Menu Close

ඌව කුඩාඔය මතක…

දැනට මාස කීපයකට කලින් අපට අවස්ථාව ලැබුණා සුවිශේෂී පුහුණු වැඩසටහනකට සහභාගි ‌වෙන්න. නායකත්වය සහ කණ්ඩායම් ‌ගොඩනැගීම ගැන ඒ පුහුණුව තිබුණෙ, ඌව කුඩාඔය ‌කොමාන්ඩෝ පුහුණු මධ්‍යස්ථානයෙ.

අපි එතනට යනකොට ‌බිං කරුවල වැටිලා. ඒ වුණත් අපිව වැදගත් විදිහට පිළිගෙන, පුහුණු මධ්‍යස්ථානය ගැන, අපේ පුහුණු වැඩසටහන ගැන, කාල සටහන, ක්‍රියාකාරකම්, ඇඳුම් පිළිවෙල… ඔය හැම ‌දෙයක් ගැනම අපිව දැනුවත් කළා, එතන ප්‍රධානියා විදිහට කටයුතු කළ නිලධාරියා. ඔහු ඉතාම ආචාරශීලී, වැදගත් ඒ් වගේම ‌ගුප්ත මහත්මයෙක්.

ගිය ගමං අපි උණුසුම්ව පිළිගත්තා

අපි එතන හිටියෙ දවස් හයක් විතර… ඒ දවස් හයෙන් පහකදිම අපට උදේ හයට පටන් ගත්ත ශාරිරික අභ්‍යාස  තිබුණා. දවස් ‌‌දෙකක් (මට මතක හැටියට) ‌යෝගා ව්‍යායාම තිබුණා. අනික් දවස් වල සාමාන්‍ය ව්‍යායාම. ඒ හැම ක්‍රියාකාරකමක්ම කළේ, කඳවුරේ තිබුණු උස ගල්තලාවක හදපු ‌කොන්ක්‍රීට් ‌වේදිකාවක් උඩ. සුවදායක පරිසරය සහ ඉර උදාවේ සුන්දර දර්ශනයක් එක්ක…

සූර්ය නමස්කාරම්…

අපි කණ්ඩායම 47 ‌දෙනෙක්… අපිව 12 – 11 කණ්ඩායම් වලට ‌බෙදලා, එක් එක් කණ්ඩායම්වලට සම්බන්ධීකාරකයන් විදිහට හමුදාවේ පුහුණුකරුවන් ලබා දුන්නා. උදේ ව්‍යායාමවලින් පස්සෙ, උදේ ආහාරය. ඊට පස්සෙ අපි කණ්ඩායම් විදිහට සම්බන්ධීකාරකයන් එක්ක, පුහුණු මධ්‍යස්ථානයේ ඒ ඒ තැන්වලට ගිහින්, අපට ලෑස්ති කරලා තිබුණු එක් එක් ක්‍රියාකාරකම්වලට සහභාගී වුණා. ඒ ක්‍රියාකාරකම් සම්පූර්ණ කරන්න පුළුවන් වුණු ආකාරයට අපට ලකුණු දුන්නා. ඒ ලකුණු මත අපේ කණ්ඩායම් අතර තරගකාරීබවක් ඇතිවුණේ අපටත් ‌නොදැනීම. ඒක එක ‌වෙලාවකට අපිි සමහර ‌දෙනාට මහ කරදරයක් විදිහටත් දැනුණා.

ඔය ක්‍රියාකාරකම්වලදි අපේ කණ්ඩායමේ පරණමාන අයියා හොඳ යෝජනාවක් කළා. දවසකට එක්කෙනක් නායකයා විදිහට පත් කරනවා. නමුත් ක්‍රියාකාරකමක් කරද්දි ඒක ගැන හොදටම තේරෙන තැනැත්තාට නායකත්වය දීලා එයාගෙ කමාන්ඩ් එකට කටයුතු කිරීම වැදගත්. අපේ කණ්ඩායම වැඩ කළේ ඒ විදිහට. අපි කරපු එක ක්‍රියාකාරකමක් හැරුණාම අනිත් හැම එකක්ම ලීඩ් කළේ පසිඳු.

අපේ කණ්ඩායම
“ටූ සීරෝඕඕඕඕ…!!!”
ඉදිරිපෙළ – මුදිතා, පසිඳු, මම, ප්‍රසන්න
පසුපෙළ – හිමාලි (නායිකාව) භාෂණි, කරන්, පරණමාන, සුරේන්, කිරුබා, රුවනි, ඩිලක්ෂිණි

ඒ වගේම තවත් ක්‍රියාකාරකම් තිබුණා අපට සමහරවිට ජීවිතේටම ‌නොලැබෙන අන්දමේ. අඩි විස්සකට වඩා උස බිත්තියක් වගේ කෙලින් ගලකින් ලණු ‌දෙකක ආධාරයෙන් බිමට බැසීම, අඩි පණහකට වැඩිය උස ‌ගොඩනැගිල්ලකින් ලණුවක ආධාරයෙන් බිමට බැසීම, කුඩාඔය වැව හරහා ඇදපු ලණුවක් දිගේ කප්පියක ආධාරයෙන් යාම වගේ ක්‍රියාකාරකම්…

බෲහී මං – ගල මුත්තමං…

ඔන්න ඔය ලනුව දිගේ යද්දි අපේ සුභාස්ට හරි වැඩක් වුණා. ඇඟ හරහා දාපු හානස් එක නම් පටි ගොඩකට එයිට් ඩිසෙන්ඩර් නමින් හැඳින්වුණු බකල් එකක් දාලා, ඒක ලණුවට දාපු කප්පියට හයි කරනවා. ඉතින් කුඹුක් ගහක් උඩ හයිකරපු ඉහළ අට්ටාලයෙ ඉඳන් ඔය කියන උපාංග හයිකරගෙන කකුල් දෙක උස්සගත්ත ගමං බබා වගේ ලණුව දිගේ එහා ඉවුරට යනව. සුභාස් මම හිතන්නෙ අට්ටාලෙන් පැන්නා. ඒ පැනීමෙන් ඇතිවුණු සෙලවීම නිසා ලනුවෙ මගක් දුරකදි කප්පිය පොඩ්ඩක් අහකට පැනලා කොල්ලා ඉද්ද ගැහුවා වගේ නතර වුණා.

Saving Cadet Subhas…

කමාන්ඩෝවරු අතරෙ එක පුහුණුකරුවෙක් හිටියා, බැලූ බැල්මට අවුරුදු විස්සක විතර යන්තම් රැවුලවත් ඇවිත් නැති බෙහොම කෙට්ටු තරුණයෙක්. නමුත් අපි හැම තැනකදිම එයාගෙ දක්ෂතාව අපි දැක්කා. අර කලින් කියපු ගළ දිගේ පහළට බහින අස්ථාවෙදිත්, එයා එක හුස්මට ලණුව අල්ලගෙන බොහොම වේගයෙන් ගල දිගේ ඉහළට නැගලා, ඒ වේගෙන්ම ආපහු පහළට බැස්සා.

ඔන්න ඔය තරුණයා අර කඹේ දිගේ එල්ලි එල්ලි ගිහින්, සුභාස් හිටපු තැනදි කඹේ උඩ ඉඳගත්තා. ඉඳගෙන, එයා අරං ගියපු කප්පියක් දාලා, තවත් එයිට් ඩිසෙන්ඩරයක් ගෙන්නගෙන ඒකෙන්, සුභාස්ව අලුත් කප්පියට මාරු කරලා, අනික් කප්පිය සකස් කරගෙන පහළට අරගෙන ගියා. ඔය වැඩේට පැය බාගයක්වත් ගියා, මම ඔය වාක්‍ය දෙකෙන් කිව්වට.

මේ කියපු ‌දේවලට අමතරව තව ඉතාම මනස්කාන්ත ක්‍රියාකාරකම් තිබුණත් ඒ ගැන මට කියන්න විදිහක් නෑ. ‌මොකද කියතොත්, ‌මේ පුහුණු වැඩසටහන කමාන්ඩෝ පුහුණු මධ්‍යස්ථානය විසින් ඕනෑම ආයතනයකට, ඕනෑම කණ්ඩායමකට ලබා ‌දෙනවා. ඉල්ලුම් කිරීමෙන් සහ නියමිත ගාස්තු ‌ගෙවීමෙන් ඒ අවස්ථාව ලබාගන්න පුළුවන්. ඉතින් ඔවුන් ‌බොහොම මහන්සි ‌වෙලා පිළියෙල කරන පුහුණු වැඩසටහ‌නේ අංග අපි ප්‍රසිද්ධ කළොත්, එතනට යන අය ඒවට කල්තියා ලෑස්ති ‌වෙලා සහභාගි ‌වෙන්නෙ. ඒකෙන් ඒ අයට ලබාදෙන්න බලාපොරොත්තුවෙන නැවුම් අත්දැකීම සහ පුහුණුව හරියාකාරව ලබාදෙන්න බැරිවෙනවා.

එක දවසකදි අපි ශාරීරික අභ්‍යාසය විදිහට කුඩාඔය කැළෑව මැද්දෙ තිබුණු මොනර කන්ද නැග්ගා. බොහොම අඩු බෑවුමක් තිබුණු දිගටි ගල්තලාවක් ඒක. ඒක මුදුනෙ චෛත්‍යයක හෝ කීපයක නටඹුන්, කුඩා පොකුණු එක්ක දේවාලයක් තිබුණා. ඒ කොටස නඩත්තු කරන්නෙ කමාන්ඩෝවරු.

අපි නොගියපු මොනරකන්ද…
 

අන්තිමේ අපේ කණ්ඩායම් හතර අතරෙ තිබුණු සුළු සුළු ‌වෙනස්කම් නැතිවෙන්න, අපේ කණ්ඩායම් ‌දෙක ‌බැගින් එකට එකතු කරලා මහා ක්‍රිකට් තරගයක් පැවැත්වුණා. ඒ ඉතාම විශිෂ්ඨ අන්දමින් ක්‍රීඩාශීලී සංගීතය සහ චියර් කිරීම් සමඟින් පැවැත්වුණා. ඒ වගේම අපි කණ්ඩායම් දෙකමට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම ඇතුළත් කරගත්තා…

තරගයේ වීරයා – කරන්…

  ක්‍රිකට් ගහන්න ඉතාම දක්ෂ අපේ කරන්, ශ්‍රීනාත්, වසන්ත, පරණමාන ආදී (‌මෙතනදි මට නම් වශයෙන් කියන්න අමතක වුණු උදවිය හීනෙන් ‌‌පෙනිලා මාව බය කරන්ඩ එපා…) උදවිය හිටපු නිසා මම ස්වකැමැත්තෙන් පණ කඩාගෙන චියර් කළා. අන්තිමේ අපේ කණ්ඩායම් ‌දෙකේ ‌කොඩි ‌දෙකත් උස්සගෙන පිට්ටනිය වටේ දුවන මට්ටමට ඒක උත්සන්න වුණා. ඒකට මට මනෝරිත් එකතුවුණා ‌දෙවන වටේදි.

මාත් මනෝරිත් පර්සි භූමිකාව නිරූපණය කරමින්…

තරගය අවසානයේ ඩෙඟා නටමින්…

අතර මැද දවසක අපට, එක හවස් වරුවක් ‌වෙන් කරගෙන පුහුණු මධ්‍යස්ථානයෙ අපේ පුහුණුව භාරව හිටි ප්‍රධාන නිලධාරියා, (‌මේ සුවිශේෂ මනුස්සසයගෙ නම සඳහන් කරන්න එපා කියල එයා කිව්වා. ඒකට එයා කැමති නෑ. මම හිතන්නෙ ආරක්ෂක අංශවල නිලධාරීන් කැමති නෑ නිරාවරණය වෙන්න…) ‌ගොඩක් උනන්දුවෙන් සහ මහන්සියකින් අපට ඉතාම වැදගත් ‌දේශන ‌පෙළක් පැවැත්වුවා. සහභාගි වුණු අපි 47 ‌දෙනා උසස් තනතුරුවලට පත්වීමෙන් පසුව අපේ චර්යාව හැඩගස්වාගත යුත්තේ ‌කොහොමද, මහජනතාව සහ ‌සේවලාභීන් ‌කෙරෙහි කටයුතු කළ යුත්තේ ‌කොහොමද, සහ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරද්දි අපේ භූමිකාව ‌මොකද්ද යන ‌දේවල් ගැන අපට එයිට කලින් දැනුවත් කිරීම් ‌කෙරුණත්, ‌මේ මම කියන ‌දේශන මාලාව ඊට වඩා හාත්පසින්ම ‌වෙනස් සහ ප්‍රායෝගික පැත්තට බර වුණු එකක්.

ඇඳුම පැළඳුම ගැන තියෙන ප්‍රමිතීන්, ඒවයේ ප්‍රභේද, (ටයි එක ගළපන්නෙ ‌කොහොමද, ටයි ක්ලිප් ඒක ගහන්නෙ ‌කොයි තරම් උසකින්ද, වගේ ‌දේවල් පවා…) එක ‌දේශනයක්… ආහාර ගැන තියෙන ප්‍රමිතීන්, රාත්‍රී ‌භෝජන සංග්‍රයක තියෙන ‌දේවල්, එතන දි පිළිපැදිය යුතු ‌දේවල්, ආදිය තවත් ‌දේශනයක්. වෙනස් ‌වෙනස් මත්පැන් වීදුරු වර්ග, මත්පැන් වර්ග, ඒ්වා භාවිත කරද්දි තියෙන උපචාර තවත් ‌දේශනයක්…

මේ දේශනයෙන් පස්සෙ එදා රෑ අපට ප්‍රායෝගික පුහුණුවක් වශයෙන් රාත්‍රී ආහාරයකට සහභාගි වෙන්න ලැබුණා. වයින් සමඟ ඇපටයිසර්, සුප්, මාලු, මස්, සහ අතුරුපස කියන ෆයිව් කෝස් මීල් එකක්. ඒක ඉවර වෙලා දවසේ ප්‍රශ්නය අපෙන් ඇහුවෙ අපේ කණ්ඩායමේ කිරුබා.

“දැන්වත් අපට බඩ පිරෙන්න බත් දෙයි නේද?” තමයි ඒ ප්‍රශ්නය.

අවසාන ප්‍රථම රාත්‍රී භෝජන සංග්‍රහය

ඒ කෑම මේසයෙ තිබුණු හොඳම දේවල් තුන තමයි බ්‍රෙඩ් ඇන්ඩ් බටර් සහ ගම්මිරිස් කුඩු. ප්‍රධාන මේසයෙ ප්‍රධාන අමුත්තා සමඟ අපේ කණ්ඩායම් හතරෙ නායකයන් වාඩි වෙලා උන්නා. එතන සමීර සහ නිරෝශන ළඟ තිබුණු බ්‍රෙඩ් යන සාඩම්බර නමින් හැඳින්වුණු පොඩි බනිස් කූඩෙ අන්තිමේ ඉතුරු වුනේ එක බනිස් ගෙඩියයි… කියන්න සන්තෝසයි මිත්‍රවරුනි මා ළඟ ද එසේමැයි… (නැතුව මාලු කෑල්ලකුයි මස්කෑල්ලකුයි කාලා බඩගින්නෙ නිදාගන්ඩය…?)

මොන දේවල් විහිලුවට කිව්වත් එදා තිබුණු ඒ ට්‍රේනිං එක (දේශන සහ ප්‍රායෝගික) අපි නොදැන හිටපු ගොඩක් දේවල් කියා දුන්නා. එහෙම නොවුනනම් අනාගතේදි ඉහළ පෙලේ භෝජන සංග්‍රහවලට ගිහිල්ලා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අපකීර්තියට පත් කරන්න අපට සිද්ධ වෙන්න තිබුණා…

මේ පුහුණු මධ්‍යස්ථානය තිබුණෙ ලඳු කැලෑවක් ආශ්‍රිතව. ඔය කැලෑව මැද්දෙ අපි එක එක ක්‍රියාකාරකම්වලට යනකොට, හැම ‌වෙලාවෙම, සියලු ‌දේ පිළිවෙලට ලෑස්ති කරලා තිබුණා. ක්‍රියාකාරකම් අතරෙ ලැබුණු ‌තේ විවේකය පවා, ළඳු කැලෑවේ පිරිසිදු ගස් ‌සෙවනක, එතනට කලින් ප්ලාස්ටික් පුටු ‌ගෙනල්ලා (අපි හැම ‌දෙනාටම ඇති වෙන්න.) බල්ලො නගිනවට ඒවා බිම ‌පෙරලලා, හැම ‌වෙලාවෙම ‌මොනවම හරි ‌කෙටි කෑමකුත් එක්ක කිරි තේ සහ ප්ලේන්ටී ලෑස්ති කරලා තිබුණා.

එක ක්‍රියාකාරකමක් තිබුණා අපි ගං ඉවුරට ගිහින් සපත්තු ගළවලා, කරපු. අපේ සපත්තු ඔක්කොම විධිමත්ව එකතු කරගත්ත කමාන්ඩෝවරු අපි ආපහු ඒනකොට අපි එසෙම්බල් ‌වෙන තැන අපේ කණ්ඩායම් අනුව ඉතාම නිවැරදිව සපත්තු ‌‌පෙළගස්වලා තිබුණා.

ඒ අය අපි බස් එකෙන් බැහැපු තැන ඉඳලා අපේ වැඩසටහන ඉවර ‌වෙන තැන දක්වා අපේ ක්‍රියාකාරකම් වීඩියෝ කරලා, අපට එඩිට් කරලා දුන්නා. ඒවගේම හැම වැදගත් අවස්ථාවක්ම ඡායාරූපගත කරලා දුන්නා. ඒක මාර සිහිවටනයක්… ඔය කටයුතු ඔක්කොම කළේ නිලධාරි දෙන්නෙක්, පෙන්ටියම් 4 කම්පියුටරයකින්. සමහර දවස් තිබුණා, දවසේ කටයුතු ඉවර වෙලා රෑ කෑමට කලින් අපට එදා දවසෙ ප්‍රගතිය බ්‍රීෆ් කරපු අවස්ථා. ඒ හැම වෙලාවකදිම අර මාධ්‍ය කණ්ඩායම අපි කරපු ක්‍රියාකාරකම්වල වීඩියෝ එඩිට් කරලා ලෑස්ති කරලා තිබුණා. ඒ වගේම ඒ හැම වෙලාවකදිම ප්ලග්පොයින්ට් පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකින් තමයි බ්‍රීෆින් කළේ. ඒ හැම දෙයක්ම කිසිම අඩුපාඩුවක් කියන්න තියන්නැතුව, නූලට ලෑස්ති කරල තිබුණා.

මේ විදිහට අපි ‌මේ කැලෑව ඇතුලෙදි දැක්කා රජයේ ආයතනයක දකින්න තිබුණු ඉහළම මට්ටමටත් වැඩියෙන්, ක්‍රියාකාරකම් සහ කටයුතු සංවිධානය කිරීමේ හැකියාව. නමුත් අපේ පුහුණුව සම්බන්ධයෙන් ක්‍රියා කරන්න හිටියෙ එක් ඉහළ නිලධාරියෙක් සහ සහායක නිලධාරීන් දහයක් විතර ‌පොඩි ප්‍රමාණයක්…

අනික් ‌දේ තමයි කැළෑව මැද්දෙ, හමුදා මධ්‍යස්ථානයක් මැද්දෙ අපි දැකපු මහත්මා ගතිය. සියලුම නිලධාරීන් අපට ඉතාම ඕනෑකමින් ඇහුම්කන්දෙමින් සහ ආචාරශීලීබවින් සැළකුවා. එතන හිටපු උසස් නිලධාරියාගේ පටන් පහළට සියලු ‌දෙනාම මහත්වරු විදිහට හැසිරුණා.

ඔය ‌දේවල් ගැන මම, දිනේශ්, ජානක, ලලිත් සහ තවත් කීප ‌දෙනෙක් අවසාන රාත්‍රියෙදි අපේ ප්‍රශංසාව අර කියපු ඉහළ නිලධාරියාට ප්‍රකාශ කළා. එතනදි එයා කිව්වෙ එක ‌දෙයයි. ඒක හැම රාජ්‍ය ආයතනයකම තියෙන, බොහෝවිට සංකල්පයට සහ ලියවිල්ලට සීමා වුණු ‌දෙයක් වන රාජකාරි පැවරීම… ඒ දේ එයා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා. සියලු රාජකාරි කුඩා ‌කොටස්වලට කඩලා, ලිඛිතව පවරනවා. ඒ පවරන ලද පුද්ගලයා ඒ ‌දේවල් ඉටු ‌නොකළොත් ඒක “නීත්‍යානුකූලව පවරණ ලද රාජකාරි පැහැර හැරීම” යන චෝදනාව යටතේ විනය ක්‍රියාමාර්ග ගැනීමට ‌හේතුවක් ‌වෙනවා.

පුහුණුවෙ අවසාන රාත්‍රිය අපට අමතක ‌නොවන අත්දැකීමක් බවට පත් කරන්න කමාන්ඩෝවරු ක්‍රියා කළා. මහා ගිණිමැලයක් සමඟින් වැල්ලවාය ඉන්න ‌හොඳම ඩීජේ ‌ගෙන්වලා කරපු ඩීජේ රාත්‍රියක්… අපි හැම ‌දෙනාටම විනෝදය සපයන්න ‌‌මොන ම හරි ක්‍රමයක් ‌එතන තිබුණා. ඉතාම පොඩි සන්දියෙ හැරුණාම මගේ ජීවිතේටම මම නටපු එකම අවස්ථාව තමයි ඒක…

අන්තිමේ පහුවදා උදේ අපි එතනට සමුදුන්නේ ඉතාම අකමැත්තෙන්… අපි ඉතාම බහුතරයක් ‌දෙනා දරු පවුල්කාරයො. දවස් හයක් අඹු දරුවන්ගෙ මූණු බලන්නැතුව ඉන්න අමාරුයි. ඒ වුණත් අපි ඌව කුඩාඔය දාලා ආවෙ අමාරුවෙන්.

කමාන්ඩෝ කැමරා ඇසට හසුවූ විශේෂ අවස්ථා අතරින්…

“තඩියා to චූටියා යන්ත්‍රය” පළමුවතාවට ක්‍රියාත්මක කරමින්
එහි නිර්මාපකයා වන Mr. Niroshana සහ
ඔහුගේ සුන්දර ඇසිස්ටන්ට් Mrs. Gray-temple

පොල් ගාමින්…

මෙතන තියෙන්නේ බටු කරියකි…
(ගානිෂ් එක හැදුවෙ මං)

පාංපිටි නමස්කාරම්…

ගංවතුරට හසුවූ ලබු මැස්සක් ගොඩ ගනිමින්…

%d bloggers like this: