Menu Close

[360)] පලමු ඇස, දෙවෙනි ඇස සහ තෙවෙනි ඇස !

මේක හරිම අපූරැ සිද්දියක් . අද . මේ මොහොත ,  සමහර විට ආයිත් කවදාවත්ම හසුකරගන්න බැරි වෙන , රෑපාවලියක එකතුවක්. 
තැන : දුම්රිය නැරඹුම් මැදිරිය 
දවස : නොලිය ඉන්නම්. පුද්ගලිකත්වය රැකිය යුතු නිසා…. 
අංක එක පින්තුරය –
එක්තරා මහත්මයෙක් තම ජංගම දුරකතන කැමරාවට, දැසට පෙනෙන කොලපාට සහ දුම්රිය ගමන හසු කරගන්නවා 
අංක දෙක පින්තුරය –
ඒ හරියෙම තව මහත්මයෙක් තම ජංගම දුරකතනයෙන් සෙල්ෆියක් ගන්නවා 
ජවනිකාවේ , මේ මම , පසුපස අසුනක ඉඳගෙන මේ හැම දෙයක්ම දෑසින් විඳගන්නවා විතරක් නොවෙයි , එය මගේ ජංගම දුරකතනයට හසු කරගන්නවා.  ඇත්තටම කිව්වොත් මගේ පින්තුරය පින්තුර ගොඩක්. ඇස් ගොඩක් ! 
නැහැ කතාව ඉවරනැහැ . 
මට එහා අසුනේ , ලස්සන තරැණ කාන්තාවක් , ඇගේ සම්පුර්ණ කොණ්ඩයම සුදු කරලා (grey hair කියන විලාසිතාව)  . ඇයට යාබද අසුනේ ඉන්න තරැණ කාන්තාව ඇගේ  කොණ්ඩයේ අතරින් පතර මතුවෙන සුද වහගන්න කොණ්ඩය තද කළු පාටින් පාට කල බව , කන් පෙති වල , නලල් තලයේ ඉතුරැව ඇති ඩයි වලින් අපට පෙන්නුම් කරනවා. 
මම අර ඡායාරෑප ගන්නා අයවලුන් ඡායාරෑපයට නගන්න උත්සුක වෙමින් ඉන්න අතරතුර,  අර තරැණ සුදු කොණ්ඩ කත, දෑත් බැඳගෙන දෑස් පියාගෙන නිසලව … භාවනාවක ! 
කවුද දන්නේ , සිවුවැනි ඇසක් , මගේ පසුපස අසුනක සිට මේ සම්පුර්ණ නාටකයම නරඹනවද රෑගත කරනවද කියලා. 
බාගදා අසුනක සිට නොව , කවුද දන්නෙ වහලය මත හිදගෙන වෙන්නත් පුලුවනි ! 
ලෝකයක් ඇතුලේ ලෝකයක්. ඒක ඇතුලේ තව ලෝකයක් … වෙවී … අපි පුංච් කුහුඹුවන් යයි සිතන්නට පොලඹවන “Horton Hears a Who” චිත්‍රපටය  මට මතක් වෙනවා..  හැම ඇහැකින්ම දකින විශ්වය අනෙකාගේ ඇසින් දකින විශ්වයට වඩා වෙනස් අනන්‍ය හරස්කඩක් නොවේද ? එසේ බැලුවහොත් අර හරිතතුරැ පත් දකින දැසට පෙනෙන විශ්වයත් , ඒ කැමරා කාචයට පෙනුන විශ්වයත් ,   මට පෙනුන විශ්වයත් කොතරම් වෙනස්ද…ඇත්තටම කිවහොත් අර දෑස පියාගෙන සිටින කාන්තාව දකින්නේත් විශ්වයක් නොවේද ?
ලෝකය තනි යායක්ය  කියා සිතෙන හැම වෙලාවකම මට ඒ එක්කම හිතෙන දෙයක් තියනවා .. ලෝකය හරියට කැලිඩෝස්කෝප් (kaleidoscope) එකක් වගේ , අනන්ත වූ රෑ රටාවන් එක් එක් දෑසට මවා පෙන්වන … බහුරෑපේක්ෂක තල අනන්ත ගානක එකතුවක් … 
එවන් ලෝකයට මහත් වූ සෙනෙහසින් ….
දිල්ශාරා වීරසිංහ… 
2019-11-07
#උණවිකාරේලියනපද
%d bloggers like this: