Menu Close

232. සුහදිනියේ – 27 | සිහිනයෙන් බැස මහපොළවට , වැදගත් හමුවක්

කලින් කොටසට 

කුමක්දෝ අමුත්තක් නිසා මම තිගැස්සී අවදිවීමි. මුළු සිරුරම එකවරම සලිත කරමින් මට දහදිය දමන්නට විය.

සිදුවුයේ කුමක්ද?

යන්තම් අඳුරට හුරුවූ ඇස විසින් මා සිටින්නේ මගේ කාමරයේ ජනේලයට මුහුණලා හිඳගත් සෝෆාවේ බව පසක් වූ අතර , කාමරයේ බැල්කනිය දෙසට ඇති උස් ජනේලය තුලින් සිසිල් සුළඟ ශරීරය වසා නැගුනු දහදිය වහ වහා පිස දමන්නට මෙන් හමා යන්නට විය.

මේ රාත්‍රියේ එය හැරදමා ඇත්තේ කවුරුන්ද? එකවරම යමක් සිහියට ආ මම යහනෙන් බිමට බැස්සා නොව පැන්නුනි.

මධුලිකා කාමරයේ සිටින බවට කිසිදු සාක්ෂියක් නොවුනි!

වහා ජනේලයෙන් එබුනු මට, රාත්‍රී අහසේ අන්ධකාරය අතුරෙන් පෙරී එන සඳ එළිය තුලින්, බැල්කනියේ එතනම කුඩා ගුලියක් සේ බිම හිඳගෙන සිටින මධුලිකා ඇස ගැටෙද්දී යන්තම් හුස්මක් වැටුණි.

ඊළඟ මොහොතේ මගේ කල්පනාව නැවතත් අවුල්ව දැනුනි. කුමක්ද සිදුවුයේ? මධුලිකා මෙතැනට පැමිණියේ කෙසේද?

ඒ සමඟම මට අමුත්තක් දැනුනි. මීට මොහොතකට පෙර මධුලිකා මා සිපගත්තා නොවේද? මම නොදැනුවත්වම මගේ දෙතොල් මට අතගෑවිනි.

ඇත්තටම එය සිදුවූවාද?

මම කුමන අරමුණකින් මගේ ඇඳුම් දෙස බැලුවාද ; පිරික්සුවාද කියා නොදන්නා නමුත් මා තවමත් මට සිහියට නගාගතහැකි අවසන් මොහොත වනවිට සිටි ආකාරයෙන්ම බව වැටහෙන්නට එය කුමක් හෝ ඉඟියක් ලබාදුනි.

නැත… මම දුටුවේ ස්වප්නයකි!

ගල් බොරයක් සේ මගේ සිත කඩා වැටෙන්නට ඒ හැඟීම හොඳටම ප්‍රමාණවත් විය!!

මගේ ඒ සිහිනය කොතරම් සජීවීව දුටුවාද කිවහොත් මට මේ දැන් පවා ඇගෙන් විහිදුනු ඒ සුවඳත්, ස්පර්ශයෙන් ලැබුණු ආනන්දයත් දෑස් පියා සිහිපත්කල හැකිය. හදවත කිතුවී යනවා මම අත්දකින්නට ඇත්තේ ඒ මොහොතේ විය යුතුය. මම ගොළුව ; ගල්ගැසී ගියෙමි.

මම ජනේලය අසල සිටිනවා මධුලිකාට දැනුනු බව මට දැනුනේ ඇගේ සෙලවිමෙනි. ඇගේ මුහුණ මට පැහැදිලිව නොපෙනෙන නමුත් මගේ පපුව වේගයෙන් සැලේ.අතිශය සජීවී ස්වාප්නයයකින් පිබිද ; එහි වින්දනයෙන් මිදීගත නොහැකි බැවින් මම ආතුරව වී ඇති බවක් මට දැනුනි. 

මා සිටියේ ස්වාප්නයත් සැබෑ ජීවිතයත් අතරමැද යම් ගන්ධබ්බ අවස්තාවක වන්නට ඇත. මධුලිකා මා දෙස බලා සිටිනුත්, ඒ සමඟම බියෙන් මෙන් ආපසු එන්නට නැගී සිටිනුත් මට පෙනුනි. මම හිසකෙස් අතරින් ඇඟිලි වේගයෙන් යවමින් පියවි සිහිය හා පොරබන්දමින් උන්නෙමි.

ජනේලය අසලින් මෑත්ව, මේසය මත තිබුණු වතුර ජෝගුව වෙත අත පෙවුවද, එය හිස්ය. මට අවැසිව තිබුනේ වතුර නොවන්නට ඇත. එකවරම මම යමක් සිහිපත්ව සෝෆාවේ කෝපි මේසය මත තිබුණු විදුරු අළු බඳුන දෙස ක්ෂණිකව බැලීමි. එය එහි තිබුනේ නැත. මම වහා කාමරයේ විදුලි බල්බය දල්විමි; එය නිරායාසයෙනි. ඒ වනවිට ජනේලයෙන් පැන කාමරයට පැමිණි මධුලිකා ගල්ගැසී මෙන් මා දෙස බැලුවාය.

ඇත්තටම ඈ මා සිපගත්තාද?

“කෝ මෙතන තිබ්බ ඈෂ් ට්‍රේ එක?”

මම පැටලෙන හඬින් විමසීමි. මගේ ඇස් ඇගෙන් මුදවාගැනීම අපහසුය.

“ඒ… ඒක වැටෙන සද්දෙට තමයි මමත් ඇහැරුනේ… ඔයානේ එතන හිටියේ. මම හිතන්නේ වෝඩ්රොබ් එක පිටිපස්සට ගියා..”

විමසීමෙන් පලක් නැත. මම ආලෝකමත් වූ කාමරයේ කවුළුව වසා වහා ජනෙල් තිර ආවරණය දැමුවෙමි. මධුලිකා සීරුවට පසෙකට වී සිටියාය.

විදුලි බල්බය නොතිබුනානම් හොඳය. එය තිබීම ඊටත් වඩා හොඳය. මගේ නොසන්සුන් බව මා දැලට හසුවූ මත්ස්‍යයෙකු බවට පත්කොට ඇත.

“මධු…. මට ඔයත් එක්ක ටිකක් කතාකරන්න ඕනේ….”

මධුලිකා එතනම තිබුණු කුඩා පුටුවට බරවුයේ මා දෙස ඉතා සැලකිල්ලෙන් බලාගත්වනමය.

“විරංග හම්බෙන්න ගියාද?”

මම කලබල වුයේ නැත. විරංග ඇයට කතාකරන්නට ඇති බවට මම සැක කලෙමි. ඔවුන් දෙදෙනාගේ අතර යම් රහසක් තිබෙන බව මට දැනෙන විට මා තුර මෘග සංඥාව පහලවනවා සේ මට දැනෙන්නේ ඇයි ? හැඟීම් තුලින් පිළිතුරු සෙවිය හැකි මොහොතක නොවේ මම සිටින්නේ.

මම කාමරයේ බල්බය මන්ද කලෙමි. මධුලිකාට මුහුණලා තිබුණු පුටුවේ මම හිඳගත්තේ නැත.

“ඔව්.. ! ඔයා දන්නවද…. ඌ ඔයාව බඳිනවා කිව්වේ සල්ලි ගන්න කියලා කිව්වද?”

මධුලිකා තත්පර කිහිපයක්ම තාප්පයක් සේ නොසෙල්වී සිටියාය. ස්වාප්නයේදී ඈ කෙතරම්ම සජීවීව උන්නාද?

“….. ම-ම ඒක දන්නවා. “

මධුලිකාගේ හඬ තුල යම් දෙදරීමක් තිබිණි. මට ඈ ගැන මහා අනුකම්පාවක් දැනුනි. එය ප්‍රේමයදැයි නොදනිතත් වඩා තීව්‍රව ගිය මහත්වූ ලය වේදනාවක් ලෙස මගේ සිරුර පුරා එය විහිදී ගියේය.

“විරංග නරක කොල්ලෙක් නෙවෙයි. උගේ ස්ටෙප් ෆාදර්..”

“මම දන්නවා…”

“මොනාද දන්නේ?”

“මම දන්නවා ඔයා මකරෙක් ගාවට උනත් යනවා කියලා මම වෙනුවෙන්”

මම ගල්ගැසී ගියෙමි. මම මේ දැන් ඇසුයේ කවරක්ද? එය මා ගැන කල කවර ආකාරයේ ප්‍රකාශයක්ද?

“… ඒකට බොහොම ස්තුතියි”

මා සතුව කියන්නට කිසිවක් නොවුනි. ඒ සියල්ල ගිලිහි ගිය දොඩම් ගෙඩි රැසක් සේ සීසීකඩ විසිර ගියා සේය.

 “…. ඔයා මේ කරන උදව් කවදාවත් මම අමතක කරන්නේ නැහැ. “

“මම කියන්න ආවේ ඒක නෙවෙයි.. ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නේ සල්ලි වලට? විරංගට සල්ලි දෙනවද?”

මධුලිකාගේ ඒ වචනවල ඇති තියුවූ වේදනාත්මක දුරස්තබව දරාගත නොහැකිව මම කතාව මට අවැසි පැත්තට නමා ගතිමි. මගේ හිස වේදනාවට පත්ව ඇත. බියර් මත යම් පමණකට මා තල දෙකක දෝලනය කරනු පෙනේ.

“මට හිතන්න ඕනේ”

මම බලාපොරොත්තු වුනු පිළිතුර එය නොවේ. විරංගට මුදල් දී ඔහුගෙන් මිදෙන්නට මැයට අවශ්‍ය නැත්තේ කුමක් නිසාද? එසේනම් විරංග කෙරෙහි ඇත්තේ වෙනස් බැඳීමක්ද?

වඩාත්ම නිවැරදිව පැවසුවහොත්, ඊර්ෂ්‍යාව විසින් මගේ සිහිය වඩා තීව්‍ර කරවන්නට ඇත.

කුමක්හෝ අවාසනාවකට මට මධුලිකා කෙරෙහි ඇති අනුකම්පාව අඩුවක් වන්නේද , මගේ සුපුරුදු ක්ෂණික කෝපයෙන් ඈ මිරිකා හැර මිදෙන්නටද සිතෙන්නේද නැත. මෙය ප්‍රේමයදැයි මට වෙනකොට හඳුනාගත නොහැකිය. ඈ වෙත මා කෙරෙහි ඇති සංකීර්ණ මනෝභාවය ප්‍රේමයද?

ස්වප්නයේදී ඈ කෙතරම් ආදරණීයව සිටියාද? නැතිනම් එය ස්වප්නයක් නොවේද?
“මධු…. දේවල් කීපයක් තියෙනවා අපිට ලෙහාගන්න. ඒවා ලෙහාගන්න මට ඔයාගේ උදව් ඕනේ. තාමත් මිස්ටර් වාකිෂ්ඨ ගේ කිසිම කන්ටක්ට් එකක් වැඩකරන්නේ නැහැ. ලංකාවට ආවද කියල මම ආයෙත් හොයල බලන්න ඕනේ”

මගේ හඬ මෘදු වන්නට ඇත්තේ පහත් ස්වරයෙන් කතාකල නිසා වන්නට ඇත. නමුත් මගේ හදවත පමණකට බරව පැවතුනි. මධුලිකා දැල්වෙන දෑසින් මා දෙස බලා සිටියේ සිය උනන්දුව පළකරමිනි.

“…. මිස්ටර් වාකිෂ්ඨ එක්ක කතාකරලා ඕනේ අපි පොලිසියට යනවා නම් යන්න. තාරුක අයියාට වඩා එකට ගැලපෙන්නේ වාකිෂ්ඨම තමයි. ඒ හින්දා එතකල් අපිට එහෙ මෙහෙ වෙවී ඉන්න වෙයි”

මගේ පඳුරු තැලිල්ල යම් පමණකට තේරුම් ගත්තා සේ මධුලිකා ඇසිපිය වේගයෙන් ගැසුවාය.

“මම කාටවත් කිව්වේ නැහැ අපි යන තැනක්… ඔයාට සැකනම් බලන්න මගේ ෆෝන් එක. සමාවෙන්න මගෙන් ඒ වැරැද්ද ආයේ වෙන්නේ නැහැ”

මගේ ස්වප්නයේදී ඈ දුන් පිළිතුර හා එය කොතරම් කැපුණේදැයි සිතනවිට මට ඇතිවුයේ විශ්මයකි. එය ඇත්තටම සිහිනයක් පමණක්මද? මගේ සිත අධික ලොබකමකින් පිරි යයි. ඇගේ මුවින් සමාවක් ගැනීම ඉබ්බෙකුගෙන් ලැබුණු පිහාට්ටක් මෙනි.

“විරංග ගැන මට ඇත්ත නොකිව්වට කමක් නැහැ. එක ඔයාගේ චොයිස් එක. නමුත් මේක ඔයාට විසඳගන්න ඕනේ දේවල් වලට මට කිසි දෙයක් හංගන්න එපා.”

හීනියට කොනිත්තන්නට මට අවශ්‍ය වුවත් මධුලිකාගේ එතරම් වෙනසක් ඉන් මම අපේක්ෂා කලේ නැත.

“සමාවෙන්න.. මොනවද මගෙන් කෙරෙන්න ඕනේ. මට දැන් ඉන්න විශ්වාසවන්තම කෙනා ඔයා තමයි. “

මධුලිකා තවත් යමක් කියන්නට උත්සහ කර, එක එකවරම නතරකරගත්තාය. එසේ වීම මටද පහසුවක් සේ දැනුනි. ඇගේ මේ වර්ණනාව මට නුහුරකි. නමුත් හදවත තුලින් අපේක්ෂා කරනලද්දකි.

“ඔයාගේ පස්සෙන් අපි දන්නා අයට අමතරව, නොදන්නා කෙනෙකුත් පන්නනවා වෙන්න පුළුවන්. “

“………”

“සතරසිංග කියන්නේ එළිපිට අපිට හැප්පෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ නිසා.. වඩාත්ම හොඳ, ඔයා ; ඔයාට ආරක්ෂාව දෙන්න පුළුවන් කෙනෙක් අතට පත්වෙනකල්, මේ රටෙන් පිටවෙලා යන එක.. “

“?”

“ඒකට ඕනේ කරන දේවල් මම හදලා දෙන්නම්. පාස්පෝට් එකක් හදවමු. මම ඒවා කරනකල්… ඔයා පරෙස්සම් තැනක ඉන්න ඕනේ. මෙහෙ පරිස්සම් උනාට.. අපේ මල්ලි ඉන්නවා එහා කාමරේ… ඊටත්…”

“මට තේරෙනවා. මම නිසා ඔයා පුදුම කරදරයක් විඳින්නේ”

“නෑ.. මම කිව්වේ ඒ ගැන නෙවෙයි.. ඒක ප්‍රශ්නයක් නැහැ”

“නෑ ඒ ගැන මම හිතනවා…”

මධුලිකා නැවතත් වචන වසාගත්තාය. මමද උඩ-බිම බලමින් සැහැල්ලු වන්නට උත්සහ කලෙමි.

“මම මේක ඔයාට මගේ පුළුවන් උපරිමෙන් විසඳලා දෙන්නම්. එතකල් … එළියට බහින්න එපා මට කියන්නේ නැතුව…”

මම මේසය මත තිබුණු මගේ ඔරලෝසුව දෙස බලා වෙලාව තහවුරු කරගතිමි. එහි සටහන්ව තිබුනේ පාන්දර තුන පසුවී විනාඩි විසි නවයක් ලෙසිනි.

“…. අපි දැන් යන්න ඕනේ… ඔක්කොම ඩොකියුමන්ට්ස් තියෙන්නේ වෙහිකල් එකේ. ඇඳුම් මම අරන් දෙන්නම්, දැන් යමු”

මගේ විධානයෙන් මධුලිකා පසුබා ගියේ නැත. ඇය නොසෙල්වී බලා සිටිද්දී, මම අල්මාරියේ උඩම තට්ටුවේ කොනක තිබුණු පතුරොම් කිහිපය ගෙන ඇඳ සිටි කලිසමේ කාගෝ සාක්කුවට දමා හොඳින් බොත්තම් පියවා ගත්තෙමි. මධුලිකා මා දෙස බලාගත්වනම සිටිනවා දැනි දැනීම මම පොයින්ට් 38 රිවෝල්වරය ගෙන ඉනෙහි වම්පස රඳවා ගත්තෙමි.

“කොහෙද යන්නේ?”

මධුලිකාගේ ස්වරයේ තිබුනේ අධිපතිබවක් නොවේ. මම ඈ දෙස නොබලමින්ම අඩුවැඩිය පිරික්සමින් මගේ පිටේ ගෙනියන බෑගය පුරවාගතිමි. එයට දත්බුරුසුව සහ තුවාය සමඟ, මධුලිකාට පවා ආරක්ෂිතව භාවිතාකල හැකි ජැකට්ටුවක් සමඟ වූ ඇඳුම් කිහිපයක් විය.

“යමු.. පරක්කු වෙනවා”

මධුලිකාට පිළිතුරු නොදුන් මම ඈ දෙස නොබලා ඈ පසුකොට ගොස් ජනේලය අසල සිටගතිමි. මධුලිකා කිසිවක් නොආසා මා අසලට පැමිණියාය. මට මා ගැනම සිහින් කෝපයක් නැගුණි.

මගේ ඝර්ජනා සියල්ල ඈ එක බැල්මකින් කීතුකර දමන්නට තරම් මම දුර්වලයෙක්ද?

ජනේලයෙන් පිටට පැන එය සීරුවෙන් වසා මධුලිකා සමඟ මම පහල මාලයට පැමිණියෙමි. වාහනය තවමත් ඇත්තේ තැබූ අයුරෙනි. මධුලිකා මම කියන්නටත් පෙර අතිශය ප්‍රවේශමෙන් දොර හැර පසුපස ආසනයේ දිගා වනවිට, මම සෙමෙන් ගොස් ගේට්ටුව විවර කලෙමි. මුර කුටියෙන් වහා විදුලි පන්දම දැල්වුණි. මුරකරුගේ සැකයට බඳුන් නොවන්නට මම ඔහුට වචන කිහිපයක් කතාකලෙමි. ඔහු මට ඇති බිය නිසාම , මේ ගමන ගැන නොකියනු ඇත.

වාහනය ප්‍රධාන මාර්ගයට එනතුරුම අප දෙදෙනාගෙන් කිසිවකුත් කතාකලේ නැත. ප්‍රධාන මාර්ගයට පිවිසෙන්නට ආසන්නයේ මධුලිකා කෙලින්ව හිඳගන්නවා මට පෙනුනි.

“ඉස්සරහට එන්න.. මම ඔයාගේ ඩ්‍රයිවර් නෙවෙයිනේ!”

මට සම්ප්‍රදායික දෙබසකි. එහි වූ මෝඩකම මට වැටහුනේ එය මගෙන් ගිලිහුන පමාවෙනි.

“මොකද නැත්තේ… හස්බන්ඩ් කියන්නේ ඩ්‍රයිවර් තමයි”

මධුලිකාගේ පිළිතුරට කැපෙන අතිශය රුදුරු පිළිතුරක් මා මුව අග නලියන්නට වුවත්, මේ මොහොත අහිමි කරගන්නට මට අවැසි නොවුණු බැවින් මම පරාජය සිනහවකින් පිළිගන්නා බවක් පෙන්වූයෙමි.

විතක් බඳු ඒ වචන වලට මම මත්ව ගියාක් සේ දැනුනි. එනම් මධුලිකා මා ඇගේ ස්වාමියා ලෙස පිළිගත් බවද? නැතිනම් මේ ජවනිකාව තුල පමණක් හෝ ස්වාමියා ලෙස පිළිගෙන ඇතිද? ඒ සියල්ලටම වඩා නිතිය නිසා මා එතැනට පත්ව ඇති බවක් පිළිගන්නට මම සුදානම් නැති බවක් හැඟුනි.

මම සිතන්නටත් ප්‍රථම මධුලිකා ඉදිරි ආසන දෙක අතර ඇති ඉඩෙන් රිංගා ඉදිරි ආසනයට පැමිණියාය. කවර ලෙසකින්වත් ඈ වෙතින් නික්මෙන මෙම සුගන්ධය අඩුවක් නොවන්නේ ඇයි? මගේ ස්වප්නය මා කළඹමින් මා වටා සරනු පෙනෙද්දී මම ඈ වෙතින් ඒ වෙනස සඟවන්නට උපරිම උත්සහ කලෙමි.

මාර්ගය දෙපස ඇති අන්ධකාරය කපාගෙන මම වේගයෙන් රථය පැදවුයෙමි. අප අතර දෙබසක් ඇතිවුයේම නැත. කොතෙකුත් දේ තිබුනද, මම ඒ කිසිවක් නොකීවේ මන්දැයි මම අදටත් නොදනිමි.

ඒ සෑම විටෙකම සිහිනයේ විඳි මෘදු ස්පර්ශයෙන් ඈ මා අත අල්වාගෙන සිටින්නාක් මෙන් දැනෙන්නට විය. ඉදිරිපස අසුනක ඈ හිඳුවා මෙසේ අනන්තය තෙක් යන්නට ඇතිනම් කියා මා සිත නොනිමෙන ආශාවකින් ඉතිරී යනු දැනින. සිත තුල වූ ඒ දොඩමලු බව නිසාම ඒ සිහිනයේම ඇගේ සුරතේ සියුම් පහස අත්විඳිමින් යන්නට මා වඩා ප්‍රියකරන්න ඇත.

ඈ මා මෙන්ම සිතුවිලි සයුරක කිමිදෙමින් සිටිනුත්, වරිවර මා දෙස සිය තියුණු බැල්මෙන් පිරික්සනුත් මම නොදුටුවා නොවේ.

*******************************************

වාහනයේ ලාම්පු නිවාදමන්නට මට සිත්වූයේ මන්දැයි නොදනිමි. විටෙක එය මගේ ඉව වන්නට පුළුවන. වත්තේ බංගලාව ඉදිරිපිට වාහනය නතර කරනවිට යාන්තම් ඉර එළිය වැටෙන්නට පටන්ගත්තා පමණි.

දවසේ කාලසටහන ගැන යම් පමණකට දන්නා බැවින් සුන්දර් ඒ වනවිට පහල වත්තේ දළු පිරික්සන්නට පිටත්වගොස් ඇතිබව අනුමාන කලෙමි. එහෙයින් මම ඉක්මනින් වාහනයෙන් බැස බංගලාව දෙසට ගමන් ගත්තේ මධුලිකාට ඉන්නට ඉඩ හරිමිනි.

බංගලාව දෙසට ලංවන විටම මට දැනෙන්නට වුයේ දුම්කොළ පිළිස්සෙන ; නැහැය හාරවාගෙන යන ගඳකි. කොරිඩෝවේ දකුණු කෙලවරේ මට නොපෙනෙන තැනක සිටි කුඩා දුමාරයක් නැගෙනබව මට පෙනුනේ අහම්බෙන් මෙනි.

මම හඬක් නොනන්වා ඒ දෙසට ගොස් කණුවට මුවා උනේ මගේ ඉව විසින් දුන් යම් ඉඟියක් නිසා වන්නට ඇත. කවුරුන් හෝ එතැන සිට දුම්වැටියක් උරණ බව ස්ථිරය. විහිදෙන ගන්ධය අනුව නම් එය සිගරට්ටුවක් වන්නට නොහැකිය. ඊට වඩා තීව්‍ර දුම්කොළ ගඳකි. හිස පොවා බැලුවහොත් ඒ පුද්ගලයාට මා පෙනෙනු ඇති බව ස්ථිර බැවින් මම කල් බැලුවෙමි. පියවර හඬ අනුව දුම්වැටිය උරන්නා කොරිඩෝවේ ඈතට ඇවිද යනු මට ඇසුනි. ක්‍රමයෙන් වියැකී යන හඬ විසින් මගේ සිතට පැවසුවේ ඔහු කොරිඩෝවේ අන්තිම කෙලවරට ආසන්නයෙන් බංගලාව තුලට පිවිසි බවකි.

මම වහා කනුව අසලින් මෑත්ව ඔබ මොබ බැලුවේ මේ මොහොතේ බංගලාව තුර සරමින් සිගරට් උරන්නේ කවුරුන්දැයි සැකයක් ඇතිවූ බැවිනි.

මා පුදුමයට පත්කරමින් කණුවට ඔබ්බෙන් වූ කාණුවේ නිවෙමින් පවතින ජාවා මොහාරිස් සුරුට්ටු කොටය දක්නට ලැබුණි! ඔත්තුකරුවා සිටින්නේ මෙහිද?

වහා ක්‍රියාත්මක වූ මම අසල වූ පැලෑටියක කොලයකට සුරුට්ටු කොටය ඉක්මනින් ගෙන, ඒ සැනින් එහි හිමිකරුවා සොයන්නට කොරිඩෝව වෙත හැරුණි.

බංගලාව තවමත් අඩ අඳුරේ , හිරුගෙන් ලැබෙන රශ්මිය සොයමින් සිටී. මම ඇඟිලි තුඩු වලින් , කණුවෙන් කණුවට මාරු වෙමින් යද්දී, ඈතින් මෑත්ව ගිය සෙවනැල්ලක් බඳු මිනිස් රුවක් දුටුවෙමි. එය බංගලාවට යාබද ගොඩනැගිල්ලේ ඇති පළමු කොටසයි.

ඉක්මන් සහ ප්‍රවේසම් ලෙස එහි ළඟාවෙත්ම , එම කාමරයේ හිමිකරු , ඊට ප්‍රතිවිරුද්ධ දොර හැරගෙන යන හඬ මට ඇසුනි. අඳුර විසින් ඒ මධ්‍යම ප්‍රමාණයේ සිරුර මිස , මුහුණක් මට නිශ්චය කරගැනීමට හැකිවුයේ නැත. ඒ අවසරයෙන් මම කාමරයට ඇතුල්වත්ම එය යම් පුද්ගලයෙකු විසින් මනාව පවත්වාගෙන යන, ඉතා පිරිසිඳු කාමරයක් බව එකවරම පෙනුනි. සැපවත් නොවුවත් යම් පමණකට අවැසි පහසුකම් සහිතව ඇති ඇඳක්, වම්පස අන්තයේ ඇති මුල්ලේ ඉතා පිළිවෙලට තබා ඇති මේසයක් මේසයක් ඇරුණුකොට, කුඩා රෙදි රඳවනයක් හා අල්මාරියක් පමණක් නියමිත ස්ථානවල තබා තිබිණ.

එකවරම මගේ ඇස ගියේ මේසය වෙතටයි. එහි පිළිවෙලට සකස් කරනලද ගිණුම් පොත් ගොන්නෙන් පෙන්නුම් කලේ මා මේ සිටින්නේ ගණකාධිකාරවරයාගේ කාමරයේ බවයි.

පියවර කිසිපයකින් ඉදිරියට ගොස් මේසය පිරික්සූ මට ,ඒ සැනින් ගිණුම් පොත් අතර ඉතා ප්‍රවේශමෙන් තබා ඇති ජාවා මොහාරිස් සුරුට්ටු ඇතුලත් පෙට්ටිය මගේ ඇස ගැටෙද්දී, අනපේක්ෂිත ලෙස මට පසුපසින් පියවර හඬක් නැගුණි.

ඔත්තුකරුවා හසුවිය! නැතහොත් ඔත්තුකරුවාට මා හසුවිය !!

මම ක්ෂණිකව වම ඇලයේ සඟවාගෙන සිටි පොයින්ට් 38 රිවෝල්වරය මානා ගනිමින්ම ආපසු හැරුනෙමි.

“එපා!”

මට පිටුපසින් දෑතම ඔසවාගෙන සිටගෙන සිටියේ ගණකාධිකාරවරයාය! ඔහුගේ මුහුණ තැතිගැන්මෙන් වැසී තිබුනද, මුවෙහි සිරව තිබුණු සුරුට්ටුව නොගිලිහි තිබිණි. ජාවා මොහාරිස් සුරුට්ටුකරුවා ඔහුද?

“තමුසේ කවුද? මගේ පස්සෙන් එන්නේ මොකටද?”

මම මා අත තිබුණු සුරුට්ටු කොටන් ඔහුට දමා ගසුයෙමි. පහර වලකා ගන්නට යම් පමණකට හිස හැරවුවත් , ඔහුගේ ඇස් තදින් මගේ රිවෝල්වරය දෙසම යොමුව තිබිණි. රිවෝල්වරය සෙල්ලම් එකක් නොවන බවත් , කුමනහෝ මොහොතකදී එය මා අතින් පත්තුවිය හැකි බවටත් ඔහු අනුමාන කරන්නට ඇත.

“…. තමුසේ කාටද  ඔත්තු සපයන්නේ? “

“……….”

“මාව විහිලුවට ගන්න එපා මම උඹට තියනවා ඔළුවටම !”

මම වහලය දෙසට එකවරම උණ්ඩයක් මුදා හැරියෙමි. මිනිසා බියෙන් ගල්ගැසී ගියාක් මෙන් සිටියේය. මහා හඬින් වහලය සිදුරුකළ උණ්ඩය නිසා හාත්පස වෙඩිබෙහෙත් ගන්ධය විහිදී ගියේය.

මිනිසා සිටියේ දොරට එකහෙලාම ඉදිරියෙනි. ඔහුත් දොරත් අතර ඇත්තේ අඩියට පමණ පරතරයක් වන්නට ඇත. එය අවදානම් පරතරයකි. එක අවරසයකින් ඔහුට දොරෙන් පැන දුවන්නට හැකිය.

එකවරම දොර අසලින් මතුවුයේ මධුලිකාය!

“තීක්ෂණ… මොකද උනේ??? මොකද උනේ???? ඔයා කාටහරි වෙඩි තිබ්බද? “

මධුලිකා කාමරයට පිවිසෙත්ම අවධානය මගේ ගිලිහුන සැනින් මිනිසා මධුලිකා දෙසට හැරුනේය. දුවන්නට හෝ ඈ ග්‍රහණයට ගන්නට හෝ වන්නට ඇත. මම වහා ඔහුගේ කකුල් ඉලක්ක කලෙමි.

‘ටිෂියු!’

වාසනාව තිබුනේ කා අතදැයි නොදනිමි. මගේ ඉලක්කය වැරදුනි. උණ්ඩය වැදී වීදුරුවක් බිඳී යන ශබ්දය කාමරය තුලින් නැගුණි.

මධුලිකා වහා පැන මා බදාගත්තේ  කුමක් නිසාදැයි නොදනිමි. ඈ වෙතින් ආ වේගය දරාගන්නට මට අඩකවයක් කැරකෙන්නට සිදුවිය. එසැනින් ඈ මිනිසාගේ මුහුණ දකින්නට ඇත.

“මිස්ට වාකිෂ්ඨ???????!!!”

මම ගල්ගැසී ගියෙමි.

“දෙය්යනේ මේ… අර… ??”

අප දෙදෙනා මෙතරම් කාලයක් සෙවූ නීතිඥවරයා ; මධුලිකාගේ පවුලේ නීතිඥවරයා වූ වාකිෂ්ඨද මේ?

“මිස් ජයවර්ධන !”

“ඔව්… මම මධුලිකා…!, “

මධුලිකා එක එල්ලේ වාකිෂ්ඨ දෙස බලාගෙන සිටියාය.

“…..මම දැන් මිසිස් බණ්ඩාරනායක”

මධුලිකා එලෙස පවසද්දී අප දෙදෙනාට එකිනෙකා දෙස නිරායාසයෙන්ම බැලුණි.

********** මතු සම්බන්ධයි ***********
%d bloggers like this: