Menu Close

හරෝහරා! – දහසයවෙනි කොටස

කිරි සයුර කළඹන්න සුර-අසුර දෙගොල්ලොම එකතුවුණා වගේ, සුදුළූණු කිරි තේ හදන්න ….

සුදුළූණු දමලා කිරි තේ බොන රටක් ගැන අහලා තියෙනවාද?

එකත්තෙකටම ඔයාලාත් අහලා නැතුව ඇතිය. එච්චර කාලෙකට නම් මං වහන්සේවත් අහලා තිබුණේ නැත. ඇහුවේ 2019 පාද යාත්‍රාවේ ඇවිදින් වරහන නැවතුණු දවසේ රාත්‍රිය ගෙවෙද්දීය;

කිරි සයුර කළඹන්නට සුරයන් සේරම එකතු වුණා වගේ, 
පාද යාත්‍රාවේදී අපට එකතු වුණු පිරිසේ හිටි කෙනෙකුගෙනි. 
ඒකත්, කලින් දවසේ වගේම පාන්දර හතර වෙන්නටත් කලින්ය; ඉන්දිකගෙනි. “හිච්චි, නැඟිටිමු නේද?” 
“හ්ම්! පාන්දරත් වෙලාද? ඒයි හිරූ…. දෙනෙත්, 
නැඟිටහල්ලා බං….. එළිවෙන්න කිට්ටුලු…..”
පහළට රූටමින්, යළි ඉහළට වෙමින් නිඳි නැති රැයක් ගෙවාදමා හිටි මට යාන්තමට නින්ද යාගෙන ආවා විතරය. 

නෙවිල් අනුරසිරි නින්දෙන්මද කොහෙද, මෙතැන ලියන්නට බැරි ‘පිරිතකින් පාඨයක්’ තරහෙන් පිපිරෙමින් සජ්ජායනා කර හිසේ හිට රෙද්ද පොරවාගත්තේය. හිච්චිලාගේ අය නැඟිට්ටත්, අපේ පස් දෙනාගෙන් නම් කවුරුන්වත් නැඟිට්ටේ නැත.
පිබිදුණු බව නොපෙන්වමින් හිටියත් අඩවන් දෙනෙතින් බලද්දී මට පෙනුණේ හිච්චි මහත්තයා වතුර ළිපේ තියන අයුරුය.

නැඟිටින්නට මැලිකමෙන් එහෙමම ඉඳගෙන යාන්තමට ඇස් ඇරලා බලද්දී හිච්චි…..
“හිච්චි…. මං ගහන්නං එළ tea එකක්! ඉඟුරු, කුරුඳු, සුදුළූණු දාලා!”
රහස් කතා බැරි ඉන්දිකගේ ඒ වචන ටික ඇහුණා විතරය. 
නිඳාගෙන වගේ හිටි නිමල් දිසානායක වහාම නැඟිට්ටුණේය…. 
(වැඩියත්ම එහෙම වුණේ අනෙක් අයගේ සුබසිද්ධිය වෙනුවෙන්ය!) නැඟිට්ට බව තේරෙන්නටත් එක්කම කතාත් කෙරුණේය…
“ඉන්දික, මොකෝ දැන්මම නැඟිටලා… තවම හතරහමාරටවත් නැහැනේ.”
“ආ…. ඔය මාමාත් නැඟිටලා තියෙන්නේ. 
එළිවෙන්න කිට්ටුනේ මාමේ. 
ඒක නෙවෙයි, මං අහගෙන ඊයේ මාමා කියනවා තව ටිකක් වැඩියෙන් තිබුණා නම් සුදුළූණු උයන්නත් තිබ්බය කියලා. 
ඔන්න, මං වැඩිපුර තියෙන ඒවාට වැඩේ දෙන්නයි යන්නේ… 
ඉඟුරු, සුදුළූණු වැඩියෙන් දාලා ගහනවා නියම ටී එකක්…”
ලෝකයේ පළමු වැඩ වර්ජනය සිදුවී තියෙන්නේ පිරමිඩ ඉදි කරද්දී, රැම්සීස් iii පාරාවෝගෙ පාලන කාලයේ…..
ලෝකයේ පළමු වැඩ වර්ජනය කෙරුණු අවදියේත් මේ යක්ෂයා ඉපදිලා ඉන්නට ඇතිය. (සුදුළූණුවලට මේ තරම් ඇල්මක් ඇත්තේ ඒ නිසාවෙන් විය යුතුය.) දැන් ලංකාවේ නම් වැඩ වර්ජනයක් නැති දවසක් නැතිය.
වාර්තාගතවී තිබෙන හැටියට නම් පළමු වැඩ වර්ජනය කෙරිලා තියෙන්නේ ඊජිප්තු රටකය; පිරමිඩ ඉදි කරද්දීය.
සතිපතා ඒ කම්කරුවනට සැපයුණු සුදුළූණු සලාකය නොලැබුණු විටෙක ඔවුන් වැඩ වැරූ බවමා කියෙව්වේ මනහරසඟරා  කලාපයකිනි.
මුල්ම සිංහල ඩයිජස්ට් සඟරාවවුණු මනහර’ 1980 පළවෙන්නට පටන් ගත්තේය
1983 සිට මුතුහරත්, 1984 සිට ප්‍රදීපාත් මා වැනි අයගේ කියවීමේ පිපාසය සංසිඳෙව්වේය.
මනහර-1981 මාර්තු, ප්‍රදීපා-1984 පෙබරවාරි, මුතුහර- 1984 ජුනි කලාප කවර කියාපාන්නෙත් ඉතිහාසයකි!

ඒ කාලයේ රූපවාහිනියත් ආවා විතරය. අපට දැනුම දුන්නේ පොත්- පත්තර ආදියයි.                 

අද, ලෝකයේ පළමු වැඩ වැරුම ගැන අන්තර්ජාලයේ හොයද්දී නම් ‘සුදුළූණු’ ගැන වගක්වත් ඒවායේ තිබ්බේ නැත.
ඊජිප්තුවේ තෙවෙනි රැම්සීස් පාරාවෝගේ සමයේ; Deir ei-Medinaහිදී ආහාර සලාක පමාවුණු බැවින් වර්ජනය කෙරුණු බව විතරය තියෙන්නේ. එහෙම වෙතත් සුදුළූණු කිරි තේ හින්දා අපේ නඩයේ එක්කෙනෙකු නම් වර්ජනයක් කරන්නට ගියේය.
“ඉන්දික ඔයා හදන්න යන්නේ පන්ජාබිකාරයෝ හදන ජාතියේ කිරි තේ එකක්ද?” නැඟිටගත් ගමන්ම මම ඉන්දිකගෙන් ඇසුවෙමි.
“ඔව් මාමේ… මාමත් බීලා තියෙනවද?”
“බීලා නම් තියෙනවා. හැබැයි ඒකට ඉඟුරු, කුරුඳු, කරදමුංගු වගේ දේවල් දැම්මට සුදුළූණු දාන්නෙ නැහැනේ……” 
අපරාදේ! මං  ඉඟියෙන් කිව්වාට වැඩක් වුණේ නැත. 
ඉන්දික tea project එක නැවැත්තුවේ නැත. මට තිබුණේ කෙලමෝලෙන්ම අනින්නටය.
මොන හුයන්නක්ද ඕයි මේ? කිරි තේ එකේ සුදුළූණු ගෙඩි පිටින් පාවෙන්නේ… මේ තේද සුප්ද?
“මොන හුයන්නක්ද ඕයි මේ….. කිරි තේ එකේ සුදුළූණු ගෙඩි පිටින් තියෙන්නේ. මේ බම්බුව තේද, සුප්ද?” තේ අතට ගත්තාම නෙවිලුත්, පීරිසුත් බුරා පැන්නෝය.
“කට වහගෙන බොනවලා… බොන්න බැරිනම් විසි කරනවා. අර මනුස්සයා පාන්දරම නැඟිටගෙන හදපු එකේ නම්බුව හරි තියන්න එපැයි.”
“ඉතින් තමුසෙත් නැඟිටගෙන ඉඳලා බම්බු ගැහුවා….. බලපන් පීරා…… මේ ඉලව්ව බොන්න පුළුවන්ද? හිටපල්ලකො අද ඉතින් bed tea එකවත් නැතිව! 
අඩෝ, දොස්තරයා… තොටත් එක්කයි කියන්නේ…. 
වරෙල්ලකෝ, ලබන සැරෙත් පාද යාත්‍රාවේ යං කියලා කියාගෙන. 
නිවාඩුත් ඉවර කරගෙන, කකුල්වල දියපට්ටත් හදාගෙන ආවා මදිවට, උදේ තේ එකටත් කෙලවලා….”
ඒ අත්දැකීම එක්ක බලද්දී සුදුළූණු තේ එක කැලේය. 

නෙවිල්ගේ ‘හැවිල්ල’ සේරටම වඩා වටිනවාය. හැබැයි, ඒකෙන් බාගයක් විතරම අප්‍රකට භාෂාවකි. රහසින් විතරක් වහරන එකකි.
පියනන්ද මහත්තයාත් අපේ දොස්තර මහත්තයාත් මැදින් ඈතින් පෙනෙන්නේ උදේ කෑම මේසයයි!
“සන්සුන් වෙයං මචෝ, සන්සුන් වෙයං! කටගමුවට ගියාම නියම තේ එකක් හදවලා දෙන්නං පියනන්ද මහත්තයට කියලා!” 

අයස්මන්ත මහත්තයා කැරට් අලයක් දික්කළාමය, නෙවිල් තටු හකුළා ගත්තේ. “කොල්ලෝ, ඉක්මන් කරමු….. අපි විතරයි පරක්කු. හිච්චිලා සේරම පාරටත් බැහැලා බලාගෙන ඉන්නේ.” 
“උඹටත් කුලප්පුවද මර්වින්? ටිකක් හිටහන්….. අර මඟුල් තේ එක විසිකළ හින්දා බොග….”
කොහොමෙන් හරි අපේ පස්දෙනා මඟට බහිද්දීම ඉන්දිකට යහළුවෙකු මුණ ගැහුණේය. මිතුරා ජීප් රථයක් රැගෙන ආ කෙනෙකි. “කොහෙද මචං මේ පාන්දර?”
“අර මහත්තයලගේ වැඩකට ආවේ…. එයාලගෙ බෑග් ටික අරන් යන්න මචං. අර විස්සක් විතර ඉන්නේ…. එයාලා පයින් එන්නේ…. බෑග් ටික දාගෙන යන්නයි මගේ ජීප් එක….” ඒ ආයතනයකින් පාද යාත්‍රාවේ පැමිණි පිරිසකි. 
සම්පත් බැංකුවෙන්ද කොහෙදය. “එයාලා එක්කෙනෙක්වත් වාහනේට නඟින්නෙ නැහැ. පයින්ම ගිහින් ගමන ඉවර කරන්නලු ඕනෙ.”

වරහන හිට කටගමුවට එන ටිකත් පයින්ම එද්දී අපේ යාළුවන්ට තවත් හිතවතුන් පිරිසක් හමුවී…..(foto-නෙවිල් අනුරසිරි)
සිං ගාලා පෑදුණු පොට, සං ගාලා අල්ලාගන්නට ඉන්දික සූරය.
“මචං…ඒ මහත්තයගෙන් අහපන්කො අපේ බෑග් ටිකත් දාගෙන ගියාට කමක් නැද්ද කියලා…..” පටන්ගත්තේ එහෙමය. ඉවරවුණේ අපේ බෑග්වලට අමතරව මාවත් ජීප් රියට පටවන්නට අවසර අරගෙනය.
“මේ මාමගෙ කකුල් දෙකේම මහපටැඟිලිවල නියපොතු උඩත් දියපට්ට ඇවිත් තියෙන්නේ. මාමලාවත් කටගමුවෙන් බස්සලා පලයං මචං….. තිලක්, මාමට විතරක් අපි සේරමගේ බෑග් බාගන්න බැහැ. උඹයි භානියි දෙන්නත් මේකෙම පලයල්ලකො මාමත් එක්ක. දොස්තර මහත්තයාට හෙම පයින්ම ගමන කම්ප්ලීට් කරන්නෝනිලු කියනවනේ.”
ඒකෙන් වුණේ, අපේ අනෙක් වීරයන් තුන් දෙනාටමත් පා ගමනේ මිහිර දිගටම විඳගන්නටය. 
“මටත් එහෙම තමයි යන්න ඕනේ. ඒ වුණත් මං හින්දා ඔයාලා එකොළොස් දෙනෙකුටම පරක්කු කරවන්න බැහැනේ.” මම කීමි. 
වැරැද්ද තිබුණේ මගේ සපත්තු දෙකේය. කකුල් දෙකම ඉදිමෙන තරමට ඒවා ඉදිමුණේ නැතිය.
කටගමුවේ ගේට්ටුවෙන් එළියට එනකොටම එතැන දන්සලකි! පටන් ගත්තා විතරය!!(foto- නෙවිල් අනුරසිරි)
අවුරුද්දක-හමාරක හිට මගේ දෙකකුල් හිරි වැටී තියෙන නිසා සෙරෙප්පු දෙකක් දාගන්නටත් බැරිය. මගේ කකුල් ලෙඩේ හොයාගත් ගමන්ම ජයශංඛ එයාගේ සපත්තු දෙක මට දුන්නත්, එතකොට පෙරහැර ගිහින් ඉවරය. දියපට්ට ඇවිත් ඉවරය! දැන් මං barefootය.
ජීප් රථයේ රියදුරු මහත්තයාට උපදෙස් ලැබී තිබුණේ ටික දුරක් ගිහින් නවත්තාගෙන ඉන්නටය. 

“නඩේ කට්ටිය වැඩියිනේ. කාට හරි අමාරුවක් වුණොත් කියලා ඒ මහත්තයට බයයි….. ඒකයි එක දිගට නොගිහින් නැවතිලා බල-බලා යන්න කිව්වේ……” 
Private bus එකක් වගේ කොට-කොටා යන ඒ ගමන, විනාඩි දහයක් යන්නටත් කලින්ම භානිට එපා වුණේය. “මාමලා යන්න. මං බැහැලා පයින්ම එන්නං, අපේ කට්ටියත් එක්කම.”
තිලකුත් මාත් කටගමුව පිවිසුමෙන් එළියට එනවිටත් පියනන්ද මහත්තයා ගේට්ටුව ළඟය!
“කෝ දොස්තර මහත්තයලා?”
“එයාලා පයින්මයි එන්නේ, පියනන්ද මහත්තයෝ. මං හිතන්නේ තව පැය බාගෙකින් විතර එයි.”
ගණ දෙවිඳුන්ට තියන පූජා වට්ටියේ කළු උක්ගස් කෑල්ලක් වරදින්නේ නැතිය!
“එහෙනං මම ඉක්මනට කෑම ටික මේසෙට අරින්නං.”
“හරි, ඔයා ඒ වැඩේ කරගන්න… එතකල් අපි තේ දන්සලෙන් තේ එකක් බොන්නං!” කටගමුව පිවිසුම අද්දර තිබුණු ඔසුපැන් වඩාත් රසට දැනුණේ අපේ විඩාවත්, ලොකු හකුරු කෑලිත් හින්දාමය. තිබුණේ උක් හකුරු වගෙය.
කඳ සුරිඳුන්ගේ වැඩිමහලු සහෝදරයා ලෙස සැලකෙන ගණ දෙවිඳුට තබන පූජා වට්ටියේ කළු උක් කැබැල්ලක් වරදින්නේ නැත. එහෙම කෙරෙනවා ඇත්තේ ඇත් හිස නිසාම වෙන්නට ඇත. 

කටගමුවේ සිට කතරගමට යන අතරවාරයේ වැඩියෙන්ම කියැවෙන්නේ ගණ දෙවියන් ගැන වගෙය. 
ඒ අතරමඟ කොච්චිපතානේ තියෙන්නෙත් ‘සත්‍ය ශ්‍රී කැලේ ගණපති දේවාලය’ හෙවත් ‘වීරච්චෝලේ ගණපති’ දේවාලයයි.
“ගණ දෙයියෝ නුවණ දෙන බව නං ඇත්තයි…. ඒත් මාතර පැත්තේ හොරෙක් උන්නාන්සේගෙන්ම නුවණක් අහගෙන එයැයිටම වැඩක් දුන්නු කතාව ඔහේ දන්නවැයි?”
දෙයියෝ වුණත් අහක බලන්නේ කොහොමෙයි, ප්‍රතිපත්ති පූජවකුත් නෙවෙයි… ලොකු ආමිස පූජාවක් නොවැ..
ඒ ප්‍රශ්නයත් එක්කම කියවුණේ දෙයියනුත් අමාරුවේ වැට්ටවූ දකුණේ හපනෙකුගේ කතන්දරයකි.  
“ඔන්න මාමේ, දකුණේ ගොඩාක් අනුහස් තියෙන ගණ දේවාලයක් තිබුණා. යහමින් පඬුරුත් වැටෙන එකක්. බාරහාර ඔප්පු කරනකොට දෙන රිදී රත්තරන්වලිනුත් දේවාලේ පිරිලා.
මාතර පැත්තේ හොර කල්ලියක් කීප සැරයක්ම මේ දේවාලේ බිඳින්න හැදුවා. හැම සැරේම වැඩේ අල වුණා.

-මොකක් හරි නොහිතපු ඇබැද්දියක් වෙලා වැඩේ නවතිනවා. ‘දෙයියන්ගෙ අනුහස තමයි.’ හොරාට හිතුණා. 

-බැරිම තැන ලොකු හොරා මොකද කළේ? ලොකු පූජා වට්ටියකුත් ලෑස්තිකරගෙන දේවාලෙට ගියා. ගියෙත් සෙනඟ නැති වෙලාවක් අල්ලලා.
-පූජාව තිබ්බා. ගණ දෙවියන්ගෙන් නුවණක් ඉල්ලා හිටියා එයාලගෙ වැඩේ සාර්ථක වෙන්න.

-දෙයියෝ වුණත් අහක බලන්නේ කොහොමෙයි? ප්‍රතිපත්ති පූජාවකුත් නෙවෙයි…. ආමිස පූජාවක් නොවැ? පූජා වට්ටියත් සරුයි. පිළිගෙනත් ඉවරයි. 
ගණ දෙවියන් වහන්සේ කපුවාට ආරූඪ වෙලා හොරාට උපදෙස් දුන්නා.
කතරගම දේවාලයට හොරු පනින්නට ඇත්තෙත් මේ විදිහටම පූජාවක් කරලා දෙවියන් පහදවාගෙන වෙන්නැති!
-“දරුවා, මේ දේවාලය බිඳින්න ඇහැක්වෙන්නේ උළුවස්සට යටින් පොළොව හාරාගෙන ඇතුළට ආවොත් විතරයි!” හොරා ඉතින් දෙයියෝ කියපු විදිහට අකුරටම වැඩේ දුන්නලු!”

කලකට පෙරාතුව කතරගම දේවාලයට හොරුන් පනින්නට ඇත්තෙත් මේ විදිහටම ලොකු පූජාවක් තියලා ‘සරවනභව කඳ සුරිඳුගෙ තෙද බල – දේව කරුණාව’ ලබාගෙන වෙන්නට ඕනෑය. ඒ ගැන වැඩි විස්තර දන්නා කෙනෙකු තවම මට මුණගැසී නැත.
හැබැයි, පාද යාත්‍රාවේ යන අයත්, කතරගම යන අයත් කාර්තිකේය වන්දනාව කරන්නේ, තම-තමන්ගේ හැකියාවේ මට්ටමට පූජා වට්ටියක් තියමිනි.

එවැනි බැතිමතුන් කොපමණ කතරගම එනවාදැයි කියන්නට හොඳම සාක්කියක් වන්නේ මහා දේවාලයේ උදේ- හවස සහ දහවල් පැවැත්වෙන මුරුතැන් පූජාවන්ය; ඒවායේ ප්‍රමාණයන්ය.

මේ තියෙන්නේ සතියේ දවසක 10.30ට පැවැත්වෙන මුරුතැන් පූජාව පිළියෙළ කරන්නට ගන්නා ද්‍රව්‍ය ලැයිස්තුවයි.
සොමිපාල ටී රත්නායක ප්‍රධාන කපු මහත්තයා 2013දී අපට මහඟු වරප්‍රසාදයක්……..
සුදු කැකුළු හාල් කිලෝ 20, 
පරිප්පු- අල- බෝංචි- බීට්- ගෝවා කිලෝ 1 ½ බැගින්, 
වම්බටු කිලෝ 2, තක්කාලි කිලෝ 1, වට්ටක්කා කිලෝ 3ක ගෙඩියක්, 
අමුමිරිස් ග්‍රෑම් 500ක්, මිරිස් කුඩු- සුදුළූණු ග්‍රෑම් 250 බැගින්, 
තුනපහ කුඩු- ගම්මිරිස් කුඩු ග්‍රෑම්100 බැගින්, 
කහ කුඩු- උළුහාල්- කුරුඳු ග්‍රෑම් 50 බැගින්, 
දියලුණු- ලොකුළූණු කිලෝ 1 බැගින්, 
පොල් ගෙඩි 10ක් හා දෙහි ගෙඩි හතක්.

මේ මුරුතැන් පූජාව පිසෙන මුළුතැන් ගෙයටත් මෙවර මා කැඳවාගෙන ගිය හිච්චි මහත්තයාට නැවතත් වරක් ස්තුති කරන්නේ, ඒ භාග්‍යය කෙනෙකුට ලෙහෙසියෙන්ම අත් නොවන බැවිනි!

තවත් විදිහකින් කියනවා නං දෙවි-දේවතාවුන්නාන්සේලාගේ ළඟට වුණත් කිට්ටු වෙන්නට නම් දැනෑඳුනුකම් තියෙන්නට ඕනෑය.

2013 පළමු වතාවේ පා ගමන නිමා කළ දවසේත්, මේ වගේම පිනක් අපේ නඩයටම පල දුන්නේය! 

ඒ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහත්තයා හින්දාය; හරියටම සුල-මුල කියනවා නම් අපේ අයස්මන්ත මහත්තයා කපු මහත්තයාගේ නේත්‍රා සැත්කමක් කරලා තිබුණු හින්දාය.

අපට ඒ ඉපැරැණි කුටියට යන්නට මඟ පෑදුණේ සොමිපාල ටී. රත්නායක කපු මහත්තයාගෙ කරුණාව හින්දාය….
“මහත්තයෝ, මේ කුටියේදී තමයි සේරම පින්කම් පටන් ගන්න මුල පුරන්නේ.
පෙරහැර පහක් පැවැත්තුවාට පස්සේ විශේෂ චාරිත්තර කරන්නෙත් මේ කුටියේ…
පුරාණ රජ කාලේ ඉඳලයි මේ කුටිය තියෙන්නේ. 
අලුතින් මොනවා හැදිලා තිබුණත් මෙතැන මේ විදිහටම, ගොම-මැටි ගාලා ආරස්සා කරගෙන යනවා…..” 

සොමිපාල මහත්තයා අපට කියා දුන්නේ ඒ සැඟවුණු කුටියට යන්නටත් කලින්ය.

මෙහෙම තැන්, මෙහෙම දේවල් ටිකක් හැංගිලා තියෙන එකත් හොඳය. ඕනෑම ආගමක, ඇදහිල්ලක එවැනි තැන් තිබෙයි. 

නසරානි මට වුණත් ඒ කුටියට ගියාම, ඒ මුළුතැන් ගෙයට ගියාම අමුතු ගතියක් දැනුණු බව හංගන්නට ඕනෑ නැත. එහෙම දැනුණා වුණත් මගේ විමංසනාක්ෂියට අසුවෙන දේවල් හංගාගෙන ඉන්නට බැරි (කැත) පුරුද්දකුත් මට තිබෙයි. 

ඔන්න හිච්චි, තරහ වෙනවා හෙම නෙවෙයි. මේ කතාවේ පොටක් පෑදුණේ ‘ඔහෙ’ නිසාය.
ශිව ලිංගය දක්වන්නෙම යෝනිය මැදින් ඉහළට එසවී හිටින ආකාරයටය. බැතිමතුන් ලිඟුව සුදු පැහැ කිරෙන් නහවද්දී………
“… විසා නැකතේ නන්දන මුර්තයෙන් කප් හිටවන්න කපාගෙන එන කණුව වල්ලි මාතා දේවාලේටයි වඩම්මන්නේ. ඒකේ කප් කණුව තැන්පත් කරලා තියනවා…. ඊට පස්සෙයි ඒවා මහා දේවාලෙට වඩම්මලා හිටවන්නේ.”

හොයාගෙන ගියාම පෙනෙන්නේ, කප් හිටුවන්නට කපාගන්නේ කිරි සහිත ගස් වර්ගයක් බවයි. කැපූ විගස මේ කණුව වල්ලි මාතා දේවාලයේ තැන්පත් කර තියන්නේ කිරි හිඳෙන තුරුද? අසැබි දෙයක් වගේ පෙනුණත්…..

හින්දු ආගමේ නම් ලිංග සංකේත එමටය. 
ශිව ලිංගය දක්වන්නෙම යෝනිය මැදින් ඉහළට එසවී තිබෙන ආකාරයටය. 

ශිව ලිංගය නාවන්නේ සුදු පැහැති කිරිවලිනි. බැතිමතුන් එසේ කරද්දී ශිව ලිංගය නැහැවී වැගිරෙන කිරි පහතින් ඇති යෝනි තටාකයට එකතු වෙයි! 
මේවා සංකේතවත් කරන්නේ කුමක්ද?  

ඔන්න දයාබර ඔබට හිතා බලන්නටත් ඉඩක් දෙමින් අදට නවතිනවා.…..
%d bloggers like this: