන්නට වුණේ අන්තිම තිතටම පිරිමසාගෙනය. 
වෙළෙඳාමක් පටන් ගන්නා විටම කවුරුන්වත් ණයට එච්චර බඩු දෙන්නේ නැත. “එහෙමය කියලා කඩේ පිරෙන්න බඩු තිබුණේ නැත්තං මිනිස්සු එන්නෙ නැහැ රංජි. අපේ තාත්තට කවදාවත් කඩේ දියුණු කරගන්න බැරි වුණෙත් සෝබනේ නොතිබුණු නිසා.” 
පොඩි මාමා කිව්වේ කඩ බක්කි- රාක්ක ගහන අතරවාරේය.
අපේ තාත්තට කවදාවත් කඩේ දියුණු කරගන්න බැරි වුණෙත් සෝබනේ නැති වෙච්චි හින්දා!

ඒ කාලයේ බොරලැස්ගමුවේ තිබුණු වෙළෙඳසල් එකකටවත් ඇතුළට ගිහින් තෝරලා- බලලා බඩු ගන්නට පුළුවන්කමක් තිබුණේ නැත. 

කඩේ ඉස්සරහින් ඝනකම කම්බි දැලක් හරි බාග බිත්තියක් හරි බැඳලා සීමා කරලාය. 
කඩේ කරන්නන් ඇතුළේය; පාරිභෝගිකයන් එළියේය. 
“අපිට කඩේ ඇතුළට ඇවිත් බඩු ගන්න මේ හන්දියේ ඉස්සෙල්ලාම කඩයක් ඇරියේ ඔයාලා.” එහෙම සහතිකයක් අපට දුන්නේ සිරි ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙකි. ලැම්බට් පෙම්මාවඩු මහත්තයාය. (ආදරේ ඇයි පොඩි හඳ මාමේ- ගීතයේ රචකයාත් ඔහුය.) 
දැන් ඉන්නා අය නොදනිතත් ලැම්බට් පෙම්මාවඩු, සුමනා ජයතිලක දෙන්නා කාලයක් අපේ වීරයන්ය. 
පසුකාලීන tv පරම්පරාවල්ය නයිට් රයිඩර්ට, චාලීස් ඒන්ජල්ස්ලාට, A Teamලාට, මයිකල් ජැක්සන්ට, කුන්ග් ෆූට වීරයන් විදිහට සලකන්නට ගත්තේ. 
අප වගේ උදවියගේ වීරයන් වුණේ කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත්‍රීපාල, කුසුම් පීරිස් වැනි හඬින් පමණක් දකින අයය. ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, ජීවරාණි කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා වැනි රිදී තීරයේ දකින අයවලුන්ය. 
හඳ මාමා වුණේ ලැම්බට් පෙම්මාවඩුය; සුමනා ජයතිලක හඳ නැන්දා වුණාය! 

සුමනා ජයතිලක මහත්මියව නම් මා හඳුනා ගත්තෙත්, ගුවන් විදුලි වැඩ සටහනක් කිහිපයකට සහභාගි වුණෙත් ඊට කාලයකට පස්සේය. මහා ගත්කරුවකු ලෙසින් මා සලකන කේ. ජයතිලක මහත්තයා ‘හඳ නැන්දා’ගෙ ස්වාමි පුරුෂයා වග දැනගත්තේ ඊටත් පස්සෙය. එතුමාගේ පොත් අච්චු ගහද්දී සුමනක්කා ප්‍රෙස් එකට ආවාමය! 

නිතර අපේ කඩයට පැමිණි ගනුදෙනුකරුවෙකු වුණු පෙම්මාවඩු මහත්තයා ‘හඳ මාමා’ ගුවන් විදුලි වැඩ සටහනේ හඳ මාමාය!  
හඳ මාමා ගුවන් විදුලි ඉතිහාසයේ විශේෂ කඩඉමක් සනිටුහන් කළ ළමා වැඩ සටහනකි; 1963 දෙසැම්බරයේ සිට නොකඩවා 50 වසරකටත් වඩා ගුවනින් ප්‍රචාරය වුණු එකකි. 
එයට 25 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ ප්‍රාසාංගික වැඩ සටහනක් නැරඹීමේ වාසනාව මටත් උදාවිණි! ඒ ලාල් හේවාපතිරණ මහත්තයාට පින් සිදු වෙන්නටය.
එහි සුවිශේෂත්වය වුණේ ‘හඳ මාමා’ට මුල් කාලයේ සම්බන්ධ වුණු ශිල්පීන් රැසක්ද, ඔවුනගේ දූදරුවන්ද එහි ගී ගැයීමයි; රැඟුම් ඉදිරිපත් කිරීමයි!! 
හරියටම කියනවා නම් උඩින් ඔපේය; යටින් හපේය! 

“රංජි. රාක්කවල පිටිපස්සෙන් හිස් කාඩ්බෝඩ් පෙට්ටි තියලා එයිට ඉස්සරහින් සබන්, සැමන්, කිරිපිටි පැකට් එහෙම අහුරමු!” පොඩි මාමා කඩේකට ඔබින නුවණ යෙදුවේ එහෙමය. “… එතකොට වැඩිය සල්ලි හිර කරන්නේ නැතිව කඩේ බඩු පිරිලා වගේ පෙන්නතෑකි!” 

එහෙම කළායින්, කඩය විවෘත කරන දවසේ ඒක තිබුණේ බඩු භාණ්ඩවලින් පිරුණු විදිහටය! හරියට දැන් ඉන්නා ගොඩක් ගැටවර-ගැටවරියන් වගෙය; ගැඹුරින්ම හිතා-මතා කියනවා නම් වැඩිහිටියන් ගොඩකුත් එහෙමය. උඩින් ඔපේය- යටින් හපේය. Clean සූට් empty පොකට්ය. 
උඩින් දිලිසි-දිලිසී ලස්සනට, ඔපයට, පිරෙන්නට තිබ්බාට- සාක්කු විතරක් නොවේ ඔළුගෙඩියේ ඇතුළතත් හිස්ය. 
ලොකු නංගිට කඩේ කැෂියර්කම අල්ලලා ගියේය. ඒත් හැමදාම වගේ මටත් කඩේට යන්නට සිදුවිණි. ඒ දවල් කෑම වෙලාවටය. ඒ වෙලාවටය නෝනා මල්ලිකාලගේ ගෙදරට ගියේ. ඒ ගෙදර තිබුණේ බොරලැස්ගමුවේ සිට පිරිවෙන හන්දියට යන අතරේ දකුණු පැත්තේ තිබුණු සුහද ලී මෝලට යාබද ඉඩමේය.  
එහෙම යන ගොඩක් දවසට ලොකු නංගි නායි. අපේ ගෙදරින් දිගම කොණ්ඩය තිබුණු ගැහැනු ළමයා ලොකු නංගිය. එයාගේ කෙස්ස දණහිස් දෙකටත් වඩා දිගුය; බලු නගුටක් වගේ නොවේ, ඝනය.
රපුන්සල්ට තරම් නැතත් අපේ නංගිට දණහිසෙන් පහළට ගලා හැලෙන ඝන කෙස් වැටියක් තිබිණි!

“අනේ නිමල් අයියේ, පුෂ්පක්කගේ කොණ්ඩෙට hair styles දාලා ඔයාලට උගන්නගන්න බැහැ. මෙහෙම කොණ්ඩේකට හෙයාර් ස්ටයිල්ස් දාන්න ගියාම එපා වෙනවා අයියෝ!” බතික් වැඩපොළේදී අපට කොණ්ඩා මෝස්‌තර ඉගැන්වූ ෆරානා කිව්වේ ඒ නිසාය. 

එහෙම වුණත් ෆරානා හරියටම ශිල්ප දුන් හින්දාය, ලොකු මාමාගේ මංගල්ලයෙදී මනමාලියට අන්දවන එක්කෙනා ආවේ නැතිවාම මං මනාලියට; අනාගත නැන්දාට ‘ඩබල් බන්’ මෝස්තරය දැම්මේ! 

(සෝමා පුංචි- කඩේ පුංචි ඇතුළු හැමෝගෙන්ම කොණ්ඩාවල තිබුණු කොණ්ඩ කටු ගලවාගෙන. එයාලා හැමෝම එකතුවෙලා මනාලියට ඇන්දවූහ!)  

එච්චරට සරු කොණ්ඩයක් තිබුණු හින්දා ලොකු නංගී නාන්නේ දවල්ටය. එතකොට කොණ්ඩය වේළෙන්නට ගොඩ වෙලාවක් යන්නේ නැති නිසාය. 
ඔහොම එයා නාලා- කාලා එනවිට පැයක්-එකහමාරක් යනවාමය. 

එතකොටත් පොඩි මාමා කඩේට ඇවිත් නැත. ඒ එයා කඩේට අවශ්‍ය බඩු තොග ගන්නට කොළඹ ගිහින් හින්දාය. ඒ වෙලාවට කඩයේ ඉඳෙන්නේ මාත්, රංජිත්ය. රංජි මගේ මිතුරෙකුගේ; පමුණුවේ ශිවන්තගේ බාල සොහොයුරාය! (පමුණුවේ ‘ඇල්බට් අයියාගේ’ පුතෙකි.)
ඒ සීදේවි වයසක අම්මා ඇඳගෙන ආ රෙද්ද හැට්ටයේ මුලින්ම තිබුණු පාටවල් හොයාගන්නට නම් ………

එහෙම කඩේ ඉන්නා ටිකට වුණත් ගොඩක් අය දැන-හඳුනා ගන්නට මට ඉඩ ලැබිණි. ඒ වගේම සංසාරේ එපා වෙන දේවලුත් ඒ අතරේ සිදු වුණේය! 

ඒවායින් අදටත් හිතේ ඇනුණු කටුවක්ව තියෙන්නේ වයසක අම්මා කෙනෙකි. 

ඒ අම්මා ඇඳගෙන ආවේ චීත්තයක් හා හැට්ටයකි. ඒවායේ මුල්ම පාටවල් හොයාගන්නට නම් පුරාවිද්‍යාත්මක දැනුමක් තිබිලාවත් මදිය. හැබැයි, හරිම සීදේවිය. (ෆ්රෑන්ක්ලගේ අම්මා වැනිය.)  
“මොනවද අම්මේ ඕනේ?” රංජි අහයි. 
“මහත්තයෝ….මට දෙන්නකෝ ගණන් අඩුම හාලකින් හුණ්ඩුවක්….” ඒ අම්මා කියයි. හුඟ දවසකට කියැවෙන්නේ එකම ලැයිස්තුවකි. 
“….. සීනි ග්‍රෑම් පනහක්….. මිරිස් ග්‍රෑම් 20ක්…. රතුළූණු 50ක්.” තේ කොළ, දියලුණු, තුනපහ වගේ දේවලුත් එහෙමමය. චුට්ට චුට්ටය- සමහර දවසට විතරය. 

රංජි ඒවා කිරලා දෙන හැටි මං බලාගෙන ඉන්නේ කඳුළු අතරෙනි. අදහන්න! දැනුත් මං මේවා කොටන්නේ බොඳ වුණු දෑස වියළෙන තුරු නැවතී හිඳලාය.
තියාගනින් නිමල් උඹේ සත්ත කරුණාව!

“අනෙඃ, තියාගනින් උඹේ සත්ත කරුණාව!” මගේ හිත මුරගායි; මට සාප කරයි. “තොට ඔච්චර දුකයි නං එක දවසක්වත් ඒ මනුස්සයාගෙන් සල්ලි නොගෙන හිටියද? මොනවා හරි වැඩියෙන් දුන්නද?” 

ඇත්තය, එහෙම කළ බවක් නම් දුෂ්ට නිදිට මතක් වෙන්නෙම නැත. 

කෙනෙකුගේ අසරණකම දැක අනුකම්පා හිතන්නට වියදමක් වෙන්නේ නැත. එයාට පිළිසරණක් වන්නටය, වියදම් වෙන්නේ! අද කොතෙක් එහෙම කළත්, එදා ඒ අම්මාට සරණක් නොවීම ගැන තියෙන පසුතැවිල්ල නං….. 
“මල්ලිකාක්කල අම්මා කිව්වා ලොකාටත් එහාට ඇවිත් යන්න කියලා, යන ගමන්…. මං හිතන්නේ එයා ඔයාටත් එක්කම උයලා.” ලොකු නංගි බොහොමයක් දවසට එන්නේ සෝමක්කාගෙන් පණිවිඩයකුත් අරගෙනය! මමත් යමි!! 
“මොකටද මල්ලිකාල අම්මේ මටත් එක්ක උයන්නේ? ගෙදර උයලානේ තියෙන්නේ, මානෙල්.” 
“අනේ, තියාගන්නවා දිසානායක. මං දන්නවනේ ඒ කෙල්ලගේ ඉවිලි. නොකර බැරිකමට කරනවා…… මානි උයන්න තරං වයසක කෙල්ලෙක්ද? අපේ මල්ලිකාටවත් තවම බතක් හොද්දක් උයාගන්න බැරිකොට.” සෝමක්කා කියයි. 
ගිරිරාජ්ගෙන් අසා බලා මේ ප්‍රශ්නය විසඳා ගන්නට ………

“ඒ ඉතින් බයිසිකල් පදින්නයි, රස්සාව කරන්නයි යන හින්දනේ!” මං කියන්නේ මොනවා හරි කියන්නට ඕනෑ හින්දා විතරය. 
බතක් හොද්දක් උයා ගන්නට බැරි ගෑනියෙකුට මොන වටනාකමක්ද? මං හිතන්නේ හැම පිරිමියෙකුම වුණත් උයා-පිහාගන්නට දැනගෙන හිටිය යුතු බවයි! 

සමහරුන් හිතන්නේ නොදන්නාකම හපන්කමක් විදිහටය! තොත්තබබා කෙනෙකු- එහෙමත් නැතිනම් බබා හුකුං පෙන්වන කෙනෙකු වීම හපන්කමක් විදිහටය!! 
“……. මේ අතර මඤ්ඤොක්කා හුටපටයක් සිදු විය.එය ඉතා රසවත් සිදුවීමකි. එය මම මෙලෙස සටහන් කරමි. එක්තරා වෑංජනයක් ගෙනත් තිබුණේ දහවල් කෑම වේලටය. රංගන ශිල්පිණී …………. එදෙස බලා විපරම් කළාය.
මේ මොනවද… දෙල් ද මඤ්ඤොක්කද? 
ඇය මුවට ඇඟිල්ලෙන් තට්ටු කරමින් තමන්ගෙන් විමසා ගත්තාය. එහෙත් එය ඇයට විසඳා ගත නොහැකි විය. ගිරිරාජ්ගෙන් අසා බලා මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ඇය කල්පනා කළාය. ඇය අසන්නේ වැරැදි කෙනාගෙන් බව නිකමටවත් සිතුණේ නැත. 
ගිරි අයියේ මේ මඤ්ඤොක්කා ද දෙල්ද? 
ඇයි නංගි මොකක්ද ප්‍රශ්නෙ?
දෙල් නම් මට හොඳ නැහැ. සැරයිනෙ. එක සැරයක් දෙල් කාලා කටත් පැළුණා.
එක පාරක් කට්ටියගෙන් අහලා පරිප්පු එකක් හදලා උළුහාල් වැඩිවෙලා…….

එහෙනම් නංගි මේ මඤ්ඤොක්කා. ගිරා එය කියා ක්ෂණයකින් ඉවත්ව ගියේ එතැන තිබුණේ දෙල් නිසාය. මඤ්ඤොක්කා කියා සිතා දෙල් අනුභව කරන …….. දෙස සියල්ලන් බලා සිටියේ විස්මයෙනි. ඇයට යම් ආපදාවක් වී රූපගත කිරීම් පමා වේ යැයි අධ්‍යක්ෂවරයාට ද බියක් ආවේය. හිතේ හැටියට දෙල් කෑ ……. දිහා අවසානයේ පිරිස බලා සිටියේ ඒ දෙල් මඤ්ඤොක්කා කළ රහස සඟවා ගෙනය………….”   

මේ පුවත තිබුණේ ‘සරසවිය’ පත්තරයේය. 
එය කියවන වෙලාවේ මට පුදුම හිතුණේය! අද රංගන ක්ෂේත්‍රයේ ඉන්නේ දෙල්, මඤ්ඤොක්කා දෙකවත් හඳුනාගන්නට බැරි නිළියන්ද? 
එහෙමත් නැතිනම් ඒ දෙක අඳුනාගන්නට බැරිවෙන විදිහට උයන කෝකියා පබිලිස් උන්නැහෙවත් පරද්දන සූරයෙකු වෙන්නැතිය.  
ඊටත් ටික දවසකට ඉස්සෙල්ලාත් ඔය වගේම කතන්දරයක් තව පත්තරයක තිබුණේය. අතිදක්ෂ තරුණ නළුවෙකුගේ බිරින්දෑ ගැනය.
 “….ඉතින් ගෙදර ඉඳිද්දී දැන් ….. උයනවා. ඉස්සර එහෙම බැහැ. මට තාම මතකයි එකපාරක් කට්ටියගෙන් අහලා පරිප්පු එකක් හදලා උළුහාල් වැඩි වෙලා විසි කරන්න සිද්ධ වුණා. හැබැයි දැන්නම් හොඳට උයනවා……” 
තවමත් මට හිතාගන්නට බැරිව ඉන්නේ අර තරුණ බිරියට ‘පරිප්පු උයනවිට උළුහාල් දමන්නට කිව් කට්ටිය’ කොහොම අයද කියලාය!
උයන-පිහන එක ගැන වැඩියෙන් කිව්වේ මල්ලිකාලගේ අම්මා; සෝමක්කා සතුව තිබුණු සුවිශේෂී පුරුද්දක් මෙතැනදීම කියන නිසාය.
එයාගේ කුස්සියේ තුනපහ කුඩු තිබුණේම නැත. 

හොඳින් ගරලා- හෝදලා වේළාගත් සූදුරු ඇටත්, කොත්තමල්ලි ඇටත් වෙන-වෙනම බෝතල් දෙකක තිබුණේය. ඒ ඒ වෑංජනය ඒදන වෙලාවට අර බෝතලවලින් සූදුරු ඇටත්, කොත්තමල්ලි ඇටත් පුංචි අත් වංගෙඩියකට වැටෙයි; තැළෙයි; ඒත් කුඩු නොවී කරියට වැටෙයි!
සෝමක්කා ඉව්වෙත් දර ළිපේය. මැටි වළන්වලින්ය…………

සෝමක්කා ඉව්වෙත් දර ළිපේය. මැටි වළන්වලය. සුහද ලී මෝල තිබුණේ අල්ලපු වැටේ නිසා ඉවත දමන ලී කෑලි අඩු නැතිවම ළිපට වැඩියේය; බුර-බුරා ඇවිළුණේය. 

එහෙම ඉදුණු මාළුපිණි රහෙන්, සුවඳෙන් දෙකෙන්ම පොහොසත්ය. එහෙව් කොට ‘බත් ටිකක් කන්නට එන්නැයි’ කෙලින්ම නොකියා කියන ආරාධනාවක් පිළිකෙව් කරන්නට රහ-ගුණ තේරෙන කෙනෙකුට පුළුවන්ද? 

මං ගෙදර එන්නේ එහෙන් දවල්ට කාලාය. 
අපේ කඩය ඇරියාට පස්සේ මට අත් වුණු ලොකුම ලාබයකි; දවසේ පත්තර සේරම උඩින්-පල්ලෙන් හරි කියවන්නට ලැබීම. 
දිනපතා පත්තරවලටත් වැඩියෙන් තිබුණේ සතිපතා පත්තරය. චිත්‍රකතා පත්තරම කොච්චරක්ද? සිත්තර, සත්සිරි, සුහද, ස්වර්ණ, මධුර, සතුට, දසුන විතරද? උපාලි එකෙන් පළ කළ ‘චිත්‍රමිත්‍ර’. එහි තිබුණු විශේෂත්වය පුවත්පතේ size එකයි. ඒ පත්තරේ ටැබ්ලොයිඩ් සයිස්ය. ඇයි සයිස් වෙනස් වුණු මල් පත්තර…. 
කුමරි වගේ ඒවා. තරුණී වගේ ඒවා…. සත්සර වගේ ඒවා…. මිහිර, විජය වගේ ළමා පත්තර….
නෝනා, මම කඩේට නොඑන දවසක වුණත් සිත්තර වගේ සතිපතා පත්තර සේරම ගේන්න ඕනේ! 

“නෝනා…. හදිසියේ හරි මං කඩේට ආවේ නැති දවසක වුණත්, එදාට එන සතිපතා පත්තර සේරම ගෙදර ගෙනෙන්න ඕනේ!” මා ලොකු නංගිට කියා තිබිණි. පරෙස්සමෙන්, ඒ පත්තර පොඩි නොවෙන විදිහට, ඒවා කියවා ආපහු කඩේට යවන්නේ විකුණන්නටය. 

මොකෝ, කියෙව්වාට පත්තරයක අකුරු අඩු වෙනවා කියලද? මොළේ වැඩි වෙනවා මිස. 
ඔය අතරවාරයේ අම්මාත් එංගලන්තයේ සිට අසා බැලුවේ කඩේ හොඳට කෙරෙනවාද කියලාය. “හොඳයි අම්මේ. දැන් දවසකදී රුපියල් දහ-දාහ පන්නලා බඩු විකිණෙනවා.” මම වාර්තා කළෙමි. 
“Oh, My God!” කඩය දියුණු වෙනවා වගේ, අම්මාත් එහෙන්-මෙහෙන් කෑලි-බෑලි අහුලාගෙන දියුණු වෙමින් හිටි බව පෙන්නුවේ එහෙමය. “…. දවසකට දහදාහක් ලාබයිද? ෂෝක්නෙ රංජි.” 
“දහදාහක් ලාබ නෙවෙයි අම්මේ, වෙළෙඳාම… වෙළෙඳාම. දවසකදී බඩු විකිණෙනවා දහදාහ පන්නලා!”
එතකොට අපේ අම්මාත් එංගලන්තයෙන් අරවා-මේවා කෑලි-බෑලි අහුළාගන්නට……

“ඉතින් ලාබ නැද්ද?” 

“ලාබ නැතිනං කඩ කරලා වැඩක් තියෙනවය? පොඩි මාමා නං කිව්වේ දහදාහක බඩු විකිණෙනවා කියන්නේ…..” 
රසික හිතවතුනි. ඒ කාලේ සිල්ලර කඩයක දවසකදී රුපියල් දහදාහක අලෙවියක් තිබිණි නම් ලාභය සීයට කීයක් විය හැකිද? 

%d bloggers like this: