Menu Close

එම්. ඞී. පියසේන ගොවියා ‘ගුරුපියා’ සොයා ගැනීම

පනාගොඩට පැමිණි සොබාදහම
නව දේශීය දෙමුහුම් වී ප‍්‍රභේදයක් 
රටට තිළිණ කළ හැටි
එම්. ඞී. පියසේන ගොවියා  ‘ගුරුපියා’ සොයා ගැනීම
 කොලෙස්ටරෝල් පාලනය අතින් ඉහළම ගුණයක්








ගුරුපියා වී

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-නන්දන රණසිංහ-හෝමාගම)
ලොව හොඳම ගොවියා, ‘සොබාදහම’ බව ප‍්‍රචලිත කතාවකි. එය, මීට කන්න තුන හතරකට  පමණ ඉහත හෝමාගම, පනාගොඩ ප‍්‍රදේශයට එබිකම් කළ බව, දැන් සක්සුදක් සේ පැහැදිලි ය. එම්. ඞී. පියසේන නම් ගොවියාට පනාගොඩින් හමුවූ ‘අමුතු වී වර්ගය’ සොබාදහමේ මුහුම් වීමෙන් නිර්මාණය වූවක් බව හරියට ම තහවුරු වීම ඊට හේතුව ය. එහි තේරුම,  හෝමාගම, පනාගොඩ, කපුරුගොඩ පාරේ වෙසෙන එම්. ඞී. පියසේන නම් ගොවියාට ‘සොබාදහම’ මුණ ගැසී ඇති බව ය!

‘සොබාදහම’ ඔහුට මුණගැසී ඇත්තේ, පනාගොඩ යුද හමුදා කඳවුරු සංකීර්ණ භූමිය තුළ පිහිටි කුඹුරු යායේ දී ය. හමුවෙන් පසුව ලෝකයට තිළිණ කෙරුණු නව වී ප‍්‍රභේදයේ නම, ‘ගුරුපියා’ ය. එහි සහලින් පිසෙන බත, පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් අනූන බව, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ පිළි ගැනීමයි!

හෝමාගමට නුදුරු පනාගොඩ පිහිටි යුද හමුදා කඳවුරු සංකීර්ණය, විශාල භූමියක් පුරාවට පැතිරුණකි. එහි කුඩා වැවක් ද ඒ දියවරින් වගා කෙරෙන කුඹුරු ද තිබේ. එයින් අක්කර දාහතක කොටසක, යල-මහ දෙකෙහිම වී වගා කෙරෙන්නේ එම්. ඞී. පියසේන ගොවියා අතිනි. එය යුද හමුදා කඳවුරෙන් ‘බද්දට ගත්’ කුඹුරකි. ඔහු එහි වගා කරන්නේ දේශීය පාරම්පරික වී වර්ග ය. ඒ, වස විස නැති කාබනික ක‍්‍රමයට ය.

එම්. ඞී. පියසේන ගොවියාට ‘සොබාදහම’ හමු වූයේ නිකම්ම නොවේ. ඔහුගේ පියාණන් වූ එම්. සිමියොන් සිංඤ්ඤෝ නම් පුරෝගාමී ගොවියාගේ අඩි පාරේ ගමන් කළ නිසා ය. එය විචිත‍්‍රවත් පුවතකි.

පියසේන ගොවි මහතා


‘අපේ තාත්තා ඒ කාලේ ‘කිරි නාරං’, ‘බටපොළැල්’, කුරුළු තුඩ’, ‘එච් හතර’ වගේ පාරම්පරික වී ජාති වගා කළා. අපේ පුද්ගලික කුඹුරු තිබුණේ පනාගොඩ මීගස්මුල්ල හරියේ. අපි වවා ගෙන තමයි බත් කෑවේ. 1960 විතර වෙනකල් අපේ පළාතේ දේශීය පාරම්පරික වී ගොවිතැන කෙරුණා. ඊට පස්සේ තමයි ඔය රසායනික පොහොර ගහන, වස තෙල් ගහන නවීන ගොවිතැන ආවේ. ඒකෙන් දේශීය පාරම්පරික වී  ගොවිතැන අභාවයට ගියා’, පියසේන මහතා අතීත මතකයන් පෙළ ගස්වමින් කියන්නේ ය.

පියාණන්ගේ අනුදැනුමෙන් කුඹුරු-පිටිවල වැඩ කළ ද, පියසේන වෘත්තියෙන් කාර්මික අංශයේ වැඩ මූලිකවරයෙකි. ඔහු කලක් විදෙස්ගතව ද, ලංකාවේ ද රැකියාව කළේ ය.

‘2008 වසරේ තමයි මං රස්සාව අත්හැරලා ලංකාවට ආවේ. ඉන් පස්සේ තමයි වී ගොවිතැනට බැස්සේ. දවසක් මං පාන්දර හෝමාගම පැත්තේ තැනක රසායනික පොහොර ගන්න දිග පෝලිමක ඉන්නවා. එවේලේ තමයි මම කල්පනා කරන්නේ, ඇයි අපේ තාත්තලා අපට දුන්  ගොවිතැන් රටාවේ යන්න බැරි කියලා. මොකද අපිට ඒ කාලේ පැරණි වී වර්ග වගා කරලා යම් දැනුමක් තිබුණා. මං ආපහු ආවා. ඊට පස්සේ තමයි මට ‘පී. ගුරුසිංහ ගොවි ක‍්‍රියාකාරිකයා හමු වුණේ. ඔහු තමයි මට මුලින්ම ‘රත් සුවඳැල්’ නමැති දේශීය පාරම්පරික වී වර්ගය දුන්නේ. ඔය 2008 දි. එතැනින් තමයි මං දේශීය පාරම්පරික වී ගොවිතැනට එකතු වෙන්නේ’ පියසේන තම අතීත අත්දැකීම් එකින් එන දිග හරිමින් කියයි.

ඔහු පනාගොඩ යුද හමුදා කඳවුරේ කුඹුරු ඉඩම බද්දට ලබා ගෙන, එහි දේශීය පාරම්පරික වී වර්ග වගා කරන්නට පටන් ගත්තේ මීට වසර පහකට පමණ ඉහත දී ය. එකල ඒ භූමිය පුරන් වුණු කුඹුරු යායකි. එය බද්දට ගෙන අස්වද්දන්නට මග පෙන්වන ලද්දේ එවකට හෝමාගම කොට්ඨාශයේ රාජකාරි කළ කෘෂි උපදේශකවරයා වූ ජී. ජී. සමිත මධුශංක විසිනි. 

පියසේන සහ තවත් ගොවීන් නම දෙනෙක් යාය අස්වද්දන්නට එකතු වූහ.  එය ශුද්ධකර, එහි ඇති සාර පස පාදා ගන්නට මහත් පරිශ‍්‍රමයක් දරන්නට ද සිදු විය. ‘ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ’ (මොන්ලාර් ආයතනය) සම්පත් ආරියසේන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ (යූ. එන්. ඞී. පී.) අරමුදලක් ලබා ගෙන නව කුඹුරේ ඇළවල් ආදිය කපා දුන්නේ ය. එවකට ප‍්‍රදේශයේ කෘෂිකර්ම, පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරයාව සිටි අජිත් ධර්මකීර්ති ලියනගේ ද පියසේනගේ ප‍්‍රයත්නයට උදව් කළේ ය. 


පනාගොඩ යුද හමුදා කඳවුරේ ප‍්‍රධානීන් ද හැකි සෑම සහායක් ම දුන්හ.
දේශීය පාරම්පරික වී ගොවිතැන සඳහා මුලින්ම ඔහුට ගුරුහරුකම් දුන්නේ පී. ගුරුසිංහ ගොවි ක‍්‍රියාකාරකයා ය. ඊට පසුව ‘ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ’ සුරන්ජන් කොඩිතුවක්කු සහ සම්පත් ආරියසේන යන කාබනික ගොවිතැන ගැන උනන්දු පරිසරවේදීන්ගේ ද මගපෙන්වීම් ලැබිණි. මේ අතර පියසේන ගොවියා සමග එකතුවී සිටි ගොවීන් නම දෙනා වගාවෙන් ඉවත් වූහ. අවසන මුළු යායට ම ඉතිරි වූයේ පියසේන පමණි. පසුව ඔහු දේශීය පාරම්පරික වී වර්ග විස්සක් පමණ වස විසෙන් තොරව වගා කරන උද්ේ‍යා්ගිමත් ගොවියෙකු බවට පත් විය. මඩතවාලූ, ගෝනබරු, හැටදා වී, මුරුංගා කායම්, කුරුළු තුඩ, දහනල ආදී පැරණි වී වර්ග විස්සක් පමණ ඒවා අතර විය.

පියසේන තම ගොවි බිමට අවශ්‍ය කාබනික පොහොර සොයා ගන්නේ ද අමුතුම ක‍්‍රමයකට ය.

‘මං පනාගොඩ කුඹුරට කවදාවත් රසායනික පොහොර දාලා නෑ. වල් නාශක, කෘමිනාශක ගහලා නෑ. මෙච්චර ලොකු කුඹුරකට දාන්න තරම් කොම්පෝස්ට් පොහොර සොයා ගන්නත් අමාරුයි. ඒත් මම කොම්පෝස්ට් පොහොර ටිකක් හදා ගන්නවා. ඒවා මගේ එළවළු ගොවිතැනට ගන්නවා. මේ අක්කර දාහතක කුඹුරට, මූලික පොහොර හැටියට මම දාන්නේ  කුකුළු පොහොරයි. බිත්තර දාන කිකිළියන්ගේ පොහොර තමයි මම ගන්නේ. ඒවා සොයා ගන්නත්  අමාරු නෑ. තව ඉතින් ආණ්ඩුවෙන් දෙන දියර පොහොර එකක් යොදනවා. සම්පත් ආරියසේන මහතා හදලා දුන්නු කාබනික දියර පොහොර වර්ගයකුත් මම පාවිච්චි කරනවා. මගේ ගොවිතැන, සොබාදහමට ළං කරන්න හැකි තරම් උත්සාහ කරනවා’, ඒ, පියසේනගේ ගොවිතැනේ රිද්මයයි.

ඉපැරණි දේශීය පාරම්පරික වී ගොවිතැනේ වැඩ හවුල්කරුවන් වුයේ මී ගවයන් ය. දැන් කුඹුරු වැඩට හවුල්කර ගත හැකි මී ගව සම්පතක් පනාගොඩ පැත්තේ නැත. එබැවින් පියසේනගේ වී වගා භූමිය මඩ කෙරෙන්නේ ‘අත් ට‍්‍රැක්ටරය’ හෙවත් ‘යකඩ මී හරකා’ යොදා සී සෑමෙනි. වර්තමානයේ ඔහුගේ ගොවිතැන් කටයුතු සඳහා උදව් කරන්නේ ප‍්‍රදේශයේ කෘෂිකර්ම, පර්යේෂණ සහ  නිෂ්පාදන සහකාරවරිය වන එම්. ඒ. වී. ජයන්තිමාලා ය.

පියසේන ගෙවියාට සිය කුඹුරේ දී ‘සොබාදහම’ මුණ ගැසෙන්නේ, මහ පොළොව සුවපත් කරන මෙබඳු ගොවිතැනක නියැලී සිටින අවස්ථාවක ය. එය සිදු වුයේ මීට වසර තුනකට පමණ උඩ දී ය. ඒ වතාවේත් ඔහු දේශීය පාරම්පරික වී වර්ග විස්සක් පමණ වගාකර තිබිණි.

පියසේන ගොවියා ඒ කතාව වචනයට නංවන්නේ මහත් අභිමානයෙනි.

‘මගේ කුඹුරේ අක්කර තුන් කාලක පමණ කොටසක යම් වෙනසක් දැක්කා. මම එතැන වපුරලා තිබුණේ ‘දික් වී’ කියන දේශීය වී වර්ගයයි. ඒත් ඒවා අතර තැනින් තැන අඩි තුනහමාරක්-හතරක් විතර උස වෙනත් වී වර්ගයක් හැදිලා තිබුණා. ඒකේ ‘කරල’ පවා වෙනස්. වර්ණයත් වෙනස්. මේක හඳුනා ගන්න බෑ. අක්කර තුන්කාලට ම තිබුණේ වී කරල් දහසයයි. සෑම ගොයම් ගසකම පුරුක් හතරක් තිබුණා. මම ඒක වෙනම කපා ගත්තා. මේ අක්කර තුන්කාලේ භූමියේ තිබුණේ ‘දික් වී’. ඒ වටේට තවත් කුඹුරු කෑලිවල වෙනත් දේශීය වී වර්ග වගා කරලා තිබුණා. මේක, ඒ හැම එකකට ම වඩා වෙනස්. විවිධ වී වර්ග එක ලඟ පුදින කොට, ස්වාභාවිකවම ඒවායින් අලූත් ප‍්‍රභේද අභිජනනය වෙන බව මම අහලා තිබුණා. ඒත් මගේ කුඹුරේ එහෙම දෙයක් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ’, ඔහු කියයි.

එයින් පසුව මේ අමුතු වී වර්ගය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, රසායන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය පහන් ගොඩකුඹුරගේ ඇසට හසු වන්නේ ය. ඒ, තම ශිෂ්‍යාවක් කළ හඳුන්වා දීම අනුව ය. ඉන් පසුව පියසේන ගොවියා සොයා ගත් නව වී ප‍්‍රභේදය සම්බන්ධයෙන්, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයෙන්  පර්යේෂණ කටයුත්තක් සංවිධානය කෙරිණි. එය අධීක්ෂණය කළේ ආචාර්ය පහන් ගොඩකුඹුර ය. ආචාර්ය ප‍්‍රශාත්න මලවිආරච්චි සහ පී. ඒ. නදිනි තුෂාරා නම් පර්යේෂණ ශිෂ්‍යාව ද ඊට එක් වූහ. නව වී ප‍්‍රභේදය, ‘දේශීය පාරම්පරික වී ප‍්‍රභේද දෙකක් මුහුම් වීමෙන් මූලාරම්භ වූ බව’ ඔවුන්ගේ නිරීක්ෂණය විය.

මේ අතර පියසේන ගොවියා, තමන් සොයා ගත් නව වී ප‍්‍රභේදය ‘ගුරුපියා’ යනුවෙන් නාමකරණය කළේ ය.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ පර්යේෂකයන් වැඩි අවධානයක් යොමුකර තිබුණේ ‘ගුරුපියා’ වී ප‍්‍රභේදයෙන් නිපැයෙන සහලෙහි (බතෙහි) පෝෂණීය සහ ඖෂධීය ගුණාංග හඳුනා ගැනීමට ය. ඒ අනුව කළ හැදෑරීම්වලින් අනාවරණය වූයේ, ‘ගුරුපියා’ සහලේ ග‍්‍රෑම් සියයක කිලෝකැලරි 375ක ශක්තියක් ඇති බව ය. සාමාන්‍යයෙන් නිවුඩු සහල් ග‍්‍රෑම් සියයක ඇති ශක්ති ප‍්‍රමාණය කිලෝකැලරි 360ක් බව පොදු පිළි ගැනීමයි. ඒ අනුව බලන විට, ‘ගුරුපියා’ සහල කැලරි ශක්තිය අතින් ඉදිරියෙන් සිටින බව පෙනී යන්නේ ය.


සහලින් පිසෙන බත, ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේ ජනී ජනයාගේ ද ප‍්‍රධාන ශක්තිජනක ආහාරයයි. ‘දේශීය පාරම්පරික’ හෝ ‘නව වැඩි දියුණු කළ’ සහල් ගත් විට, ඒවායෙහි පිෂ්ඨය (කාබෝහයිඩ්‍රේට්), ප්‍රෝටීන, මේද අම්ල, ඛනිජ ලවණ (සින්ක්) ආදී පෝෂණීය සහ ඖෂධීය සංඝටක ගණනාවක් ම හඳුනාගත හැකි ය. පැරණි දේශීය පාරම්පරික වී ප‍්‍රභේදවල පවතින පෝෂණීය සංඝටක ප‍්‍රමාණය, නව වැඩි දියුණු කළ වී වර්ගවලට වඩා වැඩි බව, කාර්මික තාක්ෂණ ආයතනය 2006 වසරේ සිට කළ පර්යේෂණ මාලාවෙන් හෙළි විණි. ඔවුන්ගේ පර්යේෂණයේ දී නව සහ පැරණි සහල් ප‍්‍රභේද 40ක් සලකා බැලිණි.

කාර්මික තාක්ෂණ ආයතන පර්යේෂණයේ දත්ත සමග සසඳන විට පෙනී යන්නේ, නව ‘ගුරුපියා’ වියෙහි සහලේ ගුණාංග ද, දේශීය පාරම්පරික සහල්වල ගුණාංගවලට බෙහෙවින් සමාන මට්ටමක පවතින බවයි. දේශීය පාරම්පරික සහල්වල සින්ක් සංයුතිය පිහිටන්නේ සියයට 2ත්, සියයට 3.9ත් අතර ය. එහෙත් නව ‘ගුරුපියා’ සහලේ සින්ක් සංයුතිය පවතින්නේ සියයට 4.8ක් තරම් ඉහළ මට්ටමක ය. සින්ක් යනු තුවාල සුව වීම කෙරෙහි බලපාන සංඝටකයකි. ඒ කාරණයේ දී ‘ගුරුපියා’ සහල ඉදිරියෙන් සිටින්නේ ය.

‘සතිඅග අරුණ’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය පහන් ගොඩකුඹුර ප‍්‍රකාශ කළේ, ‘ගුරුපියා’ සහලෙහි සංයුතිය තුළ මිනිස් ශරීරයට හිතකර අසංතෘප්ත මේද අම්ල සියයට 66.8ක් ඇති බවයි.
‘මේ සහල්වල මනුෂ්‍යයන්ගේ ශරීර වර්ධනයට සහ විකසනයට අත්‍යවශ්‍ය ‘ඔලෙයික් අම්ලය’  සියයට 63.5ක් තිබෙනවා. එයින් දේහයේ අහිතකර කොලෙස්ටරෝල් (අහිතකර මේදය) මට්ටම පාලනය වෙලා, හෘද්‍යාබාධ අවදානම අඩු කරනවා’ යයි ද ඇය  සඳහන් කළා ය.

එම්. ඞී. පියසේන ගොවි ක‍්‍රියාකාරිකයා ලියුම්කරුට හඳුන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ පරිසරවේදී වසන්ත විජේවර්ධන ය.

‘පියසේන ගොවියා තම පවුලේ අය ද එකතුකර ගෙන කරන්නේ රජයක් විසින් කළයුතු සංවර්ධන පර්යේෂණයක්. අක්කර තුන් කාලක භූමියක පීදුණු අමුතුම වී කරල් දහසය ඔහු හඳුනා ගන්නේ සිය හත්මුතු පරපුරේ ගොවිකම් දැනුම අනුවයි.  ඔහු මෙය විද්‍යාත්මකව හඳුනා ගන්නත් වෙහෙසෙනවා. මේ සියල්ල සිදු වෙන්නේ රටේ වාසනාවටයි. මේ නව වී ප‍්‍රභේදයේ පේටන්ට් උරුමය පියසේන ගොවියාගේ පවුලට ලැබිය යුතු යයි මම යෝජනා කරනවා’, වසන්ත විජේවර්ධන කියන්නේ ය.

පනාගොඩ පියසේන ගොවියාට, සොබාදහම මුණගැසීම හරිම අපූරු ය.

(මෙම ලිපිය 2019/11/03-ඉරිදා අරුණ පුවත්පතේ පළ විය.)
2019/10/30

%d bloggers like this: