Menu Close

හරෝහරා! – දාහත්වෙනි කොටස

දෙවියන්ගෙන් පිහිට පතා යා යුතුය! (foto- ශෂී ගයාශාන් වෙලගෙදර)

හරෝහරා- මෙච්චර දිගට ලියැවෙතියි මගේ තුන්හිතකවත් තිබුණේ නැතිය.


(අනෙක් පෝස්ටු ගැන වුණත් එහෙමය. ලියන්නටම වටිනා ප්‍රස්තුත ඕනෑ තරම්ය. ඒත් මේ ලියන්නේ මගේ ජීවිත කතාවයි. ඒවා ලියද්දී මගේ අනෙක් අත්දැකීම්, වටපිටාව, තොරතුරු හා ඉතිහාසය යොදාගන්නේ අනුපාන හැටියටය. 

දැන-දැනම විතරක් නොවේ, නොදැනත් මේ කතන්දරය කීමට උදව් වෙන හිතවතුන් බොහෝය.

-ඉහතින් ඇති foto එකත් මා නොදුටු; නොදන්නා කෙනෙකුගේය!

-හිතවත් චින්තක පිටිගලආරච්චිගේ fb එකෙනි, මා ‘ශෂි ගයාශාන් වෙලගෙදර’ හමුවුණේ. fb එකේ තියෙන හැබෑම ලස්සන fotoවලින් පෙනෙන විදිහට නං එයාලා පාද යාත්‍රාවේ ගිහින් තියෙන්නේ හොඳටම නිස්කාංසුවෙන් වගෙය! මගේ පෝස්ටු හැඩ කරන්නට එයාගෙනුත් foto එකක්- දෙකක් ගන්නටය, මේ ලැහැස්තිය.)

මං ඉල්ලා හිටියේ නැතත්, මගේ පෝස්ටු හැඩ කරන්නට මෙහෙම උදවිය එවන්නේ කතරගම දෙවි හාමුදුරුවන්ය කියලාත් මට විටෙක හිතෙයි!
දෙවියන් සාමාන්‍යයෙන් උදව් කරන්නේ ඉල්ලුවාමය; සමහරුන් නම් පඬුරු-පාක්කුඩම් පුදන තරමටය. එතැනදී හින්දු අය විශේෂය!

දූරාතීතයේ පටන්ම නොයෙක් දෙවිවරුන්ගේ ලිංගික ඉරියව් පෙන්වන නිරුවත් පිළිම………
හින්දු ආගමේ දෙවියන් අතර ඉන්නා කොයි කවුරුනුත් පාහේ පුදුමාකාර අයවලුන්ය. එයාලා උග්‍ර තපස් රකිති; දයාර්ද්‍ර වෙනවා වගේම රෞද්‍ර වෙන්නට වුණත් නොපැකිළෙති. කාම සම්භෝගයට, හිත ගිය කෙනෙකු සමඟ- ඕනෑම තැනකදී රමණය කරන්නටත් eveready පූසෝය. 

වැඩිදුර සාක්කි ඕනෙනම් ගිය වතාවේ පෝස්ටුවට රසිකයන් එවා තියෙන කමෙන්ටු බලන්න!

ග්‍රීක; ඊජිප්තු දෙවි-දේවතාවනුත් එහෙමය. 
දූරාතීතයේ පටන්ම දෙවිවරු එහෙමය.
ඓතිහාසික යුගවල සිටම, විවිධ අවස්ථාවන්වලදී මේ දෙවියන් පෙන්වා තියෙන්නේ නිරුවතින්ම- නොයෙකුත් ලිංගික ඉරියව් පවා නිරූපණය කරවමිනි. එයින් සංකේතවත් කරන්නේ දෙවියන් හෙළුවෙන් ඉන්නට රිසි බවද?

දෙවියන් ‘හොරු සමඟ හෙළුවෙන්’ ඉන්නා එක වෙනම දෙයකි. ඒත් මිනිසුන් එක්ක? මුහුණටම ‘හොරා’ කියන්නවුන් එක්ක?

එතකොට අප හිටියේ කටගමුවෙන් පිටත්වී කතරගමට එමින්ය. 
(මේ 2013 පළමුවර පාද යාත්‍රාවේදීය.) කොච්චිපතාන ශ්‍රී ගණේෂ දේවාලයට එනවිට නෙවිල්ගේ ‘දෙකම කකුල්’ තදින් වෙළලා හමාරය. ඒ ඇයිද කියලා මතක නැතත් එහෙම එතුවේ නං කවුද කියා හොඳට මතකය. 

සුනිලුත්, දොස්තර මහත්තයාත් එකතු වෙලාය; පාර අද්දර බෝක්කු ගැට්ටක් මත ලෙඩා වාඩි කරවලාය.

ජූතක බමුණා හා සගයා….. කොච්චිපතානේ මේ තාවකාලික ගොඩනැඟිල්ල වෙනුවට දැන් ඇත්තේ ස්ථිර දේවාලයකි!
අපේ  සුනිල්ට නං කට පුරා ‘සුනිල් අයියා’ කියන නෙවිල් සේරම ඤං-පචං ගෑවේ අයස්මන්ත මහත්තයාටය. ගරු නම්බුත් දීලය!

“අඩෝ හුයන්නෝ, ඔච්චර තදට ඔතපුවම ලේ ගමනට බාධා වෙන්නේ නැද්ද? මගේ කකුල් දෙක කපන්න වෙයි.”

“අනේ පයන්නෝ, බුරුලට එතුවට පස්සේ වැඩි දුරක් යන්න කලින්ම ආයේ ඔතන්නයි වෙන්නේ. තෝද දොස්තර, මංද දොස්තර? එනව මෙතැන ඔතන හැටි මට උගන්නන්න!”

ඊට පස්සේ නෙවිල් කට පියාගත්තත්, මට මනුස්සයාව පෙනුණේම ජූතක බමුණා වගෙය. ඒ විත්තියට සාක්කියක් අරගත්තේ කොච්චිපතාන දේවාලයේදීය. 

ඉතින් ඒ වෙළුම් පටි පිටින්ම කොර අනිමින් ‘සරා ගොයියාගේ පස්සෙන් එළවූ පොලිස් රාලහාමි’ වගේ යද්දී හරි වැඩක් වුණේය.

ඒ හරියෙන් පස්සේ පාර දෙපැත්තේ ගෙවල්-දොරවල් වැඩිවෙන්නට පටන් ගනියි; අතරමඟදී වැඩියෙන් මිනිසුන් හමුවෙන්නට පටන් ගනියි. 
පාරේ foot බයිසිකලයකින් අප පසුකර යමින් හිටි වැඩිහිටියෙක් අපේ නඩේ දැකලා ‘හරෝහරා’ යයි කිව්වේය. අපිත් හරෝහරා කිව්වෙමු.

“අඩෝ හොරා!” ඒ එක්කම වාගේ කොලු කටහඬකින් ඇසිණි. 

ඒ ගෙයක මිදුලක් දිහාවෙනි. අප ඒ පැත්තට හැරෙන විටත් දඟකාර කොලු පැංචන් දෙතුන්-දෙනෙකු වහං වෙමින්ය.

“මූ මගේ කකුල් ඔතල නැත්තං දනියි මම….” නෙවිල් දත් මිටි කෑවේ තරහටම නොවේ; බැරි-බැරි ගාතේ යමින් හිටි අප හිනස්සන්නටය.

මාලෝ, මාළු මාලෝ…. ඉස්සො කකුළුවො මාලෝ!
ඒ කරලා වැඩි වෙලාවක් ගියේ නැත. ඇත්තටම නෙවිල්ට තරහ ගියේය. ඒ පාරේ ගිය බයිසිකල්කාරයෙකු එක්කය. 
හොඳ වෙලාවට ඒ මනුස්සයා ගියෙත් අප පහු කරගෙනය; එයා පහුවෙද්දීම වස පිලී ගඳකුත් එකකම හුළඟකුත් එයාගේ පස්සෙන් යමින් තිබිණි. 

“මාලෝ…. මාළු මාලෝ….. ඉස්සො කකුළුවො මාලෝ!”
මිනිහා ඒ ටික කිව්වේ ජූතක බමුණා වගේ හිටි නෙවිල් දිහාවට, යන්තමින් හැරී බලමිනි.

“උගේ @#$#@….. මේ රෙද්දේ ගමනක් හින්දා සුමානයක්ම එළවලුයි බතුයි කකා ඉන්න අපිට මාලො…..”

“යකෝ, හෙමින්…… ඌට ඇහුණොත් ආයෙම හරෝගෙන ඇවිත් මාළු පිහියෙන්ම උඹට කොටයි…..” පීරිස් නෙවිල්ව අස්වැසුවෙත් හයියෙන් කියමින් නොවේ!
“තෝ දන්නවද හරකෝ ඔහොම මිනිස්සුන්ට අණක්-ගුණක් නැති බව?”

බොදු දෙවිවරුන් සමහරෙකුගේ වැඩත් කිසිම අණක්-ගුණක් නැති එව්වාය!

තව්තිසාවේ ඉන්නා සක්කරයා; දෙවිදේවතාවන්ගේ ලොක්කා; දෙදෙව් ලොවට අධිපතියාගෙ වැඩ සේරටම හපන්ය. 
මනුස්සයා ගෞතම මුනිවරයාගේ රූබර බිරින්දෑ අහල්‍යා එක්ක පැටලෙන්නට ගිහින්, සරුවාංගය පුරා ස්ත්‍රී යෝනි දාහක් ලබාගත් හැටි ගැන මා කලින් කියා ඇත.

සම්‍යක්දෘෂ්ටික දේව ප්‍රධානියෙකු වුණත් එයාත් අතීතය අමතක කරන කෙනෙකි. 
සිරි ලංකාවේ අප වාගේම ඉක්මනින්ම අතීතය අමතක කරන ජාතියේ කෙනෙකි. ශක්‍රයා විදිහට උත්පත්තිය ලබන්නට කලින් එයා ලංකාවේ පුරවැසියෙකු වෙලා හිටියාවත්ද? 

රෝහිණී නම් දිව්‍ය කන්‍යාවිය දෙවිවරුන් හතර දෙනෙකුගේ සීමාවේ…………
දිවිය ලෝකයේ උපදින අනෙක් දෙවිවරුනුත් එහෙම උදවිය වගේය!
“අප බුදුන් සමයෙහි කිඹුල්වත රොහිණී නම් රාජකන්‍යාවක් ඝනරන් දහසක් අගනා භොජන ශාලාවක් කරවා, 
බුදුන් ආදි වූ මහ සඟනට දන් දී, 
එ තැන් පටන් රජදූමි යි නොසිතා තමා ස්වහස්තයෙන් ඒ ශාලාව පිරිබඩ ගනිති. 
ස්ව හස්තයෙන් පැන් පෙරා හිඳිනා අසුන් පනවා තමා සියඅතින් භික්ෂූන් වළඳවා පින් කොට තමාගේ ආයු කෙළවර මිය ශක්‍රපුරයෙහි දෙවියන් සතර දෙනෙකුගේ සීමාන්තරයෙහි දෙවුලොව බබුළුවා 
තුන්ගවු පමණ දිව්‍ය ශරීරයෙකින් දොළොස් යොදුන් දිවසළුවක් එකාංශකොට ලා සියලඟින් නිකුත් රසින් දෙවුපුර ය බබුළුවා පෙනී ගියාය.”

ඔන්න ඔහොමයි ‘රෝහිණී දිව්‍යාංගනාවන්ගෙ’ හුටපටය ‘පූජාවලිය’ බණපොතේ කියන්න පටන් ගන්නේ. 
22 පරිච්ඡේදයේ – දිව්‍යරාජ පූජා කථාවල. 

පිටු අංක කියන්නෙ නැත්තෙ මුද්‍රණ ගණනාවක් තියෙන නිසයි, ඒවායේ පිටු යෙදිලා තියෙන විදිහ වෙනස් හින්දයි. 
අන්තර්ගතයේ වෙනසක් නොවුණත් පොතට යොදාගන්න font size; අකුරු ප්‍රමාණත් එක්ක එහෙම වෙනවනේ.

ඉතින් දිවියාංගනාව පහළ වෙන්නේ දෙවිවරුන් හතර දෙනෙකුගේ සීමාවේ. 

එහෙ තියෙන සම්මතය තමයි තමන්ගේ සීමාවේ පහළ වෙන දේවල් තමන්ට අයිතියි කියන එක. රෝහිණීව දැකපු ගමන්, මෝහනේ වෙලා අර හතර දෙනාම දෙවියෝ ‘දිවිය ලෝක යුද්ධයක්’ පටන් ගත්තා.

ප්‍රතිපත්ති වෙනස් කරන යුද්ධයක් නෙවෙයි, දිවිය සැප අයිති කරගන්නයි ඒ යුද්දෙ…..
ඔන්න දැන් හැම දෙයියම පළි ගගහ දිවුරනවා ‘එයා මටයි- එයා මටයි’ කියලා. 

“උඹේ වෙන්නේ කොහොමද, එයා ඉපදුනේ මගේ සීමාවේ.” 
හතර දෙනාගේම තර්කය ඒකයි.

අන්තිමට නඩුවයි, නඩු භාණ්ඩයි අරන් ගියා ලොක්කා ළඟට. කතන්දරේ කිව්වා. ඔන්න ලොක්කා කතන්දරේට කන් දෙන අතරේ නඩු භාණ්ඩේට ඇහැ යවනවා. 

දැන් උන්නාන්සේට නඩුව විසඳන්න නෙවෙයි ඕනෑ; බලවන්න!

“තමුසෙලට මේ කෑල්ල දැක්කම මොකද හිතුණේ?”

ඒ විදිහට, එහෙම ලියන්නේ මේ නසරානි නිදි ගොබිලාය. ‘මයුරපාද පරිවෙණාපති බුද්ධපුත්‍ර ස්ථවිරයන් වහන්සේ’ එදා නං ලියලා තියෙන්නේ මෙහෙමයි.

“මෑ දුටු වේලෙහි පටන් තොප තොපට කුමක් සිතේ දැ”. 

පේනවා නේද ඒ කාලේ භාෂාවේ සරුකම. දැන් කාලේ ඉන්නා ‘මේ පුඟුලා වන් බාසා වෙල්ලන්’ කොහොමද එච්චර පෙළහර පාන්නේ. 
Sorry වෙන්න ඕනේ, මං මට පුරුදු බාසාවටම බහිනවට.

“අනේ දෙයියනේ, එයාව දැක්ක වෙලේ ඉඳන් මගේ ඇඟ ප්‍රේම ගඟේ නලියනවා.”
මගේ ඇඟ ප්‍රේම ගඟේ නලියනවා!
“ඒක මොකක්ද? මගේ පපුව ගැහෙන්නේ පට-පට ගාලා හටන් බෙරයක් ගහනව වගෙයි.” එහෙම කිව්වේ මුල් දෙන්නා.

“අනේ උතුමාණනි, එයාව දැක්ක වෙලේ ඉඳලා මගේ ඇහිපිය ගහන්නවත් බැහැ. මේ… මගේ ඇස්දෙක එයා දිහාවටම යන හින්දා දැන් කකුළුවෙකුගේ වගේ මගෙ ඇස්ගෙඩි දෙකත් ඉලිප්පිලා.” 

තුන්වෙනියගේ අඳෝනාවට දෙවෙනි නැහැ, හතරවෙනියාගේ කතාව.

“දාගැබක කොතක් මුඳුනේ ගැට ගහපු කොඩියක් පට-පට ගාලා හුළඟෙන් වැනෙනවා වගේ මගේ පපුව පුපුරන්නේ.”

“ඉක්බිත්තෙන් සක්දෙවුරජ ඔවුන් සතරදෙනා කී මේ උපමා කථා අසා කියනුයේ “පින්වත්නි, මෑ නො ලදුව නම් තෙපි සතර දෙන  මියා ද, නො මියා දැ” යි විචාළේය. 
ඔහු සතර දෙනාම නො මියම්හ යි කීහ.”

“ඒකනෙ කොල්ලනේ, එයාව නැති වුණත් උඹල එකෙක්වත් මැරෙන්නෙ නැහැ. ඒ වුණාට එයාව නැත්තං මගේ සක්කර දෙයි පදවියත් එපා. 
විජයන්ත මාලිගාවත් එපා. පාණ්ඩුකම්බල ශෛලාසනයත් එපා. 
දෙකෙළපනස් ලක්ෂයක් දිවියාංගනාවනුත් එපා. මගේ පණත් එපා, මාව මැරිච්චාවේ!” සක්කරයා කිව්වා.
ඇස් සීයක් තියෙන ජපන් Hyakume මෙච්චර අජූව නං ඇස් දාහක් තියෙන සක්කරයා කොහොමට ඇතිද?

“අපොයි දෙයි හාමුදුරුවනේ. 


-තමුන්නාන්සේ පහළ වෙලා ඉන්නේ අපේ පිනට. මේ ලෝකෙත් තමුන්නාන්සේගේ. ඒකෙ ඉන්න අපිත් තමුන්නාන්සේගේ. අපිව රැක බලාගෙන ආරස්සා කරගෙන තමුන්නාන්සේ චිරාත් කාලයක් වැඩ කරන්න ඕනේ. 

-අපිට දිගටම දිවිය සැප කාගෙන-කාගෙන යන්න නං ඔහේ ඉන්නම ඕනේ…… 

-නංගී, අපට පුළුවනි වෙන කෑල්ලක් හොයා ගන්න. ඔයාව අයිතිවෙන්න ඕනේ මේ උත්තමයාටම තමයි!” කියලා දිව්‍ය පුත්‍රයන් හතර දෙනාම ඒකච්ඡන්දයෙන් රෝහිණීව සක්කරයටම පාවලා දුන්නාලු.

දෙවියන් කියන්නෙත් මිනිසුන් විසින්ම නිර්මාණය කළ ජීවීන් කොට්ඨාශයක්ද? 
එහෙමත් නැතිනම් මිනිසුන් කියන්නේ දෙවියන් විසින් නිර්මිත පර්යේෂණාගාර මීයන් කොටසක්ද?

මට එහෙම හිතෙන්නේ, හැම දෙවි කෙනෙකුටම තියෙන්නේ මනුස්ස ගතිගුණ හින්දාය. 

කතරගමදීම ලොකු ව්‍යාපාරික කාන්තාවකගේ කටෙන් පැන්න දෙයක් ඔස්සේ මගේ හිත තවමත් දුවන්නේ මේ ‘ගුණයක්’ ගැන විපරමෙනි.
අපටත් මේ සැප සම්පත් සේරම දෙන්නේ උන්නාන්සේ තමයි!
“අපටත් මේ සැප සම්පත් සේරම දෙන්නෙ උන්නාන්සේ තමයි. හැබැයි කතරගම දෙයියෝ ළඟට ඔයාගේ මාලේ ගියා නම් ආයේ එනවා බොරු!” 

එදාත්, ඊට පස්සෙත් ඒ කතන්දරේ පස්සෙන් පැන්නුවත්,  තවම කිසිම කෙනෙකුගේ කටෙන් වචනයක් ගන්නට බැරි වුණේය. ඒ කිව්වේ දෙවියන් ගැනද, එහෙමත් නැති නම් දෙවියන් ළඟ ඉන්නා අතරමැදියන් ගැනදැයි හොයාගන්නටය මා try කරන්නේ!

තවමත් මං උත්සාහ ගනිමින් ඉන්නේ, ටක්කෙටම දැනගෙන ඒ කතාව හිතාදර ඔබටත් එක්කම බෙදාගන්නටය. 
ඒ කෝන්ගොඩ වික්‍රමපාල වැඩේ කරනතුරු කියන්නට පාද යාත්‍රාවේ තොරතුරු තවත් තිබෙයි!

“මාමේ, ඔහෙ දන්නවැයි, ගිය වතාවේ වල්ලි මාතා පෙරහරේ ඇතාට දාපු මල් මාල කන්දරාව හින්දා හස්තිරාජයාට ඇවිදගන්නත් පොඩ්ඩක් අමාරු වෙච්චි විත්තිය? දළ දෙකටනේ මිනිස්සු මල්මාලා පළන්දන්නේ. කොච්චර බරක්ද, දෙයි හාමුදුරුවනේ?”

“මොකද වල්ලි මාතා පෙරහරටම එච්චර විශේෂයක්?”

මිනිස්සු සර්දාවෙන් දාන මල්මාලා සේරම දළ දෙක උඩ තියාගෙන………..
හිච්චි මහත්තයා ඒ වගේ ප්‍රශ්නවලදී මඟ හරින්නට දෙයියෙකි. 
යන්නේ කොහෙද ඇහුවාම මල්ලේ පොල් වගේ උත්තරයක් එවෙලේ දෙන්නට ඇත්තේ වැඩිහිටිකමට හරි, හැදිච්චිකමට හරි වෙන්නටත් පුළුවනිය.

“දැන් මාමේ, වල්ලි මාතා පෙරහරේ හස්ති රාජයාට මල්මාලා දාන්න දෙන්නේ නැහැ!”

එදා පාද යාත්‍රා ගමනේදී හිච්චි ‘මුකවාඩම් පනත’ට යටවී ඉන්නට ඇත්තේ ඇයිදැයි තේරුණේ ගෙදර ඇවිත් විස්තර හොයද්දීය. 

කතරගම පෙරහරට සහභාගී වෙන ගොඩ දෙනෙකුත් එහි මුඛ්‍ය පරමාර්ථය නොදන්නවාය කියලාය මට හිතෙන්නේ. ඇත්තම කිව්වොත් අපවත් ඒ ගැන හිතලා තිබුණේ නැතිය.

“ඇසළ මංගල්‍ය පෙරහර

මෙය කතරගම දෙවිඳුන් හා වල්ලි අම්මා අතර මංගල උත්සවය සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබන්නකි. කප් හිටුවා දින 45 කට පසුව ඇසළ පෙරහර ආරම්භ වන අතර නැකැත් යෙදීම අනුව ඇසළ පෙරහර මංගල්‍යය සඳහා දින 15 ක් හෝ 16 ක් ගතවේ. 

මංගල්‍යයේ අවසාන දින තුනේදී තේවානි අම්මාට හොරෙන් කතරගම දෙවියන් වල්ලි අම්මා දේවාලය වෙත වැඩමවීම විශේෂ චාරිත්‍රයකි.”

මේ ‘හොරෙන්’ කතාව කියන්නේ මා නොවේ. රුහුණු මහා කතරගම දේවාලය ගැන තිබෙන වෙබ් අඩවියකි. 

එළිපිටම බහුභාර්යා සේවනය කෙරුණේ රජවරුන් අතිනි…..
ඒ කාරණාව ගැන බලද්දී අපේ උදවිය එක ගෙයි කෑවේ එළිපිටමය. හැබැයි ඒ බහුපුරුෂ සේවනයයි. බහුභාර්යා සේවනය එළිපිට කෙරුණේ රජවරුන්ගෙන් පමණි.  
මෙතැනදී රජ්ජුරුවන් දෙවියන්ටත් වඩා ඉහළින් ඉන්නවා වගෙය.

අනේ! දෙවියන්ටත් වෙලා තියෙන ඇබැද්දියක්. 

දෙයියන්ට ඉහළින් පළමු බිරියත් ඉන්නවා නොවේ වෙන්නැතිය; බිරින්දෑවකගේ කන්කරච්චලයෙන් බේරෙන්නට දෙවියෙකු වුණත් කැමති නිසා, කරන දෙයක් ‘තේවානි අම්මාට හොරෙන්’ කරනවා වෙන්නට පුළුවනිය.

ඒ මදිවාට, පෙරහර ඇරඹී හයවෙනි දිනයේ දේවාලය ඉදිරිපිට ‘අතු පන්දල’ අලුත් කෙරෙයි. ඒ වසරකට වතාවක් පමණක් කෙරෙන්නකි. 

එක එල්ලේම සම්බන්ධයක් නැතිව වගේ පෙනෙන ‘වල් චාරිත්‍රයකි’ මට මෙතැනදී මතක් වෙන්නේ. ‘කිරිකඩ සේලය පේ කිරීම!’. 

අනේ, මේවා ගැන අගතිගාමී නොවී විමසා බලන අය ඉන්නවා නම්…..

එතැනදී දමිළ භාෂාව නොදන්නාකම ගැන මට හිතෙන්නේ ලොකු දුකකි. 
පාද යාත්‍රාවේදී හමුවුණු ‘සාධු’ලා, මා දුටුවේ විවෘතව සංවාදයට එකතු කරගත හැකි අය වගෙය. ඒත් භාෂාවය, හරහට හිටියේ.

2013 සෙල්ල කතරගමදී…. මර්වින්, අයස්මන්ත, මනොහරරාජන්, නිදි හා සුනිල්………
‘අනේ, දෙමළ බාසාවත් දැනගෙන හිටියා නං!’ 

එහෙම හිතෙන්නේ, මේ ගමනේදී අපේම රටේ වෙසෙන ප්‍රධාන ජන කොටසක මිනිසුන් එක්ක හිතේ හැටියට අල්ලාප-සල්ලාපයක යෙදෙන්නට බැරි බව තේරුම් ගියාමය!
අයස්මන්ත මහත්තයා නම් දමිළ භාෂාවේ වටනාකම හොඳින්ම තේරුම් ගෙන ඇති බව කියවුණේ 2012 සැප්තැම්බර් 1 වෙනිදා වස්ගමුවේ හතරමං හංදිය කඳවුරු බිමේදීය.
“නිමල් අයියේ, මගේ ලොකු අධිෂ්ඨානයක් තියෙනවා. හරියට දෙමළ කතා කරන්න ඉගෙනගන්න. එච්චර අමාරු නැහැල්ලු. 
ලංකාවේ හැමෝම දෙමළයි සිංහලයි දෙකම ඉගෙනගන්නවා නං ආයේ ප්‍රභාකරන් කෙනෙක් මතුවෙන එකක් නැහැ.” 

ඒ කතාවේ සත්‍යය තේරුම් ගත්තත්, එයට 100%ක්ම එකඟ වුණත් තවම මා ඉගෙනගත් දෙමළයක් නැත. අයස්මන්ත මහත්තයා නම් එහෙම නැත.

 අවුරුද්දක් යද්දීම එයා ඒ කඩුල්ල පැනපු බවට හොඳම සාක්ෂිය දුන්නේ මඩකලපුවේ දමිළ වෛද්‍යවරයෙකු වන මනෝහරරාජන් මහත්තයාය.

2013 පළමු පාද යාත්‍රා ගමනේදී කොච්චිපතාන ගණ දෙවි කෝවිල් බිමේදීය.   
මාතර පැත්තේ අය එහෙ අයට අදින විදිහ ඔයා දන්නවද?
“දෙමළ ඕනි නැහැ නිමල් අංකල්, ඔයා දන්නවද මාතර පැත්තේ අය එහාට අදින විදිහ- ඒ පැත්තේ විදිහට කතා කළ ගමන්. මගේ යාළුවෙක් ගිහින් වාහනයක් ගන්න. 
වාහනේ අයිතිකාරයත් මාතර බව දැනගත්තු ගමන් යාළුවා එහෙ විදිහට talk කරලා. පොර දන්නවා ඔය පලාත්වල කතා කරන වචන එහෙමත්.

-වාහනේ විකුණන මනුස්සයාට කතාවෙන්ම අපේ යාළුවව හිතට අල්ලපු තරම කියන්නේ -මම දෙන්න හිටිය ගණන නම් මේකයි. ඔහෙම දෙන්න offer එකක්- කියලා. මේකා ඉල්ලපු ගණනට මිනිහා වාහනේ දුන්නලුනේ.” 

ප්‍රාදේශීය කතා ව්‍යවහාර ගැන කතාබහකදී ගවීන් කිව්වේ වස්ගමුවේදීය.

කන-බොන වෙලාවක ඔහොම දේවල් බොහොමයක් කියවෙයි. නොබී ඉන්නා කෙනෙකුට එවැනි නුවණැති දේවල් අහුලාගැනිල්ල සුළු දෙයකි!

නුවණැති කෙනෙකුට එහෙම පාඩම් හැම තැනමය!

‘හරෝහරා15’ පෝස්ටුවට කමෙන්ට් එකක් දමමින්  අසංග රණසිංහ ආරච්චි මනරම් අදහසක් ඉදිරිපත්කොට තිබිණි.
‘නූඩ්ල්ස් තැම්බූ වතුරින් මසාජ් දැමීම සූර ව්‍යවසායෙක්ට හොඳ ඔත්තුවක්. තායිලන්තය වගේ රටවල් ඔය වාගේ අමුතු දේවලින් තමයි සංචාරක ව්‍යාපාරය කරන් යන්නේ.’ 
නූඩ්ල්ස් තැම්බූ වතුරෙන් කෙරෙන මසාජ්…. සමහර විට ඔයිල් මසාජ් වගේ ක්‍රම පරදවනු ඇත!
……….. ඇත්තය. අලුත්, අමුතු දේවලට මානවයාගේ හිත යනවා නේන්නං. ඔන්න වැඩේ.

‘නූඩ්ල්ස් තැම්බූ වතුරින් මසාජ් කරන’ – Instant Noodles Massage Center එකක් පටන් ගන්නවා නම් මරුය. 

මට රෝයල්ටියක් ඕනෑත් නැත! අසංග ඉල්ලන එකකුත් නැත. කැමතිම නං විතරක් ‘හරෝහරා’ පෝස්ටු මාලාවට කෘතවේදී ප්‍රචාරයක් දුන්නාම සෑහෙයි!

හැබැයි ශ්‍රී ලංකාවේ ඉන්නා තරමක් ඉන්නේ යමක් නිපදවා හම්බ කරන අය නොවෙති. අතරමැද හිඳ හම්බ කරන්නෝ වෙති. අයුතු විදිහට මොකාගෙන් හරි කඩා-වඩාගෙන ගොඩ වැඩි කරගන්නෝ වෙති!

කඳ සුරිඳුන් වුණත් එහෙම අයට වැඩියෙන් උදව් වෙනවාද මන්දා? එහෙම උදව් කරන්නේ…

%d bloggers like this: