Menu Close

ඒකත් මංගල මුත්තමං!

කවුද ගණන් හිලවු තියාගෙන යහළුවන් ආස්සරේ කරන්නේ?

ඔබට යාළුවන් කී දෙනෙක් විතර ඉන්නවද? උත්තර දෙන්න අමාරුයි නේද? කවුද ගණන් හිලවු තියාගෙන යාළුවො ආස්සරය කරන්නේ?


නෑ, නෑ. බයවෙන්න කාරි නැහැ.

‘ඔබට සිටින යහළුවන් ගැන කියන්න. එවිට ඔබ ගැන කිව හැකිය’ වගේ අදහසක් කියවෙන ඉංග්‍රීසි කියමනක් ක්‍රියාවට නඟන්න නෙවෙයි මුල් ප්‍රශ්නය ඇහුවේ. මම නම් කීයටවත් ඒ කියමන විශ්වාස කරන්නෙත් නැහැ; විශ්වාස කරන්න කැමතිත් නැහැ.

ඒකට මට ඉන්න යාළුවො….! 
සදිව්‍ය ලෝකයට යන්න උදව් කරන කල්‍යාණ මිත්‍රයන් වගේම, හතර අපායට වැටෙන්න පාර පෙන්වන වචීපරම- අපායසහාය වගේ පාපී මිතුරනුත් ආස්සරේ කරන නසරානියෙක්නෙ මං. එයාලා දිහාව බලලා කොයි අප්පච්චිටද හරියටම මගේ ගැන කියන්න පුළුවන්?

අනෙක් අතට මට සහතික කරලා කියන්න පුළුවන් මං නම් අර කිසිම කෙනෙකුට ගැළපෙන හොඳ මිත්තරයෙක්; යහළුවෙක් නෙවෙයි.
මං නම් කිසිම කෙනෙකුට ගැළපෙන යහළුවෙකු නෙවෙයි වගෙත් එක්ක…..

මට කොච්චර උදව්-උපකාර කළත්, කොච්චර පිහිට වුණත් මගේ ළඟ නිත්ත-නිරන්තරයෙන්ම එක-එක්කෙනාට හංගාගන්න කොටසකුත් තියෙනවා. 
ඒවා එළිදරව් කරන්න බැරිකමකටම නෙවෙයි, මගේ ගතිය නිසා. 
සමහරුන් කියයි ‘උඹේ කුප්පිදු ගතියනේ’ කියලත්. නිදහසට කිසිම කාරණයක් කියන්නෙ නෑ. මාත් එකඟයි 100%ක් .


‘බොක්කේ යාළුවො’ය කියන්නේ තමන් ගැන සේරම අනෙකාට කියන අයටලු. පණ වුණත් දෙන්න පුළුවන් අයටලු. 

අනේ මං එහෙම නැහැ! මොකද, මං වැඩියෙන්ම ආදරේ මටම හින්දා.

හැබැයි මං මගේ ඕනෑම හිතවතෙකුට විශ්වාසවන්තයි; අවංකයි.

ඒත් කොයි තරම් අවංකව අසුරු කළත් මේ වෙනතුරුම මගේ මුළු ජීවිතයම දන්නා, 100%ක්ම නිමල් දිසානායකව දන්නා කිසිම කෙනෙක්; නෑදෑ හිතවතෙක්; මිතුරු-මිතුරියෙක් නැහැ!

දන්නා-කියන අයට නං, මං එයාලව දමාගෙන ඉන්න ඔය කැටගරියත් රහසක් නෙවෙයි. (මං කියන්නේ මගේ රහස් මටම තියෙන්න එපැයි. පුද්ගලිකත්වය කියන්නෙ ඒකටනෙ.)

රෝස මලක පෙති වාගේ පහෙන් බෙදෙන ගණනක්…..
ඉතින් ඔයාලටත් ඔය මොන විදිහේ හරි කමක් නැහැ, ඉන්නවා නේද යාළුවො ටික දෙනෙකු හරි. මිත්‍ර ප්‍රතිරූපකයෝ හරි…. අසල්වැසියෝ හරි…. 
හොයාගත්තෑකිද පහෙන් බෙදෙන ගණනක්. 

අඩුම ගණනේ දහයක්-පහළොවක්වත්? විසිපහක් හොයාගන්න පුළුවන් නම් ideal; මරේ මරු!
හරියට රෝස මලක පෙති වගේ. ඕනෙම රෝස මලක පෙති තියෙන්නෙත් පහෙන් බෙදෙන ගණනක්ය කියලා මං කලින් වතාවක තමුන්නාන්සේලාට කිව්වේ.

ඔන්න අපි හිතමු 15 දෙනෙකු මේ වැඩේට ඉන්නවයි කියලා. 

එයාලව පහේ කණ්ඩායම් තුනකට බෙදා ගනිමු. කැමතියි නම් ඒවාට නමුත් දෙමු, A- B- C කියලා. හැම කණ්ඩායමකටම බෙදෙන අය දැනුමින්, බුද්ධියෙන්, වයසෙන් වගේම තරාතිරමෙනුත් විවිධ අය වෙනවා නම් ප්‍රතිඵල වඩාත් විසිතුරු වේවි. 

මේ ලැහැස්ති  වෙන්නෙ පොඩි ක්‍රීඩාවක් කරවන්නනෙ. 
මෙහෙයවන්නා වෙන්නේ මේ බ්ලොගය කියවන රසික ඔබ!!!

මේක හරිම සරලයි වගේ වුණත්, ඒකෙන් හරිම අරුත්බර පාඩම් ගණනාවක් ඉගෙනගන්න හැකිවෙනවා ඒකාන්තයි. මතකයි නේද, මං පොරොන්දුවක් දුන්නා ‘සහයෝගිතාව’ ගැන අභ්‍යාසයක් ඔයාලට කියනවා කියලා. මේ අන්න ඒක තමයි! 

කරවන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා සපයන කාඩ්බෝඩ් කැබලි කොටස් උපයෝගී කරගෙන- විනාඩි තුනක් ඇතුළතදී- කණ්ඩායමේ 5 දෙනාම, එක හා සමාන සම චතුරශ්‍ර 5ක්- මේසයක් මත සෑදීමයි. 
කණ්ඩායම් තුනම! 

පළමුවෙන්ම චතුරශ්‍ර 5 හදන කණ්ඩායම තමයි ජයග්‍රාහක කණ්ඩායම වෙන්නේ.
අවශ්‍ය කරන කොටස් කපාගන්නට paper කටර් එකක් ඕනේ වෙයි!
කණ්ඩායම් දෙකක්වත් හිටියේ නැතිනම් තරගකාරිත්වයක් නැහැනේ. එතකොට කිසිම-කිසි නෑ කිසි!
දැන් ඔයාලා කියයි easyනෙ කියලා.

එහෙම කිව්වට හැමදේම කියලා විතරක් හරි යන්නේ නැහැනෙ. මේක කරලම බලමු. ඉස්සෙල්ලාම මේකට ඕනේ කරන දේවල් චුට්ටක් තමුන්නාසේලාටම පිළියෙළ කරගෙන ඉන්න වෙනවා.

පොඩි ගෙදර වැඩ ටිකක්. මේ විස්තර කියන්නේ 15ක්; කණ්ඩායම් 3ක් ඉන්නවා කියලා හිතාගෙනයි, හොඳේ.

එක පාටකින් අලුත් ෆයිල් කවර 2 ගණනේ, පාට තුනකින් ෆයිල් කවර 6ක්. (ඒ වෙනුවට තරමක් තුනී  කාඩ්බෝඩ් වුණත් ගන්න පුළුවනි. ෆයිල් කවර හෙවීම ලෙහෙසියි; ලාබයි.) හොඳින් කැපෙන පිහියක්…. ෆයිල් කවර කැපීමටයි, කාටවත් අනින්න එහෙම නෙවෙයි. අඩි කෝදුවක්… එච්චරයි.

මේ වැඩේ ඔයාලට කියන්නම ඕනේ කියලා හිතාගෙන හිටියත්, වැඩේ කල් යමින් තිබුණේ. එහෙම හිටිද්දී හිටි ගමන් මාව හොඳටම ‘චූන්’ කළේ ‘ඩ්රැකී’.

ඩ්රැකී කිව්වේ මං වගේම ‘බොග දමන්නෙක්’. 

එහෙම කියනවාට අමතරව තේරුම් කරලත් දෙන්න වෙනවා. Blog ලියන අයටයි ‘බොග දමන්නෝ’ කියන්නේ. ‘රෝද දෙකේ රස්තියාදුවොත්’ එක්කලා කල්පිටියේ ගිහින් ආවාමයි මාත් ඒ වචන; ඒ යෙදුම ඉගෙනගත්තේ. 
 බෲහී මං – ගල මුත්තමං…- caption එකත් ඩ්රැකීගෙමයි! 
රෝද දෙකේ මද්දලාව එහෙමවත් හමුවෙලා තිබුණට අද වෙන තුරාවට ‘ඩ්රැකී’ උන්නැහෙව දැකලත් නෑ; කතා කරලත් නෑ. උන්නැහේ දැන්; මේ ලියවිල්ල කියවනකොට තමයි දැනගන්නේ එතුමා මාව චූන් කරවපු බව. 

මං form වුණේ දවස් දෙකකට කලින් ඩ්රැකී ලියලා තිබුණු ‘ඌව කුඩාඔය මතක’ බ්ලොග් පෝස්ටුව දුටුවාමයි. 

ඒක කොච්චර හිතට වැදුණද කියනවා නං, මේ පෝස්ටුවට නමකුත් ඒ වෙලාවේම ඔළුවට ආවා. ඒක නං ආවේ ඉහතින් තිබුණු ෆොටෝ එකයි, caption එකයි දුටුවාම.

මාස කිහිපයකට කලින් ඩ්රැකීලා 47 දෙනෙකුගේ කණ්ඩායමක් විශේෂ පුහුණුවකට ගිහිං. ඌව කුඩාඔය මධ්‍යස්ථානයකට. ඉස්සර අපිත් තජකයෙන් ඔහොම දේවල් කළා.
අපේ තජකය ගැන මගෙන් කිහිප වතාවක්ම කියැවුණානෙ. 

නැණ ලැබ ගත්තෙමි එහෙම කියැවුණු එකක්. 

මගෙන් මංගල යෝජනාවක් පෝස්ටුවෙත් තරුණ ජනගහණ කමිටුව ගැන තිබුණා. 
තවත් ඒ වගේ තොරතුරු ලියැවුණු පෝස්ටුවක් තමයි 
මාතර තානායමේ අමු හෙළුවෙන්’ ….  (අමතක නං ගිහින් බලලම එන්නකෝ. ඒක ලේසි වෙන්නයි links ටිකත් දාන්නේ…)

ඩ්රැකීගෙ පෝස්ටුව කියවද්දී මාව අතීත සුවඳින් ඔකඳ වීගෙන ගියා!
මේ පාඩම මාත් ඉගෙන ගත්තේ, ආන්න ඒ තජකයට බැඳුණාම. 
ඒකෙන් පවත්වපු ‘නායකත්ව, සංනිවේදන, මානව ලිංගිකත්වය හා පවුල් සැලසුම’ පිළිබඳ work shop එකකදී.

ඊට පස්සේ අපිත් එහෙම වැඩ සටහන් පැවැත්තුවා. අලුත් අයව පුහුණු කෙරෙව්වා.

ඒ දවස්වල ජාතික තරුණ සේවා සභාවෙන් පවත්වාගෙන ගිය පුහුණු මධ්‍යස්ථාන හැම එකකටමත් අපි ගියා. සම්මන්ත්‍රණ, වැඩ මුළු පවත්වන්න. එරමිනියාය, මාපාකඩවැව, ඇතාකඩ වැව, කිඹිස්ස, අවිස්සාවේල්ල එහෙම තැන කිහිපයක්. 

ඌව කුඩාඔය මධ්‍යස්ථානයෙදීත් අපේ පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක වුණා.

ඉතින් අහන්නත් දෙයක්යැ ඩ්රැකීගේ පෝස්ටුව කියවද්දී මාව අතීත මතක සුවඳින් ඔකඳ වෙන එක; ප්‍රාණවත් වෙන එක; අනුප්‍රාණය ලබන එක.

ඒකෙ result එක තමයි මේ!
අඟල් 4ක් දිග, අඟල් 4ක් පළල සම චතුරශ්‍ර 5ක්………
ඕන්න දැන් ඉහතින් තියෙන රූප සටහන හොඳට බලන්නකෝ. ඉතාම හොඳට!

අපට ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ අඟල් හතරක් දිග- අඟල් හතරක් පළල ‘සම චතුරශ්‍ර 5ක්’ කපාගන්න එක. (ගන්නේ ෆයිල් කවර නම් එකකින් හතරක් කපතහැකි.)

මේවා කපා ගැනීමේදී දාර, කොන් හරියටම තිතට හිටින්න කපාගන්න.

ලකුණු කරගන්න පැන්සල් ඉරි එහෙම පෙනෙන්න තියන්නත් එපා! (ඔය රූපයේ මැදින් රතු පාටින් තියෙන කඩ ඉරි ලකුණු කළේ ඔබේ අවබෝධය පිණිසයි. කපාගන්නා සම චතුරශ්‍රවල හෙම ඒවා ලකුණු කරන්න එපා.)

දැන් යටින් තියෙන රූප පහත් හොඳට බලන්න. ඒවායේ රතු ඉරිවලින් පෙන්වලා තියෙන විදිහට අර චතුරශ්‍ර 5 කොටස් 15කට කපාගන්න.

දැන් අර සම චතුරශ්‍ර 5 අරගෙන මේ  විදිහට; රතු ඉරිවලින් පෙන්වලා තියෙන විදිහට කොටස්වලට…..

ඉතාම වැදගත් ඒවා නිවැරදි මිනුම් අනුව කපාගැනීම. එතකොට තමා ක්‍රීඩාව කරන අය අවුල් වෙන්නේ. රූප සටහන බැලුවාම තේරේවි වඩාත් හොඳින්. 


(කැපුවට පස්සේ, එකම විදිහේ කෑලි හතරක් තියෙනවා. තව දෙකකින් දෙක බැගින් තියෙනවා…. ඒවා එකිනෙකට වෙනස් වුණොත් වැඩේ ‘අල’ වෙයි!)

මේ කපන වැඩේ කතුරකින් කරන්න යන එක නම් සුදුසු නැහැ. එතකොට අභ්‍යාසයට සහභාගි වෙන අයට මොළය පෑදුනොත්, ලෙහෙසි වෙනවනෙ කැපුම් පාරවල් ඔස්සේ ගිහින් ගැළපෙන කොටස් හොයාගන්න….. ඒ නිසයි අඩි කෝදුව හා පේපර් කටර් එක උදව්වට අරන් මේවා කපාගන්න වෙන්නේ.

හරිනේ එහෙනම්. පෙන්වලා තියෙන විදිහට ඒ සම චතුරශ්‍ර 5, සීරුවට…. කොටස් පහළොවකට කපාගත්තා නේද?

ඊළඟට මේ කොටස් කවලම් වෙන විදිහට කෑලි 3 බැගින් වෙන් කරගන්නයි තියෙන්නේ. (ඒකත් පහතින් foto එකකින්ම තියෙනවා ඔන්න!) ඒ එක කට්ටලයක්. 
පළමු කණ්ඩායමට. 
මෙහෙම ගොඩවල් පහකට වෙන් කරන කොටස් තුන බැගින් පුංචි කඩදාසි කවර පහකට දමාගන්න! 

ඊළඟට තවත් පාටක සම චතුරශ්‍ර පහක් අර විදියටම කැබලි කරලා, කොටස් කවලම් කරලා තුන බැගින්…. පෙර සේමයි….
කෑලිවලට කපාගත් කොටස් මේ විදිහට ගොඩවල් තුනකට වෙන් කරගෙන වෙන-වෙනම කවර පහකට….

ක්‍රීඩාවේදී මුලින්ම කෙරෙන්නේ එහෙම සීරුවට කවලම් කරපු එකම පාටක, කොටස් තුන බැගින් තියෙන කවර 5 එක කණ්ඩායමක සහභාගි වන්නන්ට බෙදා දීමයි. (අනෙක් කණ්ඩායම් දෙකටත් ඒ වගේම, තවත් පාට දෙකකින් කපාගත් කොටස් තුන බැගින් දැමූ කවර දෙන්න වෙනවා.)


මෙහෙම වෙන් කළ කොටස්, කඩදාසි කවරවලට දැම්මාම, සෙල්ලම පටන් ගන්නය කියලා කියනකල්ම එයාලාට මොනවාවත් හිතාගන්න බැහැ; කුතුහලයෙන් දැවෙනවා. 
එහෙම වෙද්දී තමයි කළ යුතු දේ, නීති-රීති එහෙම කියන්න ඕනේ. එතකොට සජීවී ගුණය වැඩියි.

ඔන්න දැන් තමයි තවත් වැදගත්ම කාරණයක් කියන්නේ. 
මේක ඉස්සෙල්ලාම නොකිව්වේ එච්චර අමාරුත් නැති- ලෙහෙසිත් නැති දෙයක් හින්දයි.
(මේ ක්‍රීඩාවට අඩුම තරමින් දහ දෙනෙකුවත් ඕනෙය කිව්වනේ. ඒ කිව්වේ පහේ කණ්ඩායම් දෙකක්. පහළොවක් කියන්නේ කණ්ඩායම් තුනක්…) 

ඔය හැම කණ්ඩායමකම අය හරියට නීති-රීති ගරු කරමින් සෙල්ලම කරනවද කියලා බලන්න; නිකම්ම බලන්න නෙවෙයි, හොඳින් නිරීක්ෂණය කරන්නත් එක කණ්ඩායමකට එක්කෙනා ගණනේ තුන් දෙනෙක් අවශ්‍යයි.

හැම දෙයක්ම තිතට කෙරෙනවාද කියලා බලන්න පුළුවන් වෙන්නේ ඔයා නිදහස්ව හිටියොත් විතරක්ය කියලාත් දන්නවා නේද?
අර නිරීක්ෂකයන් තුන්දෙනා ඕනි වෙන්නේ ඔහෙ නිකං කටුස්සන් වගේ බලාගෙන ඉන්න විතරක්….
අර තුන්දෙනා ඕනි වෙන්නේ කටුස්සෝ වගේ ඔහෙ බලන් ඉන්න විතරක් නෙවෙයි හොඳේ.
හරියට මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක අය වගේ. 
අනේ, එයාලා ගැනත් එක-එක්කෙනා නං අනේක කතන්දර කියනවා. ඒවා පැත්තක තිබුණාවේ.

ඔයාලම හොයාගන්නකෝ එඩිතරව, අවංකව, ස්වාධීනව නිරීක්ෂණ කටයුතු කරන්න පුළුවන් කිහිප දෙනෙක්. මුලින්ම එයාලාගේ රාජකාරිය ගැන කියලා දෙන්න වෙනවා.

     1. නියමිත වෙලාවටම සෙල්ලම පටන් ගෙන, 
         වෙලාව අවසන් වෙනවාත් එක්කම එය නැවත්වීම

     2. ක්‍රීඩාවේ යෙදෙන හැමෝම නීති-රීති පිළිපදිමින් 
         වැඩ කරනවාද බැලීම තමයි එයාලගෙ රාජකාරිය. 
        (වඩාත් හොඳයි ඒ ගැන කෙටි සටහනක් ඒ ඒ වෙලාවේම ලියා ගන්නට කියනවා නම්.)

තරගයට කලින්ම ක්‍රීඩක හැමෝම නීති-රීති ගැන හොඳින් දැනුවත් විය යුතුයි. එයාලව දැනුවත් කිරීම පැවරෙන්නේ මේ බ්ලොගය කියවන ඔබතුමාට හෝ ඔබතුමියට තමයි. ඉතින් මොනවද අප්පේ ඔය නීතිවලට අනුගත වෙලා කරන්න තියෙන්නේ?

ඩ්රැකීලගේ ‘පාං පිටි නමස්කාරම්’ සෙල්ලමේත් නීති තියෙන්නැති. මේ සහයෝගිතා ……..
සෙල්ලමට සහභාගී කරවාගන්නා 15 දෙනාව, 5 බැගින් මේස තුනක වාඩි කරවනවා. (එක කට්ටියකට අනෙක් අය කරන දේවල් නොපෙනෙන විදිහට ඈතින්-ඈතින්.) 
අර නිරීක්ෂකයන් තුන් දෙනාගේ අතට ‘ක්‍රීඩා භාණ්ඩ’ තියෙන කවර 5 කට්ටලය බැගින් දෙනවා.

මං වහන්සේ නම් ඊළඟට මෙහෙමයි කියන්නේ.

“දැන් ඔයාලගේ ළඟින් ඉන්න, මට උදව් කරන තුන්දෙනා ඔයාල හැම කෙනාටම එක කඩදාසි කවරය ගණනේ බෙදලා දේවි. ක්‍රීඩාව පටන් ගන්න කියලා කියනතුරු ඒවා ඇරලා බලන්න තහනම්. 
පටන් ගන්න කිව්වාම ඒ කවර ඇතුළේ  තියෙන කොටස් ටික එළියට ගන්න පුළුවන්.

-අරගත්තාට පස්සේ ඔයාලාට කරන්න තියෙන්නේ, ඒ කොටස් පාවිච්චි කරලා, පැටලුම් ඇරගෙන, මේසය උඩ එක හා සමාන සම චතුරශ්‍රය බැගින් හදන්නයි. 
එක්කෙනෙක් එක චතුරශ්‍රයයි. 
කණ්ඩායමේ පස් දෙනාම ඒවා හදලා ඉවර වුණු ගමන් හිටගන්න. එතකොට කාටත් පෙනෙනවානේ කවුද දිනුම් කියලා.

විනාඩි තුනක් ඇතුළත එක හා සමාන සම චතුරශ්‍ර පහක්……… (foto- ගවීන් c.j.)

-අභ්‍යාසයට විනාඩි තුනක් දෙනවා. ගෙවෙන හැම විනාඩියක් ගණනේම ඒ බව ඔයාලා කාටත් ඇහෙන්න කියන්නම්.


-ඒ විනාඩි තුන ඇතුළතදී  කිසිම කෙනෙක් එක්ක වචනවලින්, ඉඟි-බිඟිවලින්, ඉරියව්වලින් හරි වෙනත් කිසිම විදියකින් හරි අදහස් හුවමාරු කරගන්න බැහැ!

-මේ ක්‍රීඩාවේදී ඔයාලා ළඟ තියෙන කොටස්වලින් කැමති තරමක්, තමන්ගේ කණ්ඩායමේ කැමති කෙනෙකුට දෙන්න පුළුවන්. 
හැබැයි ඒක හොඳ පැහැදිලිව දැනෙන විදිහට; පෙනෙන විදිහට එක එල්ලයේම කරන්න ඕනේ. කණ්ඩායමේ කවුරු හරි තමන්ට එහෙම දෙන කොටස් බාරගන්නේ නැතිව ඉන්නත් බැහැ.”

ඔහොම උපදෙස් දෙද්දී හරිම පරෙස්සමින්. 

හැම කවරයකම කොටස් තුන බැගින් තියෙන බවවත්, එක සම චතුරශ්‍රයක් හැදීමට කොටස් තුන බැගින් අවශ්‍ය වෙන බවවත් කියන්න එහෙම එපා! (එහෙම වැඩි පණ්ඩිතකම් දොඩවපු අය නිසා මේ සෙල්ලමෙන් වැඩක් නැතිව ගිය අවස්ථාවකුත් දැකපු නිසයි එහෙම කිව්වේ.)

දෙන උපදෙස් හරියාකාරව වැටහුණාද කියලත් අහලා, තේරම් කළ යුතු දෙයක් ඇහුවොත් කියන්න. හැබැයි පරෙස්සමින්, බළලා මල්ලෙන් එළියට පන්නවන්නේ නැතිව!
තරගය අවසාන වුණාම බලන්න හරියට නියමිත විදිහට………

තරග අවසානයේදී; විනාඩි තුන අවසානයේදී බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා.ඉස්සෙල්ලාම කරන්නට වෙන්නේ සම චතුරශ්‍ර හදාගන්න බැරිවුණු අය ළඟට ගිහින් ඒවා හදලා පෙන්වන එකයි. (කෑලිවලට වෙන් කළෙත් ඔබම නිසා, ඒක කරන විදිහ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ!)


ඊට පස්සේ- දිනුව අය ඉන්නවා නම් දිනුමට හේතුත්, පරාද වුණු අයගේ පරාජයට හේතුත් කතා කරන්න ගත්තාමයි පැය ගණනක් යන්නේ. 

මෙතැනදී අපේ නිරීක්ෂකයන්ටත් තොරතුරු සපයන්නට පුළුවනි. එතකොට තමයි හොඳම පාඩම් ටික හෙළිදරව් වෙන්නේ.

ඔන්න ඩ්රැකී, ඔයාගේ පෝස්ටුවට මං ලියපු කමෙන්ටුවට උත්තර දෙමින් ඔක්තෝබර් 30 වෙනිදා ඔයා කොටපු දේ මතකයි නේද?

“ස්තුතියි නිදි. ඇත්තට කමාන්ඩෝවරු විශිෂ්ඨයි….. නායකත්වය හා ප්‍රමිතිය සම්බන්ධයෙන්. මට මෙතන හැම දේම කියන්න බැරිකම මිසක්, අපි අත්දැකපු දේවල් මීට වඩා ගොඩක් වැඩියි…… ඔයා කරපුවත් ලියන්ඩකො අපිට කියවන්න….”

ඩ්රැකීලා වගේ පිට්ටනියක ඩෙඟා නටන තරමේ සතුටක් මේ ක්‍රීඩාවෙදීත්……
ඉතින් ඔන්න, ඒ ආරාධනය පිළිගත්තා. ලිව්වා! 

ඔයාත් මේක කරවලාම බලනවද?
දන්නවද, අපට නම් මේ සහයෝගිතා අභ්‍යාසය කළ හැම විටෙකම හරිම රසවත් තොරතුරු ගොඩක් හොයාගන්න පුළුවන් වුණා!

කණ්ඩායම් හැඟීම, ආත්මාර්ථකාමීත්වය, 
නීති-රීති පිළිපැදීමේ අඩුපාඩු, උදව්ව අවශ්‍ය කෙනා තෝරා නොගැනීම, 
අවැසි කෙනාට අවැසි විටදී උදව් නොදීම, 
කරදරයක් වෙන විදිහට උදව්ව දීම, 
ඇඟ බේරා ගැනීම වගේ ගොඩාක් අබල-දුබල-අපල-සඵලකම් ගැන ඔයාලටත් තේරුම් යාවි හරියට වැඩේ කළා නම්!

එව්වා ගැනත් මට කියනවා නේද?

ඔන්න දැන්මම ඒකට ලොකු මල් මිටක්!
ප්‍රතිඵල කියන අයටයි මේ මල් මිට! ඡන්ද ප්‍රතිඵල නෙවෙයි!!
ඔය අභ්‍යාසයෙන් ඉගෙනගත්තු කාරණා අදටත් මට නම් හරිම ප්‍රයෝජනවත් වෙනවා ඕනේ තරම් වේලාවන්හිදී. සත්තයි, සහතිකයි෴

පසු සටහන: මෙතැනදී, කොළොම්පුරේ අසංග රණසිංහ ආරච්චි සහෘදයාට ස්තුතියක් නොකරම බැහැ! මේ පෝස්ටුව මුලින්ම උන්නැහේට යැව්වා විද්‍යුත් තැපෑලෙන්, කියවලා බලලා අදහස් දැනගන්න. පාඨකයෙකුගේ ඇහින් ලිපිය කියවලා, අසංග දුන්නා හරිම වටනා ‘Hints’ ටිකක්. ඒවාට අනුව වෙනස් කළ පෝස්ටුව තමා මේ. අසංග, ‘රොම්බ තෑන්ක්ස්!’

පරිගණකයෙන් සම චතුරශ්‍ර ඇඳලා දුන්නු ලලීන්ද ශ්‍යාමන් පණ්ඩිතගේ; සුරංග පුතාටත් ස්තුතියි, හොඳේ.

%d bloggers like this: