Menu Close

අවසානයක් නොවේ – තුන්වෙනි කොටස

පළමුවෙනි කොටස
දෙවෙනි කොටස

——————————–

තානාපතිවරයා වශයෙන් සිංහලේ රජු හමුවීමට ලැනරෝල් කැඳවාගෙන යන පෙරහැරේ අවසාන දර්ශනයද නොපෙනී යන තුරු අද්මිරාල් ෆර්නැන්ඩස්කි රැළි ගැස්වුණු ඇසිපිය අතරින්  බලා සිටියේය. පාරාදීසයක් යැයි මේ දූපත හැඳින්වූ ජෝන් මැන්ඩෙවිල් ගැන ඔහු සිහිපත් කළේ කෝපයෙනි. තබන තබන පියවරක් ගානේ, පාවහන් විනිවිද දෙපා දවන රත් වූ වැල්ල, පෙනෙන තෙක්මානයේ පැතිරි කටුසහිත ළැහැබ්, සර්පයන්, නරි සහ කුඩා උරගයින් බහුල වූ පරිසරය…

“කූඩාරම්වල රෑ ගත කිරීම අනතුරුදායක වෙන්න පුළුවන්. බෝට්ටුවලට යමු…” නෞකා කණ්ඩායමේ නායක ද ලාහේ ගේ දෙවැනි නිලධාරියා උස් හඬින් කීය. ඒ අනුව ආපහු හැරුණු පිරිස ලහි ලහියේ වෙරළට දිව ගියහ. කණ්ඩායමේ පසුපසින් අඩි කිහිපයක් දිව ගිය ෆර්නැන්ඩස්කිගේ අතෙහි වූ දුරදක්නය ගිළිහිණ. ඔහු සිය අතවැසියන් කිහිප දෙනා සමඟ පමා වෙද්දි පළමුවැනි බෝට්ටුව දියත් විය.

සිය ස්වාමියාගේ දුරදක්නය අහුලාගත් කැබින් බෝයි ටිරෙල් හිස ඔසවනවාත් සමඟම දුටුවේ කුකුළෙකු තරම් වූ වර්ණවත් පක්ෂියෙකි. “මෙන්න අද්මිරාල් අපට කදිම රාත්‍රී භෝජනයක්…” කියමින් ඔහු ඉණෙහි වූ පිහිය ඇද පක්ෂියා වෙත දමා ගැසීය. බැස යන හිරු කිරණින් රත් පැහැයට දිළිසුම් දුන් පිහි තලය වට කිහිපයක් කැරකෙමින් ඉගිළී ගොස් කුරුල්ලාගේ බඳෙහි ඇණින. එසැණින් ඌ ඉගිලුනේය.

ටිරෙල් සෙසු සියල්ල අමතක කර දමා ඇසිල්ලකින් කුරුල්ලා ඉගිළුනු දිශාවට දිව ගියේය. මොහොතින් ඔහු වන ලැහැබ විසින් ගිළ ගැණුනි.

“අද්මිරාල්ගෙ දුරදක්නය…” ෆස්ට් මේට් රොල්ෆ් කෑගැසීය. ඒ කෑගැසීම අනුව බෝට්ටුවේ සිට වෙරළ දෙස බැලූ ද ලාහේ දුටුවේ ෆර්නැන්ඩස්කි සිය ස්කැන්ඩිනේවියානු සහචරයන් තිදෙනෙකු ද සමඟ වන රොද දෙසට දිව යන අන්දම ය. වෙරළේ ඇණතබාගෙන විට හපමින් සිටි ස්වදේශික රාජපුරුෂයෝ ඉතා අලස ලෙස ඒ දෙස බලා සිටියහ.

“එක බෝට්ටුවක් වෙරළේ තියෙද්දි අනික් අය නැවට යමු…” ද ලාහේ ගේ නියෝගය, දෙවන නිලධාරියා වෙරළට ඇසෙන සේ ප්‍රතිරාවය කළේය.

———————————–

ෆර්නැන්ඩස්කි සිය සහචරයන් ද සමඟ එක හුස්මට දිවූ දිවිල්ල නතර වූයේ යාර පන්සීයක් පමණ වන ලැහැබ තුළට ආ පසුවය. “දැන් ටිකක් වෙහෙස නිවාගන්න අතරෙ… නැවතිල්ලේ යමු ඉස්සරහට…” අද්මිරාල් කීය.

“අපි යන දිසාව…” දෙකකුලින් එල්ලාගෙන සිටි වලිකුකුළා බිම තැබූ ටිරෙල්, සිය කබායේ ඇතුල් පැත්තේ රහස් සාක්කුවෙන් තුනීවට රෝල් කරන ලද පාච්මන්ට් කැබැල්ලක් එළියට ඇද්දේ ය. එය ප්‍රවේසමෙන් දිගහැරිය විට, යම් යම් මඟ සළකුණු ද සහිත රළු සිතියමක් වැනි සටහනක් බව දැකිය හැකි විය. ටිරෙල් එය අසළ වූ ගල් තලාව මත ඇතිරීය. ෆර්නැන්ඩස්කි සිය කබා සාක්කුවෙන් ගත්තේ සම් බැම්මෙන් බඳින ලද සටහන් පොතකි. එය දිගහැර, එහි සටහන් ද සිතියමේ සළකුණු ද සසඳමින් මඳ වේලාවක් ගත කළ ඔහු සිතියම නැවත අකුළා ටිරෙල් වෙත දික් කළේ ය. පොත නැවත සාක්කුවට රුවාගෙන, කළිසමේ සාක්කුවෙන් ගත් මාලිමාවක් ද රිදී කැටයම් සහිත පිස්තෝලයද දෑතට ගෙන ඉස්සර වුණේ ය.

“මයිල එකසිය හැත්තෑවක් විතර දකුණු – නිරිත දිසාවට යන්න තියෙන්නෙ… පුළුවන් තරම් ජනාවාස මඟ හරින්න වෙනව. ඒ වගේම මේ කැළෑවල වනචාරී මිනිස්සුත් ඉන්නව. කිසිම විදිහකින් අපි ගැන කිසිම ඔත්තුවක්, කිසිම පැත්තකට යන්න දෙන්න එපා. කාව හරි දැක්කොත් මරන්න වෙනවා.” ෆර්නැන්ඩස්කි කිසිම හැඟීමකින් තොරව සහචරයන්ට කීවේය. ඉදිරියෙන් ගිය ටිරෙල් ද, කුඩා ලී පීප්ප තුනක් කර තබාගෙන පසු පසින් ගිය අනික් තුන් දෙනාද නිහඬවම අද්මිරාල්ගේ නියෝගය භාර ගත්හ.

යුරෝපීයයෝ පස් දෙනා වැඩි කළබලයක් හෝ ශබ්දයක් නොමැතිව වැටුණු ගස් කඳන්, ගල්ගෙඩි, දියපාරවල් පසුකරමින් ගමන් ගත්හ. තබන පියවරක් පියවරක් පාසා දැඩි අවධානයෙන් හාත්පස නිරීක්ෂණය කරමින් වුවද ඔවුහු ප්‍රමාණවත් වේගයක් පවත්වාගත්හ.

—————————————-

තරමක දියපහරක හඬ ඇසෙන මානයේ දැවැන්ත ගසක් මුල, නාවුකයෝ පස්දෙනා මේ නාඳුනන දූපතේ වියළි කළාපීය වනාන්තරය තුළ ගත කරන සිය පළමු රැය ගත කරන්නට වාඩි ලා ගත්හ. කුසගින්න නිවාගන්නට තිබුණේ ගිනිමැළයෙන් පළහාගත් වලිකුකුළා ද රත්පැහැ රම් ද පමණකි. අද්මිරාල් සිය පිරිසට රාත්‍රී මුරය බෙදා දුන්නේය. ඒ අනුව සිවුදෙනෙක් නිදන අතර එකෙක් පැය දෙකක් නිදිවරාගෙන වාඩිය ආරක්ෂා කළ යුතුව තිබුණි. අවසාන ජාමය වන අළුයම අද්මිරාල් තමන් වෙත පවරා ගත්තේ ය.

ඉඳහිට ඈතින් ඇසෙන්නට වූ හූ හඬ, දියපහරේ හඬ යටපත් කරන්නට තරම් වූ රෑහි හඬ අතරින්, ජීවිතය උදෙසා විළාප දෙන මුවෙකු හෝ ගෝණෙකුගේ හඬ වරක් හෝ දෙකක් නැඟී ආවේ ය. දියපාර වෙත යන විවිධ සතුන්ගේ විවිධ අඩි ශබ්දවල නිරන්තර සර සරය… ළඟින්ම වගේ එක්වරක් ඇසී යළිත් කෙතරම් සියුම්ව කන්දීගෙන සිටියත් නෑසෙන සියුම් අඩි ශබ්ද…

http://www.unclesamgear.com/wp-content/uploads/2017/10/
Hands-tree-spooky-e1508254437225.jpg
——————————————–

අද්මිරාල් අවදි වූයේ එකවරම ය. කණ ළඟින්ම වාගේ යමෙකුගේ සිහින් කෙඳිරියක් ඇසෙනු ඔහුට සිහිනයකින් වාගේ මතක තිබුණි. අවට පඳුරු වල පින්නෙන් පෙඟුණු මල් මත ද, තණපත් මත ද හිරු එළිය යන්තමින් තැවරෙමින් පැවතුණි.

“රෝ…ල්…ෆ්…!” ෆර්නැන්ඩස්කි ගේ බැරෑඬි කටහඬින් එතෙක් හාත්පසින් ඇසෙමින් තිබූ රෑහි හඬ මොහොතකට නිහඬ විය. නිදාසිටි තුන් දෙනා තිගැස්සී අවදි වූහ.

“කොහෙද මේ බල්ලා ගියේ? හොයපල්ලා…” තමන් ළඟම සිටි තරබාරු රොස්කෝ ගේ උරහිසින් අල්ලා ඉදිරියට තල්ලු කරමින් ෆර්නැන්ඩස්කි කෑ ගැසීය. “මම කිව්ව ඌට පාන්දර මාව ඇහැරවන්න කියලා…”

“මම රොල්ෆ් ඇහැරවලා, මුරය බාර දීලා නිදාගනිද්දි,” නීල්සන් සිය නායකයාට අත දිගු කර පෙන්වමින් කීය. “රෝල්ෆ් මස්කිට් තුවක්කුවත් ඔඩොක්කුවෙ තියාගෙන අර ගල උඩ වාඩි වුනා…”

සිව් දෙනාම නීල්සන් පෙන්වූ ගල හා ඒ අවට සියුම්ව පරීක්ෂා කළද, කිසිදු හෝඩුවාවක් සොයාගන්නට ලැබුණේ නැත. රොල්ෆ් පුරුදු වී සිටි පරිදි සපා ඉවත දමන ලද දුම්කොළ හප කීපයක්, ඒ අවට වූ අතර ඔහු ගේ පයට පෑගුණු තණපත් හා පඳුරු පොඩි වී තිබිණ.

විලෝපිකයෙකු විසින් ඇදගෙන ගිය පාරක් හෝ, ලේ සළකුණක් හෝ, අඩුම ගානේ ගලෙහි සිට රොල්ෆ් නැගිට ගිය අඩි සළකුණක් හෝ දක්නට නොවීය.

සෑහෙන කාලයකට කලින් පුරුදුව සිටි නමුත් මේ වන විට අවඥාවෙන් අත්හැර දමා සිටින පුරුද්දක් වූ කුරුසිය සළකුණු කිරීමට රොස්කෝ ගේ දකුණත යොමු වූයේ නිතැතිනි. “ඉන් නොමෙනි පාට්රි එ’ ෆිලි ස්පිරිටුස් සෑන්ක්ටි…” කොඳුරමින් ඔහුගේ දෑස් ඉහළට එසවුණේ ළමා වියේදී පුරුදු වී තිබූ ආකාරයට ය. එසැණින් ඔහුගේ සිරුර එක් මොහොතකට ගල් ගැසුණි.

“අද්මිරාල්…”  කොඳුරමින් රොස්කෝ සිය වෙවුලන සුරත, පිරිසට පිටුපසින් වූ දැවැන්ත ගසේ ඉහළ අතු පරතට දික් කර පෙන්වීය. ඔහු අනුව ඉහළ බැලූ නාවුකයන් හට දැකගත හැකිවූයේ ලොමු දැහැගැන්වෙන දසුනකි.

අතුරුදන් වූ සගයා සිටියේයැයි නීල්සන් පෙන්වූ ගලට කෙලින්ම අඩි පහළ‍ොවක් පමණ ඉහළින් ගසෙහි එල්ලෙමින් තිබුණේ රොල්ෆ්ගේ සිරුර ය. එය ගෙළට දැමූ වරපටකින් ගසෙහි අත්තක එල්ලා තිබුණි. ඔහුගේ කමිසය සහ පිට කබාය ඉදිරිපසින් ඉරා දමා තිබූ අතර, පපුව හරහා තියුණු තුඩකින් සූරා, අකුරු පහක්  සටහන් කර තිබුණි.

VOLTE

මිනිත්තුවක් දෙකක් නිසොල්මනේ යන්තම් පැද්දෙමින් තිබූ රොල්ෆ්ගේ දේහය එක්වරම, වරපටේ සිට පහළට ගිණි ඇවිලී ගියේය. මුළු සිරුරම එකම ගිනිමැළයක් වන්නට ගත වූයේ තප්පර කීපයකි… එසැණින් දැවී ගිය වරපට සිඳී, ගිණිගත් මළසිරුර නාවුකයන් සිවුදෙනා මැදට වැටුණි.

හතරවන කොටසට…

%d bloggers like this: