Menu Close

විකල්පය ජාජබයට බිලිවූයේද?

ජනතා විමුක්ති පෙරමුණ විසින් විකල්පයේ අපේක්ෂාව වසර ගණනකට නැවත පැළ නොවෙන ලෙසට කාබාසිනියා කර දමා අවසන්ය. දැන් මේ පොළොවේ විකල්ප දේශපාලන ව්‍යාපාරයක් පැළවීමට තරම් තෙතමනයක් නැත. තිබූ තෙතමනය අනුර කුමාර දිසානායක උරා බීවේය.


විකල්පය කාබාසිනියා කර දැමීමේ වගකීම ජාතික ජන බලවේගය පිට පටවනවාට වඩා ජවිපෙට පැටවීම වඩා සාධාරණ වන්නේ අනුර කුමාර ප්‍රමුඛ එම වසඟකාරී ව්‍යාජය විසින් සාපේක්ෂව අඩු වුවත් විනාශකාරී සහ ප්‍රෝඩාකාරී මඟකට ජන බලවේගය රැගෙන යාමට පෙරමුණ ගත් නිසාය. ජාජබ බිහිවන්නේ ජවිපේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් ලෙස වුවත් ජාජබ ජවිපේ ව්‍යාජ මායාකාරී සමාජවාදී රෙද්ද පොරවාගෙන සිටියේ නැත. ඔවුන් ඒ වෙනුවට ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළක අවශ්‍යතාවට වඩා ප්‍රබල ලෙස මතුකරමින් සිටියේය. කිසියම් හෙයකින් අනුර කුමාර ජාජබයේ අපේක්ෂකයා නොවන්නට ජාජබ එයටම අනන්‍ය වූ බලපෑම් සහගත මඟකට පිවිසීමට හැකියාවක් තිබුණි.

ජවිපෙ ගොඩවූයේ විකල්පයේ වේදිකාවටය, ඔවුන් තමන්ව හඳුන්වාගනු ලැබුවේ විකල්පය ලෙසය. එහෙත් ජවිපෙ විකල්පය ලෙස හඳුනා ගන්නවාට වඩා, වඩා සාධාරණ හඳුනා ගැනීමක් වන්නේ විකල්ප ලේබලය ඇලවූ ප්‍රධාන ධාරාවේ දේශපාලනයක් ලෙස හැඳින්වීමය. ජවිපය අනෙක් ප්‍රධාන දේශපාලන ධාර දෙකෙන් වෙනස් වන්නේ පිටකවරයෙන් පමණි. ජවිපෙය නියෝජනය කරන්නේ සමාජවාදී මඟක් යැයි පැවසුවද ඔවුන් යන්නේ ලිබරල් මඟක බව මේ නිමාවූ ජනාධිපතිවරණය දෙස බැලීමෙන් තහවුරු වේ. ඔවුන් 2005 දී මහින්ද රාජපක්ෂ සමඟ එකතු වී ඔහුව යුද්ධයකට උනන්දු කරවූවේය. ඉන්පසු 2010 දී ෆොන්සේකාට සහ එජාපයට සහය විය, නැවත 2015 දී මෛත්‍රී ප්‍රමුඛ එජාපයට සහය විය. එසේ හෙයින් 2019 දී ඔවුන්ගේ ඉදිරිපත් වීම පෙනෙන්නේ වැස්සට එළියට දැමූ යකඩයක ගාණටය.

ජවිපය විසින් සිදු කළේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විසින් ගිලිහී යමින් විකල්පයක් සොයමින් සිටි ජනතා බලවේගයක් රවටා ඔවුන් වෙත ගෙන්වා ගැනීමය. ඊට ජවිපෙ තමන්ගේ මූලික ප්‍රතිපත්තීන් පවා බිමින් තබන්නට කටයුතු කළේය.

එසේම ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහිද විකල්ප දේශපාලන බලවේගයක් හරහා ජනතාව ඉල්ලූ රැඩිකල් දේශපාලන ඉදිරි දැක්මක් නොවීය. (පොදුවේ මෙය විකල්ප මුහුණුවරින් ඉදිරිපත් වූ බොහෝ පිරිසකට පොදුය.) ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනද අනෙකුත් පක්ෂ දෙකේම ප්‍රතිපත්ති ප්‍රකාශන බඳු විය. එහෙත් එය අනෙක් දෙකට සාපේක්ෂව ප්‍රායෝගික වුවද, ඊට ජනතාව පිනවනවාට වඩා ඵලදායී දර්ශනයක් කෙරෙහි අවධානය යොමුකළ නොහැකි වී ඇත. කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී සෑම ක්ෂේත්‍රයකටම මෙය පොදුය. ඒවා විසින් මූලික වශයෙන් මතුපිට කවරය වෙනස් කිරීම් පමණක් යෝජනා වී තිබුණි. එය පුස් කෑ පාන් පෙත්තක් පුස් ගසා දමා කෑමට සූදානම් කර ගැනීමක් බඳුය.

උදාහරණයක් ලෙස ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, කෘෂිකර්මාන්තය යටතේ කෘෂි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහ ස්ථාවර වෙළෙඳපොළක් මඟින් ගොවි ජනතාවට උසස් ජීවන තත්ත්වයක්” අරමුණු ලෙස සඳහන් කර සිටී. එහෙත්, ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික දත්ත පිළිබඳව සැලකීමේදී පෙනී යන්නේ මෙරට කෘෂි නිෂ්පාදනයන් හරහා ගොවි ජනතාව නගා සිටුවිය නොහැකි බවයි.

එසේම ජල කළමනාකරණය යටතේ “කන්න දෙකකට අවශ්‍ය ජලය ප්‍රමාණවත් ලෙස සැපයීම සඳහා මෙතෙක් ප්‍රතිසංස්කරණය නොවූ මහා වාරිමාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම” දක්වන අතර “වසර 03 තුළ එල්ලංගා පද්ධතීන් හා කුඩා වැව් දහසක් ප්‍රතිසංස්කරණයට” ලක් කිරීමද සඳහන් කරයි. මහා පරිමාණ ලෙස ජලය භාවිත කර ගොවිතැන් කිරීම ඛේදවාචකයක් වන විට ජවිපෙ සිදු කරන්නේ එය තවත් ප්‍රවර්ධනය කිරීමකි.

ජාජබ මෙය නොදන්නවා යැයි සිතිය නොහැකිය. ඔවුන්ට විකල්පය ස්ථිර සාර ලෙස පැළ කිරීම පිළිබඳව සැබෑ උවමනාවක් පැවතියාට වඩා බලය පිළිබඳව පොලා පනින උවමනාව ඉදිරි මැතිවරණයකදී ස්වකීය ඡන්ද පදනම ඉහළ දාගැනීම උදෙසා විකල්පය බිල්ලට ගත්තේය.

එසේම විකල්පය ඛේදවාචකයක් වීමට ජවිපෙ ලොකු කෑල්ල ගත යුතු වුවත් ඔවුන් ඊට තනිව වගකිව යුතු නොවේ. රට පුරා ස්වයංජාත ව්‍යවස්ථාවක් රැගෙන ගොස් අවසාන මොහොතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී පැනගිය නාගානන්දද, අජිත් කොලොන්නේ සහ ගාමිණී විජේසිංහ පෙන්වා අවසාන මොහොතේ විදේශ තානාපති සාකච්ඡාවකින් පසු මහේෂ් සේනානායක ජනාධිපති පොර පිටියට යොමු කළ සර්වෝදය හෙවත් දේශෝදයේ වින්‍යා ආරියරත්නද, එක්සත් වෘත්තීය වේදීන්ගේ ව්‍යාපාරයේ ගාමිණී ගුණවර්ධනද වගකිව යුතුය.

එසේම බලාපොරොත්තු අතහැරගත යුතු නැත, වියළි පොළොවට විකල්පයේ වර්ෂාව ඇද වැටිය හැකිය. එවිට වල් පැළ ගලවා අලුතින් භූමිය අස්වැද්දවීමට ජාජබයට හැකිවනු ඇත.
(2019.11.24 රාවය)
%d bloggers like this: