Menu Close

අවුරුදු 71 ක් රටකරපු අය එපා

අවුරුදු 71 ක් රටකරපු අය එපා

මෙය අද සමහර අයට දේශපාලන පාඨයකි. බොහෝ දෙනෙක් වඩා නොසිතා එය අනුමත කරති. රට හැදීමට අවශ්‍ය වන්නේ ක්‍රමයේ වෙනසක් මිස පුද්ගලයින්ගේ වෙනසක් යන්න වටහා ගැනීම ඔවුන්ට අපහසුය. රට අසාර්ථක වීමට බලපාන විශාලම සාධකය හැමදේම නිකන් ලබා ගැනීමට බලා සිටින ජනතාව බව තේරුම් ගැනීම එම ජනතාවටම අපහසු වීම පුදුමයක් නොවේ. අද වනවිට රටේ විශාලම වියදම් වන්නේ නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සහ රජයේ සේවය නඩත්තු කිරීම බව අය වැය ලේඛනයක් දිහා බලන අයකුට තේරුම් යනු ඇත. 

නිදහස් අධ්‍යාපනය රටේ ශාක්ෂරතාවය ඉහල දැමීමට පදනම් වූ බව ඇත්තකි. එහෙත් එසේ සියළු දෙනාටම නොමිලේ අධ්‍යාපනය ලබා දීම නිදහස් අධ්‍යාපනය යැයි වර නැගීම රට කරගත් මෝඩකමකි. අද රටේ ජනගහනයෙන් 75% කට නොමිලේ අධ්‍යාපනය ඔවුන්ගේ ආදායම් තත්ත්වය අනුව සුදුසු බව උපකල්පනය කළොත්, ඉතිරි 25% ටත් නොමිලේ අධ්‍යාපනය ලබා දීම සුදුසුද? ආදායම හෝ වත්කම් වලින් රටේ ඉහලම මට්ටමේ සිටින 25% න් එක් දරුවෙකුට වියදම් වෙන ප්‍රමාණය මෙන් තුන්ගුණයක පාසැල් ගාස්තු අයකර ගන්නේ නම් එම ආදායමෙන් මුළු අධ්‍යාපන වියදමම ලබා ගත හැකි නේද?

උසස් අධ්‍යාපනයක් නොමිලයේ ලබා නොදී, රැකියාවක් ලැබුණු පසු ගෙවිය යුතු පොලී රහිත ණයකට (අන් බොහෝ දුයුණු රටවල කරන පරිදි ) ලබා දුන්නානම් ඒ සඳහා යන වියදම අවම කර ගැනීමටත් උසස් පෙළ සමත් වන බොහෝ දෙනෙකුට උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමට හැකි ක්‍රමයක් අද ව්න විට බිහි වීමට ඉඩ තිබුණා නේද? එමෙන්ම විශ්ව විද්‍යාල වල අනධ්‍යන කාර්‍ය මණ්ඩල වලින් කෙරෙන සමහර වැඩ සිසුන්ට තාවකාලික රැකියා වශයෙන් ලබා දුන්නා නම් වියඩමත් විශාල ලෙස අඩු කර ගත හැකියි නේද?  

රජයේ වියදම් වලින් අනික් විශාලතම කොටස වියදම් වන්නේ සෞඛ්‍ය සේවය සඳහායි. අනික් අතට මේ රටේ ඇති පෞද්ගලික රෝහල් ක්‍රියාත්මක වන ආකාරයත් විහිළු සහගතය. සියළුම පෞද්ගලික රෝහල් වල විෂේශඥ්ඥ වෛද්‍යවරු නැත. ඇත්තේ උදේ කාලයේ රජයේ රෝහලක සේවය කර හවස් කාලයේ හෝ උදේ පාන්දර පෞද්ගලික රෝහල් වලට එන විෂේශඥ්ඥ වෛද්‍ය වරුන්ය. ඔවුන්ට රජයේ සේවය හෝ පෞද්ගලික සේවය  යන දෙකෙන් එකක් තෝරාගැනීම අවශ්‍ය නොවන නිසා ඔවුන් තවදුරටත් මේ අසම්පූර්ණ සහ භයානක ක්‍රමය පවත්වාගෙන යයි. රජයේ රෝහල් වල ඇති අතිවිශාල ඉඩම් ප්‍රයෝජනයට ගෙන මුදල් අයකරන කොටසක් ඇතිකිරීම එතරම් දෙයක් නොවේ. එවිට අදාල රෝහලේ සේවය කරන වෛද්‍ය වරුන්ට හදිසි අවස්ථාවකදී ලෙඩා වෙත ඒමටද පහසුවේ. හෙදියන්ටත් ඔවුන්ගේ සේවා කාලයෙන් අවුරුදු 5 වැනි ප්‍රමාණයක් මුදල් ගෙවන අංශයේ සේවය කර අතිරේක ආදායමක් ලබා ගත හැකි වනු ඇත. බොහෝ පෞද්ගලික රෝහල් වල පුහුණුව නොලත් හෙදියන් භාවිතා කිරීමද මෙහිදී සිදු නොවේ. රජය මඟින්ම පවත්වාගෙන යන ගාස්තු ගෙවන රෝහල් රජයේ රෝහල් පරිශ්‍රයේම ඇත්නම් අද පෞද්ගලික රෝහල් සේ පෙනී සිටින වෛද්‍ය මධ්‍යස්ථාන වැසී යනු ඇත. මෙහිදීත් මහජයයාගෙන් 25%ක් මුදල් ගෙවා ප්‍රතිකාර ගත්තත් ලැබෙන ලාභයෙන් නොමිලේ ප්‍රතිකාර ලබා දියයුතු බහුතරට රජයට වියදමක් නොවී එම සේවාව ලබා දිය හැකිවේ.      

රජයේ අනික් විශාලම වියදම වන්නේ රජයේ සේවකයන් නඩත්තු කිරීමයි. 2005 වනවිට 750,000 ක් වූ රජයේ සේවකයන් ගේ සංඛ්‍යාව 2015 වන විට 1,500,000 හෙවත් දෙගුණයක් වී තිබිණි. ඔවුන්ගේ පඩි ගෙවීමට වසරකට බිලියන 1,000 ක් පමණ වැයවේ. පෞද්ගලික අංශ වල මෙන් ඔවුන්ට කල යුතු වැඩ සඳහා ඉලක්ක නැත. එම නිසා මෙතරම් අධික වියදමක් දැරුවත් මහජනයාට සතුටුදායක සේවයක් නොලැබේ. රජයෙන් වියයුතු සේවාවන් ලබා දීම සඳහා තරඟකාරී ලෙස ක්‍රියාත්මක වන රජයට වැඩි අයිතියක් ඇති සමාගම් යොදාගතහොත්, මේ වියදමෙන් 25% කට පමණ එම සේවාවන් ලබා දිය හැකිවේ. අද ඇති තාක්ෂණය සමඟ මෙය ඉතා ලේසියෙන් කල හැක. පාඩු ලබන තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය වැනි සමාගම් ගැන කිව යුතු නොවේ.

ඉහත සඳහන් කිසිවක් මේරට තුල කවදාවත් ඇති නොවනු ඇත. එයට හේතුව නිකන් සිට පඩි ගෙන සියළු දේම නොමිලේ ඉල්ලන සමාජයක් ඇති බැවිණි. ගියවර සහන මිලකට දුන් පෝරත් දැන් නිකන් දීමට පොරොන්දුවන දේශපාලකයින් බිහිවී ඇත්තේද මේ නිකන් කන සමාජය නිසාය. සියළුම මොන්ටිසෝරි රයට පවරා ගැනීමට පොරොන්දු වන  දේශපාලකයින් බිහිවී ඇත්තේද ඒ නිසාමය.  ඒසේනම් වසර 71 ක පරිහාණියට වගකිව යුත්තේ කවුද? නිකන් කන සමාජයම නොවේද?   



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

%d bloggers like this: