Menu Close

කවුරු දිනුවත්

“ප්‍රථම  ප්‍රේමය ඔබ නොවේ ” පොතේ දොරට වැඩුම  මෙන්ම ඊට කලින් පොතේ දොරට වැඩුමට ද බ්ලොග් උළෙල වලටද ආ යහළුවන් ගෙන සමහරක් යු ඇන් පී හිතවාදීන්ය . සමහරක් ශ්‍රීලනිප ය. සමහරු ගෝඨා වාදීන්ය. තවත් සමහරු ජේවීපී  හෙවත් ජෙප්පන්ය. මේ සියල්ලන්ම මිතුරු කම සලකා පැමිණියවුන් වෙති. ඒ නිසාම  මම ෆේස් බුක් දේශපාලනයේ යෙදෙන්නේ නැත. කාට ඡන්දය දෙන්නට දැයි කීමට මට නොහැකිය. එය මගේ වැඩක් නොවේ. එනිසාම එසේ කලේ නැත.

නමුත් මගේ සරල තර්කයක්ද තිබේ. පෞද්ගලිකව නම් ඕලෙවල් අසමත් අයෙකුට චන්දය දෙනවට වඩා  ලෙෆ්ටිනන්ට් කර්නල් කෙනෙකුට ඡන්දය දෙන්නට මම කැමතිය. ලෙෆ්ටිනන්ට් කර්නල් කෙනෙකුට වඩා ජෙනරාල් වරයෙකුට චන්දය දෙන්නට කැමතිය. ජෙනරාල් කෙනෙකුට වඩා විශ්ව විද්‍යාල උපාධි ලත් ඉන්ජිනේරුවෙකුට, වෛද්‍ය වරයෙකුට, දර්ශනවාදියෙකුට ගුරුතුමෙකුට, හෙදියකට ඡන්දය දෙන්නට කැමතිය. මේ හැමටම වඩා අසීරුවෙන් ඉගෙන රැකියාවක් කර  දරු මල්ලන් හදා වඩා සමාජයට දායාද කල ජීවිතය දත් පියෙකුට හෝ මවකට ඡන්දය දීමට කැමතිය.

පියානෝ ගහන ගිටාර් ගහන සොමියේ සිටින කලාකාමියෙකු සමග සින්දුවක් කියා හවසක් ගත කිරීමට කැමතිය. එහෙම කලාට  ඔහුට ඡන්දය දෙන්නට යන්නේ නැත.

මේ සරල තර්කය අතර වඩා අසීරු තර්ක තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීම,  සිස්ටම්  චේන්ජ් කිරීම (සිස්ටම් චේන්ජ් කරන්නට කතා කරන බොහෝ අයගේ මතය එය වාහනයක ඔයිල් චේන්ජ් කිරම වැනි ලෙහෙසි වැඩකි යයි මට සිතේ. ගැරේජ් බාස් හොඳ නැත්නම්  ඔයිල් චේන්ජ් එක වුව හරියට කෙරෙන්නේ නැත),   නිවැරදි තැන සිට ගැනීම, ලංකාව ශ්‍රේෂ්ඨ රටක් කිරීම, ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ සිටිමින් අධිරාජ්‍යයන් පැරදවීම මේවා අතරින් මුල් තනක් ගැනී. බුකියේ අසීරු තර්ක කතා කරන්නේ නැත. ඒවා බ්ලොගයට සීමා කරමි.

කවුරු දිනුවත් ඔබලා  උපන් හා ජිවත් වන රට තව තවත් දියුණු කර ගන්න. ඒ සඳහා කටයුතු කිරීමට   දිනන්නා ට බල කරන්න.  

%d bloggers like this: