Menu Close

Crouching Tiger, Hidden Dragon හෙවත් මකරා සමග ගනුදෙනුව



මේ ලිපිය ලියන්න පටන් ගන්නා මොහොතේ මා සිටින්නේ චීනයේ ෂැංහයි නුවරයි. හෙට අප යිචාන් නුවර බලා පියාසර කරන අතර එහිදී ලෝකයේ ලොකුම ජල විදුලි බලාගාරය (Three Gorges Power Plant) නැරඹීමට අපව රැගෙන යනු ඇත. අනිද්දා අපි බෙයිජිං නුවර බලා පියාසර කරමු. ඒ 2019 චීන-අප්‍රිකානු බලශක්ති සහයෝගිතාවය සඳහා වන දෙදින සම්මන්ත්‍රණයට සහභාගී වීමටයි. ඉන් පසු මා ඩුබායි හරහා දකුණු අප්‍රිකාවට යායුතුය. නේපාලයේ තෙදිනක් ගතකර පැමිණි බැවින් අධික වෙහෙසක් දැනුණත් ටික කාලෙකින් බ්ලොග් සටහනක් නොලියු බැවින් නිසංසල හෝටල් කාමරය ඒ සඳහා ඉතා සුදුසු යයි මට සිතෙයි. 
මා මෙතෙක් කල් දැක තිබුණේ මකරාගේ සෙවනැල්ලයි. ලංකාවේ, පකිස්ථානයේ, සැම්බියාවේ, උගන්ඩාවේ, කෙන්යාවේ ආර්ථිකය වසාගෙන පැතිරෙන යෝධ මකර සෙවනැල්ල මා හොඳින් අධ්‍යනය කර ඇත. නමුත් මකරාගේ බඩ යටටම මා පියනැගි පළමු අවස්ථාව මෙයයි. මට මෙය ජිවිතයේ විශේෂ අවස්ථාවකි. ප්‍රථම වරට මා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සමුළුවකට සහභාගී වේ. ඒ උපන් රටෙන් බොහෝ ඈත දකුණු අප්‍රිකාව නියෝජනය කරමිනි.
චීනය අති විශාල මුදලක් වැය කරමින් අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයේ ලොව විශාලතම ජල විදුලි බලාගාරය ගොඩනැගීම සඳහා සියළු සැලසුම් සාදා අවසන්ය. එය දැනට ලොව ඇති විශාලම ජල විදුලි බලාගාරය මෙන් අට ගුණයක් විශාලය. මීට අමතරව තව ඊට වඩා කුඩා බලාගාර කිහිපයක් කොංගෝ නදියේ ඉහල කළාපයේ සෑදීමට නියමිතය. ඉන්පසු මුළු අප්‍රිකාවම එක් විදුලි සම්ප්‍රේෂණ පද්ධතියකින් යා කිරීම චීනයේ අරමුණයි. මෙය චීන-අප්‍රිකානු බලශක්ති කොරිඩෝව යනුවෙන් හැඳින්වේ
මෙම සමුළුව සඳහා ඔවුන් අප්‍රිකානු නියෝජිතයන් 250 ක් පමණ ඔවුන්ගේ වියදමින් සහභාගී කර ගනී. අපව නගර තුනකට ගෙන යාම සඳහා වෙනමම ගුවන් යානයක් යොදවා තිබුණි. සියළු සත්කාර සඳහා ඔවුන්ට ඩොලර් මිලියන කිහිපයක් වැය වන්න ඇත. මේ සියළු සැලකීම් සිදුකරන්නේ ඔවුන්ට අපහසුවකින් තොරව චීන-අප්‍රිකානු සහයෝගිතාවය දියත්කිරීම සඳහා බව සමුළුව අවසන් වන විට අපට පැහැදිලි විය. 
ඔවුන් බොහෝ දේ සාකච්චා කළහ. චීනය  විසින් කරනු ලබන පරිත්‍යාග, ව්‍යාපෘතියේ කාර්යක්ෂමතාව සහ කාලීන බව, අප්‍රිකාවේ ගම් නියම් ගම් දක්වා දිව යන සංවර්ධනය සුලබ මාතෘකා විය. එහෙත් මට ඇතිවූ විශාලම ගැටළුව සඳහා කිසිවෙකුගෙන් හෝ පැහැදිලි පිළිතුරක් නොවීය. ඒ මේ ව්‍යාපෘතියේ ආර්ථික මොඩලය කුමක්ද යන බවයි. 
අද ලෝකයේ නොමිලේ ආහාර වේල් කියා දෙයක් නැත. සමහර විට ඔබට නොමිලේ ලැබෙන දෙයට ඔබ විසින්ම මතු කාලයකදී හෝ ඔබේම කෙනෙකු විසින් මේ අවස්ථාවේදීම අනිවාර්යයෙන් මිල ගෙවනු ඇත. චීනය මේ කරන පරිත්‍යාගය සඳහා අප්‍රිකාව විසින් ගෙවිය යුතු මිල කුමක්ද? මෙය ඉතා සරලව මගේ පැනය විය. 
වාසනාවකට මෙම සමුළුවේ එක් උප-මණ්ඩපයක (sub-forum) සභාපති ලෙස මාව පත් කර තිබුණි. මෙම සාකච්චාවේදී (panel discussion) මම මෙම කාරණය මතු කලෙමි. එවිට ක්‍රමයෙන් කරුණු මතුවන්න විය.
අප්‍රිකාව යනු ලොව දැනට අත තබා නැති විශාලතම ස්වභාවික සම්පත් නිධියයි. එය සියළුම ලෝහ වර්ග, ඛනිජ සම්පත්, දියමන්ති ආදියෙන් අනූනය. මෙම සම්පත් සෑහෙන ප්‍රමාණයක් මේ වන විටත් කළමනාකරණය කරන්නේ චීනයයි. එහෙත් තව අත නොගැසූ සම්පත් විශාල ප්‍රමාණයක් ඇත. මෙම සම්පත් ගොඩ ගැනීමට ඇති ප්‍රධානම බාධකය බලශක්ති හීනතාවයයි. යන්ත්‍ර සුත්‍ර ක්‍රියාකරවීම, පිරිපහදුව, ප්‍රවාහනය ආදී හැම දෙයකටම බලශක්තිය අත්‍යවශ්‍ය වේ. චීනය මේ කරන්නේ ඉතා ලාබදායි ආයෝජනයකි. අප්‍රිකානු රටවල් ගණනාවක් මත තම බලශක්ති ආධිපත්‍ය පැතිරවූ විට සියල්ල ඔවුන් අතේය. 
මෙතැනදී අප්‍රිකානු රටවල් කල යුත්තේ කුමක්ද? අප කිහිප දෙනෙකු අතර ඉතා උණුසුම් සංවාදයක් ඇතිවිය. ඇතිවී ඇති තත්වය ඉතා සංකීර්ණය. එමෙන්ම තීරණාත්මකය. මේ සමුළුව සඳහා සහභාගී වන අප්‍රිකානු රටවල් අතරින් වැඩි හරියක් මේ ව්‍යාපෘතියට සම්පුර්ණ කැමැත්ත ප්‍රකාශ කරයි. දකුණු අප්‍රිකාව මෙතෙක් කල් සිටියේ මේ සඳහා යම් මැලි කමකිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන්ගේ ඇති හිස උදුම්මවා ගත් ගතිය නිසාය. මෙතෙක් කල් අප්‍රිකාවේ බලවන්තයෝ ඔවුන්ය. ඔවුහු සියල්ල දත් වෙති. මෙය ඉන්දියාව අසල්වාසී රටවල් කෙරේ දක්වන ආකල්පයට තරමක් සමානය. එහෙත් දැන් තීරණයක් ගත යුතුව ඇත. මේවන විට ඉතියෝපියාව, රුවන්ඩාව වැනි රටවල් වේගයෙන් ඉදිරියට යති. ටික කලකින් ඉතියෝපියාව අප්‍රිකාවේ රජවනු ඇති බව මගේ හැඟීමයි. මේ සියලුම රටවල් සිය ගමන මකරා සමග අත්වැල් බැඳගෙන යයි. 


වර්තමාන තත්වය ඉතා හොඳින් අපිට පහදා දුන්නේ ඉතියෝපියානු ජාතික ආචාර්ය ඉමැනුවෙල්ය. ඔහුගේ කතාවේ සාරාංශය මෙසේය.
“චීනය සමග ගනුදෙනුව මට Crouching Tiger, Hidden Dragon චිත්‍රපටය මතකයට නංවයි. සමහරුන්ට චීනය ගොදුරකට කඩා පනින්න ඉව අල්ලන කොටියෙකු වැනිය. කොටියා කඩා පැන්න විට සිදුවන්නේ අසරණ සතෙකුගේ අවසානයි. මෙය සත්‍යයකි. චීනය හැමවිටම ඉව අල්ලන්නේ ආර්ථික වශයෙන් දුර්වල රටවල් පහසුවෙන් ගොදුරු කරගන්නයි. අවාසනාවකට සමහර සතුන් ස්ව-කැමැත්තෙන්ම ගොදුරු බවට පත්වේ”. 
“සමහරුන්ට චීනය සැඟවුන මකරෙකි. චීන ප්‍රබන්ධ වලට අනුව මකරා යනු මරණයේ සහ අමරණීයත්වයේ සංකලනයයි. ඔබ මකරා ඉදිරියට ගොස් අභියෝග කළහොත් (ගේම ඉල්ලුවොත්) ඌ කටින් ගිනි පිඹ ඔබව අළු බවට පත් කරනු ඇත. ඔබ බියෙන් බියෙන් මකරාගේ පිටුපසින් ඌට ලංවන්න සැදුවොත් ඌ තම තියුණු බාවෙන් ගසා ඔබගේ හිස දෙපළු කරනු ඇත. මකරා වෙතට කිට්ටුවිය යුතු එකම ක්‍රමය උගේ පැත්තෙන් යාමයි. ඉන්පසු කෙසේ හෝ ඔබ මකරාගේ පිට උඩට නැග ගතහොත් ඌ ඔබව පාරාදීසයට රැගෙන යනු ඇත”.
මේ කතාවේ තේරුම ඉතා සරලය. අද ලෝකයේ දිළිඳු රටවල් බොහොමයක් නය බරින් මිරිකෙමින් පවතියි. ආර්ථිකය ඉතා අයහපත් වුනත් මේ බොහොමයක් රටවල් ස්වභාවික සම්පත් හා/හෝ භූගෝලීය පිහිටීම අනුව සුපිරි රටවලට ඉතා වැදගත් වෙයි. මේ රටවලට පැවැත්මක් ඇත්තේ සුපිරි රටක අතේ එල්ලී ඉහලට එසවීම තුල පමණකි. අප මොන තරම් දේවල් කියා තර්ක විතර්ක කලත් යථාර්තය මෙයයි. හෙට සිට කුමන මට්ටමකින් දේශීය ආර්ථිකයක් ගොඩනගනවා කීවත් නය ගෙවීමට නය ගැනීම හැර අපට කළහැකි වෙන දෙයක් නැත. 
යුරෝපය මේ වන විට යම් කිසි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඒ ඔවුන්ද ක්‍රමයෙන් ආර්ථික වශයෙන් බෙලහීන වන නිසාදැයි නොදනිමි. මේ අනුව අපට එල්ලෙන්න ඇත්තේ ඇමරිකාව හෝ චීනය යන වැල් දෙකෙන් එකකයි.
වර්තමාන ඇමරිකාව යනු වියරු ව්‍යග්‍රයෙකි.  එහි සැඟවුන ගුප්ත ස්වභාවයක් නැත. පසුගිය දශක දෙක තුනේදී ඇමරිකාව ලං කරගත් සියලුම රටවල් අද වනවිට ඉතා අවාසනාවන්ත තත්වයක පසුවෙයි. ඇමරිකන් කොරිඩෝවට ආවඩන හැමටම මෙය හොඳ පෙර දැක්මකි. එහෙත් අවාසනාවකට මෙන් ලංකාවේ බලයට පැමිණෙතැයි බලාපොරොත්තු විය හැකි එකම දේශපාලකයෙකුවත් මෙම ඇමරිකානු ආර්ථික කොරිඩෝව ප්‍රතික්ෂේප කරන්න තරම් අභීත පසුබිමක් ඇති අයෙකු යයි මම කිසිසේත් නොසිතමි. 
චීනයේ ආර්ථික ආක්‍රමණ ස්වභාවය පිළිබඳව මම මීට වසර 6 කට පමණ පෙර බ්ලොග් සටහනක් තැබුවෙමි. ඒ උගන්ඩාවේදී මා ලද අත්දැකීම් ආශ්‍රයෙනි. එබැවින් ඒ පිළිබඳව මම වැඩි දුර නොලියමි. 
මකරාගේ පැත්තෙන් ගොස් පිට උඩට නැගීමට ඇති එකම ක්‍රමය දුෂණයෙන් තොර ශක්තිමත් රාජ්‍ය නායකත්වයක් බිහිවීම බව මා කලින් සිටම දැනගෙන සිටිය අතර මෙම සමුළුවේදී එය සාක්ෂාත් විය. චීන නය අත්වැල කණවැලක් නොවීමට නම් අනිවාර්යයෙන්ම මේ ශක්තිමත් රාජ්‍ය පාලනය රටක් තුල ස්ථාපිත විය යුතුය. එය ඉතියෝපියාව සහ රුවන්ඩාව ප්‍රයෝගිකව පෙන්වා ඇත. පකිස්ථානය ඒ සඳහා දරුණු උත්සාහයක යෙදෙමින් සිටියි. 
දැන් අපි ලංකාව දෙසට  හැරෙමු. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිදුවූ ඉතා සුවිශේෂ වෙනස්කමක් 19 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග කරලියට පැමිණියේය. එනම් ජනාධිපතිවරයාගේ බලතල ඉතා තියුණු ලෙස කප්පාදු කිරීමයි. බැලූ බැල්මට මෙය ප්‍රගතිශීලි ක්‍රියාවක් ලෙස පෙනුනත් මගේ මතය අනුව නම් මෙය ඉතා අනුවණ පියවරකි. ඕනෑම දෙයක් බාගෙට කිරීමේ භයානක කම පෙන්වන්න මීට වඩා හොඳ උදාහරණයක් නැත. කල යුතුව තිබුණේ මුළු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවම සංශෝධනය කර නාමික ජනාධිපතිධුරයක් ස්ථාපිත කරමින්, ශක්තිමත් රජයක් බිහිකළ හැකි වනසේ මැතිවරණ ක්‍රමයත් වෙනස් කිරීමයි. නමුත් සිදුවුයේ අනෙකකි.
ඉදිරි ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයගත්තත් දිවුරුම් දෙන්නේ තටු කැපූ කොකටුවෙකුවන් ජනාධිපතිවරයෙකි. ඉන්පසු මෙම මැතිවරණ ක්‍රමය තුල බිහිවෙන රජය ඉතා දුර්වල පාලන තන්ත්‍රයකි. මෙය චීනයට, ඇමරිකාවට පමණක් නොව ඉන්දියාවටද ලංකාව හරහා යාමට තනන අධි වේගී මාර්ගයක් වනු ඇත. පවතින තත්වය අනුව මේ වාතාවරණය තුල ලංකාව බලවතුන්ගේ පාපන්දු පිටියක් වීම වැළකිය නොහැක.
සිදුවිය යුතුව තිබුණේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුල පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පුළුල් පරිවර්තනයක් සිදු කිරීමයි. එනම් ජනාධිපතිවරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පූර්ණ ප්‍රතිසංස්කරණයකට භාජනය කිරීම සඳහා මහජන වරම ඉල්ලන මැතිවරණයක් කරගැනීමයි. රටක් ලෙස අපගේ එකම ගැලවුම් මාර්ගය වුයේ එය යයි මම තරයේ විශ්වාස කරමි. නමුත් එය සිදු වුයේ නැත. 
අද සමස්ථ ලංකික සමාජයම සිහින ලොවකට අවතීර්ණව ඇත. 
සිදුවීමට නියමිත ඉච්ඡ භංගත්වය අවි රැගත් අරගලයකට හේතුපාදක නොවේවා යයි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.
   
%d bloggers like this: