Menu Close

299. වෛර(ස)ය…

ලැප්ටොප් පරිගණකයේ යතුරු පුවරුව මතින් බොහෝ වේලාවක් පුරා වේගයෙන් සැරිසැරූ කාර්ල්ගේ දෑත් මඳ ඉසිඹුවක් ලබාගත්තේය. ඔහු කට කොණකට නැගුණු සිනහවකින් – නැත එය වියරු විරිත්තීමකි, වසරකට එපිටදී ඔහුගේ ලෝකය ම සුනුවිසුණු වී ගොස් ඝන අන්ධකාරයකින් වැසී ගිය පසු තමා සිනාසුණු දිනයක් ඔහුට මතක නැත – විරිත්තීමකින් යුතුව අසුනේ පසුපසට බර වී දෑත් හිස මත බැඳගත්තේය. තවත් හෝරා කිහිපයක ඇවෑමෙන් මෙය අවසන් වනු ඇත. ඔහුගේ මාස ගණනක මහන්සියේ ප්‍රතිඵලය සයිබර් අවකාශයට මුදාහැරෙනු ඇත.

කාර්ල් ස්වාධීන මෘදුකාංග ඉංජිනේරුවෙකි. ක්ෂේත්‍රයේ ජනප්‍රියව ඇති අන්දමට ‘ෆ්‍රීලාන්සර්’ කෙනෙකි. ඒ ලෝකයා හමුවේ ඔහුගේ ප්‍රතිරූපය විය. නමුත්, ලෝකයාට විවර නොකෙරුණු ඔහුගේ රහස් ජීවිතය තුළ ඔහු සයිබර් අවකාශය තුළ අදිසි විවරයන් සොයා යන සොර දෙටුවෙකු විය. එනමුදු මෙතෙක් කලක් ඔහුට එය හුදු විනෝදාංශයක් පමණක් විය. කිසිදු විනාශකාරී කටයුත්තක් උදෙසා මෙතෙක් තම ප්‍රාගුණ්‍යය මෙහෙයවා නොතිබූ කාර්ල් වරෙක තම හැකියාවෙන් රාජ්‍ය බුද්ධි අංශයටද සහය වී ඇත. නමුත් එම අවකාශයේ ඇති අතිශය සීමා සහිත බව හේතුවෙන් ඔහු එක් ව්‍යාපෘතියකින් ම එම භාරදූර වෘත්තියට සමු දී සිය සුපුරුදු සැහැල්ලු ස්වාධීන ජීවිතයට පිළිපන්නේය.

ඔහු නීතිරීතිවලට යටත්වන්නට, රාමුවක් තුළ කොටුවන්නට පුරුදු වූවෙකු නොවී ය. බාල වියේ පටන් ඔහු ජීවත් වූයේ ස්වාධීන ව ය, නිදහස් ව ය. හරිත මිටියාවතක් හරහා සුළඟට එරෙහි ව දිව යන වල් වැදුණු අශ්වයෙකු සේ අයාළේ – එසේම නිදහසේ – සැහැල්ලුවෙන් ජීවිතය ගෙවමින් සිටි කාර්ල්ගේ ජීවිතය එක් දිනෙක, නොසිතූ මොහොතක එක් සොඳුරු බන්ධනයක පැටලින. වීණා එම හැල්මේ දිව ගිය තුරඟාගේ හිස මත හිඳ ගී වයන්නට පටන්ගත්තාය. සිය නිමක් නැති ධාවනය මඳකට නතර කළ කාර්ල් එම වැයුම අසා හිඳින්නට පුරුදු වූවේය. ඇගේ බසින් ඇගේ නමේ අරුත ඈ කියා දුන් ලෙසින් ම ඇය වීණාවක් වූවාය. එතෙක් කිසිදු බන්ධනයකට යටත් නොවූ කාර්ල්ගේ ජීවිතය ඇගේ වීණාවේ සප්ත ස්වර අතර සදාතනිකව ම බැඳී ගියේය. 

එතැන් පටන් ඔහුගේ මුළු ලොව ම බවට පත් වූයේ වීණායි. බාල වියේදී ම මව්පියන් සමග ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයේ පදිංචියට පැමිණ සිටි ඇය පවුලේ එක ම දරුවා වූවාය. එක ම සරසවියේ පරිගණක අංශයේ සහ කලා අංශයේ විද්‍යාර්ථීන් දෙදෙනෙකු වූ ඔවුන් හට ඇගේ මවුපියන්ගෙන් විරෝධයක් එල්ල නොවීය. ඔහුගේ පාර්ශවයෙන් විරෝධය පාන්නට හෝ කැමැත්ත ලබා දෙන්නට හෝ කිසිවෙකුත් නොවීය. කාර්ල් සහ වීණා විවාහ වූහ. සොඳුරු යුග දිවියක් ගෙවූහ. කාර්ල් ඈ හා ගෙවෙනා එම දිවියෙන් පරිපූර්ණ තෘප්තියක් අත්වින්දේය. නමුත් ඈ හට එය ප්‍රමාණවත් නොවිණි. ඇයට තුන්වැන්නෙකු උවමනා විය. එහි ප්‍රතිඵලයක් ලෙස අවසන ඔහුට ඈ අහිමි විය. කාර්ල් හුදෙකලාව, අසරණව දින ගණනක් පුරා හඬා වැළපුනේය. එම දීර්ඝ වැළපුමෙන් ඉක්බිති ඔහු ඈගේ මතක සටහන් සියල්ලෙන් ඈත් වී පලා ගියේය. නුහුරු නුපුරුදු අඳුරු නගරයක, පාළු නවාතැනක හුදෙකලා වී ලෝකයට වෛරය පතුරුවන්නට සිතාගත්තේය.

එතෙක් කල් ඔහුගේ සිත පෙලූ වෛරය, පරිගණක වෛරසයක්ව සයිබර් අවකාශයට එක් වන්නට සූදානම් ය. ඔහු තමා නිමැවූ පිසාචයාගේ හැඩ බැලුවේය; තව තවත් බිහිසුණු බව එයට එක් කළේය. අවසන යළිත් වරක් තෘප්තිමත් සිතින් සිය නිර්මාණය දෙස බලාගෙන විරිත්තුවේය. අනතුරුව අවසන් බොත්තම ඔබා සිය පිසාචයා මුදා හැර දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත්තේය.

ඔහු සෑදූ පිසාචයා ගම් දනව් සිසාරා පියාඹා ගොස් තුන්වැන්නන් සොය සොයා බිය වැද්දුවේය; ගිල දැම්මේය. දත් විලිස්සමින්, ගොරවමින් ඔවුන් පසුපස හඹා ගියේය. පිසාචයාට බිය වූ තුන්වැන්නන් යටි ගිරියෙන් හඬා වැළපෙන අන්දම දැක පිසාචයාගේ මුවගේ හුරු පුරුදු වියරු විරිත්තීමක් ඇඳී ගියේය. හැඩපළු ගෙතුණු රැවුලින් හා හිසකෙසින් යුතු තමාගේ වර්තමාන පෙනුමද පිසාචයාගේ රුදුරු පෙනුමට බොහෝ සෙයින් සමාන වූ බව කාර්ල් ඒ අතරේ සිතුවේය. පිසාචයා තවත් ගොදුරක් වෙත හැරුණි. මේසයක් මත සිනහවෙමින් හිඳ සිටි තුන්වැන්නා වෙත වූයේ බෙහෙවින් හුරු පුරුදු පෙනුමකි. පිසාචයා ඔහු වෙත ළ‍ං විය. අඳුරු දුමාරයක් පැතිරෙන්නට විය. හැඩි දැඩි අතක් දුමාරය මැදින් තුන්වැන්නා වෙත ඇදී ආවේය. වීණාගේ වේදනාබර විළාපයත් සමගින් කාර්ල් හති දමමින් අවදි විය.

ඔහු සිටියේ පරිගණකය ඉදිරියේ අසුන මතය. කුසගින්නේ අරගල කරනා උදරය සුපුරුදු කෙඳිරිය අරඹා ඇත. නින්ද නොයෑමෙන් පෙළෙනා තමා වෙත ඉඳහිට අවේලාවේ ළඟාවන කුකුළු නින්ද යළිත් වරක් තමා වෙත පැමිණෙන්නට ඇති බව කාර්ල් වටහාගත්තේය. නමුත් පුදුමයනම්, මතක ඇති කාලයකින් සිහිනයක් දැක නැති ඔහුට කිසිදා අමතක නොවන අන්දමේ සිහිනයක් පෙනීමයි. ඔහු තවමත් හති දමමිනි. අසළ මේසය මත වූ වතුර බෝතලය ගෙන එක හුස්මට බී අවසන් කළ කාර්ල් සිය මුහුණ දෑතේ හොවාගත්තේය. මොහොතක් එලෙස සිටි ඔහු දෑතේ ඇඟිලි අතරින් සිය පිසාච වෛරසයේ නිමැවුම් කේතය දෙස බැලුවේය. එය තවමත් එලෙසමය. තවමත් සයිබර් අවකාශයට එකතු වී නොමැත. ඒ මොහොතේ ඔහුගේ මුවින් පිට වූ වෙහෙසකර සුසුම තුළ යම් සැනසුමක් ද ගැබ්ව නොතිබිණියැයි ඔහුට කිව නොහැක.

කාර්ල් අසුනින් නැගිට සිටියේය. මාස ගණනාවකට පසු පළමුවරට ඔහුගේ අඳුරු නවාතැනින් පිටත පිරිසිදු වාතාශ්‍රයට පා තැබුවේය. ඔහුට වීණා මුළින් ම හමු වූ නගරය බලා පිටව ගිය කාර්ල් එතැන් පටන් ඔවුන් දෙදෙනා එක්ව මිහිරි මතක බෙදාගත් සෑම තැනකම ඇවිද ගියේය. 

පුරා සතියකට පසු ඔහු නැවත සිය නවාතැන වෙත පැමිණියේය. යළි පරිගණකය ඉදිරියේ හිඳගත් ඔහු එහි තමා නිමවමින් සිටි වෛරසයේ කේත සටහන් සියල්ල මුළ සිට අගට පිරික්සමින් වෙනස්කම් කළේය. පිසාචයා වෙනුවට වෛරසයට ආදරණීය මුහුණුවරක් ලබා දුන්නේය. ඒ වෙනුවෙන් ඔහු යොදාගත්තේ ඔහු සතුව තිබූ වීණාගේ ආදරණීය ම ඡායාරූපයයි. 

තවත් මසක ඇවෑමෙන් එය නිම විය. සයිබරය පුරා සැරිසරමින් ළමා වීඩියෝපට තුළට රිංගා ඒ අතරමැදින් තිරය පුරා පැතිරී ළමුන් බිය වද්දන්නට තැනූ තම වෛරී සහගත වෛරස පිසාචයා පළවා හැරි කාර්ල් ඒ වෙනුවට වීණාට, ඇගේ ආදරයට, යළි පණ දුන්නේය. තමා වෙනුවෙන් පමණක් වෙන්ව තිබූ ඇගේ ආදරය ලෝකයට මුදා හැරියේය. 

ඔහුගේ දත්ත ගබඩා අතර තිබූ ඇගේ ළයාන්විත නැළවිලි ගී ස්වරය මුසු කොට, ඩිජිටල් තිරය හරහා ඒ ඉදිරියේ බොහෝ වේලා රැඳී ඉන්නන් හට සිය ආදරණීයතමයන් සිහිපත් කරවමින් ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කළ යුතු බවට ඔවදන් ලබා දෙන ආදරණීය වෛරසයක් ඔහු අතින් බිහි විය. 

එය එලෙසින් නිමා කොට ඔහු දිගු ගමනකට සූදානම් වූවේය. ඒ වනවිට යළි ශ්‍රී ලංකාව බලා පිටව ගොස් සිටි වීණාගේ මව්පියන් භාරයේ වූ, කිසිදු වග විභාගයකින් තොරව තමා ඔවුනට ම භාරකාරීත්වය ලබා දුන්, ඇගේ සෙනෙහස තමාගෙන් උදුරාගෙන අහිමි කළ තුන්වැන්නා – මෙතෙක් ඇහැටවත් දැක නොතිබූ ඔවුන්ගේ ආදරයේ සංකේතය – බලන්නට යන්නට කාර්ල් අවසානයේදී හිත හදාගෙන සිටියේය. 

ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔහු රැගත් ගුවන් යානය ළඟා වන මොහොතේ, වසරකට අධික කාලයකට පසු කාර්ල්ගේ මුවග වියරු විරිත්තීමක් වෙනුවට, සැහැල්ලු මන්දස්මිතියක් රැඳී තිබුණි. ඔහුගේ හදවතේ වීණා වෙනුවෙන් වූ අමරණීය ආදරයත්, ආගන්තුක තුන්වැන්නා වෙනුවෙන් ලබා දෙන්නට නියමිත වූ පීතෲ ස්නේහයත් සුරැකිව රැඳී තිබුණි. 

ඔහු ලෝකයට මුදා හළ ආදරණීය වෛරසය ඩිජිටල් තිරය මත මව් ස්නේහයද, ආදරයද පතුරවමින් සැරිසරමින් තිබුණි.

*****


Facebook සමූහයක කෙටිකතා තරගයක් උදෙසා ලබා දී ඇති පින්තූරයට ලියූ කතාන්දරයකි. පෙර සටහනේ පළ කළ ‘වියපත් නොවූ ප්‍රේමය’ එම තරගයේ පළමු වටයට මා ඉදිරිපත් කළ කතාවයි. අවසාන වටයට පළ කළ කතාන්දරය ඉතා සුළු වෙනස්කම් කිහිපයකින් අනතුරුව මෙලෙස පළ කරමි. 🙂


%d bloggers like this: