Menu Close

ශ්‍රී ලංකා not Vs England – තෙවෙනි කොටස

සැසිල් ෆ්‍රෙඩ්රික් ශ්‍රෝඩර්; පෙන්ෂන් ගිය කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවා එංගලන්තයේ සිට ලියුමක් එව්වේය. ඒ ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයටය. ඒ ලිපියේ ඡායාස්ථිති පිටපතක් අපටත් එවා තිබිණි. ලියුම දැක්ක ගමන්ම අපේ ලොකු නංගී හිටියේ සේරම හරි තමයි කියා හිතමිනි. ඉවසිල්ලක් නැතිවය! පොළොවට තවත් අඩි කිහිපයක් උඩින් යමිනි!!

ඩැඩා විශ්වාස කළ විදිහට නම් ලෝකයේ උත්තම රට- ජාතිය සේරම Britishය…..
කැසිල්ල තියෙන්නේ වණේ ඇති එකාටය. නෝනාට තිබුණු කඩි කුලප්පුව කොල්ලුපිටියේ, බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ ඇත්තන්ට තිබුණේ නැතිවා විය යුතුය. එයාලා වැඩ කළේ ඔවුන්ගේ සාමාන්‍ය සම්ප්‍රදායට අනුගත වෙමිනි. 
ඩැඩාට උත්පත්තියෙන්ම ඇවිත් තිබුණු ‘පිරිසිදු එංගලන්ත පුරවැසිකම’ එයාලට එච්චර ‘බක්කක්’ වුණේ නැතුවා වගෙය. 
ඇත්තම කියන නිසාය කියන්නේ, අපේ ඩැඩා 100% British වීම ගැන අධිමානයෙන් හිටි කෙනෙකි. තරමකට හෝ දුප්පත්වී නොහිටියා නම්, වියපත්වී නොහිටියා නම් ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ නම්වූ හින්නිකිතර දිවයිනෙන් ‘හිරු නොබසින අධිරාජ්‍යය’ට ගිහින් හිටි අපේ අම්මාව එයා විවාහ කරගන්නේ නැත.
කාගෙ උදව්වෙන් හරි ගොඩ යන්න බලාගෙන හිටිය නිසා………..
“නිමල්, සැසිල් උඹලගේ අම්මව බැඳගන්න කැමති වුණේ ඒ කාලේ මිනිහත් එල්ලෙන්න වැලක් හොය-හොයා හිටපු හන්දා! කාගෙ උදව්වෙන් හරි ගොඩ යන්න try කරපු හින්දා. නැත්තං ඒ නාකි පරාණේට මොන මඟුල්ද කොල්ලෝ.” ආන්ටි එරීන් මට කිව්වේ එහෙමය!
ලිපි ගණනාවක් එහාට-මෙහාට හුවමාරු විණි. 
අරවා-මේවා ඉල්ලා තිබිණි. ඒවා යැව්වාට පස්සේ ඉන්ටර්වීව් එකටත් දිනයක් ලැබිණි. නෝනා කාත් එක්කද එම්බසියට ගියේ කියලා නම් මට මතක නැත. 
එහෙම, ඉංග්‍රීසි දන්නා පිටස්තරයෙකු එක්කං යන්නට වුණේ එතකොටත් අපේ ලොකු නංගිට ඉංග්‍රීසි කතාව බැරි හින්දාය. එහෙම අයට තමන් වෙනුවට කතා කරන්නට, තමන් කැමති තෝල්කයෙකු කැටුව යන්නට ඉඩ තිබිණි. 
පසු කාලයක ඒ වරප්‍රසාදය අත්හිටවිණි; කඩුව වනන්නට නොදන්නා අය කියන දේවල් පරිවර්තනය කිරීමට තානාපති කාර්යාලයෙන්ම නිලධාරියෙකු ලබාදෙන්නට පටන් ගැනිණි. 
“සේරම හරි. Dada ඕනේ කරන දේවල් සේරම එම්බසියට එවලා තිබුණේ England ඉඳලාමනෙ. කිරි ගහට ඇන්නා වගේ වැඩේ කෙරෙයිලු. අපරාදේ කියන්න බැහැ…. අර මනුස්සයාට දුන්නු සල්ලි අපතේ ගියෙ නැහැ…..” 
සීයා කිව්වේ ආපහු ඇවිත් විස්තර කියද්දීය.
කිරි ගහට ඇන්නා වගේ වැඩේ හරි යයිලු!
පරිවර්තකයාත්, නෝනාත්, සීයාත්ය සම්මුඛ පරීක්ෂණයට ගියේ. තෝල්කයා පට්ටල් කරදුන්නෙත් සීයාමය.
සිංහල හෝඩියේ භයානකම  අකුර කුමක්ද?
මාධ්‍ය සාක්ෂරතාව හෝ තොරතුරු අයිතිය ගැන කරන දේශනවලදී මා විටින් විට විවිධ සභාවලින් මේ ප්‍රශ්නය විමසනවා. නොයෙක් දෙනා විවිධ අනුමාන කළත් මේ දක්වා මා බලාපොරොත්තු වන උත්තරය නම් මතුවී නැහැ. 
මේ ප්‍රශ්නයෙන් මා තැත් කරන්නේ උත්ප්‍රාසය මතු කිරීම හරහා හැමදෙනාම සිතන්නට පෙළඹවීමයි. 
ලක් සමාජයේ තත්කාලීන යථාර්ථයන්ට අනුව මගේ විග්‍රහය නම් සිංහලයේ භයානකම අකුර ‘ලු’ යන්නයි. 
හේතුව මෙයයි. තහවුරු කර නොගත් තොරතුරු, කල්පිත, අනුමාන මෙන්ම කුමන්ත්‍රණවාදී ප්‍රබන්ධ එකිනෙකා අතර (වාචිකව හෝ සන්නිවේදන මාධ්‍ය හරහා) බොහෝ විට හුවමාරු වන්නේ ‘ලු’ යන්න අගට එකතු කරමින්….”
සිවු මංසල කොලුගැටයා  නාලක ගුණවර්ධන, කොළඹ ගමයා අජිත් ධර්මකීර්ති සමඟින්…….
ඒ කොටස මං උපුටා ගත්තේ 2019.11.13 ‘රාවය’- ‘සිවු මංසල කොලුගැටයා; නාලක ගුණවර්ධනගේ ‘මේ මැතිවරණයේ සැබෑ තරගය ඇත්ත සහ බොරුව අතරද?’ තීරු ලිපියෙන්. 
ඒ කාලයේ නම් මේ වගේ විග්‍රහයන් කෙරුණේම නැහැනේ. 
ඒ තියා සංනිවේදනයට කොච්චර දේවල් කරන්න පුළුවනිද කියලාවත් හුඟක් අය දැනගෙන හිටියේ නැහැ. අපේ සීයාත් එහෙම එක්කෙනෙක්. නෝනාත් ඒ අත්තේම වහලා හිටපු කිරිල්ලියක්. ‘කිරි ගහට ඇන්නා වගේ වැඩේ කෙරෙයිලු.’ කියලා අපේ සීයාත් කිව්වේ බර දමලා. 
ඇත්ත, බොරුව නෙවෙයිනේ අපත් තකන්නේ. අපට රුචි; මනාප දේවල් අහන්නයි අප කැමති. රසවත් බොරුවක් වුණත් අහන්න කැමතිවීම මනුස්ස ගතියනේ, නේද? මොකෝ, අපය කියන්නේ උත්තරීතර කොටහක්යැ? 
ලොකු නංගිත් ‘ලු’ අකුර එහෙම පිටින්ම අමතක කළාය. 
ඊට සුමාන දෙකකට විතර පස්සේ තමයි එම්බසියෙන් ‘වීසා දිය නොහැකි බව’ දන්වලා එවපු ලියුම හම්බ වුණේ.
එදා හිරු අවරින් බැස ගියේ එකවරක්වත් අපේ ලොකු නංගිගේ මුහුණ  බලාගන්නට ඉඩක් නොලබාමය!
මළ කෙළියයි, ජූරි හතයි! එදා හිරු දෙයියන්ට අවරගිරෙන් බැස යන්නට වුණේ, අපේ ලොකු නංගිගේ මුහුණ බලාගන්න ඉඩක් නොලබාමය. ඒ තියා අපටවත්….. 
කෙල්ල අඬල-අඬලාම ඇස්දෙක තඩිස්සි වෙලා තිබිච්චි තරම පෙනුණේ පහුවදාය. ඒ අතරෙමයි සීයා එයාට සැනසිලිදායක කතන්දරයක් හොයාගෙන ආවේ…. 
“උන් එහෙම තමයිලු ළමයෝ…. අර මනුස්සයා කිව්වා ඇපීල් එකක් දාන්නයි කියලා. හරියටම උනන්දුව තියෙන අයට විතරක් වීසා දෙන්නලු මුල් වතාවේ reject කරන්නේ….” 
අපේ ගෙවල් පැත්ත-පළාතේ ටෙලිෆෝන් එකක් තිබුණේ පිරිමි ළමා නිවාසයට විතරය. ඒකෙනුත් ලොකුම වාසියක් වුණේ අපටය. අම්මලාටත් ඉඳහිට හෝ අපට කතා කරන්නට ඉඩ ලැබුණේ ඒකෙන්ය. 
කලින් දවසේ හවසම ටෙලිෆෝන් කර විස්තර ඇහුවායින් පස්සේ, අපේ ඩැඩා කිව්වෙත් ‘ඇපීල්’ කළ යුතු බවය. ඒ ලියුම එයාම එවන බවය.
හෙනහුරා ලබපුවම අච්චර බලගතු විෂ්ණුන්නාන්සෙත් බට කොළ කකා හිටියේ……………
“වාසනාව ලැබෙන්නෙත් වෙලාව ආවාම ළමයෝ…. නරක වෙලාව ආවාම ඒක ගෙවෙනකල් හැංගිලා හරි පරෙස්සමෙන් හරි ඉන්න වෙනවා. 
-හෙනහුරා ලබපුවම විෂ්ණුන්නාන්සේත් බටකොළ කකා හිටියේ…..” ලොකු නංගිට කිව්වේ අපේ ආච්චිය.
නෝනා එල්ලුණේ ‘ඇපීල්’ පිදුරු ගහේය. ඒ අතරේ ඒ ගැන කිසිම දෙයක් අපට කරන්නට තිබුණේ නැත. ඒත් ඒවා නිසාවත්, ලොකු ජයසූරිය අයියා කී කාරණාව නොසලකා හරින්නට අපේ අම්මා ඉඩ තිබ්බේ නැත. 
“මං සල්ලි එවන්නං. බොරලැස්ගමුව හන්දියෙම නං කොච්චර එකක්ද? ඕනෙවට වඩා ඇද-ඇද ඉන්න ගිහින් වෙනින් කවුරුහරි ඒක අරගෙන තියෙයි.” 
සමහරුන් ගැඩවිලුන්ය; තව සමහරුන් කාවුන්ය; තවත් සමහරුන් උපන් පෙරේතයන්ය….. බලාගෙන යද්දී කෙළවරක් නැතිය. මා අයිති වෙන්නේ කාවුන් ගණයටය.
තමුසේ මළාට පස්සේ ආදාහනේ කරන්නද මෙච්චර පත්තර පොත් ගොඩ ගහගෙන ඉන්නේ?
“තමුසේ මළාට පස්සේ ආදාහනේ කරන්නද හලෝ මෙච්චර පොතුයි- පත්තරයි පොදි ගහන්නේ?” අපේ ගෙදර තියෙන ‘දැනුම් කන්දරාව’ දකින වාරයක් ගණනේ නෙවිල් අහයි. පොත්- පත්තරවලට ඒ තරම් තණ්හාවකිනි මා ඉන්නේ. 
මා රැස්කරන පොත්පත් කන්දරාව දැකලාත් නෙවිල්ට අගයක් නැතිවුණාට, එයින් පොත් තුනක කවර විතරක් දැකලා රසික මියුරු නොවැම්බර් 17 වෙනිදා මෙහෙම කියලා තිබුණේ
“සුදුළූණු ටී එකක් ගැන ඇහුවමයි. මනහර, මුතුහර කියවලා තිබ්බට ප්‍රදීපා කියවලා නෑනෙ. ඔබතුමා ළඟ ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා වගේ….. 
-ඒ තටාකෙට එකතු වෙන ඒවද ළමයි නැති ගෑනුන්ට බොන්න දෙන්නෙ?”
මං එහෙම පොත් කාවෙකු වුණාට, කලින් ආත්මයක අපේ අම්මා නම් ගැඩවිල් පණුවෙකු වෙලා ඉන්නට ඇති කියලාය මට හිතෙන්නේ. (ඒ කියමන සාධාරණද කියලා ඉදිරියේදී රසික ඔයාලටම තීරණය කරගන්නටත් හැකි වේවි.)
එතෙක් නිද්‍රාවේ ගැලී හිටි ………….
විකුණන්නට තිබුණු බිම් කැබැල්ල පුංචි වුණත්, එහි කඩ කාමර දෙකක් තිබුණු බව ගිය වතාවේ කිව්වෙමි. 
එතෙක් නිලීනවී හිටි; නිද්‍රාවේ ගැලී හිටි අයිඩියානන්ද පරම්පරාවේ ජාන වහාම පිබිදී ආවේ ජයසූරිය අයියා කියූ කතාවකිනි. 
“මේකත් කියලා ඉන්නම ඕනෙනේ ලොකු මල්ලී. සමහර වෙලාවට මේ ඉඩම ආණ්ඩුවට ගන්න ඉඩ තියෙනවා….. මේකේ තමයි බොරලැස්ගමුවේ සුපර් මාර්කට් එක හදනවය කියන්නේ. ඒත් ඉතින් ඔව්වා කොයි කාලේ කෙරෙයිද කියලා කවුද දන්නේ? 
-දන්නවනේ ලංකාවේ හැටි. සමහරවිට මේ කොටස බේරෙන්නත් පුළුවන්, එහා කොනේ තියෙන හින්දා. අනිත් කාරණේ තමයි ලොකු මල්ලී, මේ කෑල්ල පවරාගත්තත් ඔයාට හදන සුපර් මාර්කට් එකෙන් කඩයක් හම්බ වෙයි.”
“එහෙනම් ජයසූරිය අයියේ, මේ ඉඩමේ කඩ කෑලි දෙක අපි දෙන්නාගේ නමට ගනිමු.”
“ඒ කිව්වේ?” 
“මේකනෙ ජයසූරිය අයියේ…. එක කඩයක් සුනිල්ගේ නමට ගන්නවා, අනෙක මගේ නමට. Super Market එක හදන්න අපේ කඩ දෙක පවරගත්තත්, එතකොට අපි දෙන්නටම කඩ දෙකක් දෙන්න වෙනවනේ….”
මං හිතුවේ ලොකා, පළතුරු කඩයක් දාන්න. බොරලැස්ගමුවට තවම ……..
ඔප්පු ගාස්තු වැඩියෙන් ගියත්, ඉඩම බෙදන්නට- සැලසුම් අන්දවන්නට වැඩියෙන් වියදම් වුණත්- ඒවා අපම දරාගන්නා බැවින්, ඉඩමේ අයිතිකාරයා ‘බැහැයි’ කිව්වේ නැත. 
කඩ කාමරය බැගින් නීත්‍යනුකූලවම සුනිල්ටත් මටත් හිමි වුණේ එහෙමය.  
“දෙන්නම සිල්ලර කඩ කරල වැඩක් නැහැනෙ, මොකද කරන්නේ?” 
“ජයසූරිය අයියත් පුළුවන් උදව්වක් කරයි. මං හිතුවේ ලොකා, පළතුරු දාන්න. බොරලැස්ගමුවට පළතුරු කඩයකුත් නැහැනේ….” ඒ වෙද්දීත් සුනිල් ප්ලෑනක් ගහල හිටියා වගෙය.
“ලොකාලා සිල්ලර කඩයක් දානවා නං මං ඒකේ ඉන්නං.” 
ලොකු නංගි කිව්වේ ලොකු කැමැත්තකින්ය. වීසා ලැබෙනතුරු වුණත් එයාට ඕනෑවී තිබුණේ හැකිතරම් වෙලාවක් ගෙදරින් පිටත්වී ඉන්නටය. 
එතකොට බතික් වැඩපොළේ ළමයින්ගේ මුහුණ බල-බලා ඉන්නට ඕනෑ නැතිය. මගේ දැනුමේ හැටියට නං ඒ ළමයින් වුණත් එයාට කෙනෙහිලි කරන්නට ආවේ නැත. හිතේ ඇදය තිබුණේ අපේ නංගියා අතේය!
පොඩි මාමා සූදු අන්තුවෙකු හින්දා………….
මෙතැනදී ආර්.වී. ජයසූරියත් අපේ උදව්වට හිටියේය. ආර්. වී. කිව්වේ රහුබැද්දේ විදානේලාගේය. එයා බදුල්ලේ කඩේ සීයාගේ පොඩිපුතාය. (අතුරුදහන්වූ පොඩි මාමා ගැන මේ බ්ලොගය ලියන්නට ගත් අලුත යන්තමින් ලියවිණි.)  
පොඩි මාමාත් මාත් එක වයසේය. “අනේ, ඉස්සර හීන් අම්මා මං ගෙදර නැති වෙලාවට ඔයාට කිරිත් පොවලා තියෙනවා.” එතනදී අපේ අම්මා ‘හීන් අම්මා’ කිව්වේ කඩේ සීයාගේ බිරියටය. එයා මට ‘කඩේ ආච්චි’ය. 
(මාව ගස්සලා යවන්නට යෝජනා කළ) බදුල්ලේ ආච්චිගේ මළගෙදරට, අම්මාත් එක්කම බදුලු ගිය අපේ තාත්තා ආපහු ආවේ පොඩි මාමාවත් එක්කාසු කරගෙනය. 
එයාත් දීපානි බතික් එකේම වැඩ කරන්නට පටන් ගෙන, අපේ ගෙදරම නැවතී උන්නේය. (අපේ වැඩපොළේ සේවය කරන්නට ආ යුවතියක විවාහ කරගෙන තාත්තෙකුත් වුණාට පස්සෙය, අතුරුදහන් වුණේ!)
“පොඩි මල්ලිටත් ඔය බිස්නස් වැඩ හොඳට හුරුයි. කඩේ බාප්පා නැති වෙලාවට වුණත් කඩේ බලාගත්තේ එයානෙ. හැබැයි රංජි, මිනිහව බලාගන්න වෙයි. ඔයාලගේ තාත්තා මිනිහව බදුල්ලෙන් මහරගමට එක්කගෙන ආවෙත් කඩේ බාප්පා එයාට කඩේ පැත්ත පලාතට එන්න නොදී ඉඳිද්දී. කඩේ සල්ලිත් අරන් පොඩි මල්ලි බූරුවා ගහලා…..” 
අම්මා උපදෙස් දුන්නේ හැතැප්ම දහස් ගණනක් ඈත සිට ටෙලිෆෝනයෙනි. 
පයින් එන දුරනේ, දවල්ට මෙහාට ඇවිත් නාලා- කාලා …………
සිල්ලර කඩය කරන්නට තීන්දු වුණේ එහෙමය. ලොකු නංගි කැෂියර් කූඩුවේය. පොඩි මාමා උදව්වටය. ඕනෑ වුණොත් තව කවුරුන් හරි පස්සේ වැඩට ගන්නට පුළුවන්ය.
“දිසානායක, නෝනාට අපේ ගෙදරින් දවල්ට බත් ටිකක් දෙන්නං.
-පයින් එන දුරනේ. ඇවිත් නාලා-කාලා යනකල් ඔයාට හරි, සුනිල්ට හරි කඩේ බලාගන්න පුළුවනිනේ.” 
මල්ලිකාලගේ අම්මා යෝජනා කළේ කඩය සැලසුම් කරන අතරේය. එතකොට සුනිල්ගේත් මල්ලිකාගේත් යාළුකම දෙපැත්තෙන්ම ‘අනුමත’ වෙලා ඉවරය. 
ඔය අතරේම බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට කළ අභියාචනයෙනුත් ‘නිශේධාර්ථ හෙවත් negative’ උත්තරයක් ලැබිණි. 
“රංජි, නෝනාට කියන්න තව අවුරුද්දක් හමාරක් ගිහිල්ලා ආයෙම වීසා ඉල්ලමු කියලා ඩැඩා කියන විත්තිය. එතකොට හරි යයිලු.” අම්මා කිව්වේ මයෙත්තෙක්කය.
පින් සිද්ද වෙයි අම්මේ කට පරෙස්සං කරගෙන ඉන්න!
“අම්මේ, පින් සිද්ද වෙයි ටිකක් කට පරෙස්සම් කරගෙන ඉන්න. ඔය ඉලව් හින්දා ගෑනි එක සැරයක් හොඳටම පිස්සු හදාගෙන හිටියේ. දැන් යාන්තං ආයෙම හිත හරියාගෙන එන අස්සේ ලෙඩ දාන්න එපා. කරන්න පුළුවන් කෙහෙල්මලක් එතකොට බලමු. කඩේ කැෂියර් වැඩේට ගෑනි කැමතියි වගේ….. වෙනසකුත්නෙ…”
ළමා නිවාසය එක්ක; එහි පාලක කුලතුංග සර් හා ඒ පවුලේ අයත් එක්ක වැඩි ඇසුරක් තිබුණේ මටය. 
ටෙලිෆෝන් කෝල් එකක් ආවත් එහාට දිව්වේ මංය. අපේ ගෙදර සිට එහාට දුවගෙන ගියත් විනාඩි තුන හතරක් යයි. ඒ නිසා කෙරුණේ පණිවිඩය ලබාදී විනාඩි දහයකින් ආයෙම අමතන එකය. එතකොට මං එහාට ගිහින්ය. 
“හැබැයි අම්මේ, එවන ලියුං වුණත් පරෙස්සමෙන් ලියන්න වෙයි.”
අපේ අම්මා ලියන්නට ගියාම මට දෙවෙනි නැත. මං තරම්වත් හික්මීමකුත් නැත. හිතට එන හැම දේම ලියයි. පිස්සිගේ පළාමල්ල කියන්නේ ඒ වගේ දේවලට වෙන්නැති!
අම්මාත් ගෙදර අයත් එක්ක වැඩියෙන්ම ලිපි ගනුදෙනු කෙරුණේ ………..
අම්මා එංගලන්තයට යන වෙලාවේ ලොකු නංගිගේ හිතේ තිබුණු නෝක්කාඩු දුරින්-දූරිභූතවී ගිහින් තිබුණු හින්දා, ලංකාවත් එංගලන්තයත් අතරේ ඕසෙට ලියුම් හුවමාරු වුණේ එයා හරහාය. මං අම්මාට අනතුරු ඇඟෙව්වෙත් ඒ නිසාමය.
ඔය අස්සෙම, කිරලා- මැනලා වගේ අපේ අම්මා සල්ලි එවා තිබුණේ බොරලැස්ගමුවේ කඩ කාමර දෙක මිලදී ගන්නට ඇති තරමට විතරය.
සේරටම කලින්, ඒවායේ හුණු තීන්ත ටිකක්වත් ගාන්නට ඕනෙය; කඩ බක්කි- රාක්ක ගහගන්නට ඕනෙය; විකුණන්නට බඩු ගන්නටත් ඕනෙය. ඒවාට සල්ලි හොයාගත්තේ අපේ ගෙදර අස්සේ ගොඩ ගැහෙමින් තිබුණු බතික් අඩු මිලට විකිණෙන සල්ලිවලිනි. 
ඒ නිසාවෙන් බතික් වැඩවලට හිර කෙරෙන මුදල් ප්‍රමාණය එන්න-එන්නම අඩුවෙමින් ගියේත් ඒ වකවනුවේය.
කඩ දෙකේ වැඩවලට වැඩියෙන්ම වෙහෙසුණේ සුනිලුත්, නෝනාත්, අනිලුත්, පොඩි මාමාත්, මල්ලිකාලගේ ගෙදර අයත්ය.
මට මතක හැටියට නම් ලොකු ජයසූරිය අයියාත් තොග මිලදී ගන්නට වෙළෙඳසල් කිහිපයක්ම හඳුන්වා දුන්නා වගෙය. මිල පාලන දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙකුට නොසලකන්නේ කොයි වෙළෙන්දාද?
මේ අතර කාලයේම වගෙය ලොකු නංගි; පුෂ්පා රංජනී දිසානායක යුවතිය………..
%d bloggers like this: