Menu Close

පමා වූ සටහනක්.



එදා ජූලි මාසයේ පහළොස්වන දා. බොහොම සැහැල්ලුවෙන් රාත්‍රී නින්දට ගියේ පසුවදා පාන්දර රාජකාරිය සඳහා කොළඹ යන්න හිතාගෙනයි. රෑ දොළහ හමාරට විතර මා තිගැස්සී ඇහැරුණේ කිසියම් අපහසුතාවකින්. ඒ කුමක්දැයි හරිහැටි මේ මොහොතේ අකුරු කරන්නට නොහැකි වුණත් බඩ පිපුමක්, පපුව මැද  රිදීමක් වගේ දෙයක් කියලයි දැන් හිතෙන්නේ. හරියටම ගෑස් වැඩි වුණාම දැනෙන අපහසුතාව  වගෙයි. මං ටිකක් වෙලා ඇඳේ ඉඳගෙන උන්නා. ඊට පස්සේ  වැසිකිළියට ගියේ ගෑස් වගේ දැනෙන අපහසුතාව සමහන් කරන්න පුළුවන් වෙයිදැයි බලන්නයි. වමනෙ ගතියක් දැනුණ නිසා  බඩේ අමාරුවක් වත්දැයි මට හිතෙන්න ගත්තා. එන්න එන්නම පපුවේ මැද හිරකරන්න  කරන්නා සේ දැනුණු නිසා මම ආයෙම නිදන  කාමරේට ගියා.

අවදි වෙලා පැයක් ගත් වුණාට පස්සේ මට හිතුණා බිරිඳට කතා කරන්න ඕනෑ කියලා. තද නින්දේ සිටි ඇය අවදි කරන්න ලෝබයි තමයි. ඒත් කිරි එකක් හදාගෙන බිව්වම ගෑස් ගතිය අඩු වෙන බව අත්දැකීමෙන් දැනගෙන උන්නා. එයා ඉක්මනින් තේ නොදා කිරි එකක් හදලා දුන්නා. ඒත් එන්න එන්නම පපුව තද කරන්නා සේ දැනුණා. ඇය බය වෙයි කියල මං වැඩියෙන්ම අමාරුව පෙන්නුවෙත් නෑ. ඒත් දිගටම මං අපහසුතාවෙන් ඉන්න බව තේරුම් ගත්තු ඈ වත්තට ගිහිං කෝමරිකා අත්තක් කඩාගෙන ඇවිත් ඒකෙ මදය කන්න දුන්නා. ඒ තමයි ගෑස් අමාරුවට අපි දන්නා බෙහෙත්.

තවත් ටික වෙලාවකින් මගේ මුළු ගතම දහඩියෙන් පෙඟෙන්න ගත්තා. අත් දිගේ වේදනාවක් උරහිසේ සිට පහළට  දැනෙන්න ගත්තා. පපුව මත විශාල බරක් තබා තියෙන විදිහක් තමයි මට දැනුණේ. ඔයාට අමාරුයි නේද කියලා එයා සැරින් සැරේ අහන්න ගත්තා. ඒ හින්දා මං අමාරුව නොපෙන්නන්න පුළුවන් තරම් උත්සාහ ගත්තා. මේ රෑ එයාව බය කරන්නේ මොකටද කියලා මං හිතුවා. මං බාත්රුම් එකට ගිහිල්ලා වමනය කළාම පෙර දා සවස ආහාරයට ගත්තු රටකජු වගයක් දිරවන්නේ නැතුව පිට වුණා. රටකජු වල තෙල් ගතිය වැඩි නිසා ගෑස් වැඩි වෙලා තමයි මේ අමාරුව කියල මං කිව්වා. 

පාන්දර දෙකහමාර විතර වෙනකොට ස්පිරිතාලයට යමු කියලා පවනී යෝජනා කළත් මම ඒකට එකඟ වුණේ නෑ. ඒ හොඳටම බය වෙලා හිටියේ. ඒ නිසා මං හැකි තරම් මගේ අපහසුතාවය නොපෙන්නන්න තවදුරටත්  වගබලාගත්තා. කෙමෙන් කෙමෙන් පපුව රිදෙන ගතියත්, බර ගතියත් අඩු වුණා. පාන්දර හතර විතර වෙද්දි මම සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා හිටියේ. එදා වැඩට යන්න ඕනෑ සඳුදා  දවසක් නිසා වෙනදා යන උදේ ට්‍රේන් එකෙන් කොළඹ යන්නම් කියලා මං කිව්වා. ඒත් එයා කිව්වේ එයත් ඉස්කෝලෙ යන්නැතුව නිවාඩු දානවා. උදේ ගිහිල්ලා ඩොක්ටර් කෙනෙකුට පෙන්නමු කියලයි. 

එළිවෙනකොට පොඩි හෝන්දු මාන්දු ගතියක් ඇරෙන්න වෙන අමාරුවක් මට දැනුනේ නෑ. ගෙවල් ළඟ පුංචි ටවුමේ දොස්තර එන්නේ උදේ හතට නිසා අපි ඒ වෙලාවට එතෙන්ට ගියා. දොස්තර එනකොට උදේ 7.30 ට විතර ඇති. මං රෑ වෙච්ච දේ පැහැදිලි කරලා ගෑස් අමාරුව විය හැකි බව දොස්තරට කියා දුන්නා. ඔහු ඒක පිළි අරන් ගෑස් වලට බේත් ලියා දුන්නා. අපි කෝකටත් ඊසීජී එකක් ගමු කියලා  ඔහු යෝජනා කළා. සමහර විට මා තනියම ගියා නම් මේ ගැන උනන්දු නොවෙන්නත් ඉඩ තිබුණා. කිට්ටුව තියෙන්නේ මාරවිල නර්සිං හෝම් එක නිසා එතෙන්ට ගිහින් ඊසීජී අරන් එතන ඉන්න ප්‍රධාන වෛද්‍යවරයාට පෙන්නන්න කියලයි උපදෙස් දුන්නේ.

උදේ අට වෙද්දී ECG ගත්තා. ප්‍රධාන වෛද්‍යවරයා ඇවිත් හිටියේ නෑ. නයිට් ඩියුටි කරපු තරුණ වෛද්‍යවරයා ECG එක බලල කිසිම වෙනසක් නැහැ කිව්වා. කලින් ප්‍රතිකාර ගත් වෛද්‍යවරයා ඊසීජී එක ප්‍රධාන වෛද්‍යවරයාටම පෙන්නන්න කියලා කිව්ව නිසා ඔහු එනතෙක් අපි රැඳුණා. ECG එක කීප වරක් බලපු වෛද්‍යවරයා කලින් දුන්න බෙහෙත් පැත්තකට විසි කළා. කිට්ටුව තියන ලැබ් එකට ගිහින් troponin l පරීක්ෂණ කරගෙන පෙන්න කියලා ඔහු කිව්වා. අතරට ආවම මේ ගැන කොළඹ සිටින අපේ ඉතා හිතවත් වෛද්‍යවරයෙකුට කීයමුද කියලා පවනී යෝජනා කළා. තියෙන කොට මටත් කිසියම් සැකයක් ඇති වෙලා තිබුණේ. ඒ නිසා මං දුරකථන ඇමතුමක් ගත්තා. 

මිතුරු වෛද්‍යවරයා කිව්වේ මේ සෙල්ලම් කරන්න වෙලාවක් නොවන බවයි. තැන් තැන් වලින් ටෙස්ට් කරන්නේ නැතුව ළඟම තියෙන නවලෝක හෝ ආසිරි ලැබ් එකට ගිහින් පරීක්ෂණ සිද්ධ කොට එහි ප්‍රතිඵල වහාම වට්සැප් කරන්නැයි ඔහු ඉල්ලා සිටියා. මට මහන්සි වෙන්නත්, වාහනේ පදවන්නත් තහනම් කළා. අපි එහෙමම මීගමුවේ නවලෝක රෝහලට ගියා. ලේ සාම්පලය දුන්නම පැය එකහමාරකින් ප්‍රතිඵල දෙන්නම් කිව්වා. ඒ නිසා ප්‍රතිඵලය ඊමේල් කරන්නැයි ඉල්ලූ අපි ආපහු ගෙදර යන්න පිටත් වුණා. ඉතා කෙටි කාලයක් තුළ ගුණ කාලය තුළ නවලෝක ලැබ් එකෙන්  අපට ඇමතුමක් ආවා. ඔහු ඇහුවෙ රෝගියා කොයි ඉස්පිරිතාලෙද ඇතුළත් වෙලා ඉන්නේ කියලයි. අපි වාහනය යමින් ඉන්න බව කිව්වම වහාම එන්නැයි ඔවුන් ඉල්ලා සිටියා.

troponin l  පරීක්ෂණ ප්‍රතිඵල අගය 28 ක් වී තිබුණා. URGENT යනුවෙන් වූ රතු පාට සීල් එකක් රිපෝට් එකේ සලකුණු කොට තිබුණා. කොළඹ සිටින අපේ හිතවත් වෛද්‍යවරයාට පැවසූ වහාම ඔහු එතැනින් එහාට මා සමග කතා කළේ නෑ. ඉතා පරෙස්සමෙන් රෝහල් ගත වන්නට සූදානමින් මා කොළඹ රැගෙන එන ලෙස ඔහු පවනීට උපදෙස් දී තිබුණා. මට හැදී තිබුණේ heart attack එකක්  ටක්කෙටම තේරුම් ගියේ එවිටයි.

මා මේ දීර්ඝ සටහන ලියන්නට තීරණය කළේ මේ සිදුවීම පිළිබඳ දන්නා මගේ හිතවතුන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මතයි. එනම් මෙවන් පපුවේ වේදනාවක් අපහසුතාවක් ඇති වූ විට වෙන වෙන ප්‍රතිකාර නොකොට රෝහල් ගත වීමේ වැදගත්කම තේරුම් කර දීමටයි. ටෙන්ට් එකක් ස්ටෙන්ට් එකක් දමා රෝහලෙන් පිට වී වසර ගණනාවක් ඕස්ට්‍රේලියාවේ සේවය කොට නැවත පැමිණ සිටින  මගේ හිතවත් වෛද්‍යවරයා මුණ ගැසුණු විට ඔහු පැවසුවේ පපුවේ අමාරුවක් හැදුණාම ගෑස් වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ඉන්නේ ලංකාවේ විතරයි කියායි. මුලින්ම කරන්න ඕනේ වඩාත්  වැඩි අවදානම ගැන සැලකිලිමත් වෙන එක නොවේදැයි ඔහු විමසා සිටියා

(මේ සිද්ධියේ කියවෙන සියලුම වෛද්‍යවරුන් ලංකාවේ එම්.බී.බී.එස් උපාධි ලැබූවන් බව සඳහන් කරන්නේ කිසිවෙකුටත් අපහාසයක් ලෙස නොවේ .වෛද්‍යවරුන් යනු විශ්මකර්මයින්  නොවන බව සැබැයි. ඒත්  රජයේ රෝහලක සේවය කරන පළමු වෛද්‍යවරයාම මෙය guess නොකළේ ඇයිද කියා ඇති වෙන සිතුවිල්ලෙන් මට මිදෙන්නට බැහැ.)

සෙස්ස පස්සට…

henry-warnakulasuriya-alochana
%d bloggers like this: