Menu Close

සන්නාගේ පොට් එකට ගිය දෙවෙනි ගමන හා සන්නාගේ “අම්මා”

මේ ලිපියේ පළමුවන කොටස:
 සන්නාගේ  පොට් එක දක්වා ගිය ත්‍රාසජනක ත්‍රීවිල් ගමන සහ අතුරු කතා –

හිතුවටත් වඩා හොඳට පොත දොරට වැඩුම කෙරුණා. ඉතුරු දවස් දෙක තුන දාගත්තේ  පොත් ප්‍රදර්ශනයට යන්න, තව යාළුවෝ කිහිප දෙනෙක් හමුවන එක, රෝයල් තැප්‍රෝබේන් ගිහින් පොත් ගන්න එක ආදිය  ලන්ඩන් යන්න කලින් කරන්න කියල. ආ  බ්ලොගාල හමුවෙලා පොඩි ඩිනර් එකකට සෙට් වෙන්නත් ඔය අතරේ හිතුව.
මේ නිදි ලියල තියෙන්නේ ඒ දවස ගැන.

එදා නා කපන වැස්ස. වහිනවත් වෙලා මෙහෙමත් වහිනවද ? දෙරණ ට ගියා අර මගේ සාකච්චාව කවදද යූටියුබ්  එන්නේ කියල හෙම දැනගන්න. වැස්සේ කිසිම ටැක්සියක් හොයා ගන්න බැරි තැන දෙරණේ බොහොම නිහතමානී නිවේදිකා වසන්ති නානායක්කාර එතනින් ඒ ගොල්ලගෙ වෑන් එක  ලබා දුන්න ඊළඟ සාකච්චාවට යන්න. වැස්ස ඉවර නැහැ.  අර සාකච්චාව හබක් වෙලා මහජන පුස්තකාලෙට ගියේ හොඳටම තෙමිලා. ඒ ගියේ පොතක් හොයන්න. ඒකෙ විස්තර පස්සේ  කියන්නම්. එලියට ඇවිල්ල ත්‍රි වීලක් හොයන්න ට්‍රයි කළා. මොකද  මගේ මොබයිල් එකේ පික් මී ඇප් හෙම නැහැ. ත්‍රී වීල්  එකක් වත් නවත්වන්නේ නැහැ. අර කොණ්ඩේ  කැරලි ගැහිලා තියෙන මහාචාර්ය මිත්‍රයා (දිවයිනට අනුව) රුසියානු පිල්මේනියා  කන්න එන්න කිව්වා හවස . මාත් එක්කම යන්න හිටිය  දඬු අජිත් කියල අපි ආදරයෙන් කියන සෝවියට් දේශයේ ඉගෙනගත් යාළුවට කතා කළේ බැරිම තැන. යාලුව කලේ මාව ගිහින්  රෝයල් තැප්‍රෝබේන් එකට ඇරලපු එක. ඒ හන්දියේ පුදුම ට්‍රැෆික් එකක්. යාළුව තැප්‍රෝබේන්  ළඟින්ම  දැම්මත් ඒ ටිකටත් හොඳටම  තෙමුනා. හැබැයි ඉතින්  ඇතුලට ගිහින් වටේ ඇවිදලා  බැලුවා පොත් ගොන්න දිහා . හොඳට දැකල පුරුදු කෙනෙක් සිය පවුල එක්ක හිටිය. හැබැයි කවුද  කියල මතකයට ආවේ නැහැ. මමත් බැලුව  නිසා ඒ තරුණ මනුස්සයත්  මං දිහා  බැලුව. සිරියාවන්ත මූණක්. එයා  සිය පවුලත් සමග හිටි නිසා මම අහන්න ගියේ නැහැ කවුද කියල.

 ඉරිදා පොලේ අර ලාභයි ලාභයි කියල හොඳ එළවලු ,නරක එළවලු කවලමේ ගොඩ ගහල විකුනනවා නේද? ලන්ඩන් වලත් වෙළෙන්දෝ එහෙම කරනවා. ප්ලාස්ටික්  භාජනේකට කෙහෙල් 8 විතර දාල නැත්නම් ඇපල් පහ හයක් , තක්කාලි,  ඉඟුරු, ලොකු ලූනු වගේ ඒවා  දාල මුළු භාජනේම පවුමට දෙනවා. ඔය අතරේ නරක හෝ හොඳ නැති එකක් දෙකක් තියෙන්න පුළුවන්. සන්නගේ පොත් කඩේ පොත් තිබ්බේ ඒ වගේ. රුපියල් 2000 ගොඩවල්, හොඳ අගනා පොත් අතරට විකිණෙන්නේ නැති ඒවා ඒවා දෙක තුනකුත්   එකට උණ්ඩි කරලා පොත්  මිටියක් ගන්න පුළුවන්. මමත් දෙකක් තුනක් නෝට්  කර ගත්ත. දැන් මේවා ගෙනියන්නේ කොහොමද? සල්ලි ගෙවල මෙතැනම  තියල යන්න හිතාගෙන සන්නව  හෙව්වා. මල්ලි කෙනෙක් කීව සර් ඇඟ  හෝදන්න  ගිහින් කියල.  මල්ලිගේ වැඩි භජනයක් නැහැ. වට පිට බැලුවම කවුරුත් තමන්ගේ වැඩ වගේ නැත්නම් තම තමන්ගේ කාණ්ඩ  එක්ක කතාවේ.
මම පොඩ්ඩක් කැරකිලා හොයල හොයල  පොතක් ගත්ත සන්නගෙන් අත්සනක් ගහ ගන්න. ඉතින් මම දැන් බලන් ඉන්නවා එදා බැරි වුනාට අද කතා කරලා පොත්  මිටි දෙක තුනකුත් අරන් ඒවා ගෙනියන්න ඊළඟ දවසේ එන බලාපොරොත්තුව පිට.

සන්න ඔන්න ඇඟපත හෝදගෙන ඇවිත් අර ලන්ඩන් පබ් වල  ඩ්‍රින්ක්  දෙන කෑල්ල වගේ තියන කවුන්ටරේ ඇතුලට ගියා .මම ලංවුනා හිමින් සීරුවේ පොත අතේ තියන්.
මොන, මෙන්න ඉටිකිරිස් සුන්දර රූ සපුවක්  ඇති නංගියෙක් කඩන්  වැටුනේ නැතැයි එතනට ? අර නා කපන වැස්සේ හොඳට නාල සුවඳ විලවුන් ගාල ඇවිත්. ඒ කියන්නේ මං වගේ තෙමි තෙමී  ඇවිත් නැහැ. සන්නගේ මූණ ආඩම්බරෙන් දිලිසුන වගේ පෙනුනේ. අර මගේ පොත ට සල්ලි ගත්ත ගැටවරයගෙත් කකුල් වෙව්ලුවද කොහෙද ? පොර නිකන් ඇලවෙලා හිටියේ. ඉතින් පෝලිම පැනල  “සර්” ගැන මොනවදෝ කිංකිණි සුකොමල හඬින්  කියල ප්‍රශ්න  ගොඩක් අහගෙන අහගෙන ගිහිල්ල වටේටම සුවඳ පතුරවලා එයා පාවෙලා පාවෙලා  ගියා වෙන තැනකට.
මට මතක් වුනේ අර සෝවියට් “කතාව ”  ලියපුවහම ඒවා හීන කියල කියපු කතාව ගැන. සමහරවිට අපි ඒ දවස් වල ජීවත්වුණ සෝවියට්  හීනේ සන්නල දැන්  ක්‍රියාත්මක කරන්න හදනවද මන්දා?

මම හීන් සීරුවේ බයෙන් බයෙන් මම ගත්ත පොත දික්  කළා.
“මොන නම කියලද  ලියන්න ඕනේ  ” සන්න ගාම්භීර හඬින්  ඇහුව.
මම ඇහෙන නෑහෙන ගානට “අජිත්ට ” කියල කිව්වා.  අජිත්ට කියල ලියපු සන්න එයාගේ අත්සන ගැහුවා.
මම සන්නගෙන්  ඇහුව මගේ පොතක් එයාගේ එතැන  තියෙන පුස්තකාලෙට දෙන්නද  කියල?  . සන්න ඕනෑවට එපාවට කිව්වා.” ඔන්න ඔහෙන් තියල  යන්න”.   “මොන ප****ද ” මම මටම කියා ගත්ත. ඇහුව මෝඩකම.   සන්නගේ මහාර්ඝ අත්සන සහිත පොතත් තුරුළු කරගෙන අර නා කපන වැස්සේ එලියට බැස්ස.  පොත් මිටි ගන්න ගියේ  නැහැ.

කොණ්ඩේ කැරලි තේනු ගේ නිවසේ පිල්මේනියා සැඳෑව  

තේනුවරගේ ගෙදර (ඔව් අර කොන්ඩේ  කැරලි මහාචාර්ය තේනුවර , අර එපා කියද්දී නඩුව දාපු එක්කෙනා )” පිල්මේනියා කන්න  යන්න පොත් මිටි  උස්සන් කොහොම යන්නද ? අනික වැස්සට තෙමනව එලියට අරන් ගියොත්. තේනුව  කියන්නේ සන්නස්ගල “භික්ෂු පරිච්චේදය ” පොතේ  සඳහන් කරන පසන් ගේ සෝවියට් දේශයේ හිටපු මිත්‍රයා.
තේනුයි කුමියි අපට ආදරයෙන්  හොඳට සැලකුව. කළා  නිකේතනයක් වගේ එතන. රසවත්ම රසවත් පිල්මේනියා  එක්ක  ඩ්‍රින්ක්  දෙක තුනක් කුසට  වැටෙනකොට දවසේ අමිහිරි භාවය හිරු දුටු  පිනි බිඳුව  වාෂ්ප වෙලා ගියා. පරණ මතකයන් අලුත් කරගෙන සුන්දර වෙලාවක් ගත කරලා අපි විසිරිලා ගියා.

 මට හදිසියේම කල්පනා වුනා ඒ වැස්සේම. සන්නගේ ඔය තැප්‍රෝබේන් එකට  හදිසියේ ගිහින් වැඩක් නැහැ. දුමක් පත්තු කරගෙන ආතල් එකේ වොඩ්කා ෂොට් එකක්  හරි රා වඩියක් හරි හලාගෙන ඉන්න ඕන තැනක්  එතන කියල. ඔන්න එතකොට තමයි මතක් වුනේ අර දැකල පුරුදු මූණ කාගේද කියල. අර  “කුඹියෝ” එකේ හිටපු ප්‍රියන්ත මහඋල්පතගම ගේ . අපරාදේ සෙල්ෆියක් ගහගන්න තිබ්බ  චාන්ස් එක අත ඇරුන.
~~~~~~~~~~~~~~~~~~********************~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
දැන් අර “අම්මා” ගැන කතාව.

 මට දැඩි ෂොක් එකක් දැනුන මුල්ම  තැන 83 පිටුවය. මඤ්ඤොක්කා මැල්ලුම් සමග බත් කා හැටි කියවා  ඇතිවූ පුදුම සහගත බව ඇරුනේ නැත. යහලබැද්දේ කොස් තිබුනේ නැත්ද? හැමදාම කොස් කන්නට නොහැකි බව ඇත්තය. ඒත් ඔවුනට ඉඩම් තිබුණු බව සන්නස්ගල මහතාම පසුව ලියා තිබේ. ඒවා ඔහුගේ පියා ඔහුට ලියා දී තිබේ.  ඒවායේ බතල දමන්නට බැරි වුනාද? එළවලු දමන්නට බැරිද? පළතුරු ගස් සිටුවන්නට බැරිද? මගේ පියා මට කියා තිබුනේ ලංකාවේ කිසිවකු බඩ  ගින්නේ නොසිටින්නේ ඕනෑම  දෙයක් පැළවෙන පසක් ඇති නිසා බවයි? ඒ නැතිනම් අවම වශයෙන්  කොස් දෙල් හෝ තිබේ. ආතර්  වී දියෙස් මහතා කොස් මාමා ලෙස ප්‍රසිද්ධ වන්නේ කොස් නිසාය.

මම ලුණුගල ගැන ලියූ කාලයේ අප දුප්පත් යයි සිතුවත් මයියොක්කා මැල්ලුම් කන්නට තරම්ම දුප්පත් බවක් මතකයේ තිබුනේ නැත. මගේ මව කොස් ඇට අව්වේ දමා වේලා ඒවා කුඩු කර පාන් පිටි ස්වල්පයක් සමග මිශ්‍ර කළාය. එසේ කර කොස් ඇට පිටි වැඩි ප්‍රතිශතයක් තිබු එම මිශ්‍රණයෙන්  ඉඳි ආප්ප සැදුවාය. මේ කොස් ඇට ඉඳි ආප්ප සාදා ගන්නා ආකාරය තරුණි පත්‍රයට ලියා තිබී එය පලවූ පත්‍රය අපේ නිවසේ සෑහෙන කාලයක් තිබුණි. මේ 1973 හෝ 1974 වසරේ දීය. සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගේ දේශීය දේ අගයන ආණ්ඩුව හාල් සේරු දෙකට සීමා පනවා තිබු කාලයේ ලියූ නිසා එය පළවන්නට ඇත.  ඒ කාලයේ අවුරුද හයක් හෝ හතක්  වූ මම බත් කෑවේ නැත්නම් අම්මා මට කීවේ  අර ලැයිමේ ළමයින්ට වගේ  මඤ්ඤොක්කා කොළ එක්ක බත් දෙනවා කියාය. එනිසා මා  දැන  සිටියේ වත්තේ ළමයි මයියොක්කා කොළ මැල්ලුම් කන බව පමණි. ඔවුන්ගේ දිළිඳු භාවය මග හැරී ගොස් ඇති බව ගිය අවුරුද්දේ ලුණුගල ගිය මට දැක ගන්නට ලැබුණි. ඔවුන්ට දැන් ජරා සහගත ලැයින් කාමර  වෙනුවට ඇත්තේ කුඩා නිවෙස්ය.

දුප්පත් වුවත් කන්නට තිබෙනවා යයි මා සිතා  සිටි සිංහල බෞද්ධ ගමක ඉඩම් තිබුනත් මයියොක්ක මැල්ලුම් සමග බත් කන ගැමියන් සිටියා යි කීම මට ඇදහිය නොහැකි  කරුණකි. සම්පූර්ණ  වැරැද්ද වැටෙන්නේ  සන්නා ගේ අප්පච්චි මතය. මට ඔහුව පෙනෙන්නේ දරුවන් හා බිරිඳ  වෙනුවෙන් කරන්නට තිබූ  කිසි දෙයක් හරියට නොකළ අසාර්ථක මිනිසෙක් ලෙසිනි. (මියගිය ඔහු විවේචනය කිරීම  ගැන සමා  වන්න)
මම දිළිඳු බව දුටුවේ කොම්පඤ්ඤවිදියේ සිට කොටහේන, කොල්ලුපිටියේ බේරේ  වැව  ආදී පැතිවල තිබූ මුඩුක්කු තුලය. ඔවුන්ට  කෑමට යමක් මෙන්ම  රූපවාහිනී හා කැසට් රෙකොර්ඩර් ගන්නට මුදල් ලැබුනේ ජේ ආර් ආර්ථිකය “විවෘත” කර  මැද  පෙරදිග ගෘහ සේවයට රැකියා අවස්ථා ලබා දුන් පසුය. ඉන් වෙනත් ප්‍රශ්න මතුවූ බව ද සත්‍යයකි.

අර පහේ  පන්තියේ කතාවේදී නිකන් දෙන  ඇමරිකන්  විස්කෝතු ගෙදර අරන් ගියේ මේ කුසගින්නේ සිටි කොරියාවේ දරුවන්ය. මැද  පෙරදිග සේවයට ගිය බොහෝ ගැහැණු එසේ කලේ දරුවන්ගේ කුස ගින්න නිවා දමන්නටය. ඔවුන් එවූ  වැඩි සල්ලි වලින් ගෙදර මිනිහාට බොන්නද ගෙදර නිකරුනේ ඉන්නට රූපවාහිනී ගන්නටද හැකි වුනි. ගෑණි නිවසේ  නැති නිසා බිමත්ව දියණියන් දුෂණය කල තාත්තලා  කොළඹ  බිහි වූයේ ද එහෙමය. ලංකාවේ එහෙම වෙන්නේ  නැති බව කියූ බොහෝ සිංහළුන් මෙන්ම දෙමළුන් ද මට සම්මුඛ වුනි. මුස්ලිමුන් තාර්කිකව කලේ නිහඬ වීමය.

මිනිසුන්ගේ නූගත්කම මග හැරවීමට ක්‍රමයක් තිබුනා නම් මේ දේවල් සිදු වන්නේ වෙනස් විධිහකටය. සමාජවාදී සෝවියට් දේශයේ ඉගෙනීමට මුල්ම  තැන දුන්නේ එබැවිනි. සෝවියට් නිදහස් අධ්‍යාපනය නිසා  කොණ්ඩය කපන  ලස්සන නංගිලා ටද ඩිප්ලෝමාවක් දෙකක් තිබුණි.  නමුත් එය වැරදී  ගියේ කොතනද යන්න මම නංගිලා ගැන ලියු ප්‍රතිචාරය  තුලත් ඉන් අනතුරව මේ බ්ලොගයේ ඉන්පසු ලියූ  බොහෝ ලිපි තුලත් පැහැදිලි කර ගන්නට යත්න දැරුවෙමි.

මැක්සිම් ගෝර්කිගේ අම්මා මෙන් විප්ලවයක් කිරීමට  පුතුට සහයෝගය නොදුන්නද, ඔස්ත්‍රොව්ස්කි ගේ චරිතය වන  පාවෙල් කොර්චාගින් ගේ මව තායා මෙන් සන්නාගේ මව ඔහුව රැක්කාය. පියා  පිස්සු කෙලන අතරේ දරුවනට කන්න දෙන්නට ඇය ගත්  වීර්යය නිසාම එවන්  පුර්ව  විප්ලවීය සෝවියට් අම්මා  කෙනෙකු මෙන් වීරවරියක් වූවාය.

මගේ අම්මා තරමක ධනවත් පවුලක ඉපිද හදිසි අනතුරු දෙකකින් මව හා පියා අකාලේ මිය යාමෙන් බාල වියේදීම  අනාථ වූ දැරියකි. ඉන්පසු තමන්ගේ පියාගේම සහෝදරයා විසින් උපන් ගෙයින ඇනෙක්සියකට  පන්නා දැමීම නිසා නව යොවුන්  වියේ දීම රැකියාවක් කරන්නට වූ කෙනෙකි.   එනිසා හැකි සෑම  විටම මව  ගැන සොයා බැලීම මගේ සිරිතය. පියා  මග හැරුනාට මම මගේ මව ඉන්දියාවට රැගෙන වන්දනාවේ  ගියෙමි. ලංකාවට යන හැම විටම කොහේ හෝ ඈත විනෝද  චාරිකාවක යමි.

මගේ අම්මාද බල සහෝදරයා ට අවුරුදු පහ හය වෙන තෙක්ම වාගේ මව් කිරි දුන්නාය.  මගේ මව මට මෙන්ම   සහෝදරියන්ටද  මුණුපුරු මිණිපිරියන්ටද  දාම් අදින්නට කියා දුන්නාය. නොයෙකුත් ගෙදර දොරේ සෙල්ලම්, ප්‍රහේලිකා  පුරවන්නට පංචි දමන්නට  කියා දුන්නාය. ලුණුගල දී කොස් ඇට ඉඳි ආප්ප මෙන්ම නිවසේ  පාන් ද පිච්චුවාය. පොත් කියවීමට අනුබල දුන්නේ පියාය. අපට කෙළවුණේ කොළඹ ට ආ පසුය. එක සොයුරියක් විශාඛා ගිය අතරමා  ගියේ රාජකීය විද්‍යාලයටය. අනිත් දෙන්නා ද සාමාන්‍ය තරමේ පාසල් වලට ගියහ.තාත්තාට  වියදම වැඩි විය. අම්මා අප එක්කරන  අපට ධෛර්යය දෙන මහා පොදු සාධකය විය. කාගෙවත් උදව් නැතිව වුවද ඉරිසියාවන් මැද වුවද අපි ජිවත් වුනෙමු.
 මේ මව්වරු සියල්ලන්ම එකසේ දිරිය මව්වරු වෙති.

මට සිතා  ගත නොහැක්කේ එවන් අම්මා කෙනෙකු බලන්නට සතියට වතාවක්වත් යන්නට  මේ සල්ලිකාර  ටියුෂන් ගුරාට නොහැකි වූයේ මන්ද යන්නය ? මේ මනුස්සයා මවගේ ගමින් මා මෙන් ලන්ඩනයේ කිලෝමීටර නම දහසක් ඈත නොව කිලෝමීටර එකසිය පනහත් දෙසීයත් අතර දුරක අතර ජීවත්වූ අයෙකි. ටියුෂන් දෙන්නට නුවර යන ගමන් බල්ලා  බලන්නට ගියා නම් අම්මා  බලන්නට යන්නට බැරි කමක් නැත.

   මට ඉන් පසු හිතුනේ අර ගිය වෙලාවේ සන්නා මහත්මයා ට හොඳටම බැණ වදින්නට තිබුනා නම් හොඳ බවය.

හැබැයි පොත කියවා අවසන් වන විට මම ඒ අදහසද බැහැර කලෙමි. ගහන්නට හිතෙන්නේ   සන්නා ගේ මවට  අර මාරක විහිළුව කල සහෝදර දෙපලටය. මුන් කුඩා  කාලයේදී ඒ අම්මාට වධ දුන්නා මදිවා ට තම බාල සහෝදරයා හා තමන් ගේම එකම මව  පිලිබඳ මහා ඉරිසියාවකින් පෙලී කළ නොමනා  විහිළුව නිසා ඒ මවට හෘදයාබාධයක් වැළඳෙන්නට  ඇත.

සන්නාගේ තැප්‍රෝබේන් එක තුල ඔහුගේ හැසිරීම මට පසක් වන්නට පටන් ගත්තේ අම්මා කියවීමෙන් පසුවය. එතරම් දුක් කන්දරාවක් දරාගත් මවක් සමග හැදුනු පුතෙක් සමාජයට වෛර කළ යුතුද ආදරය කල යුතුද යන ද්විත්ව චෛතසිකයන්  අතර නිතර දෝලනය වනවා ඇත. එනිසා දකින හැම දෙනා දෙසම බොහෝ විට  විචිකිච්චාවෙන් මිස වෙනත් විධිහකට බැලීමට සමහරවිට ඔහුට අපහසු වනවා ඇත.

~මතු සම්බන්ධයි
ප. ලි.  සන්නස්ගල  මහතාගේ “අම්මා” පොතේ තවත් තැන්  දෙක තුනක් ගැන කතා කල යුතු  නිසා තව ලිපියක් ලියවෙනු ඇත. 

%d bloggers like this: