Menu Close

‘පෑඩ් සහ මෑඩ්‘ – ආක්ෂේ කුමාර්ට එරෙහිව බන්දු සමරසිංහ

(2019 ‍7නොවැම්බර් 17 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

තමන් ජනපතිවරණය ජය ගතහොත් සනීපාරක්ෂක තුවා සියළු කතුන්ට නොමිලේ සපයන බව එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ සිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ වී නොබෝ දිනකිනි. ජනාධිපතිවරණ සහ මැතිවරණ ආසන්නයේ නොමිලේ ලබා දෙන දීමනා, තෑගිබෝග, සහන මලු යනාදිය පිළිබඳ සඳහන් නිරන්තරව මුණගැසෙතත් සජිත්ගේ මෙම ප්‍රකාශය නවමු කලාපයක් වෙත සාකච්ඡාව මෙහෙයවූයේ එකිනෙක හා ගැටෙන මෙන්ම එක්ව නැගෙන මතිමතාන්තර රාශියක් මැතිවරණ වේදිකාවලත්, ඉන් බාහිරයේත් හමුවීම ඇරඹිණ.

ලිංගික අධ්‍යාපනය මෙන්ම ඒ හා බැඳුණු සෞඛ්‍ය අධ්‍යාපනයත් සීමාසහිත කලාපවල පිහිටුවා ඇති ලංකාවේ අධ්‍යාපනය තවමත් වැඩී වියපත් වන තරුණියකගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් වන මාසික ආර්තවය දකින්නේ එතරම් එළිපිට කතා නොකළ යුතු රහසිගත ‘යමක්‘ වශයෙනි. ගැටවරයන්ට එය තම සම වයස් යෞවනියන්ට උසුළු විසුළු කරන්නට ‘යමක්‘ ලෙස ද, තරුණියන් එය සමාජයෙන් හැකි පමණ සඟවා  තබාගත යුතු හා ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකළ යුතු ‘යමක්‘ ලෙස ද, වැඩිහිටියන්ට ද එය ප්‍රසිද්ධ සාකච්ඡා මේසවලට නොකැඳවිය යුතු හා දරුවන්ට තේරුම් කරන්නට මහන්සි නොවිය යුතු ‘යමක්‘ ලෙස ද පවත්වාගෙන යන අතර මාසික ආර්තවය හා භාවිතයට කැඳවන සනීපාරක්ෂක තුවාය හෙවත් ‘පෑඩය‘ පවතින්නේ ද වෙළඳ සැල්වලදී ‘හොරෙන් ඔතා දෙන යමක්‘ ලෙසිනි. එය හොරෙන් ඔතා දිය යුත්තක්ම බවත්, එළිපිට දීම ලජ්ජා සහගත බවත් ප්‍රකට පුවත්පතක ජ්‍යෙෂ්ඨ ලියන්නෙකු වන තිලක් සේනාසිංහ සිය පුවත්පතේ ලිව්වේ මේ නුදුරු දිනක ය. නොමිලේ දීම කෙසේ වෙතත් සජිත් ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රසිද්ධ කළේ මේ ‘හොරෙන් ඔතන යම‘ වන පෑඩය ගැන ය.  

ඕනෑම නොමිල දීමනාවක් සඳහා රාජ්‍ය භාණ්ඩාගාරය මුදල් වෙන් කළ යුතු බැවින් මේ සඳහා ද රජයේ බදු මුදල් වැය වන බවත්, ඒ මහජන මුදල් බවත් සඳහන් කරමින් ජනගහනයෙන් සියයට 52%ක් වන කාන්තාවන්ගෙන් මාසික ආර්තවයට මුහුණ දෙන (වැඩිවියපත් වයසේ සිට ආර්තවහරණය දක්වා වයස් කාණ්ඩවල පසුවන) සියලු කාන්තාවන්ට මාසිකව මෙම නොමිල දීමනාව සඳහා කෙතරම් මුදලක් වැය විය හැකි ද යන්නත් ගැන තාර්කික සාකච්ඡා මෙම ප්‍රකාශයත් සමග නැගිණ. නමුත් ප්‍රධාන සාකච්ඡාව හා ඒ පසුපසින් නැගුණු සමාජ ජාල උසුළු විසුළු යනාදිය ද යොමු වුණේ ‘හොරෙන් ඔතන යමක්‘ ගැන කියන්නට පෙරට ආ ජනපති අපේක්ෂකයා ඉලක්ක කොට ගෙන ය. ඔහුට ‘පෑඩ් මෑන්‘ යන නම පටබැඳුණු අතර 2018 වර්ෂයේ දී ඉන්දියාවේ දී එළි දුටු, ආර්. බල්කි අධ්‍යක්ෂණය කළ ‘පෑඩ් මෑන්‘ චිත්‍රපටයේ පෝස්ටරයේ ආක්ෂේ කුමාර්ගේ මුහුණට සජිත් ප්‍රේමදාසගේ මුහුණ ද ආදේශ වී තිබිණ. ස්වාධීන රූපවාහිනිය ඔක්තෝබර් 02 වැනිදා රාත්‍රියේ ‘පෑඩ් මෑන්‘ විකාශය කළ අතර තහවුරු නොකළ පුවත් අතර කියැවුණේ ප්‍රතිවාදී පාර්ශවය එය නවතාලන්නට මැතිවරණ කොමිසම වෙතින් ඉල්ලීම් කළ බව ය.

මුරුගනාදන් සමග ආක්ෂේ කුමාර් සහ රිතිකා ආප්ටේ රැගත් පෝස්ටරය
ආර්. බල්කි ‘පෑඩ් මෑන්‘ චිත්‍රපටය නිර්මාණය කරන්නේ සත්‍ය කතාවක් පසුබිම් කොටගෙන ය. තමිල්නාඩු ප්‍රාන්ත වැසියෙකු වන අරුණාචලම් මුරුගනාදන්, සිය බිරිඳ ආර්තවය සිදුවන දිනවලදී නැවත භාවිත කළ රෙදි කැබලි සහ පත්තර පිටු වහනය වන රුධිරය උරා ගැනීමට භාවිත කරනු දැක, සනීපාරක්ෂක තුවා අධික ලෙස මිල බව ද වටහාගෙන, අඩු වියදමකින් සනීපාරක්ෂක තුවා නිපදවීම සඳහා සිදු කළ ඇදහිය නොහැකි නවෝත්පාදක මෙහෙයුම පිළිබඳ සත්‍ය කතාව චිත්‍රපටය පසුබිමෙන් වෙයි. මුරුගනාදන්ගේ සාමාන්‍ය පෙනුම වෙනුවට අපට චිත්‍රපටයේ දී හමුවන්නේ කඩවසම් ආක්ෂේ කුමාර් ය. ඔහුගේ බිරිඳ ලෙස රිතිකා ආප්ටේ ද (රොමාන්තික ලෙස නැගෙන බොලිවුඩ් ආකෘතිය සුරකින්නට සමත්) උදව්වට එන දිල්ලියේ තරුණිය ලෙස සෝනම් කපූර් ද රංගනයෙන් දායක වන ‘පෑඩ් මෑන්‘ 2018 වර්ෂයේ ඉහළම ආදායම් දිනූ බොලිවුඩ් චිත්‍රපට අතර 10 වන තැන ද, ජාතික හා ෆිල්ම් ෆෙයාර් වැනි උළෙලවල සම්මාන හා නිර්දේශයන් ද දිනමින් සාර්ථක චිත්‍රපට අතරට එක් වෙයි. කෙසේ වෙතත්, මුරුගනාදන්ගේ මෙහෙයුම හමුවන එකම චිත්‍රපටය ‘පෑඩ් මෑන්‘ නොවේ. ‘මෙන්ස්ට්‍රැවල් මෑන්‘ නමින් අමිත් විර්මානි අතින් 2013 වර්ෂයේ වාර්තා චිත්‍රපටයක් ලෙස නැගෙන එම කතාව 2017 වර්ෂයේ දී ‘පුල්ලු‘ නමින් අභිෂේක් සක්සේනා අතින් වෘතාන්තයක් ලෙස ද නැගෙයි. ‘Period. End of Sentence‘ නමින් 2018 දී නිමැවෙන කෙටි වාර්තා චිත්‍රපටයේ ද මුරුගනාදන් යළි අපට චරිතයක් ලෙස මුණගැසෙයි.

සජිත්ගේ මුහුණ යොදා ඉවත් කළ ‘පෑඩ් මෑන්‘ හි පෝස්ටර් රූපයේ සැබෑ මුහුණ අයිති ප්‍රකට බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර්ට ය. ආක්ෂේ නමින් සිනමා ලොව ප්‍රකට වුවත්, වත්මනෙහි කැනේඩියානු ජාතිකයෙකු වන ඔහුගේ සැබෑ නම රජීව් හරි ඕම් භාතියා ය. 90 දශකයේ සිනමාවට ප්‍රවිශ්ට වන ආක්ෂේ සාර්ථකත්වය අතින් ඉහළම හිනිපෙත්ත වෙත ළඟා වූවෙකි. පද්ම ශ්‍රී සම්මානය ඇතුළු ඉහළම ඇගයීම් හා ජාතික සම්මාන දිනූවෙකි. කැනඩාවේ වින්ඩ්සර් විශ්වවිද්‍යාලයෙන් සම්මාන ආචාර්ය පදවියකින් පිදුම් ලැබූවෙකි. ප්‍රේමවන්තයාගේ සිය දුෂ්ටයා දක්වාත්, ගම්භිර වැඩිහිටියාගේ සිට විකටයා දක්වාත් චරිත බොලිවුඩ් ප්‍රේක්ෂාගාර වෙත තිළිණ කොට දී සාර්ථක වූවෙකි. සිනමා පවුලක දියණියක වන ට්වින්කල් ඛන්නා සිය බිරිඳ ලෙස ද, දෙදරු පියෙකු ලෙස ද, කැනේඩියානු ජාතිකත්වය ද සහිතව, කුමාර දිවියක් ගත කරන ආක්ෂේට, යට කී පිළිගැනීම් සියල්ල ඉතිරි කොටගෙන ‘පෑඩ් මෑන්‘ චරිතයට පණ පෙවීම ප්‍රතික්ෂේප කරන්නටත් ඉඩ තිබෙන්නට ඇත.

ආක්ෂේ කුමාර්ගේ චරිත නිරූපණ ප්‍රවර්ග අතර ප්‍රමුඛ ප්‍රවර්ගයක් වන්නේ ‘විකට‘ ප්‍රවර්ගයයි. මෙරට ද ප්‍රකට වූ ‘ගරම් මසාලා‘ සහ ‘මුජෙ ෂාදි කරෝගි‘ ඇතුළු චිත්‍රපට රැසක ඔහුගේ චරිත හාස්‍යය හා බැඳේ. ‘පෑඩ් මෑන්‘ හි ලක්ෂ්මිගේ චරිතයට ඔහු ලබා දෙන තානය තුළ ද හාස්‍ය රස නැංවීමක් වෙයි. මහා ධාරාවේ සිනමා ප්‍රේක්ෂාගාරය හා එක්ව යන නළුවෙකු ලෙස ඔහු මවන එම තාන ඔහුගේ සාර්ථකත්වයට ද හේතු වූවා සැක නැත. කෙසේ වෙතත්, ‘පෑඩ් මෑන්‘ හරහා ඔහු කියන කතාව හාස්‍යයක් නොවේ. ඉන්දීය ජනගහණයෙන් 12%ක් පමණක් ප්‍රමිතිගත සනීපාරක්ෂක තුවා භාවිතා කරන මොහොතක, සෞඛ්‍යාරක්ෂිත නොවුණු භාවිතාවන් නිසා තරුණියන් විවිධ රෝගාබාධවලට මෙන්ම මරණයට ද ගොදුරු වූ මොහොතක එයට එරෙහිව පිරිමියෙකු නැගී සිටීම කිසිසේත් හාස්‍යයක් නොවේ. එම තත්‍ය චරිතය නිරූපණය හරහා එම මහරු මෙහෙයුම මහා සංවාදය තුළ පිහිටුවීමට දායක වීම කිසිදු අයුරකින් හාස්‍යයක් නොවේ.

විකට නළුවා තමන් මවන හාස්‍යය හරහා ප්‍රේක්ෂක මුවට සිනහව නැංවිය යුතු පමණක් නොව නෙතට කඳුළු ද නැංවිය යුතු ය. ඒ හාස්‍යය පසුපසින් ඔහු තබන මානවවාදය සමග තබමිනි. චාලි චැප්ලින් සිදු කළේ එම කාර්යයයි. ආක්ෂේ කුමාර් චැප්ලින් හා සම කළ හැකි නොවෙතත් ‘පෑඩ් මෑන්‘ නිරූපණය කරමින් චැප්ලින් ස්වරූපයේ මානවවාදී විකට නළුවන් කළ මෙහෙයට යම් අයුරකින් හෝ දායක වන්නට ඔහු දැරූ තැත අගනේ ය. මුරුගනාදන් ඉතා අඩු මිලට සනීපාරක්ෂක තුවා තනමින් සමස්ථ ඉන්දියාවේම කාන්තා ජීවිතය වෙනස් කරන්නට ගත් තැත හා සම කළ හැකි නොවෙතත්, සෑම කාන්තාවක් වෙතම ප්‍රමිතිගත සනීපාරක්ෂක තුවා ලැබිය යුතු ය යන අදහස පෙරට ගෙන ඒම පිළිබඳ සජිත්ට යම් ඇගයුමක් ලැබිය යුතු ය. මුරුගනාදන්ගේ තත්‍ය කතාව මෙන්ම ආක්ෂේගේ චරිත නිරූපණය ද සජිත් ප්‍රේමදාසගේ පොරොන්දුව ද යළි යළිත් අපට සිහි කරවා දෙන්නේ කලාපීය කාන්තාවන් මුහුණ දී සිටින ඛේදනීය යථාර්ථයක් බැවිණි.

ඉදින් අපට මෙය හාස්‍යයට ලක් කළ හැකි ද? ආක්ෂේගේ චරිත නිරූපණ පතිත වන තිරය මතටම තම ප්‍රතිරූපය පතිත කරවමින් තමන් ද ‘විකට නළුවකු‘ බව වර නගාගෙන ඇති බන්දු සමරසිංහ වෙතින් හා ඔහුට වේදිකාව තැනූ සියල්ලන්ගෙන් ද, බන්දුගේ ප්‍රකාශය ‘රස විඳි‘ ප්‍රජාවගෙන් ද ඇසිය යුතු හා හැකි ප්‍රශ්නය එයයි. තමන් විවාපත්ව වසර 40කට පසුවත් ‘ඔසප් වීම‘ නොදන්නා බවට ඔහු කරනා ප්‍රකාශය භයානක විහිළුවකි. සිය ආදරණීය මව, බිරිඳ, පෙම්වතිය, දියණිය, මිතුරිය මුහුණ දෙන ස්වභාවික ක්‍රියාදාමය හා එයට සනීපාරක්ෂිතව මුහුණ දීමට බහුතර ස්ත්‍රීන්ට වත්කමක් නොමැති බව නොදැන සිටීම බන්දු සමරසිංහ මෙතෙක් කළ විහිළු (ඔහු ඒ විහිළු බව විශ්වාස කරනා හෙයින්ම) අතර භයානකම විහිළුවයි.

තවමත් ග්‍රාමීය සමාජවල ස්ත්‍රීන්ගෙන් සැළකිය යුතු ප්‍රතිශතයක් අනාරක්ෂිත සනීපාරක්ෂක මෙවලම් භාවිතා කරන බව තහවුරු කෙරෙන පර්යේෂණ වාර්තා බොහොමයකි. මාතර දිස්ත්‍රික්කයේ පාසැල් වයසේ යෞවනියක් සිය ආර්තව සමයේ භාවිතා කළ රෙදි කැබැල්ලක් තුළ (ඒ රෙදි වේලාගන්නේ රහසිගතව නිවෙස් පසුපස නිසා) සර්පයෙකු හිඳ දශ්ට කිරීමෙන් මිය ගියේ එතරම් දුර කාලයක නොවන බව, කිසිදු විකට චිත්‍රපටයක් නොතැනූ, අශෝක හඳගම සිය මුහුණුපොතේ ලියා තිබුණේ ද නුදුරු දිනක ය.

මුරුගනාදන් එරෙහි ව සිටගත්තේ මේ භයානක විහිළුවට එරෙහිව ය. ආක්ෂේ කුමාර් සිය රංගන දායකත්වය සපයන්නේ ඒ භයානක විහිළුව ගැන කියන්නට ය. බන්දු සමරසිංහ දේශපාලන වේදිකාවට නගින්නේ සර්ප දශ්ඨනයෙන් මියගිය යටකී අවිහිංසක යෞවනිය ඇතුළු තරුණියන්ගේ සිට ආක්ෂේ කුමාර් දක්වා සියල්ලන්මත්, මානව දහමත් විහිළුවකට ගනිමිනි.

-ප්‍රියන්ත ෆොන්සේකා –

 සේයාරුව: https://www.thenewsminute.com/

%d bloggers like this: