Menu Close

[361] ඇඳුමද නිරුවත් වන තැන ……

විශ්ව විද්‍යාල සිසුන් යනු මා වසර පහළොවක් තිස්සේ ළගින් ඇසුරු කරන මගේ සේවා ලාභින්ය. ඉදින් එකම ගසක වැවෙන විවිද හැඩය ඇති පලතුරු මෙන් උන්ගේ විවිධත්වය සුන්දරත්වය අව්‍යාජ බව දකින්නට මම වාසනාවන්ත වෙමි. එය මහත් සේ විඳිමි.එනිසාම මේ වෘත්තියට මම ප්‍රිය කරමි.

එහෙත් මීට වසර හරියටම ගත්තොත් දහසය හමාරකට පෙර මමද ඔවුන් මෙන් ජීවිතයේ එළිපත්තේ හිටගෙන නිනව් නැතුව බලා හිටි විශ්ව විද්‍යාල සිසුවියක වීමි.

පේරාදෙණියට තේරුණු මා හට තිබු දැවෙන ප්‍රශ්න දෙකකි.

ඉන් පළමු ප්‍රශ්නය නම් දැන් මා ඉගෙන ගත යුත්තේ කුමන විෂයන්ද යන්නයි . 
දෙවන පැනය නම්  අයත් විය යුත්තේ කුමන කාණ්ඩයට ද යන්නයි. ඔවු ඔබ හිතුවා හරි , දෙවන පැනය නම් , මා rag විය යුතුද anti-rag විය යුතුද යන්නයි.

සැබවින්ම කිවහොත් මා rag වනවාද antirag වනවාද කියන තීරණය තීන්දු වන්නේ මට කොයි තරම් මා කැමති ඇඳුමක් ඇඳීමේ නිදහසක් ලැබෙනවාද යන්න මතයි. මන්ද ඒ වන විට මා කනින් කොනින් ආසා තිබුනේ rag වනවා නම් , ගැහැණු ළමුන්ට සාය ගවුම් විනා , මා මහත් සේ ප්‍රිය කරන පහසු දිග කලිසම් ඇඳිය නොහැකි බවයි . (යලිත් කියමි, මේ 2003 ය. දැන් මේවා සමහර විට වෙනස් ඇති ) .  ඉදින් සරසවියට පැමිණි මුල් සති දෙක මම antirag වීමි. මගේ පන්ති වල සිටි මහාමායාවේ මිතුරියන්ගෙන් සමීපතමයන් කිහිප දෙනෙක්ම පළමු intake එකෙන්ම (නැවෙන්) මගේ පීඨයටම තේරී සිටියෝය. එහෙත් සරසවියට දෙවෙනි ඉනිමෙන් ක්‍රීඩා කර පැමිණි මට ( 2nd Intake හෙවත් බෝට්ටුවෙන් ) සිදුවුයේ මුල් සති කිහිපයේ ඉංගිරිසි පන්ති ඇතුලේ තනි විමටය.

“ඇයි නංගි ඔයා විතරක් අපි එක්ක එකතු වෙන්නේ නැත්තේ ?” 
එකල විවේක වේලාවන්හි , උදැසන පන්ති පටන් ගැනීමට පෙර අප සොයා එන ජෙයෂ්ට  සහෝදර සහෝදරියන්ට , මුළු පන්තියෙන්ම rag නොවී තනි වූ මාව පැනයක් විය.


“ මට කැමති ඇඳුමක් අඳින්න ඕනි. මම කැමති නැහැ ගවුම්, සාය  අඳින්න” මම එක ජෙයෂ්ට සහෝදරියකට කිව්වා අද වගේ මතකය.

“පිස්සුද නංගි, ඔයාට කැමති ඇඳුමක් අඳින්න පුළුවන්” ඇය එසේ කිවය . එහෙත් එහි ඉතුරු හරිය ඇය නොකිවාය. “නිවාඩු දවසට”

“ෆ්රෙෂර්ස් සීසන් එකට විතරයි ඔයාල ඔහොම සායවල් අඳින්න ඕනි.” ඇය එකතු කලාය .

පන්ති භේදයක් නැති මට , එකා සේ එක රැලේ සිටින්නට, ට්‍රිප් යන්නට අරවාට මේවාට බැච් එකත් සමග එකට ඉන්නට තිබු ආසාවට ඉඩ දීමට අවකාශ ලැබුණි.ඉතින් මම පැත්ත මාරු කලෙමි. මොකද අප පීටයෙහි ‘rag එක’ යනු පොඩි බැනුමක් දෙකක් අසා ගැනීමට අමතර වෙනත් හිරිහැරයක් ඇති දෙයක් නොවූ හෙයිනි.( මෙහිදී මම rag එක කිසි සේත්ම අනුමත නොකරන බව කිව යුතුය. මා පවසන්නේ එදා , රැලත් සමග එකට සිටීමට පොඩි බැනුම , ලොකු බාධාවක් නොවූ බවයි. )

ඉදින් අපේ බියකරු rag සීසන් එක නිමා විය . 

“පිස්සුද , ලේක්චස් වලට අඳින්න පුළුවන් ගවුම් සාය විතරයි. වෙන ඒවා බැහැ “ 
බළලා එලියට පනිද්දී වෙල්කමුත් ඉවරය. කැම්පස් එක එපා වූ පළමු හේතුව එයම නොවුනත් , කැම්පස් එක එපා වූ ලොකුම හේතුව නම් එයය. ඇඳුම මට කැම්පස් ගමන වාතයක් කලේ මෙසේය…

ඉදින්ම , මට rag වුනු එකද , මේ මල වද ඇඳුමද එපාවී, අවසාන මම මට කැමති ඇඳුම් අදින්නටත්  , එහෙම අඳින අය සමග ඇසුරු කරන්නටත් පෙළඹීමි. හෙවත් මම සතුටින් semi-අල වීමි . අදද පැත්ත මාරු කල එකට දුක් වෙමි.


—–

දෙක – කාර්යාල ඇඳුම…

එය මම කාර්යාලයේදීත් මල කරදරයක් සේ සලකන ඇඳුමකි. 
සා… රි… ය !



කාට එය පහසුවක් වුවත් මට එය මල වාතයකි. විසාල ලැප්ටොප් බැගය , ඇතැම් විට දවස පුරාම හිටගෙන පන්ති කිරීමට සිදුවීම,කාර්යාලයේ ලිෆ්ට් එකක් නොමැති හෙයින් අර සාරි පොටවල්, රෙදි, ෆයිල්, ලැප්ටොප්  ඔක්කොම උණ්ඩි කරගෙන තට්ටු හතර පහක් නැගීමට සිදුවීම , පන්ති වල ප්‍රොජෙක්ටර් තනියම වයර් ගසා හයි කර අටවා ගැනීම, ලැබ් වල කුඩා පරතර අස්සෙන් එහා මෙහා යාමට සිදුවීම යනාදී කර්යාලමය කාරණාත් , ඇතම්  විට කාන්තාවකට ආවේණික පුද්ගලික කරණාත් සියල්ල සලකා බලන කල, මට එය දාර වදයකි. එනිසාම මම කාර්යාලයට ඔබින බටහිර කාර්යාල ඇඳුමට මාරු වීමි.

“මෙ , ළමයින්ට  උනත් පොඩි ගැම්මක් ගන්නේ ඔයාල සාරිය ඇන්දම …” 

“ටීච කෙනෙක් වගේ … අනේ හරි ෂෝයි …” 

 නැත, මට ඒ කමෙන්ට් වලින් වැඩක් නැත. මම දිගටම මගේ කාර්යාල ඇඳුම ඇන්දෙමි. ඉඳහිට, වැඩ අඩු දවසකට, විශේෂ අමුත්තෙක් එනවානම් , උත්සවයක් ඇත්නම් ,  එදාට සාරිය ඇන්දෙමි.

ඇතැම් ස්ටාෆ් මීටින් වල , සියලු කාන්තාවන් සාරි පටලා සිටින විට , බටහිර කාර්යාල ඇඳුම අඳි එකම එකී මම වීමි.



‘මේ සාරිය අඳිමු නේ ..බලන්න කොච්චර ලස්සනද පිළිවෙලද කියලා.?’ ඉල්ලීම් , යාප්පු, තර්ජන, ගර්ජන , තැන තැන කියවීම්, ඊමේල්, උපහාස .. ඔය කිසි එකකින් සැලුනේ මම නොවේ. 

එතැනදීද මම නැගු ප්‍රශ්නය නම් ,
‘කොහෙද කවුද කොතනද නීතියක් දල තියෙන්නේ , සාරිය කියන්නේ අනිවාර්ය කාර්යාල ඇඳුම කියලා‘ යන්නයි.

—-

නැත , අද මා මේ ලියන්නේ මගේ අතීත කථනයක්  නොවේ .

—-

මේ ලඟදි මම දුටු ඉතාමත් හාස්‍ය ජනක දෙයක් ඇත. තැන නම ගම වයස විස්තර නොකියමි. කරුණ පමණක් සැලකිල්ලට ගනිමු . 

එම කරුණ නම් ,  එක්තරා  වීශ්ව විද්‍යාලයක  සිසුන්, සම්පුර්ණ  කාර්යාල ඇඳුමෙන් සැරසි ඉගෙන ගන්නට ආ යුතු බවය .  ( එහි ගත කරන අවුරුදු දෙක තුනම ) ඒ දුටු මට බකස් ගා සිනා ගියේය. ලංකාව මේ යන්නේ කොයිබටදැයි සැබවින්ම මට සිනා පහල වෙයි.

තම අනාගත වෘත්තීය නිශ්චය වශයෙන්ම තීරණය වන විශ්ව විද්‍යාල හෝ වෘත්තීය අද්යාපන ආයතනයක එවැනි යුනිෆොමයක් ඇඳීම බරපතල ලෙස මට නොසිතෙයි. මන්ද එය ඔවුන්ගේ නිශ්චය අනාගත වෘත්තීය යුනිෆෝමය බැවිනි. නමුත් තොරතුරු තාක්ෂණය වැනි දේ ඉගෙන ගන්නා ,  ලෝකයේ මහා පරිමාණ සමාගම් පවා ඇඳුමට නිදහස සලසන ධාරාවන්ගේ ඉගෙන ගන්නා ළමුන්ට,  අත්දිග කමිස ඇඳ , කාර්යාල කලිසම් ඇඳ සපත්තු මේස දමා, උදේ අටේ සිට හවස පහ වනතුරු පන්ති කාමර , විද්‍යාගාර වල ඉගෙන ගත යුතු යයි කීම මොන විහිලුවක්ද? ගැහැණු ළමුනට sneakers / deck shoes/ sports shoes /covered shoes ද තහනම්ය.

ඩෙනිම් ඇඳීම තහනම්ය.අත් නැති බ්ලවුස ඇඳීම තහනම්ය. ස්පෝර්ට්ස් සපත්තුද තහනම්ය. සෙරෙප්පු තහනම්ය. දණහිසෙන් ඉහල කොටට ඇඳීම තහනම්ය. පැලීම තහනම් ය. කාර්යාල ඇඳුම් හැරුණු කොට හැම දේම තහනම්ය!!!! එනම් ගැහැණු ලමුන්ද කාර්යාල කලිසම සහ බ්ලවුසය  ඇඳ ලංකාවේ හැඳින්වෙන අඩි උස හෝ පැතලි ඔෆිස් සපත්තු හෙවත් sandals දමා ආ යුතුය ! 

මෙයද අප තරුණයින්ගෙන් බලාපොරොත්තු විය යුත්තේ? (සංවාදයට විවෘතය.)

ලෝකය වෙනස් මගක ගමන් ගනිමින් සිටියි.අද වනවිට ඇතැම් කාර්යාල පවා පහසු නිසි ඇඳුමට මුල් තැන දී කාර්යාල ඇඳුම් වලට සහන සලසා දී තිබේ. ඊට –  ඇඳුමට වඩා නිර්මාණශිලිත්වය, සිතීමේ නිදහස , පහසුව, දිගු වෙලාවක් ඇඳ සිටීමේ පහසුව , දේශගුණික කාරණා යනාදිය අගය කෙරේ. 

ලෝ ප්‍රකට ගුගල් වැනි සමාගම් ඉන් ඔබ්බටද ගොස් , ක්‍රීඩා සහ ගිමන් නිවීමේ පහසුකම් උපරිමයෙන් වෘත්තිකයින්ට සලසා දෙන්නේ , වැඩට මුල් තැන දෙන්නටත් , නිර්මාණශීලි චින්තනයට අවශ්‍ය නිදහස දෙන්නටත්ය. එයින් වෘත්තියේ කාර්යක්ෂමතාව ඉහළ දැමිය හැකිය.

කරුණු එසේ තිබියදී , රැකියාවක් කරන්නටවත් තවම සිතා  නැති මේ නව යොවුන් තරුණ තරුණියන්ට අපි “ඔපිස් ඇඳුමෙන් පන්ති වරෙල්ලා” යයි ගොන් තහංචි දමමු.

පන්තියක් යනු ඔපිස් එකක් නොවේ. නමුත් පන්තියක් යනු කෝලම් මඩුවක්ද නොවේ. පන්තියක් යනු බීච් එකක්ද නොවේ.පන්තියක් යනු නිදහස් ඉගෙනුම් පරිසරයකි. පන්සලක් යනු පුද බිමකි. පාටියක් යනු විනෝදාස්වාදය සපයන තැනකි. කාර්යාලයක් යනු එක අරමුණක් කරා පිරිසක් වෙහෙසෙන මෙහෙයවෙන තැනකි. 

මේ එක එක අවස්ථාවන්ට සුදුසු ඇඳුම් තිබේ. අප අද්යාපන ආයතන වශයෙන් කියා දිය යුත්තේ

– ගෞරවය යනු ඇඳුමෙන් පමණක් මවා පෑ ගත දෙයක් නොවන බවත්ය
– නමුත් ඇඳුම යනු නොකෙලෙසා ගත යුතු first impression එකක් බවත්ය
– තැනට සුදුසු ඇඳුම තෝරාගැනීමත් සිය නිර්මාශීලිත්වයෙන් කොටසක් බවය
– තමන්ගේ අනන්‍ය ඇඳුම් විලාසිතාවන් සොයා ගැනීමද, සිය බුද්ධිය මෙහෙයවා කල යුතු එක්තරා සුවිශේෂි හැකියාවක් බවය
– තැනට නුසුදුසු ඇඳුම් ඇන්ද විට තමන් කොතරම් විහිළුවක් වනවාද යන බවය

පන්සලටද , ගෙදරටද , පාසලටද , පන්තියටද , විශ්ව විද්‍යාලයටද , රැකියාවටද , පාටියටද , එකම යුනිෆෝමය අඳින්නට බ්‍රොයිලර් කිරීමෙන් අප කෙලෙසා දමන්නේ , නිදහස් මනසින් සිතන කොලු කෙල්ලන්ගේ නිදහස් නිවහල් චින්තනයයි. අනාගතයයි. ඔවුන්ගේ ස්වයං තීරණ ගැනීමේ අයිතියි, හැකියාවයි.මොට කරන්නේ ඔවුන්ගේ නිසි තීරණ ගැනීමේ හැකියාවයි. 

අනෙක සිතා බලන්න , කාර්යාල ඇඳුමක් ඇඳගෙන, බර පාසල් බෑගයක් දමාගෙන ( ලැප්ටොප්, පොත් පත් , දේශන සටහන් අරගෙන ) පාරේ යන එකත් ඇත්තටම විහිළුවක් නොවෙයිද? 

ඕනෑවට වඩා නීති තහංචි ඇනුම් බැනුම් , රැවුම් ගෙරවුම් දමා ඔවුන්ව සර්කස් රවුමක වටේට යන බියගුළු සිංහයින් කිරීමද අධ්‍යාපනය කියන්නේ ? නීති අවැසිය. පද්ධති අවැසිය. නමුත් ඒවා සමබර විය යුතුය.

හැම තරුයෙක්ගේම , තරුණියක්ගේම සිරුරෙහි, කතාවෙහි, ගමනෙහි , චින්තනයෙහි ,  තමන්ට අනන්‍ය රිද්මයක් තිබේ. ඔවුන්කගේ සිතෙහි ප්‍රිය colour කෝඩ් එකක් තිබේ. ඇඳුම් විලාසිතාවන් තිබේ. ඒ විචිධත්වය නම් , ඔවුන්ගේ අනාගතයයි. ඒ විවිධත්වය ඔවුන්ගේ නිර්මාශිලිත්වයයි. ඒ විවිධත්වය නම් ඔවුන්ගේ අයිතියි!!! එය වල්බුරු නිදහසක් නොකර ගත යුත්තේ කෙලෙසද යන්න කියාදීම අපේ වගකීමයි. 

හැට පැන්න අධ්‍යාපනඥයින් හට මේවා නොතේරේ. දශක තුන හතරකට එපිට තිබු ලෝකය අද වෙනස් වී තිබේ. මේවා ඔවුන්ට වටහා ගත නොහේ.

ඕනෑම පුද්ගලික විශ්ව විද්‍යාලයකට සාමාන්‍ය නීති රීති මාලාවක් යටතේ , එහි එන ළමුන්ගේ ඇඳුම් පැළඳුම් කරෙහි යම් බලපෑමක් ඇති කිරීම වරදක් නොවේ. මුහුදු වෙරළට යන්නාක් මෙන් flip flop දැමීම , පාටියකට යන්නාක් මෙන් දිලිසි දිලිසි පැමිණීම , ඉගෙන ගන්නවුන්ද, උගන්න අයගේද අවධානය කැඩී බිඳී යන ලෙස ඉතාමත් ඇසට අපහසු  වර්ණ, මෝස්‌තර යනාදිය මෙහිදී අනුමත කිරීමක් කිසි සේත්ම නොකෙරේ. එවන් හර පද්ධතීන් අවශ්‍යය (පහල පින්තුර බලන්න) . මා දකින , මා යනෙන බහුතරයක් ආයතන වල මේ සමබර නීති මාලාවන් දැනටමත් තිබේ. ඒ පන්ති බලන්නට ලස්සනය. එකම ගහක හැදෙන පලතුරු ගෙඩි දහයක් පහළොවක් ගතහොත් , එකම පලතුරු වර්ගයේද ගෙඩියෙන් ගෙඩියෙහි අනන්‍ය හැඩයක් තිබේ.එයයි සුන්දරත්වය! එයයි විවිධත්වය. අප මේ ළමුන්ට ඉගැන්විය යුත්තේ එකම වගේ රැලකින් එකෙක් වීමටද , තමන්ගේ අනන්‍යතාවය සොයාගැනීමටද ? 


 සාමාන්ය මනසින් සරසවි සිසුන් කෙරෙහි සලකන බහුතරයක් ආයතන වල , සරසවි සිසුන්ගේ ඇඳුමෙහි ඉගෙනුමට ඇති උපයෝග්‍යතාවය හුරු කෙරෙයි. ගම්‍ය වෙයි. නමුත් එවැනි මොලේ ඇති ආයතන කිසි විටක , ළමුන්ට කාර්යාලයට අඳින අත  දිග කමිසයෙන් කලිසමෙන් සැරසී , කාර්යාල සපත්තු දමා,  පන්ති ආ යුතු යයි නියෝග නොකරයි. 

බැරි වෙලාවත්ය කවුරු හෝ , යම් පමණකට අසංවර ඇඳුමක් ඇන්දද , එයට ප්‍රතිචාර දක්වන්නේ බොහොම මානුෂික ලෙසිනි . සිසුවාගේ ආත්ම විස්වාසය නොබිඳෙන අයුරෙනි. පුද්ගලික මට්ටමෙන් අවවාද දීමෙනි. 

ඔපිස් යන්නට පුරුදු කරන්නට නොවේ තරුණ තරුණියන් විශ්ව විද්‍යාලයකට එන්නේ. ඔවුන්ට කාර්යාල ඇඳුම හුරු කල හැකි අවස්ථාද සරසවි තුල නැතිව නොවේ. ඇතැම්විට අපද , presentation, viva වැනි අවස්ථා වල , ඔවුන් ගුරුවරයාට පරිභාහිරව තවත් panel එකක් මුණ ගැසෙන නිසාත් , අප කාර්යාල වෘත්තිමය ඇඳුමකින් සැරසී presentation කරන්නැයි පවසමු. interview simulations (රැකියා සම්මුඛ පරීක්ෂණයක රඟ පෑ යුතු ) අවස්ථාවල අප සම්මුඛ පරීක්ෂණයකට යා යුතු ඇඳුමකින් සැරසෙන්නට උපදෙස් දෙමු. නමුත් හැම පන්තියකටම එලෙස ආ යුතු යයි , ඉන් පසුව ඔවුන් කාර්යාලයක මෙන් පන්ති කාමරයෙහි professional විය යුතු යයි මට උගැන්විය හැකිද ? මට ඊට වැඩ මගේ සිසුන්ට නිදහස දෙන්නට අවැසිය . ඔවුන් ඊට වඩා ක්‍රියාකාරී විය යුතුය . 

ඔපිසි වල වැඩ කිරීමෙන් එහා ගිය ව්‍යවසායකත්වයක් ඔවුන්ට කෙලෙස නම් ලබන්නද මේ අට පහ ඔපිස් ඇඳුමට බ්‍රොයිලර් කිරීමෙන්?

විශ්ව විද්‍යාලයක් යනු නිදහස් ඉගෙනුම් කලාපයකි. ළමුන් උදේ සිට හවස් වනතුරු දේශන දෙක තුනකට ඔට්ටු වන , ලැප් ටොප් උස්සා ගෙන එහෙ මෙහෙ යන , විශ්ව විද්‍යාල සිසුන්ට තමන්ට පහසු සංවර ඇඳුමක් ඇදීමට අයිතිය ලැබිය යුතුය. නමුත් එය වල්බුරු නිදහසද නොවිය යුතුය. setting an example හොඳම ක්‍රමයය ! මේ ගල් යුගය නොවේ. විසි එක වැනි සියවසය !

ළමෙකුට තමන්ගේ dignity එක up වන්නේ දාර දිලිසෙන සපත්තු සහ කලිසම් කමිසයෙන් පන්තියට එන විට නම් , මේ රටේ බෝම්බ පිපිරිය නොහැකියි. මේ රටේ අවිනීත ලෙස සඟ සසුනට ගරහන , වියත් පැසුණු දෙසපාලකයින්ට  , වියතුන්ට ගරහන , යුටියුබ් වීරයින් බිහිවිය නොහැකියි.

තමන්ට සුදුසු ඇඳුම, පාට , දිග පල , උස කොට , හැඩය තෝරාගන්න එකත් මිනිසෙකුගේ රසඥතාවය මැනිය හැකි මිනුමක්. මම නම් එය තදින්ම විස්වාස කරමි. 

බාච්චු වගේ කලිසමකුත් බාච්චු වගේ කමිසයකුත් නොගැලපෙන බවත් ( ගලපා ගත හැකි විදිද නැතුව නොවේ) , ලංකාවේ දුඹුරු හමට ගැලපෙන්නේ earthy හෙවත්  පොලොවට සහ ගහ කොළට ආසන්න ස්වභාවික පාට බවත් දැන ගන්න එකත් බුද්ධියේ කොටසක් බවත් මම සිතමි. . 

තැනට සුදුසු දේ සෙන්ස් කරන්න ගුරුවරුන් වන අපි කියා දිය යුතුයි. නමුත් , ඔවුන්ගේ විචිධත්වයට , අනන්‍යතාවයට , ඇඳුම සංවර නම් , පන්ති කාමරයකට සුදුසු නම් , අප ගරු කල යුතුයි. ගැහැණු ළමුන් ඇතැම් විට sneakers / sports shoes අඳිති. එහි ඇති වරද කුමක්ද? ඇතැම් ළමුන් පයෙහි කුණු දුවිලි වැකෙන sandals වලට හුරු නැත.  හොඳ වර්ගයේ boots හෝ sports සපත්තු කොතරම් පහසුද , ඇවිදීමට කොයි තරම් මනාද යන්න අඳින ඇය දනිති. පන්ති කාමරයකට එහි ඇති වරද කුමක්ද? 

සුදු කළු යනු ලෝකයේ ඇති එකම පාට යයි ළමුන්ගේ මනස කොටු කරන ගොන් හරක් බවට උගන්වන අපි සහ උගන්වන ආයතන පත් විය යුතුද ? 

මම ඉල්ලීමක් කරමි.  මගේ මිතුරු ගොන්නෙහි , මෙරට / පිටරට ඉතා ඉහල තනතුරු හොබවන , ඉතා උගත් මිතුරු මිතුරියන් සිටිති. පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න මෙන්ම උගන්වන අයද ඇත. හැකිනම් ලෝකයේ විශ්ව විද්‍යාල වල සරසවි සිසුන්ගේ ඇඳුම් පැළඳුම් රටාවන්ගේ පින්තුරු මෙම ලිපියට එක කරන්න. එය ඔබට මට අපට හැමටම හොඳ ඉගෙනීමක් වේවි. ස්තුතියි. 


%d bloggers like this: