Menu Close

සඳු සේ මුදු ඉර සේ සැර රජෙක්…

රටක පාලනය මෘදු හෝ දැඩි වෙන්නේ පාලකයාගේ චරිත ස්වභාවයට වඩා රටේ පවතින දේශපාලන බලතුලනයේ ස්වභාවය අනුවයි. පෙර ලිපිය මගින් අවධානය යොමු කරවන්න හැදුවේ මේ කරුණටයි. පාලනයට අභියෝගයක් නැති වූ විට චරිත ස්වභාවය අනුව පෞද්ගලික ජීවිතයේදී මෘදු පුද්ගලයක් වුවත් දරුණු ඒකාධිපතියෙක් සේ රූපාන්තරණය වෙන්න පුළුවන්. ඒ වගේම, රටේ දේශපාලන බලය පාලකයා වෙත කේන්ද්‍රගත වී නැත්නම්, රටේ ආයතනික පද්ධතිය ශක්තිමත්නම්, කොයි තරම් දැඩි පාලකයෙක්ට වුවත් ඒකාධිපතියෙකු සේ හැසිරෙන්න බැහැ.

කාලයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත වී තිබෙන ඇමරිකාව වැනි රටවල පාලකයා ඒකාධිපතියෙකු සේ හැසිරීම වැළැකී තිබෙන්නේ රටේ මිනිස්සු සවිඥානකව සුදුසු චරිත ස්වභාව තිබෙන පුද්ගලයින් පාලකයින් සේ පත් කර ගැනීම නිසාම නෙමෙයි. එය එසේ නොවූ අවස්ථා පෙන්වීම අසීරු නැහැ. ඇමරිකාවේ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ස්ථාපිතව තිබෙන වෙනත් බොහෝ රටවලද පාලකයෙකු අත්තනෝමතික ලෙස හැසිරීමට තිබෙන ඉඩකඩ සීමා කර තිබෙන්නේ රටේ ආයතනික පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීම හරහා.

මෙය ආකාර කිහිපයකින් සිදු වෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලතුලනය ව්‍යවස්ථාව හරහා තහවුරු කර තිබෙනවා. දිගින් දිගටම, අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පවා, සිවිල් බලවේග ශක්තිමත්ව සිටීම රටේ ඓතිහාසික සමාජ විකාශනයේ ප්‍රතිඵලයක් කියා හිතන්න පුළුවන්. ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන රාජ්‍යයේ ප්‍රධාන කුළුණු තුන අතර තුලනය ප්‍රායෝගිකව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේත් මේ දෙවන කරුණ නිසා. මීට අමතරව ප්‍රධාන දේශපාලන පක්ෂ අතර බලය බෙදී යන ආකාරයේ බලපෑමකුත් තිබෙනවා.

කරුණු මෙසේ වුවත්, පාලකයෙකුගේ සාමාන්‍ය චරිත ස්වභාවය අනුව පාලනයේ ස්වභාවය වෙනස් නොවනවා කියා කියන්න බැහැ. ආයතනික ව්‍යුහය කොයි තරම් ප්‍රබල වුවත්, ප්‍රමාණවත් ජනතා බලයක් තිබෙන පාලකයෙකුගේ පුද්ගල ස්වභාවය රටට බලපෑමක් කරන එක වලක්වන්න බැහැ. ඒ නිසා, ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිස්සු පාලකයෙකු තෝරා ගැනීමේදී මේ පුද්ගල සාධක ගැනත් සැලකිලිමත් වෙනවා.

රටක පාලකයෙක් සේ මිනිස්සු හොයන්නේ මොන වගේ චරිත ලක්ෂණ තිබෙන පුද්ගලයෙක්ද?

ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් කියා කියන්නේ එක පැත්තකින් අපේ නියෝජිතයෙක්. අපේ නියෝජිතයෙක් කියා කියන්නේ අපට අවශ්‍ය දේ අප‍ට අවශ්‍ය අයුරින් කිරීම සඳහා අප විසින් තෝරා ගන්නා අයෙක්. මෙවැනි පුද්ගලයෙකු අපට අවශ්‍ය දේ මිස තමන්ට අවශ්‍ය දේ කරලා හරියන්නේ නැහැ. ඒ නිසා, ඔහු හෝ ඇය අපට සවන් දෙන අයෙකු විය යුතුයි. අපට අවශ්‍ය දෙය වෙනස් වන විට ඒ බව දැනෙන තරම් අපට සමීප මෘදු, සංවේදී පුද්ගලයෙක් විය යුතුයි. අපේ අදහස් නොතකා තමන්ට හෝ වෙනත් අයට අවශ්‍ය දේ කරන අයෙකු නොවිය යුතුයි.

හැබැයි පාලකයා මේ ආකාරයට අපට සවන් දෙන මෘදු, සංවේදී පුද්ගලයෙක් වුවත් ඔහු හෝ ඇය සංවේදී විය යුත්තේ අපේ (මගේ) අවශ්‍යතා ඉටු කරන තරමට පමණයි. ඔහු හෝ ඇය රටේ හැම දෙනාගේම අදහස් අහන, ක්‍රියාත්මක කරන තරමට සංවේදී නොවිය යුතුයි. වෙනත් අයට අවශ්‍ය, අපට අවශ්‍ය නොවන දේ නොකරන තරමට පාලකයා දැඩි විය යුතුයි. ඒ දේවල් නොකරන බව සෘජුව කිව හැකි කොන්දක් පාලකයාට තිබිය යුතුයි. නායකයෙක් කියා කියන්නේ එහෙම කෙනෙක්ටයි.

තවත් විදිහටකට කියනවානම් පාලකයා මට අවශ්‍ය දේ මටත් කලින් දැනගෙන මට අවශ්‍ය විදිහටම කරන මෘදු, සංවේදී පුද්ගලයෙක් විය යුතුයි. (ඒක දැනගන්න ටෙලිපති නැත්නම් හැමදාම උදේ නැගිට්ට ගමන් මගේ මුහුණු පොතේ උඩ ඉඳලා පහළට ගිහින් බැලුවත් කමක් නෑ!) ඒ එක්කම මේ පුද්ගලයා මා හැර වෙනත් අය කියන කියන දේවල් නොකර සෘජුව ප්‍රතික්ෂේප කරන දැඩි පුද්ගලයෙකුත් විය යුතුයි. (පොඩි දඬුවමක් දුන්නටත්, නැත්නම් ඊටත් වඩා දරුණු ක්‍රියාමාර්ගයක් ගත්තත් අපි මොකුත් කියන්නේ නෑ!)

දැන් මෙතැන තිබෙන මනෝ විද්‍යාත්මක පැත්ත බැලුවොත් අපි හොයන්නේ අපේ අම්මගෙනුයි තාත්තාගෙනුයි ලැබුණු දේවල් දෙවර්ගයම තිබෙන පැකේජ් එකක්. බඩගිණි වුනහම, නිදිමත වුනහම අම්මට වගේ දැනෙන්න ඕනෑ. තාත්තා ළඟ ඉන්න කොට දැනෙන රැකවරණය, ආරක්ෂාවත් දැනෙන්න ඕනෑ. සඳු සේ මුදු ඉර සේ සැර පාලකයෙක්!

මිනිස්සුන්ට මැතිවරණයකදී වඩා ආකර්ශනීය වෙන්නේ මේ ගුණාංග දෙක අවශ්‍ය පමණට මුසු වූ අයයි. අවශ්‍ය මුසුව අවස්ථාව අනුව වෙනස් වෙනවා. තමන්ට අවශ්‍ය දේ කර ගැනීම ප්‍රමුඛතාවය වූ විට මෘදු ගුණාංග වලට ඉල්ලුම වැඩි වෙනවා. වෙනත් අයට අවශ්‍ය දේ කර ගැනීම වැළැක්වීම ප්‍රමුඛතාවය වූ විට දැඩි ගුණාංග වලට ඉල්ලුම ඉහළ යනවා. යුද්ධ, ත්‍රස්තවාදී තර්ජන, සැබෑ හෝ මවාගත් සතුරන් පෙනෙන විට දැඩි පාලකයෙක්ගේ අවශ්‍යතාවය මතු වෙනවා. පාලකයාගේ දැඩිකම තමන්වම පීඩාවට පත් කරන බව තේරුණු විට මෘදු පාලකයෙක්ගේ අවශ්‍යතාවය මතු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන අපූර්වත්වය වන්නේ රටේ මිනිස්සුන්ට යම් අවස්ථාවක තිබෙන ප්‍රමුඛ අවශ්‍යතාවය අනුව ගැලපෙනම පාලකයා තෝරා දෙන්න එම ක්‍රමයට හැකිවීමයි.

තමන්ටම පීඩනයක් දැනුනත්, මුදු පාලකයෙක් වෙනුවට දැඩි පාලකයෙක්ව හොයන වෙලාවලුත් තිබෙනවා. එහෙම වෙන්නේ තමන්ටම තමන් ගැන විශ්වාසයක් නැති වූ වෙලාවට. තාත්තගේ තීරණය තමන්ගේ තීරණයට වඩා හොඳ එකක් කියා දරුවෙක් විශ්වාස කරනවා වගේ. ඒ වගේ වෙලාවට තාත්තගෙන් පාරක් කෑවත්, ටිකක් තරහා ගියත්, තාත්තා ගැන ආදරය වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. පාරක් ගැහුවත් අපේම හොඳටනේ!

යම් පුද්ගලයෙකුට මැතිවරණයකදී ඉදිරියට එන්නනම් තමන්ගේ දැඩි හා මුදු ගුණ දෙවර්ගයම ප්‍රදර්ශනය කරන්න වෙනවා. එක් තැනක යමෙක් සටහන් කර තිබුණේ රණසිංහ ප්‍රේමදාස විසින් කළේයැයි සැලකෙන ඇතැම් දරුණු ක්‍රියා ගැන ලියූ මාධ්‍යවේදීන් කිසිවෙකුට ඔහුගෙන් කවදාවත් හිරිහැරයක් වී නැති බවයි. එහි අදහස තමන් දරුණු පාලකයෙකු බව ප්‍රචාරය වනවාට ඔහු කැමැත්තෙන් සිටි බවයි. ඒ අතරම දුප්පතාගේ දුකට සංවේදී පුද්ගලයෙකු ලෙස මෘදු ප්‍රතිරූපයක් හදා ගැනීමටද ඔහු සමත් වුනා.

ගැහැණියක් තමන්ගේ මෘදු බව අමුතුවෙන් තහවුරු කළ යුතු නැහැ. ගැහැණියක් වූ පමණින්ම නිරායාසයෙන්ම මෘදු බව තහවුරු වෙනවා. ගැහැණියකට අසීරු දැඩි බව තහවුරු කිරීමයි. යකඩ ගැහැණිය වැනි යෙදුම් දේශපාලනයේදී හොඳින් අළෙවි වන්නේ ඒ යෙදුමේ දැඩි හා මෘදු ගුණ දෙකම හොඳින් පැකේජ් වී ඇති නිසයි. සුන්දර නාරි දේහයක් ඇතුළෙන් ගොරෝසු පිරිමි කටහඬක් ඇහෙන කොටත් මේ ගුණාංග දෙකම මතු වෙනවා. “ධනවාදයට මානුෂික මුහුණුවරක් දීම” වැනි කතා වලිනුත් යමෙකුට මේ ගුණාංග දෙකම එක වර ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ධනවාදය කියන්නේ කුමක්ද කියා නොදන්න, කාලයක් තිස්සේ සමාජවාදීන්ගෙන් ධනවාදය ගැන ඉගෙනගෙන තිබෙන ලංකාවේ ගොඩක් අයට ධනවාදය කියන්නේ හරියට හීලෑ කර ගත්තොත් වැඩ ගොඩක් ගන්න පුළුවන් භයානක, නමුත් නැතිවම බැරි, යකෙක්. ධනවාදයට මානුෂික මුහුණුවරක් දෙනවා කියපු ගමන් මේ දරුණු යකාට මෘදු ගතියක් ආරෝපණය වෙනවා.

මහින්ද රාජපක්ෂ මුලින්ම ප්‍රසිද්ධ වුනේ මානව හිමිකම් ගැන සංවේදී මෘදු පුද්ගලයෙක් වගේම, අතුරුදහන් වූ තරුණයින් ගැන කතා කරන්න හා ඔවුන් වෙනුවෙන් ජීනීවා යන්න තරම් බය නැති දැඩි පුද්ගලයෙක් විදිහටයි. ජනාධිපති වී සිටියදී ඔහු මේ දැඩි හා මෘදු ප්‍රතිරූප දෙකම හොඳින් නඩත්තු කළා. එක පැත්තකින් බටහිර බලවේග වලට නොනැමී යුද්ධය දිගටම කර ගෙන යන්න තරම් දැඩි පෞරුෂත්වයක්. අනිත් පැත්තෙන් අහම්බෙන් හමු වෙන කාගේ හෝ දරුවෙකු වඩාගෙන හුරතල් කරන සංවේදී මනුස්සයෙක්!

රනිල් වික්‍රමසිංහට කවදාවත් ඔය මෘදු, සංවේදී ප්‍රතිරූපය හදා ගන්න පුළුවන් වුනේ නැහැ. සමහර විට පෞද්ගලික ජීවිතයේදී ඔහු මෘදු, සංවේදී පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. ඒ ගැන දන්නේ ඔහු සමඟ ලඟින් සිටි අයයි. එය එසේ වුවත් නොවුවත්, රටේ මිනිස්සු හිතන ආකාරය සමඟ සුසර වෙන්න රනිල් වික්‍රමසිංහට කවදාවත්ම හැකි වුනේ නැහැ. එහෙත්, ඔහුට යම් දැඩි ප්‍රතිරූපයක් තිබුණා. දැඩි කියන එකෙන් අදහස් වෙන්නේ අපේ යහපත වෙනුවෙන් අපට වඩා හොඳින් යමක් කළ හැකියි කියන අදහසයි. නායකයෙක් මෙවැනි අයෙක් කියා දැනෙන විට ඔහු හෝ ඇය කරන්නේ මොනවාද කියා නොතේරුණත් විශ්වාසය මත පදනම්ව ඔහුට අවස්ථාව දෙන්න මිනිස්සු පෙළඹෙනවා. බැඳුම්කර චෝදනා එල්ලවන තුරු රනිල්ට මිස්ටර් ක්ලීන් ප්‍රතිරූපයක් තිබුණා. එජාපයට ආර්ථිකය ගොඩදැමිය හැකි බවට විශ්වාසයක් රටේ තිබුණා. විපක්ෂයෙන් එල්ල කළ බටලන්ද කතා නිසා රනිල්ගේ දැඩි ප්‍රතිරූපය තවත් තහවුරු වුනා.

එජාපය විසින් රනිල් වෙනුවට සරත් ෆොන්සේකාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී වෙනසක්. යම් හෙයකින් සරත් ෆොන්සේකා ජනාධිපති වුනානම් ඔහුට විධායක බලය ලැබුණත් දේශපාලන බලය ලැබෙන්නේ රනිල්ටයි. ඒ නිසා, ඒ වෙලාවේ කිසිවෙකුටත් රනිල්ගෙන් වියුක්තව  සරත් ෆොන්සේකා පුද්ගල චරිතය දෙස බලන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඒ වන විට යුද්ධයේ අවසන් අදියරේ කටයුතු කළ ආකාරයෙන් මහින්දගේ දැඩි ප්‍රතිරූපය රටේ ඉතා හොඳින් තහවුරු වී තිබුණා. කොටින්ම ඔහු ජාතියේ අප්පච්චී වෙලා තිබුණා. නමුත්, යුද්ධය අවසන් නිසා ඒ වෙලාවේ මිනිස්සු හෙවුවේ සාපේක්ෂව මෘදු ප්‍රතිරූපයක්. ටිකෙන් ටික දියාරු වෙමින් තිබුණත් මහින්දට ඒ වන විටත් රනිල්ට නොතිබුණු මෘදු ප්‍රතිරූපයක් තිබුණා. ඒ නිසා, රනිල්ට මහින්දගේ ප්‍රතිරූප දෙකෙන් එකක් එක්කවත් තරඟ කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. රනිල් වෙනුවට තරඟයට දමපු සරත් ෆොන්සේකාට රනිල්ට තරමටවත් මෘදු ප්‍රතිරූපයක් තිබුණේ නැහැ. ඔහුට මහින්දව පැරදවිය හැකි දැඩි ප්‍රතිරූපයක් තිබුණා. එහෙත්, යුද්ධය අවසන් වීමෙන් පසුව මිනිස්සුන්ට මහින්දටත් වඩා දැඩි පාලකයෙක් අවශ්‍ය වුනේ නැහැ.

සරත් ෆොන්සේකා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන චරිතය ආදේශ කළ පසු තත්ත්වය වෙනස් වුනා. ඒ වෙලාවේ, මිනිස්සු දැක්කේ රාජපක්ෂ පාලනය ඕනෑවට වඩා දැඩි එකක් බවයි. මෛත්‍රීපාල සිරිසේන චරිතය මහින්ද රාජපක්ෂ චරිතයට වඩා මෘදු එකක් බව පෙනෙන්න තිබුණා. නමුත්, ඔහු අවශ්‍ය පමණ දැඩි ගුණය ප්‍රදර්ශනය කළේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ චරිත දෙකම එකට ගත් විට මහින්ද රාජපක්ෂ චරිතය සමඟ තරඟයක් දිය හැකි පැකේජ් එකක් හැදුණා. එක පැත්තකින් මහින්දට වඩා මෘදු, සංවේදී මෛත්‍රී. බාල සෙරෙප්පු දමන, බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරන, පොළොවෙන් මතු වූ නායකයා. අනෙක් පැත්තෙන් අවශ්‍ය පමණ දැඩි රනිල්. ටයි කෝට් අඳින, අපි වෙනුවෙන් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන, අපි වෙනුවෙන් අපිට නොතේරෙන මොකක් හෝ දෙයක් කරන්නට යන නායකයා. 2015දී මහින්දව අතහැර යහපාලනයට මාරු වූ නාගරික පිරිස් රනිල්ගෙන් බලාපොරොත්තු වුනේ, තමන්ට පීඩාකාරී නොවන තරමට මුදු, රට හදන දැඩි පාලනයක්.

යහපාලන ආණ්ඩුවෙන් මේ පිරිස් බලාපොරොත්තු වූ තමන්ට නොතේරෙන පුදුම සහගත දෙය කවදාවත් ඉටු වුනේ නැහැ. තමන්ගේ තොප්පිය ඇතුළේ මැජික් කිසිවක් නැති බව රනිල්ගේ ආණ්ඩුව දිගින් දිගටම පෙන්නුවා. යහපාලන ආණ්ඩුවට 2015දී ඡන්දය දුන් අයට මෘදු පාලනයක් ලැබුණා. එහෙත්, අවශ්‍ය පමණ දැඩි පාලනයක් ලැබුණේ නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය තමන්ට සවන් දෙන ආණ්ඩුවක් මිසක් රටේ හැම දෙනාටම සවන් දෙන ආණ්ඩුවක් නෙමෙයි. තවත් විදිහකින් කිවුවොත් පුද්ගලයෙක් ලෙස මෛත්‍රීපාල ප්‍රතිරූපයෙන් අපේක්ෂා කළ දේවල් වුනා. ඒත් රනිල් ප්‍රතිරූපයෙන් අපේක්ෂා කළ දේවල් වුනේ නැහැ. ඒ නිසා, 2019දී මිනිස්සු හෙවුවේ සාපේක්ෂව දැඩි ප්‍රතිරූපයක්.

ගෝඨාභය රාජපක්ෂ හරහා මිනිස්සු හොයපු දැඩි ප්‍රතිරූපය හමු වුනා. ඒ දැඩි ප්‍රතිරූපය සමඟ එජාපයේ රනිල්ට, සජිත්ට හෝ කරු ජයසූරියට තරඟ කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. කොහොම වුනත්, ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිරූපය මිනිස්සු හෙවුවට වඩා වැඩියෙන් දැඩි ප්‍රතිරූපයක්. ගෝඨාභය මහින්ද මෙන් දරුවන් සුරතල් කළේ නැහැ. වැඩිහිටියන්ව සුරතල් කළේත් නැහැ. ඒ වුනත්, 2010දී හා 2015දී එජාපය කළා වගේම මෙවර රාජපක්ෂ කඳවුර විසින් ඉදිරිපත් කළේත් පැකේජ් එකක්. මෙවර දැඩි ප්‍රතිරූපය ගෝඨාභයගේ. මෘදු, සංවේදී ප්‍රතිරූපය මහින්දගේ.

එජාපයට මෙවර තරඟ කරන්න සිදු වී තිබුණේ මහින්ද-ගෝඨාභය පැකේජ් එක එක්කයි. එය 2015දී තනි මහින්ද සමඟ රනිල් හා මෛත්‍රී තරඟ කළ තරම් පහසු කටයුත්තක් වුනේ නැහැ. මේ වැඩේට රනිල් සමඟ තවත් පුද්ගලයෙකු පැකේජ් කළ යුතු වුවත් ඒ පුද්ගලයා තෝරා ගන්න තිබුණේ එම කඳවුරේ සිටි අය අතරිනුයි.

රනිල් කොහොමටත් පැකේජ් එකේ කොටසක් නිසා එජාපයට පටන් ගන්න වුනේම අවාසිදායක තැනකින්. රනිල්ට මහින්ද හෝ ගෝඨාභය සමඟ තරඟ කළ හැකි දැඩි ප්‍රතිරූපයක් තිබුණේ නැහැ. මහින්දට සාපේක්ෂව මෘදු ප්‍රතිරූපයක් තිබුණෙත් නැහැ. කරු ජයසූරිය ප්‍රතිරූපයේත් වැඩි වෙනසක් තිබුණේ නැහැ.

රනිල්, කරු, සජිත් අතරින් ඔය අංශ දෙකම සැලකූ විට වැඩියෙන්ම ඉස්සරහින් හිටියේ සජිත්. එහෙත්, ඔහුටත් මහින්ද සමඟ තරඟ කළ හැකි මෘදු ප්‍රතිරූපයක් හෝ ගෝඨාභය සමඟ තරඟ කළ හැකි දැඩි ප්‍රතිරූපයක් තිබුණේ නැහැ. කෙටියෙන් කියනවානම්, රනිල්, කරු, සජිත් තිදෙනාගෙන් කවුරු ආවත් මහින්ද-ගෝඨාභය පැකේජ් එක සමඟ තරඟ කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා, පුද්ගල ප්‍රතිරූප අනුව බැලුවොත් රාජපක්ෂ කඳවුර මුල සිටම සිටියේ ප්‍රතිවාදී පිලට වඩා ඉදිරියෙන්.

රාජපක්ෂලා හමුවේ දැන් තිබෙන අභියෝගය මේ ප්‍රතිරූප දෙකම සමතුලිත ලෙස දිගටම නඩත්තු කරන එකයි.

%d bloggers like this: