Menu Close

සිරකරුවෝද මනුෂ්‍යයෝය

සිරකරුවන් දින තුනක් බාලදක්‍ෂයන් කළ ජම්බෝරිය

‘‘බාලදක්‍ෂ ව්‍යාපාරය විසින් ලෝක නායකයන් නිර්මාණය කරයි. තරුණ වියට පැමිණීමට පෙර නව යොවුන් වියෙහිදීම නායකත්ව ලක්‍ෂණ, නායකත්ව ගුණාංග ක‍්‍රමිකව ඉගෙන ගැනීමට උනන්දු කරවයි. ඒ සඳහා අධිෂ්ඨාන ශක්තිය, හඬ පෞරුෂය හා චරිත වර්ධනය සඳහා වුවමනා බොහෝ කි‍්‍රයාකාරකම් බාල දක්‍ෂයෝ උගනිති. සමාජය තුළ පිරිසක් සමඟ සමගියෙන් දිවි ගෙවීමට බාලදක්‍ෂයින් පුරුදු පුහුණු කරන්නේ ‘‘කාණ්ඩ කි‍්‍රයාකාරකම්’’ ඇසුරිනි. එම නිසා සමාජයේ දිවි ගෙවන සෑම පුද්ගලයෙකුම බාලදක්‍ෂයෙකු ලෙස අත්දැකීම් ලබාගත යුතු බවට මම විශ්වාස කරමි.’’ 
 
දකුණු අප‍්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ දිවංගත නෙල්සන් මැන්ඩෙලා බාලදක්‍ෂයෙකි. වරක් ඔහු මෙසේ ප‍්‍රකාශ කර තිබුණි.

කලක් වර්ණභේදවාදයට එරෙහිවීම හේතුවෙන් සිරබත්කන ලද ශ්‍රේෂ්ඨ මිනිසෙකු වූ නෙල්සන් මැන්ඩෙලා විසින් ප‍්‍රකාශ කරන ලද ඉහත කියමන සහිතව මෙම සටහන පෙළ ගස්වනු ලබන්නේ ඉකුත්වූ 07, 08, 09 තෙදින තුළ මෙරට සිදුකළ බාලදක්‍ෂ ජම්බෝරියක් පිළිබඳ රට හමුවේ හෙළිදරව් කිරීමේ ප‍්‍රවේශයක් ලෙසය. 

 
ශ‍්‍රී ලංකාවට බාලදක්‍ෂ ව්‍යාපාරය හඳුන්වාදී මේ වන විට වසර 106 ක් ඉක්ම ගොස් ඇතත් මේ කියන්නට යන ආකාරයේ බාලදක්‍ෂ ජම්බෝරි දැනට පවත්වා ඇත්තේ අවස්ථා දෙකකදී පමණක් වීමත් මේ සඳහා සහභාගිවූ සියලූ බාලදක්‍ෂයන් රටේ නීතිය හමුවේ වරදකරුවන් බවට පත්ව සිරදඬුවම් විඳින්නන්වීමත් මෙහි ඇති විශේෂත්වයක්ය. වර්ෂ 2014 දී පමණ නුවරඑළිය නරියාකන්ද ප‍්‍රදේශයේදී මේ කියන්නට යන ආකාරයේ බාලදක්‍ෂ ජම්බෝරියක් මෙරට තුළ මුල්වරට පවත්වා ඇති අතර මෙවර එය පවත්වනු ලැබුවේ පල්ලෙකැලේ බන්ධනාගාරයට අයත් භූමිභාගය මුල්කර ගනිමින්ය.

එම බාලදක්‍ෂ ජම්බෝරියේ ආරම්භක දිනය බවට පත්වූවේ ඉකුත් 07 දාය. ඒ සඳහා සහභාගිවූ බාලදක්‍ෂයන් පිරිස 375 දෙනෙකුගෙන් සමන්විත විය. ඊට අමතරව බාලදක්‍ෂ ව්‍යාපාරය හා සම්බන්ධවී කටයුතු කර ඇති බන්ධනාගාර නිලධාරීන් පිරිසක්ද එදින බන්ධනාගාර නිල ඇඳුමට තාවකාලික විරාමයක් ලබාදී තිබුණ අතර ඔවුන්ද බාලදක්‍ෂ නිල ඇඳුමෙන් සැරසී මේ සඳහා සහභාගිවීම විශේෂත්වයක්ය. බාලදක්‍ෂයන් බවට පත්වූ සිරකරුවන් සහ එම නිලධාරීන් එම දින තුන පුරාවට බාලදක්‍ෂයන් මිස සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් ලෙස වෙන වෙනම කටයුතු නොකිරීම එහිදී දකින්නට ලැබුන තවත් විශේෂත්වයක්ය.

 
මෙරට තුළ පිහිටි සමස්ත බන්ධනාගාර පද්ධතියම නියෝජනය වන පරිදි බන්ධනාගාර විසි හතක් තුළ සිරදඬුවම් විදිමින් පසුවන රැඳවියන් තුන්සිය හැත්තෑපස් දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම බාලදක්‍ෂ ජම්බෝරියේ සමාරම්භක දිනය බවට පත්වූවේ ඉකුත් 07 දාය. එදින පල්ලෙකැලේ බන්ධනාගාර එළිමහන් භූමියේ දකින්නට ලැබුණ විශේෂත්වයන් අතරින් පළමුව නෙත ගැටෙන්නට වූවේ අලංකාරවත් ලෙස නිර්මාණය කර තිබුණ පිවිසුම් දොරටුවකි. සිරදඬුවම් විදින අතර බාලදක්‍ෂ ව්‍යාපාරය හා සම්බන්ධව කටයුතු කරන රැඳවියන්ගේ සාමූහික ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් ලෙස නිර්මාණශීලී අයුරින් නිමකොට තිබූ පිවිසුම් දොරටුව පසුකළ කල්හී බාලදක්‍ෂ කුටි සමූහයකි. ඒවා ඉදිකර තිබෙන්නේද මෙම බාලදක්‍ෂයන්ගේ දහදිය මහන්සියේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. ඒ සඳහා මඟ පෙන්වීම සහ මැදිහත්වීම පිණිස බාලදක්‍ෂ ව්‍යාපාරය සමඟ කලක් තිස්සේ සම්බන්ධව කටයුතු කරන බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටීම බන්ධනාගාරගත බාලදක්‍ෂ රැඳවියන්හට යෝධ ශක්තියක් බවට පත්ව තිබුණි.

වෙනස්ම ආකාරයේ අත්දැකීමක් තුළින් නීතිය හමුවේ වරදකරුවන් බවට පත්ව සිරදඬුවම් විඳින පුද්ගලයන්ගේ සුභසාධනය පිණිස මෙවැනි කි‍්‍රයාකාරකමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තොරතුරක් දැන ගැනීම පිණිස බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර අධිකාරී තුෂාර උපුල්දෙනිය මහතාගෙන් අප විසින් යම් විමසීමක් කරන ලදී.

‘‘ඇත්තටම මේක තරමක් වෙනස් ආකාරයේ කි‍්‍රයාකාරකමක්. ලෝකයේ අනිකුත් රටවල් සමඟ ගත්විට සිරකරු පුනරුත්ථාපනය පිණිස බාලදක්‍ෂ ව්‍යාපාරය ඉතාමත් සාර්ථකව යොදාගත් රටක් ලෙස අපිට සුවිශේෂී වටිනාකමක් ලැබිල තිබෙනවා. මේ වගේ විශාල රැඳවියන් පිරිසක් යොදා ගෙන එළිමහනක බාලදක්‍ෂ ජම්බෝරියක් පවත්වන එක මේ වෙද්දී ලෝකයේ වෙනත් රටවල් පවා ආදර්ශයට අරන් තිබෙනවා. මේවන විට ලංකාවෙ සෑම බන්ධනාගාරයකම බාලදක්‍ෂ කණ්ඩායමක් ගොඩනගන්න අපට පුළුවන්වෙලා තිබෙනවා. ඒ හරහා බන්ධනාගාර තුළ සිද්ධවෙන සෑම සුභ සාධන කටයුත්තකදීම ඔවුන්ගේ සේවය ලබාගන්නවා. මේවටා එකතුවන සෑම රැඳවියෙක්ම මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙද්දී ‘‘බාලදක්‍ෂ පොරොන්දු’’ ලබාදෙන්න ඕන. ඒ පොරොන්දු සමූහය ලබාදුන්නට පස්සෙ කුමන තත්ත්වයකදීවත් ඔවුන් එම පොරොන්දු කඩ කිරීමට උත්සාහ ගන්නෙ නැහැ. ඇත්තටම මේ කටයුත්ත හරහා සිද්ධ වෙන්නෙ සිරදඬුවම් විඳින රැඳවියන් තුළින්ම වඩාත් යහපත් පුද්ගලයන් නැවත ප‍්‍රතිනිර්මාණය වීමක්.

 
 
උදාහරණයක් විදිහට ගත්තොත් බන්ධනාගාර ජීවිතය තුළ බාලදක්‍ෂයන් ලෙස කටයුතු කළ රැඳවියන් නැවත සමාජ ගතවුණාට පස්සෙ ඒ අය ඉතා යහපත් පුරවැසියන් ලෙස ජීවත් වෙනවා. අප විසින් කරනු ලබන පසු විපරම් කි‍්‍රයාවලියේදී අපි විසින් ඒ බව අත්දැකීමෙන් වටහා ගෙන තිබෙනවා. මෙතනදී සිරකරු සුභසාධක සංගමය අපට ලොකු ශක්තියක් සපයනව. ඒ වගේම බාලදක්‍ෂ ව්‍යාාරය හා සම්බන්ධව කටයුතු කළ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් මේ කටයුත්තේදී මූලික වැඩ කොටසක් සිද්ධ කරනව. ඒ අයගේ නායකත්වය හා මග පෙන්වීමත් මේ කටයුත්තේදී ලොකු ශක්තියක් බවට පත්වෙලා තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා සිටි කරුණු යථාර්ථයක් බවට හැඟී යන්නේ රැඳවියන්ගේ සහභාගීත්වයෙන් පැවැති බාලදක්‍ෂ ජම්බෝරිය දකිමින් හිඳින විටය. ජම්බෝරිය සඳහා අවශ්‍ය පරිසරය සහ ඒ සඳහා අවශ්‍ය බොහෝ දේ සැකසී තිබෙන්නේ රැඳවියන්ගේ දෑතේ මහන්සියෙන්ය. ඒ සඳහා අඩුවියදම් සහිත දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවාගත් බොහෝ දේ ඇත. මේ සියල්ල බිහිවන්නේ රැඳවියන් සතු නිර්මාණශිලිත්වයේ සහ හැකියාවේ ප‍්‍රතිඵලයක් ලෙසින්ය.

මෙම බාලදක්‍ෂ ජම්බෝරිය සඳහා සහභාගිවූ රැඳවියන් අතර දීර්ඝකාලීන සිරදඬුවම් විඳින්නන් සහ කෙටි කාලීන සිරදඬුවම් වලට යටත්ව බන්ධනාගාරගතවූවන්ද දැකගත හැකිවිය. ඔවුන්හට මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගීවීමට හැකිවීම තුළින් එතෙක් කලක් ඔවුන් තුළ පැවැති සිරගත මානසිකත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට වරම් ලද අතර බාලදක්‍ෂ ජම්බෝරිය පැවැති දින තුන පුරාවටම ඔවුන් විවිධ කි‍්‍රයාකාරකම්වල නියැළෙන ලදී.

රැඳවියන් තුන්සිය හැත්තෑපස් දෙනෙකුගෙන් සමන්විතව පැවැති මෙම බාලදක්‍ෂ ජම්බෝරියේ සියලූ සංවිධාන කටයුතු ඇතුළු එය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදීම පිණිස මහත් මෙහෙවරක් කළ පුද්ගලයෙකු බවට පත්ව සිටියේ බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතාය. මේ වන විටත් සිරකරු සුභසාධනය පිණිස දැවැන්ත වැඩකොටසක් සිදුකර ඇති ඒ මහතාගෙන් මෙවර පවත්වන්නට යෙදුන බාලදක්‍ෂ ජම්බෝරිය පිළිබඳ කරුණු විමසීමේදී ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළ බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා.

 
‘‘මෙරට බන්ධනාගාර ඉතිහාසය තුළ රැඳවියන්ගේ සහභාගිත්වයෙන් මුල්වරට බාලදක්‍ෂ ජම්බෝරියක් පවත්වන්නේ 2014 වර්ෂයේදී. එහිදී මේ කටයුත්ත සාර්ථක කරගන්න විශාල වැඩකොටසක් කළ පුද්ගලයෙක් තමයි වර්තමානයේ බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කරන තුෂාර උපුල්දෙනිය මහතා. මේ වෙලාවෙ ඒ බව මතක් කළ යුතුයි. ඒ සිදුවීමෙන් වසර තුනකට පස්සෙ තමයි දෙවැනි වරට මේ වගේ බාලදක්‍ෂ ජම්බෝරියක් පවත්වන්න අපි විසින් තීරණය කරන්නෙ.’’

‘‘ඇත්තටම මෙවර පැවැත්වූ බාලදක්‍ෂ ජම්බෝරිය ගැන කථාකරන කොට මුලින්ම කියන්න ඕන දෙයක් තමයි දින තුනක් පුරා පැවැත්වූ එම වැඩසටහන ඉතාමත්ම සාර්ථක අයුරින් පවත්වන්න අපට පුළුවන් වුණා කියන කාරණය.’’

‘‘මෙහිදී මතක්කළ යුතු වැදගත්ම කාරණයක් තිබෙනව. ඒ තමයි රටේ නීතිය හමුවේ වරදකරුවෙක් බවට පත්වෙච්ච පුද්ගලයෙක් බන්ධනාගාරගත කළවිට ඒ අයට නියමිත ඇඳුමක් බන්ධනාගාරයෙන් ලබාදෙනව. රැඳවියාගේ දඬුවම් කාලය නිමාවන තෙක් ඔහු ඒක අඳින්න ඕන. එහෙම නැතුව වෙනත් ඇඳුමකින් සැරසෙනවනම් ඒ සඳහා තිබෙන්නෙ අවස්ථා දෙකයි. එකක් තමයි රැඳවියෙක් උඩරට නර්ථනය ප‍්‍රගුණ කරල වෙස් පළඳන අවස්ථාව. දෙවැන්න තමයි බන්ධනාගාර ජීවිතය තුළ බාලදක්‍ෂයෙක් වීමට අවස්ථාවක් ලැබීම. ඊට අමතරව ඉතාමත් වැදගත් අවස්ථාවකදී හැරෙන්න රැඳවියෙකුට බන්ධනාගාරයෙන් නියම කරන ඇඳුමට අමතර වෙනත් ඇඳුමක් අඳින්න අවස්ථාවක් නැහැ. මේ ජම්බෝරිය සඳහා සහභාගිවූ රැඳවියන් පිරිසට ඒ දුර්ලභ අවස්ථාව හිමිවෙනව. එතනදී ඒ අයට තමන් පිළිබඳ යම් අභිමානයක් ඇතිවෙනව. ඊට අමතරව කාණ්ඩ කි‍්‍රයාකාරකම්, කණ්ඩායම් නායකත්වය, කඳවුරුගත ජීවිතය මොන වගේද ඒ හරහා ලැබෙන අත්දැකීම් කොයි ආකාරයේද කියල රැඳවියන්ට අවබෝධයක් ලබාදෙන්න පුළුවන්කම ලැබෙනව. මේ හැම දෙයක් හරහාම අපි විසින් උත්සාහ ගන්නේ සිරකරු පුනරුත්ථාපනයෙන් පස්සෙ මේ අයව යහපත් පුරවැසියන් බවට පත්කරල නැවත සමාජ ගත කිරීමයි.’’

 

‘‘බාල දක්‍ෂ ජම්බෝරියක අනිවාර්ය අංගයක් වන ගිනිමැල සංදර්ශනය අපි පැවැත්වූවෙ ජම්බෝරියේ දෙවන දිනය වූ ඉකුත් 08 වැනිදා ඇත්තටම ඒක නරඹන්න පැමිණි සියල්ලන්වම මවිත කරන ආකාරයෙන් රැඳවියන් විසින් තම තමන්ගෙ සංදර්ශණ ඉදිරිපත් කළා.’’

‘‘ඊට අමතරව සංස්කෘතික සංදර්ශණ ගත්විටත් ඒවත් ඉතාමත් විචිත‍්‍රවත් අයුරින් පවත්වන්න මේ අයට හැකියාව ලැබෙනවා. සෑම රැඳවියෙක් තුළම කුමක් හෝ සැඟවුන දක්‍ෂතාවයක් පවතින බව මේ මගින් හොඳින්ම අවධාරණය කර ගන්න පුළුවන්කම ලැබුණා. එහි තිබෙන විශේෂත්වය තමයි මේ අය සාමාන්‍ය ජීවිතයේදී මෙවැනි අත්දැකීම් විඳ නොතිබීම. එහෙම පිරිසක් බාලදක්‍ෂයන් පිරිසක් බවට පත්කරන්න පුළුවන් වීම එක පැත්තකින් අභියෝගයක් වගේම ලොකු ජයග‍්‍රහණයක්. අපට මේ වගේ දෙයක් සාර්ථකව නිම කරන්න පුළුවන් වීම පිටුපස ඒ සඳහා දායකත්වය දුන් පිරිසක් ඉන්නව. මේ අවස්ථාව සඳහා බාලදක්‍ෂ සංගමයෙන් විසිපස් දෙනකු පමණ සහභාගි වුණා. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් දැවැන්ත කාර්යභාරයක් මේ සඳහා ලබාදුන්නා. පල්ලෙකැලේ බන්ධනාගාර අධිකාරි විජය තෙන්නකෝන්, ප‍්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න සුභසාධන නිලධාරී දසනායක ඇතුළු ලංකාවේ සෑම බන්ධනාගාරයක්ම නියෝජනය වන පරිදි බන්ධනාගාර අධිකාරීවරු ජේලර්වරු ඇතුළු බොහෝ දෙනෙක් තමන්ගේ දායකත්වය මේ සඳහා ලබාදුන්න. ඊට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බන්ධනාගාර මූලස්ථානය යන ආයතන මේ සඳහා දායකත්වය සපයන්න ඉදිරිපත් වුණා. මේ සෑම දෙනාගෙම එකමුතුවෙන් තමයි දෙවැනි වරටත් බන්ධනාගාර රැඳවියන්ගේ බාලදක්‍ෂ ජම්බෝරියක් පවත්වන්න අපට පුළුවන් කම ලැබුණෙ…’’

මේවන විට බාලදක්‍ෂ ව්‍යාපාරය ලොව රටවල් 196 ක් පුරා ව්‍යාප්තව පවතින දැවැන්ත සංවිධානයකි. ජිනීවාහි පිහිටි ලෝක බාලදක්‍ෂ මූලස්ථානයේ අරමුණ බවට පත්ව ඇත්තේ 2023 වර්ෂය පමණ වන විට ලෝකයේ සිටින බාලදක්‍ෂයින් ගණන මිලියන 100 ක් දක්වා වර්ධනය කිරීමය. එය සිවිල් සමාජයට පමණක් සීමා නොකොට බන්ධනාගාරගත රැඳවියන්ගේ දායකත්වයත් ඒ සඳහා යොදා ගැනීමට සමත්කම් දක්වා ඇති රටවල් අතරින් මේවන විට ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ ඉහළ ස්ථානයක්ය. එහි ගෞරවය මුළුමනින්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මෙන්ම බන්ධනාගාර මූලස්ථානයට හිමිවිය යුතු වන්නේ ‘‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’’ යන සංකල්පය මත හිඳිමින් මෙවැනි වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට දරන වෑයම හේතුවෙන්ය.

ඉකුත් දින තුනක් පුරා පල්ලෙකැලේ බන්ධනාගාර භූමිය මුල්කර ගනිමින් පැවැති බාලදක්‍ෂ ජම්බෝරිය යනු බන්ධනාගාර රැඳවියන් පිළිබඳ යහපත් චිත‍්‍රයක් ලෝකය හමුවේ නිර්මාණය කළ සිදුවීමක් බවට පත්වූවේ බාලදක්‍ෂ ව්‍යාපාරයේ ඇති වැදගත්කම පිළිබඳ බන්ධනාගාරගත රැඳවියන් තුළද ජීවිතාවබෝධය ඇති කරවමින්ය.

විශේෂ ස්තුතිය

බන්ධනාගාර අධිකාරී පුනරුත්ථාපන නිලධාරි
එස්. හනිස්ඩීන් මහතාට
 
 
%d bloggers like this: