Menu Close

බක්කරේගේ Pork දානය – පළමුවෙනි කොටස

එදා නම් අපට කෙළවුණේය; හොඳටම කෙළවුණේය.

වස්ගමුව අද්දරදී හැන්දෑව මනස්කාන්තය! (foto- මිෂාන් රන්දික)
“දැන් කොහොමද park එකට ඇතුල් වෙන්න දෙන්නේ? මෙතැන භාරව ඉන්න officer හැටියට අපට උපදෙස් දීලා තියෙන්නේ ගොඩක් හවස් වුණාට පස්සේ විසිටර්ස්ලව පාක් එකට යවන්න එපා කියලා. ප්‍රොසීඩියර් එක එහෙමයි. 
-පාර්ක් එකට ගිහින් ඉන්න groups වුණත් එළියට එන්න ඕනේ හවස හය වෙද්දී! දැන්…. දැන්මම හයයි…. බෑ බෑ. ට්‍රැකර් කෙනෙකුත් එක්ක ඔය මහත්තයලව එහාට යවලා මට risk එකක් ගන්න බැහැ.” 
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ පාලක මහත්තයා අපට යාන්තමින්වත් බුරුලක් පෙන්නුවේ නැත. 
“ඔබතුමාගේ තත්ත්වයත් අපිට තේරෙනවා. එද්දී අපේ වාහනේ කැඩුණා. හදාගෙන එනකොටයි පරක්කු වුණේ!

කැඩිච්ච වාහනේ හදාගෙන එනකොටයි පරක්කු වුණේ!

ඒ නම් පට්ට බොරුවකි. 

සිද්ද වුණේ ඉලුක්කුඹුරේදී අපේ අයියලා පමණට වැඩි වෙලාවක් තිස්සේ පස්වෙනි සිල් පදය කඩමින් හිටි එකය. 

මුල්ම කාලයේ අප වස්ගමුවේ ආවේ-ගියේ මාතලේ- රත්තොට- රිවර්ස්ටන්- ඉලුක්කුඹුර- ලග්ගල- හෙට්ටිපොළ හරහාය. ඒ කාලයේ මහියංගනයට යන දහඅට වංගු පාර අබලන්ය. දඹුල්ල- බකමූණ- ලග්ගල පාරවල් තිබුණෙත් නැතිවා වගෙය. 

ඉතින් එහෙම එන අතරේ ඉලුක්කුඹුරේදී වැස්ස නැති කාලයට පාරට යටිනුත්, තද වැහි කාලයක නම් මහපාරටත් උඩින් ගලන (තෙල්ගමු ඔය වගෙය මතක.) ගඟේ ගිලිලා නාන්නට ගෙදර ඉඳලාම පේවෙමින්ය අප එන්නේ. 
දවල් කෑම උයාගෙන එන නිසා එතැනදී කෑම කන්නේ නාලාමය. කොටසක් ස්නානය කරද්දී, ඊට කලින් තව කොටසක් අමතර ජීව බලය ලබාගනිති. 
ඒගොල්ලන් ඒකට ගියාමත්, අප නිල්කැටේට ගලන සීතල වතුරට බැස්සාමත් සූරිය දිවිය රාජයා ගමන නවත්තනවා වගෙය. “මේ, අද තමුසෙලා වස්ගමුවට යන්නේ නැද්ද?” කියා ඔරලෝසුව බලන්නේ මං වහන්සේය.
සීතල වතුරේ දෙපා ඔබාගෙන, හීල් හෙවණේ සුරාමේරය ශික්ෂාපදය කඩන වෙලාවට……….
කල්ප විනාශයට කලින්, ඒ පණිවිඩය ගෙනෙන බූමාටු දෙවියන්ට වෙන වැඩේමය, අරහෙම කිව්වාම මට වෙන්නේ. 
“ඔන්න පැන්නා. යං, යං, යං. ගෙදර ඉන්නකල් ගමන එනතුරු සිහිය නැහැ. ට්‍රිප් එකක් එන්න තියෙද්දි මේකට රෑට නින්ද යනවද අහපල්ලකෝ. එහෙමත් ඉඳලා ආවට පස්සේ යනතුරු සිහිය නැහැ. අනෙක් සැරේ මේකව දාලා එමු මචං!” ඉස්සෙල්ලාම බැණුම පටන්ගන්නේ නෙවිල්ය. 
“ඔව් බං….. මොකෝ, වස්ගමුවට යන්න නැකතකුත් තියෙනවද?”
එදා නම් මටත් තරහ ගිය හින්දා, ආපහු වෙලාව මතක් කළේ නැත. 
එයාලාටම ඇතිවෙලා, බීම නවත්තලා, නාලා එනකොට අපි කාලාත් ඉවරය. අපිය කිව්වේ මාත්, මර්විනුත් දයානන්දත්ය. 
බේකරියකුත්, සිල්ලර කඩයකුත් කරන නිසා දයා අපේ tripවලට එන්නේ අඩුවෙනි. බොන්නෙත් අඩුවෙනි.

අඩෝ බක්කරයා, තොටත් එහෙනම් පස්සේ ආපු අඟ ලොකු වුණා?

“අඩෝ බක්කරයා… උඹටත් එහෙනං පස්සේ ආපු අඟ ලොකු වුණා! බොන්නත් නෑවිත් උන් එක්ක බතුත් කෑවා, අපිව හළලා. කැx වැඩ එපා බං.” 

“උඹල නං කියයි. මං ෂොට් එකක් දාගත්තා…. ආතල් එකේ නෑවා. මෙච්චර පිරිසිදු වතුර ටිකක්වත් හිතේ හැටියට නාගන්නේ නැතිනං ට්‍රිප් එන්නේ මොකටද මචං… නැද්ද නිමල් අයියේ.”
“ඔව්, ඔව්. උඹ ඉතින් එයාටම මුට්ටිය අල්ලපන්. තෝ හැම පක්ෂෙකටම sweeping දෙන එකානෙ. දැන් නිමල් අයියට පන්දම අල්ලනවා. අද රෑට set වෙනකොට මූව හළමු මචං.” 
“අනෙඃ, තියාගනින් උඹලගෙ අරක්කු. ඕව ලොකුයි ඉතින් බීම නොදැකපු එවුන්ට. 
-නිමල් අයියේ, ඔයා දන්නෙ නැහැ. අරූ ගමේ හැලි අරක්කු බිබී හිටි එකා. දැන් ලොකු වංශේ එව්වා විතරලු බොන්නෙ. අනේ හුxx!” දයා උත්තර දුන්නාම රණ්ඩුව ඇවිලෙයි. 
වහසි බස් එහා-මෙහා හුවමාරු වෙන්නේ ලොකු දබරයකදී වගෙය. කියන සමහර කතන්දර…….!

ඇතිවෙන fight ෆිල්ම් එකක වගෙය. ඇත්තටම නොවේ, බොරුවටය……..

ඒ කතන්දරවලට වෙන මිනිහෙකු නම් මරාගෙන මිස පස්ස බලන්නේ නැත. 

“අපේ කඩේට හැම පක්ෂෙකම මිනිස්සු එනවනේ නිමල් අයියේ. ඡන්දේ දෙන එක වෙනයි. හැමෝම එක්ක හොඳින් ඉන්න එක වෙනයි. එහෙම නැතිව කොහොමද ගමක වෙළෙඳාම් කරන්නේ. මොකා හරි ඇවිත් පෝස්ටර් අලවන්න ස්වීපින් ටිකක් ඉල්ලුවොත් මම දෙනවා. මොකද බේකරිය අතුගාලා අහක දමන පිටිනේ. ආයිමත් ඒවායින් පාන් හදන්නයැ?” 

දයානන්ද මුදලාලි ඇඟපතින් ලොකුය. හොඳහිතින් ඊටත් වැඩිය ලොකුය. 
යහළුවන් මොනවා කිව්වත් හිනාවෙලා, සමහර වෙලාවට බොරුවට ගහන්නටම ගිහිල්ලා හිඳින කෙනෙකි. අනුන්ව බයිට් එකට ගන්නවාට වඩා bite වෙන එක්කෙනෙකි! 
ඔය, මේ වගේ එව්වා හින්දාමය එදා අපි වස්ගමුවේ පිවිසුමට එනකොට පහමාරත් පහුවෙලා තිබ්බේ. 
ඉතින් මෝඩකමට බෙහෙත් නැහැ කිව්වා වගේ, මඟදී වාහනය කැඩුණු බව කිව්වා විතරය…..

මැදපිටියට යන පාරත් හොඳ නැහැනේ. යද්දී වාහනේ ආයෙම කැඩුණා. මිස්ටර්ලා විතරක් නෙවෙයි අපිත් අමාරුවේ වැටෙනවා නේද? (මේ 2007 වසරේ ඒ පාරේ තත්ත්වයයි. දැන් හොඳය.)

“ඒකම ඇති මිස්ටර් ඔයාලව මේ හවස් වෙලාවේ මැදපිටියට නොයවන්න. කැඩිලා හදාගත්ත වාහනේම නේද යන්නේ. 
එහාට යන අතරේ හදිස්සියේ හරි ආපහු වාහනේ කැඩුණා. මිස්ටර්ලා ඔක්කොම ලොකු danger එකක වැටෙනව නේද?” 

අපට කට උත්තර නැතිව ගියෙත් නිදහසට කියූ බොරුව හින්දාය. 
ඒකම බූමරංගයක් වෙලා ආපිට කැරකිලා ආවේය. “Sorry, අද රෑට ගෙස්ට් එකක හරි නැවතිලා ඉඳලා හෙට උදෙන්ම එන්න. එතකොට මිස්ටර්ලට ඇතුල්වෙන්න දෙන්නම්!” 
කොච්චර ගමන්-බිමන් ගියත් අපේ නඩේ කාල කළමනාකරණය නිල්ය. 
එතකොට හැම වැඩක්ම හොඳටම පරක්කුවී කරන්නට; හැම වැඩකටම පරක්කුවී එන්නට, නම් දරා හිටි නිල් නායිකාව රටේ බලවත් තනතුරට පත්වෙලා තිබුණේ නැත. එහෙම වුණා නම් එදා ‘පරක්කුවෙලා ඇවිත්, අද කෙළවගත්තා ඇති නේද’ කියා ඇරඹුණු මගේ දෝෂාරෝපණ වැලට මෙහෙම උත්තරයක් ලැබෙනවා සිකුරුය. 
“යකෝ, අපි පොඩ්ඩක් පරක්කු වුණාම මොකද වෙන්නේ. බලහංකො, සැටලයිට් නෝනා පරක්කු වෙන විදිහ- පැය ගණන්!”

වමේ සිට- මහවැලියේ, මැදපිටියේ කොන්ක්‍රීට් අට්ටාල හා වවුල් දොර වැසිකිළිය…. මුලින් මේ අට්ටාලවලට නඟින්නට තිබුණේ යකඩ බම්බු ඉනිමඟක් විතරය. වම් කොනේ ඡායාරූපයේ ඈතින් එවැන්නක් පෙනෙයි. දැන් සිමෙන්තියෙනුත් පඩි බැඳලාය! 

අප ගියේ වස්ගමුව වනෝද්‍යානයේ මැදපිටිය කඳවුරු බිමේ නවාතැන් ගන්නට බලාගෙනය. එතකොට කවුදෝ භූතයෙකුගේ මනදොල සපුරන්නට මහා කැලය මැද්දේ එතැන සිමෙන්ති අට්ටාල ඉදිකොට තිබුණෙත් නැත. 


වැසිකිළියට යන අයගේ සරුවාංගයෙන් බාගයක් එළියට පෙනෙන විදිහට, වවුල් දොරවල් සහිත වැසිකිළි දෙකක් හදලා තිබුණෙත් නැතිය. 

කූඩාරමක් අටවාගන්නා වපසරියක- හතරැස් කොටුවක් වටේට, කළුගල් අත්තිවාරමක් විතරක් බැඳලා වැලි පුරවලා තිබුණේය.
එහෙම වුණත් ඒ නිස්කලංක, නොයිඳුල් කූඩාරම් භූමිය අප හැම දෙනාගේම හිත ඇදගත්තේය. කොච්චරද කියනවා නම් එක දිගට අවුරුදු 15ක්ම සිංහල අලුත් අවුරුදු උදාව සිදු වෙද්දී අප ඉඳලා තිබුණේ මැදපිටියේය. ඒ සැරෙන්-සැරේ නිවාඩුවක් ලැබුණාමත් එහාට ගිහින් තිබුණාට අමතරවය. 
(රාජමණි අංකල් අසනීපවූ නිසා අපේ නඩය මැදපිටියට ගිය පළමු ගමනය, මට මිස් වුණේ!).
අර කොන්ක්‍රීට් අටමඟල්වලට පින්සිදු වෙන්නට ඕනෑය. අපට කැවිලා තිබුණු ඒ මැදපිටි ඉනාවේ බලය නම් දැන් නැතිවෙලා ගිහින්ය.
තමන්ට රිදෙන විදියේ දෙයක් වුණාමය අපට ක්‍රිස්තියානි, බෞද්ධ, හින්දු, මුස්ලිම්කාරකම් මතක් වෙන්නේ!

කලින්ම මුදල් ගෙවා වෙන් කරගෙන තිබිලාත්, එච්චර පුරුදු තැනක් වෙලාත්, එදා අපට එහි යන්නට නොදීම- ඒ පාලක නිලධාරියාගේ නීතිගරුක බව පෙන්වීමකි; අපෙත්, වනජීවී නියාමකවරයාගේත් ජීවිත අනතුරකට ලක් නොකිරීමකි. 


ඒත් අපෙන් සමහරෙකුට ඒක පෙනුණේ ‘හම්බ කමක්’ විදිහටය. 

“දැක්කනෙ, office එකට යන්නත් කලින්ම ට්‍රැකර්කාරයා කිව්වේ, මේකා හෙණ නීතිකාරයා කියලා. දැක්ක නේද තම්බියාගේ ගතිය. මරක්කලයෝ ටිකක් ආවා නම් යසට යන්න දෙයි!” 
ඒ අපේ සිංහල ගතියයි. වැරැද්ද අපේ අතේ තියෙද්දී වෙනින් අයට වැරැද්ද පැටවීමට අප කැමතිය. 
“පේනවනේ නිමල් අයියේ, ඒකා හරියට dutyය කළාම තමයි ජාතියත් හොයන්නේ.” එක්කෙනෙකු කිව්වේ හෙමිහිටය. (අද කතාවේදී නම්-වනම් කියන්නේ ඉතාම සීමිත කිහිප දෙනෙකුගේ විතරය. නැතිනං මටත් වෙන්නේ මිතුරන් එක්ක පැටලෙන්නටය.)

දැන් ඉන්න සර් හෙණම නීතිකාරයා…. රූකඩයක් වෙන මිනිහෙක් නෙවෙයි!

“දැන් ඉන්න සර් හරි නීතිකාරයා…. මුස්ලිම්. අද නම් සර්ලට යන්න දෙන එකක් නැහැ. දැනටමත් හයයිනේ.” අපේ හිතවත් නියාමකවරයා හෙම්බත්වීගෙන පෙරමඟ බලා ඉඳලාම කිව්වේය. 

වස්ගමුව වනෝද්‍යානය අපේ ගම වගේ වෙනවාත් එක්කම, මැදපිටිය කඳවුරු බිම ගෙදර වගේ වෙනවාත් එක්කම එහි සේවය කළ කිහිප දෙනෙක්ම අපේ හිතවත්තු වූහ. 
එවැනි එක හිතවතෙකු වවුල්ඇබේ බංගලාවේ සේවය කරමින් සිටියදී සාහසික ලෙස ඝාතනය කර දමා තිබී සොයා ගැනිණි. 
අප වවුල්ඇබේ බංගලාවේ නැවතී උන් දිනවල බංගලාවේ භාරකරු ලෙසින් කටයුතු කළ ඔහු ගී කීමට විතරක් නොවේ නටන්නටත් රුසියෙකි. 
“එයා ගමේ මිනිස්සුත් එක්ක මොකක්ද හුටපටයක් හදාගෙන. ගෑනු කේස් එකක්ය කියලත් කියනවා…. බංගලාවේ කවුරුවත් නැති දවස්වල ගඟෙන් එගොඩ වෙලා ගමටත් යනවලු… ගමේ මිනිස්සුත් එනවලු, බීලා පාටි දාන්න…. එහෙම ගිහින් තමයිලු වැඩේ දෙල් වෙලා තියෙන්නේ.”

පස්සේ අපට ආරංචි වුණේ ඒ මිනීමැරුම ….

පස්සේ අපට ආරංචි වුණේ එහෙමය.

වස්ගමුව වනෝද්‍යානයේ එක මායිමක් වෙන් කෙරෙන්නේ මහවැලි ගඟෙනි. වවුල්ඇබේ බංගලාව හා කඳවුරු බිමත්, මහවැලි- හතරමංහංදිය කඳවුරු බිමුත් තියෙන්නේ මහවැලි ගං ඉවුරේමය. 
එහෙම නිතර යන-එන නිසා හඳුනන; සහයෝගී; ප්‍රසන්න ට්‍රැකර් කෙනෙකුට කල් ඇතිවම අපේ පැමිණීම දන්වා තියන පුරුද්දකුත් අපට තිබෙයි. එහෙම කරන්නේ සමහර වෙලාවට මෙලෝ රහක් නැති නියාමකවරුන්ද හමුවී තියෙන නිසාවෙනි. 
“සර්ලට අද රෑ නවතින්න තැනක්…..” අපේ හිතවතාගේ හිතට හරි නැත. එදා, මනුස්සයා කල්පනා කළේම අපට නවතින තැනක් සොයා දෙන්නටය.
ඒ කාලයේ හුඟක් දවස්වලට වල්අලි ගම වදිමින් හිටියෝය. 
“ සර්ලා නං සල්ලිත් වියදම් කරගෙන අලි බලන්න කැලෑ වදිනවා. ඊයෙත් රාත්තිරියේ ආං අලි රංචුවක්ම ගමට පැනලා. ගෙදරක බිත්තියකුත් කඩලා, අටුවේ තිබුණු වී ටික බීලා!”
වස්ගමුවේ අලි වරින්-වර ගම් වදින්නේ විදුලි වැටවල් පවා තිබියදීය…… (foto- මිෂාන් රන්දික)

වී බොන්නේ කොහොමද කියලා මං දැනගත්තේ, අතරමඟ තේ කඩයේදී ඒ කතාවෙ සුල-මුල හෙව්වායින් පස්සෙය.

“ඒක නං බලන්න ලස්සනයි සර්. වී ගොඩට හොඬවැල තියලා ‘හූස්’ ගාලා අදිනවා විතරයි. විනාඩි ගණනයි යන්නේ. වී ගොඩ ඉවරයි. වැඩේ කියන්නේ සර්, වෙඩි තියන්නත් තහනම්නේ. අලින්ට අපිව මරන්න පුළුවනි…. අපිට අලි මරන්න තහනම්….” 
“මේ දවස්වල ඔයා අපිට තැනක් හොයලා දෙන්න ආවත් තනියම එපැයි, ආපහු එන්න. රෑ වෙද්දී අලිත් පාරට බහිනවනේ. අපිට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 
-සැරේකුත් අපි හොඳටම රෑ වෙලා ඇවිත් නැවතුණු  පන්සලකුත් තියෙනවා. ඇබිත්ත කොල්ලත් අපි එක්ක ඉන්නවනේ….ඌ හාමුදුරුවොන්ව ෂේප් කරගනියි….” 
ඒ ඇනුම් පදය මටය; මා අවුස්සන්නටය. 
“ඔව්, ඔව්. මම මේ දැන් ඉඳලම ප්‍රැක්ටිස් කර-කර ඉන්නේ, හාමුදුරුවන්ට පසඟ පිහිටුවලා වඳින්න!”
එවන් තැන්වලදී මං ඉස්සරහට යන්නේ හාමුදුරුවන් වහන්සේ සමඟ………

“කවුද ඩෝ අපේ නිමල් සහෝදරයට පාට් දාන්නේ? ඔව්වා ගණන් ගන්න එපා රත්තරන් අයියේ, කොහාටද දැන් අපි යන්නේ?” 

වනජීවී නියාමකවරයාට සමුදීලා අපි පාරට වැටුණෙමු. “කෝ ඉතින් තාම කිව්වේ නැහැනේ. කොහාටද යන්න ඕනේ?” 
‘ඕනේ මඟුලක!’ නැති තරහක් මවා පෙන්නුවත් පාර කියන්නෙත් මං වහන්සේමය. හදිසි අවස්ථාවලදී මං ඉස්සරහට යන්නේ උපුල් සාන්ත සන්නස්ගල මහත්තයා මට කියා ඇති විදිහට නම් ‘නිමල්ගේ මුස්ලිම් talk එක’ දාන්නටය. 
සුනාමියක් එනවා කියා පණ කඩාගෙන වැලිකන්දේ පන්සලට දිව්ව දවසෙත් ‘ඒ ශිල්පෝපක්‍රමය’ තිතට වැඩ කළා මතකයි නේද? 
අප ගියේ හඳුන්ගමුවේ ඥාණේශ්වර පිරිවෙනටය. වස්ගමුව වන උයනේ පිවිසුම් ගේට්ටුවේ සිට විනාඩි දහයක්-පහළොවක් තරම් දුරකිනි, ඒ පිරිවෙන තියෙන්නේ.
ආවාස ගෙයට යන්නට වෙන්නේ මටය; වඳින්නට වෙන්නේ මටය. එහෙම කරලා එද්දී……….

“අවසරයි අපේ හාමුදුරුවනේ…..” ලොකු හාමුදුරුවන් වහන්සේට කතා කරන්නට ආවාස ගෙට යන්නට වෙන්නේ මටය. 

වඳින්නට වෙන්නේ මටය. අනෙක් එවුන් මෝල්ගස් ගිලගෙන ඉන්නා හින්දා කොන්ද නැමෙන්නේ නැත. 
“ඔයා විතරක් ගියාම ඇති නිමල් අයියෙ! මෙච්චර රෑ වෙලා අපි සේරම ආවොත් හාමුදුරුවෝ බය වෙයි ත්‍රස්තවාදියෝ ආවයි කියලා.” 
“තමුසෙලත් එන්නෙ නැත්තං ඔන්න මම යන්නෙත් නැහැ!” 
එහෙම වෙලාවට එයාලාව අවුස්සන්නට මමත් රඟමි. “පිස්සු නටන්න එපා නිමල් අයියේ. දැනටත් පන්සලේ අය බලාගෙන ඇති, වාහනයක් ආවට මොකද මිනිස්සු එළියට බහින්නෙ නැත්තේ කියලා. ඔයාට ගිහින්…” 
එහෙම කියලා මාව පිටත් කළත්, නවතින්නට අවසර රැගෙන එද්දී ඒවා වාෂ්ප වෙලා ගිහින් මාව පාච්චල් කරන- යකා ආවේශ කරවන කතන්දර එළියට පනියි. හැමදාම එහෙමය.
…. කේන්ති ගැස්සිල්ල කවදාවත් වෙනස් වෙන්නේ නැතිය. මං වෙනස් වෙන්නෙත් නැතිය!

කවදාවත් උන් හැදෙන්නෙත් නැත; මං හැදෙන්නෙත් නැත. 

ආවාස ගෙදරට ගොඩ වැදෙනකොටත් ලොකු හාමුදුරුවන් වහන්සේ මා හඳුනාගෙන අහවරය. “අවසරයි අපේ හාමුදුරුවනේ!” 
අපේ දේශපාලන උපාසක ලොක්කන් පන්සල්වලදී හැසිරෙනවාටත් වැඩිය සාන්ත-දාන්තය, එහෙම වෙලාවට නිමල් දිසානායකගෙ ඇවතුම්-පැවතුම්! 
මම දණ බිම ඔබා වැඳ වැටෙන්නෙමි. 
එහෙම වෙලාවට පන්සල්වල උන්නාන්සේලාත් හැසිරෙන්නේ මවුකිරි බීලා හැදුණු අය වගේ නොවේය. පට්ට අහිංසක තාලෙටය. 
එන උපාසකයා කීදෙනෙකු මරලා තිබුණත්; ගැහැනු සීයක් දූෂණය කරලා තිබුණත්; මහා දවාලේම ඇවිත් නිදන් හාරලා තිබුණත්; රටටම රහසක් නොවෙන්නට හොර ජාවාරම් කරලා තිබුණත් කමක් නැත. 
උන් දෙන දොළ පිදේනි භාරගනියි; පිරිත් නූල් බඳියි; තවත් වෙලාවට සධාතුක කරඬුවකුත් හිස මුඳුනේ තියයි.
හුඟක්ම වෙලාවට කුල දේවතාවුන්නාන්සේලාත්, උපාසක-උපාසිකාවනුත් කරන්නේ එකිනෙකා රවටාගැනීමය!

දෙගොල්ලන්ම කරන්නේ අනෙකාව රවට්ටන එකය. 


මගේ නසරානි ගතිය නිසා එහෙම හිතනවා වුණත්, එදා ඒ ලොකු හාමුදුරුවන් වහන්සේ නම් කළේ එවැනි රැඟුමක් නෙවෙයි වෙන්නැති.  

“ආ….. පොත් ගෙනාව මහත්තයානේ…. අදත් රෑ වුණාද මහත්තයෝ. කාරි නැහැ, කාරි නැහැ. පාලුවට තියෙන බණ මඩුව ගෙවෙන එකක්යැ මහත්තයලා රැයක් නිඳාගත්තට. 
-ගිය වතාවෙත් මං එපා කියද්දී මහත්තයල සල්ලිත් දීලා ගිහින්, ආයෙම එද්දි පොත් වගේකුත් ගෙනාවේ, දහම් පාසලට. මට මතකයි…” 
“එහෙයි හාමුදුරුවනේ.” 
“එතකොට මහත්තයල නවතින එකේ ප්‍රශ්නයක් නම් නැහැ. ඒත් මහත්තයලට අද රෑ කෑම….”
“එදා වගේම අපට උයාගන්න පුළුවන් හාමුදුරුවනේ, පන්සලේ කුස්සියේ උයාගන්නේ නැතිව බණ මඩුවට එපිටින්…………..”
පන්සලේ කුස්සියේ නැතිව, බණ මඩුවට එපිටින් ළිපක් හදාගෙන අපේ කෑම ටික…..

එහෙම වෙලාවට ටිකාක් තාවර වෙන එක විතරය කරන්නට තියෙන්නේ. 


“ඔව් ඉතින් අපි තවමත්, පන්සලේ කුස්සියට මස්-මාළු-පිළිහුඩු ගන්නෙ නැහැ මහත්තයෝ. එහෙම හොඳයි…. මොකුත් අඩුපාඩුවක් තියෙ නං, මේ සුමන පොඩි උන්නාන්සේගෙන් ඉල්ලා ගන්න බැරියැයි. පොඩි තැන … ගෙහුං මේ මහත්තැන්ලට පොඩ්ඩක් උදව් වුණා නං…..” 

‘සුමන’ කියලා ලිව්වාට මට උන්නාන්සේගේ නම නම් අමතකය! 
සමහර වෙලාවට උන්නාන්සේටත් ඒ නම අමතක වෙලා වෙන්නටත් පුළුවන්ය.
කලින් වතාවේ අපට එහි යන්නට වුණේ හොඳටම රෑ බෝවී තිබුණු හින්දාය. ඒ එහි ගිය මුල් වතාවයි. 
“උයාගන්න නං කුස්සිය පාවිච්චි කරන්න පුළුවනි මහත්තයෝ. ඒත් අපි එහාට පිළිහුඩු ජාති වද්දගන්නේ නැහැ.” ලොකු හාමුදුරුවෝ කියූහ. ඒ කතාව මට මතක තිබිණි.

අපේ කට්ටියෙ සර්දාවට වඩා මගේ බුරාපැනිල්ල බලවත් වුණු නිසා……..

අපේ කට්ටියගේ ශ්‍රද්ධාවට වඩා මගේ බුරාපැනිල්ල බලවත් වුණු හින්දා ඒ වතාවේ වැව ළඟදී, පාරෙන් එහා පැත්තේ තිබෙන වෙල්යායේ නියරක් මත ළිපක් හදාගෙනය කුකුළු මස් උයා ගත්තේ. 

මේ වතාවේ? මෙදා පාර අප ලග්ගලෙන් අරගෙන ගිහින් තිබුණේ වල් ඌරු මස් වගයකි. වගයකුත් නොවේ; තොගයකි! 
දැනුත් තියෙනවාද කියලා නම් නොදනිමි. ඒ දිනවල නම් ලග්ගල නගරයේ පාර අද්දරම……..
%d bloggers like this: