Menu Close

ශ්‍රී ලංකා not Vs England – පළමුවෙනි කොටස

මොකක් වුණත් මගේ දිවිසැරිය නම් හරිම විචිත්‍ර; සංකීර්ණ ……..
ජීවිතය මහා පුදුමාකාර දෙයකි. හිතාදර රසික ඔබට කොහොම වෙතත් මට නම් එහෙමය. අපේ ජීවන ගමන් මඟ තීරණය කරන්නේ කවුද? අදෘශ්‍යමාන කෙනෙකු හෝ බලවේගයක් හෝ විසින්ද… දෛවය හෝ කර්මය හෝ විසින්ද?
මොකකින් වුණත් මගේ දිවිසැරිය නම් හරිම විචිත්‍ර; හරිම සංකීර්ණ වියමනකි.
එය කොටස් කරමින් වුවද ලිවීමත් ලෙහෙසි නැත. ලේසි නැත්තේ ලියන එක නොවේ; පෙළ ගස්වා ගැනිල්ලය! 

අද කියන්නට යන කතාවත් එහෙමය. එහි එක තැනක් හෝ; එක link එකක් හෝ මිස් වුණා නම්; වෙනස් වුණා නම්….. අනිවා, අපේ ජීවිත කතන්දරයත් අදට වඩා වෙනස් වෙනවාමය.

ඔහු! ඔහු උපන්නේ 1902 අප්‍රේල් 29 වෙනිදාය. දුප්පත් බර්ගර් ජාතික පවුලක හයවෙනි දරුවා විදිහටය. කොච්චර දුප්පත්දැයි කියතොත් ‘ඩච් බර්ගර් සොසයිටි’ එකෙන් ලැබුණු රුපියල් දෙකේ මාසික දීමනාවත් ඔහුට මහමෙරක් විණි.

දුප්පත් බර්ගර් ජාතික පවුලක හයවෙනි දරුවා විදිහට ඉපදුණු ඔහු………..
අකුරු කරන්නට මේ හාදයා කොළඹ රාජකීය විද්‍යාලයට ගිහින් තියෙන්නේ සපත්තු දෙක අතේ අරගෙනය. ඒ ඒවා ගෙවෙන හින්දාය. ඉස්කෝල ගේට්ටුව ළඟදීලු ඔහු සපත්තු දමාගත්තේ. 

එච්චරට අරපිරිමැස්මෙන් වැඩ කළ; අන්ත දුගී තත්වයක හිටි ඔහු පසු කාලයක ‘සමස්ත ආසියාවේ හොඳම විනෝදකාමියා’ යන විරුදාවලියට හිමිකම් කිව්වේය.

බඹරය වැල්ලේ ගැහුවත් කැරකෙන්නේ වාසනාවන්තයා වෙනුවෙන්ලු. මේ lucky 6 පුතණ්ඩියා වතාවක් එංගලන්තයේදී ‘බෙන්ජමින්’ නම් අශ්වයෙකු වෙනුවෙන් පවුම් පනහක් ඔට්ටු ඇල්ලුවේලු. ඒ වෙනුවෙන් මිනිහාට අත්වුණු දිනුම පවුම් 25,000කි. 
දෙවැනි ලෝක යුද්ධයත් මෙයාගේ වාසියට හිටි බවය පෙනෙන්නේ. 

ලංකාවේ ගායක-ගායිකාවන් පිරිසක් එක්ක ඉන්දියාවට ගිය මේ මනුස්සයා විනෝද ප්‍රසංග ඉදිරිපත් කළේය; ඒ නගරවල නොවේ. මහ කැලෑ මැද්දේ තිබුණු හමුදා කඳවුරුවලය. ඒ තැනකදී මවුන්ට් බැට්න් සාමිවරයා දැන හඳුනාගන්නට ලැබීම ඔහුට වාසනාව ගෙනාවේය. 

ලොකු-ලොක්කන්ගේ හොඳහිත දිනාගත්තොත් වරදින්නේ නැති එක එදාට වගේම අදටත් පොදු සත්‍යතාවකි.

අවුරුදු විස්ස වෙනකොටත් ඇය බ්‍රිතාන්‍ය සමාගමකින් නිපදවූ ‘Caravan’ චිත්‍රපටයේ…..

ලංකාවේ හමුදා භටයන්ගේ විනෝදාස්වාදය පිණිස Red Tails Minstrels සංගීත කණ්ඩායම ගෙන්වන්නෙත් ඒ දැනහැඳුනුම්කම්වල පිහිටෙනි. ඒ කණ්ඩායමේ ප්‍රධාන ගායිකාවත් ලංකාවේ උපන්නියකි.

අවුරුදු විස්ස වෙද්දීත් ඇය චිත්‍රපට නිළියකි; යුරෝපාකරයේ ප්‍රකට ගායිකාවකි.

ගායන කොන්ත්‍රාත්තුව අතරේම දෙන්නා අතරේ ප්‍රේමයකුත් දලු දමමින් තිබිණි. එතකොටත් විවාහවී සිටීම ඔහුට බාධාවක් නොවිණි. පළමු බිරියගෙන් දික්කසාද වුණු Donovan Andree විනෝදකාමී ධනපතියා, තමාට වඩා අවුරුදු 24ක් බාල Erin de Selfa යුවතිය විවාහ කර ගත්තේය. 

ඒ දෙන්නාගේ කසාදය පසු කාලයක ‘දික් වුණා’ය කියන්නේ ලෝකයම හිනස්සමිනි. උසාවිවල දිග හැරෙන්නට ඇත්තේ තහනම් ප්‍රේම කතන්දරය. දික්කසාදයට හේතුව ‘අනාචාරයේ හැසිරීම’ය.

එරීන් ද සෙල්ෆා විවාහ වුණේ ඩොනවන් ඇන්ඩ්රී විනෝදකාමී ව්‍යාපාරිකයා සමඟිනි…. 
කොහොමින් හරි ඔය; මේ සිදුවීම් අපේ දෛවයටත් බලපෑ හැටි නම් අපූරුය!

අපේ කිසිම කෙනෙකුගේ කැමැත්ත නැතිවම අම්මා 1976 එංගලන්තයට ගියාය. තිරීස් මිසී ළඟට ගියාය. ඒ තාත්තාගේ මරණයෙන් මාස කිහිපයක් ඉක්ම යද්දීය. 
ඒ බව කියැවුණු ‘මෝස්‌තර එක්ක හත් වසරක්’ පෝස්ටු පෙළ දැන්ම නිමා කරන්නට ඉඩක් නැත. ඊට පස්සෙත් දීපානි බතික් ව්‍යාපාරය කරගෙන ගිය නිසාය. 

ඊට සමාන්තරවම අම්මාගේ එංගලන්ත ගමන ගැනත් කියන්නට වෙයි. ඊට හොඳම විදිහ මේකය; අලුත් පෝස්ටු පෙළක් ලියන එකය.

පවුල, නෑසියන් හා රටත් එපා කියා උඩ දමාගෙන තිරීස් මිසී ළඟට ගියත් අවුරුද්දෙන්- දෙකෙන්ම අපේ අම්මාට එයාව එපා වෙන්නට කරුණු යෙදුණා වගෙය. 

“ඉස්සර වගෙ නෙවෙයි. තිස්සෙම අම්මයි දුවලා දෙන්නයි රණ්ඩු වෙච්ච ගමන්. ඒ මදිවට තිරීස් මිසී හරියට බොන්නත් පුරුදු වෙලා…..” 
පස්සේ කාලයකය, අම්මා ඔහොම වුණත් අපට කිව්වේ. 
ඒ දවස්වලම ඒවා නොකියන්නට ඇත්තේ කරගත් මෝඩකම හෙළි වෙනවාට අකැමැත්තෙන් වෙන්නෝනිය.

ඒ අස්සේ තිරීස් මිසී ආයෙමත් ලංකාවට පදිංචියට එන්නටත් හිතමින් හිටියාලු. 

“දුවලා දෙන්නා නං කීයටවත් ඒකට කැමති වුණේ නැහැ. ළමයින්ට එහෙ වගේ කොහෙද ලංකාවේදී නිදහසක්…..” අම්මා කිව්වාය. ඒ 1985දී මං එංගලන්තයට ගියාමය. 

1976 අපේ අම්මා එංගලන්තයට ගිය කිට්ටුව……
“දැන් අපේ අයටත් වෙන්නේ ඒ ටිකම තමයි. අම්මා තාත්තටවත් ළමයෙකුට ගහන්න බනින්න බැහැ. සැරෙන් අවවාදයක් දෙන්න බැහැ. ළමයෙක් පොලිසියට කිව්වොත් එයාලා ගන්නෙත් ළමයාගේ පැත්ත…..”

ඒ පෙරමඟ ලකුණු මටත් පෙනෙමින් තිබිණි. 

“අම්මේ, චූටිලා මෙහාට ආවාම, මෙහෙ ළමයි එක්ක ඉස්කෝලේ ගියාම, එයාලා එක්ක ආස්සරේට වැටුණාම මෙහෙ විදිහට හැදෙන්නත් පටන් ගන්නවා. අම්මා තාත්තගේ අඩංගුවේම ඉන්නෙ නෑ. එංගලන්තේ හොඳයි වගේම ඔහොම නරකත් තියෙනවා…. අපේ රටෙත් සේරම හොඳයැ.”

මං කිව්වේ අම්මාගේ හිත හැදෙන්නටය. “ඉතින් තිරීස් මිසී ආයෙම ලංකාවට ගියාද, දුවලා දෙන්නා නැතිව?”

“ගියා. ආරංචියක් නං නැහැ.”

පසු දවසක ඒ මනුස්ස දෝනිය ගැන අවසාන ආරංචිය අම්මාට කිව්වේ මාය. පත්තරයකින් දැකලාය. ඇය ලේ විලක් මැද මැරී වැටී හිටියාලු. මරණ පරීක්ෂණයෙදී හෙළිවී තියෙන්නේ එය මිනීමැරුමක් නොවෙන බවයි. 
“තිරීස් මිසී හොඳටම බීලා පිහියකින් එයාවම කපාගෙනලු, අම්මේ…. මනුස්සයගෙ මරණෙටවත් ගිහින් එන්න තිබ්බා කලින් දන්නවා නං…. පස්සෙයි පත්තරේක විස්තර තියෙනවා දැක්කේ.”

“ඒ මනුස්සයාට තදටම කේන්ති ගියාම එහෙම තමයි. යකින්නි වගේ. දුවලා දෙන්න වුණත් අම්මා ළඟට එන්න බැහැයි කියන්න ඇත්තේ ඒකයි.”
ඉස්සෙල්ලාම බදුල්ලට කෝච්චිය එන දවසේ අපේ සීයලා තණකොළ මිටිත් අරන් ස්ටේසමට ගියේ…….
පව්! ‘ඉස්සෙල්ලාම බදුල්ලට කෝච්චිය එන දවසේ අස්සයන්ට දෙන්නට තණකොළ කපාගෙන ආවා’ය කියූ රහුබැද්දේ විදානෙලාගේ කිරිවන්තේ උන්දෑගේ බින්තැන්නේ දියණියව එංගලන්තයට ගෙන්වාගත් තිරීස් මිසී මියැදුණේ- උපන් රටෙනුත් ඈතක තනිවී, හුදෙකලාවෙන්ය. 

Holiday on Ice නැටුම් ප්‍රසංගය ලංකාවට ගෙන්වූ ඩොනවන් ඒ සඳහා අයිස් කුට්ටිත් පිටරටින්ම ගෙන්නුවේය. 
හුලා හුප් නැටුම්, ටොම් බෝලා- snow boll වගේ නොරට ක්‍රීඩා පවා ගෙන්නුවත් ඩොනවන්ට එංගලන්තය ඇල්ලුවේ නැතිවා වෙන්නැතිය. 
එරීන් එංගලන්තයේම පැලපදියම්වී හිටිද්දී ඩොනවන් ඇන්ඩ්රී ලංකාවේ හිටියේය.

Erin එංගලන්තයේදී නෙරී ෆර්නැන්ඩස් නම් දක්ෂ පියානෝ වාදකයෙකු හා නැවත විවාහවී එහේම බින්න බැස්සාය. ‘ආන්ටි එරීන්’ අපේ අම්මාට හමුවී තියෙන්නේ තිරීස් මිසී හරහාය. ඒ දෙන්නා හිතවතියන්ව හිටියාලු.

“ලීලාට ආයෙම ලංකාවට යන්නේ නැතිව ඉන්න නං කරන්න තියෙන්නේ සුද්දෙක්ව බැඳගන්න එක!”
ආන්ටි එරීන් තැනේ හැටියට ඇනේ ගහන්නට සමත්, අතිදක්ෂ කාන්තා රත්නයකි!
එරීන් ඩි සෙල්ෆා මැතිනිය ආර්.වී. ලීලාවතීට ඒ උපදේශය; ඒ බ්‍රිලියන්ට් idea එක දෙන්නට ඇත්තේ ඇය ලබා තිබුණු අත්දැකීම් අනුව වෙන්නට ඇති කියලාය මට හිතෙන්නේ.

මා තේරුම් ගත් විදියට ආන්ටි එරීන් තැනේ හැටියට ඇනේ ගසන්නියකි. අතිදක්ෂ කාන්තා රත්නයකි!

“නිමල්…. දවසක් හරි වැඩක් වුණානෙ ළමයෝ. 
High speed ගිහින් මාව නැවැත්තුවා…..මං ටිකාක් බීලත් හිටියේ. ගෙවල් ළඟ තැනක හින්දා drive කරගෙන ගියෙත්. මාව නවත්තපු officer තරුණ හාදයෙක්…. 
පොලිස් ඔෆිසර් කාර් එක ළඟට එද්දී…. මං මෙහෙම ගවුමේ කර පහතට ඇදලා, මං ලොකු වැරැද්දක්ද කළේ කියලා sexy talk එකක් දුන්නා… ඌ මට යන්න දුන්නනේ.” 

ගවුමේ කර පහතට ඇදලා, බ්රෙස්ට්ස් පෙනෙන්න ඇරගෙන සෙක්සි talk එකක්….
මට ඇය ගැන මතක තියෙන්නේ ටිකක් විතරය. හැබැයි, හැටට කිට්ටු කරලා හිටියත් ආන්ටි එරීන් එතකොටත් බෙහෙවින්ම ප්‍රසන්නය; activeය.

“දන්නවද…. ලන්ඩන් ඇල්බට් හෝල් එකේ ඉස්සෙල්ලාම සිංදුවක් කියපු ලංකාවේ කෙල්ල මමයි. එදා මං ‘දන්නෝ බුදුන්ගේ song එක’ sing කළාම ….. මගේ අම්මේ චියර් එක….”

එංගලන්තයේ අරටු සුද්දෙකුවූ Cecil Fedrick Schroeder ආන්ටි එරින්ගේත්, නෙරීගේත් හිතවතෙකි. බිරියගෙන් දික්කසාදවී හිටි සැසිලුත් ඒ දවස්වල තනිකඩ දිවියක් ගෙව්වේය. දික්කසාද බිරිය එක්ක එයාගේ කිසිම පයුරු පාසනයක් තිබුණේ නැත.
“සැසිල්ට එක පුතෙක් ඉන්නවාලු. මමවත් එයාව දැකලා නැහැ. දකුණු අප්‍රිකාවේ ඉන්න අක්කා ඩොරතියි මහත්තයයි නං ළඟදිත් මල්ලිව බලන්න ඇවිත් ගියා.” 

අම්මාගෙන් කියවුණේ ඒ දවස්වලය.

ඒ දවස්වල දැනගත් තොරතුරු කියනවා මිස, අලුතින් අපේ අම්මාගෙන් විස්තර අහන්නට මා අකැමැතිය.

දැන් අපේ අම්මාට 82කි. සමහර දේවල් අමතකත් වෙනවාලු!
දැන් අම්මාට අවුරුදු 82කි. 
“මට දැන් ගොඩක් දේවල් මතකයේ හිටින්නේ නැහැ රංජි.” අම්මා කියයි. 

වයසත් එක්ක එහෙම වීම සොබාවිකය. හැබැයි එහෙම මතකය අවුල් වෙන්නේ මෑත අතීතය ගැනය. දොස්තර මහත්වරුන් කියන්නේ ඈත අතීතයේ දේවල් සිහිපත් කිරීමේදී අවුලක් නැති බවයි. ඒත් අපේ අම්මා අතින් ඒවාත් ඉබේම වාගේ විකෘති වෙයි!

හැබෑටම ඒක ‘සිංගලියාගෙ’ හැටියක් වෙන්නටත් ඉඩ තිබේ. 

මේ දවස්වල එක-එක්කෙනා තමන් කැමති අයට කඩේ යන්නේ ඊයේ-පෙරේදා වෙච්චි දේවලුත් අමතක හින්දාය. රටේ ඉන්නා බහුතරයක් පුරවැසියන්ටත් එහෙම අමතක වෙලාය කියලා හිතන හින්දාය. 
එංගලන්තයේ අවුරුදු 43ක් හිටියත් අපේ අම්මාට සිංහලත්; සිංහලකමත් මතක නැති වෙලා නැහැනේ…

ඒකද…. නැත්තං….

වෛද්‍ය මතය මොකක් වුණත්, මගේ මතය මේකය. අපේ අම්මා කැමති සිදුවුණු දේවල් එහෙමම කියන්නට නොවේ. මං සුදනා වෙලා කියන්නටය. 
තවමත් මගේ මතකය හොඳ හින්දා මට ඒවා අහුවෙයි. ඒක අම්මාත් දනියි. ඒ නිසාම මං ඉන්නා තැනකදි නම් පරණ පට්ටන්දර දිග හරින්නේ අඩුවෙනි.

1979 මාර්තු 21 අම්මා Cecil Fedrick Schroeder හා විවාහ වුණු දවසේ……

“උඹලගේ අම්මා ඒ දවස්වල ලස්සනයි වගේම කඩිසරයි…. තනියම ඉඳලා මටත් ඇතිවෙලා තිබුණේ. ලීලාටත් තිරීස්ලගේ ගෙදරින් යන්න ඕනේ වෙලා හිටියේ…. මට එරීන් කියලා තිබුණේ ලීලා ගැන.”


“අනේ සැසිල් බොරු නං කියන්න එපා. එරීන් කැමති වෙයියැ ඔයා මාව බැඳලා එහෙන් යනවට. ඊට වැඩිය එයාට වාසියිනේ ඔයා එහෙ කාමරයක් කුලියට අරන් ඉන්න එක. ඔයා ගෙදරක් ගත්තොත් ඒ ආදායමත් එයාට නැති වෙනවනෙ.”

“ඔය උඹලගේ අම්මගේ මනස්ගාත, නිමොල්!”

කවුරු ඇත්ත කිව්වාද කියා දැනගන්නේ කොහොමද? “හැබැයි, එහෙදී මෙයාගේ කමිසයක ගැලවෙච්ච බොත්තම් වගයක් අල්ලන්න දීලා තමයි මෙයා මාත් එක්ක කතා කළේ. ඒකට නං පවුමක්ම දුන්නත් එක්ක ලෝස් නැතිව.”

එහෙම කළේ අනුකම්පාවෙන් බවයි ඩැඩා කිව්වේ. අම්මා නම් කිව්වේ ‘යාළුවෙන්න හිතාගෙනයි’ කියලාය.

මෙයා මාව බඳින්න කැමති වුණේ………..
විශ්‍රාම යන්නට පෙර Stock Broker කෙනෙකු; කොටස් වෙළෙඳපොළ තැරව්කරුවෙකු ලෙස කටයුතු කළ ඩැඩා ඒ දවස්වල නං හිටියේ රජෙකු වගේලු. 
“අනේ…. ඒ ඉස්සරනෙ රංජි. මෙයා මාව බඳින්න කැමති වුණේ එතකොට කවුන්සිලෙන් ගෙයක් ඉල්ලාගන්න ලේසි වෙන හින්දා….”

“ලීලා මාව බඳින්න කැමති වුණේ එතකොට එංගලන්තේ සිටිසන්ෂිප් එක ගන්න පුළුවන් හින්දා….. ලංකාවට නොගිහින් මෙහෙම නවතින්න ඕනේ වුණු හින්දා.”

මෙච්චර දුරක් කියාගෙන ආවාට පස්සෙය මතක් වුණේ. ඔවැනි කතාබහ කෙරුණේ ඉංග්‍රීසියෙනි. ඩැඩාට මැරෙන තුරුමවත් සිංහල ඉගෙන ගන්නට බැරි විණි. දැනගෙන හිටියේ එකම වචනයකි. ‘පිස්සු’ විතරය. 

ඒ අතින් බලද්දී ඩැඩාගෙ step sonගේ; අපේ දීපාල්ගේ බිරින්දෑ ‘පීයා’ ටිකක් විතර දියුණුය. දැන් සිංහල වචන දහයක් විතර දන්නවා වගෙය.

හරිම ලස්සන අපේ අම්මාත්, පීයාගේ අම්මා; නෝනාත් (ඒ එයාගේ නමයි.) දෙන්නා කතාවට වැටුණාමය.

පීයාගෙ පවුලේ අයත් එක්ක…. මැදින් ඉන්නේ නෝනාය. (2014.10.4)
අම්මා හිතාගෙන ඉන්නේ එයාට ඉංග්‍රීසි පුළුවන්ය කියලාය. 

ඒත් හරිහැටි ‘කඩුව’ දාන්නට නොදන්නා මට වුණත්, අදටත් අම්මාගේ ඉංගිරිසිය හරියටම තේරෙන්නේ නැත. ඩැඩා නම් ඒකට කිව්වේ ‘මම්බෝ-ජම්බෝ’ කියලාය. 

අපේ අම්මා එක්ක කතාවකට වැටුණාම පීයාගේ අම්මා කතා කරන්නේ නැතිම තරම්ය. අහගෙන ඉන්නවා විතරය.

“පීයා…. අපේ අම්මා කියන දේවල් සේරම ඔයාලගේ අම්මට තේරෙනවද?”

දවසක් මම පීයාගෙන් ඇහුවේ ඒ දෙන්නාගේ සංවාදයක් බලාගෙන ඉඳලාය. කට පියාගෙන ඉන්නට බැරිම තැනය. “පේන්නේ නැද්ද ලොකූ? අපේ අම්මා ඔය අපූරුවට අහගෙන ඉන්නේ.” පීයා දුන්නු උත්තරය තේරුම් ගන්නට මං මෝරලා මදි වගෙය.

“ඉතින් අම්මලා බැන්දට පස්සේ කවුන්සලෙන් ගෙයක් හම්බ වුණාද?”

“ගෙදරකට ඉස්සෙල්ලා ලීලාට ඕනේ වුණේ මෙහෙ සිටිසන්කම අරගන්න.”

දවසක් අපි හැමෝම පිහිනුම් තටාකයකට ගියෙමු. ඒකට ටිකටුත් ගන්නට ඕනෑනේ….
එතැනදී නම් ඩැඩාගෙ උගත්කම සෑහෙන්නට උදව් වුණා වෙන්නම ඕනෙය. 

ඕනෑම තැනකට ගිහින් වැඩක් කරවාගන්නට මනුස්සයා දැනගෙන හිටියේය. එංගලන්තයේ වුණත්, ලංකාවේ වුණත් වෙනසක් නැත. උපාය දන්නෝ අපායේ නොවැටෙන්නෝය.

කොතැනකට හරි ගිය ගමන්ම සුබ පතලා, හිනාවෙලා, තැනට ඔබින විදිහට විහිළුවකුත් කරලා ඉන්නට මනුස්සයා දක්ෂයෙකි. 1985 එහාට ගියාම දවසක් අපි පිහිනුම් තටාකයකට ගියෙමු.

ටිකට් කවුන්ටරයේ හිටියේ වියපත් ලලනාවකි. “ටිකට් කීයක්ද?” ඇය ඇසුවාය.

විහිළුවෙන්ම අප පෙළගැස්වූ ඩැඩා ‘Now, You can count my love!’ කියමින් වටයකුත් කැරකිලා රැඟුවේය. ඒකට රැවටිලාද, එහෙමත් නැතිනම් කන්නාඩි දෙක දමාගන්නට අමතක වෙලාද මන්දා….. 
අර බවලතිය full තුනකුත් half හතරකුත් කැඩුවාය. 
එතකොට අවුරුදු 31ක් වුණු මටත් අයකොට තිබුණේ බාගයකටය.

පස්සේ ඒ සිදුවුණු ලාබය ගැන කියමින් හිනාවුණා මිස, සුද්දෙකු වුණත් අපේ ඩැඩා වැරැද්ද නිවැරැදි කරන්නට ගියේ නැත.
1985 අම්මලාගේ Council flat එක ඉදිරිපිටදී (වමේ සිට)- අනිල්, සමන්ති, ඩැඩා, දීපානි, දීපාල්, අම්මා හා මං…
ඩැඩාගෙ ඔහොම සමර්ථකම් නිසාමදෝ අම්මාට හිරු නොබසින අධිරාජ්‍යයේ පුරවැසිකම හිමිවුණේ පමාවකින් තොරවමය. Council Flat එකක් එයාලාට ලැබුණේත් එහෙමය.

අපේ අම්මා එංගලන්තයේ සිට අපට පළමුවෙනි තෑග්ග එව්වෙත් ඊට පස්සෙය! ඒ…..
%d bloggers like this: