Menu Close

සනීපාරක්ෂක තුවා සහ පෑඩ් මෑන්

ලක්මාල් කුලසේකර සහෘදය ලියල තිබ්බ,  පහළ මම ෂෙයාර් කරපු දේට එකඟ වෙන ගමන් මේ ටිකත් ලියන්න හිතුන. මේ මම මුලින්ම ලියපු  “සියාමා ” පොතට දෙන තල්ලුවක් නම් නෙමේ. මම වැඩි හරියක්ම පොත  දුන්නේ නොමිලේ. සජිත් ප්‍රේමදාස දේශපාලන යෝජනාවක්  හැටියට කතා කරපු  පෑඩ් යෝජනාව  ලංකාසිනිව්ස් වෙබ් අඩවියේ සහ එහි ප්‍රතිචාර දක්වන්නන් ගේ අපහාසයට ලක්වෙලා තිබෙනවා දැක්කා. සජිත් ඒක දේශපාලන යෝජනාවක් හැටියට ගෙනාව එක හරිද වැරදිද කියන්න මම යන්නේ නැහැ. නමුත් මම කැමැතියි  මේක දේශපාලන ෆුට්බෝලයක් කර ගන්නේ නැතිව ප්‍රධාන අපේක්ෂකයෝ හැමෝම ජාතික ප්‍රතිපත්තියක් හැටියට ගන්නවා නම්. ගෝඨාභය කියන්නේ ඇමෙරිකාවේ පවා ජීවත්වුණ නවීනත්වය දන්නා  කෙනෙක්. අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානයක, දුමින්ද නාගමුව වැනි අපේක්ෂකයන්ට  තමන්ගේ යෝජනාවලට ඇතුලත් කරලා නොදියුණු මිනිසුන්ට කියන්න  පුළුවන් මේක හිනා වෙන්න දෙයක් නෙමේ කියල..

“සියාමා” කතාවේ මුළු පවුලක්ම විනාශ වෙලා ගැහැණු ළමයෙක් අනාථ වෙන්නේ නවීන සනීපාරක්ෂක තුවා හෙවත් පෑඩ් ගැන  ගමේ මිනිසුන්ගේ තිබුණු නොදැනුවත්කම නිසා.  නොයෙකුත් ආගමික හේතුන් පවා මුල්වුණා. වර්තමානයේ ලංකාවේ  හෝ වෙනත් ආසියානු රටක මෙහෙම වෙන්න තියන අවස්ථාව අඩු වුනත් නවකතාවට  පාදක කරගත් මේ  සිද්ධිය සත්‍ය එකක් (පස්සේ තියෙන ඒවා මොනවා වුනත්). ඒක මට කියපු තරුණ කාන්තාවට විනාඩි හතලිස් පහක්  පමණ වත් ගතවුනා ධෛර්ය අරගෙන ඒ කතාව  කියන්න .අදටත් හදවත දුකින් මිරිකෙන්න ගන්නවා මතක් වෙනකොට. කරුණාකරලා මේ වගේ ප්‍රශ්න ගැන අපහාස කරන්න එපා.  සජිත් කියන මනුස්සයට ගහන්න වෙන ඕන තරම් දේවල් තියනවා. මම ආයෙත් කියන්නේ අපේක්ෂකයෝ එකතුවෙලා මේක ජාතික තලයට අරගෙන එක යෝජනාවක් හැටියට ගේන්න දියුණු රටවල් වගේ.
මේ තියෙන්නේ පොතේ ඒ කොටස:
“ප්‍රියාන්  එහෙ ගම්  පැතිවල තවත් එහෙමයි.  අපේ තාත්ත අම්මටයි අක්කටයි  ඔසු සල් වල විකුණන ඒවා ගෙනත් දීල තිබුන. ඒක නවීනයි.  හොඳයි කියල. තාත්ත ඒවාට ලජ්ජා වුනේ නැහැ. එයාට  ඕනේ වුනේ අපි නවීන  විධිහට ජිවත් වෙනවා දකින්න.  ඒවා වත්තේ පහල වලක තව කුණු සමග ගිනි තැබීම කලේ තාත්ත. අපිට කුණු විසි කරන්න ක්‍රමයක් නැහැ. අවශ්‍යම  නම් වෙනම තැනක්  තිබ්බ කුණු ගෙනිහින් දාන්න. “

“ඒක  නම් ලංකාවෙත් එහෙමයි. මුළු ආසියාවේම ප්‍රශ්නයක්”. ඇය මෙවැනි කතාවක් අපි අතරට ගෙනාවේ මන්දැයි මට එකවර වැටහුනේ නැත.

“එක දවසක් මොකක් හරි දේකින් ගිනි ඇවිලිලා  නැහැ කුණු කොටසකට. තාත්ත ගිනි තියල වෙන වැඩක් කරන්න ගිහින්. පිච්චිලා  නැතිව  ඉතුරු උන එකක් බල්ලෙක් ඇදගෙන ගිහින් වෙන වත්තකට. දරුණු  රණ්ඩුවක් ඇති වුනා ඒකට . මාස්  ශුද්ධිය වෙන වෙලාව අපලයි කියල විශ්වාසයක් තියෙනවා. ගැහැණු පාවිච්චි කරන රෙදි කෑලි පවා හෝදන්නේ හොරෙන්.  ඒ කාලෙට ගැහැණියක් එළදෙන්නු දිහා  බැලුවොත් උන්ට කිරි එරෙන්නේ නැහැලු. පිරිමියෙක් හරි කොල්ලෙක් හරි  දිහා බැලුවොත් උන්ට උණ හැදෙනවලු. ඒකට  නම් මං  කැමතියි. කොහොමද අපේ බලේ. හික් හික්. ” අස්වාභාවික අන්දමට ඇය සිනා සුනාය.

—අජිත්

ආදරණීය දෙපක්ෂයේම මිත්‍රවරුනි,

මට නම් මේ යෝජනාව ඉදිරිගාමීය. දුප්පත් ග්‍රාමීය පාසල්වල දැරියන්ට, ඇඟලුම් කර්මාන්තශාලාවට මේවා නොමිලයේ හෝ අඩුමුදලට ලබාගත හැකි මැෂින් සවිකර හැකි නම් අගනේය. දුප්පත් පවුලක දියණියකට අම්මා කෙනෙකුට ඇත්තටම සනීපාරක්ෂක තුවා සඳහා යන වියදම දරන්නට අසීරු බව ඇත්තය.

එය පිළිගැනීම දේශපාලන වශයෙන් අනිත් පාර්ශ්වයට වාසිදායක යැයි සිතන මානසිකත්වය අප වෙනස් කර ගත යුතුය. ඒ වාගේම එය විහිලුවකට ලක් කිරීම වැදගත් ශිෂ්ඨසම්පන්න ක්‍රියාවක් යැයි මා සිතන්නේ නැත. ඒ වාගේම මේ යෝජනාව ගෙන ආවා කියා යම් අපේක්ෂයෙකුට පට්ට ඉදිරිගාමී ලිබරල් සලුපිලි අන්දන්නට යාමද උගුරට හොරා බෙහෙත් කෑමක් බව එය කරන මගේ උගත් මිත්‍රයන් තේරුම් ගත යුතුය.

මේ සම්පූර්ණ සනීපාරක්ෂක තුවා කතිකාව තුල මා නම් දකින්නේ දේශපාලනය උග්‍ර ලෙස ධ්‍රැවීකරණය වීමේ අර්බුදය පමණි. මෙය ලංකාවට මතු නොව ලෝකයේ සමහර රටවලටද ඇත්තය. ඇමරිකාවේ පවා මේ තත්ත්වය එසේය. තමන් සහය පළ කරන අපේක්ෂකයා කරන ඕනෑම වැරැද්දක් සාධාරණීකරණය කරන්නටත් ඔහු දේවත්වයට නංවන්නටත් ප්‍රතිපාර්ශ්වය කරන හෝ කියන ඕනෑම දෙයක් ගර්හාවට ලක්කරන්නටත් ඔවුන් පහත හෙලන්නටත් අප තුළ තියෙන පුරුද්ද කැතය. වෙනස් කරගත යුතුය.

සියයට සියයක් හරි හෝ වැරදි කිසිවක් නැති මිනිස්සු නැත. මමද ඔබද එසේ නැත. එසේ හෙයින් තමන් සහාය දෙන අපේක්ෂකයාද එවැන්නෙක් යැයි සිතා ගැනීම ප්‍රඥාගෝචර නොවේ. එලෙස යම් අයෙකුට ආරෝපණය කරන්නට යාමද නුවණැති වැඩක් නොවේ. දැන දැන එසේ කිරීම ආත්ම වංචාවකි. අප මේ ඇත්තට මුහුණ දෙන්නට පුරුදු විය යුතුය. ඒ අතරම පවතින ‘හොඳ ප්‍රමාණය’ ක්‍රම ක්‍රමයෙන් වැඩිකරන්නට වැඩ කළ යුතුය. ඒකට උත්තරය සාපේක්ෂව හොඳ මිනිස්සු දේශපාලනයට එකතු වෙන එකය. ‘ඊයා’ කියන එක නොවේ.

රටක් දියුණු කරන්නට නම් දියුණු ශිෂ්ඨසම්පන්න මනැස් ඇති ඕනෑම ප්‍රශ්නයක් වැදගත්ව කතා කරන්නට පුලුවන් මිනිස්සු සිටින්නට ඕනෑය. එහෙම මිනිස්සු ගෝඨාභය පාර්ශ්වයටත්, සජිත් පාර්ශ්වයටත්, අනුර පාර්ශ්වයටත් කියන තුන්ගොල්ලටම සිටින්නට ඕනෑය. රට හොඳ තැනක් වන්නේ එතකොටය.

ලක්මාල් කුලසේකර
%d bloggers like this: