Menu Close

හරෝහරා! – පහළොස්වෙනි කොටස

කඳ කුමාරයාත් පෙම් බැන්දේ නායක දෝණියන්දලාට විතරක්මද?

මට මතක හැටියට නං නූඩ්ල්ස් තැම්බූ උණුවතුර මසාජ් එකට මාත් මුලින්ම කිව්වේ ‘බැහැ’ කියලාය.

  
“ඔන්නොහෙ වරෙන් බං…. අපි සේරටම හොඳ නං තමුසෙට විතරක් නරක් වෙයිද? පස්සේ බලනවකො සනීපෙ!” කිව්වාම මමත් ඉටි රෙද්ද මත්තේ ඇල වුණෙමි. 

කතාව ඇත්තය! ආතල්ය!!
හැබැයි, නූඩ්ල්ස් තම්බපු වතුර- sorry, උවමනාවෙන් නොවුණත්, නූඩ්ල්ස් බෙරිවෙන්නට තම්බලා දිය කළ thick කැඳ වතුර හෝදාගන්නට මට තිබුණු නොඉවසිල්ල විතරය පරහකට හිටියේ. 
මහ රාත්තිරියේ දහයට, එකොළහට විතර මැණික් ගඟේ සිහිල් දියෙන් ඒවා සෝදා හැරියාට පස්සෙත් මට දැනුණේ ‘තවමත් ඇඟ පුරාම නානු ගාගෙන ඉන්නවා’ වගේ හිරිකිතකි.

වරහන වැලි තලාවේ තිබුණු අපේ මසාජ් පාලරය වැහුවාට පස්සේ…….
අපේ මසාජ් පාලරය වැහුවාට පස්සේ ඩිල්හාන්ලගේ කිහිප දෙනෙක් ගිනි මැලය වටේ හිටි අපට එකතු වුණෝය.
  
න්‍යාය පත්‍රයක් නැති වුණත්, එහෙම වෙලාවට හරවත් කතන්දර- රසවත් කතන්දර ඇදිලා එයි; යයි. අවශ්‍ය වෙන්නේ ඇරඹුමක් විතරය…. 

විවිධ විශ්වාස, ඇදහිලි, අහඹු සිදුවීම්, සම්භාවිතාවන් වගේ කෝටියක් දේවල් එවෙලේත් අපේ සාකච්ඡා මණ්ඩපයට ආවේය. ඊට ටිකාක් එහායින් වැලි තලාවේම ලැගුම් ගෙන හිටි දමිළ නඩයක ‘භජන් ගයනාව’ විතරය අපට බාධා කළේ!
  
“කතාවේ විදිහට තේවානි අම්මාන් බිසව තනියෙන් දාලා කතරගම දෙයියෝ ලංකාවට ඇවිත් තියෙන්නේ ඉස්සර ආත්මෙක බිසව හොයාගෙනනෙ… එයා තමයිලුනෙ වැදි රැහැක ඉපදිලා ඉඳලා තියෙන්නෙ. එහෙම වුණාට…..”
“හරි, හරි. මේකත් නිකං මධුමතී හින්දි ෆිල්ම් එකේ වගේ පුනරුත්පත්ති කතාවක්නෙ…. ” 

ඒකත් නිකං මධුමතී film එකේ වගේ කතන්දරයක්නෙ!
“පුනරුත්පත්තිය නෙවෙයි මචං මං කියන්න හැදුවේ. ඉස්සර මිනිස්සුන්ට ගෑනු දෙතුන්-දෙනෙක් හිටියයි කියන එක….. 
අඩෝ. දැන් තමයි අපිට තහනම්. හරි අසාධාරණයිනේ……”
“ඇයි බං රජ්ජුරු ගොල්ලන්ට අන්තඃපුරයක්ම තිබුණය කියන්නේ.” 
“මේකනෙ මල්ලී …. ගල් යුගේ ඉඳලාම පිරිමි තමයි දඩයමේ ගියේ, ගිහින් අනතුරුවලට ලක් වුණේ. ගැහැනු අය හිටියේ ගල් ගුහාවල….. ළමයි බලාගෙන. 
කණ්ඩායමකට ඉන්න ගණන උඩයි කණ්ඩායමේ පැවැත්ම තීරණය වුණේ… කට්ටිය මදි නං හතුරු කණ්ඩායම්වල attacksවලට බිලි වෙනවා….. 
ඉතින් හැම ගැහැනියකටම දරුවෝ බිහි කරන්න පුළුවන්කම තියෙනවා නම්….. පිරිමිත් අඩුයි නම්…. එක මිනිහෙක් වැඩි ගැහැනු ගණනක්….”
කණ්ඩායමේ පිරිමි අඩුයි නම්, ගැහැනු වැඩියි නම් වෙන මොනවද කරන්නේ එක පිරිමියෙක් …..
“අඩෝ, මාර ගති වෙන්නැති නේද?”
“ඒකනෙ මල්ලී. අපි ඉපදෙන්න තිබුණේ කාලෙකට ඉස්සර බං.”
“එහෙනං දෙයියන්ට වගේ foreign එක්කෙනයි, ලෝකල් එක්කෙනයි…. wifeල දෙන්නයි. විවිධ රස…..” 
කාගේවත් එවැනි කතන්දර දිගට යන්නට නොදී නවත්තාගන්නට වෙයි. 

කතාවක් නැඟලා යද්දී ඉන්නා තැන- ඉන්නා අඩවිය පවා අමතක වෙන හින්දාය. එහෙම වෙලාවට කට වරදින්නට ඇති ඉඩ වැඩිය. එදා ඒක නවත්තා ගත්තේ වෙනින් මාතෘකාවක් මැදට දාලාය.        
“මල්ලිලා දන්නවද කතරගම තියෙන්නෙත් අෂ්ටඵලරුහ බෝධියක්ය කියලා?”
නොදැන හිටියේ එක්කෙනෙකු දෙන්නෙකු විතරය. “අපි දන්නවට කමක් නැහැ අයියා…. මුන්ට කියලා දෙන්නකෝ…”

2019 වසර වෙද්දී ජයසිරි මහ බෝ සමිඳුන් වසර 2307ක් ජීවමානව වැඩ හිඳ තිබෙයි!
“ජයසිරි මහ බෝධිය රෝපණය කළාට පස්සේ ඒකෙ ගෙඩි පහක් හටගත්තාලු. මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේගේ දකුණු අත බෝධිය දිහාවට දික් කළාම අර ගෙඩි පහෙන් එකක් නිකම්ම නටුවෙන් ගැලවිලා අතට වැටුණාලු. 
ඔන්න ඒ සැරේ ඒක දීලා රජ්ජුරුවන්ගේ අතට….. 
එතකොට දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ ඒ වෙලාවේම ඒක රත්තරන් කටාහයක හිටවලා….. 
-ඒ වෙලාවේම ඒකෙන්, ඒ කුලුඳුල් ගෙඩියේ ඇටයෙන් අංකුර අටක් ඇවිත්. ඒ පැළ අට තමයි අෂ්ටඵලරුහ බෝධි කියන්නේ…..”  
  
“Disturb කරනවට සොරි අයියා, එතකොට මොනවද තවත් බෝධි වගයක්….”
  
“ඒ දෙතිස් ඵලරුහ බෝධි. 
ඒවා හැදුණේ අනෙක් ගෙඩි හතර හිටෙව්වාම. 
ඒවාගෙනුත් එකකින් අට ගණනේ බෝ පැළ තිස් දෙකක් හටගත්තා කියලයි ඉතිහාසේ තියෙන්නේ. ඔය පැළ සේරම රටේ එක-එක පළාත්වලින් ඇවිත් හිටිය නායකයන්ට දුන්නලු එයාලගෙ පලාත්වල හිටවන්න.”
මේවා මැජික්ද නැත්තං ආශ්චර්යයන්ද?
සභාවට දේශපාලනයත් ඇදිලා ආවේ එතකොටය. 

“ඒවා සේරමත් බල ව්‍යාප්තිය තහවුරු කරගන්න කරන දේවල්…. බාගයක් බොරු, මිනිස්සුන්ව අන්දන්න කියපු හෑලි…. දේවානම්පියතිස්ස කොහොමද බෝ ගෙඩියක් හිටවන්න එක සැරේම රත්තරන් පාත්තරයක් හදවන්නේ….. 
කොහෙද රත්තරන් පාත්තර ඔච්චර තියෙන්නේ? 
අනෙක ගෙඩිය එවෙලෙම පැළ වෙලා…. මේවා මැජික්ද නැත්තං ආශ්චර්යයද?”
  
ඒ තර්කය මගේ හිතටත් ඇල්ලුවේය. 

මේ ඉතිහාස කතන්දරවල පවා කියැවෙන්නේ බලය පිණිස; බල ව්‍යාප්තිය පිණිස කෙරුණු දේවල්ය. කඳ කුමරු ප්‍රියම්බිකාවන් තෝරාගත්තය කියන්නෙත් එවැනි පදනමක් ඇතිවද?
  
කඳ කුමරු වැදි රැහෙන් වල්ලි අම්මාව පාවාගත්තේ ඉන්දියාවේ සිට ලංකාවට ආවාට පස්සෙය. කියවෙන හැටියට නම් පළමු බිරිය තේවානි; දේවයානි ප්‍රාදේශීය පාලකයෙකුගේ දියණියකි. වල්ලි අම්මාත් වැදි නායකයෙකුගේ දියණියකි. 

ස්කන්ධ කුමාරයාගේ හිත යන්නෙම නායකයන්ගේ දූලාටද?
වල්ලි අම්මා, දේවයානි බිසව දෙන්නාගෙම තාත්තලා පාලකයන්ය……
ඒ කතාබහ තව කොච්චර දුරට ගියාදැයි කියලා මට හැඟීමක් නැත. ඒ ඇලවීගත් ගමන්ම හිටි මට නින්ද ගිය බැවිනි. 

කට්ටිය නිඳාගන්නට ඇත්තේ ගොඩක්ම රෑ බෝවුණු පසුව වෙන්නට ඇතිය. 

අප පිබිදෙන විටත් ගොඩ දෙනෙකු පිටත්වී ගිහින්ය. පහුවදා උදේ අන්තිමටම වරහන ගං තලාවෙන් සමුගත්තේ ඩිල්හාන්ලාගේත් අපේත් නඩ දෙකය! ඒ පළමු වතාවේය.
  
මේ වතාවේ අපටවත්, වෙන කිසිවෙකුහටවත් වරහනදී මැණික් ගඟේ වැලි තලාවේ ඉසුඹුලන්නට අවසර ලැබුණේ නැත. ඒ කිඹුලන් නිසාය.
  
අපේ ඉටිරෙදි එළාගන්නට තැන තෝරාගත්තේ කලින්ම එතැනට ගිය නෙවිල්, සුජී, දෙනෙත් හා හිරූලාය. පෙනුණේ හොඳ තැනක් තෝරාගෙන වගෙය!
  
මටත් තැනේ වැරැද්දක් බැලූ-බැල්මට පෙනුණේ නැතුවාට, රාත්තිරියේ නිඳාගන්නට ගියාමය වැරැද්ද පෙනුණේ. බිමට එළා තිබුණු ඉටි රෙද්දට උඩින් එක-එක්කෙනා ගෙනැවිත් තිබුණු අතුරණ හෝ sleeping bags එළාගෙනය අප නින්දට ගියේ. එහෙම කරන්නේ ගල්-බොරළු-කෝටු කෑලි පොළොව පුරා වැහි-වැහැලා තියෙන නිසාය. 

අපේ දොළොස් දෙනාගෙන් එක කෙළවරක නිඳාගත්තේ මං වහන්සේය. 

මොන නින්දක්ද? මට සිද්ධ වුණේ රෑ තිස්සේ සැරින්-සැරේ නැඟිටිමින්, මුලින් නිඳාගෙන හිටි තැනට යන්නටය.
වරහනටම ආවේ නැති කසුන්ලා යසට වැල්ලේ ….. (foto- යසස් සචින්තක)
නෙවිල්ලා ඒ වෙනුවෙන් මගෙන් බැණුම් ඇහුවේ පසුවෙනිදා එළිවුණාට පස්සෙය.
  
“තමුසෙලාගේ choice එක නං අපූරුයි. මොනවද මිනිහෝ…. මට නින්දකුත් නැහැ. මාව ලෙස්ස-ලෙස්සා පහතටම යනවා-යනවා කෙළවරක් නැහැ. තව ටිකක් පල්ලෙහාට රූටලා ගියානං කිඹුල් කටක…. 
මං හිටි තැන සමතලා කියන නාමයක් නෑ. 
නැඟිට- නැඟිට ආයි උඩට වෙවී තමයි නිඳාගන්න වුණේ…..”
“රජකම් කෙරුවත් – කළකම් පලදේ…” 
ඒ අස්සේ අපේ එකෙකුට ජෝතිපාලගේ සිංදුවකුත් කොඳුරන්නට මතක් වෙලාය!
“කළ කම් නම් තමයි….. දුව-දුව ආවා වරහනටම. මෙතැන විතරයි ගඟට බහින්න නොදුන්නේ. අර කසුන්ලා එහෙම යස අපූරුවට මැණික් ගඟේ වැල්ලේ නැවතිලා හිටියලු! 
අපරාදේ, අපටත් නවතින්නයි තිබ්බේ, මෙහාටම නෑවිත්.” 

එදා මගෙන් එහෙම නෝක්කාඩු කියවුණත්, ‘හරෝහරා’ අත් පිටපතට පීරිස් මහත්තයා ලියා තිබුණු දේවලුත් මට අමතකව තිබුණේ නැත.
කැලයකදී මස්-මාංශ බුදීම, විශේෂයෙන්ම ඒවා (බාබකිව් කර) පුළුස්සා කෑම ……
“……කැලයකදී මස්-මාංශ බුදීම, විශේෂයෙන්ම මස්-මාළු පුළුස්සා කෑම (බාර්බකියු කිරීම) වන ජීවීන් නොවන අප වැනි නාගරිකයනට විනෝදය ගෙන දෙන කාරණයක්.
-එනමුත් මස් පුළුටු ගඳට දිවියා, වලහා වැනි සිවුපාවුන් ඇදී එන්න පුළුවන්. කඳවුරු බිම් අසල උන් වැඩියෙන් ගැවසෙන්නත් පුළුවන්.
-ගිනි මැලයත් ඒ වගේ. ගිනි මැලය නිසා සිවුපාවුන් ඈත්වී සිටියත්, සර්පයන් ළඟටම ඇදී එන්න ඉඩ තියෙනවා.
-සම්මත කඳවුරු බිමක් නොවන තැනක රෑ ගත කරන විට, තමන් තෝරාගන්නේ අලිමංකඩක්, වන සතුන් සරන මං පෙතක එළිමහනක් නොවන බව විපරම් කර බැලීම ඉතා අවශ්‍ය දෙයක්. වැවකට මීටර 500ක් ඈතින් හිටියත් කිඹුලන් ඔබ අසලට පැමිණිය හැකි බවත් සිහියේ තබාගත යුත්තක්!
-හැබැයි, මේ සේරම මැද්දේත් කැලයක රැය ගත කිරීම මිල කළ නොහැකි සුන්දර අත්දැකීමක්……..”
ඇත්තටම සුන්දරය.. පාද යාත්‍රාවේ යෙදෙමින්ම අපි තෙවරක්…. (foto- යසස් සචින්තක)
ඇත්තටම සුන්දරය….. පාද යාත්‍රා ගමන්වලදී විතරක්ම අපි තෙවරක් වරහන කඳවුරු බිමේ නැවතී සිට ඇත්තෙමු. 
ඒ හැම වතාවකම අප ලද අත්දැකීම් එකිනෙකට වෙනස්ය. Uniqueය.
මේ වතාවේ විශේෂත්වය වුණේ පස් දෙනෙකු විදිහට පටන්ගත් ගමන දෙවෙනි දවසේ ඉඳලාම දොළොස් දෙනෙකු වී තිබුණු එකය. 

‘මාමා, අද නම් තියෙන සේරම උයමු…. තව කාට හරිත් දෙන්න ඇහැකිනේ.’ අපට එකතුවුණු නඩයේ හිටි ඉන්දික යෝජනා කළේය.
“එහෙම නෙවයි ඉන්දික…. තව කීප දෙනෙකුටත් දෙන්න එක්ක උයමු. බඩු තිබුණට උයන්න භාජනත් එපැයි. හැබැයි, අද නං මේ කොල්ලෝ දෙන්නට කියලත් වැඩ ගොඩක්ම ගන්න ඕනේ….. කොල්ලනේ, උඹලා දෙන්නා එළවලු කපලා, පොල් ගාලා දෙන්න ඕනේ. ඉස්සෙල්ලා වතුර ගෙනත් හිටපල්ලා.” 

හිච්චි මහත්තයා තවත් අදහසක් එකතු කළේය. 

කොල්ලන්ය කිව්වේ දෙනෙත්ටත් හිරූටත්ය. හිච්චි මහත්තයාගේ කතාවෙන් ඒ දෙන්නාගේම මුහුණු කළු වෙනවා මං බලාගෙනය.
කොල්ලන්ය කිව්වේ දෙනෙත්ටත් හිරූටත්ය. මර්වින්ගේ පොල් ගෑමේ පාඩම නම්… (foto- නෙවිල් අනුරසිරි)
සුජී පොල් ගෙඩි දෙකක් බිඳලා දුන් විට දෙනෙත් පොල් ගාන්නට වාඩි වුණේය. වාඩිවෙන විදිහෙනුත්, පොල් බෑය ගාන්නට පටන්ගත් විදිහෙනුත් පෙනුණේ කොල්ලා ජීවිතේ පළමුවෙනි වතාවට හිරමනයක් උඩින් වාඩිවුණු බවයි.
වතුර ගෙන එන රාජකාරිය බාරගෙන හිටි අපේ ජයශංඛට, මං ඇහෙන් පෙන්නුවේ දෙනෙත්වයි. 

ජයා මගේ ළඟටම ඇවිත් කෙඳිරුවේය. “පව් මහප්පේ…. උන් දෙන්නටම එපා වෙලා ඉන්නේ…. බරත් උස්සෙන ඇවිල්ලා බැනුනුත් අහලා….. ආයේ නං බුවාලා දෙන්නා මේ ගමන එයිද කියලත් හිතෙනවා….” 
ජයා වැඩියෙන්ම palවී හිටියේ ඒ දෙන්නා එක්කලාය.
හිච්චි මහත්තයාගෙන් තවත් ලෝබ නැති බැනුම් වරුසාවක් දෙනෙත්ට එල්ල වෙන්නට කලින් මම මර්වින්ට කතා කළෙමි.
මා දන්නා හොඳම පොල් ගාන්නා මර්වින්ය. හැබැයි මනුස්සයාට පොල් බෑයක් ගාන්නට වරුවක් යයි. 
එහෙම ගිහිල්ලා වුණත් එයා ගාන පොල් blender කරන්නට ඕනෑවෙන්නේ නැත. පොල් ටික මුතු වගෙය; හීනිය; කුඩාය; ඇහේ දාන්නට පුළුවන් තරමටම පුංචිය! 

ඉතින්, දෙනෙත්ට මේ ටියුෂන් පාඩම දෙන්නට හොඳම කෙනා එයා නේද?
බැතිමතුන් රාත්තිරියේ ගිනි මැලයක් ළඟ භජන් ගයමින්…. (foto- දමිත් සංජය අමරසේකර)
“අනේ මර්වින්, හොඳ ළමයා වගේ මේ දෙනෙත්ට කියලා දෙන්නකෝ පොල් ගාන්නෙ කොහොමද කියලා.”
මර්වින් උන්නැහේ කොච්චර හොඳට පාඩම කියලා දුන්නාද කියනවා නම්, එයාම පොල් ගෙඩියක් ගාලා ඉවර වෙද්දීත් පාඩම ඉවර නැත; උපදේශත් අහවර නැත. 
දැනගෙනමද, නැතිවද මන්දා… 
දෙනෙතුත් එතැනම වාඩිවී හූමිටි තියමින් උන්නේ කිසිම නෝක්කාඩුවක් නොකියමිනි.
හිරූ ඊටත් හපන්ය. එළවලු කැපිල්ල බාර වුණේ එයාටය. අධීක්ෂණය කළේ මාය. මට හිරුගෙන් සහතිකයකුත් ලැබිණි.

“මාමා වගේ බනින්නේ නැතිව කියනවා නං සේරම වැඩ ටික වුණත් කරන්න පුළුවන් මාමේ… හිච්චි මාමා පොඩ්ඩ ඇත්තං බැනලනෙ පස්ස බලන්නේ…. ලබන පාරත් මාමාලා එනවා නං අපි දෙන්නවත් හලන්න හෙම එපා ඔන්න!”
උයපු එකටත් වඩා මට මතක හිටියේ අපෙන් කවුරුවත්ම නොදන්නා කෙනෙකුත් බත් කන්නට පැමිණි හැටිය. 

මනුස්සයා කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ළිප ළඟටම ඇවිත් අපේ පිඟානක්ම අතටත් අරගෙන ඉවර වෙලාය, එතැනම හිටි හිච්චි මහත්තයාගේ මුහුණ බැලුවේ. හිච්චි මහත්තයාත් දෙපාරක් නොහිතාම කිව්වේ ‘ඔහෙම බෙදාගන්න.’ කියලාය.
යාල කටගමුවෙදී අපේ දුසිමටම උදේ කෑමකින් සුවිසල් දානයක් දුන් පියනන්ද මහත්තයා … (කොළපාට ටී ෂර්ට් එකක් හැඳ හිටගෙන සිටින්නේ පියනන්ද මහතාය. foto- නෙවිල් අනුරසිරි)

 තව දෙතුන් දෙනෙකුම නම් බත් ටිකක් කන්නට ආවේ අප ආරාධනය කළාට පස්සෙය.

එහෙම දානයක් දීම මහත්ඵල මහානිශංස දෙනවා වෙන්නට ඕනෙය! පින මේ ආත්මයේදීම පළ දෙනවා වෙන්නට ඕනෙය. 
වරහනටම ඇවිත් අපව හමුවුණු පියනන්ද මහත්තයා බලාගෙන හිටියේත් මහානිශංස දෙන පින්කමක් කරගන්නටය. 
අපට; අපේ දොළොස්දෙනාටම උදේ කෑම හදන්නටය.
පාද යාත්‍රාවේ යන කිසිම නඩයකට නොලැබෙන ඔහොම වරප්‍රසාද අපට ලැබුණේ අයස්මන්ත මහත්තයා නිසාය. 

පියනන්ද මහත්තයා ඉස්තරම්ම කෑම වේලක් හදලා තිබුණේය. “අනේ, සර්ලාට යන්තම් කෑම කටක් විතරයි….” කියලාය කිව්වේ. ඒත් කවුරු-කවුරුනුත් හතර මුල්ලම දිගෑරෙන තරමට ‘ආහාර අනුභවය’ නම් කළ විදිහය පෙනුණේ.
දවස් හතරකට පස්සෙය, එදා අප පුටුවක් උඩ වාඩිවී කෑම ගත්තේ. 
ඒකම වුණත් කොච්චර සම්පතක්දැයි තේරෙන්නේ ඒ අත්දැකීම වින්දාම විතරය. 

කලින් දිනවල පාද යාත්‍රාවේ යෙදෙන කාටත් වාඩිවෙන්නට වෙන්නේ ගහක්- ගලක්- කොටයක් උඩය. නැති නම් නිකම්ම මහ පොළොව උඩය. ජීවිත කාලයෙන් වැඩිම හරියක් උඩින්ම යන මිනිසුන්ව එහෙම මහ පොළොවට බස්සන එකම වුණත් කතරගම දෙවිඳුන්ගේ හපන්කමක් නොවෙයිද?
භක්තිය! හනුමාන්ගේ භක්තිය පෙන්නුවේ පපුව පළලා පෙන්වීමෙනි!
මිනිසුන් එහෙම කරන්නේ භක්තිය හින්දාය!
භක්තිය හින්දා සමහර වෙලාවට අසාධාරණ දේවලුත් සිදු වෙයි. වැඩියත්ම බලයෙන් අඩු අයටය එහෙම වෙන්නේ. 

ඒ ධර්මය මිනිසුන් අතරේ විතරක් නොවේ සිද්දවෙන්නේ. දෙවියන් අතරෙත් සිදුවෙයි. දිවුලානේ කැබිලිත්ත දෙයි හාමුදුරුවන්ටත් වෙලා තියෙන්නේ ඒ අකරතැබ්බයයි. ස්වකීය අනන්‍යතාව අහිමිවීමේ ඛේදවාචකයයි.
ඉස්සර කුඩා කැබිලිත්ත හෙවත් මඩමේතොට දේවාලයට- ඒ අඩවියට අධිපති දෙවියන් හැඳින්වූවේ ‘දිවුලානේ දෙවියන්’ හෝ  ‘පානම්පත්තුවේ දෙවි හාමුදුරුවන්’ හෝ ‘සියඹලාපේ දෙවියන්’ හෝ කියලාය. දැන් උන්නැහේලා ආගිය අතක් නැත. ඉන්නේ එකම-එක  ස්කන්ධ කුමාර දිව්‍යෝත්තමයාණන් වහන්සේ කෙනෙකු විතරය.
“ඔය වගේ දේවල් ප්‍රශ්නයක් විදිහට පෙනෙන්නේ මාමලා වගේ අයට විතරයි. දෙයි හාමුදුරුවන්ගේ පිහිට ලැබෙනවා නං, මිනිස්සුන්ට ඕනේ එච්චරයි. 
දෙයි හාමුදුරුවෝ වුණත් බලන්නේ නැතිව ඇති උන්නාන්සේට කියන නම මොකද්ද කියලා. උන්නාන්සේ ගැන කෙටිලා තියෙන්නේ අපේ හිතේ මිසක පොත්වලයැ.” 
හිච්චිගේ ඒ තර්කයත් ඇත්තය.
  
ඇත්ත හෝ බොරු හෝ තර්ක-විතර්ක නැතිව; නිශ්ශබ්දව; නහයෙන් අඬමින් අපේ හැමෝටම සුදුළූණු කිරි තේ බොන්නට වුණෙත් මෙදා පොටේමය; වරහනදීමය!……..

%d bloggers like this: