Menu Close

117. ලෝකයේ සතුටින් ම වෙසෙන මිනිසුන් අතර සැරිසැරීමි….. (01කොටස )



පසු ගිය මාසයේ අවසාන භාගයේ භූතානය වෙත පුහුණුවක් සඳහා යන්නට මට අවස්ථාව ලැබුණා…
.
ජීවිතේ සමහරක් අවස්ථාවන් ලැබෙන්නෙ අහම්බයෙන්…මේකත් එහෙම දෙයක්…බෑ බෑ කියලා පසුගාමී වෙන හිත සහෝදර නිලධාරියෙක්ගේ බලකිරීම සහ උනන්දු කරවීම මත අයදුම්පතක් යැවීමෙන් මේ පුහුණුවට මාව ත් තෝරගන්නට හේතු වුණා….
.
ඒ ගමනෙදි ගත් සේයාරූ එක්ක කිහිප දෙනෙක් භූතානය ගැන ලියන්න කියලා මගෙන් ඉල්ලා සිටියා…..
.
වැඩ අතරේ ටික ටික ලියන්නේ මේ ඒ අත්දැකීම් ගොන්න…..කොටස් වශයෙන්….හරිම කිලෝමීටර් සහ පැය වලින් ගණනය කිරීම් නම් කරන්න බෑ ගමන් මග සහ අත්දැකීම්…මතකයේ රැඳුණ ඒවා ලියන්නම්…..
.
භූතානයට අපි ගියේ ඔක්තෝබර් 29….දීර්ඝ පියාසැරියක්….පැය තුනකින් බැංකොක් …ඉන් පසු එතැන පැය හත අටක්….ආයෙම පැය තුනක ගමනක්…..
.
භූතාන් ගුවන් යානා හඳුන් වන්නෙ druk air කියලා….ඒවා සාමාන්‍යයෙන් හුඟක් ලොකු ගුවන් යානා නොවෙයි….එහෙම නොවෙන්න හේතු කීපයක් තියනවා…
.
එකක් ….විශාල යානා ගොඩබස්වන්න තරම් ලොකු ගුවන් තොටුපලක් එහි නෑ….අනෙක කඳු යායකින් වටවුණ ලෝකයේ තියන එක් අසීරුම ගොඩ බස්වන ගුවන් තොටුපලක් ඒක…..අසා දැනගත් තොරතුරු අනුව නම් ඒ සඳහා පළපුරුදු ගුවන් නියමුවන් ඉන්නෙත් කීප දෙනෙක්ලු….


අනෙක භූතානය සංචාරක ව්‍යාපාරය සම්බන්ධව ඒ තරම් ලෝකයේ අවධානය නොගන්නා රටක්…ඔවුන් තමන්ගේ සරල සුන්දර ජීවන රටාව සංචාරක ව්‍යාපාරය නිසා බිඳගන්න මැලි බවක් තමයි කතාබහෙන් හැඟුණෙ….
.
යම් යම් සීමාකාරී සාධක නිසා සංචාරකයන් එම රටට එනවා බොහොම අඩුයි….එන තරමක් දුටුවේ ඉන්දියානු අය…ඔවුන් ට වීසා නොමැතිව එම දේශ සීමා හරහා භූතානයට පැමිණෙන්න පුලුවන් ….
.
ඉතින් පාරෝ ගුවන් තොටුපලට යානා එන්නෙ අන්න ඒ සීමාවන් යටතේ…
.
අපි ඇතුලු ගුවන් යානයේ ආ මගීන් පාරෝ ගුවන් තොටුපලෙන් එලියට ආවේ එදා දවසේ හවස පහමාරට පමණ….ඉතින් අපේ ආගමනයට පසු ගුවන් තොටුපලේ කවුන්ටර පවා එදා දවසේ රාජකාරි හමාර කලා…


.
පාරෝ ගුවන් තොටුපල සුන්දර තැනක්….ඈත කඳුවලලු දිහා නොනිමි ආසාවකින් ඇස් පිය නොහෙලා බලා ඉන්න හැකි තරම්…නමුත් ඉදිකටු තුඩෙන් අනින සීතල එක්ක එලිමහනේ ඉන්න නම් බොහොම අසිරුයි….
.
පාරෝ ගුවන් තොටුපල හරිම සුන්දරයි .. පසුව මා භූතානය පුරාම දුටු සමහරක් සුන්දර ගෘහ නිර්මාණ ශිල්පය එහි සිතුවම් වලත් තිබුණා….
.
මේ සමග එහි සේයා රූ ටිකක් ඇති…..




.
ඉතින් පාරෝ ගුවන් තොටුපලින් පිටතට ආ අපි පැය එකහමාරක ගමනක යෙදෙන්න සූදානම් තිම්පු බලා…..රෑ බෝ වෙලා…අඳුරුයි….කඳු මතින් දිවෙන පාරක….අපි රැගත් වෑන් රථය ගමන් කරනවා…..

පාරෝ ගුවන් තොටුපල ඉඳල තිම්පු අපේ නවාතැන් සහ පුහුණු මධ්‍යස්ථාන වෙත පැය එකහමාරක පමණ ගමනක් …..කිලෝ මීටර් වලින් කියන්න නම් තේරුමක් ආවෙම නෑ….
.
හවස හය විතර වෙද්දි පිටත් වූ ගමන….පාරෝ නිම්නය අසලින් වැටෙන මාවත දිගේ…..පාරෝ නිම්නය හරහා පාරෝ නදිය ගලා යනව….නොගැඹුරු එහෙත් දිය රැළිති නගන සුන්දර ම ගඟක්…..


.
මඳකට ඒ දිය දහර වෙත දුවන්නට ඇත්නම් …..හිතට ආ වචන මුවෙන් පැන්නේ මටම නොදැනුවත්ව….
.
ඕක අයිස් වගෙ ඇති….බැහැල ගල් උනාම අපිට සවලක් අරන් එන්න වෙයි….. ඔන්න ගමන් සගයො ඒ බලාපොරොත්තුව බිඳලම දැම්ම…..
.
ඇස් අයාගෙන අඳුර වැටෙනකල්ම ගඟ දිහා බලාගෙන ගමන ගියා අපි…අප රැගෙන යන්නට ආ වාහනය….භූතාන පැරා ඔලිම්පික් කමිටුවේ එකක්….ඇත්තෙන්ම අපේ රටේ වාහනයකට වඩා ඒක wheel chair accessible …..ප්‍රවේශ පහසුකම් අතින් එය නවීන එකක්……
.
මුලු ගමන් මගම අඳුරෙන් ගිලෙද්දි බොහෝ තැන් වල ඉදිරියට එන වාහනය පවා කඳුකර මාවත් වල නොපෙනෙන තරම්….මාවත දෙපසට විදුළි ආලෝකයත් සපයලා නෑ….
.
තැන් තැන් වල පොඩි පොඩි වෙලඳසල වල් පසු වෙනවා….රියදුරු මහතා රට ගැන, භූතාන් රජ පවුල, ඒ වගේම රටවැසියන් සහ පාලන තන්ත්‍රය ගැන, මිනිසුන් සහ අධ්‍යාපනය ගැන හුඟක් දේ කියමින් වාහනය පැදෙව්වා….
.
භූතානයේ අධ්‍යාපන රටාව ගැන විශේෂම කාරණා හොයාගන්න අපහසු වුණත්…කුඩා දරුවන්ගේ සිට අධ්‍යාපනය ට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය බව දැනගත්තා …..බහුතරයක් අය ඉංග්‍රිසි බසින් චතුරව කතා කරන අය….

පාරෝ නිම්නය කියන්නෙ භූතානයේ කෘෂිකර්මාන්තය සම්බන්ධ මිටියාවත. වී ගොවිතැන් කරන ඒ බිම් කඩවල් හෙල්මලු ක්‍රමයට සකස් කරල තියනව හරි අපූරු ආකාරයට …මේ අපි ගියෙ අස්වනු නෙලන සමයේ…..ලංකාවෙ වගේ යන්ත්‍ර වලින් ගොයම් කැපීමක් නම් දුටුවෙ නෑ…මුලු යායවල් ඔක්කොම මිනිස් ශ්‍රමයෙන් ක්‍රියා කරන්නෙ…..
.


රියැදුරු තුමා ප්‍රකාශ කල අන්දමට භූතාන් වැසියන් එලවලු පලතුරු වගා කරනව වී ගොවිතැනට අමතරව …ඒක අපි සියැසින් දුටුවෙ භූතාන මාකට් එකට ගිය වෙලාවෙ….අලුත්ම අලුත් බ්‍රොකොලි, තක්කාලි,කැරට් ආදී අලුත්ම එලවලු…..සහ පළතුරු ….
.
ඒ වගේම යැක් ගවයාගෙන් ලබා ගන්නා කිරි වලින් හදන චීස්….home made cheese…..ඔවුන් ට ආවේණික භූතාන් ආහාර බොහොමයක් හැදුණේ චීස් එක් කරලා….කඳුකර කලු හතු වර්ගයක්….මාලු මිරිස් වගේ දිග ඒත් බෙල්පෙපර් වගේ සැර අඩු මිරිස් වර්ගයක්…..සීමිත භූතාන් ආහාර වර්ග අතර තිබුණා…සලාද වර්ග අනිවාර්යයෙන් කෑමට තිබුනා…..
.
පාරෝ නිම්නය අසල ගමන් මාර්ගය සැතපුම් ගාණක් යනකල්ම එකම විදියට මහා කඳු අතරින්….ගලා යන්නෙ…..ඒ ගමන මගකදි අනෙක් පසින් එන තිම්පු නදියත් එයට එක් වෙනව…..ඒ හරිම සුන්දර දසුනක්….
.
භූතානය බෞද්ධ රටක්…කඳු යායවල් අතරේ ආශ්‍රමයන් බොහොමයක් තියනවා රියැදුරු මහතා අපිට පෙන්වූවා….


.

තිම්පු නගරයට ලඟා වෙද්දි රෑ බෝ වෙලා…එළියට බහින කොට ඇඟට දැනෙන්නෙ ඉදිකටු තුඩෙන් අනින සීතල….
.
අපි නවාතැන් ලැබුවෙ තිම්පු නගරයේ ඇති hotel druk හි…එය තරු හතරෙ හෝටලයක්….සත්කාරක සේවය අතින් ඉතාම ඉහළයි..ඒ වගේම රෝද පුටු ප්‍රවේශය ට පහසුයි….නේපාල කණ්ඩායමත් උන්නේ අපි සමග…ඔවුන් සියල්ලන්ම රෝද පුටු වල පැමිණි අය…..
.
ඉතින් රාත්‍රී ආහරයට පසු නින්දකට වැටුණේ පසු දා උදයෙම පුහුණුවට යායුතු හෙයින්…
.
මම මේ සටහනට මගේ පුහුණුව ගැන අවසාන කරන කොටසෙදි ලියන්න බලාපොරොත්තු වෙන්නෙ…ඒ නිසා මේ මුල් කොටස් වල භූතානය සහ එහි ජනකොටස්, ආශ්‍රම සහ දැකපු දේවල් ගැන ලියන්නම්….ඔබට අවශ්‍යත් ඒ දේ බව දන්නා නිසාම…
.
පසුදා උදේ පාතරාසය රැගෙන එළියට බැස්සාම මගෙ ඇස් ගැටුණෙ…..ලොකුම ලොකු රෝසමල් යායක්….සීතල අමතක කරල ඉක්මනින් සේයා රූ ටිකක් ගත්තා….තිම්පු නගරය වටා තියෙන්නෙත් මහා කඳු පන්තියක්….ඒ කඳු සිරස වල දකින්නට ලැබෙන්නෙ වලාකුල් සලු පෙරවුණ සුදෝසුදක්…..
.


තිම්පු ගෘහ නිර්මාණ ශිල්පය හරිම විචිත්‍රයි….ගොඩක් ම සිතු කැටයම් බහුල ගොඩනැගිලි…..හැකි හැම විටම සේයාරූ එකතු කරගත්තා ඒ දේවල් වල….


.
හෝටලය ඉදිරිපස ඇති අපූරු නිර්මාණයක් දුටුවා….එය කුඩා වහලකින් යුත් නිර්මාණයක් ….ඒ තුළ කැරකැවිය හැකි සිලින්ඩරාකාර ව්‍යුහයන් තියනව….හුඟක් දෙනා මුමුණමින් ඒ සිලින්ඩර කරකවමින් ඒ වටා යනවා…මම ඒ සිලින්ඩර නැවත ආශ්‍රමයකදීත් දුටුවා….අසා දැනගත් පරිදි එය ආගමික ආශීර්වාදයන් ලබන එක් ක්‍රමයක්….සමහර විට අපි උදේට තෙරුවන් නැමදල ගමනක් යනවා වගෙ වෙන්න පුලුවන් …..
.
තිම්පු නගරයේ බොහොමයක් ගොඩනැගිලි තවමත් පැරණි සම්ප්‍රදාය අනුවයි ගොඩ නැගෙන්නෙ….ඒ වගේම ඔවුන් විශාල දැව භාවිතයක් මේ සඳහා භාවිත කරනව….ඒක ගැටලුවක් වුණා හිතට…මේ තරම් දැව භාවිතයක්…පරිසර හිතකාමී කියන රටක…
.


නමුත් ඔවුන් ඒ භාවිතය , පරිභෝජනය අභිබවා යන වන වගාවක් කරනවා…..එයයි විසඳුම….ලෝකයේ ඔක්සිජන් භාවිතය ට ලොකුම දායකත්වයක් මෙම රටෙනුත් සැපයෙනවා…ඒ වගේම ඔවුන් කියන අන්දමට ඔවුන්ගේ කාබන් ඩයොක්සයිඩ් මුදාහැරීම සෘන මට්ටමකයි පවතින්නෙ……කොච්චර නම් වාසනාවන්ත රටක්ද…….
.
තිම්පු සහ බොහෝ නගර වල ප්‍රධාන වශයෙන්ම තියෙන්නෙ බෞද්ධ ආශ්‍රමයන්…එහි පරිසර තත්වය ගත්තාම කඳුකර නිසා ලඟා වීමේ ගැටලු බොහොමයක් තිබුණත් ….හැකි කීප ස්ථානයකට යන්නට හැකි උනා…ඒ චෛත්‍ය සහ පිළිම ආදිය අපේ රටට වඩා වෙනස් විචිත්‍ර බවක් ගත්තා…නමුත් ඇත්තෙන්ම බොහෝ ස්ථාන ඇස පිනවන පරිසරය සමග අලංකාරම දසුන්….
.


ඊලඟ කොටසින් හමුවෙමු


%d bloggers like this: