Menu Close

හැම තැනම දුම(9th epi) – මකර රැජිණ


අපි අතර කතාවක් නැවතිලා ගතවන නිහඬතාවයේ හත්වැනි මිනිත්තුව ගත වෙමින් තිබුණා. රාජයියට උනු අකරතැබ්බය විස්තරකරලා ඉවර උනාට පස්සේ, අසූ ගණන් වල රාජයියා කරපු හපන් කම් විස්තර කලාට පස්සෙයි දිවගොළු වුනු විරාමය උදාවුනේ. මැන්ඩි හිටියේ හපුතලේ පැත්ත බලාගෙන. මම හිටියේ ඇල්ල පැත්ත බලාගෙන. ඒ කියන්නේ එකිනෙකාගෙන් ඇස් සහ මූණු ඉවතට හරවගෙන.අපි දෙන්නා පස්ස තියන් හිටියේ බණ්ඩාරවෙල තානායමේ සිමෙන්ති බංකුවක් උඩ.
“ඔයා දන්නවද අර පේන්නේ හපුතලේ……බදුල්ල කොළඹ පාරේ හම්බවෙන සීතලම සීතල ටවුන් එක”……..මැන්ඩිගෙන් ප්‍රශ්නයක්.
“හ්ම්ම්ම්ම්….”
“ඒ දිහාව බැලුවම ඔයාට මොනවද මැවිලා පේන්නේ ?”
“මට මැවිලා පේන්නේ කොළඹ බස් නවත්තන තැනට චුට්ටක් එහායින් තියන ආප්ප කඩේ ලිප ගාවට වෙලා මායි අනුෂ්කයයි සීතල මකාගන්න වලිකන හැටි”……මම කැම්පස් කාලේ ගියපු කැටයක් මතක් වෙලා කිව්වා.
එදා තමයි මම කරපු ජරාම කැටේ කලේ. දත කට පූට්ටු වෙන මහ හීතල මදිවට මුලු දවසම චුරු චුරු වැස්ස. මායි අනුෂ්කයයි පැය හයක් තිස්සේ කට්ට කෑවත් රුපියල් දාහක් හොයාගන බැරි වෙන්න ඇති. දියතලාවයි හපුතලෙයි දෙකම කවර් කලත් වැඩේ ගොඩ ගියේ නෑ. අනික අපි කියපු මාතෘකාව, “අධ්‍යාපන පෞද්ගලීකරණය නවත්වන්න”. රෙද්ද තමයි. කොටින්ම ඒ කාලේ සයිටම් වත් ඇරලා තිබ්බේ නෑ. තනිකරම අන්තරේ උවමනාවට යන්නන් වාලේ ගිය කැටයක් ඒක. ඒ කාලේ එහෙම කැට ඉවරයක් නෑ. ලෙක්චර්ස් ගියාට වඩා අපි ගියේ කැට. හතේ හත වැදුනු කැට දෙක අපේ හිතට මහ බරක් වෙලා අතෙන් ගිලිහෙන්න හදනකොට අපි දෙන්නගේ දරාගැනීමේ සීමාවේ අන්තිම කෙලවරට ආවා. අපි තීරණේකලා කැටේ නවත්තලා ආයේ කැම්පස් එකට යන්න. ඒත් මොන කරුමයකටද මන්දා පැයකට වඩා ඉන්න උනා බස් එකක් එනකල්. හවස් වෙන්න වෙන්න හපුතලේ හීතල දැඩි වෙන්න ගත්තා. මුලු ටවුන් එකේම මිනිස්සු ජර්සි ඇඳන්, ජැකට් දාං, ඔලුවට අයිස් කැප් දාගෙන. අපි දෙන්නට තිබුනේ ටී ෂර්ට් එකයි ඩෙනිමයි විතරයි. ඌයි මායි දෙන්නම හීතලට ගැහෙනවා, දත් ඇඳි දෙක පවා කට කට ගහලා වදිනවා. බස් හෝල්ට් එකට ටිකක් එහායින් කඩයක් ඇතුලට වෙන්න ආප්ප පුච්චනවා අපි දැක්කා. අන්තිමට අපි දෙන්න මාරුවෙන් මාරුවට ඒ ලිප ගාවට ගිහින් උණුහුම් වෙන්න තීරණේ කලා. විනාඩි පහෙන් පහට එකෙක් කඩේ ඇතුලේ ලිප ගාවට වෙලා සීතලට ගල් නොවී ජීවිතේ බේරගද්දි අනික් එකා බස් එකක් එනවද බලන්න ඕන…….
“මොන ගොං කතාවක්ද අනේ ඒ…..මං ඇහුවේ එහෙම එකක් ගැන නෙවී.රාජගේ කතාවත් එක්ක මැවෙන දෙයක් ගැන” මැන්ඩි මගේ උරහිසට ඩෝං ගාලා දුන්නු පාරකින් කඳු අස්සෙන් මැවිලා පෙනුනු කැම්පස් මතකෙට උදැල්ල වැටුනා.
“මට නම් මැවිලා පේන්නේ හපුතලේ ලැයිම් වල උන්නු දෙමළ මිනිස්සු රාජයියලා වගේ තිරිසනුන්ගෙන් බේරෙන්න වැටි වැටී කඳු හෙල් දිගේ දුවන හැටි…..හීතල හපුතලේ දාඩිය ගලන තරමට මහ රෑ පවා රත් වුනු හැටි. මහ දවල්ටත් වැහි මන්දාරමට , මීදුමට, අඳුරු වෙන හපුතලේ මහ රෑ ගින්නෙන් එළිය වුනු හැටි”…….මැන්ඩි කියාගෙන යනවා.
“උතුරෙ අරගලේට කිසිම සම්බන්ධයක් නැතත් ඒ මිනිස්සුන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න උනා සිංහල කතා නොකරපු වරදට…… චන්ද බලෙත් අහිමි කරලා පුරවැසිකමත් නැති කරලා අන්තිමට ජීවිතත් උදුර ගත්තා.උං ඒ කාලේ පුදුම තරං සමාජයෙන් පිටමං කෙරිච්ච මිනිස්සු “
“yes Marginalized people……. මොකක්ද ඒකට සිංහල වචනෙ. Marginalized ?”
“ආන්තීකරණය” මම මගේ සිංහල භාෂා දැනුම විදහා දැක්වුවා.
“අපිත් office එකේ එක වෙලාවකට ආන්තීකරණය වෙනවා වගේ දැනිලා නැද්ද ?…..දුම දාන්න යන වෙලාවට”
“හ හා…….ඒක නම් ඇත්ත දැන් දැන් සිගරට් එකක් බොන්න යන මිනිහා දිහා බලන්නේ මහ කුජීත ඇහැකින්. අපේ office එකෙත් සිගරට් ස්පොට් එක එන්න එන්න ඈතටම තල්ලු කරනවා. ඉස්සර ලොකු ඉඩක් වෙන් කරලා office එක පහළ තිබ්බ දුම් ස්පොට් එක දැන් කාර් පාර්ක් එකෙනුත් එහා චූටි ඉඩකට සීමා කරලා.එච්චර දුරක් ගිහිල්ලා දුමක් දාලා එන එකා දිහත් ලිෆ්ට් එකේදි බලන්නේ මිනී මැරුමක් කරලා එන්න වගේ”
“මොනවා උනත් සිගරට් බොන space එකේ හැදෙන්නේ කොමියුනිස්ට් සොසයිටි එකක්. එතන ඉන්නවා ඩිරෙක්ටර්ස්ලාගේ ඉඳන් පියන් දක්වා මට්ටමේ උන්. උන් හැමෝම එක විදිහට ආන්තීකරණය වෙලා. ගින්දර හොයාගන්න එකා තමයි එතන වැධගත් පුද්ගලයා. හැමෝම විනාඩි ගානකට එකම කෝවකට වැටිලා හැමෝටම පොදු මාතෘකාවකට එනවා එතනදී. පට්ටංලස් පීපල්”
“Hmmm….intersting thought.Classless , stateless society.But you definitely need money right ?” මැන්ඩිගෙන් දේශපාලන ගැටලුවක්
“ඔව් සල්ලි නැත්නම් සිගරට් ගන්න බෑනෙ. Moneyless කියන තැනට එන්න තව දුරයි”
“මේක හොඳ වෙලාවක් මගේ second fantasy එක සමරන්න”…..මැන්ඩි ඩන්හිල් දෙකක් අදින ගමන් කිව්වා.
ඔව් මේ තමයි එයාගේ දෙවනි ෆැන්ටසිය. මීදුම ගලන සීතල එලිමහනක දුම දාන එක. මීදුම මැද්දෑවට සිගරට් දුම එක්කාසු කරන එක. වඩා ඝන, වඩා චංචල මීදුමද සිගරට් දුමද කියලා ඇස් වලින් ගණනය කරන එක. අපි හිටියේ උස් බිමක ගැට්ටට වෙන්න. අපේ කතාව පටන් ගන්නකොට අපිට පහළින් සහ අවටින් උනු ලස්සන මල් පිපුණු, කඳු වලින් වට වුණු පරිසරය ආකර්ෂණීයව පෙනුනා. දර්ශනීය සිතුවමක් වගේ.ඒත් දැන් ඒක බොහෝ දුරට මීදුමෙන් වැහිලා. පුංචි පුංචි තැන් ටිකක් විතරක් අඳුරු කොළ පාටින් පේනවා.
“ඩ්‍රකාරිස්”……..කියමින් එයා ලොකු දුම් වලාවක් පහළින් පේන නිසල සිතුවම දිහාට පිම්බා. මීදුමත් එක්ක මුසු වුනු ඒ නිකොටින් දුම නිසා යන්තමට පෙනෙමින් තිබ්බ වට පිටාවත් නොපෙනී ගියා. කලීසිට වගේ සුදුම සුදු කොණ්ඩයක් තිබුණා නම් මැන්ඩි කොහොම වෙයිද, මම අලුත් මකර රැජිනව පරිකල්පනය කරන්න ගත්තා.

%d bloggers like this: