Menu Close

විජේතුංග ව්‍යතිරේඛය

ලංකාවේ ජනාධිපතිධුරයේ බලතල, ඒකාධිපතිත්වය වගේ මාතෘකා පිළිබඳව කතා කරද්දී බොහෝ විට ඩිංගිරි බණ්ඩා විජේතුංගගේ නමත් කියැවෙනවා. විශේෂයෙන්ම මේ නම සඳහන් කෙරෙන්නේ ජනාධිපතිවරයෙක් ඒකාධිපතිත්වය කරා යන්නේ පුද්ගල ස්වභාවය නිසා මිසක් ධුරයේ බලතල නිසා නොවන බව පෙන්වා දෙන්නයි. ඩිංගිරි බණ්ඩා විජේතුංගව ඇතැම් අය විසින් මෘදු පාලකයෙක් ලෙසත් තවත් අය දුර්වල පාලකයෙක් ලෙසත් හඳුන්වනවා.

විජේතුංගට පෙර සිටි ජයවර්ධන හා ප්‍රේමදාස ජනාධිපතිවරුන් දෙන්නාම හැඳින්විය හැක්කේ දැඩි පාලකයින් ලෙසයි. ජයවර්ධන යුගයේ මාධ්‍ය නිදහස ගැන දැන් පණහ පැනලා සිටින, එවකට තරුණ හෝ මැදි වියේ සිටි පරම්පරාවට අමුතුවෙන් මතක් කර දිය යුතු නැහැ. නමුත්, දැන් තරුණ වියේ සිටින අයට ඒ ගැන හිතා ගන්න අසීරු වෙන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම් නොතිබුණු, පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ප්‍රචලිතව නොතිබුණු, මුද්‍රිත මාධ්‍ය සියල්ලම වාගේ රජයේ සෘජු හෝ වක්‍ර පාලනය යටතේ තිබුණු ඒ යුගයේ මේ දැඩි පාලනය පවත්වා ගෙන ගිය එක් ප්‍රධාන ක්‍රමයක් වුනේ මාධ්‍ය හරහා ආණ්ඩුවට අවශ්‍ය මතවාද දිගින් දිගටම පොම්ප කිරීමයි.

ජයවර්ධන යුගයේදී ආණ්ඩුවේ මතයෙන් වෙනස් දේශපාලන අදහස් හා ආණ්ඩුවට ප්‍රචාරය කිරීමට අවශ්‍ය නොවූ පුවත් ඉදිරිපත් කළේ ලොකු පිටපත් ගණනක් නොවිකුණුනු, දේශපාලන පක්ෂයක පුවත්පතක් වූ ඇත්ත පුවත්පත වැනි සීමිත මාධ්‍ය කිහිපයක් විසින් පමණයි. එක පැත්තකින් රජයෙන් පත් කළ බලධාරියෙකු හරහා සෘජුවම අදහස් හා පුවත් වාරණය කෙරුණා. අනෙක් අතින්, තෝරාගත් පුද්ගලයින්ට බලපෑම් හෝ බිය වැද්දීම් කිරීම මගින් ඔවුන් හා තවත් අය නිහඬ කරනු ලැබුවා. මෙයට සමාන්තරව බොහෝ දෙනෙක් තමන්ටම ස්වයං වාරණයක් පනවා ගත් නිසා ආණ්ඩුවේ කාර්යය එතරම් අපහසු වුනේ නැහැ.

නිසි බලධාරියා හරහා හෝ අනෙකුත් බලපෑම් හරහා නාන තොටේ හෝ මත්පැන් සාදයක සිදුවන කතාබහ නියාමනය කරන්න බැහැ. නමුත්, මිනිසුන් විසින් ස්වයං වාරණයක් පනවා ගත් විට ගෙවල් වල බිත්ති හතර ඇතුළේ සිදුවන කතාබහ පවා නවතිනවා. නරකම තත්ත්වය එයයි. ජයවර්ධන ආණ්ඩුවේ අවසන් කාලය වෙද්දී මුලින්ම රාවය සඟරාව නිසා නිහඬ බව තරමක් දුරට බිඳුණා. පසුව රාවය සඟරාව විකල්ප පුවත්පතක් වුනා. යුක්තිය වැනි තවත් විකල්ප පුවත්පත් ආවා. කතා කරන්න තිබෙන බය පොඩ්ඩක් අඩු වුනා. හැබැයි පොඩ්ඩක් විතරයි!

ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලූ විට ප්‍රේමදාස පාලනය කවර අයුරකින් හෝ ජයවර්ධන පාලනයට වඩා හොඳ පාලනයක් වුනේ නැහැ. ප්‍රේමදාසව ඝාතනය වීම බොහෝ දෙනෙකුට දැනුනේ පපුව මත තබා තිබුණු ලොකු කළු ගලක් ඉවත් වුනා වගෙයි. මා දන්නා තරමින් ලංකාවේ මිනිස්සු පුද්ගලයෙකුගේ මරණයක් ගැන අසා රතිඤ්ඤා පත්තු කළ මුල්ම අවස්ථාව අනූ තුනේ මැයි දිනයයි. කොහොම වුනත්, මේ කාලය වෙද්දී ආණ්ඩු විරෝධය ජේආර්ගේ කාලයේ මෙන් යටපත්ව තිබුණු එකක් නෙමෙයි. විකල්ප පුවත්පත් වැඩිම ගණනක් පළ වුනේත්, ඒවාට වැඩිම ඉල්ලුමක් තියෙන්න ඇත්තේත් මේ කාලයේ වෙන්න ඇති. විමල්, ඩලස් හා විනී වගේ අයට එකතු වී මහජන ආධාර එකතු කර විකල්ප පත්තරයක් පටන් ගන්න පුළුවන් වුනෙත් ඒ වෙද්දී විකල්ප මතවාද වලට විශාල වෙළඳපොළක් තිබුණු නිසයි.

ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධුරයට පත් වුණේ රණසිංහ ප්‍රේමදාසගේ අනපේක්ෂිත මරණය නිසයි. ඔහු එම ධුරය දැරුවේ වසර එකහමාරක පමණ සාපේක්ෂව කෙටි කාලයක් පමණයි. ඒ කාලය සාපේක්ෂව සාමකාමී, මිනිස්සු බයෙන් ජීවත් නොවූ කාලයක් බව කවුරුත් වාගේ එකඟ වෙන දෙයක්. එහෙම වෙන්න ජනාධිපති විජේතුංගගේ චරිත ලක්ෂණ යම් තරමකින් හේතු වෙන්න ඇති. නමුත්, ප්‍රධාන හේතුව එය කියා මා හිතන්නේ නැහැ.

ප්‍රේමදාස ඝාතනයට පෙරම ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර කණ්ඩායම විසින් එජාපය දෙකට කඩලයි තිබුණේ. ඔවුන් පිහිටවූ පක්ෂය ආණ්ඩු විරෝධී වූ, එහෙත් සමාජවාදීන් නොවූ, නාගරික හා අර්ධ නාගරික උගත් පිරිස් වේගයෙන් ආකර්ෂණය කර ගනිමින් සිටියා. අනෙක් පැත්තෙන් චන්ද්‍රිකාගමනය නිසා විශාල කාලයක් අකර්මන්‍යව තිබුණු ශ්‍රීලනිපය නැවත පණ ලබා තිබුණා.

ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර තිදෙනාම ඝාතනය වී ඔවුන් පිහිටවූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ අකර්මන්‍ය වී ගියත් එම පක්ෂය තවමත් නමට හෝ තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ආසන ගණනාවක තෙවැනි තැනට ආ ආරියවංශ දිසානායක තරඟ කළේ එම පක්ෂයෙන්. මුල් කාලයේදී එම පක්ෂය වැරදිලා වැටෙන ඡන්ද ලබාගත් පක්ෂයක් නෙමෙයි. තෙවන පක්ෂයක් ලෙස ටික කලක් වේගයෙන් ඉදිරියට ආ පක්ෂයක්.

ඩීබී විජේතුංග විසින් ජනාධිපති ධුරය භාර ගන්නා අවස්ථාව වන විට එක පැත්තකින් ප්‍රඑජාපෙ විසින් එජාප නාගරික ඡන්ද පදනම කඩා ගනිමින් වර්ධනය වෙමින් සිටියා. අනෙක් පැත්තෙන් කලක් ශ්‍රීලනිපයෙන් මෙන්ම රටින්ද බැහැරව සිටි චන්ද්‍රිකා කුමාරතුංග නැවත ලංකාවට පැමිණ ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව, වාමාංශික පක්ෂ ගණනාවක් එකතු කර ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ යටතේ ශක්තිමත් ලෙස සංවිධානය වෙමින් සිටියා.

ප්‍රේමදාස ඝාතනයෙන් හා ඩීබී විජේතුංග ජනාධිපති සේ පත් වීමෙන් තෙසතියක් යන්නත් පෙර පැවැත්වුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල වලින් පළමු වරට එජාපයේ පරිහානිය පැහැදිලිව පෙන්නුම් කළා. තරඟ කළ දිස්ත්‍රික්ක සියල්ලේම මුල් තැනට ආවේ එජාපය වුවත්, බස්නාහිර, දකුණු හා වයඹ පළාත් සභා වල බලය පිහිටුවීමට අවශ්‍ය බහුතර මන්ත්‍රී වරුන් ගණන එජාපය සතු වූයේ නැහැ. පුටුව ලකුණින් තරඟ කළ පොදුජන එක්සත් පෙරමුණ හා රාජාලියා ලකුණින් තරඟ කළ ප්‍රඑජාපෙ මන්ත්‍රී ධුර වල එකතුව එජාපයේ මන්ත්‍රී ධුර ගණන ඉක්මවූවා.

බස්නාහිර පළාතේදී මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනුනා. එජාපෙ, පොඑපෙ හා ප්‍රඑජාපෙ අතර කොළඹදී 17-17-10 ලෙසත්, ගම්පහදී 16-15- 4 ලෙසත් කළුතරදී 10-9-3 (හා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීධුරයක්) ලෙසත් මන්ත්‍රී ධුර බෙදී ගියා. බෝනස් ආසන දෙක හා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී ධුරයද සමඟ සමස්තයක් ලෙස එජාප මන්ත්‍රීවරුන් ගණන 46ක් පමණක් වෙද්දී, එජාප විරෝධී කණ්ඩායම සතුව මන්ත්‍රී ධුර 58ක් තිබුණු නිසා චන්ද්‍රිකා කුමාරතුංගට බස්නාහිර පළාතේ මහ ඇමති වීමට හැකි වුනා. පළාත් සභා පිහිටුවීමෙන් පසුව, විපක්ෂය විසින් එජාපයට එරෙහිව මෙවැනි ජයග්‍රහනයක් ලබා ගත්තේ මුල් වරටයි.

දකුණු හා වයඹ පළාත් වලත් විපක්ෂය සතුව වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් තිබුණත්, එජාපය හා එජාප විරෝධී කණ්ඩායම් දෙක අතර බස්නාහිර පළාතේ මෙන් ලොකු පරතරයක් තිබුණේ නැහැ. එජාපෙ, පොඑපෙ හා ප්‍රඑජාපෙ අතර දකුණු පළාතේදී 27-22-6 ලෙසත්, වයඹ පළාතේදී 25-18- 9 ලෙසත් මන්ත්‍රී ධුර බෙදී ගොස් තිබුණා. කෙසේ වුවත්, බස්නාහිරදී මෙන් මේ පළාත් දෙකේදී මහ ඇමති ධුරය අත් හරින්න එජාපය සූදානම් වුනේ නැහැ. වයඹ ආණ්ඩුකාර මොන්ටේගු ජයවික්‍රම විසින් ප්‍රඑජාපෙ ජී එම් ප්‍රේමචන්ද්‍ර වෙනුවට එජාපෙ ගාමිණී ජයවික්‍රම පෙරේරාවත්, දකුණු පළාත් ආණ්ඩුකාර බාකීර් මාකර් විසින් පොඑපෙ අමරසිරි දොඩම්ගොඩ වෙනුවට එජාපයේ එම් එස් අමරසිරිවත් මේ දෙපළාතේ මහ ඇමතිවරුන් සේ පත් කළා.

එජාප විරෝධී කණ්ඩායමට ප්‍රශ්නය විසඳා ගැනීමට අධිකරණයේ පිහිට පතන්න සිදු වුනා. අධිකරණයේ තීරණය අනුව 1993 ඔක්තෝබර් සිට ජී එම් ප්‍රේමචන්ද්‍රට වයඹ මහ ඇමති ධුරයත්, අමරසිරි දොඩම්ගොඩට දකුණු මහ ඇමති ධුරයත් හිමි වුනා. මෙය එජාපය ලැබූ විශාල පරාජයක්.

කොහොම වුනත් එජාපය පහසුවෙන් බලය අත හරින්න සූදානම් වුනේ නැහැ. ඔවුන්ගේ ඉලක්කය වුනේ යාන්තම් එක් වැඩි ඡන්දයකින් පවත්වාගෙන ගිය දකුණු පළාත් සභාවයි. 1993 දෙසැම්බර් මාසයේදී පළාත් අයවැය ඡන්ද විමසීම් පැවැත්වෙන දින හම්බන්තොට පොඑපෙ මන්ත්‍රී විමල් ෆ්‍රැන්සිස්කු පැමිණ සිටියේ නැහැ. එජාපය විසින් ඔහුව ඔහුගේ කැමැත්තෙන් හෝ අකැමැත්තකින් තොරව සඟවා තබා ගෙන සිටීම නිසා දකුණු පළාත් සභාවේ අයවැය යෝජනා සම්මත කර ගැනීමට නොහැකි වී පළාත් සභාව විසුරුවා හරින්න සිදු වුනා.

එහෙත්, 1994 මාර්තු මාසයේ පැවැත්වූ දකුණු පළාත් සභා මැතිවරණය එජාපයට පාරාවළල්ලක් වුනා. එවර බලපිටිය හැර දකුණු පළාත් සභාවේ සියලුම ආසන ජය ගත්තේ පොදුජන එක්සත් පෙරමුණයි. පළාත් සභාවේ මන්ත්‍රීධුර 32ක්ම  පොඑපෙට හිමි වූ අතර, එජාපයට ලැබුණේ මන්ත්‍රීධුර 23ක් පමණයි. ඉන් පසුව, 1994 අගෝස්තුවේදී පැවති මහ මැතිවරණයෙන් එජාපය පරාජය කර පොඑපෙ ජයග්‍රහණය කිරීම සඳහා පාර කැපුණේ මේ දකුණු පළාත් සභා මැතිවරණයෙනුයි.

මහ මැතිවරණයෙන් පසුව 1994 නොවැම්බරයේදී පැවති ජනාධිපතිවරණයේදී  චන්ද්‍රිකා කුමාරතුංග විසින් ලද ජය ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම මැතිවරණ ජයග්‍රහණයයි. එවර මහියංගනය හැර දිවයිනේ සියලුම මැතිවරණ ආසන වල ඉදිරියෙන් සිටියේ චන්ද්‍රිකා කුමාරතුංගයි. මේ එක්කම ඩීබී විජේතුංගගේ වසර එක හමාරක ධුර කාලයත් අවසන් වුනා.

ජනාධිපතිවරයෙකු ලෙස ඩීබී විජේතුංගගේ භූමිකාව ගැන විග්‍රහ කරද්දී අදාළ වසර එකහමාරක කාලය තුළ රටේ දේශපාලන බලතුලනය වෙනස් වෙමින් පැවති ආකාරය අමතක කර ඒ ගැන කතා කරන්න අමාරුයි. විජේතුංග අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වන්නේම රටේ මිනිස්සුන්ගේ අමන්දානන්දයට හේතු වූ, ඔවුන් රතිඤ්ඤා පත්තු කර කිරිබත් උයා කා සතුටු වූ මරණයක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ එක්කම පැවැත්වෙන පළාත් සභා මැතිවරණ වලින් රැල්ල අනිත් පැත්තට කැරකෙන බව පැහැදිලි වෙනවා. විජේතුංගගේ වසර එකහමාර ඇතුළත දාහත් වසරක් එජාපය සතු වූ දේශපාලන බලය ක්‍රමයෙන් ගිලිහී යනවා. එජාපය මැතිවරණ පරදිනවා. අධිකරණය එජාපයට අවාසිදායක තීන්දු දෙනවා. මේ දේවල් වෙන්නේ ඩීබී විජේතුංග ජනාධිපති වී සිටි නිසා කියා කියන්න බැහැ. තරමක් උත්ප්‍රාසජනක ප්‍රකාශයක් වුවත්, එජාපය වැටෙන කාලයේ ඩීබී විජේතුංග ජනාධිපති වී සිටි බව කීමේ වැරැද්දක් නැහැ.

රටේ පවතින දේශපාලන බලතුලනය අනුව විධායක ජනාධිපතිවරයෙකුට වුවත් කළ හැකි දේ සීමා වෙනවා. එය අමතක කර කිසියම් පුද්ගලයෙකු මෘදු පාලකයෙකු හෝ පඹයෙකු සේ හැඳින්විය නොහැකියි. ඩීබී විජේතුංග කියා කියන්නේ ඇතැම් ප්‍රතිපත්ති කරුණු අරභයා දැඩි ස්ථාවරයක සිටි පුද්ගලයෙක්. උතුරේ ප්‍රශ්නය තනිකරම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් බවත්, ප්‍රශ්නයට අවශ්‍ය වන්නේ යුදමය විසඳුමක් බවත් සෘජුව හා දිගින් දිගටම පැවසූ එකම ජනාධිපතිවරයා ඩීබී විජේතුංගයි. මහින්ද රාජපක්ෂ පවා ආරම්භයේදී මෙවැනි ස්ථාවරයක සිටියේ නැහැ. ඒ වගේම, රාජපක්ෂ කාලයේදී මෙන් මේ ස්ථාවරය ඒ කාලයේදී රටේ ජනප්‍රිය ස්ථාවරය වුනේත් නැහැ. රටේ බොහෝ දෙනෙක් විශ්වාසය තැබුවේ සාම සාකච්ඡා පිළිබඳවයි. චන්ද්‍රිකාට 62.3%ක ජනමතයක් ලැබුණේ ඈ දැඩි සේ සාමයට කැප වී සිටි නිසයි. චන්ද්‍රිකා රජයේ බලය බෙදීමේ වෑයම අසාර්ථක වූයේ රනිල් ප්‍රධාන එජාපය දැඩි සේ විරුද්ධ වූ නිසයි. (මෙය ඉතිහාසය ගැන කරුණු ඉදිරිපත් කිරීමක් මිස ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ ලේඛකයාගේ එදා හෝ අද මතය ගැන අදහස් දැක්වීමක් නෙමෙයි.)

යහපාලන ආණ්ඩුවේ සාපේක්ෂ මෘදු පාලනයට හේතු වුනේත් පුද්ගල සාධක වලට වඩා රටේ පැවති දේශපාලන බල තුලනයයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සේ පත් වුනේ තනතුරේ බලය මිස රටේ දේශපාලන බලයක් රහිතවයි. දේශපාලන බලය බෙදී ගොස් තිබුනේ රනිල් හා මහින්ද අතරයි. රට තුළ දේශපාලන බලයක් නැත්නම් විධායක ජනාධිපතිවරයෙකුට වුවත් රිසි දේ කළ නොහැකියි. ශ්‍රීලනිප සභාපති ධුරය ලබා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන විසින් මුල සිටම උත්සාහ කළේ තමන්ට අහිමි දේශපාලන බලය කෙසේ හෝ ලබා ගන්නයි. එහෙත්, ඔහුට එය කරගත හැකි වූයේ නැහැ. මහින්දගේ ශක්තිය ලැබුණු කෙටි කාලය තුළදී ඔහු ක්‍රියා කළ ආකාරයෙන් වෙනස පැහැදිලි විය යුතුයි.

පාලනය දැඩි හෝ මෘදු වෙන්නේ ව්‍යවස්ථාව හරහා රටේ ප්‍රධාන තනතුරු වෙත බලය නාභිගත කර තිබීම හෝ පුද්ගල සාධක මත පමණක් නෙමෙයි. එය වැඩිපුරම තීරණය වෙන්නේ රටේ පවතින දේශපාලන බලතුලනය මතයි.

%d bloggers like this: