Menu Close

තර්කොව්ස්කි ගේ ස්ටෝකර්

ස්ටෝකර් 

මලින්ත විතානගේ නමැති මහත්මයෙකු විසින් තර්කොව්ස්කි ගේ ස්ටෝකර් නමැති චිත්‍රපටය පිලිබඳ විචාරයක් ලියා තිබුණි. ඕනෑම කෙනකුට තමන් ගේ දැක්ම පරිදි විචාරයක් ලිවිය හැකි බව සැබෑය. එහෙත් මේ විචාරයේ කියන කරුණු පිළිබඳව බරපතල කුකුසක් මගේ සිතේ පැන  නැගුණි.
ඒ මෙසේය.
එය සුවිශේෂී චිත්‍රපටයක්  බව සැබෑ නමුත් ඔහුගේ විචාරය චිත්‍රපටය තර්කොව්ස්කි නිපදවූයේ ඇයිද යන්න හෝ තර්කොව්ස්කි ගේ පසුබිම වටහා නොගෙන ලියන ලද්දකි.
ඔහු මෙසේ ලියයි.
//තර්කොව්ස්කිගෙ යුගය කියන්නෙ ඒ වෙන කොට රුසියාවේ තිබුණු සමාජවාදී රාජ්‍ය බිඳවැටිලා ඒ අය ගොඩනගපු නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම විතැන්වෙන්න ගත්තා. .//
මෙය නිවැරදි නොවේ. මලින්ත බිඳක් හොයා බැලුවා නම් තර්කොව්ස්කි උපන්නේ 1932 අප්‍රේල් 4 වනදා බවත් ඔහු මිය ගියේ 1986 දෙසැම්බර් 26 බවත් පැහැදිලි වනු ඇත. මා ශිෂ්‍යත්වයකින් සෝවියට් දේශයට ඉගෙනීමට ගියේ 1984 දීය. එවිටත් සමාජවාදී ක්‍රමය පැවතුනු අතර එහි ජනාධිපතිව සිටියේ කොන්ස්ටන්ටින් චෙර්නෙන්කෝ ය. එනිසා රුසියාවේ සමාජවාදී ක්‍රමය තර්කොව්ස්කි ගේ යුගයේදී බිඳ වැටී තිබුනා යන්න මුසාවකි. සෝවියට් දේශය බිඳ වැටෙන්නේ 1991 දීය. ඒ ගැන වෙනම  මගේ බ්ලොගයේ කතිකාවක් යන නිසා හා  ලිපි ලියවෙන නිසා ඒ ගැන මෙහි සඳහන් නොකරමි.

ඉන්පසු  ඔහු පවසන්නේ රුසියාවට පශ්චාත් කාර්මික  යුගයක් එළඹී බවයි.
//අපි ඒකට කියනවා පශ්චාත් කාර්මීකරණ යුගය කියලා. ඒ රටවල තිබ්බ විශාල කර්මාන්ත ශාලා ඊට වඩා ශ‍්‍රමය මිල අඩු රටවලට විතැන් වෙන්න ගන්නවා// එවැන්නක් සිදුවූයේ නැත. අඩු ධාරිතාවයකින් හා අඩු කාර්යක්ෂමතාවයකින් පවා 1991 දක්වා සෝවියට් දේශයේ කර්මාන්තශාලා පැවතුනි. පුටින් බලයට පත්වූ පසු මුදල් නොමැතිව වසා දැමුණු බොහොමයක් නැවත අරඹා තිබේ.

 පශ්චාත් කාර්මීකරණ යුගය ඇරඹුණේ බ්‍රිතාන්‍ය වන ධනවාදී රටවලය. බ්‍රිතාන්‍ය ය ඇමෙරිකා  එක්සත්ජනපදය වැනි  රටවල //තිබ්බ විශාල කර්මාන්ත ශාලා ඊට වඩා ශ‍්‍රමය මිල අඩු රටවලට විතැන් වෙන්න ගන්නවා//තිබු විශාල කරමාන්ත ශාලා විතැන් වුයේ දකුණු කොරියාව චීනය වැනි රටවලටය. සර්විස් (සේවා සපයන ) ආර්ථිකයේ කෝල් සෙන්ටර් හෙවත් දුරකථන යෙන් උදව් කරන ඔපරේටර් ලා ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බිහි වුනි. ඒවා විතැන් වූයේද ධනවාදී රටවලිනි. එසේම  මේ රටවල ඇඟලුම් කර්මාන්ත ශ්‍රමයේ මිල අඩු ශ්‍රී ලංකාව , බංගලා දේශය වැනි රටවලට විතැන් වුනි. දැන් එංගලන්තයේ නිෂ්පාදන ආර්ථිකයක් ඇත්තේම  නැත. කම්කරු පක්ෂයේ කෝබින්  කියන්නේ මේවා නැවත ගොඩ නැගිය යුතු  බවය. රුසියාවේ මෙවැන්නක්  සිදු වූයෙම නැත.
ඉන්පසු මලින්ත විතානගේ ලියන්නේ මෙසේය.
// නමුත් මේ වන විට පරම්පරා කීපයක් මේ නිෂ්පාදන ආර්ථිකයත් එක්ක බැඳිලා තිබුණෙ. එකපාරටම ක්ෂිතිමය අත්දැකීමක් වෙනවා මහා අනෙකාගේ අහිමිවීම. තමන් මෙච්චර වෙලා ජීවත් වෙමින් හිටපු මහා සමාජායේ අර්ථ සමුදාය එකපාරටම නැතිවෙලා යනවා. ඇත්තටමත් තර්කොව්ස්කි හිටපු සමාජයේ සුවිශාල ගොඩනැගිලි තිබිලා තියෙනවා. මේවා මොකට තිබුණද කියලා ඊළඟ පරම්පරාවේ අය දන්නෙත් නැහැ. එතකොට ඒ අයට වඩා විශාල සමාජයක් තිබිලා ඒක අහිමි වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඔය අර්ථයෙන් තමයි තර්කොව්ස්කි මේ රූපික ගන්නෙ.//


 මලින්ත මහතා නොදැන සිට ඇත්තේ තර්කොස්කි මේ චිත්‍රපටය කරන ලද්දේ පොතක් ඇසුරින් බවයි. මේ පොතේ නම රුසියානු භාෂාවෙන් පික්නික්  නා අබෝචින්යේ Пикник на обочине එනම් මාවත  අද්දර විනෝද ගමන (Roadside Picnic) වන අතර එය ලියා ඇත්තේ අර්කාදී හා බොරිස් ස්ත්රුගත්ස්කි විසිනි. 

ඉනිමන්කඩ මහතාට ඔහුගේ කර්තෘ පරිවර්තකයෙකු ලවා  මෙම පොත පරිවර්තනය කර මුද්‍රණය කල හැකිය.  එම පොතේ ඇත්තේ දිස්ටෝපියානු කතාවකි. (එනම් සමාජවාදී යුතෝපියාවට විරුද්ධ – වඩා හොඳ වඩා සාධාරණ හැමෝටම අවශ්‍ය ලෙස හැමදේම ඇති සමාජය ට විරුද්ධ ව ) . දිස්ටෝපියානු නවකතා බොහෝ විට බිහි වන්නේ න්‍යෂ්ටික යුද්ධයකින් පසු ඇතිවන දිළිඳු හා සමාජීය සම්බන්ධතා, නිෂ්පාදන ක්‍රියාවලිය  බිඳ  වැටුන සමාජයක් ගැන නැතිනම් හෑන්ඩ් මේඩ්’ස්   ටේල් වැනි පොතක සඳහන්  සමාජයක් ගැන කීමටය.   

හෑන්ඩ් මේඩ්’ස්   ටේල්


තරකොව්ස්කි ස්ටෝකර් නම් යොදා ගන්නේ එහි ඇති ඉංග්‍රීසි තේරුමටම  නොවේ. තමන් ව ප්‍රතික්ෂේප කරන ගැහැණියක් පසුපස රාගයෙන් හා ආශාවෙන් මත්ව යන පිරිමියෙකු හෝ  කිසියම් දෙයක් පිළිබඳව ආශාවෙන් මත්ව එය හඹා යන්නෙකුට වඩා වෙනත් තේරුමක් මෙහි තිබේ. රුසියානුවන් පසුව මෙම වචනය තම වහරට යොදා ගනිති. එනම් සෝවියට් දේශයේ දී  බටහිර භාණ්ඩ සොයා දෙන්නාද විසුළු ලෙස  මෙම නමින් හැඳින්වුණි.

අන්ද්‍රේ තර්කොව්ස්කි 


බොහෝ බටහිර ඉතිහාසඥයන් සඟවන කරුණක් වන්නේ සෝවියට් දේශය හිට්ලර් ගේ හමුදා විසින් බොහෝ දරුණු ලෙස විනාශ කර දැමුණු බවයි. ලෙනින් ලා ගොඩ නැගු සෝවියට් දේශය බෝම්බ හා යුද්ධය  විනාශ කල පසු ස්ටාලින් ගොඩ නැගුවේ ඉතිරිව තිබූ රටයි. ස්ටාලින් මිය යාමෙන් පසුව කොමියුනිස්ට් පක්ෂය විසින් පොතේ ගුරු වාදී ලෙස ගොඩ නගන (ඔවුන්ට වෙන ක්‍රමයක් තිබුනේ නැත)  සෝවියට් දේශය තරකෝව්ස්කි දුටුවේ දිස්ටෝපියාවක් ලෙසටය. ඔහු මෙම නවකතාවෙන් චිත්‍රපටය සරල ලෙස ගොඩ නගන්නේ එම හේතුවෙනි.  එසේම තරමක් දුරට දොස්ටෝයෙව්ස්කි ගේ ඉඩියට් නවකතාවද උපයෝගී කර ගත් බවක්  විචාරකයන් පවසති.

මෙය තර්කොව්ස්කි ගේ චිත්‍රපටය පිළිබඳ පරිපුර්ණ විචාරයක් නොව යම් කරුණු කිහිපයක් නිවැරදි නොවේ යයි සිතුනු බැවින් ඒ බව සටහන් කිරීමකි. එම චිත්‍රපටය ගැන මිට වඩා යමක් ලිවිය හැකිය.

මින් පසු තවත් එක චිත්‍රපටයක් හෝ සෝවියට් දේශයේ නොකරන  තරකොව්ස්කි සිය කැමැත්තෙන්ම  සෝවියට් දේශයෙන් පිටුවහල්ව පැරිසියේ හා ඉතාලියේ ජිවත් වෙයි.

ෆේස්බුක් හි පල කරන ලද කොටසට සමිත් රත්නායක මෙවැනි ප්‍රශ්නයක් නගා තිබුන. එයට මගේ පිළිතුර යටින් සඳහන් වෙනවා.

Samith Rathnayake Ajith Dharmakeerthi //ලෙනින් ලා ගොඩ නැගු සෝවියට් දේශය බෝම්බ හා යුද්ධය විනාශ කල පසු ස්ටාලින් ගොඩ නැගුවේ ඉතිරිව තිබූ රටයි. // මේකට එකග වෙන්න බෑ… හිට්ලර් බෝම්බ දාලා විනාස කලේ ස්ටාලින්ගෙම ස්ටාලින් ඔහුගේ ක්රමයට ගොඩනගපු රට… මම හිතන්නේ ලෙනින් නිර්මාණය කරපු (initiate කරපු) රට වගේ එකක් තමා ගැලපෙන්නේ… 27 වගේ ඉදලම සෝවියට් දේශය ගොඩනැගෙන්නේ ස්ටාලින්ගේ ක්රමයට (ලෙනින්ගේ ක්රමයේ හා ස්ටාලින්ගේ ක්රමයේ ක්ලියර් කට් එකක් තියෙනවානේ ඒක මේ වාක්යෙන් වියැකෙනවා වගේ ගතියක් තියෙනවා ),,කොටින්ම හිට්ලර් බොම්බ දාලා විනාස කලේ ලෙනින් විසින් කිසිවිටෙක බිහිකිරීමට බලාපොරොත්තු නොවූ සෝවියට් දේශකට….

මගේ පිළිතුර:
Ajith Dharmakeerthi සමිත් ලෙනින් මැරුණේ 1924. ඊට කලින් ඔහු දැමූ පදනම , සෝවියට් දේශයේ electrification (මුළු රටටම විදුලිය දීම) නිවාස  ප්‍රතිපත්ති  හෙම ලෙනින් ඇතුළු මුල් මධ්‍යම  කාරක සබාවේ යෝජනා . ඔහුගේ මරණයෙන් පස්සේ ස්ටාලින් වැඩිපුරම වෙනස් කලේ ගොවීන් සහ සමූහ ගොවිපලවල් පිලිබඳ  ප්‍රතිපත්ති . යුක්රේනයේ සාගතයට ස්ටාලින් වග කියන්න ඕනේ කියන්නේ පවා ඒ නිසා. නමුත් කාර්මිකකරණය ආදියේදී ලෙනින් ගේ ප්‍රතිපත්ති  වලින් ස්ටාලින් පිට ගියේ නැහැ. ලෙනින් සහ ට්රොට්ස්කි එකපාරටම හොඳ කරලා ස්ටාලින් පිට මුළු වරද පටවන්න (එහෙම වරදක් ගැන කතා වෙනවා නම්) හදා ගත් කතාවක්  නේ ඕක. ලෙනිනුත්  ආඥාදායකයෙක් තමයි. හිට්ලර් බෝම්බ  දැම්මේ ස්ටාලින් ගේ ක්‍රමයට  හදපු රටක. එහෙනම් ඒක කමක් නැහැ වගේ කතාවක් මේ. නැහැ ඒ කතාව වැරදියි. ස්ටාලින් ගේ සමුහ ගොවිපල ක්‍රමය  ලෙනින් ගෙන් පිට පැනපු එකක්. අනිත් හුඟක් දේවල් වලදී ලෙනිනුත්   අනුගමනය  කරපු දේම තමා ස්ටාලින් කලේ. ඔහු පසු කාලෙක මිනිසුන්ව ගුලාග් යවපුව ගැන නෙමේ මේ කතා කරන්නේ. කාර්මීකරණය ආදිය ගැන. ඊට පස්සේ ඉතිරි අවුරුදු  තිහේ සෝවියට් සමාජවාදය (ස්ටාලි න්ගෙන් පසු) ගොඩ නැගෙනවා ඇමෙරිකාව සමග අභ්‍යවකාශ  තරඟයට යාම දක්වා. ඇමෙරිකාව එතනට ආවේ අවුරුදු 200 විතර අනවරත දියුණුවකින්. සෝවියට් දේශයේ ඒ දියුණුව ආවේ කාර්මීකරණය  තුලින් . මලින්ත වැරදියි කියල මම කියන්නේ ඒකයි .

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මලින්ත ගේ ලිපිය:
ආන්ද්‍රේ තර්කීව්ස්කි අධ්‍යක්ෂණය කළ “Stalker” චිත්‍රපටය මා මෙතෙක් නැරඹූ සිනමා නිර්මාණ අතරෙහි වූ සුවිශේෂිම චිත්‍රපටයක් ලෙසින් නම් කරන්න පුළුවන්.අපි කොහොමද චිත්‍රපට හදන්නේ කියන දේට හොඳ වැඩබිමක් තමයි “Stalker” චිත්‍රපටය. ආන්ද්‍රේ තර්කෝව්ස්කි එහිදී ජීවිතයේ අඩංගු බොහෝ දේ හරිම අපූරු ආකාරයෙන් ඇතුළත් කර තිබෙනවා.නිදහස සොයා යන තිදෙනෙකුගේ කතා පුවතක් ඇතුළත් මෙහිදී ඒ අතරතුර එම එකිනෙකාගේ හිත් තුළ ඇති වූ හැඟීම් අපට කියන්නට අධ්‍යක්ෂවරයා භාවිත කළ ක්‍රම මගේ හිතට තදින්ම දැනුනා.
ඒ වගේම මේ නිර්මාණයේදී උපේක්ෂා සහගත බව වගේම තදින්ම හිතට කා වදින දේ ද ඇතුළත් කරන්න තර්කෝව්ස්කි වග බලාගෙන තියෙනවා.

තැන තැන විසිරි ඇති වාහනවල සුන්බුන්,ලයිටි කණුවල ශේෂ වු නටබුන්,මීදුම පිරී පරිසරය,කැඬි බිඳි ගිය ගොඩනැගිලි සමඟ සෑමවිටම රඳවා තබා ඇත්තේ භීතියයි. යුද්ධය විසින් උරැම කරදුන් ලෝකාවසානයක් බව තැන තැන දමා ඇති යුධ ටැංකි දර්ශනය එක්තරා දර්ශනයක් තුළ දී මුලික කොට පෙන්වනවා.
අනෙක් අත⁣ට මඩ පිරී භුගත උමං මාර්ග,වැලි ගොඩවල් හරහා තර්කෝවිස්කි උත්සාහ දරා ඇත්තේ ඔවුන්ගේ චාරිකාව ස්වභාව ධර්මය විනාශ මුඛයට පත්ව ඇති මොහොතක නිෂ්ළුල ගමනාන්තයක් බවයි.

“Stalker” චිත‍්‍රපටියේ චරිත තුනක් ස්ථානගත කිරීම මඟින් ඔවුන්ගේ තිදෙනාගේ මංමුළා වු හැසිරීම විශාල ගැටලුකාරි තත්ත්වක් නිර්මාණය කරනවා.නමුත් මෙි හිස් අවකාශය තුළ අැති හුදෙකලා පරිසරය නමුත් බලා ඉන්න අයට තේරෙන්නෙ නැහැ මොන කෙහෙල් මලකටද මේක ඉදිරිපක් කරන්නෙ කියලා. ඒකෙ තියෙන ප‍්‍රධාන ගැටළුව තමයි ව්‍යාජත්වය.මේ චිත‍්‍රපටිය බලන අයට හිතෙන්නෙ මට මේක තේරෙන්නෙ නැහැ කියලා. මේකද කලාවේ භාවිතය කියලා කියන්නෙ? තර්කොව්ස්කි කැඩුණු බිඳුනු ගොඩනැගිලි හරහා ගේන රූපිකය මොකක්ද? තර්කොව්ස්කිගෙ යුගය කියන්නෙ ඒ වෙන කොට රුසියාවේ තිබුණු සමාජවාදී රාජ්‍ය බිඳවැටිලා ඒ අය ගොඩනගපු නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම විතැන්වෙන්න ගත්තා. අපි ඒකට කියනවා පශ්චාත් කාර්මීකරණ යුගය කියලා. ඒ රටවල තිබ්බ විශාල කර්මාන්ත ශාලා ඊට වඩා ශ‍්‍රමය මිල අඩු රටවලට විතැන් වෙන්න ගන්නවා. නමුත් මේ වන විට පරම්පරා කීපයක් මේ නිෂ්පාදන ආර්ථිකයත් එක්ක බැඳිලා තිබුණෙ. එකපාරටම ක්ෂිතිමය අත්දැකීමක් වෙනවා මහා අනෙකාගේ අහිමිවීම. තමන් මෙච්චර වෙලා ජීවත් වෙමින් හිටපු මහා සමාජායේ අර්ථ සමුදාය එකපාරටම නැතිවෙලා යනවා. ඇත්තටමත් තර්කොව්ස්කි හිටපු සමාජයේ සුවිශාල ගොඩනැගිලි තිබිලා තියෙනවා. මේවා මොකට තිබුණද කියලා ඊළඟ පරම්පරාවේ අය දන්නෙත් නැහැ. එතකොට ඒ අයට වඩා විශාල සමාජයක් තිබිලා ඒක අහිමි වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඔය අර්ථයෙන් තමයි තර්කොව්ස්කි මේ රූපික ගන්නෙ.
සංකීර්ණ කලාපය තුළ ඇති ගූඨබවත්,භීතිකාව සැඟව අැති බව නිරතුරුවම චිත්‍රපටය තුළ දෘශ්‍යමය අවකාශය පුරා ව්සිරී පවතිනවා.මේක යථාර්තය සහ ෆැන්ටසිය අතර යා කෙරැණු කොලාජ් චිත්‍රයක් වගේ.චිත්‍රපටය තුළ දුටු බල්ලා සහ ම්නිසා,කටු ඔටුන්නක් තම හිසෙහි පටලවාගත් මිනිසා,තැන තැන වැලි කඳු මෙිවා පිළිබඳව ඒක්තරා අන්දමකට මානව ඉතිහාසය,ක්‍රිස්තියානි ආගමික සංකේත,ලෝකයේ කලියුගය වැනි කාරණා ගැඹුරින් දක්වලා තියෙනවා.
StaLker චිත්‍රපටය සම්පුර්ණයෙන්ම පාහේ චිත්‍රපටයක් නිපදවන්නකුට වැඩබිමක්. දිගු රෑප(Long Shot),මධ්‍යම රෑප(Mid Shot) භාවිතාවන්,ආලෝකකරණය,සංස්කරණය,වර්ණ සංයෝජනයන් ආදීන් කදිමව,බලසම්පන්නව සේම අනර්ඝ මටිටමින් යෙදී තිබීම සහ “stalker” නිපැයුම තර්වෝස්කිගේ විශිෂ්ටවුත්,අවබෝධ කර ගැනීමට අතිශය වෙහෙසක් දැරිය යුතු සිනමාකෘතියක් බව කිව යුතුමයි.


-මලින්ත විතානගේ-

%d bloggers like this: