Menu Close

ශ්‍රී ලංකා not Vs England – දෙවෙනි කොටස

අපේ අම්මා එංගලන්තයේ සිට අපට පළමුවෙනි තෑග්ග එව්වෙත් ඊට පස්සෙය! 

ඒ පොලොරයිඩ් කැමරාවකුත් පවුම් වගයකුත්ය. ඒවාත් එක්කම පොලොරයිඩ් කැමරාවෙන්ම ගත් අම්මාගේ ෆොටෝ එකකුත් තිබිණි. ගිය වතාවේ පෝස්ටුවේ  ‘1976 අපේ අම්මා එංගලන්තයට ගිය කිට්ටුව……’ කැප්ෂන් එකත් එක්ක යොදා තිබුණේ ඒ ඡායාරූපයයි.
කථික තරගයෙන් දිනලා, අමාරුවෙන් ලබාගත් ‘නොදෙන්න හිටි රන් පදක්කම’ හින්දා……
එතකොට පොලොරයිඩ් කැමරාවකුත් ආශ්චර්යයක් වගෙය. එයින් foto එකක් ගත්තාම කැමරාවෙන් එළියට එන්නේ හිස් කාඩ්පතකි. තත්පර ගණනක් යද්දී බිඳෙන්-බිඳ ඡායාරූපය මතු වෙන්නට පටන් ගනියි. 
අම්මා සල්ලි එව්වාට පස්සේ, “පවුමක් කිව්වම ළමයෝ….” කියමින් අපේ සීයා පටන්ගත් වරුණේ දවසක්- දෙකක්ම ප්‍රතිවාදනය වුණේය. 
“ලීලට හරි ගිහින් තමයි…. ඔය ළමයින්ටත් එංගලන්තෙට යන්න බැරියැයි…..” 
එතකොට පවුමක වටනාකම රුපියල් තිහකටත් අඩු ගණනක් විදිහටය මගේ මතකයේ තියෙන්නේ. වැදගත්ම දේ ‘බ්‍රිතාන්‍ය පවුමකත්’ ‘රන් පවුමකත්’ වෙනස, මේ කොටන ‘බක පණ්ඩිත උන්නාන්සේ’ ඒ වෙනතුරු නොදැන සිටීමයි. 
කථික තරගයෙන් දිනලා ලැබුණු ‘රන් පවුම් භාගයේ පදක්කම’ හින්දා මං හිතා හිටියේ එංගලන්තයේ හුවමාරු වෙන්නෙත් එහෙම පවුමේ කාසි බවයි. අනේ මෝඩ ගහක තරම! 
ලංකාවේ five රූපී coin එක ඉන්ගලන්තේ පවුමේ කාසිය වගෙයි……….
“ලොකා දන්නවද… ලංකාවේ රුපියල් පහේ coin එක ඉන්ගලන්තෙට headache එකක් වුණානෙ!” 
පසු කාලයක අපේ දීපාල්; බඩා මල්ලා ලංකාවට ආව වෙලාවක කිව්වේය. එතකොට මනුස්සයා England සිංගල කරගෙන තිබුණේ ඉන්ගලන්තේ විදිහටය. 
“ඒ මොකද මල්ලා ඒ?” 
“මෙහෙ five රුපීස් කොයින් එක ඉන්ගලන්තේ පවුම වගේමයි. Size එකයි බරයි දෙකෙන්ම. ඉතින් ලංකාවෙන් එහෙ යන හුඟක් කට්ටිය, හීත්රෝ එයාර්ෆෝට් car park එකේ තියෙන මැෂින්වලට පහේ කාසි දාලා…. දැන් ඒ මැසිනුත් වෙනස් කරලා…. ඔයා දන්නෙ නැහැ ලොකූ, අපේ අයියලා ඒ අතින් නම් මරු!”. 
මල්ලාගෙන් ඒ කතා කියවුණේ පහු කාලයකය. 
නමුත් අම්මා ඉස්සෙල්ලාම තෑගි එවද්දී බඩා මල්ලියාට වයස අවුරුදු දහයක්වත් නැත.
පණම් එන්රාල්, පිණමුම් වාය් තිරක්කුම් ……

අසහාය සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා රූපවාහිනී වැඩ සටහනකදී අපූරු දෙමළ කියමනක් කිව්වේය. 

මෙතනට එනකල් පෝස්ටුවේ ටික කෙටුවේ 2019 නොවැම්බර් 8 වෙනිදා හවසය. 
දෙමළ කියමන ගැන මතකයේ තිබුණත්, ඒ වැඩ සටහන බලලා අවුරුදු දහයකටත් වඩා කාලයක් ගතවෙලාය. 
දයාබර රසික ඔයාලට වගකීමකින් තොරව යමක් කියන එක මගේ පුරුද්ද නොවෙයි. “අනේ පීරිස්, මෙහෙම දෙමළ කියමනක් අහලා තියෙනවා. ඒක දෙමළ අකුරෙන්ම හරියට දමාගන්න ඕනේ. හොයලා දෙන්නකෝ.”
8 වෙනිදා රාත්‍රියේ දොස්තර මහත්තයාට කිව්වෙමි. 
ඒ එයාත් දෙමළ දන්නා හින්දාය. එහෙම කියලාත්, නින්දට ගියාම කාරණා දෙකක් මතක් වුණේය. හිතවත් පාඨක ‘චම්පික ප්‍රසන්න’ ගැනය, පළමුවැන්න. 
කමෙන්ට්ස් දමන තැන ප්‍රසන්නගෙ නම තියෙන්නේ මෙහෙමය Praසන් 
“ඒ කියන්නේ එයා දෙමළ ටිකක් හරි දන්නා කෙනෙකු වෙන්නට ඇති! මනුස්සයාගෙනුත් අහනවා, උදේට. fb එකෙත් ඉන්න නිසා මැසේජ් එකක් විදිහට දෙමළෙන්ම ගෙන්නා ගන්නත් පුළුවනි.” 
එහෙම හිතාගෙන කොට්ටයට ඔළුව තියද්දීම මතක් වුණේ සුනිල් සර් ගැනයි. එයාත් දෙමළ දන්නා කෙනෙකි.
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ‘දෙමළ ප්‍රස්තාව පිරුළු 1000ක් සිංහලෙන්’ පොතෙන් ගත් පිරුළ දෙමළ බසින් අකුරු කළේ චම්පික ප්‍රසන්න හිතවතාය……. 
“සුනිල් සර් ගැහැව්වනේ දෙමළ කියමන් තියෙන පොතක් ගොඩගේ එකෙන්…….. අපිමනේ ගැහුවේ. මගෙ ළඟත් ඇතිනේ…. නැඟිට්ට ගමන් හොයලා බලන්න ඕනේ…” 
පොත තිබුණේය. 
කියමනත් තිබුණේය. 83 වෙනි පිටුවේ 355 වෙනි ප්‍රස්තාව පිරුළ විදිහටය. 
උදෙන්ම චම්පික ප්‍රසන්නට මැසේජ් එකක් යැව්වේ ‘දෙමළ පිරුළ’ සිංහලෙන් ලියලාය. හැරෙන තැපෑලෙන්ම ප්‍රසන්න වැඩේ කරලා එව්වේය. එතකොට මා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ පොතේ තියෙන දෙමළත්, ප්‍රසන්නගේ දෙමළත් සැසඳීමය.
කොස්සකි! වචන දෙකක අකුරු දෙකක් වෙනස්ය. 
විස්තරය කියලා, ආයේ අහලා බැලුවෙමි. “නිමල් අයියේ, දෙමළෙදි ‘ර’ අකුර දෙවිදියකට ලියනවා. ඒක නෙවෙයි නම් මේ විදිහ වෙන්නැති!” ඊළඟට ප්‍රසන්න හරියට කොටා එවූ දෙමළ වදන්ය දැන් මෙතැනට ඔබන්නේ! 
பணம் என்றாள், பிணமும் வாய் திறக்கும் ! 
පණම් එන්රාල්, පිණමුම් වාය් තිරක්කුම් – සල්ලි දැක්කාම මළකඳත් කට අරිනවා!” ඒ කතාව නම් සහතික ඇත්තය.
සල්ලි දැක්කාම මළකඳත් කට අරින ලෝකයක……..
දැන් වෙලාව නොවැම්බර් නවවෙනි ඉරිදා උදේ නවයයි විස්සය!  
ඊයේ හවස විදුලි කොටමින් වැහැපු නිසා කොම්පියුටරයට වාඩිවෙන්නට ඉඩක් ලැබුණේ නැත. කාලය රන් වලටත් වඩා වටිනා නිසා මං කළේ හෙට පත්තර අද කියවන එකය. 
එක ඉරිදා පත්තරයක ටැබ්ලොයිඩ් අතිරේකයේ අසහාය සංගීතඥ රෝහණ වීරසිංහයන් හා කළ සම්මුඛ සාකච්ඡාවකි. 
ඔන්න ප්‍රශ්නයක්, උත්තරේ කොටසකුත් එක්කම…. පත්තරේ තිබ්බ විදිහටම. 
“ගීත ගායනයට ආසාව ඇතිවුණේ පුංචි කාලෙදිමද? 
-ඔව්…. මට මතක ඇති කාලේ ඉඳන්ම මම ගීත ගායනා කළා. මගේ තාත්තා සංගීතයට බොහොම කැමතියි. ඒ කාලේ අපේ ගෙදර ‘ෆුට් බෝල් සර්පිනාවක්’ තිබිලා තියෙනවා…..” ඒ ටික තිබුණේ 4වෙනි පිටුවේය.
ඒ කාලේ අපේ ගෙදර ෆුට් බෝල් සර්පිනාවක් තිබිලා තියෙනවා…………
දිගටම වැස්ස නිසා, ඒ අතිරේකයේම 15වෙනි පිටුවේ කොටසකුත් මෙතැනට ඔබන්නට මඟ පෑදුණේය. 
‘…. ප්‍රදේශය කාමය කියන දේ ගැන අපි Y Trend වලින් නිතර කතා කරලා තියෙනවානේ මචෝ. අද කතාවටත් ඒ සීන් එක අදාළයි…..” 
ෆුට් බෝල් සර්පිනාව ගැනත්, ප්‍රදේශය කාමය ගැනත් වැඩි විස්තර එයාගෙන් අහලා යවන්නට කලින්ය ඔබට ඒ ගැන කියන්නට හිතුණේ. 
දෙමළ කියමනක් හොයන්නට, නිවැරදිවම එය ඔබට කියන්නට මා විඳි වෙහෙස ගැන මටම දුක හිතුණේය. මං එහෙමට වෙහෙස වෙන්නේ පත්තරවලින්ම භාෂාවත්, කරුණුත් ඉගෙනගෙන තියෙන නිසාය. 
ෆුට් බැලෝ සර්පිනා ගැනත්, ප්‍රදර්ශන කාමය ගැනත් මං වහන්සේ ඉස්සෙල්ලාම කියෙව්වේ අද නම්…. ඒවාත් ඒ විදිහටම ඉගෙනගන්නවා නේද?
මදි නැහැ නේද ‘මැරුණු මිනිස්සුත් සල්ලි දැක්කම කතා කරන එකෙන්’ පීලි පැනලා ආව දුර. සල්ලි දැක්කාම මළකඳත් කට අරින කතාව සහතික ඇත්ත වුණේය.  
තදබල විදිහටම අම්මාත් එක්ක විරසකයෙන් හිටි අපේ ආච්චිත්, ලොකු නංගී පුෂ්පාත් පීල්ල මාරු කළේ හෙමිහිට- හීන්සීරුවේය. එහෙම වුණේ සල්ලි නිසාම නොවෙන්නටත් හැකිය. හැබැයි මට නම් හිතුණේ එහෙමය. 
ඒ මදිවාට අපේ අම්මා එවූ ලියුමකුත් එයට නිමිත්තක් වුණු සෙයකි. හරියටම කියනවා නම් ලියුමෙන් ලොකු නංගිට පිස්සු නොහැදුණා විතරය.
ඒ දවස්වල ලොකු නංගී හිටියේ ඉරත් අතට ගත්තා වගේ………
“ලොකා, අම්මා කියනවා කොහොම හරි මාවත් එහාට ගන්නවා කියලා.” 
ලොකු නංගිගේ ‘උඩින් යාම’ ගැන පෙරමඟ ලකුණු විදිහට මං දැක්කේ, එයා විතරක් ‘සපත්තු දමාගෙන’ බතික් වැඩපොළේ  ළමයින් එක්ක පොල් වත්තේ වොලිබෝල් ගැහිල්ලයි. ඊට කලිනුත් එයා ‘හීන ලෝකවල’ රජ වෙන්නට පුරුදුවී හිටි බවත් දැන් කියන්නට වෙයි. 
නංගිට ඉස්කෝලේ හිටි හොඳම යෙහෙළියන් ටිකත්, එයාත් එකිනෙකාට කතා කරගත්තේ ‘හින්දි නිළියන්ගේ’ නම්වලිනි. එව්වා මොනවාද කියලා නම් මට මතක නැත.  
ඒ නම් තියා, ඇයගේ යෙහෙළියන්ගේ නම්වලිනුත් මට මතක තිබෙන්නේ දෙදෙනෙකුගේ නම් පමණි. එක්කෙනෙකු කාමිනීය, අනෙකිය වසන්තිය. 
ඒ හතර දෙනාගෙන් ලොක්කිය; නායිකාව අපේ දිසානායකීය! ඉස්කෝලේ යද්දීම එවැනි මානසික මට්ටමක හිටි නංගී; නෝනා හෙවත් පුෂ්පා රංජනී එංගලන්ත හීනයත් එක්කම ‘නෝනා’ කෙනෙකු වෙන්නට ‘පාරමිතා පිරීම’ පටන් ගත්තාය. 
ඒකෙන් ලොකු වැරැද්දක් වෙන්නට හැකි බව ඒ කාලයේ නම් කාටවත්ම හිතුණේ නැත.
වමේ සිට හතරවැන්නිය අපේ ලොකු නංගිය……….
පසුව කොහොම වුණත්, නෝනා පටන් ගත්තේ හරි තැනකිනි.
එයා ඉස්සෙල්ලාම කළේ මහරගම ‘සුමලී පොත්හල’ට ගිහින් ‘ගුණසේන’ ඉංග්‍රීසි – සිංහල ශබ්ද කෝෂයක් මිලදී ගැනීමය. 
“ඔය ළමයින්ගේ අම්මා රැජින මැරුවට කමක් නැහැ. තමුන් එහෙ යන්න කලින් ඉංගිරිසි ටිකක් කට-ගාගෙන ගියා නම් හොඳයි ළමයෝ!”.
නංගී මිලදී ගත් ඩික්ෂනරියට දැන් හිමිකම් කියන්නේ මාය. අදත් වචනයක ‘ඉස්පෙලින්ග්ස්’ හොයාගන්නට උදව් වෙන ඒ මලලසේකර ‘ඩික්’ එක මගේ කම්පියුටරය ළඟින්ම වැජඹෙමින්, ලොකු නංගිව මට සිහි ගන්වයි!
ඉංග්‍රීසියේ අවශ්‍යතාව ගැන ඉහතින් කී උපදේශය ලොකු නංගිට දුන්නේ අපේ සීයාය; චාලි නානාය. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘පෝටර්’වරයෙකු වුණත් සීයාට ඉංග්‍රීසි කතා කරන්නට හැකියාව තිබුණේය. ඒකෙ ඒ හැටි පුදුමයකුත් නැත; ඉංග්‍රීසි බැරි අපේ ආච්චිත් ‘රේස් කොළය’ කියෙව්වේ! හචින්සන්, ලෙස්ලි පිගොට් වගේ අයව යසට හොයාගත්තේ!!  
ඉංග්‍රීසි ඉගෙන ගන්නවාටත් වැඩිය වේගයෙන් ‘නෝනා’ සුද්දියක් බවට පත් වෙමින් හිටියාය.
ඒත් එංගලන්තයට යන්නට නම් ‘වීසා’ ලබාගත යුතු බවත්, එය අප වැනි කෙනෙකුට ලෙහෙසි-පහසු නැති බවත් අප දැනගෙන හිටියේ නැත. අප තියා අපේ අම්මාවත්! මට හිතෙන්නේ අපේ ඩැඩාත් ඒ බෝට්ටුවේම හිටි බවය. 
Retired Stock Brokerකමත්, පෙන්ෂන් ගිය පොලිස් රාලහාමිකමත්, ලෙලි ගැසූ කෙසෙල් ගෙඩියකට සමාන බව ඩැඩා තේරුම් ගෙන හිටියේ නැත. එයා හිතා තිබුණෙත් ‘පුරාණ පුරසාරම් කිව් ගමන් step daughterට වීසා දෙයි’ කියලාය.
ඔන්න ඔය කෙහෙල්මල් බතික් එක අල්ලලා දාන්න!

මෝස්තරත් එක්ක හත් වසරක්’ පෝස්ටුවල මේ දවස්වල ලියවෙන්නේ ‘දීපානි බතික්’ එකේ බහින කලාව ගැනය. ඒ ගැන ආරංචිය එංගලන්තයට ගිහින් තිබුණේ නෝනා අම්මාට ලියූ ලිපිවලිනි.

“රංජි, ඔන්න ඔය කෙහෙල්මල් බතික් එක වහලා දාන්න…..” අම්මා ලියා එව්වේ නොපමාවමය. ඒ අම්මාගේ හැඳි මිටේ දිගය. 
තාත්තා මියගිය ගමන්මත් අම්මා මට කිව්වේ එවැනි කතාවකි. “රංජි, ඔයාටත් දැන් තියෙන්නේ ඉක්මනට කසාදයක් බැඳගන්න!”. 
බතික් ව්‍යාපාරය ගැන අපේ අම්මාට තිබුණේ ලොකු කැමැත්තක් නොවේ; අප්‍රසාදය බතික් ගැන නොවේ. එයින් ලැබෙන ආදායම ගැනය; ඒ නිසා අපේ කුටුම්බය තුළ මට ලැබී තිබුණු ශක්තිය ගැනය. 
අදටත් අපේ අම්මා කැමති, අනෙක් හැමෝම එයාට වඩා පහතින් ඉන්නවාටය! තමන්ට උස තැනක් ලැබෙන්නේ එහෙම වුණාම බව එයා විශ්වාස කරයි. 
සිල්වෙස්ටර් ස්ටැලෝන් උන්නැහෙත් එහෙමලුනේ! 
Filmsවලදි තමන්ට වඩා උස නළුවන් ඒවාට යොදවා ගැනීමෙන් වළකින්නට ‘රැම්බෝ’ පුරුදුවී හිටියාලු. එතකොට තමුන්ගෙ මිටිකම අනුන්ට නොපෙනෙන බව එහෙම මනුස්සයෙකුත් හිතුවා නම්….. අපේ මව්තුමී ගැන කවර කතාද?
වැඩි-වැඩියෙන් සයිකල් ප්‍රැක්ටිස් කරද්දී ඒ දෙන්නාගේ හිතවත්කමත්…..
ඒ වකවානුවේදීම අපේ සුනිල්ට ‘බයිසිකල් රේස්’ පිස්සුවත් ඔළුවට ගැහුවේය. සුනිල් පුහුණුවීම් කළේ මහතුන්, රංජි, චන්දරේ හා මල්ලිකා එක්කය. 
චන්දරෙත්, මල්ලිකාත් අයිය-නඟාලාය. 
එයාලා වැඩි-වැඩියෙන් සයිකල් ප්‍රැක්ටිස් කරද්දී අපේ සුනිලුත් මල්ලිකා ගල්හේන යුවතියත් අතර ඇඟෑලුම්කමුත් වැඩිවුණු බව පෙනිණි. අපේ ජීවිතවල ලොකුම වෙනසක් කරන්නටත් ඒ සබඳකම හේතු වුණේය.  
“අයියේ…. මල්ලිකාලගේ රෝහිණී අක්කා බැඳලා ඉන්න ජයසූරිය අයියා කියනවා බොරලැස්ගමුව හන්දියෙම කඩයක් විකුණන්න තියෙනවය කියලා. මුදලාලි හාඩප් වෙලා නිසා ඉක්මනට විකුණන්න හදනවලු. වෙන කවුරුවත් ගන්න කලින් ගන්නලු…. 
-අපිට එපා නම් පස්සේ වෙන කාට හරි වැඩි ගණනකට විකුණලා දාන්න වුණත් පුළුවනිලු.” පිරිවෙන හන්දියේ මල්ලිකාලගේ ගෙදරට ගිහින් එන වෙලාවකය, සුන්නා ඒ ඔත්තුව ගෙනාවේ.  
“රංජි… නරකද ඉක්මනට ගිහින් බැලුවොත්.” ආරංචිය දැනගත් ආච්චීත් ඇසුවාය. 
මං සුනිලුත් එක්කම බොරලැස්ගමුවට ගියේ ඉඩම බලන්නටය. 
මහරගම සිට දෙහිවල පාරේ ගිහින් බොරලැස්ගමුව හන්දියෙන් වමට හැරෙන විටම තියෙන්නේ ඒ ඉඩමයි. විකුණන්නට තිබුණේ ඉඩමෙන් කොටසක් විතරය. 
ඒ ඉඩමේය දැන් බොරලැස්ගමුව Super Market එක ඉදිකොට තිබෙන්නේ.
කඩ කාමර දෙක තිබුණු තැන දැන් හොඳටම වෙනස් වෙලාය!
“ලොකු මල්ලී, මොකද හිතෙන්නේ?” ඉඩම පෙන්වන්නට ඇවිත් හිටි ජයසූරිය අයියා ඇහුවේය. 
දැන් ඉතාලියේ හිටියත්, එතකොට ජයසූරිය අයියා හිටියේ ලංකාවේය. වැඩ කළේ මිල පාලන දෙපාර්තමේන්තුවේය. “මට සල්ලි තියෙනවා නං මං ගන්නවා ලොකු මල්ලී.”
මගේ මතකය හරි නම් එතකොට ඒ ඉඩම රුපියල් ලක්ෂයකටත් අඩුය. 
කඩ කාමර දෙකක් විතරය තිබුණේ; ඒකත් පිළියන්දල පාරට මුහුණ පාලාය. 
“ජයසූරිය අයියා දන්නවනේ… මට නං ඔය ගැන වැඩි දැනීමක් නැති විත්තිය. ඉස්සෙල්ලම අම්මගෙන් අහන්න එපාය ඔච්චර සල්ලියක් දෙන්න පුළුවන්ද කියලා…. බතික් එකෙන් හම්බ කරන ඒවා ඉතිරියක් වෙන්නේ නැහැනේ, ගෙදරට වියදම් වුණාම….” 
“කොහොම හරි ගන්න මල්ලී. සිල්ලර කඩයක් දාගත්තම ඔයාලගේ ගෙදර දෙන්නෙකුට රස්සාවත් හම්බවෙනවනේ නිකම්ම. දැන් නෝනයි, අනිලුයි, සුනිල් මල්ලියි තුන්දෙනාමත් බතික් එකට නැතිවට කමක් නැහැනේ, ඉස්සර තරං ඩිමාන්ඩ් එකක් නැති නිසා.”
බොරලැස්ගමුවත් දැන් ටික-ටික අළු ගසාදාලා කලඑළි වීගෙන එන්නේ…….
“ඔව්නේ දිසානායක. ලොකු ජයසූරිය පුතා කියන එක හරි. ඔයාලට වැරදෙන්නේ නැහැ. බොරලැස්ගමුව දැන් ටික-ටික අළු ගසා-බසා දාලා නැඟිටගෙන- කලඑළි වීගෙන එන්නේ….” මල්ලිකාලගේ අම්මා කිව්වාය. 
ඒ අප කිහිප දෙනා කතා කරමින් එහාටත් ගොඩවැදී තේ බොන අතරේය. “අපිත් මෙහේනේ ඉන්නේ. දිසානායක බය වෙන්න එපා…. කඩයක් දානවා නං අපිත් උදව් කරන්නම්.”
එහෙම කියූ, එහෙමම කළ මල්ලිකාලගේ අම්මා; පිරිවෙන හන්දියේ සෝමක්කා පසුගිය අඟහරුවාදා; නොවැම්බර් 5වෙනිදා අවසන් ගමන් ගියාය. “ඔයාට නිවන් සුව, මල්ලිකාල අම්මේ!” 
හදිසියෙවත් මං නොමළොත් සෙස්ස ඉතිරි කොටසෙන්…….
%d bloggers like this: