Menu Close

සන්නාගේ පොට් එක දක්වා ගිය ත්‍රාසජනක ත්‍රීවිල් ගමන සහ අතුරු කතා

මම පහු ගිය සැප්තැම්බරයේ  ලංකාවට ආවේ “ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ ” පොත දොරට වැඩුමට සහ පොත් ප්‍රදර්ශනේට යන්න කියන එක දැන් ප්‍රසිද්ධ රහසක්නේ. ඔය අතරේ දවසක තැප්‍රෝබේන් එකටයි , ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවියේ නව  කාර්යාලට යන්නයි හවසක් දාගත්ත. එදා දවල්  විහාර මහා දෙවි පාක් එක පැත්තේ ලක්සල එක ගාව කලින්  කතා කරගත් විධිහට  ගෑනු ළමයි දෙන්නෙක්ව හම්බ වුනා. (අර ඒ දවස් වල ඒ ලෙවල් වලට  පාඩම් කරන්න ගිය කාලේ  වගේ නෙමේ ඉතින් දැන් වයසයි නේ. එනිසා ගෑණු ළමයි වගේ තමයි පෙනුනේ). ලංකා නිව්ස් වෙබ් එකේ උපුල් නිශාන්තය කිව්වා ආකේඩ් එකද මොකක්ද ලබ්බකට එන්න කියල. දැන් එතනට යන්න තමා අර දෙන්න එක්ක ත්‍රීවීල්  එකකට  නැග්ගේ. ඉතින් යන ගමන් එක කාන්තා  රත්නයක් කියනවා අනේ ඉතින් අපි “ඉඟ සුඟ ගත හැකි මිටින”  වගේ නිසා හොඳයි කියල. ත්‍රීවිල් එක ආකේඩ් එක ගාවින් නවත්තල මමත් එලියට විසි වුනාට පස්සේ ත්‍රීවිල් එක පදවපු අයිය කියනවා “මම මේ  බැලුව  අර ඉඟ සුඟ ගත හැකි මිටින ” කීව අය නැග්ගට  පස්සේ ත්‍රීවිල් එක එක පාරටම පොළොවට  ගෑවෙන්න ම යටට ගියේ ඇයි කියල.  හරියට ඇද්දුවෙත් නැහැ පාරේ. දැනුයි තේරුනේ කියල. “
“මටත් ඇත්තටම මතක නැහැ ත්‍රීවිල් එකේ මම ඉඳගෙනද ආවේ කියලත් “.

ඔන්න ඉතින් අපි එතන අසයිලම් කියල තැනකට ගියා. මම හිතුවේ මෙන්ටල්   හොස්පිටල් එකක් කියල  උපුලයත් හිටිය නිසා. ඒකෙ වාඩි වෙලා කෑ ගහල සද්දෙන් කයිය දාගෙන ඉන්න කොට  පොෂ් වගේ ලුක් එකකින් මහ දවල් බියර් බිබී හිටිය දෙතුන් දෙනෙක් මාරු වුනා. මේ මොන ගමයොද කියල හිතන්න ඇති.

ඉතින් කාල බීල ඉවර වෙලා ගෑණු දැරිවියෝ දෙන්න අහල පහල සෙල්ෆි එහෙමත් ගත්තට පස්සේ අපි එයාලට සමු දීලා එන්න ආවා. ඊට පස්සේ අර සන්නගේ  ගේ  තැප්‍රෝබේන් එකට ඉස්සෙල්ලම යන්න හිතාගෙන ත්‍රීවිල් එකක් නවත්ත ගත්ත. අර ත්‍රීවිල් අයියා වගේ නෙමේ මේ ත්‍රීවීල් මල්ලි. රැවුල වවාගෙන මහා භයංකර අයිසිස් කාරයෙක් වගේ. “හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරඟෙටා ” වගේ තමයි පොර මේක එළවන්නේ. වෙන ත්‍රීවිල් එක්ක නෙමේ මෙයා රේස් යන්නේ 4 x 4 එක්ක.

එක තැනකදී ත්‍රීවිල් මල්ලි දැම්ම ලොකු ලොරියකුයි බස් එකකුයි මැද්දට. පොඩි වෙලා කරපට්ටන් වෙලා මැරෙන්න කලින් ගහන අන්තිම පින්තූරය කියල හිතාගෙන තමා ඔය උඩ තියෙන පින්තූරේ  ගැහුවේ. ඒ වුනාට එහෙම වුනේ නැහැ. පොර බස් එකයි ලොරියයි මැදින්ම ත්‍රීවීල් එක අරන් ගියා. අම්මප පොඩ්ඩක් හරි එකෙක් වමට හරි දකුණට හරි කැපුවා නම් හිරවෙනවා එතනම.  ඊළඟ මාරෙකේ  ආවේ අර පාරවල් වහන්න දාල  තියන ට්‍රැෆික් කෝන් එක්ක. ඒ පැත්තෙන් වාහන එනවා. මේ පැත්තෙන් වාහන යනවා. පාරෙ කෑල්ලක් කෝන් වලින් වහල. මම මේ වන්ඩිය දාන එකක්  නැහැ කියල හිතුවත් මේ යකා දැම්මනේ ට්‍රැෆික් එන ඉස්සරහට අර  කෝන්  අස්සෙන් අට ලකුණ ගහල. මම සපත්තු දෙක ත්‍රි විල් එකේ බිමට තද කරගෙන අනිත් අතින් සයිඩ් එකේ තියන පොඩි දොර වගේ එක අල්ලගෙන. දෙයියෝ අදහන්නේ නැති නිසා දෙයියන්ට කියන්නද? දෙයියෝ අහයි උඹට දැන්ද මාව මතක් වුනේ කියල.  මූ මේක හරවන්නේ යමහා XT 1200 සුපර් ටෙනරේ  එකක් වගේ නේ. පරණ රේසින්ග් ඩ්‍රයිවර් කෙනෙක්ද දන්නේ  දන්නේ නැහැ කියලත් හිතුන. එහම නැත්නම් අයිසිස් කාරයෙක් මරාගෙන මැරෙන මිෂන් එකක අපි දෙන්නත් එක්ක.

ඔය ඔක්කොම වෙන අතරේ උපුලය යනව කිසිම ගණනක්  නැතිව හරියට ශොඋෆෙර් ඩ්‍රිවෙන් රෝල්ස් රොයිස් එහෙක යනවා වගේ . අර පොර ෆේස්බුක් එකේ ක්‍රිකට් ගැන දාන බොරු, පම්පෝරි වලට අලුතෙන් දාන්නේ මොකක්ද කියල හිතනවද කොහෙද? මට එතකොට  පෙනුන මෑන් ඉඳ ගෙන ඉන්නේ අර දොර නැති පැත්තේ නේද කියල. මේක මේ ඉඳගෙන තියෙන්නේ  වීල් එක පෙරලෙන්න කලින් පැන ගන්න පුළුවන් පැත්තේ ඉඳගෙනනේ. ඒ නිසා  ආතල් එකේ යනවා.  මාධ්‍යවේදියෝ සත පහකට විශ්වාස කරන්න බැහැ කියන්නේ ඕන්න ඕකයි.

ඉතින් කොහොම හරි තැප්‍රෝබේන් එකට ගියා. සන්නා  මහතා කල්ල වස වසා ඉදිරියට ආව. සරමක් කැහැපට ගහල වගෙයි දැක්කේ.  මට නිකන් මොකක්ද වගේ අතට අත දෙන්නත් . ඒ නිසා අත  දුන්නේ නැහැ. සන්නා මහතාට මම  මාවම අඳුන්වල දුන්නේ මෙහම. මම තමයි අර ඔයාට ලන්ඩන් ඉඳන් කතා කරලා සුචරිත ගම්ලත් ගේ ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය පොත් දෙක ගෙන්න ගත්ත එක්කෙනා. (ඒක මම ගෙන්න ගත්තේ අජිත් පැරකුම් හෙවත් පැරා ගේ ලිපියක් දැකල). ඒ එක්කම  කිව්වා  “මේ ආරංචියක් ආව හොඳ පොත්  තියනවා” කියල. (ඒකත් දහ දොළොස් දෙනෙක් කීව. තරුරසි හෙමේ කිව්වේ යන්න අනේ රෝයල් තැප්‍රෝබේන් හොඳම හොඳ පොත් ලාබෙට තියනව කියල.)

දයා පතිරණ මරණය ගැන මට කියවන්න ඕනෙම පොතකුත් තිබ්බ. සන්න කීව විකුනන්න බැහැ . හෙට එන්න. හෙට තමා විකුණන්න පටන් ගන්නේ කියල. දැන් මොකෑ කරන්නේ. දණ ගැහුවේ නම් නැහැ. ඒත් දෙතුන් පාරක්ම බැගෑපත් වුනා  , අනේ ආයි එන්න වෙලාවක් නැහැ. කොහොම හරි අද පොත් දෙක තුනක් දෙන්න. සල්ලි අඩු කරන්න  ඕනෙත් නැහැ. ඒ ගානම  දෙන්නම් කියල. කොහෙද බෑම කිව්ව.
“හෙට තමයි පටන් ගන්නේ විකුනන්න. තවම හදල නැහැ, හෙට එන්න”.

මම මේ ලන්ඩන් ඉඳන් දවස් 22 නිවාඩුවට ආවේ. ආපු ගමන් මගුල් ගෙදරක යන්නත් වුනා. ඊට පස්සේ පොත එලි දක්වන වැඩේට දඟලන්න ඕනේ. ඒක සැප්තැම්බර් 21 ඉවර වුනහම දවස් තුනකින් අපහු යනවා.
සන්නස්ගල තුමා  ඩෝන්ට් කෙයාර් ඒ වගේ දේවල් වලට. ඉතින් බැහැල එන්න ආව.
උපුල් මලය ඒත් මගේ හිත හදන්න වගේ කීව. එයා හැමෝටම එහෙම තමයි කියල.

ඒක නම් වෙන්නම බැහැ . මොකද මම දැක්ක ලන්ඩන් ගිහින් ආවට පස්සේ අර පෙරටුගාමී සමාජවාදී ෆේස්බුක් බලඇණියේ ඕස්ට්‍රේලියානු අංශයේ  ඉස්සරහින්ම ඉඳන් හැමෝටම ගල් පෙරලන කනිෂ්ක ජයලත් එක්ක ෆොටෝ එකක් (සෙල්ෆි වගේ ) අරන් තිබ්බ. ඊට අමතරව ආදී කාලීන බ්ලොග් ලියන්නකු වන ඔසී රටේම රසික සූරියආරච්චිත් පොත් මිටි දෙකක් අරන් ෆොටෝ එකක් දාල තිබ්බ. ඔසීලට වැඩි සැලකිල්ලක් තියනවා වගේ.

මොකද්ද හේතුව? මම කල්පනා කළා. ඔළුවට ආපු ළඟම  හේතුව – අර දීප්ති කුමාර  ගුණරත්න මගේ “සියාමා ” පොත එලි දක්වපු වෙලාවේ කියපු හීනි විවේචනයද මන්ද? ඒ වීඩියෝ එක මගේ බ්ලොගේ දැම්මා  ඉතින් මගේ බුක් ලෝන්ච් එකනේකියල. කවුදෝ එකෙක් අමු කුණුහරපෙන් ඇවිල්ල බැනල තිබ්බ  මගේ  අහිංසක මව් තුමියත් මතක් කරලා. පව් ඒ උන්දැ. (ඒ කොමෙන්ට් එක පල කලේ නැහැ) ඒත් ඉතින් සන්න වගේ යෝධ පුරුෂයෙක් අපි වගේ ඇටිකිච්චන්ගේ බ්ලොග් වලට එයිද? ඒක නම් වෙන්න බැහැ.

මම යාළුවෙක් ගෙන්   ඇහුව ඇයි මේ රෝයල් කෑල්ලක් ඉස්සරහින් දාගෙන තියෙන්නේ කියල. මේ රෝයල් ගිය යාළුව  කිව්වා,
“ඔය මචන් රෝයල් යන්න බැරි ඕන කෙනෙක් ගෙදර නමට ඉස්සරිහිනුත්  රෝයල් කියල දානවාලු .නැත්නම් රෝයල් එකේ අපි මෙහෙමයි අරමයි කියල කුප්ප කතාවක් දෙකක් අපි සම්බන්ධව   කියනවලු.”.

හැබැයි මට වුනේ ඕකෙ  අනිත් පැත්ත? මම රෝයල් එකට ගියේ එන්ට්‍රන්ස් විභාගෙන් පාස් වෙලා. ඒ කතාව මෙතැන ලියල ඇති. ශිෂ්‍යත්වෙන් ආවේ ආනන්දෙට. ආනන්දෙටත් සුමානයක් විතර ගියා.  අර රෝයල් ප්‍රයිමරියයි (ප්‍රාථමිකේ)  කොලේජ් එකයි  අපේ කාලේ තමා එකතු කලේ. එතකොට ප්‍රයිමරි එවුන් ටිකක් අලි පු*. උන් තමයි නියම රෝයල් කියල. හයේ පන්තියෙන් රෝයල් ගිය අපි උන්ව පඩේකට ගණන් ගත්තේ නැහැ. හිටිය එවුන්ට මතක ඇති ඒ කාලේ වලිය.

දැනට අවුරුදු දහයකට විතර කලින් මගේ ඇඳුනුම් කමක් තිබ්බ  නුවර පැත්තේ පොරක් එක්ක. ලන්ඩන් වල. මෙයා මට කියනවා අජිත් මම කවදාවත් හිතුවේ නැහැ උඹ රෝයල් ගිය එකෙක් කියල. (රෝයල් කතාවක්  ඇදිලා ආපු වෙලාවක) මම ඇහුව බුවාගෙන්  ඒ මොකෝ කියල. ඌ කියනවා,
“උඹ මම දන්නා  රෝයල්  ගිය එවුන් වගේ නෙමේ හැසිරෙන්නේ “ලු. මම කිව්වා “මචන්,ම ම නම් එහෙම  එකක් දැනගෙන හිටියේ නැහැ කියල. මගේ රෝයල් යාලුවෝ නම් මං වගේම බෝතල් භාගයක් හිස් කරන්න පුළුවන් පොඩ්ඩක් නටන්න දන්න සොමිය ට බර  පොරවල්. ” මට හිතුනේ මුගේ ඔලුවේ තියන මනස්ගාත කියාල.

හැබැයි ඊට පස්සේ ඔය රෝයල් කතාව  ආවේ බීබීසී එකේ වැඩ කරණ යාලුවෙක් ගෙන්. එයාගේ ඒ දවස් වල බිබිසි බොස් ඇහුවලු
“අජිත් ඇත්තටම රෝයල් ගිහින් තියනවද කියලා ” යාලුව කිව්වලු එහෙම තමයි එයා දන්නේ.
“වෙන්න බැහැ පොළොන්නරුවේ රෝයල් වෙන්නැති ” කියල කීවලු. මේ මැනේජර් මට අවුරුදු හතරක් විතර සීනියර්. මම අර යාළුවට කීව
 “මම මේ පලවෙනි වතාවට රෝයල් ගිය එකෙක් ගෙන් ඔය කතාව ඇහුවේ. අනිවාර්යයෙන්ම  මම හැසිරෙන්නේ ඌ හැසිරෙන විධිහට  නෙමේ වෙන්න ඇති කියල.”

මම දැනට  අවුරුදු දෙකකට විතර කලින් ලංකාවට  ගිය වෙලේ අපි ඉවර කරපු අවුරුද්දේ එවුන් සංවිධානය කරන ඩිනර් එකකට ගියා ජයික් හිල්ටන් එකේ. හොඳට සංවිධානය කරලා තිබුන. එතන හිටපු ලස්සන ගැහැණු ළමයි දෙතුන් දෙනෙක් එක්ක ඩාන්ස් කළා.
“පස්සේ දැන  ගත්තේ උන් කුලියට ඩාන්ස් කරන්න ආපු එවුන් කියල ” අර උපුල හත්තිකේ කියනවා වගේ මොන මිත්තණියගේ වස්ත්‍රයක්ද  යකෝ මේක. ලන්ඩන් වල අපේ එවුන්ට කීවනම් හිනා වෙලා මැරෙයි. අර කෙල්ලෝ ඇවිත් ඉන්නේ නටන්නේ නැති අය ෆ්ලෝර් එකට ගන්නලු. මම එහෙම්ම ෂේප් වුනා.

ඔය අස්සේ, ඒ කාලේ ඉස්කෝලේ ඇරුනම ෆ්‍රෙන්ච් ක්‍රිකට් ගහපු එකෙක් හිටිය. එයාට මම දැකල කතා කලා. ආ මචන් කොහොමද ඉතින් කියල. පොර මං දිහා නිකන් අඟහරු ලෝකෙන් ආපු කුරුමිට්ටෙක් දිහා බලන බැල්මක් දාල කට කොනකින් කින්ඩි හිනාවක  දාල වෙන සෙට් එකක් ගාවට ගියා. මම ළඟ හිටපු ඒ ලෙවල් පන්තියේ යාළුවෙකුට කීවාම  ඌ කිව්වා ආ  මේ අර බ්‍රිගේඩියර් අහවලානේ කියල. ඒ බ්‍රිගේඩියර් තුමා ඊයේ පෙරේද මේජර් ජනරාල් තුමෙක් වෙලා  කියල ආරංචියක් ආව. හොඳයි ඉතින්.  හැබැයි  මට දැනුයි  තේරෙන්නේ. මේ මන් වගේ ලන්ඩන් වල පරිගණක ඉන්ජිනේරුවක් ලෙසට  විධායක ශ්‍රේණියේ නොවන රැකියාවක් කරන එවුන් එක්ක මොන කතාද ඒ අයට? ඒ කියන්නේ රෝයල් තැප්‍රෝබේන් අයිතිකාරයා කතා කලේ නොකලෙත් ඩෝන්ට් කෙයාර් ලෙසට හිටියේ  ඒක නිසා වෙන්නැති.

හැබැයි මම ආයේ දවසක ගියා ඔය තැප්‍රෝබේන් එකට මගේ පොත දොරට වැඩුම ඉවර වුනාට පස්සේ . ඒ කතාව ඊළඟට කියන්නම් හේතුව තමා මම ලන්ඩන් ඇවිත් සන්නගේ පොත් මොනවාද මං ළඟ තියෙන්නේ කියල හෙව්ව . භික්ෂු පරිච්චේදය, අම්මා.

මම මගේ අම්මට හුඟක් ආදරෙයි. මගේ පලමු පොත වගේම තුන්වෙනි පොතත් අම්මට තමයි ඉස්සෙල්ලම පිදුවේ. සියාමා පොත අම්මටයි  තාත්ත ටයි.

සන්නට එයාගේ අම්ම මග හැරිලා. මට මග හැරුනේ මගේ තාත්තා. තාත්ත එක්ක මුහුදු වෙරළ අයිනේ හෝටලේකට යන්න, බීර  වීදුරුවක් අරන් දෙන්න. දේශපාලනේ ගැන කතා කරන්න, ඒ හීන  ඔක්කොම නැති වුනා. ඒක වුනේ  එකම එක  මෝඩ තීරණයක් නිසා. මගේ දුප්පත් තාත්ත මාව නොදැකම අවසන් ගමන් ගියේ. මම ගියේ මරණෙට. දරුවෝ බලන්න ලන්ඩන් ආවේ අම්ම විතරයි.

මම සන්නගේ “අම්මට ” ආදරෙයි.
ඊළඟට ලියන්නේ ඒ ගැන. ඒ පොතේ තිබෙන විස්තර වගයක් ගැන.

~~~~~මතු සම්බන්ධයි ~~~~~~~~~~~~~~~~~~~~~

%d bloggers like this: