Menu Close

තොටදනවු මන්ද්නාවන් සෑගිරියෙන් ගෙනා නිශ්ශංකමල්ල රජුගේ පුලස්තිපුර ගල්පොත

පෙර ලිපියකින් මෙරට විශාලම අකුරින් රචිත දිගම සෙල්ලිපිය ගැන විස්තර ඉදිරිපත් කල අතර (Link>>) මෙම ලිපිය මගින් අපගේ අවධානය යොමුවන්නේ මෙරට හමුවන ‘යෝධ සෙල්ලිපිය’ ලෙස සැලකිය හැකි සෙල්ලිපියටයි. අකුරු 4300 කට අධික ප්‍රමාණයකින් පේලි 72 කට, ඔප මට්ටම් කල විශාල ගල් කුට්ටියක මතු පිට ලියා ඇති මෙම ලිපිය පොළොන්නරුවේ දළදා මළුව ලෙසින් හැඳින්වෙන පූජනීය චතුරශ්‍රයේ පිහිටා ඇත. (තෝනිගල සෙල්ලිපි වල අකුරු ප්‍රමාණය මීට වඩා අඩුමුත් ඒවා දික් අතට තනි පේලියක් ලෙස ලියා ඇති හෙයින් එය විශාල පරාසයක් පුරා විසිරුනු දිගම සෙල් ලිපිය ලෙස සැලකේ.) අප මෙම ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වන ‘ගල්පොත’ ලෙසින් ජනවහරේ හැඳින්වෙන ලිපිය අකුරු ප්‍රමාණය අතින් ඉදිරියෙන් සිටින මුත් කුඩා අකුරින් පේලි ලෙස ලියා ඇති බැවින් සාපේක්ෂව අඩු ඉඩක් උපයෝගි කරගෙන ඇත (එහෙත් මෙම ගල් කුට්ටියේ මුළු දිග අඩි 26 අඟල් 10 පමණද පළල අඩි 4 අඟල් 7 පමණද වේ.) සෙල්ලිපිය පිහිටවූ රජු සිරිසඟබො කාලිඟ පරාක්‍රමබාහු වීරරාජ නිශ්ශංකමල්ල අප්‍රතිමල්ල මහාරජපාවහන්සේ ලෙස ලිපියෙහි හැඳින්වෙන මෙරට වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් පිහිටවූ රජු ලෙස සැලකිය හැකි (දැනට මෙම රජුගේ ලෙස හඳුනාගෙන කියවා පලකර ඇති මුළු සෙල්ලිපි ප්‍රමාණය 64 කි.) නිශ්ශංකමල්ල රජු ලෙස හඳුනාගත හැක.

ලිපිය පිහිටුවීම උදෙසා මෙම විශාල ගල් කුට්ටිය මෙම ස්ථානයට රැගෙන ආ පෙදෙස සහ ගෙනා පුද්ගලයන් ගැනද මෙම ලිපියේ පසු සටහනක් ලෙස එහි දකුණු අන්තයේ සිරස් කොටසේ දක්වා ඇත. ඒ අනුව ‘ශ්‍රී කාලිඟ චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ ඇති කළ නිශ්ශංක භටයන්’ ලවා ‘අධිකාර තොටදනවු (මන්ද්)නාවන් සෑගිරියෙන්’ එම ‘ශිලාලේඛ ගල’ ගෙන්වා ඇත. මෙහි සඳහන් සෑගිරිය මිහින්තලය ලෙස හඳුනාගත හැක. මිහින්තලයේ සිට මෙම ස්ථානයට සැතපුම් 80 ක පමණ දුරක් ඇති අතර, සාපේක්ෂව තැනිතලා මෙම බිමේ මෙවන් ගල් කුට්ටියක් මෙතරම් දුරක් රැගෙන ඒම එතරම් අපහසු නොවුනත් පොළොන්නරුවට එතරම් දුර නොවන මෙවන් ගල් කුට්ටි ලබාගත හැකි ස්ථාන තිබියදී එවන් දුරක සිට රැගෙන ඒමේ අවශ්‍යතාවය කුමක්ද යන පැනය මෙහිදී මතුවේ. අවසන් නිගමනයක් ලෙස නොවුනත් මේ පිළිබඳව මියූලර් පවසන මතයද මෙහිදී වැදගත් වේ. ඔහු පවසන්නේ එම ස්ථානය සෑගිරිය නොව පොළොන්නරුවට සැතපුම් 15 ක පමණ දුරින් පිහිටි සීගිරිය විය හැකි බවයි. ලිපිය කෙටූ ගල්වඩුවා එයට වැඩි අගයක් දීම උදෙසා එය බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්වූ ස්ථානයක් වන මිහින්තලය ලෙසට වෙනස් කරන්නට ඇති බවය ඔහුගේ අදහස. රජු විසින් පිහිටුවන සෙල්ලිපියක අන්තර්ගතය ගල්වඩුවාට වෙනස් කල හැකිද යන පැනය මෙහිදී මතුවන මුත් Z. වික්‍රමසිංහ මහතා එම මතය තවත් ශක්තිමත් කිරීම  උදෙසා ඉදිරිපත් කරන අදහස්ද මෙහිදී දැක්වීම ප්‍රයෝජනවත් වේ. ඔහු පවසන්නේ ලිපියෙහි ‘ස’ අකුරට උඩින් ‘සී’ ලෙස ලියා මකා ඇති සලකුණු ඇති බවත් අනතුරුව එය ‘සෑ’ ලෙස සටහන් කර ඇති බවත්ය. තවද නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය අසලින් සොයාගත් රජුගේ ‘ගල් ආසන ලිපියක’ එම ගල එඩෙරගල්ලෙන් ගෙනා ලෙස සටහන් කර තිබීමයි. එම එඩෙරගල්ල වර්තමාන එඬේරුගල ගම්මානය ලෙසින් හඳුනාගත හැකි බැවින් සීගිරියේ සිට සැතපුම් 5 ක පමණ දිරින් පිහිටි එවකට සීගිරි ප්‍රදේශයටම අයත් වූ එම පෙදෙසින්ම මෙම ගලද ගෙනෙන්ට ඇති බවය එතුමා වැඩිදුරටත් සඳහන් කරනුයේ.

අප විසින් මෙයට පෙරද ඉදිරිපත් කල නිශ්ශංකමල්ල රජුගේ වෙනත් සෙල්ලිපි වල (Link1>>, Link2>>) එන තොරතුරුම අඩු වැඩි වශයෙන් මෙම සෙල්ලිපියේද හමුවන අතර ඔහුගේ ඇදහිය නොහැකි ඇතැම් වීරක්‍රියා වැනි දේ හැර වෙනත් වැදගත් තොරතුරු කිහිපයක් මෙසේ සම්පිණ්ඩනය කල හැක. (ඉහත ලිපිවලද සඳහන් ඇතැම් තොරතුරු මෙහිදී නැවතත් ඉදිරිපත් කර නැත.)

  • ඔකාවස් රජපරපුරෙහි කාලිංග චක්‍රවර්ති කුලෙන් පැවතෙන විජය රජු ලක්දිව ගොඩබැස වසර 1700 ගියතැන, නිශ්ශංකමල්ල රජු දඹදිව කලිඟු රට සිංහපුරයෙහි ඉපිද, ‘පරපුරෙන් ඔහුට හිමි ලක්දිව’ රජ කරනු මැනවැයි ‘ලක්දිව කුලජෙටු මහරජු’ ආරාධනා කල හෙයින් මෙරටට පැමිණ ‘ඈපාහිමියා’ තනතුරද හොබවා රජ පිළිවෙලින් අභිෂේක ලැබ ඔටුණු පැලඳ මෙරට රාජ්‍යත්වයට පත් වූ බව. 
  • පෙර සිටි සමහර රජවරුන්ගේ අදමිටු ක්‍රියාවන් හේතුවෙන් සිය ධනය සහ පාරම්පරික වරප්‍රසාද අහිමි වූ ලක්දිව බහුජනයා අතරින් සමහරකුගේ වරප්‍රසාද නිශ්ශංකමල්ල රජු නැවත පිහිටවූ බව (FCID වැනි නීතිවිරෝධී පොලිසී මගින් මෙකල සිදුකරන ආකාරයේ දේශපාලන පළිගැනීම් එකලද සිදුව ඇති බව පෙනේ.)
  • පස් වසරකට අයබදු අත්හිටවූ බව සහ පෙර රජවරුන් කෙත්වතු වලින් අය කල අමතර බදු අත්හිටවන ලෙසට නීති පැණවූ බව, කුඹුරුවල පලදාව අනුව වර්ග තුනකට බෙදා ඒවායින් ගත යුතු බදු ප්‍රමාණද මෙහි දක්වා ඇත. තවද දුකෙන් කරන සෙහෙන් කටුසර අය මුළුමනින්ම නැවතූ බවද (එනම් හේන් ගොවිතැනින් බදු අය නොකල බව) මෙම සෙල්ල්පියේ වැඩිදුරටත් සඳහන් වේ. 
  • තුන් රජයෙහිම අබලන් වූ මහවැව්, ඇළ, අමුණු බඳවා ‘පිසම්බුරු වතද’ (ජල බද්ද) අහෝසි කල බව.
  • නොයෙක් ජනපද වල ‘ධර්මාධිකරණ’ පිහිට වූ බව.
 පසු සටහන සහිත දකුණු අන්තයේ සිරස් කොටස
  • යුවරජ තැන්පත් ඔහුගේ පුතනුවන් වූ වීරබාහු මහපාණන් හටද, කලිඟු පුරයෙන් රාජ කන්‍යාවක් ගෙන්වූ බව සහ ඔහුගේ බිසෝවරුන් දෙදෙනා සහ පුතණුවන්ද, දුව වූ සබ්බාඟ සුන්දරීන්වහන්සේද  (සර්වාංග සුන්දරී) එක්ව වසරකට පස් වතාවක් තුලාභාර දන් දුන් බව. මෙ පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>
  • හෙතෙම පුලස්තිපුර නම් කාලිඟකපුරයෙහි (එනම් පොළොන්නරුවේ)  වැඩවසමින් චරපුරුෂයෙන් මාර්ගයෙන් නිතර සිය රට මෙන්ම වෙනත් රට වලද තොරතුරු දකින මුත් ලක්දිව තොරතුරු සිය ඇස් දෙකින්ම දකිනු රිසියෙන් සිව්රඟ සෙනග පිරිවරා (රෑට රෑට වෙස්වලාගෙන තනියම අපේ ගෙවල් වලට පැමිණ අපි සතුටින්දැයි බලන බූරු පුතානෝ මෙන් නොව) ත්‍රීසිංහළයෙහි ගම්, නියම්ගම්, රාජධානි, ජලදුර්ග, ගිරිදුර්ග, වනදුර්ග ආදියෙහි සැරිසැරූ බව.
  • තුන් රජයෙහි මියුගුණු මහවෙර, (ම)හගම [දෙවුනුවර?] කැ(ලැ)ණි ආදී වූ ඔහු සැරිසැරූ වෙහෙර වල නව කර්මාන්ත කරවා, දම්බුලුලෙණැ හොත්, හුන් සහ හිටි පිළිම වල රන් ආලේප කරවා, අනුරාධපුරයෙහි රුවන්මැලිමහසෑවහන්සේට සතිස්ලක්ෂයක් ධන වියදම් කර පූජා කරවා, එහි ‘ගල් දාගැබක්’ කරවා, එම සෑම තැනකම ශිලාලේඛනද කරවූ බව.
ඇත් රූ දෙකක් දෙපසින් ජලය හිස මතට වක්කරන සෙල්ලිපියෙහි දකුණු අන්තයේ සිරස් කොටසේ පිහිටි ලක්ෂ්මි රූපය
  • මෙම ලිපියෙහි නිශ්ශංකමල්ල රජුගේ දඹදිව සිදු කල ආක්‍රමණ ගැන කියවෙන කොටස අතිශයොක්තියෙන් පිරී ඇති මුත් ඔහු පාණ්ඩ්‍ය (පාඩි), සොළී ආදී රාජ්‍යය වලින් රාජ කන්‍යාවියන් හා හස්ති, අශ්ව ආදී පඬුරු ලද බවත්, කණ්ණට, නෙල්ලූරු, ගෞඩ, කලිඟ, ති[ලිඟ], ගු[ජ්ජර] ආදී නොයෙක් දේශයන් වල රජවරුන් සමග මිත්‍ර සම්බන්ධතා පැවැත්වූ බවත් ලෙස පැවසෙන තොරතුරු සත්‍යය විය හැක. තවද හෙතෙම රාමෙශ්වරයෙහිද තුලාභාර දන් දුන් බව කියවේ. එසේම එහි ජයස්තම්භයක් පිහිටුවා, නිශ්ශංකේශ්වර නම් දෙවොලක්ද ඉදි කල බව වැඩිදුරටත් සඳහන් වේ (මෙම තොරතුරු වල විශ්වාසනීයත්වය රාමේශ්වරමින් හමුවන රජුගේ ගල් ආසන ලිපියෙන් තහවුරු වේ.) මෙම ‘දඹදිව ආක්‍රමණය’ සඳහා ඔහු සමග ගිය සෙනෙවියා ල(ග්) විජයසිඟු සෙනෙවි තාවුරුනාවන් ලෙස ලිපියේ දක්වා ඇත.
  • නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකල වෙහෙර විහාර ලෙස දළදාගෙය, වටගෙය, නිශ්ශංකලතාමඩපය, මහවෙහෙර දාගැබ හා සමාන වන උපකාර චෛත්‍යයද මෙහි සඳහන් වේ. එසේම රජගෙට උතුරු දෙසින් අසූ අත් (රියන්) රුවන්මැලි දාගැබද කරවූ බව සඳහන් වේ. එසේම ඒවායෙහි දොරටු, පවුරු සහ සංඝාරාමද හෙතෙම ඉදිකරවීය. 
උතුරු අන්තයේ සිරස් කොටස
  • රජදරුවන් මනුෂ්‍යරූපයෙන් සිටියද ඔවුන් නරදේවතාවන් ලෙසින් හඳුන්වන ලිපියේ අවසාන කොටසේ රජු කෙරෙහි ජනයාගේ පක්ෂපාතීත්වය වැඩීම උදෙසා දිර්ඝ ‘අවවාද’ සහිත වාක්‍යය කිහිපයක් අතුලත් වේ. රජුගෙන් පසුව රාජ්‍යත්වයට ඈපා, මහපා දූර දරන ඔහුගේ පුතුන්ද, ඔවුන් නොමැති නම් බිසෝවරුන්ද පත් කරගත යුතු වේ. බිසෝවරුන්ද නොමැති වුවහොත් මහරජ පය ලූ වහන්මාත්‍රයකදු (පාවහන්) රජ තැන්හී තබා රාජ්‍යය රැකගත යුතුය. අබෞද්ධ චෝඩ, පාණ්ඩ්‍යය ආදී රජුන් ලක්දිව රජතැන්හි නොපිහිටවිය යුතුය. විජයරාජ කුමාරයාගේ පටන් ලක්දිව හිමි කාලිඟ වංශයෙහි රජදරුවන් පමණක් රාජ්‍යත්වයට පත්විය යුතුය ආදී කරුණු ඒවායෙහි ඇතුලත් වේ. 
ගඩොල් පීඨිකාවක් මත පිහිටුවා ඇති ගල්පොත සෙල්ලිපිය එය වටා සිටුවා ඇති කුළුණු 10 ක් මත ඉදිකර තිබී ඇති වහලයකින්ද ආවරනය වී තිබී ඇත.
නිශ්ශංකමල්ල යුගයේ රජෙකු පත්කරගැනීමේදී සැලකිය යුතු යැයි ඔහු ඉදිරිපත් කරන සමහර තත්වයන් වර්තමානයට අදාල නොවූවත් රාජ්‍යත්වයට පත්කරගත යුත්තේ ඒ සඳහා හැකියාවක් සහිත පුද්ගලයන් විය යුතුය යන්න නම් පසුගිය වසර 5 ක පමණ කාලය තුලදී මෙරට වැසියන් ඕනෑවටත් වඩා හොඳින් වටහාගන්නට ඇත. ග්‍රාමසේවක මහතෙකු වෙනුවට අ.පො.ස. සා. පෙලද අසමත් විකටයකු පත්කරගෙන ඉදිරි වසර පහ තුල රට මීටත් වඩා දරුණු අගාධයකට ගෙනියනවාද, නැතහොත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ඕනෑවටත් වඩා හොඳින් පෙන්වා ඇති වැඩකල හැකි මිනිසෙකු සමග සෞභාග්‍යමත් යුගයකට පියවර නගනවාද යන්න තව දෙසතියකින් මෙරට චන්දදායකයන් තිරණය කරනු ඇත.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 – 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
%d bloggers like this: